Saturday, June 26, 2021

The secret in their eyes (2009)

" පිටත්වෙන්න සූදානම් වුණු දුම්රිය, වේදිකාවෙ නවත්වා තිබුණ. ගමන් බෑගය අතට ගත්ත ඔහු ගලා යන මිනිස් ගංගාව මැද්දෙන් පියවර තබමින් දුම්රියට ළඟාවුණා. මැදිරියේ දොර ළඟදී මොහොතක් නතරවෙලා ඔහු ආපසු හැරී බැලුවා. ඈතින් හිටිතැනම නොසෙල්වී ඈ තවමත් ඔහු දිහා බලා ඉන්නව. ඒ ඇස් බැල්මෙන් මිදෙන එක කොයිතරම් අමාරුයිද. නමුත් දැන් ආපසු හැරෙන්න පුලුවන්කමක් නැහැ. පිටත්වෙන බවට දැනුම්දුන් දුම්රිය ගමන ආරම්භ කලා. දීර්ඝ ගමනකට සූදානම් වෙලා මැදිරිය ඇතුළේ ජනේලය ලඟ ආසනයෙ ඔහු වාඩිවුණා. නමුත් එකවරම ජනේලය අසල මැවුණේ ඇගේ රුව. ඇයට උවමනා වුණා තව වතාවක් ඔහුගේ අතින් අල්ලා ගන්න. එකම වතාවක් පමණක් ඔහු සෙවණේ රැඳෙන්න. නමුත් ජනෙල් වීදුරුව මහ බාධකයක් වගේ ඔවුන් දෙදෙනා මගින් නැගී හිටිය. ඇයට පුලුවන් වුණේ යන්තම් ජනෙල් වීදුරුව මත අත තබන්න පමණයි. ක්‍රමයෙන් දුම්රිය ගමන් වේගය වැඩිකලා. ඇයට තවදුරටත් ඒ වේගයෙන් ඇවිද එන්න බැරිවුණා. දුම්රිය නොනවත්වා ඉදිරියටම ගමන් කළා. වහාම නැගීහිටි ඔහු දිවගියේ අවසාන මැදිරියේ පිටුපස ජනේලය ලඟට. තමන්ගේ ජීවිතයේ සතුට උදුරාගෙන යන දුම්රිය පිටුපස පොඩි එකෙකු වගේ දුවමින් එන ඇය දිහා ඔහු බලා සිටියා. හදවතින් මතුවුණු සියුම් වේදනාත්මක හැඟීමක් තමන්ගේ දෑස කෙළවරින් ගලා යන ආකාරය ඔහුට දැනෙන්න පටන් ගෙන තිබුණා"

.
නෑහ්... අපරාධමය නවකතාවක් පටන් ගන්න ඒක ඒ තරම් හොඳ විදිහක් නෙමේ. බෙන්ජමින් එස්පසීටෝ මෙතෙක් දුර ලියපු කඩදාසිය කුරුටුගාල විසිකරල අලුතෙන් පිටුවක් අරගෙන ආයෙ ලියන්න පටන්ගත්ත. සිද්දිය වෙච්ච දිනවකවානු ඔහුට තවමත් මතකයි. 

"1974 ජූනි මාසෙ 21 වෙනිදා, රිකාඩෝ මොරාලේස් තමන්ගේ බිරිඳ ලිලිනා සමඟ අවසන්වරට උදෑසන ආහාරය ගත්තා...."
.
.
නැහැ එහෙම හරියන්නෙත් නෑ. එස්පොසිටෝ ඒ කඩදාසියත් ඉරා විසිකර දැම්ම. ඔහු කල්පනා කරන්න පටන්ගත්ත ඒ අපරාධය කොහොම සිද්දවුණාද කියන කාරණය. ඒ එක්කම තවදුරටත් කිසිවක් ලියාගන්න බැරි හැඟීමකුයි ඔහුට දැනුණේ. අලුත් කඩදාසියක එක වචනයක් පමණක් ලියාතබල එස්පොසිටෝ නින්දට වැටුණ.
.
.
"ලෝකයෙ භාෂාව කියල දෙයක් නැතිවුණු දවසට මිනිස්සු ඇස්වලින් කතා කරන්න පටන් ගනීවි" මේ සුප්‍රසිද්ධ කියමන කාගෙද කියන කරණාව නම් දැන් මගෙ මතකයෙ නෑ. නමුත් 2010 අවුරුද්දේ පැවති 82  වන ඔස්කාර් සම්මාන උළලේදි, හොඳම විදෙස් භාෂා චිත්‍රපටයට හිමි සම්මානය දිනාගත් "The secret in their eyes" ආර්ජන්ටීනියානු චිත්‍රපටය නැරඹුවොත් ඔබට ඇස්වලින් සිදුවෙන සියුම් හැඟීම් ප්‍රකාශනයන්ට කොයිතරම් පරාසයක විහිදී යන්න පුලුවන්ද කියන කාරණය හොඳින්ම වටහා ගන්න ලැබේවි.

