Friday, August 27, 2021

Sympathy for Lady vengeance (2005)

ජීවිතේ කියන මේ සුවිශාල සිතුවම එක තනි පාටකින් වර්ණගන්වාගන්න ඔබට සිදුවුණොතින් ඔබ තෝරාගන්න මොන පාටද? පැතිරුණු නිල් අහස වගේ අසීමිත නිල්පාට? සොබාදහමත් ජීවිතයත් අතර අවියෝජනීය බැඳීම කියා පෙන්වන කොළ පාට? ලෝකට ප්‍රාණවත් බව අරගෙන එන, හිරු එළිය වගේ ජීවයෙන් උතුරන කහ පාටට හුරු තැඹිලි පාට? නමුත් දැන් මම ඔබට කියන්නෙ තද රතු පාටින් තමන්ගේ ජීවිත සිතුවම වර්ණගන්වාගත් කෙනෙක් ගැන. වෛරය, පළිගැනීම, රුධිරය සංකේතවත් කරමින් රතු වර්ණයෙන් තමන්ගෙ ජීවිතය සරසාගත් ගැහැණියක් ගැන. Lee Geum-ja ඇගේ නම. එක් වතාවක් ඇය මුලු රටක්ම කතාබහ කල චරිතයක්ව උන්නා. ඇයගෙ නම නොහසාපු කෙනෙක් කොරියානු කලාපයෙ නොහිටි තරම් වුණා. ඇයට එතරම් ප්‍රසිද්ධියක් ලැබුණෙ කොහොමද?

අවුරුදු හයක පොඩි දරුවෙක් අමානුෂික විදිහට ඝාතනය කිරීම වෙනුවෙන් Lee Geum-ja වැරදි කාරිය වී තිබුණා. ඇය තමන් ඒ වරද කල බව පිළිගත්‍තා. එතකොට ඇයට වයස 19යි. ඇත්තට බොහෝම දෙනා ඇය ගැන කතාබහ කරන්න හේතුවක් වුණේ ඇගේ අසමසම සුන්දර රූපකාය නිසාමයි. ඇය වැනි අහිංසක පෙනුමක් ඇති කෙනෙක් අර තරම් බිහිසුණු අපරාධයක් සිදුකිරීම කාටවත් අදහාගන්න බැරි පුවතක් වුණා. "මිනීමරු දේවදූතිය" ඒ විදිහටයි ඇය රටපුරා ප්‍රසිද්ධ වෙන්නෙ. ජීවිතාන්තය දක්වා සිරදඬුවම් ලබල ඈ කර වරද වෙනුවෙන් සිරගත වෙනව. සිරගෙය ඇතුළෙ දි නම් ඇයට සිද්දවෙන්නෙ අපූරුම පෙරළියක්. "මිනීමරු" නමක් දිනාගෙන හිටි Lee Geum-ja  හිරගෙය ඇතුළෙ දි අසාමාන්‍ය විදිහට ධාර්මික චරිතයක් බවට පත්වෙනව. කොයිකාටත් උදව් පදව් කරන ආදරේ කරුණාවම හදවතේ උතුරල යන ගැහැනියක් විදිහටයි ඇයව හිරගෙය ඇතුලෙදි හඳුනාගන්නෙ. දැන් ඇය "සමාදානයේ දේවදූතියක්" බවට පත්වෙලා. ආගම දහම අකුරට පිලිපදින ආදර්ශමත් චරිතයක් ඇය. ඉතින් ඇගෙ මේ යහපත් කල්ක්‍රියාවෙ ප්‍රතිඵලයක් විදිහට අවුරුදු 13කින් පස්සෙ ඇගේ සිරඳුවම ලිහිල් වෙලා ඇයට නිදහස්වෙන්න පුලුවන් කම ලැබෙනව.

Lee Geum-ja සිරගෙයින් නිදහස්වෙලා එන මොහොතේ හරි අපූරු වැඩක් වෙනව. එතනදි ඇය පිළිගන්න සූදානමින් ඉන්නෙ ඇතුලෙදි ඇයව ධාර්මික මාර්ගයට යොමු කල පූජකවරය. ඇය එනකොටම ඔහු ඇය ඉදිපිට තබන්නෙ සුදු පැහැ කේක් කැබැල්ලක්. සිරගතව හිටපු යමෙක් නිදහස ලබල එනමොහොතෙ සුදු පාට කේක් කැබැල්ලක් පිරිනැමීමෙ අර්ථය ඔහු හෝ ඇය තමන්ගේ පාපිෂ්ථ ගති වලින් මිදිල යහපත් ජීවිතයකට ඇතුලු වීම බවයි කියවෙන්නෙ. කේක් කැබැල්ල අතට ගන්න Lee Geum-ja  කරන්නෙ ඒක සතුටු සිතින් පිළිගැනීමද? නැහැ ඇය කරන්නෙ එය බිමට අත ඇරීම. පුදුමෙන් කටඇර ගෙන බලා ඉන්නා පූජකයාට හොඳ වචන දෙකක් කතා කරලයි ඈ එතනින් එන්නෙ.

ඉතින් හැමදෙයක්ම ඈ සූක්ෂමව සැලසුම් කල දේවල් බව පැහැදිලියි. ඇයට අවශ්‍ය වුණේ හිරෙන් නිදහස් වෙන්න. තමන් මේ තත්ත්වයට පත්කල අය සොයා ගිහින් පළිගන්න. ඇගේ එකම අරමුණ එයයි. ඉතින් ඇය තමන්ගෙ අරමුණ සාර්ථක කරගන්න උත්සාහ දරන්නෙ කොයි විදිහටද කියන කාරණයයි චිත්‍රපටය පුරාම දැක ගන්න ලැබෙන්නෙ. චිත්‍රපටය නරඹන කෙනෙකුට පොඩි උපදෙසක් දෙන්න කැමතියි. හැම කුඩා සිදුවීමක්ම මඟ නොහැර උවමනාවෙන්ම නරඹන්න. කතාව කොතැනින් හෝ මඟහැරුනා වගේ දැනුණා නම් ඒ නොතේරෙන කොටස් ආයෙ ආයෙම නරඹන්න. මොකද සමස්ත කතාවෙම වැදගත් වෙන සමහර කුඩා කුඩා සිදුවීම් මේ චිත්‍රපටය පුරා ඇතුලත්ව තියෙන නිසා. ඒවැනි තැන් මඟහැරුණොත් චිත්‍රපටයෙ කතාව හරි ආකාරව නොතේරී යන්න පුලුවන්.

