Thursday, September 27, 2018

Amadeus (1984)



18 වෙනි සියවසේ ඔස්ට්‍රියාවෙ සල්ට්ස්බර්ග් නුවර ජීවත් වුණ ලියෝපෝල්ඩ් කියන වයලීන වාදකයා දවසක් හරි අපූරු දර්ශනයක් දකිනව. එ් අවුරුදු පහක තරම් වයස තමන්ගේ පුංචි පුතා ගෙදර පියානෝව ලග වාඩි වෙලා කඩදාසියක මොනවද කුරුටු ගාමින් ඉන්න ආකාරය. මොනවද මේ පුතා කරන්නෙ? ලියෝපෝල්ඩ් පුතා ලගට ගිහින් අහනව. මම සංගීතය ලියනව තාත්තෙ. පොඩි එකා උත්තර දෙනව. පුංචි එකෙකුගේ තවත් විකාර වැඩක් කියල හිතන මේ ලියෝපෝල්ඩ් නිකමට පුතා ලියමින් හිටිය කඩදාසිය අරන් බලනව. එ් ඇත්තටම සංගීත ස්වර රචනාවක්! තමන්ගෙ පුතා ගෙ අසාමාන්‍ය කුසලතාව හදුනාගන්න තාත්තා ඔහුට තවදුරටත් සංගීතය ඉගෙනීමට යොමුකරනව. අවුරුදු හය වෙද්දි මේ පොඩි එකා සංගීත වාදන පවත්වමින් යුරෝපය පුරා ගමන් කරන්න පටන් අරගෙන. මේ ගමන නතර වෙන්නෙ එංගලන්තය, ඉතාලිය, ප්‍රංසය, ජර්මනිය ආදි රටවල් ගණනනාවක සංචාරය කිරීමෙන්. අවුරුදු අටේ දි මේ කොල්ල තමන්ගේ පළවෙනි සංගීත සංධ්වනිය ලියනව. අවුරුදු දහ අටක් වෙද්දි තමාගේම සංධ්වනි 30 ක් ඔහු නිර්මාණය කරල ඉවරයි. අවුරුදු තිස් පහක කෙටි ජීවිත කාලයක් ඇතුලෙ සංධ්වනි, කොනසර්ටෝ වාදන, දේවස්ථාන සඳහා ගායන, ඔපෙරා ඇතුලත්ව ස්වර රචනා 600 කට අධික ප්‍රමාණයක් ඔහු අතින් ලියවෙනව. මේ වෙන කවුරුවත් නෙමේ බටහිර සම්භාව්‍ය සංගීතෙ යුග පුරුෂයෙක් වුන Wolfgang Amadeus Mozart නැත්තම් අපි කවුරුත් දන්න විදිහට කිව්වොත් මෝ'ට්සාට්.  මෝ'ට්සාට්ගෙ ම සමකාලීන සංගීතඥයෙක් වුණ Joseph Haydn  කියපු විදිහට තව සියවස් ගණනකින් වත් මිනිස් ඉතිහාසෙ එ් වගේ දක්ෂ කමක් ආය පහළ වෙන එකක් නැහැ. 

 Amadeus  සිනමාපටය නිර්මාණය වෙන්නෙ මෝ'ට්සාට් ගෙ චරිතය මුල් කරගෙන වුණත් අපේ කතාවෙ කතා නායකයා නම් මෝ'ට්සාට් නෙමෙයි. වෙනත් පුද්ගලයෙක්. ඒ තමා ඒ වෙනකොට වියානාවෙ හිටිය ප්‍රධාන පෙළේ සංගීතඥයෙක් වුණ  Antonio Salieri. මොසාට් ගෙ මරණින් අවුරුදු ගණනාවකට පස්සෙ, මෝ'ට්සාට් ගෙ මරණෙට තමා වගකිවයුතුයි කියමින්, Salieri  උමතු රෝහලක ඉදගෙන කරන පාපොච්චාරණයක් විදිහටයි චිත්‍රපටයෙ  කතාව දිගහැරෙන්නෙ. Salieri  අත්දැකීම් බහුල දැනුමෙන් පොහොසත් සංගීතඥයෙක් වුණත්, ඔහු වඩා සාර්ථකත්වයට පැමිණෙන්නෙ, ඉහළ ජනප්‍රියත්වයක් හිමි කරගන්නෙ ඔහුටත් වඩා වයසින් බාල තරුණයෙක් වුණ මෝ'ට්සාට්. මේ නිසා  Salieri හිත යටින් මෝ'ට්සාට් ගේ නිර්මාණ වලට ආශා කරන ගමන් ඔහුට බොහොම දරුණු විදිහට ඊර්ෂ්‍යා කරන්න පෙළඹෙනව නිර්මාණකරුවන් අතරෙ මේ ඊර්ෂ්‍යාව කොයිතරම් දුරට යන්න පුලුවන්ද කියල අපිට බලන්න පුලුවන්.