The secret in their eyes චිත්‍රපටය වර්ගීකරණය වෙන්නෙ අපරාධ සහ අබිරහස්මය ගණයට වුණත් මෙය හුදු අපරාධමය චිත්‍රපටයක් විදිහට නම් කිරීම මම හිතනව එහි අන්තර්ගතය එක් සීමාවකට පටුකර දැක්වීමක් කියල.  අප්‍රකාශිත ප්‍රේමයක්, මිත්‍රත්වය පිලිබඳ කතාවක්, පළිගැනීමක්, සමකාලීන දේශපාලනය, නීතිය, යුක්තිය, අතීත මතකයන් ජීවතයට ඇතිකරන බලපෑම.. මේ වගේ තේමාවන් ගණනාවක්ම එකවිට වර නැඟෙන ආකාරය මේ චිත්‍රපටයට ඇතුළෙ දැකගන්න පුලුවන්. චිත්‍රපටය නිර්මාණය වෙන්නෙ Eduardo Sacheri නම් ආජෙන්ටිනියානු ලේඛකයාගෙ La pregunta de sus ojos (The Question in Their Eyes) නවකතාව පදනම් කරගෙන. (මේ නවකතාව  මුල් කරගෙන මේ නමින්ම 2015 දි හොලිවුඩ් සිනමාපටයකුත් නිර්මාණය වුණත් එය එතරම් සාර්ථක එකක් නොවෙන බවයි කියැවෙන්නෙ) සාහිත්‍යමය "පිරුණුබව" චිත්‍රපටය ඇතුළෙ ඉහළම මට්ටමකින් පවත්වාගන්න මෙහි නිර්මාණකරුවන් සමත්වී තිබෙන බව කිවයුතුයි. 

චිත්‍රපටයට පසුබිම් වෙන්නෙ 1970 සහ 90 දශකවල ආර්ජෙන්ටිනාව. බෙන්ජමින් එස්පසිටෝ (Ricardo Darín) අපරාධ පරීක්ෂකවරයෙක්. ඔහු වැඩකරමින් ඉන්න ආයතනයට අයරීන් (Soledad Villamil) නමින් නීති උපදේශකවරියක් සේවයට පැමිණෙනව. ඔහුට වැඩකරන්න නියමිත වෙන්නෙ ඇය යටතෙ. මේ අතර ලිලිනා නම් ගැහැණිය ඇයගේ නිවසේදීම කෲර ආකාරයට දූෂණය කර මරාදමා තිබෙද්දී සොයාගැනෙනව. එහි අපරාධකරුවන් සොයා යාමට භාරවෙන්නෙ එස්පසිටෝට. ලිලිනාගේ සැමියා රොකාඩෝ, අපරාධකරුවා සොයාගෙන හැකි උපරිම දඬුවම් ලබා දෙන්න එස්පොසිටෝගෙන් ඉල්ලාසිටිනව. ලිලිනාගේ කුඩා වයසේ පටන් මිතුරෙක්වන ගෝමෙස් නැමැත්තෙක් ගැන එස්පොසිටෝට සැකයක් ඇතිවෙනව. ඒත් ඔහු ඉන්නා තැනක් කිසි කෙනෙක් නිවැරදිව දන්නේ නැහැ. ගෝමෙස් පසුපස යන එස්පොසිටෝ අවසානෙ ඔහුව අල්ලාගන්න සමත්වෙනව. ඒවනවිට ආජෙන්ටිනාව ඒකාධිපති මිලිටරි පාලනයකට යටත්ව තිබුණා. මිලිටරි ආණ්ඩුව, එයට විරුද්ධ මත දරන්නන් දැඩිව මර්ධනය කලා. වෘත්තිය ජීවිතයේ එස්පොසිටෝගේ විරුද්ධවාදීන් ගෝමෙස් ඇප මත නිදහස් කරවාගෙන ආණ්ඩුවේ කුලී මැරයෙක් විදිහට බඳවාගෙන තිබුණා. ඒ අතර එස්පොසිටෝ ගෙ හොඳම මිත්‍රයා පැබ්ලෝවත් මරා දමා තිබුණා. 