Lady vengeance අධ්‍යක්ෂණය කරන්නෙ සුප්‍රසිද්ධ කොරියානු සිනමාකරු Park Chan-wook. "පළිගැනීම" කියන කාරණය තේමා කරගත්ත චිත්‍රපට ත්‍රිත්වයක (vengeance trialogy) අවසාන සිනමාපටය විදිහටයි Lady vengeance නිර්මාණය වෙන්නෙ. (අනෙක් චිත්‍රපට දෙක Sympathy for mr vengeance සහ Oldboy) මේ චිත්‍රපට තුන තේමාත්මකව මිස කතාවක් වශයෙන් එකිනෙක සම්බන්ධ නොවෙන නිසා එකක් නරඹන්න ඊට පෙර චිත්‍රපට නරඹා තිබීම අවශ්‍ය නැහැ. අපරාධකරුවන්ගෙ තියන කැත, අප්‍රසන්න ගතිගුණ ඒ ආකාරයෙන්ම පෙන්වා තිබීම චිත්‍රපටයෙ දකින්න ලැබෙන  කරුණක්. කොරියානු සිනමාවෙ මේ ගුණාංගය මම හිතන්නෙ මම ඔබට අමුතුවෙන් විස්තර කරදෙන්න අවශ්‍ය නැහැ. ඒ චිත්‍රපට බොහෝ අය නරඹන්න අපහසු බව කියන්නෙ ඒ නිසා. මෙතනදිත් එහි වෙනසක් වෙලා නැහැ.

මුලින්ම සඳහන් කලා පලිගැනීමේ රතු වර්ණයෙන් තමන්ගේ ජීවිතය සිතුවම් කරගන්නා ගැහැනියකගෙ කතාවක් මේ චිත්‍රපටයට තේමාවෙන බව. ඇගේ අරමුණට අනුවම මේ කතාවේ"රතු වර්ණයෙන් නැහැවෙන" අවසානයක් ගැන ඉඟියක් පමණක් දෙන්නම්. නමුත් ඔබ නරඹල තියන පළිගැනීම තේමා කරගත් චිත්‍රපටවලට වඩා මෙය සෑහෙන වෙනස් යමක් වීමට හොඳටම ඉඩ තියනව. ඒ අවසානය ඉතාම වැදගත් එකක්. Lady vengeance අනෙක් පලිගැනීමේ කතන්දරවලින් වෙනස් වෙන තැනක් එතැන. ජීවිතයට සෑහෙන වටින පාඩමක් සමඟ හිතන්න යමක් ඒ අවසානය අපිට ඉතිරි කරනව. අපරාධ දූෂණවලින්, තෘෂ්ණාවෙන්, රාගයෙන්, ලේ පිපාසිත කමින් පිරුණු ලෝකයක් ඇස් ඉස්සරහ මවන අතර Lady vengeance නැරඹිය යුතුම වැදගත් සිනමා නිර්මාණයක් විදිහට හඳුන්වන්න හැකියාව ලැබෙන්නෙ වැඩිවශයෙන්ම අන්න ඒ අවසන් කාරණය නිසා.



Friday, August 20, 2021

Mimi (2021)

"හුණුවටයේ කතාව" අපි බොහෝ දෙනෙක් බලල හෝ අවම වශයෙන් අහලවත් ඇති බවට සැකයක් නෑ. ජර්මානු ජාතික නාට්‍යකරු බර්ටෝල් බ්‍රෙෂ්ට් ගේ The caucasian chalk circle නම් නාට්‍ය ඇසුරෙන් හෙන්රි ජයසේන මහත්මය යි මේ හුණුවටයේ කතාව නිර්මාණය කරන්නෙ. නාට්‍යයෙ කතාව සාරාංශයක් විදිහට මෙහෙමයි. 

යුරෝපයේ කොකේසියන් කඳුකරය ආශ්‍රිත ගෘසිනියාව නම් රාජ්‍යයේ යුවරජ ජෝර්ජියෝ අබෂ්විල්, රජ බිසව නතාලියා කුමරිය සහ ඔවුන් දෙපළගෙ අලුත උපන් පුත් කුමරා මයිකල් ඇතුළු පරිවාර සේවක සේවිකාවන් පිරිස පාස්කු ඉරිදාවක උදයෙම දේවස්ථානය බලා යමින් ඉන්නව. රටේ ඇතිවී තියෙන්නෙ කැරළිකාරී තත්ත්වයක්. මේ යුවරජ ඇතුළු කණ්ඩායම හිටිහැටියේ ම කැරළි කරුවන් පිරිසකට මැදිවෙනව. කැරළිකරුවන්, යුවරජ ජෝර්ජියෝ එතැනදිම මරා දමනව. තමන්ගේ ජීවිතය සහ පැළඳ ඉන්නා වටිනා ආභරණ බේරාගන්න නතාලියා බිසව පුත් කුමාරයාවත් අමතක කරල පළායනව. බිසවගෙ සේවිකාවන් අතර උන්නු ගෘෂා නම් තරුණ ගැහැණු ලමයෙක් මේ සිද්දිය දකිනව. පුත් කුමර මයිකල් ගැන අනුකම්පාවක් ඇති කරගන්න ගෲෂා ඔහුවත් අරගෙන කඳුකරයට පළායනව. 

ගෲෂා විවාහ වෙන්න නියමිතව උන්නෙ සයිමන් නම් හමුදා සෙබළෙක් සමගින්. රටේ ඇති වුණු තත්ත්වය එක්ක සයිමන් රාජකාරිය වෙනුවෙන් බැහැරව ගිහින්. ගෲෂා නවතින්නෙ තමන්ගෙ සහෝදරයා ගෙ නිවාසයෙ. එතැනදි ජෝසප් නම් තව මනුෂ්‍යයෙක් එක්ක විවාහ වෙන්න ගෲෂාට බල කරනව. අවසානෙ අකැමැත්තෙන් වුණත් ඇයට ජෝසප් එක්ක විවාහ වෙන්න සිද්දවෙනව. 