කලාකරුවෙක් තමන්ගෙ නිර්මාණ වලින් තවත් කෙනෙකුට රසවින්දනයක් ලබා දෙන්නෙ තමාත් එය රස විඳින ගමන්. මේ ‘රහ‘ ගැන සංවේදී තාවය ඔහුගෙ ජීවිතේ ඇතුළෙම තියෙන්න ඕන. ඒ කියන්නෙ උපරිමයෙන් ම ජීවිතේ විඳින කෙනෙකුටම තමා තවත් කෙනෙකුව සතුටු කරන්නත් පුලුවන්. මෝ'ට්සාට් තුලින් අපි දකින්නෙත් මේ වගේ උතුරල පිටාර යන මනුස්ස ජීවියෙක් ව. නිතරම දෙපැත්ත කැපෙන විහිලු කතා කියන, රාජ සභාවක වුණත් කෑ ගහල හයියෙන් හිනාවෙන, උත්සව සාද මිතුරු ආශ්‍රයෙන් අඩුවක් නැති, මුදල් වියදම් කරද්දි සීමාවක් නැති අතීශය විනෝදකාමි චරිතයක් විදිහට තමා මෝ'ට්සාට් හදුනාගන්න පුලුවන්. A Musical Joke නමින් උපහාසාත්මක ස්වර රචනාවක් පවා මෝ'ට්සාට් නිර්මාණය කර තියනව. Salieri ගෙන් නියෝජනය වෙන්නෙ මේකෙ ප්‍රතිවිරුද්ධ  අන්තය. ඔහුට අවශ්‍ය ජනප්‍රිය වෙන්න. සාර්ථකත්වය ලබා ගන්න. මිනිස්සු තමන්ගෙ නිර්මාණ ගැන කතා වෙන හැටි දකින්න. මේ ගමනට බාධකයක් විදිහට තමා ඔහු මොසාට් ව දකින්නෙ. ඒ නිසා ඔහු නිතරම මෝ'ට්සාට් ගැන ඊර්ෂ්‍යාවෙනුයි පසු වෙන්නෙ. මෝ'ට්සාට් සහ Salieri දෙදෙනා දෙපැත්තෙන් තියල ඔවුන් දෙදෙනාගෙ වෙනස්කම් එකිනෙකා සැසදෙන විදිහටයි චිත්‍රපටය ගලා යන්නෙ.
    
Amadeus තිරගත වුණ අවුරුද්දෙ ඒ කියන්නෙ 1984 හොදම චිත්‍රපටයට හිමි ඔස්කාර් සම්මානය ඇතුලු  තවත් සම්මාන 8 මේ චිත්‍රපටය දිනාගන්නව. ඒ වගේම සම්භාව්‍ය සංගීතය ඒ තරම් ජනප්‍රිය නොවෙන බටහිර රටවලින් පවා  ඉහළ මට්ටමේ  ආකර්ශනයක් ලබාගන්න සමත් වෙනව. මොසාට්ගෙ චරිතය වාර්තාමය ස්වරූපයෙන් නැවත ඉදිරිපත් කිරීමට වඩා නිර්මාණාත්මකව එය නිරූපණය  කිරීමයි අද්‍යක්ශවරයා ගෙ අරමුණ වෙලා තියෙන්නෙ. ඒ නිසා Amadeus කියන්නෙ මෝ'ට්සාට් ගේ හැබෑ චරිත ස්වභාවත් සමහර සිදුවීම් කිහිපයකුත් උකහාගෙන නිර්මාණය කල ප්‍රබන්ධයක්. මෝ'ට්සාට් ගෙ මරණය සිදුවෙන්නෙ අධික උණ රෝගය නිසා බව තමා ඉතිහාසයෙ සඳහන් වෙන්නෙ. නමුත් චිත්‍රපටයෙ දි ඒ මරණයට ලබා දෙන්නෙ වෙනස් අර්ථකථනයක්. ඒ වගේම Salieri පවා මෝ'ට්සාට් ගෙ රසිකයෙක් බව තමා සඳහන් වෙන්නෙ. මේ නිසා Amadeus කියන්නෙ හුදු චරිදාපදානයකට එහා ගිය නිර්මාණාත්මක වෑයමක් විදිහටයි අපිට හඳුනගන්න පුලුවන් වෙන්නෙ. Drama / Historical චිත්‍රපට රසිකයින් මේකට බොහොම ප්‍රිය කරාවි.  මෝ'ට්සාට් කොයි වගේ චරිතයක් ද කියල හොඳින්ම වටහගන්න පුලුවන් ඔහුගේ කියමනකින් මේ සටහන අවසාන කරනව 

(මෝ'ට්සාට් ගෙ මං කැමතිම වාදනයක් මේ සමග ඇති)

Neither a lofty degree of intelligence nor imagination nor both together go to the making of genius. Love, love, love, that is the soul of genius.

