සදාහරිත තෙත් වැසි වනාන්තර කියන්නෙ ජෛව විවිධත්වය අතින් ඉතාම ඉහළ පරිසර පද්ධතියක් බව කලින් පෝස්ටුවකත් සඳහන් කළා. ඒ අතර දකුණු ඇමරිකානු ඇමේසන් වනාන්තරය සුවිශේෂ එකක් වෙන්නෙ ලෝකයෙ දැන් පවතින විශාලතම වැසි වනාන්තරය වගේම වෙනත් කිසිම තැනකින් හමු නොවන අපූර්වතම ජීවි විශේෂ මුණගැහෙන කලාපයක් නිසා. මේ ඒ අතරට එකතු වෙන අලුත්ම සාමාජිකයෙක්. Coccoloba gigantifolia මෙතෙක් හමුවී ඇති විශාලතම පත්‍ර සහිත ශාක විශේෂ අතරින් එකක්. 2019 අවුරුද්දෙදි විද්‍යාඥයන් මේ ශාකය තනි ශාක විශේෂයක් බවට නිල වශයෙන් පිළිගනු ලබනව. පර්යේෂකයන්ට මුල් වරට මේ අපූරු දැවැන්තයා මුණගැසෙන්නේ 1983 අවුරුද්දේ ඇමේසන් වනයේ Madeira ගංගා ද්‍රෝණිය ආශ්‍රිතව. Coccoloba gigantifolia ගසක් සාමාන්‍යයෙන් අඩි 50 ක් පමණ උසට වැඩෙනව. ගසේ විශේෂම කොටස වුණු ගසේ පත්‍රයට අඩි 8 ක් පමණ දිගකින් වර්ධනය වීමට හැකියාව තිබෙනව. (පින්තූරයෙ ඉන්නා මිනිසා සමග සන්සන්දනය කරල පත්‍රයේ විශාලත්වය අනුමාන කරගන්න) මේ තරම් විශාල පත්‍ර ගසක පිහිටන්නේ කියල ඔබ පුදුම වේවි. නමුත් සම්පූර්ණ ගසම දැක්වෙන ඡායාරූප වලට අනුව ගසේ මුදුනෙන් පත්‍ර කීපයක් පමණයි හටගන්නෙ. (පළමු කමෙන්ටුවේ) මේ ගස ඉතාම දුර්ලභ එකක්. දැනට සොයාගෙන තිබෙන්නෙත් ගස් කීපයක් පමණයි. කොහොම වුණත් විද්‍යාඥයන් මේ ගස වෙනම ශාක විශේෂයක් විදිහට පිළිගත්තේ නැහැ. ඔවුන් ගසක බීජ ලබාගෙන ගසක් සම්පූර්ණයෙන් වැඩි වර්ධනයවී මල් ඵල හටගන්නා ආකාරය නිරීක්ෂණය කරල තමයි ඒ තීරණය අරගන්නෙ. (මල් සහ ඵලය අද්‍යයනය කිරීම ශාඛ වර්ගීකරණයට අවශ්‍යම දෙයක්) ඉතින් ඔවුන්ට මේ කාර්ය සම්පූර්ණ කරන්න ලැබෙන්නෙ වසර 13 කට පසු 2019 අවුුරුද්දෙ. දැනට සිදුවෙමින් යන සීග්‍ර වන විනාශයන් සහ දේශගුණ විපර්යාසයන් එක්ක මේ ගස සම්පූර්ණයෙන්ම වඳවී යැමේ තර්ජනයට දැඩිව මුහුණපා තිබෙන බව තමා සඳහන් වෙන්නෙ.