ඔය අතරෙ රටේ කලබලකාරී තත්ත්වය එක්ක එක් ආදිපාද වරයෙන් වෙස්වලාගෙන පලායනව. ඔහු සතුරන් අතට පත්වෙන්න ආසන්න වෙනකොට අසඩක් නම් සොරදෙටුවෙක් ආදිපාදවරයා කවුදැයි නොදැන ඔහුව එයින් ගලවගන්නව. අසඩක් නම් අසමාන බුද්ධිමත් කමක් හිමි මනුෂ්‍යයෙක් බව ආදිපාදවරයා දැනගන්නව. කාලයත් එක්ක කැරළි කෝලහාල යටපත් වෙලා කලින් තිබූ රජය ආයෙත් බලයට එනව. ආදිපාදවරයා තමන්ගෙ ජීවිතේ බේරුව අසඩක් නම් බුද්ධිමත් සොරාට නඩුකාර පදවියක් පිරිනමනව. අසඩක් ඉතාම සාධාරණ සහ දුප්පතුන් වෙනුවෙන් පෙනී ඉන්නා මනුෂ්‍යයෙක් විදිහට ප්‍රසිද්ධිය ලබනව.

රටේ තත්ත්වය යහපත් අතට හැරුණායින් පස්සෙ සයිමන් නැවතත් ගෲෂාව සොයාගෙන ගමට එනව. ඒත් ගෲෂා දැන් වෙනත් කෙනෙක් විවාහ කරගෙන දරුවෙකුත් ලබල ඉන්න හැටි සයිමන් දකිනව. සයිමන් කල්පනා කරන්නෙ දරුවා ගෲෂා ගෙ බව ඒත් පසුව ඔහු ඇත්ත දැනගන්නව. මේ වෙද්දි නතාලියා බිසවත් මයිකල් කුමාරයාව සොයමින් ඉන්නෙ. යුවරජ ගේ දේපල ඇගෙ නමට හරවාගන්න මයිකල් ඇයට අවශ්‍යයි. නතාලියා බිසව මයිකල් සොයමින් ඉන්න වැදගත්ම හේතුව ඒකයි. අවසානෙ ගෲෂා ලඟ ඔහු ඉන්නා බව දැනගන්න සෙබලු දෙදෙනාම රජමාලිගයට අල්ලාගෙන යනව. මයිකල් තමන්ගේ දරුවා බව කියමින් ගෲෂා ඔහුව ආපහු බාරදීම ප්‍රතික්ෂේප කරනව. මේ අවනඩුව විසඳන්න බාර වෙන්නෙ අසඩක්ට.

වෙච්ච සිදුවීම හොඳ හැටි අහගන්න අසඩක් මේ නඩුව විසඳන්නෙ හරි අපූරු ක්‍රමයකට. හුණු කැබැල්ලකින් රවුමක් ඇඳල මයිකල්ව ඒ රවුම මැද තියන අසඩක්, නතාලියා බිසවටත් ගෲෂාටත් දෙපැත්තෙන් ඉඳන් දරුවාව තමන්ගෙ පැත්තට ඇදගන්න නියම කරනව. මුලුමනින්ම දරුවාව තමන්ගේ පැත්තට ඇදගන්න තැනැත්තියට දරුවාගෙ අයිතිය හිමි කර දෙනව හැරෙන්න මෙය විසඳාගත හැකි වෙනත් ක්‍රමයක් නැති බව අසඩක් කියනව. දැන් රවුම මැද මයිකල් ව තබල එක අතිකින් නතාලියාත් අනික් අතින් ගෲෂාත් ඔහුව තමන්ගෙ පැත්තට අදිනව. මේ දෙන්නෙක් අත්දෙකෙන් දෙපැත්තට අදිනකොට දරුවාට ඉතාම වේදනාවක් දැනෙනව. ඒ නිසා ඔහු අඬන්න පටන් ගන්නව. දරුවා නිසා උරුම වෙන දේපල වස්තුවට ලෝබ කමේ නතාලියා තවත් වේගයෙන් අදින්න පටන් ගන්නව. ඒත් ඇත්තටම දරුවට ආදරෙන් ඔහුව හදාවඩාගත්ත ගෲෂාට දරුවගෙ දුක වේදනාව දැනෙනව. ඇය ඒ නිසා දරුවා අතහරිනව. දරුවාට ඇත්තටම ආදරේ කරන ගෲෂා ට ඔහුව හිමි කර දෙමින් අසඩක් තීන්දුව ලබා දෙනව. මෙන්න මේ සුප්‍රසිද්ධ වාක්‍යය ඔහු අවසානෙදි කියනව. 

"දෙයක් වේ නම් සුදුස්සාටම හිමිවිය යුතුයි"

බර්ටෝල් බ්‍රෙෂ්ට් මේ නාට්‍යයට පාදක කර ගන්නෙ සාම්ප්‍රදායික චීන නාට්‍යක් බව තමයි කියවෙන්නෙ. අපේ බෞද්ධ සාහිත්‍ය ඇතුලෙ උම්මග්ග ජාතකයෙ මහෞෂධ පඬිතුමා මේ ආකාරයෙන්ම නඩුවක් විසඳන ආකාරය ඔබ අහල ඇති. කොහොම වුණත් 2021 අවුරුද්දේ තිරගත වුණු Mimi නම් හින්දි භාෂිත චිත්‍රපටය නරඹද්දි  "හුණුවටයෙ කතාව" සිහිපත් වීම වළක්වන්න බැරි කාරණයක්. Mimi, 2011 අවුරුද්දේ තිරගත වුණු Mala Aai Vhhaychy නම් මරාති චිත්‍රපටයෙ හින්දි ප්‍රතිනිර්මාණය. Mimi අද්‍යක්ෂණය කරන්නෙ 
English Vinglish, Dear Zindagi, Hindi Medium ඇතුළු තව චිත්‍රපට ගණනාවක cinematography නිර්මාණකරු විදිහට කටයුතු කල  Laxman Utekar. මේ ඔහුගෙ හතරවෙනි අධ්‍යක්ෂණය. A. R. Rahman ගේ සංගීතයත්  "මිමී" නම් ප්‍රධාන චරිතය රඟදක්වන Kriti Sanon ගේ රඟපෑමත් චිත්‍රපටය ආකර්ෂණීය බව තවත් ඉහළනංවනව. රියැදුරෙකුගේ චරිතය නිරූපණය කරන Pankaj Tripathi ඉතාම හොඳ මට්ටමේ රංගනයක යෙදෙන බව දැකගන්න පුලුවන්.