-Mozart

"විශිෂ්ටයෙක් බිහිකරන්නෙ ඉහළ ගණයේ බුද්ධිය වත්, පරිකල්පනයෙන් වත්, මේ දෙකම සම සමව වත් නෙමෙයි. ආදරය කරන්න.. ආදරය කරන්න , පුලුවන් තරමක් ආදරේ කරන්න. විශිෂ්ටත්වයෙ සාරය ඒක තමයි"

- මෝ'ට්සාට් 




මෝ'ට්සාට් by Barbara Krafft in 1819



වයස 14 දී මෝ'ට්සාට් by Saverio Dalla Rosa




Wednesday, September 26, 2018

උතුරා යාම....


සිතමි
සුනිල් වන් දිය රඳන
ඕලු මහනෙල් පිපෙන
කුඩා විලක් වන්නට
සවිමත් ඉවුරකින් වටව.

නොදනිමි
පොද වැස්සකටත්
උතුරා පිටාරව යන 
අරුම.





Thursday, September 20, 2018

සිහින ලොවක් දුටුවා මතකයි - Inception (2010)


Inception එළියට ආව අවුරුද්දෙම මුල් වතාවට බැලුවත් දෙවනි වතාවට අවුරුදු ගණනාවකින් පස්සෙ ආයෙත් බලන කොට ඒක අලුත් අත්දැකීමක් වුණා. ඒකට හේතුව කතාවෙ බොහො දේවල් අමතක ව තිබීමත් පළමුවෙනි වතාවෙ අවධානයට ලක් නොවුණු සමහර දේවල් දෙවනි වතාවෙ බලද්දි අහු වීමත්. කලා නිර්මාණයක් රස විඳිනව කියන්නෙ එක අතකට අපි විසින් අපිවම කියවා ගැනීමක්. ඒ කියන්නෙ අපි යමක් රසවිඳින්නෙ ඒ සම්බන්ධව අපේ අත්දැකීම අනුව.  ඉතින් ජීවිතේ ඒ අදාල කාරණා සම්බන්ධව යන්තමින් හෝ කියවන්න ලැබීම, ජීවිත අත්දැකීම මේ වෙනසට හේතුවෙන්න ඇති කියල මම හිතන්නෙ.

Inception චිත්‍රපටයෙ ප්‍රධාන චරිතය Dom , සිහින සොරාගන්නෙක් විදිහට අපි දකින්නෙ. ඒකියන්නෙ සිහින මාර්ගයෙන් පුද්ගලයන් ගෙ ඇතුළු සිතට ගමන් කරල ඒ අයගෙ සැඟවී තියන තොරතුරු එලියට අරගෙන අදාල පුද්ගලයන්ට ලබාදීම Dom කරන්නෙ. පුද්ගලයාගෙ චරිතය ගැන, කැමති අකමැති දේවල් ගැන හැදෑරිමකින් පස්සෙ තමා Dom මේ වැඩේ පටන් ගන්නෙ. මේ සිහින සහ ඇතුළු සිත කියන්නෙ අපිට හිත යොමුකරන්න පුලුවන් කරුණු කාරණා ගණනාවකටම දොර විවර කර දෙන මාතෘකාවක්. මොකද  ඇතුළු සිත අපිටත් නොදැනිම අපේ ක්‍රියාකාරකම් මෙහෙවන නිසාත්, අපි පිළිබඳවම බොහෝ දේවල් ඇතුළු සිතේ සඟවිලා තියන නිසාත්.

