Showing posts with label සොබාදහම. Show all posts
Showing posts with label සොබාදහම. Show all posts

Tuesday, December 22, 2020

මිනිසෙකුටත් වඩා විශාල ශාඛ පත්‍රය

 සදාහරිත තෙත් වැසි වනාන්තර කියන්නෙ ජෛව විවිධත්වය අතින් ඉතාම ඉහළ පරිසර පද්ධතියක් බව කලින් පෝස්ටුවකත් සඳහන් කළා. ඒ අතර දකුණු ඇමරිකානු ඇමේසන් වනාන්තරය සුවිශේෂ එකක් වෙන්නෙ ලෝකයෙ දැන් පවතින විශාලතම වැසි වනාන්තරය වගේම වෙනත් කිසිම තැනකින් හමු නොවන අපූර්වතම ජීවි විශේෂ මුණගැහෙන කලාපයක් නිසා. මේ ඒ අතරට එකතු වෙන අලුත්ම සාමාජිකයෙක්. Coccoloba gigantifolia මෙතෙක් හමුවී ඇති විශාලතම පත්‍ර සහිත ශාක විශේෂ අතරින් එකක්. 2019 අවුරුද්දෙදි විද්‍යාඥයන් මේ ශාකය තනි ශාක  විශේෂයක් බවට නිල වශයෙන් පිළිගනු ලබනව. පර්යේෂකයන්ට මුල් වරට මේ අපූරු දැවැන්තයා මුණගැසෙන්නේ 1983 අවුරුද්දේ ඇමේසන් වනයේ Madeira ගංගා ද්‍රෝණිය ආශ්‍රිතව. Coccoloba gigantifolia  ගසක් සාමාන්‍යයෙන් අඩි 50 ක් පමණ උසට වැඩෙනව. ගසේ විශේෂම කොටස වුණු ගසේ පත්‍රයට අඩි 8 ක් පමණ දිගකින් වර්ධනය වීමට හැකියාව තිබෙනව. (පින්තූරයෙ ඉන්නා මිනිසා සමග සන්සන්දනය කරල පත්‍රයේ විශාලත්වය අනුමාන කරගන්න) මේ තරම් විශාල පත්‍ර ගසක පිහිටන්නේ කියල ඔබ පුදුම වේවි. නමුත් සම්පූර්ණ ගසම දැක්වෙන ඡායාරූප වලට අනුව ගසේ මුදුනෙන් පත්‍ර කීපයක් පමණයි හටගන්නෙ. (පළමු කමෙන්ටුවේ) මේ ගස ඉතාම දුර්ලභ එකක්. දැනට සොයාගෙන තිබෙන්නෙත් ගස් කීපයක් පමණයි. කොහොම වුණත් විද්‍යාඥයන් මේ ගස වෙනම ශාක විශේෂයක් විදිහට පිළිගත්තේ නැහැ. ඔවුන් ගසක බීජ ලබාගෙන ගසක් සම්පූර්ණයෙන් වැඩි වර්ධනයවී මල් ඵල හටගන්නා ආකාරය නිරීක්ෂණය කරල තමයි ඒ තීරණය අරගන්නෙ. (මල් සහ ඵලය අද්‍යයනය කිරීම ශාඛ වර්ගීකරණයට අවශ්‍යම දෙයක්) ඉතින් ඔවුන්ට මේ කාර්ය සම්පූර්ණ කරන්න ලැබෙන්නෙ වසර 13 කට පසු 2019 අවුුරුද්දෙ. දැනට සිදුවෙමින් යන සීග්‍ර වන විනාශයන් සහ දේශගුණ විපර්යාසයන් එක්ක මේ ගස සම්පූර්ණයෙන්ම වඳවී යැමේ තර්ජනයට දැඩිව මුහුණපා තිබෙන බව තමා සඳහන් වෙන්නෙ.






Thursday, November 19, 2020

මිහිමත ජීවයේ හෙට දවස - David Attenborough : A Life on our planet

සර් ඩේවිඩ් ඇටන්බරෝ, මේ මොහොත වන විට ජීවතුන් අතර වටිනාම මිනිසුන් කිහිපදෙනා අතරට නම් කල හැකි කෙනෙකු බව කීවොත් එහි වරදක් නෑ. 1926 වසරේ උපත ලැබූ ඔහු ඉන්පසු මිනිස් ශිෂ්ටාචාරයේ ඇති වූ ලෝක යුදධ, කාර්මිකරණයේ ව්‍යාප්ත වීම, සඳ තරණය කිරීමේ පටන් එදිනෙදා ජීවිතයේ වැඩ පහසු කරන යන්ත්‍ර සූත්‍ර බිහිවීම, ගුවන්විදුලිය, රූපවාහිනිය, පරිගණකය, අන්තර්ජාලය, ඉන්පසු ස්මාර්ට් ජංගම දුරකත දක්වා මෑත ඉතිහාසය තුළ සිදුවුණු තීරණාත්මක වෙනස්වීම් සියැසින් දුටු සාක්ෂිකරුවෙකි. ඒ සියලුදේටම වඩා සන්නිවේදකයෙකු, ස්වභාවධර්ම විද්‍යාඥයෙකු ලෙස පෘථිවියේ අස්සක් මුල්ලක් නෑර සැරිසැරුවෙකි. උත්තර අර්ධගෝලයේ හිම තලාවන් අතරද, අත්ලාන්තික් සයුරේ නිල් තල්මසුන් සමගද, වැලි කාන්තාර සහ සදාහරිත වනාන්තර අතර ද සැරිසරමින් මෙතෙක් ලොව නොදුටු අරුමැසි සත්ත්වයන් ඒ ඒ බිම්කඩ වලට ස්වදේශක ජනකණ්ඩායම් මුල් වරට ලෝකයට අනාවරණය කලේ ය. සොබාදහම පිලිබඳ, ඔබත් මමත් නිවසේ සිට සුවපහසුව නරඹන වාර්තාමය වැඩසටන් නිපදවීම පිළිබඳ පුරෝගාමී වූයේ ඔහු ය.  ලෝකයේ විවිධාකාර පරිසර පද්ධතීන් මෙන්ම ජීවයේ පරිණාමය පිළිඳව ඔහු ඉදිරිපත් කල වැඩසටහන්වල දැනුමෙන් පරම්පරා ගණනක් පෝෂණය වී තිබේ.