Mimi සරල විනෝදාත්මක බව ඇතුලෙ ලොකු සමාජ පණිවුඩයක් ගෙන එන චිත්‍රපටයක්. "හුණුවටයෙ කතාවෙ"  ගෲෂා වගේම Mimi ගේ කතාවේ මිමී ත් දරුවෙක්ට ආදරය කරනව කියන්නෙ ඇත්තටම කොයි වගේ දෙයක්ද කියන කාරණාව හරි අපූරුවට පෙන්නා දෙනව. "හුණුවටයත්" "Mimi" ත් හරියටම එකිනෙක සමපාත වෙන්නෙ කොහොමද කියන කාරණේ චිත්‍රපටය බලලම ඔබ වටහ ගන්න.

නමුත් මේ කාරණය කිවයුතුමයි. මේ චිත්‍රපටයෙ එක් වැදගත් සමාජ කාරණාවක් නිරාවරණය කරනව. ඒ ඉන්දියාවේ  දැන් නීතිගතවම ක්‍රියාත්මක වන surrogacy නැත්නම් දරුවන් ප්‍රතිනිහිත කිරීම ගැන. ඉන්දියාවේ පමණක් නොවෙයි ලෝකයෙ බොහොම රටවල මෙය නීත්‍යනුකූලවම සිදුවෙමින් තිබෙන දෙයක්. මෙතනදි සිද්දවෙන්න දරුවන් නැති හෝ දරුවන් ලබන්න හැකියාවක් නැති යුවලකගෙ ජීවානු යොදාගෙන වෙනත් කාන්තාවකගෙ ගර්භාෂයෙ ඔවුන් වෙනුවෙන් දරුවෙක් හටගැන්වීම. ඉතිහාසය ඇතුලෙ මේ විදිහට දරුවන් නොලැබෙන යුවලක් තුන් වෙනි පාර්ශ්වයක් විදිහට වෙනත් කාන්තාවක් යොදාගෙන දරුවෙක් ලබාගැනීම කියන්නෙ සෑහෙන කාලයක පටන් පැවතගෙන ආ යමක්. මුලින්ම අදාල යුවලගෙ පිරිමි පුද්ගලයගෙ ශුක්‍රාණුවක් ප්‍රතිනිහිතතාවට සූදානම් අනෙක් ගැහැනිය ගෙ ගර්භාෂයෙ තැන්පත් කිරීමෙන් මෙය සිදුවුණත් දැන් අදාල යුවළගේම ජිවානු අනෙක් ගැහැනිය තුල තැන්පත් කරන්න හැකි තරමට තාක්ෂණය දියුණුයි. ප්‍රතිනිහිතතාව නීතිගත වුණාට පස්සෙ විදේශිකයන් විශාල ප්‍රමාණයෙන් මේ වෙනුවෙන් ඉන්දියාවට පැමිණෙන්න පටන් ගත්ත. මේ විදිහට උපදින දරුවන්ට මොකක්ද වෙන්නෙ කියන කාරණය නිශ්චය කරගන්න හැකියාවක් නැහැ. එය සදාචාරමය අතින් විශාල ගැටලුවක් නිසා ඉන්දියාවේ දැන් විදේශිකයන් වෙනුවෙන් දරුවන් ප්‍රතිනිහිත කිරීම තහනම් කර තිබෙනව. රටවල් කීපයක මෙය සියලුදෙනාටම නීතියෙන් තහනම්. එකක් ආගමික හේතු මත වගේම මේ විදිහට වෙනත් අරමුණු වෙනුවෙන් දරුවන් උපදවාගැනීමේ සදාචාර විරෝධී ව්‍යාපාර බිහිවිය හැකි නිසා යි සමහර රටවල මෙය තහනම් කර තිබෙන්නෙ. මුදල් නිසම මෙයට පෙළඹෙන කාන්තාවන් ඉන්නව වගේම කිසිම මුදලක් නොගෙන සේවයක් විදිහට අන් අයට තමන්ගේ ගර්භාෂයෙ ඉඩ වෙන් කර දෙන කාන්තාවන් ඉන්නා බව කිව්වොත් ඔබ පුදුම වේවි. Mimi චිත්‍රපටයෙන් පෙන්වා දෙන්නෙ දරුවන් ප්‍රතිනිහිත කිරීමේ එක් අඳුරු පැතිකඩක්. දරුවන් ලැබීමෙ අපේක්ෂාවෙන් ඉන්න හෝ දැනටමත් මව් පිට පදවි ලැබූ අයට පමණක් නොවෙයි ඕනෑම කෙනෙකුට ජීවිතේට වටිනා පාඩම් ගණනාවක්ම කියාදෙන චිත්‍රපටයක් විදිහට Mimi හඳුන්වාදිය හැකියි.





Monday, August 9, 2021

සිනාසෙන විට ඔබ...

සිනාසෙන විට ඔබ
මඳක් වැඩෙයෙන් ඇසෙයි හඬ..
යම් කුඩා දිලිසුමක්
මතුව ඒ ඇස් අග..
මනා සේ හැඩකොට
පීරා තිබේ කෙස් කළඹද..
සුදු පැහැති මුදු මලක්
රැඳවී තිබේ 
බැස යන සැඳෑ හිරුගේ
වර්ණයෙන් ඔපනැංවූ වරලස..
කුමක් හෝ යමක්
සිදුවී තිබේ අද...



Thursday, August 5, 2021

කවිපොතක්... හීනයක්...

 ටික කාලයක පටන් මූණුපොතේත් බ්ලොග් අවකාශයෙත් කවි නැත්නම් ඒවැනි දේ ලිව්වට කවි පොතක් පළ කිරීම කියන්නෙ එක්තරා ආකාරයක හීනයක්ව තිබුණ යමක්.  නමුත් සමහර හීන හැබෑවෙන්නෙත් හීනයක්ම ආකාරයට. 2020 ගොඩගේ අත්පිටපත් තරඟයට මේ කවි කිහිපයක එකතුවක් යොමු කලේ ඒ තරම් ලොකු බලාපොරොත්තුවක් ඇතුව නෙමේ. තරඟයේ අවසානයෙදි මේ කවි එකතුවට ප්‍රශස්ත ඇගයීමක් හිමිවෙන්නෙ නොසිතූ විදිහට. "ළා රත් පැහැති දෙතොලක සිනහවක්" නමින් මේ කවි එකතුව දැන් ඔබට මරදාන ගොඩගේ පොත් හලෙන් නැත්නම් kbooks අඩවිය හරහා online ක්‍රමයට මිලදී ගන්න පුලුවන්. මේ පොත සම්බන්ධව Lanka news web අඩවිය සමඟ පැවැත්වුණ සංවාද⁣යක්. බොහෝම ස්තූතියි කසුන් සමරතුංග සහෝදරයාට මේ අවස්ථාව මට ලබාදීම වෙනුවෙන්.