බටහිර විද්‍යාවෙදි නම් මනස ගැන  හැදෑරීමේ පුරෝගාමී තැන හිමි වෙන්නෙ සිග්මන් ෆ්‍රොයිඩ් ට. ෆ්‍රොයිඩ් ගෙ අනාවරණයන් ගැන නොයෙක් මතවාද තිබුණත් අදටත් ඒව බොහොම වැදගත් විදිහට සලකනව. ෆ්‍රොයිඩ් ට අනුව මිනිස් මනස මූලිකව කොටස් තුනකට වෙන්කරනව. පළමු කොටස උඩු සිත එහෙම නැත්තම්  විඥානය (conscious) විදිහට හඳුන්වනව. මේ තමා මනසේ අපේ අවධානයට අහුවෙන ක්‍රියාකාරී කොටස. අපි සාමාන්‍ය එදිනෙදා ජීවිතේ කටයුතු කරන්නෙ, සමාජය එක්ක සම්බන්ධ වෙන්නෙ, කතා කරන්නෙ, මේ මතුපිට සිතෙන්.  මනසෙ ඉතාම කුඩා කොටසක් තමා මේ විඥානය එහෙම නැත්තම් උඩු සිත. ඉන් පස්සෙ තරමක් ගැඹුරෙන් පිහිටා තියනව උප විඥාන  (Sub Conscious) කොටස. උඩු සිතත් යටි සිතත් අතර අතරමැදියෙක් විදිහටයි උප විඥානය ක්‍රියාකරන්නෙ. මතකය අවදි කිරීම යටපත් කිරීම උප විඥානයෙන් සිද්දකරනව. මනසේ විශාල ම වගේම වැදගත්ම කොටස, නැත්තම්  අවිඥානය (unconscious) පිහිටා තියෙන්නෙ ඊටත් ගැඹුරෙන්. ෆ්‍රොයිඩ් ට අනුව අපේ  හැඟීම්, ආශාවන්, නොයෙක් පෙළඹවීම්, අපේ අත්දැකීම්, අපි මතකයෙන් යටපත් කරන්න උත්සහ කරන දේවල් මේ හැමදෙයක්ම තැන්පත් වෙලා තියෙන්නෙ අපේ අවධානයෙන් බැහැරව , සැඟවී පවතින අවිඥානයෙ. ෆ්‍රොයිඩ් ට අනුව පුද්ගලයෙක් ගෙ චරිත ස්වභාවය  ගොඩ නංවන්න  වැදගත්ම වැඩ කොටසක් කරන්නෙ මේ අවිඥානය නැත්තම් ඇතුළු සිත. බොහෝ වෙලාවට සැබෑ ලෝකෙදි අපිට ලබාගන්න බැරිව බිඳවැටුණු  බලාපොරොත්තු, අපේක්ෂා, අවිඥානයෙ තැන්පත් වෙනව. අපි සිහින විදිහට දකින්නෙ මෙන්න මේ දේවල්. සැබෑ ජීවිතේ ඉටු කරගන්න බැරි ආශාවන් සිහින වලින් අත්පත් කරගෙන ඒව පරිපූර්ණත්වයට පැමිණෙනව කියල ෆ්‍රොයිඩ් කියනව. බුදු දහමෙත් මේ අවිඥානය ගැන සඳහන් වෙනව. මගෙ දැනුම නිවැරදි නම් මනුෂ්‍ය සිතේ ඇලීම් බැඳීම් සියලු ක්ලේශයන් තැන්පත් වෙලා තියෙන්නෙ මේ ඇතුළු සිතේ තමයි. සිතේ ගැඹුරට ගමන් කරල මේ ඇලීම් සියල්ල අතහැරීම තමා බුදු දහමට අනුව නිදහස් වීම, පරම විමුක්තිය, නැත්නම් නිර්වාණය පසක් කර ගැනීම කියල හඳුන්වන්නෙ.