දැන් ඒ මිනිසා ගෙවමින් සිටින්නෙ ජීවිතයේ සැඳෑ සමයයි. ලෝකය පිළිබඳ මෙතෙක් අත්දුටු දෑ ඇසුරෙන් මිනිස් වර්ගයාගේ අනාගතය පිළිබඳ ඔහුට කීමට යමක් ඉතිරිව තිබේ. එහෙත් ඒ පණිවුඩය එතරම් සුබදායි එකක් නොවේ. මිනිසාද, ගස් කොළ සතුන් සමගම සොබාදහම නම් විශාල ජාලයෙහි එක  පුරුකක් පමණක් බව කීවේ රතු ඉන්දියානු නායක සියැටල් ය. දැන් මිනිසා සැම අතින්ම බලවතෙකු වී, ලෝකයේ පාලකයා වී තමන්ගේ කෙටි කාලීන ආර්ථික වාසි වෙනුවෙන් සොබාදහමේ ජාලය විනාශ කර දමමින් සිටියි. එනම් දිගුකාලීනව ඔහු තමන්වම විනාශයේ මුවදොර දක්වා ගෙනයමින් සිටියි. 1930 දශකයේ පෘථිවියේ සමස්ත වන වැස්ම 60% අගයක් ගෙන තිබූ අතර අද එය 30% ආසන්නයට පැමිණ තිබේ. ලෝකයේ සමස්ත වැසි වනාන්තර හරි අඩක් මේ වනවිට සහමුලින් වැනසී ගොස් හමාරය. මේ හේතුවෙන් වායුගෝලයේ කාබන්ඩයොක්සයිඩ් ඉහළයාම, ගෝලීය උෂ්ණත්වය ඉහළ යාම නිසා උතුරු දකුණු ධ්‍රැව ආශ්‍රිත අයිස් දිය වීම, සාගරයේ මූලික ආහාර ප්‍රභවය මෙන්ම පෘථිවියේ ඇති ඔක්සිජන් ප්‍රමාණයෙන් අතිශ්‍ය බහුතරය නිපදවන කුඩා සාගර ජීවීන් විනාශ වීම, පානීය ජලය හිඟ වීම, මේ ආදී අර්බුද ගණ්නාවකට අප මුහුණපා සිටී. David attenborough විසින් 2019 ලෝක ආර්ථික  සමුළුවේ තම දේශනයක් අතර තුර උතුරේ හිම දියවීම නිසා පීඩා විඳින වල්රස් සතුන් ගේ දර්ශන පෙළක් ඉදිරිපත් කරයි. එය නරඹන්නන්ගේ දෑස් වලින් කඳුළු කඩා හැලෙයි. අපි අපේ පැවැත්ම වෙනුවෙන් පෘථිවියේ අනෙක් ජීවීන්ට වේදනාව උරුම කරදීමට තරම් ආත්මාර්ථකාමි ජාතියක් වූයේ කෙසේ ද?

2020 වසරේ Netflex ආයතනය විසින් බෙදාහරිනු ලැබූ මෙන්ම ලෝකයේ විවිධාකාර පරිසර පද්ධතීන් පිළිබඳ අසමසම රූපමය පෙළහරක් වූ A life on our planet වාර්තා වැඩසටහන තුළින් David Attenborough සියවසකට ආසන්න තම දිවිසැරියෙහි සැමරුම් නැවත මෙනෙහි කරයි. කැලෑ බෙරි පඳුරු අතරේ උනන්දුවෙන් දුව පනිමින් හිඳ ගහ කොළට පෙම් බැඳීමට ගත් කුඩා දරුවා ලෝකයේ එතෙක් මිනිස් පා පහස නොලත් බිම් කඩවල් තුල ජීවයේ පැවැත්ම සොයා යන සංචාරකයෙකු වූ අයුරු විස්තර කරයි. කාලයත් සමග තමා දැක පුරුදු ගහ කොල සතුන් වියැකී යමින් පරිසරය තුළ සිදුවූ වෙනස්වීම ඔහු පැහැදිලි කරයි. මේ අනුව අනාගතයේ එළඹීමට අනිවාර්ය වූ විනාශයන් ගෙන් ගැලවීමට නම් අප කල යුත්තේ කුමක් දැයි මෙම වැඩසටහනින් ඔහු යෝජනා කරයි. අපටත් අප දරු පරම්පරාවන්ටත් ඉදිරියට මුහුණපෑමට සිදුව ඇත්තේ කවර තත්ත්වයකටදැයි අප දැන සිටිය යුතුය. අප නොදැන අප ගමන් කරමින් සිටින්නෙ කොයි දිසාවකට දැයි අවබෝධ කරගත යුතුය. ඒ නිසා Life on our planet සෑම මිනිසෙකුම අනිවාර්යයෙන් නැරඹීය යුතුය. මේ මිනිසාගෙ හඬට අප සවන්දිය යුතුය.