.
2020 ගොඩගේ සාහිත්‍ය අත්පිටපත් තරගාවලියේ, කාව්‍ය අංශයේ ප්‍රශස්ත කෘතිය ලෙස ඇගයීමට පත්‍ර වූයේ හෂාන් රන්දික ඩයස් රචනා කළ 'ළා රත් පැහැති දෙතොලක සිනහවක්' කවි සරණියයි. මතු දැක්වෙන්නේ එය නිමිති කරගෙන ලංකා නිව්ස් වෙබ් අඩවිය ඔහු සමඟ කළ සංවාදයකි.

#. 'ළා රත් පැහැති දෙතොලක සිනහවක්' මේ මොහොතෙ හෂාන් රන්දික ඩයස්ගෙ දෙතොල මතට සිනහවක් කැන්දගෙන ඇවිල්ලද තියෙන්නෙ?

ගොඩගේ ආයතනය සංවිධානය කළ අත්පිටපත් තරගයෙන් ප්‍රශස්ත ඇගයීමක් ලැබීම සෑහෙන ප්‍රහර්ශයක් ඇති කළ බව කිව්වොත් ඒක නිවැරැදියි. දන්න කියන නම් කිහිපයක් එක්ක අවසාන වටයට නිර්දේශ වෙන්න ලැබීමත් ඒ අතර අමතර සතුටක්. සයිබර් අවකාශයෙ ලියවුණ යුනිකෝඩ් අකුරු මෙහෙම පොතක් බවට පත්වෙලා අතට එනකොට ඒක වෙනම හැඟීමක්. ඩිජිටල් මාධ්‍ය කොයිතරම් දියුණු වුණත් මුද්‍රිත පොතකින් ලැබෙන හැඟීම වෙන දෙයකින් ලබා ගන්න බෑ. ඉතින් ඒ සතුට මේ මොහොතෙ භුක්ති විඳිමින් ඉන්න බව කියන්න කැමතියි. ඒක මට විතරක් උරුම යමක් නොවෙයි. මේ අත්පිටපත වෙනුවෙන් වෙහෙස මහන්සි වුණු, අදහස් පල කළ තවත් කීපදෙනෙක් ඉන්නව. ඒ ප්‍රහර්ශය ඒ හැම කෙනෙකුටම උරුමයි. ඒ හැඟීම කවි කියවන බෙදාහදා ගන්න මේ හැම කෙනෙකුටම අයිති සතුටක්. නවක ලියන්නන් දිරිමත් කරමින් මේ වැනි අවස්ථාවක් ලබා දීම වෙනුවෙන් ගොඩගේ ආයතනයටත් අත්පිටපත් තරගය සංවිධානය කල හැම කෙනෙකුටමත් ස්තූතිය පළකරන්න කැමතියි.

#. පොතට ලැබුණු ඇගයීම ඔබට මොන වගේ සාහිත්‍යමය උත්තේජනයක් වුණාද?

ෆේස්බුක් මාධ්‍යයේ ලියනකොට ඒ දේවල්වලට නොයෙක් විදිහේ ප්‍රතිචාර විවිධාකාර මට්ටම් වලින් ලැබෙනවනෙ. ඒ ප්‍රතිචාර එක්ක අපි ලියන දේවල් ඇත්තටම කොතනද තියෙන්නෙ කියන කාරණය ගැන නිවැරැදි තක්සේරුවකට එන්න හරි අමාරුයි. මම මේ තරඟය ඉදිරිපත් වෙන්න කල්පනා කල එක හේතුවක් වුණේ මෙතෙක් කල් ලියපු දේවල් කොයිවගේ මට්ටමක තියනවාද  කියන කාරණය ගැන මටම යම් අගය කිරීමක් කරගන්න පුලුවන් වීම නිසයි. ඉතින් මේ ලැබුණ ප්‍රතිඵලය ගැන සෑහෙන තෘප්තිමත්. ඒ හැඟීම තවදුරටත් ලියන්න 'තහනම් නොවන උත්තේජනයක්' විදිහට වැඩකරන බව ඇත්ත. නමුත් මේ ජයග්‍රහණය එක්ක කියවන පිරිස ඇතුලෙ වැඩිපුර අවධානයට ලක්වෙන්න පටන් ගන්නව. 'කවි පොතක් කළ කවියෙක්' කියන හැඳින්වීම ඒ එක්කම එනව. කොහොමත් ෆේස්බුක් වගේ මාධ්‍යක කවියක් ලියල පළ කරනකොට මේක කීදෙනෙකුට තේරුම් ගන්න පුලුවන් වෙයිද, මේකට කොහොම ප්‍රතිචාර ලැබෙයිද කියල යම් චකිතයක් ඇතිවෙන්නෙ නෑ කියන්න බැහැ.නමුත් පොතකින් පස්සෙ 'කවියා' නම් හැඳින්වීමත් එක්ක අර කලින් තිබ්බ නිදහස අවම වෙන ස්වභාවයක් තියනව.

#. කවිය එක්ක මුලින්ම ගනුදෙනුව පටන් ගත්ත හැටි සහ ඒ ගමන පොතක් දක්වා ආ හැටි ගැන අපිට පොඩි විස්තරයක් කියන්න?

බොහෝම වෙලාවට කවි ලියන අය කියන දෙයක් තමා ඒ අය පාසල් කාලයෙ ඉඳන්ම කවි ලිව්වා කියන දෙය. නමුත් මම සම්බන්ධයෙන් නම් ඒ තත්ත්වය සෑහෙන වෙනස්. මම කවි ලියන්න පෙළඹුණේ ෆේස්බුක් එක නිසා කිව්වොත් තමයි වඩා නිවැරදි. ලිවීම ගැන මට එහෙම ලොකු ඉතිහාසයක් නැහැ. නමුත් මෙහෙම දෙයක් තිබුණ. මම කුඩා කාලෙ ඉඳන්ම හරි ආසාවෙන් කවි කියෙව්ව. බොහෝම වෙලාවට ඉරිදා පත්තරේ අනිවාර්යයෙන් අපේ ගෙදර මිලට ගන්නවා. ඒත් එක්කම නොයෙක් සාහිත්‍ය අතිරේක, කවි විචාර, පෙර කවි කිවිඳියන්ගේ කවි මට කියවන්න ලැබුණා. කවි ගැන විශේෂ ඇල්මක් ඒ දේවල් නිසා කාලයක් තිස්සෙ මං ඇතුළෙ වැඩෙමින් තිබුණා. ෆේස්බුක් මාධ්‍ය අපේ සමාජයෙ ප්‍රචලිත වෙන්න පටන් ගන්නෙ ඉන් පස්සෙ. මුල් කාලීනවම මේ ෆේස්බුක් අඩවියට පිවිසුණු කෙනෙක් විදිහට  ප්‍රමාණාත්මකව ඒතරම් ලොකුවට කවි මෙතැන ලියවෙන බවක් දුටුවෙ නෑ. නමුත් පසුකාලීනව යුනිකෝඩ් අකුරු භාවිතය එක්ක. බොහෝමයක් දෙනා මේක ඇතුලෙ කවි ලියන්න පටන් ගන්නව. කවි සමූහ හැදෙනව, කවි සංවාද, මිතුරු කණ්ඩායක් ඕව හැදෙනව.  මේ දේවල් දකිනකොට කවියක් ලියන්න ඕන කියන පෙළඹවීම මට ඇතිවුණා. කවියට මාව ඇදවැටුණෙ නැත්නම් කවිය මාව හොයාගෙන ආවෙ එහෙම.