දැන් ආයෙම Inception දිහාට හැරුණොත්, වෘත්තීය සිහින දකින්නෙක් වුණ Dom පවා හිරවෙන තැනක් එනව. ඒ තමා ඔහුගෙ බිරිඳ ගෙ වියෝව. සිහිනයත් යථාර්ථයත් අතරෙ අතරමං වෙන ඈ සියදිවි නසාගන්නෙ තමා ගෙ වරදින් කියන වරදකාරී හැඟීමෙන් (Guilt)  Dom නිතර පීඩා විදිනව. ඔහු මොන විදිහක හීනයක් දැක්කත් එ් හැම හීනෙම ඇයත් ඔවුන්ගෙ දරුවන් දෙදෙනාත් ඉන්නව. මේ තමා  Dom ගේ අවිඥානය. ඇය සමග බැදුන ආදරයත්, තමන් ඈගෙ ජිවිතය විනාශ කලා කියන හැඟීමත් අනෙක් හැම දේටම වඩා බලවත්ව නැගෙන හැටි අපි දකින්නෙ. ඒ වගේම චිත්‍රපටයෙ වැඩි ධාවන කාලයක් දිවෙන සිදුවීම් මාලාව  වෙන Robert Fischer  කියන කෝටිපති ව්‍යාපාරිකයාගේ මනසට ඇතුළු වෙලා අදහසක් ඇතූලත් කරන කටයුත්ත  Dom  භාරගන්නෙත් සියල්ල අවසාන කරල ඔහුට ගෙදර යන්න ලැබෙන පොරොන්දුව පිටයි.  මේ තමා මනුෂ්‍ය හිතක ස්වභාවය. Inception චිත්‍රපටයෙ අධ්‍යක්ෂ Christor Nolan මේ කාරණේ නියම තැනින් අල්ලාගෙන තියනව. විද්‍යාවත් මනුෂ්‍යත්වයත් හරි අපූරුවට එකට එක් කරන අධ්‍යක්ෂ වරයෙක් තමා Nolan කියන්නෙ. විශේෂයෙන් ඔහුගෙ Interstellar චිත්‍රපටයෙත් Super hero  චරිතයක් වුණ Bat man මූලික කරගෙන නිපද වුණ Dark Knight චිත්‍රපට ත්‍රිත්වයෙදිත් දකින්න පුලුවන්. Christopher Nolan ගෙ සිනමාපට වල ජනප්‍රිය සිනමාවෙ කුතුහලය සමග ක්‍රියාදාමයනුත්, දැවැන්ත බව මුසු ආකර්ශණයත්, ජීවිතේ බොහොම ගැඹුරින් ස්පර්ශ කරන කතා පුවතක් කියන මේ අනුපානයන් ගෙන් සමන්විතයි. Inception පිටපත හදන්න ඔහු අවුරුදු දහයක් වෙහෙසුණු බව කියනවා. ඒ දැවැන්ත පරිශ්‍රමයෙ ප්‍රතිඵල ඇස් දෙකෙන් දකින්න පුලුවන්. Inception මට තවත් වින්දනාත්මක අත්දැකීමක් වෙන්නෙ කැමතිම නළු නිළියන් පිරිසක් එක සිනමා නිර්මාණයක දැකගන්න ලැබීම. Leonardo DiCaprio, Tom Hardy  Joseph Gordon Levitt සහ Juno චිත්‍රපටයෙන් අඳුනාගත්ත Ellan Page. මේ සියලු දෙනාගෙන් නියම විදිහට වැඩගන්න Nolan සමත්වෙලා තියනව. Dicaprio ගෙ Departed සහ Blood Diamond ට පස්සෙ මගෙ කැමතිම රංගනය ඇතුළත් වෙන්නෙ Inception චිත්‍රපටයෙ. මේ සියලු කාරණා එක්ක මගෙ කැමතිම චිත්‍රපටි ලයිස්තුවෙ ඉහළම තැනකට එන්න Inception සමත් වුණ බව කියන්න කැමතියි.






Tuesday, September 18, 2018

Little Miss Sunshine (2006)


බැලු බැල්මට පොඩි එකෙක්ව තරඟයකින් ජයග්‍රහණය කරවන්න මහන්සි ගන්න දෙමව්පියො නැදෑ හිතමිතුරන්ගෙ  කතාවක් විදිහට පෙනුණනට මේකෙ ඊට වඩා සෑහෙන දෙයක් තියනව කියල මට හිතෙනව. පොඩි කාලෙදි, ලොකු වෙලා කවුරු වෙන්නද කැමති කියල ඇහුවම ඒකට නොයෙක් ආකාරයෙ උත්තර ලැබෙනවනෙ. සමහර විට කෙනෙකුට ඒකට නිශ්චිත උත්තරයක් නොතිබුණා වෙන්න පුලුවන්. මට නම් තිබුණෙ චිත්‍ර අඳින පිස්සුවක්. ඒ ජුරාසික් පාක් චිත්‍රපටය ආපු කාලෙ. ජුරාසික් පාක් බලල ඩයිනාසෝර් පිස්සුව ගහල තිබ්බ කාලෙ. පොත් වල පිටු පුරා හිටියෙ නොයෙක් නොයෙක් පාටින් හැඩ වලින් ඇඳපු ඩයින්සෝර් ල. ඉස්කෝලෙ පොත් හරියට චිත්‍ර පොත් වගෙයි ඇත්තට. ලොකු වෙලත් මෙහෙම චිත්‍ර ඇඳ ඇඳ ඉන්න තිබ්බ නම් කියල තමා ඒ කාලෙ හීන දැක්කෙ. ඒත් අපි දකින හීන වැඩි ප්‍රමාණයක් අරගෙන බැලුවොත් ඇත්තටම අපිට අවශ්‍ය හීන ද. ඒ හීන වල ඉන්නෙ අපි ද, නැත්තම් ඒව සමාජය , බාහිර පරිසරය විසින් නිර්මාණය කර දීපු රෙඩි මේඩ් හීන ද. ඒ හීන වල අවසානෙ අපි විසින් ම අපේ ජීවිතේ නාස්ති කර දැමීම ද කියල හිතන්න වෙනව.