මේ සැම දෙයක්ම අතරේ අයිරින් ගැන එස්පොසිටෝ තුළ යම් පැහැදීමක් ඇතිවෙනව. ඒවගේම ඇයත් ඔහු ගැන ඒ ආකාරයෙන්ම සිතනව. ක්‍රමයෙන් දෙදෙනා අතරෙ යම් කිට්ටු සම්බන්ධතාවක් ඇතිවෙනව. නමුත් ඇය නුදුරේදිම විවාහවෙන්න නියමිතයි. වෘත්තිය ඇතුලෙ ඔහු ඇය යටතේයි වැඩ කරන්නෙ. ඒ වගේම  ආර්ථිකමය සමාජමය තත්ත්වය අතින් ඇය ඉන්නෙ ඔහුට වඩා ඉහළ තැනක. මේ නිසා ඇය ගැන ඇතිවෙන ප්‍රේමණීය හැඟීම් යටපත් කරගන්නයි ඔහු උත්සාහය දරමින් ඉන්නෙ. මිත්‍රයාගේ ඝාතනය සමඟ තමන්ගේ ජීවිතයත් අනතුරක ඇති බව වටහගෙන එස්පොසිටෝ තමන්ගේ වෘත්තියත් ඇයත් අතහැර යනව. හුදකලාවේ අවුරුදු විස්සක් පමණ ගතකරන එස්පසිටෝ නැවත ඇය හමුවෙන්න පැමිණෙනව. ඔහු අදහස් කරගෙන ඉන්නව ලිලිනාගේ ඝාතන සිදුවීම ගැන නැවත වරක් සොයාබලන්න. ඔහු මේ සිදුවීම මුල්කරගෙන දැනටමත් නවකතාවක දළ සටහනක් ලියා අවසන්. අසම්පූර්ණ කතාවක් පරිපූර්ණව ලියා අවසන් කරන්න ඔහුට හැකිවේවි ද?

The secret in their eyes චිත්‍රපටයෙ නිරීක්ෂණය කරගන්න පුලුවන් කාරණයක් තමා ඒ ඒ අවස්ථාවන්වල අරුත් මතුවන ආකාරයට ඉතාම හොඳ දෙබස් භාවිත කර තිබීම. නවකතාවක් මුල්කරගෙන ගොඩනැගුණු චිත්‍රපටයක් නිසා කලිනුත් සඳහන් කල ආකාරයට ඒ සාහිත්‍යමය බලපෑම චිත්‍රපටයට ලැබෙන්න ඇති. ඒ වගේම කලිනුත් සඳහන් කලා ඇස්වලින් සිදුකරන හැඟුම් ප්‍රකාශනයන් මේ චිත්‍රපටයෙ බහුලව භාවිත කර ඇති බව. බොහෝ විට චිත්‍රපටය ඇතුලෙ වචනවල සීමාවන් අතික්‍රමණය කරමින් සියුම් ඉඟියෙන් නමුත් ප්‍රබලව අරුත් දනවන ස්වභාවය දැකගන්න පුලුවන්.