"අපි විසින් පරිසරය රැකබලාගනු ලැබුවොත්, පරිසරය විසින් අපව රැක බලා ගනීවි"

ඔහු පවසයි.

"බුද්ධිමත් කම හෝ, කාර්‍යශූර බව ප්‍රමාණවත් නෑ. අපට දැන් වඩාත්ම අවශ්‍යවී තිබෙන්නෙ ප්‍රඥාව "

A life on our planet සොබාදහමට පෙම් බැඳ ඒ සමග තම ජීවිත කාලය ගත කල  මුනිවරයෙකුගේ ප්‍රකාශනයකි.



Wednesday, October 14, 2020

කෘමී ලොවේ දැවැන්තයෙක් Titan Beetle

දකුණු ඇමරිකානු වැසි වනාන්තර කියන්නෙ නොයෙක් ආකාරයේ අරුම පුදුම සත්ත්වයින්ට නවාතැන් දෙන පාරාදීසයක් වගේ කිව්වොත් වඩා නිවැරැදියි. කෘමි සත්ත්වයන් අරගත්තත් ඒ වගේ අපූරුම විශේෂ ගණනාවක් මේ කලාපයෙන් හමුවෙනව. Titan Beetle ඒ අතරෙන් විශේෂයි. දකුණු ඇමරිකාවේ පමණක් නොවෙයි මුලු ලෝකෙන්ම විශාලම කෘමි සතුන් අතර එක් විශේෂයක් Titan Beetle. අඟල් 6.5 ක් පමණ දිගට, වැඩුණු මිනිසෙකු ගෙ සම්පූර්ණ අතලේ ප්‍රමාණයට ආසන්න දිගකින් මේ Titan Beetle කෘමියෙක් වර්ධනය වෙනව. ඔබ කවුරුත් දන්න විදිහට කෘමි සතුන් මුලින්ම පිලා අවධියක් පසු කරමින් තමයි සම්පූර්ණ  වැඩුණු අවස්‍තාවට පත් වෙන්නෙ. ඒත් තවම Titan Beetle වර්ගයෙ පිලවෙක් සොයාගන්න ලැබිල නැති බවයි වාර්තා වෙන්නෙ. මේ පිලවෙක් අඩියක් පමණ දිග විය හැකි බව අනුමාන කරනව. පියාපත් පිහිටා තිබුණත් ශරීරයෙ විශාලත්වය නිසා පොළවේ ඉඳගෙන පියාසරන්න මේ කෘමියාට හැකියාවක් නෑ. ගසක නැත්නම් වෙන ආධාරකයකින් ඉඳගෙන වාතලයට පැනීමෙන් මොවුන් පියාසැරිය ලබාගන්නෙ. පියාඹන අවස්‍තාවෙ සෑහෙන ලොකු ශබ්දයක් නික්මෙන බව තමයි කියන්නෙ. විශේෂයෙන් දකුණු ඇමරිකානු කලාපයෙ සංචාරකයන් මේ සත්ත්වයන් සියැසින් දැකගන්න උත්සාහ කරන නිසා සංචාරකයන් අතරේ සෑහෙන ජනප්‍රියත්වයක් උසුලන බව කියවෙනවා. කොහොම නමුත් වනාන්තර විනාශය නිසා වඳවී යෑමේ තර්ජනයට මුහුණදි ඉන්න අපූරු කෘමි සත්ත්වයෙක් Titan Beetle.




Saturday, May 2, 2020

Planet Earth

සෞරග්‍රහ මණ්ඩලයෙ ඈත කෙළවරක පුංචි නිල්පාට තිතක් වගේ දිස්නෙ දෙන පෘථිවි ග්‍රහයාගෙ ඡායාරූපය ඔබ කවුරුත් දැකල ඇති. ජීවිතකාලෙ ඇතුලෙ කොටස් වලට බෙදාගෙන, එකිනෙකා කාකොටාගෙන තමන්ගෙ කියාගෙන අත්පත් කරගන්න උත්සහ කරන හැමදෙයක්ම තියෙන්නෙ මේ පොඩි තිතක් ඇතුලෙද කියල හිතනකොට දැනෙන්නෙ විස්මයක්. නමුත් ඇත්තටම මේ පුංචි තිත ගැන වුණත් මේකෙ සැකැස්ම ගැනත් පරිසර පද්ධතීන් ගැනත් අපිට අල්පමාත්‍ර තරමින් වත් දැනුමක් තියනවද? අපි පය ගහළ ඉන්න පොළව ගැන අපිට තියෙන්නෙ කොයි වගේ දැනුමක් ද..

BBC ආයතන 2006 අවුරුද්දෙ දි පෘතුවියේ විවිධාකාර පරිසර පද්ධතීන් ගැනත්, මෙතෙක් මිනිස් ඇසට ලක් නොවුණු ජීවි කාණ්ඩයෙන් ගැනත් රූගත කරල Planet Earth නමින් වැඩසටහන් පෙළක් නිෂ්පාදනය කරනව. මේ වැඩසටහන් මාලාවෙ පසුබිම් කථනය කරන්නෙ, ජාතික රූපවාහිනීයෙ "මිහිමත ජීවය" නමින් විකාශය වූ වැඩසටහන් පෙළ ඉදිරිපත් කල සහ ලෝක පූජිත කීර්තිමත් ස්වභාවධර්ම විද්‍යාඥයෙක් වුණ සර් David Attenborough මහත්මය.