Olive කියන පුංචි ගැහැණු ළමය, එක්තරා ළමා රූප සුන්දරිය තෝරන තරඟකට යන්න සුදුසුකම් ලබනව. තරඟෙට යන්න නම් ඇමරිකාවේ ඒ කොණ ඉඳන් මෙ කොණට වගේ දුරක් යා යුතුයි. Olive ගෙ අම්ම තීරණය කරනව පවුලෙ හැමෝම වාහනේ මේ ගමන යන්න ඕන කියල. ඒත් සමහරු මේකට විරුද්ධ වෙනව. නමුත් මත ගැටුම් මැද්දෙ වුණත් ඒ අය ගමන යනව. අතරමග දි දහසක් බාධක දුෂ්කරතාවන්ට ඒ අයට මුහුණ දෙන්න සිද්දවෙනව. වතාවක් වාහනේ කැඩෙනව, පොලීසියෙන් නවත්වනව,  මරණයක් වෙනව. කොහොම හරි තරගය පවත්වන්න ඔන්න මෙන්න වගෙ තියල තමා ඒ අය තරඟය පවත්වන තැනට එනව. ඊට පස්සෙ මොකක් වෙයි ද?

කොහෙත්ම බලා පොරොත්තු නොවෙන දෙයක් තමා වෙන්නෙ. සමහර කෙනෙකුට ඒක පමණට වැඩියි කියල හිතෙන්න පුලුවන්. ඒත් මේක සාම්ප්‍රදායික විදිහට එක්කො ජයග්‍රහණය නැත්තම් පරාජය කියන තැනින් (olive ගෙ තාත්ත හිතනව වගේ) ඉවර වුණා නම් අපිට මේ චිත්‍රපටය  ගැන කතාකරන්න තරම් දෙයක් නොතිබෙන්න තිබ්බ. ඒත් චිත්‍රපටය අවසාන වෙන්නෙ ඇත්තටම අපි දකින හීන මොනවද.. ඒ හීන ඇත්තටම ඒ හීන අපේ ද කියල නැවත හිතන්න යොමු කිරීමෙන්.

Little miss sunshine අයිති වෙන්නෙ Road movie ගණයට ඒ කියන්නෙ ධාවන කාලෙයෙන් වැඩි ප්‍රමාණයක්  මහාමාර්ගයෙ ආශ්‍රය කරගෙන නිර්මාණය කල චිත්‍රපටයක්. ඒ වගේම ඒ අවුරුද්දෙ (2006)  හොඳම සහය නළුවාට සහ හොඳම තිර රචනයට හිමි ඔස්කාර් සම්මානත් මේ චිත්‍රපටයට හිමි වෙනව. Road movie / Drama/ comedy  වර්ගයේ චිත්‍රපට බලන්න ප්‍රිය කරන අය මේකට වැඩියෙන් කැමති වේවි.





Monday, September 17, 2018

හැකිද ඔබට?


ඉඩෝරයෙන් ඉරිතැලිච්ච
පතුල් මතුව දිය හිඳිච්ච
වියළී ගිය  කුඩා වැවක්
සඳ එළියෙන් පුරවන්නට
හැකිද සඳට..

පැහැය සුවඳ දරා උන්න
පෙති විහිදා පිපී එද්දි බලා උන්න
බඹරුන් රොන් අරගෙන පලායද්දි 
ලඟින් උන්න
මල් නටුවක් හැර යන්නට
හැකිද මලට...

අතු අග ළා දළු පැළඳුව
අත් විහිදා මඳ සුළඟේ සිනා සැලුව
සියොතුන් ළඟ හිඳ රස ගී මිමිණුව
වසන්තයේ අන්තිම දා 
කඳුළු බිඳක් නොහෙලා ඉන්න
හැකිද ගසට...

එනමුදු 
රිදෙන දැවෙන
ගැස්මක් ගැස්මක් ගානේ සුසුම් හෙලන
ඇඟිලි තුඩක මුදු පහසින් පවා බිඳෙන
මතුයම් දවසක නවතින
හදවතකට පෙම් කරන්න
හැකිද ඔබට?