#. එතැනදි ඔබට පෙර සහ ඔබට සම පරපුරෙන් උකහා ගත් යමක් තියෙනවද?

අනිවාර්යයෙන් ඔව් ! ඒක මට පමණක් අදාල කරුණක් නොවෙයි සහ එය කවියට පමණක් අදාළ කරුණකුත් නොවෙයි. සාහිත්‍ය ඇතුළෙ කෙනෙක් නිර්මාණකරණයට පෙළඹෙන්නෙ යමක් කියවීමෙන් ලබන ආහ්ලාදය නිසාම තමයි. ලිවීම පවත්වාගෙන යන අතරත් කියවීම ඉතාම වැදගත්. මම කලින් සඳහන් කලා පෙර කවි කිවිඳියන්ගේ කවි මට සෑහෙන කියවන්න ලැබුණු බව. විශේෂයෙන් ආරියවංශ රණවීර වගේ කවියෙක් එතනදි සෑහෙන මගේ සිත්ගත්ත බව කියන්න ඕන. ඔහු සම්මත සෞන්දර්ය රීති වලින් වෙනස් මඟක් ගත්ත කවියෙක්. ඒ කවිවල උපමා රූපක නැති තරම්. භාෂාවෙ අලංකාරයට වඩා කවියට නිමිති කරගන්න දේ සහ ස්වල්ප වචන ප්‍රමාණයකින් කරන ගොඩනැංවීම ඇතුලෙයි ඒ කවියේ විස්මය තියෙන්නෙ. ඒ අවමවාදී කවිය මුල් කාලීනව මට සෑහෙන බලපෑමක් කලා. ඉන්පසු පරම්පරාවල කවි කිවිඳියන්ගෙ නිර්මාණ පසුකාලීනව මට කියවන්න ලැබෙනව. මම යමක් ලියනව නම් ඔවුන්ගේ කවි කියවීමෙන් ලැබුණු ප්‍රහර්ශය අනිවාර්යයෙන් අඩුවැඩි වශයෙන් මට බලපෑමක් කලා. ඒ වගේම සමකාලීනව කවියට පිවිසුණු මිතුරු මිතුරියන් පිරිසක් ෆේස්බුක් සමාජයෙ ඉන්නව. ඔවුන් ලියන දේවල් වලිනුත් අනිවාර්යයෙන් යම් බලපෑමක් මේ කවියට සිදුවෙනව. කවිය කියන්නෙ මෙන්න මේ ආකාරයි කියල එක සීමාවක රඳවල තියන්න මම කැමති නෑ. විවිධත්වයට මම ඉතාම කැමතියි. නමුත් ඒ අතර තමන්ගේ අනන්‍යතාව පැවතිය යුතුයි. මම හිතන්නෙ එය මම තවම සොයමින් ඉන්නව.

#. ඔබ සංගීතයට සහ සිනමාවට ලොකු ඇල්මක් දක්වන බව පේන්න තියෙනවා. ඒක ලිවීමට එල්ල කරන්නෙ කොහොම බලපෑමක්ද?

සංගීතයත් සිනමාවත් කවියට ඍජුව බලපෑම් කරන්නෙ කොහොමද කියන කාරණය ගැන මට නිශ්චිත අදහසක් නෑ. නමුත් මෙහෙම දෙයක් තියනව. කලා මාධ්‍යක් විදිහට සංගීතය අරගත්තොත් ලෝකය පුරා විවිධාකාර සංගීත සම්ප්‍රදායන් තියනව. ඒ ඒ රටවල් වලට සහ භූගෝලීය කලාපවල, ඒ ඒ සංස්කෘතින්ට අනන්‍ය වුණු සංගීත රටා තියෙනව. මේ හැම දෙයක්ම එක වගේ රසවිඳින්න අපිට බැරි වෙන්න පුලුවන්. නමුත් මේ විවිධ සංස්කෘතින්ට අයිති දේවල් රසවිඳින්න පුලුවන් විවෘත රසිකත්වයක් තිබීම ඉතාම වැදගත්. රසිකත්වය කියන්නෙ පුහුණු කරගත යුතු යමක් තමයි. සිනමාව ගත්තත් එහෙමයි. චිත්‍රපටයක් බලන්න හිතුණත් අපි බොහෝම වෙලාවට රැඳෙන්නෙ හොලිවුඩ් සහ බොලිවුඩ් අන්තවල පමණයි. නමුත් ලෝකය පුරාම කොයිතරම් හොඳ චිත්‍රපට නිර්මාණය වෙනවද? ලෝකයෙ ලොකුම සිනමා කර්මාන්තයක් හිමි අපේ සංස්කෘතික අසල්වැසියා ඉන්දියාවේ වුණත් ප්‍රධාන ධාරාවන්ගෙන් එහා කොයිතරම් හොඳ චිත්‍රපට හැදෙනවද. චිත්‍රපට හුදු විනෝද මාධ්‍යකින් එහා විවිධාකාර සංස්කෘතික, දේශපාලනික සීමා ඇතුළෙ මිනිස් ජීවිතය කියවාගත හැකි කලා මාධ්‍යක් විදිහට අපි හඳුනාගත යුතුයි. හොඳ සිනමාත්මක ගුණයෙන් තියන නිර්මාණයක් 'සිනමා කාව්‍යයක්' විදිහට හඳුන්වනව. ඒ සියුම් සෞන්දර්ය රසවිඳින්න එක්තරා ආකාරයක පුහුණුවක් අවශ්‍යයි. මම හිතෙනව කවියෙකුට නොයෙකුත් සංස්කෘතික සහ සෞන්දර්ය කලාපයන්ට තියන විවෘතකම ඉතාම වැදගත් දෙයක් කියල.