Planet Earth වැඩසටහන පැයක කොටස් 11 කින් සමන්විත වෙනව.

1. From Pole to Pole

උත්තර ධ්‍රැවයේ ඉඳන් තයිගා, තුන්ද්‍රා බිම් හරහා සෘතු වෙනස්කම් සිදුවෙන පතනශීලී වනාන්තර පසු කරල සදාහරිත වැසිවනාන්තර දක්වාත් ඉන්පස්සෙ දක්ෂිණ ධ්‍රැවයටත්, පෘතුවියේ උතුරේ සිට දකුණට චාරිකාවක්. රුසියානු වනාන්තර වල වාසය කරන සහ මිනිස් ඇසට අසු නොවෙන අති දුර්ලභ "අමූර් දිවියන්" ගේ රූප පෙළක් මේ කොටසට ඇතුලත්.

2. Mountain

කඳු නැගීමේ සූරයන් වන එළු විශේෂයක් වුණ Ibex සතුන් වෙසෙන ඉතියෝපියානු කඳු, හුදෙකලා දඩයක්කරුවන් වුණ Puma දිවියන් වාසය කරන අන්දීස් කඳු ඇතුළු ලෝකයේ දකින්න ලැබෙන නොයෙක් ආකාරයෙ කඳුකර පරිසර පද්ධතීන්. සියළු කඳු අතර කිරුළු පළන් රජු වුණ හිමාලයේ එවරස්ට් කන්ද සහ එවරස්ට් කන්දටත් උඩින් පියාසරන කොකුන් මේ කොටසට ඇතුලත්.

3. Fresh Water

මෙලොව ඇති සියලු ජල ප්‍රමාණයෙන් මිරිදිය තිබෙන්නෙ 3% වගේ සුළු ප්‍රමාණයයි. මේ මිරිදියේ ජීවත් වන මසුන් සහ නොයෙක් ආකාරයෙ සතුන් මේ කොටසෙ දැකගන්න පුලුවන්. ලෝකයේ උසම දිය ඇල්ල වුණ වැනිසුවෙලාවෙ ඒන්ජල් ඇල්ල ගැනත් මේ කොටසෙ ඇතුළත්.

4. Caves

ගල් ගුහාවක් කියන්නෙ අන්ධකාරය තුළම වැසීගිය සහ අපිට හිතාගන්න බැරි ආකරයෙ අමුතුම ජීවීන් වාසය කරන තැනක්. ලෝකයෙ ගැඹුරුම ගල්ගුහාව විදිහට සැලකෙන අඩි 1300 ක් ගැඹුරු මැක්සිකානු Cave of Swallows ගල් ගුහාවත් ගුවන් යානයක් නවත්වා තැබීමට තරම් සුවිශාල බෝර්නියෝවේ Gomantong Cave ගුහාව ඇතුළු තවත් ගල් ගුහා පද්ධති ගණනාවක් මේ කොටසෙ දැකගන්න පුලුවන්.

5. Deserts 

කාන්තාරයක් කිව්වම මතක් වෙන්නෙ නිමක් නැති වැලි පොළවක්. ඒත් ගස් කොළ වැවෙන කාන්තාර පවා තිබෙන බව විශ්වාස කරන්න පුලුවන්ද. මේ කොටසට ගිණියම් වෙන තරම් ඉහළටත් හිම මිදෙන තරම් පහළටත් උෂ්ණත්වය වෙනස් වන, ජලය හිඟ, වැලි කුණාටු හමායන කාන්තරවල ජීවිතය පවත්වාගෙන යන්න හැඩගැහුණු ජීවීන් ගැනත් ලෝකයෙ නොයෙක් රටවල තියෙන කාන්තාර ගැනත් ඇතුළත්

6. Ice Worlds 

මේක මම දුටුව සංවේදීම කොටස

මහ සාගරය මැද ජිවිතය පවත්වාගන්න වල්රස් සතුන් පිරිසක් මැද හුදෙකලා සටනක යෙදෙන හිම වලසෙකු ගැන හද කම්පා කරවන දර්ශන පෙළක් මේ කොටසෙ ඇතුළත් වෙනව. 

නමින් කියවෙන ආකාරයට මේ කොටසෙ දකින්න ලැබෙන්නෙ උතුරු සහ දක්ෂිණ ද්‍රැවාසන්න හිම මිදුණු බිම් වල වාසය කරන සතුන් ගැන.

7. Great Plains

සැවානා, ස්ටෙප්ස්, තුන්ද්‍රා.. මේ නම් වලින් හැඳින්වෙන තැනිතලා බිම් ගැනත්, ඒවායෙ වාසය කරන බයිසන් ගවයින්, යැක් ගවයින්, වෘකයන් ආදි සතුන් ගැනත් මේ කොටසෙ ඇතුළත්. සොබාදහම ඇතුලෙ ජීවිතය කියන්නෙ සටනක්. සමහර සතුන් ජීවිත් වෙන්නෙ තව එකෙක් ආහාරයට ගැනීමෙන්. තැනි බිම් වල දඩයම් කරන්නෝත් දඩයමට ලක්වෙන්නෝත් ගැන බහුල වශයෙන් මේ කොටසෙ ඇතුළත්.