Monday, September 10, 2018

පණ ඇති පොසිලය


අප්‍රිකාවේ නැමීබියානු කාන්තාරවල වැඩෙන welwitschia ශාකය වසර මිලියන ගණනක සිට පැවත එන බැවින්  "පණ ඇති පොසිලය"නමින් හදුන්වයි. ගසට ඇත්තේ මුල සහ පත්‍ර දෙකක් පමණි. එම පත්‍ර දෙක විශාලව වැඩී  කැබලි වලට ඉරී යයි. හොදින් වැඩෙන welwitschia ශාකයක් අඩි 6ක් පමණ දිග වෙයි. වාර්තා වී ඇති විශාලම ශාකය උසින් අඩි 6ක් සහ දිගින් අඩි 28 ක් වී ඇත. ‍ ස්වදේශි්ක මිනිසුන් එහි මුල් ආහාරයට ගන්නා නිසා කාන්තාර ළුූනු කියාද හදුන්වයි. welwitschia ශාකයකට අවුරුදු 300 සිට අවුරුදු 1500 ක් දක්වා කාලයක් පැවතිය හැකි අතර ජලය නොමැතිව වසර 5ක් පැවතිය හැක.








Wednesday, September 5, 2018

කවිය සහ රිදුම


කුසුමක් නැගෙන්නේ සුසුමක්ලන ගසෙනි
කඳුලක් පිසින්නේ රිදුමක් හුරු අතෙනි
රිදුමක් තියෙන්නේ කවියට ලඟ දුරෙනි
කවියක් ගලන්නේ පැලුමක් ඇති හදෙනි.





Tuesday, September 4, 2018

ඝරසරප (2018)

චිත්‍රපටයක්  බලන්න තුන්හිතකවත් නොතිබ්බ වෙලාවක තමා ඝරසරප බලන්න ලැබෙන්නෙ. ඒක එක්තරා විදිහක අහම්බයක්. චිත්‍රපට ශාලාවටම ඇවිත් චිත්‍රපටයක් බලන එක කොයිතරම් මගඇරිලද කියල දැනුණෙ එ් අත්දැකීම ලැබුවට පස්සෙයි. ඇත්තටම ඒක වෙන කොයි විදිහකින්වත් ලබන්න පුලුවන් දෙයක් නෙමෙයි. ඝරසරප ගැන අතිශය බහුතරයක් දෙනා ප්‍රශංසාත්මකව කතා කර තිබුණ නිසා චිත්‍රපටය බලන්න කලින්ම ඒ ගැන තිබුනෙ හොද ආකල්පයක්. නාමාවලිය (Opening Credits)ට පස්සෙ මුල් දර්ශන කීපයේ වේගවත් බවකුත් පසුබිම් සංගීතයෙ පමණට වැඩි බවකුත් දැණුන. ඒ කොහොම වුණත් අවසානෙ විශාල තෘප්තිමත් හැගීමකින් තමයි ශාලාවෙන් එළියට ආවෙ.

කළු කුමාර චරිතය සංකේතාත්මකව යොදාගෙන අධ්‍යක්ෂවරයා වෙනත් කතාවක් කියන බව පැහැදිලියි. වෙනත් කතාවක් නොවෙයි ඇත්තටම කතා ගොඩක්. වැදගත්ම තැනක් තමා ඩොක්ට විද්‍යා  කියන දැනුම් පද්ධති ගැන කතාව. කලාන්තරයක් තිස්සෙ මිනිස්සු තමන්ගෙ තමන්ගෙ ප්‍රශ්ණ ගැටලුවලට උත්තර හොයන්න විවිධාකාර ක්‍රමවේද වලින් රැස් කරගත්ත දැනුම් පද්ධති සහ ඒ ආශ්‍රිත සම්ප්‍රදායන් රාශියක් තියනව. චිත්‍රපටය  ඇතුලෙ  පල්ලියෙ දේවමෙහෙය, තොවිලය, බටහිර වෛද්‍ය විද්‍යාව මේ එකින් එක නියෝජනය කරවනව. ලෝකය හැදිල තියෙන්නෙ නොයෙකුත් සංස්කෘතීන් ඇතුලෙ පවතින මේ වගේ දැනුම් පද්ධති ගණනාවකින්. මෙතනදි අනෙකා ගැන අපේ ආකල්පය කොයිවගේ එකක් විය යුතු ද කියල යෝජනාවක් ඉදිරිපත් වෙනව. තිස් අවුරුද්දක් අපේ රටේ යුද්ධ ගිනි ඇවිලෙන්න මූල හේතුව මේ අනෙකා සම්බන්ධ ගැටලුව තමයි. ඝරසරප එහෙම නැත්තම් කලු කුමාරයා කියන්නෙ එ් එකිනෙකා අතර වෛරය, භේද භින්නවීම ට . විද්‍යා ගේ සහ සඳරැස් ගේ ආදරය තමා මෙතන පරමාදර්ශය විදිහට නැගීසිටින්නෙ. "සඳරැස්" ඒ නමේම තියනව උත්ප්‍රාය. සඳඑළිය සැඩ පරුෂ නෑ. ඒක හරි සෞම්‍යයි, පීඩාකාරී විදිහට උණුහුම් නෑ, ආදරේ වගේ තමා. එතන යක්ෂයට ඉඩ නෑ. ආදරය ඇති තැන සියල්ල සම්පූරණයි. රා කල හතක් බීගත්ත නාලාගිරි පවා බුදුන් දමනය කළේ මෛත්රියෙන්. සිංහබාහු විද්ද ඊ්තල එකක් වත් සිංහයට වැදුණෙ නෑ. එ් සිංහයා මේ මගේ පුතා කියන හැගීමෙන් බලපු නිසා. නමුත් පුතා ගැන වෛරය උපදින තැනම සිංහයට ඊතලේ වදිනව. 