The secret in their eyes මෑත යුගයෙ බිහිවුණු විශිෂ්ටතම චිත්‍රපට අතරට ගැනෙන සිනමාපටයක්. අපරාධ පරීක්ෂණයක් මුල් කරගෙන කතාව නිර්මාණය වුණත් එයින් එහා සමාජ දේශපාලනික තේමාවන්ට වගේම ප්‍රේමය පිලිබඳවත් ජීවිත කියවීමක් නිරූපණය වෙන  අපූර්වම චිත්‍රපටයක්. චිත්‍රපටයෙ දෙබස් ගැන කලිනුත් සඳහන් කලා. චිත්‍රපටයෙ මම කැමති දෙබස් ඛණ්ඩයකින් මේ සටහන අවසන් කරන්නම්..
.
.
.
- මට එයාට ආදරේ කරන්න බැරිවුණා. ඒක එයාගෙ වරදක් නෙමේ. 

- එක හරි දුර්වල අවසානයක් කතාවකට නම්. 

- ඔයාට පේනවනෙ. මට තව අවස්ථාවක් නිකම් නාස්ති කරගන්න ඕන නෑ. මම කොහොමද ඒ ගැන කිසිදෙයක් නොකර ඉන්නෙ? මම ඇහුව මගෙන්ම. මේ අවුරුදු විසිපහටම මට එක උත්තරයයි හම්බවුණේ. "ඒක අමතක කරන්න. ඒක ජීවිතේ තව එක යුගයක් විතරයි. ඒක දැන් ඉවරයි. ආයෙ මතක් කරන්න එපා" කියන දෙය පමණයි. ඒත් ඒක වෙනම යුගයක් නෙමේ. ඒ වෙන ජීවිතයක් නෙමේ. ඒක මේ ජීවිතේම තමයි. මෙන්න මේ ජීවිතේම තමයි ඒ. මට දැන් තේරුම්ගන්න ඕන. කොහොමද කෙනෙක් හිස් ජීවිතයක් ගෙවාදමන්නෙ. මොකවත්ම නැති නිකම්ම හිස් ජීවිතයක්? ඔයා මොකක්ද එහෙම වුණොත් කරන්නෙ?"

-hAsH-

..................................................

The secret in their eyes (2009)

Directed byJuan José Campanella 

Written by Juan José Campanella, Eduardo Sacheri

Based onLa pregunta de sus ojos by Eduardo Sacheri

Starring

Ricardo Darín
Soledad Villamil
Pablo Rago
Javier Godino
Guillermo Francella



Tuesday, June 22, 2021

නෙරූදාගේ ලියුම්කාරයා - Il Postino (1994)

ලියුමක් කියන්නෙ වර්තමානයෙ නම් ඒ තරම් බහුලව භාවිතවෙන මාධ්‍යයක් නෙමේ. රාජකාරීමය දේවල් ඇරුණම පුද්ගලික පණිවුඩයකට නම් ක්ෂණික සන්නිවේදන ක්‍රම දැන් ඕනෑතරම් තිබෙනව. අපිට මතක අපි කුඩා කාලයෙ මේ තත්ත්වය තිබුණෙ නෑ. ලියුමක් ලැබෙනකොට තියන කුතුහලය, කියවද්දි දැනෙන හෘදයාංගම බව අවසන් වතාවට දැනීගෙන ගිය පරපුර අපි වෙන්න පුලුවන් සමහරවිට. නමුත් ඊට කලින් පරම්පරාවල නම් මේ ලියුම් හුවමාරු හරියට සිද්දවුණා. කලින් කිව්ව වගේ ලියුම් බෙදන්නෙකුගේ සීනුනාදය ගෙදර ගේට්ටුව ලඟින් ඇහෙන්න ගන්නකොට ඇතිවෙන්නෙ පුදුමාකාර කුතුහලයක්. The postman චිත්‍රපටයත් මෙහෙම ලියුම් බෙදන්නෙකු ගැන කියවෙන කතාවක්. හැබැයි ඔහු ලියමන් ගෙනගියේ එසේ මෙසේ කෙනෙකුට නොවෙයි. 