8. Jungles

හැමදාමත් කොළපාටින් බබලන සදාහරිත වැසිවනාන්තර වලටයි මෙ කොටසෙ ඉඩක් වෙන් වෙන්නෙ. වැඩි වනාන්තර කියන්නෙ ලෝකෙ වැඩිම ජෛව විවිධත්වයක් දකින්න ලැබෙන පරිසර පද්ධතියක්. නිව්ගිනියානු වැසි වනාන්තර, අප්‍රිකානු කොංගෝ වනාන්තරය ගැන මේ කොටසින් දැකගන්න පුලුවන්.

9. Shallow Seas

තල්මසුන්, ඩෝල්ෆින්, මුහුදු සිංහයින් ඇතුළු නොයෙක් සාගර ජීවීන් මේ කොටසෙ ඇතුලත්. වැඩි ඉඩක් වෙන් වෙන්නෙ තල්මසුන්ගෙ ජීවන රටාවන් වෙනුවෙන්. ඔවුන්ගෙ නොයෙක් ආකාරයෙ චර්‍යාවන් මේ කොටසෙ දැකගන්න පුලුවන්.

10 Seasonal Forrests

පෘතුවියේ සමකයට උතුරෙන් සහ දකුණෙන් නිරක්ෂ රේඛාවන් ආශ්‍රිතව පතනශීලී වනාන්තර දැකගන්න ලැබෙනව. මේ වනාන්තර වල විශේෂත්වය අවුරුද්ද පුරා පැහැදිලිව දැකගන්න පුලුවන් ඍතු මාරුවට ඔරොත්තු දෙන ආකාරයට අනුවර්තනය වී තිබීම. ජෛව විවිධත්වය අඩු නමුත් මේ කලාපයෙ දකින්න ලැබෙන සත්තවන් මේ කොටසට ඇතුළත්. ඒ වගේම පෘතුවියේ දැනට පවතින පැරණිම ශාඛ වර්ගයක් වෙන කැලිෆෝනියාවේ දැවැන්ත රෙඩ් වුඩ් ගස් ගැනත් මේ කොටසෙ විස්තර ඇතුලත් වෙනව

11. Ocen Deep

ගැඹුරු මුහුද කියන්නෙ වෙනම ලෝකයක්. තවමත් මිනිසාට මේ කලාපය ගැනත් එහි වාසය කරන ජීවීන් ගැනත් ලොකු අවබෝධයක් නෑ. ගැඹුරු මුහුදත් එහි අඳුරේ වැසී ඇති අභිරහස් ගැනත් මිනිසාට ඇති දැනුම අල්පයි. ඉතින් මේ කොටස ඒ අන්ධකාර සාගර ගැඹුරේ පවතින ජීවය සොයායන්න ගත්ත උත්සාහයක් විදිහට හඳුන්වන්න පුලුවන්.

Planet Earth වැඩසටහන් මාලාවෙ වැදගත් කම ආයෙත් අමුතුවෙන් පැහැදිලි කලයුතු නෑ. කොහොම රූගත කලාද කියල හිතාගන්න බැරි අති දුර්ලභ රූප රාමු ගණනාවක් ම මේ වැඩසටහනේ ඇතුළත් වෙලා තියෙනව. කෙනෙකුට ජීවිතයෙ ලබා ගන්න පුලුවන් මිල කල නොහැකි වටිනාම අත්දැකීමක් Planet Earth. හැකියාව ඇති හැම කෙනෙක්ම මගනොහැර මේක බලන්න.



Sir David Attenborough


Wednesday, January 8, 2020

ජනාධිපති වරයෙකුට සමාන වෙන දළඹුවෙක්!

දළඹුවෙක් කොහොමද ජනාධිපති වරයෙකුට සමාන වෙන්නෙ? මේක මහ පුදුම කතාවක් නෙ! එහෙම හිතුණා නම් Southern Flannel Moth නමින් හඳුන්වන සලබයා ගෙ දළඹු අවධිය දැක්වෙන මේ පින්තුරය හොඳින් බලන්න. නිසැකවම යම් කෙනෙක් මතකයට ඒවි. ඔව් ඔබ හඳුන ගත්තා නම් ඒ තමා ඇමරිකානු ජනාධිපති Donald Trump! මේ Southern Flannel Moth දළඹුවා ජනාධිපති Donald Trump ගේ හිසකෙස් විලාසිතාව සිහිගන්වනවා! ඒ නිසාම විද්‍යඥයින් මේ සත්ත්වයා ව Trumpapilar (Trump + Caterpillar) නමින් හඳුන්වනවා. ලස්සනට පෙනුණත් මේ කෙඳි ඉතාම විෂ සහිතයි. ඒ වගේම Flannel Moth සලබයා ත් විෂ සහිතයි.. මේ සලබ විශේෂය සොයාගන්න ලැබෙන්නෙත් ඇමරිකාවේ දකුණු දිග කලාපයෙන් සහ මද්‍යම ඇමරිකාවෙන්. තිරිසන් සත්ත්වයා ගේ තුඩග විෂ ඇති බවත් මිනිස් සත්ත්වයා සියොළඟ ම විෂ සහිත බවක් කියන පුරාණ කියමනක් මේ වෙලාවෙ මතකයට එන්නෙ. ඒ අතින් මිනිස්සු මේ සත්ත්වයන්ට කොයිතරම් සමාන ද!!