තව පැත්තකින් අහිමි ප්‍රේමයක් ගැන කතාවක් අපි දකිනව. ඔය අත්දැකීමෙ ඉන්න කෙනෙකුට ජීවිතේ කවද හරි ඔය අත්දැකීම ලබපු කෙනෙකුට මතක් කර කර අඩන්න තරම් අනුවේදනීයව එ් කතාව ඉදිරිපත් වෙනව. මට මතක් වෙන්නෙ La La Land චිත්‍රපටයෙ අවසානය. ඒ  "මෙහෙම වෙන් වෙන්න නම් ඇයි  මුන් දෙන්න මෙච්චර ළං වුණේ" වගේ හැගීමක්. ඒත් ප්‍රේමය ගැන ගොඩක් "ඇත්ත" අත්දැකීම ඒක. ප්‍රේමය කියන්නෙ අතින් අල්ලගෙන ,මගේ කරගෙන හැම දාම මගෙ ලඟ ඉන්න කියන එකම නෙමේ. ඒත් ඒක විශාල වේදනාවක්. විද්‍යාටත් සඳරැස්ටත් එකිනෙකාගෙන් වෙන් වෙන්න සිද්දවුණත් ඒ ආදරය තාමත් ඔවුන්ගෙ හිත්වල ඉතිරි වී තිබෙන බව පෙන්වන්නෙ පත්තර පිටුව ඇතුලෙ තියන ලේන්සුවෙන්. 

රඟපෑම් ගැන වැඩි දෙයක් කියන්නෙ නෑ. සඳරැස් සහ විද්‍යා ගේ තරුණ වයස නිරූපණය කරන දෙදෙනා ගෙ රඟපෑම් අනිත් හැමෝටම වඩා බොහොම ඉහළින් තිබුණ බව තමා කියන්න තියෙන්නෙ. කලු කුමාර චරිතය චිත්‍රපටය ඇතුලෙ තව මතුවෙන්න තිබුණා කියල මම හිතන්නෙ. කලු කුමාර නිකම් "හැර ගිය පෙම්වතිය නැවත ගෙන්වා දෙන්නෙක්" ගේ තැනට සීමාවුණා දෝ කියා හිතෙනව. කමල් ගේ ත් සංගීතා ගේත් අවසාන රංගනයට ඉතාම කැමතියි. ලොකු plot twist නැතුව ඇහැට ඇඟිල්ලෙන් ඇනලා ඒ අවසන් කල විදිහට මම කැමතියි. 

අපේ රටේ මේ ජනවාර්ගික ප්‍රශ්නය ඇතුලුව කරුණු  කාරණා ගණනාවක් ඒ තරම් බරපතළ විදිහට නැතත් යම් තරමකින් සාකච්ඡා කරන .. හිතට දැනෙන කතාවක් විදිහටයි ඝරසරප මම දකින්නෙ. 






Monday, September 3, 2018

තවමත් එහෙම ද?


රාත්‍රිය කලුවරට 
තනිකමක් දැනෙනව ද?
මද සුළඟ මේ දැනුත්
සුවඳ ගෙන හමනව ද?
වාරුවට උරහිසක්
නැති අඩුව දැනෙනව ද?
තාරකාවෙන් තවත්
මග නොමග අහනව ද?

මල් නැතත් ඒ උයනෙ 
ලිය මඩුලු එතෙනව ද?
කණාමැදිරින් රෑන
ඔහේ සැරිසරනව ද?
මගහැරී ගිය යමක්
උන් අදත් හොයනව ද?
මං නැතත් තවම ඔහෙ
හඳ එළිය වැටෙනව ද?