#. ඔබේ රැකියාවත් පොත් පත් ආශ්‍රිත එකක්. ඒ අත්දැකීම කොහොමද?

තමන් ඉතාම ආදරය කරන යමක් එක්ක රැකියාව කරන්න ලැබීම මම හිතන්නෙ කෙනෙකුට ලැබෙන සෑහෙන වටින අවස්ථාවක්. ඒ සතුට මේ රැකියාව ඇතුලෙ මම භුක්ති විඳිනව. පොතක මූලික අත්පිටපතේ ඉඳන් අවසානෙ මුද්‍රණය වෙලා අතට එන මොහොත දක්වාම වෙන සියලු වැඩකටයුතු ගැන අවබෝධයක් මේ නිසා ලැබිල තියනව. මගෙ පොතේ නිර්මාණාත්මක කටයුතු මේ නිසා මටම කරගන්න පුලුවන් වුණා. අත්පිටපත් තරඟයෙදි මේ කාරණාව මට සෑහෙන පහසුවක් වුණා.

#. සමාජ මාධ්‍ය ප්‍රමුඛ කරගත් නූතන ලියන - කියවන අවකාශය ගැන ඔබේ තක්සේරුව මොකද්ද?

මම කලිනුත් සඳහන් කලා මට කවි ලියන්න පෙළඹවීමක් ඇතිවෙන්නෙ ෆේස්බුක් එක හරහා කියන දෙය. ඒ නිසා මේ අවකාශයෙ කිසිම ආකාරයකින් සාධනීය දෙයක් වෙන්නෙ නැහැයි කියන්න සදාචාරාත්මක අයිතියක් මට නැහැ. ඇත්ත, අපිට සාධනීය කුලකයට ඇතුළත් කරන්න පුලුවන් දේවල් මේ අවකාශයෙන් හොයාගන්න පුලුවන්. ලියන කෙනෙකුට තමන්ගේ ලිවීම අභ්‍යාස කරන්න මේක හොඳ අවකාශයක්. ඒ වගේම කාලයක් තිස්සෙ තමන්ගේ ලිවීම වැඩිදියුණු කර ගත්ත වගේම නැවුම් ආකාරයෙන් හිතන, හැමදාම දකින දෙයක් ගැන වුණත් වෙනස් විදිහට දැකල රහක් ඇතිවෙන්න ලියන්න පුලුවන් අය, එහෙම ලියවෙන නිර්මාණ කියවගන්න ලැබෙනව. ඒක මේ අවකාශයෙ සෑහෙන සතුටුවෙන්න පුලුවන් කාරණාවක්. ඒ වගේම මෑතකාලීනව කවිය ගැන ලොකු උනන්දුවක් ඇතිවෙලා තියන බව දකින්න ලැබෙනව. අලුතෙන් කවිපොත් සෑහෙන එළිදකිනව. ඒව ගැන සංවාද, නොයෙක් ආකාරයේ විචාරාත්මක අදහස් පළකිරීම් වැනි දේවල් දකිනව. ඒ දේවල් වල නරකක් මම දකින්නෙ නෑ. ඒත් අර අපි හැමදාම දකින සමාජ මාධ්‍ය අවකාශයෙන් මිදිල අපේ සමාජය දිහා බැලුවම දකින්න ලැබෙන්නෙ ඊට හාත්පසින්ම වෙනස් දෙයක්. කවිය විතරක් නෙමේ සංස්කෘතික ජීවිතයක් ගැන හැඟීමක් මේ සමාජෙට නැති තරම්. දවසම මහන්සි වෙලා වැඩකරල ඇවිත් හවසට මෙගා ටෙලිනාට්‍යක් දිහා බලන් ඉන්න එක තමා අපිට දැන් තියන සංස්කෘතික ජීවිතේ. ඒත් සැප්තැම්බර් මාසයෙදි කොළඹ පොත් ප්‍රදර්ශනයට ඇවිත් බැලුවොත් දැක බලා ගන්න පුලුවන් විශාල ජන ගංගාවක්. ඒත් ඇත්තටම එළියෙ සිද්දවෙන දේවල් බැලුවම අපි කියවන බව පෙන්වුවත් ඇත්තටම නොකියවන සහ ඒ අනුව සිතීම දියුණු කර නොගත්‍ත සමාජයක් බව තමයි කණගාටුවෙන් වුණත් කියන්න වෙන්නෙ. අපි අහල තියෙන්නෙ කියවීම මිනිසා සම්පූර්ණ කරයි කියල විතරයි. නමුත් කියවීම පමණක් ප්‍රමාණවත් නෑනෙ. කියවන දේ කිරා මැන බලන්න විචාරය කරගන්න ඒ අනුව හිතීමත් දියුණු වෙන්න ඕන. අර කියන විදිහට 'සම්පූර්ණ මිනිසෙක්' හැදෙන්න ඕන එහෙම. ඒකට සෑහෙන නිදහස් මනසක් විවේක බුද්ධියක් අවශ්‍යයි. දැන් තියන තරඟකාරී සමාජ ආර්ථික වටපිටාව ඇතුලෙ ඒ ඉඩ ක්‍රමයෙන් ඇහිරෙමින් යන බවක් තමා පේන්න තියෙන්නෙ.