Trumpapilar දළඹුවා


Southern Flannel Moth


Southern Flannel Moth


Thursday, January 2, 2020

ශාඛ ලෝකයේ "ගිනි මකරා"

මෙහෙම පුංචියට හිටියට මෙයා ලේසි පහසු කෙනෙක් නෙමේ. මේ තමා ලෝකෙ සැර අධිකම මිරිස් වර්ගය විදිහට සැලකෙන Dragon's Breath මිරිස් වර්ගය. ආහාර වල සැර ප්‍රමාණය මැනීමට යොදාගන්නෙ Scoville units නම් ඒකකය අනුව Bell Pepper කරලක සැර ප්‍රමාණය Scoville Units 0 යි. සාමාන්‍ය රතු මිරිස් කරලක් Scoville unit 100 ක් පමණ වෙනව. Dragon's Breath මිරිස් කරලක් Scoville units මිලියන 2.48 ක් සැරයි!! කෙනෙකුට වැරදිල හරි මේ මිරිස් කරලක් කැවුනොත් වෙන්නෙ ස්වසන පද්ධතිය පිච්චිලා ගිහින් ඒ පුද්ගලය මියයෑම! Dragon's Breath මිරිස් වර්ගය නිපදවන්නෙ Mike Smith නම් එංගලන්ත ජාතිකයෙක්. මෙය හුදෙක් විනෝදයට කල දෙයක් මිස මිනිස් ආහාරය සඳහා කල නිපැයුමක් නොවෙන බවයි ඔහු කියන්නෙ. කොහොමත් Dragon's Breath මිරිස් ක‍රලක් ආහාරයට ගන්න කෙනෙක් ඒ ජීවිතයට ගන්න අවසාන කෑම වෙන බව කියන්න ඕන නෑ.





Mike Smith 


Friday, August 23, 2019

ගිනිගෙන දැවෙන මිහිතලයේ පෙණහළු යුගල


පෘථිවියේ සමස්ත ඔක්සිජන් අවශ්‍යතාවයෙන් 20% ක් පමණ සපුරාලන මිහිතලයේ පෙණහළු නමින් හදුන්වන ඇමේසන් වනාන්තරය ගින්නට දැවීයන හැටි බලා ඉන්නෙ විශාල හිත් වේදනාවකින්. මේ නිවර්තන වැසි වනාන්තර වර්තමානය වන විට පවතින්නෙ මුලු පෘථිවිතලයෙන්ම 6% ක් තරම් ප්‍රමාණයක්. නමුත් දැනට හඳුනාගෙන ඉන්න සියලුම ආකාරයේ ජීවීන්ගෙන් 50% කට ත් වඩා වැඩි ප්‍රමාණයක් ජීවත්වෙන්නෙ මේ වැසි වනාන්තර වල. ජෛව විවිධත්වය ඉතාම ඉහළ අගයක් ගන්න මේ වනාන්තර වල හක්ටාරයක වර්ග ප්‍රමාණයේ භූමියක ශාක විශේෂ පමණක් 480 ක් පමණ හමුවෙන බව පැවසෙනවා. මුලු යුරෝපයේම සමනලුන් විශේෂ සිටින්නේ 320 ක් වුණත් පෙරුවියානු එක් වැසි වනාන්තරයක පමණක් සමනල් විශේෂ 1300 ක් පමණ සොයාගෙන තිබෙනවා. තවමත් මිනිස් ඇසකට අසු නොවුණ ගහ කොළ සතුන් මේ වැසි වනාන්තර වල පැවතීමේ ඉඩකඩ ඉතාම ඉහළයි. ඉතින් එවැනි අසීමිත ජීවයක් මේ නිස්කාරණේ දැවී යන්නෙ.. පරසරයට ගහට කොළට ආදරය කරන මිනිස්සු සෑහෙන කම්පාවට පත්වී ඉන්න මොහොතක්. තමන්ගෙ සහචරයින්ට වනාන්තරය එළිකරන්න ඉඩදීල ඇස්කන් පියාගෙන ඉන්න බවට බ්‍රසීල ජනපති වරයාට මූලිකවම චෝදනා එල්ල වෙමින් තිබෙනව. විල්පත්තුව කැලෑව කැපීම, කන්කොටා දළපූට්ටුවා වගේ වටිනා සත්තු අමු අමුවෙ මරාදැමීම වගේ අත්දැකීම් අපිට තියනව. දේශපාලනය කියන්නෙ ඕනැම ජරාජීර්ණ තුච්ච වැඩක් කරගන්න පුලුවන් ලයිසන් එකක් විතරයි දැන්. සදාහරිත වනාන්තරයක් සදා ශෝකයේ මළගමක් බවට පත්වෙන අතරේ ක්‍රමයෙන් වැනසීයන මේ සම්පත රැක ගැනීමට ගෝලීය වශයෙන් ක්‍රියාත්මකවෙන වැඩ පිලිවෙලක අවශ්‍යතාව දැඩිව මතුවෙන මොහොතක් මේ. ලෝක බලවතුන්ගේ දේශපාල පොරපිටියේ තමන්ගේ බලය රැකගැනීම වෙනුවෙන් එකිනෙකා කුලල්කාගනිමින් ඉන්න අතරෙ මේ මිල කල නොහැකි ස්වභාවික සම්පත් වල ඉරණම මොකක්ද? අපට කල හැකි දෙය බලා හිඳීම පමණක් ද කියන ගැටලුව අවසානෙ ඉතිරි වෙන්නෙ

ඇමේසන් වනයෙහි ඇවිලීයන ගින්න



ඇමේසන් වනාන්තරයට ආවේණීක සත්ත්වයන් කිහිප දෙනෙක්. මේ වනාන්තරය විනාශවි ගියහොත් මේ සතුන් සදහටම මිහිමතින් තුරන්වී යනු ඇත...