Labels
Tuesday, December 22, 2020
Thursday, November 19, 2020
මිහිමත ජීවයේ හෙට දවස - David Attenborough : A Life on our planet
සර් ඩේවිඩ් ඇටන්බරෝ, මේ මොහොත වන විට ජීවතුන් අතර වටිනාම මිනිසුන් කිහිපදෙනා අතරට නම් කල හැකි කෙනෙකු බව කීවොත් එහි වරදක් නෑ. 1926 වසරේ උපත ලැබූ ඔහු ඉන්පසු මිනිස් ශිෂ්ටාචාරයේ ඇති වූ ලෝක යුදධ, කාර්මිකරණයේ ව්‍යාප්ත වීම, සඳ තරණය කිරීමේ පටන් එදිනෙදා ජීවිතයේ වැඩ පහසු කරන යන්ත්‍ර සූත්‍ර බිහිවීම, ගුවන්විදුලිය, රූපවාහිනිය, පරිගණකය, අන්තර්ජාලය, ඉන්පසු ස්මාර්ට් ජංගම දුරකත දක්වා මෑත ඉතිහාසය තුළ සිදුවුණු තීරණාත්මක වෙනස්වීම් සියැසින් දුටු සාක්ෂිකරුවෙකි. ඒ සියලුදේටම වඩා සන්නිවේදකයෙකු, ස්වභාවධර්ම විද්‍යාඥයෙකු ලෙස පෘථිවියේ අස්සක් මුල්ලක් නෑර සැරිසැරුවෙකි. උත්තර අර්ධගෝලයේ හිම තලාවන් අතරද, අත්ලාන්තික් සයුරේ නිල් තල්මසුන් සමගද, වැලි කාන්තාර සහ සදාහරිත වනාන්තර අතර ද සැරිසරමින් මෙතෙක් ලොව නොදුටු අරුමැසි සත්ත්වයන් ඒ ඒ බිම්කඩ වලට ස්වදේශක ජනකණ්ඩායම් මුල් වරට ලෝකයට අනාවරණය කලේ ය. සොබාදහම පිලිබඳ, ඔබත් මමත් නිවසේ සිට සුවපහසුව නරඹන වාර්තාමය වැඩසටන් නිපදවීම පිළිබඳ පුරෝගාමී වූයේ ඔහු ය. ලෝකයේ විවිධාකාර පරිසර පද්ධතීන් මෙන්ම ජීවයේ පරිණාමය පිළිඳව ඔහු ඉදිරිපත් කල වැඩසටහන්වල දැනුමෙන් පරම්පරා ගණනක් පෝෂණය වී තිබේ.
Wednesday, October 14, 2020
කෘමී ලොවේ දැවැන්තයෙක් Titan Beetle
දකුණු ඇමරිකානු වැසි වනාන්තර කියන්නෙ නොයෙක් ආකාරයේ අරුම පුදුම සත්ත්වයින්ට නවාතැන් දෙන පාරාදීසයක් වගේ කිව්වොත් වඩා නිවැරැදියි. කෘමි සත්ත්වයන් අරගත්තත් ඒ වගේ අපූරුම විශේෂ ගණනාවක් මේ කලාපයෙන් හමුවෙනව. Titan Beetle ඒ අතරෙන් විශේෂයි. දකුණු ඇමරිකාවේ පමණක් නොවෙයි මුලු ලෝකෙන්ම විශාලම කෘමි සතුන් අතර එක් විශේෂයක් Titan Beetle. අඟල් 6.5 ක් පමණ දිගට, වැඩුණු මිනිසෙකු ගෙ සම්පූර්ණ අතලේ ප්‍රමාණයට ආසන්න දිගකින් මේ Titan Beetle කෘමියෙක් වර්ධනය වෙනව. ඔබ කවුරුත් දන්න විදිහට කෘමි සතුන් මුලින්ම පිලා අවධියක් පසු කරමින් තමයි සම්පූර්ණ වැඩුණු අවස්‍තාවට පත් වෙන්නෙ. ඒත් තවම Titan Beetle වර්ගයෙ පිලවෙක් සොයාගන්න ලැබිල නැති බවයි වාර්තා වෙන්නෙ. මේ පිලවෙක් අඩියක් පමණ දිග විය හැකි බව අනුමාන කරනව. පියාපත් පිහිටා තිබුණත් ශරීරයෙ විශාලත්වය නිසා පොළවේ ඉඳගෙන පියාසරන්න මේ කෘමියාට හැකියාවක් නෑ. ගසක නැත්නම් වෙන ආධාරකයකින් ඉඳගෙන වාතලයට පැනීමෙන් මොවුන් පියාසැරිය ලබාගන්නෙ. පියාඹන අවස්‍තාවෙ සෑහෙන ලොකු ශබ්දයක් නික්මෙන බව තමයි කියන්නෙ. විශේෂයෙන් දකුණු ඇමරිකානු කලාපයෙ සංචාරකයන් මේ සත්ත්වයන් සියැසින් දැකගන්න උත්සාහ කරන නිසා සංචාරකයන් අතරේ සෑහෙන ජනප්‍රියත්වයක් උසුලන බව කියවෙනවා. කොහොම නමුත් වනාන්තර විනාශය නිසා වඳවී යෑමේ තර්ජනයට මුහුණදි ඉන්න අපූරු කෘමි සත්ත්වයෙක් Titan Beetle.



















