සමාජ මාධ්‍ය ලියන කියවන අවකාශයක් විදිහට මේකෙ නිශේධනාත්මක විදිහට හඳුන්වන්න පුලුවන් දේවලුත් තියනව. එක් කාලයක් තිබුණ ප්‍රවණතාත්මක කවි ලිවීම විලාසිතාවක් බවට පත් වෙලා තිබුණ. සමහර දේවල් කවි විදිහට හඳුන්වන්න බැරි වාර්තා රූපී ප්‍රකාශන. නමුත් මේව කවි විදිහට හඳුන්වමින් සෑහෙන පිරිසක් අතරෙ බෙදාහැරෙනව. කවිය ගැන අදහසක් නැති කෙනෙකුට නම් මේ දේවල් කවි විදිහට වැරදි හඳුනාගැනීමක් කරනව. මම අපේ පරපුර වර්ණනා කරනව නොවෙයි. ඒත් ෆේස්බුක් වැනි දෙයක් එන්න කලින් අපිට පුවත්පත් සඟරා වගේ මාධ්‍යවලින් පෙර නිර්මාණකරුවන්ගේ හොඳම ලිවීම් කියවන්න ලැබුනා. එවැනි මාධ්‍යකින් යමක් පළවෙන්නෙ සෑහෙන තෝරාගැනීමකින් යුතුව. නමුත් ෆේස්බුක් එහෙම නෑ. ඕනෑ කෙනෙකුට ඕනෑම දෙයක් පළ කරන්න පුලුවන්. අලුත් පරම්පරාව කෙලින්ම සම්බන්ධ වෙන්නෙ මේ මාධ්‍යට. ඒ නිසා අර කියවීම ඔවුන්ට අහිමි වෙන බවක් පේන්න තියනව. තව දෙයක් තමා අලුතෙන්  කෙනෙක් හොඳට ලියන්න පටන් ගත්තම මේ ලියන කියවන ප්‍රජාව විසින්ම ඒ පුද්ගලයව 'ඔයා දැන් කවියෙක්' කියල නාමකරණය කරනව. යම් රසික පිරිසක් ඒ පුද්ගලය වටා හැදෙනව. ඒ නිසා අර කියවන්නන් පිනවීමේ අරමුණෙන් තමයි අර පුද්ගලය ලියන්නෙ. මේ බොරු වලවල් වල නොවැටී ඉඳීම ලියන කෙනෙක් වශයෙන් අනිවාර්යයෙන් පුහුණු කරගත යුතු දෙයක්. තමන් කල නිර්මාණයකට හොඳ ප්‍රතිචාර ලැබෙනකොට ලියන්නෙකු විදිහට ඒ සතුට විඳ ගත යුතුම තමයි. නමුත් මේ ප්‍රතිචාර නිසා තමන්ගේ අනන්‍යතාව අහිමි කර නොගත යුතුයි.

#. මේ වෙද්දි පොතට ලැබෙන ප්‍රතිචාර සහ ඔබේ ඉදිරි වැඩ කටයුතු ගැනත් යමක් කියල අපි දැනට මේ සංවාදය මෙතැනින් ඉවර කරමු?

පොතට ලැබෙන ඕනෑම ප්‍රතිචාරයක් සම සිතින් බාරගන්නව. මෙතුවක් ලැබුණෙ යහපත් ප්‍රතිචාර. පොත කියවා යම් අදහසක් කිව්ව හැම කෙනෙකුටම ස්තූතියි කියන්න මේක අවස්ථාවක් කරගන්නව. ඉදිරි වැඩ ගැන කියනව නම් ළමා සහ යොවුන් ගණයේ  නවකතාවක සිංහල පරිවර්තනයක් කර තිබෙනව. ඒක තරමක කාලෙකට කලින් කල දෙයක්. ඒ පරිවර්තනය පොතක් බවට පත්කරගැනීමේ හීනය ඉතුරුවෙලා තියනව. ජීවිතය විසින් ලියන්න කවි හොයල දෙනකම් කවි ලියනව.

සංවාදය - කසුන් සමරතුංග



Tuesday, August 3, 2021

අරුත සොයා යන්න...

 "අරුත සොයා යන්න. ජීවිතයේ දුක්බර ස්වභාවය සහ සිත තුළ හටගැනෙන අඳුරු හැඟීම් එකිනෙකින් වෙන් කර හඳුනාගන්න. පිටතට ගොස් ඇවිදින්න. එය උද්‍යානයක් හරහා සිදුවන ප්‍රේමණීය ඇවිදයාමක් විය යුතු නැත. වසන්තය සිය උපරිමත්වයට පැමිණ සිටින දිනය විය යුතු නොවන්නේ ය. මල් පිපී තිබීම ද, ඒ මල් සුවඳින් වාතලය පිරී ගොස් තිබීම ද, කාව්‍යමය වූ සුන්දරත්වයකින් පරිසරය සැරසී තිබීම ද අවැසි වන්නේ නැත. ඒ අතරතුර දී ඔබේ මනසට එදා මෙදාතුර කිසිවෙකුට සිදු නොවූ ආකාරයේ ජීවිත අභිරහස් අනාවරණයන් සිදුවීම අනිවාර්ය නොවේ. ඔබට, ඔබත් සමඟම ගතවයන කාලයෙහි ගුණාත්මකභාවය පිලිබඳව බිය වීමට අවැසි නැත. අරුතක් සොයාගන්න. එලෙස කිසිවක් සොයා නොගත්තද කම් නැත. නමුත් කාලයෙන් බිඳක් සොරාගෙන එය ඔබ වෙනුවෙන් නිදහස්ව ද නිර්ලෝභීව ද වැය කරන්න. ඒ වෙනුවෙන් හුදෙකලා වීම තෝරාගන්න. එය ඔබව සමාජ විරෝධියෙකු හෝ මුළු ලොවින්ම පිටස්තරයෙකු බවට පත්කරන්නේ නැත. නමුත් ඔබ නිදහස්ව හුස්මක් ගත යුතු ය. ඔබ ඔබලෙසම පැවතිය යුතු ය. "


- ඇල්බෙයා කැමූ



Monday, August 2, 2021

ඈ නිදනවා ඇති දැන්...

ඈ නිදනවා ඇති දැන්
වසා දමා කවුළුව..

වරින් වර නික්මෙන
සුසුම් හෙළනා හඬ
නොඇසෙයි දැන් ඇගේ කුටියෙහි..
නොඇසෙයි සිහින් ඉකිබිඳුම් ද..

නොහඬමි මම
කඳුළු නොනැගෙයි
මේ වියළි දෑසට...

අවසාන කර
අවසාන රතු වයින් බඳුන
කියවමි යළි
නැවතූ තැන් සිට
ලාබ රොමාන්තික නවකතාව...

රිදුම් දෙයි දෙපය
මේ විසල් මැදුරේ
දවස පුරා මෙහෙ කර..
නොපෙරළේ පොතේ පිටු
රැළි වැටෙන අඟිලි තුඩගට
නිදිබරින් පිරෙයි හිස...

පසෙකින් තබා පොත
පියනඟමි හනික
සිහින ලෝකය වෙතට..
කඳු පාර කෙළවර
මල් පිපෙන උයන මැද
මඟ බලා ඇති ඇය ද..
.
.

The remains of the day චිත්‍රපටය ඇසුරෙන් උපදින.