ජගුවාරයා  - Jaguar


මැකෝ ගිරවා - Macaw


කෘන්තකයන්ගේ පවුලේ දැවැන්තයා කැපිබාරාවා - Capybara


ඉතා මන්දගාමිව හැසිරෙන ස්ලොත් හෙවත් මන්දයා - Sloth


යෝධ කුහුඹු කන්නා - Giant Anteater


ඇනකොන්ඩා - Anaconda


සිංහ මුහුණැති ටැමරින් - Golden Lion Tamarin


ලොව ශක්තිමත්ම රාජාලියා ලෙස හැදින්වෙන හාපි රාජාලියා - Harpy Eagle 




Monday, August 5, 2019

කොට්ටෝරුවා සහ කෑරලා

කොට්ටෝරුවා කිව්ව ගමන් අපේ ඔලුවෙ මැවෙන්නෙ ගස්වලට කොටමින් යන දිග හොටක් තියන රතුපාට කුරුල්ලෙක්ව. "කොට්ටෝරුව ගහෙන් ගහට කොට කොට යනවා කෙහෙල් ගහට කොටපුවාම හොට පැටලෙනවා" කියන්නෙ ඒකනෙ. නමුත් කොට්ටෝරුවා කියන්නෙ එහෙම ගහෙන් ගහට කොටමින් යන කුරුල්ලෙක් නෙමේ! කොට්ටෝරුවා කියල අපි හඳුන්වන කුරුල්ලා ගෙ ඇත්තම නම තමා කෑරලා. මේ Woodpecker නමින් හඳුන්වන කුරුල්ලාගේ නම සිංහලෙන් කෑරලා වියයුතුයි. මග හඬින් සද්ද නගමින් ගස් වලට කොටන්නේ කෑරලා තමයි. කෑරලුන් විෂේශ ගණනාවක්ම අපේ රටේ දක්නට ලැබෙනවා. මේ මුල්ම  පින්තූරෙ ඉන්නෙ අපිට බහුලවම දකින්න ලැබෙන රතුපිට රත් කෑරලා (Red backed woodpecker) . එතරම් සුලබ නොවුණත් රන් පිට රත් කෑරලා (Golden backed woodpecker) කහ පිට මහ කෑරලා (Black backed yellow woodpecker) බොර ඉයැසි ගෝමර කෑරලා (brown capped pygmy woodpecker) පුංචි කාවුරු කෑරලා (Small scaly bellied woodpecker) කහසිළු ගෝමර කෑරලා (Yellow crowned woodpecker)  හීන් කහ ගෙලැසි කොළ කෑරලා (Lesser yellow napped woodpecker) කියන කෑරලුන් විශේෂ ලංකාවෙන් හමුවෙනව. කෑරලාගෙ ශරීරයෙ තියන සුවිශේෂී පිහිටීමක් තමා අසාමාන්‍යය තරම් දිගට වැඩෙන උන්ගේ දිව. මේ ඉතා දිගු දිව ගස් කඳන් හාරද්දී ඒ තුල ඉන්න කෘමි සතුන් පණුවන් ආහාරයට ගන්න උදව්වෙනව.

එතකොට කොට්ටෝරුවා කියන්නෙ කාටද? මේ හත්වෙනි පින්තූරයෙන් පස්සෙ ඉන්න කුරුල්ලන් තමා නිවැරදිව කොට්ටෝරුවා (ඉංග්‍රීසියෙන් Barbet) විදිහට හඳුන්වන්නෙ. පින්තූරයෙ ඉන්නෙ  අපි පොළොස් කොට්ටෝරුවා නමින් හඳුන්වන Brown headed barbet.. රන් නළල් කොට්ටෝරුවා (Yellow fronted barbet) සහ රත් මුහුණත් කොට්ටෝරුවා (Crimson fronted barbet) ශ්‍රී ලංකාවට ආවේණික කුරුල්ලන්. කොට්ටෝරුවා ආහාරයට ගන්නේ ඉදිණු පළතුරු. මේ කුරුල්ලන් ජීවත්වෙන්නෙ නිවර්තන කලාපීය රටවල. කොට්ටෝරුවාට කෑරලා තරම් ගස් හෑරීමේ හැකියාවක් නෑ. ඒ නිසා දිරා ගිය ගස් කඳක හදාගත් බෙනයක නැත්නම් බොහෝ වෙලාවට කෑරලෙක් අතහැරගිය තැනක තමා කොට්ටෝරුවන් වාසස්ථානය සඳහා තෝරාගන්නෙ.


රතුපිට රත් කෑරලා (Red backed woodpecker)

රන් පිට රත් කෑරලා (Golden backed woodpecker) 

කහ පිට මහ කෑරලා (Black backed yellow woodpecker)

බොර ඉයැසි ගෝමර කෑරලා (brown capped pygmy woodpecker)


පුංචි කාවුරු කෑරලා (Small scaly bellied woodpecker)

කහසිළු ගෝමර කෑරලා (Yellow crowned woodpecker)

හීන් කහ ගෙලැසි කොළ කෑරලා (Lesser yellow napped woodpecker)

පොළොස් කොට්ටෝරුවා  Brown headed barbet

රන් නළල් කොට්ටෝරුවා (Yellow fronted barbet)

රත් මුහුණත් කොට්ටෝරුවා (Crimson fronted barbet)



Monday, June 17, 2019

සොබාදහමේ විස්මිත කඳුනගින්නන්


කුරසහිත සත්ත්වයන්ගේ කුලයේ සාමාන්‍ය ගෘහාශ්‍රිත එළුවන් සහ බැටළුවන් අයිති වෙන (Caprinae) උපවිශේෂයට අයිති වෙන සත්ත්වයන් කදුනැගීමට විශේෂ හැකියාවක් පෙන්වනවා. ඒ අතර ඇමරිකානු රොකී කඳුකර එළුවන් (Rocky Mountain Goats), අයිබෙක්ස් (Ibex) සත්වයන් සහ කඳු ඇසුරු කරගෙන වාසය කරන දිගු අං ඇති බැටලුවන් සුවිශේෂයි (Bighorn Sheep). ඔවුන් මිහිමත ඉන්න හොඳම කඳු නගින්නන් විදිහට හැදින්වුවත් වරදක් නෑ.  අංශක අනූවක තරම් බෑවුමක් තිබුණත් කන්දක ,ප්‍රපාතයක, තාප්පයක ඕනෑම උසකට, මතුපිට කඩතොලු වලට කුර තබමින් ඉහළට නගින්න මේ සත්ත්වයන්ට තිායන හැකියාව පුදුමාකාර එකක්! ගුරුවාකර්ෂණ බලය විහිලුවට ගත්ත සත්වකොට්ටාශයක් විදිහට මේ කඳුකර එළුවන් හඳුන්වා දෙන්න පුලුවන්..


වේල්ලක සිරස් බිත්තිය තරණය කරන ඇල්පයින් අයිබෙක්ස් (Alpine Ibex) සතුන්




උතුරු ඇමරිකානු රොකී කදුකරයට ආවේණික කදුකර එළුවන් (Rocky Mountain Goats)




දිගු අං ඇති බැටළුවන් (Bighorn Sheep)






Monday, September 10, 2018

පණ ඇති පොසිලය


අප්‍රිකාවේ නැමීබියානු කාන්තාරවල වැඩෙන welwitschia ශාකය වසර මිලියන ගණනක සිට පැවත එන බැවින්  "පණ ඇති පොසිලය"නමින් හදුන්වයි. ගසට ඇත්තේ මුල සහ පත්‍ර දෙකක් පමණි. එම පත්‍ර දෙක විශාලව වැඩී  කැබලි වලට ඉරී යයි. හොදින් වැඩෙන welwitschia ශාකයක් අඩි 6ක් පමණ දිග වෙයි. වාර්තා වී ඇති විශාලම ශාකය උසින් අඩි 6ක් සහ දිගින් අඩි 28 ක් වී ඇත. ‍ ස්වදේශි්ක මිනිසුන් එහි මුල් ආහාරයට ගන්නා නිසා කාන්තාර ළුූනු කියාද හදුන්වයි. welwitschia ශාකයකට අවුරුදු 300 සිට අවුරුදු 1500 ක් දක්වා කාලයක් පැවතිය හැකි අතර ජලය නොමැතිව වසර 5ක් පැවතිය හැක.








Monday, May 28, 2018

ලොව ඇති හුදකලාම ගස - Tree of Life

ලොව ඇති හුදකලාම ගස ලෙස සැලකෙන ජීවයේ ගස පිහිටා ඇත්තේ 
බහරේනයේය. සැතපුම් ගණනාවකින් මෙහා කිසිදු ගහක් කොලක් නොමැති 
පාලු කාන්තාරයක පිහිටා ඇති එය වසර 400ක් පමණ පැරණිය. ම්ටර් 7.6 ක 
උසකින් යුතු එම ගසට එනම ලැබී ඇත්තේ කිසිදු ජීවයක් නොමැති කතරක පිහිටා ඇති 
එකම ජීවයේ සලකුණ මෙන් වන නිසා ය. එම ගස දැනට හදුනා ගෙන ඇති ගැඹුරුතම 
මුල පද්ධතියෙන්  සමන්විත බව කියවේ. සාමාන්‍යෙයන් එම පෙදෙසෙහි උෂණත්වය 
සෙල්සියස් අංශක 41 සිට 49 දක්වා අගයක් ගනී.  ජීවයකට පැවතීමට නොහැකි 
වියළී කතරක එකම එක ගසක් පමණක් මෙතරම් කාලයක් තිස්සේ පැවතීම 
පුදුමයක් නොවේද?









Monday, May 14, 2018

මෙතුසෙලා ගස

නැගෙනහිර කැලිෆෝනියාවේ වැඩෙන  Great Basin bristlecone pine වර්ගයට අයත් ගසක් මෙනමින් හැදින්වේ.  කලක් ලෝකයේ පැරණිම ගස ලෙස සැලකු එය වසර 4,847ක් පැරණිය. නමුත් වසර 2012 දී ඊට වඩා පැරණි (වසර 5065ක්) bristlecone pine ගසක්  සොයාගන්නා ලදී

- මෙතුසෙලා යනු බයිබලයේ එන චරිතයකි. මෙතුසෙලා,  මහා ජල ගැල්මට හසුවන නෝවා ගේ මුත්තණුවන් ය.  බයිබලයට අනුව ලොව වැඩිම කාලයක් ජීවික්වූ මිනිසා ලෙස සැලකෙන මෙතුසෙලා වසර 696ක් ජීවත් වූ බව සදහන් ය.