ඉතාලිය සමීපයේ පුංචි දූපතක මාරියෝ වගේ සිහින දකින්නෙකුට කරන්න ඒතරම් දෙයක් තිබුණෙ නෑ. එයාට ඕන නම් පුලුවන් කම තිබුණ එයාගෙ තාත්ත වගේ මාලු රස්සාව කරන්න. දූපතේ වැඩි දෙනා කලෙත් ඒක. ඒත් මාරියෝ ඒකට පොඩ්ඩක්වත් ආස වුණේ නෑ. එයාට ඕන වුණේ වෙනත් යමක් කරන්න. දවසක්දා පාරෙ ඔහේ සැරිසරමින් හිටපු මාරියෝට අපූරු දැන්වීමක් දකින්න ලැබෙනව. ඒ දැන්වීම තිබුණේ තැපැල් කාර්‍යාලය ඉස්සරහ. ලියන්න කියන්න හැකියාව තියන කෙනෙකුව උවමනා කර තිබෙන බවයි දැන්වීමෙ තිබුණෙ. හොඳටම බැරිවුණත් එයාට පුලුවන්කම තිබුණ ලියන්න කියවන්න. ඒ නිසා ගිහින් බලන්න එයා තීරණේ කරනව. දූපතේ ඒ වෙනකොට නවාතැන් ගෙන හිටියා එක් පුද්ගලයෙක්. ඔහු වාසය කළේ තරමක් ඉහල කඳුමුදුනක පිහිටා තිබුණ නිවසක. ඔහු ලෝක ප්‍රසිද්ධ චරිතයක්. දවසගානෙ ඔහුට ලියුම් විශාල ප්‍රමාණයක් ලැබුණ. මාරියෝට පැවරෙන රාජකාරිය මේ පුද්ගලයාට දවසගානෙ ලැබෙන ලියුම් ගෙන ගොස් බාර දීම. දූපතට ඇවිත් ඉන්න මේ ආගන්තුකයා තමා චිලී ජාතික මහා කවි පැබ්ලෝ නෙරූදා. ඒත් නෙරූදා මේ ඉතාලියේ පුංචි දූපතකට වෙලා මොකද කරන්නෙ?

පැබ්ලෝ නෙරුදා (මේ ඔහු ලිවීමට භාවිත කල අන්වර්ථ නාමය. ඔහුගේ උප්පත්ති නාමය "රිකාඩෝ එලිසර් නෙෆ්ටාලේ රීස් බාසොල්ටෝ" ) චිලී රාජ්‍යයේ ජාතික කවියා විදිහට සලකනව. ඔහු එදාමෙදාතුර රචනා වුණු සුන්දතම ප්‍රේම කාව්‍ය ලියූ කවියෙක්. නමුත් ඔහු කවියෙකුට පමණක් සීමා වුනේ නැහැ. 1930 යුගයේ චිලී රට නියෝජනය කරමින් ලංකාවද ඇතුළුව රටවල් ගණනාවක රාජ්‍යතාන්ත්‍රිකයෙක් විදිහට ඔහු සේවය කලා. ස්පාඤ්ඤයේදි  එරට සිවිල් යුද්ධය පුපුරා යන ආකාරය ඔහුට දෑසින් දැකගන්න ලැබුණා. මේ නිසා පැසිස්ට්වාදය ගැන දැඩි පිළිකුලක් ඇතිකරගත් ඔහු මාක්ස්වාදය වෙත යොමුවුණා. නැවත චිලී රටට පැමිණ එහි කොමියුනිස්ට් පක්ෂයේ තනතුරු දරමින් දේශපාලන ක්‍රියාකාරිකයෙකු විදිහට නෙරූදා සේවය කලා. 1946 චිලියේ ජනාධිපතිවරණයෙදි, අපේක්ෂක ගේබ්‍රියෙල් ගොන්සාලෙස් විඩේලා   වෙනුවෙන් ඔහු වැඩ කලා. ජනාධිපතිවරණය ජයගත් විඩේලා පසුව කොමියුනිස්ට් පක්ෂක විවේචනය කරන්න පටන්ගත්තා. පක්ෂය තහනම් කර එහි ක්‍රියාකාරී සාමාජිකයන් අත් අඩංගුවට ගන්න නියෝග දෙන මට්ටමට ජනාධිපති විඩේලා ගේ කොමියුනිස්ට් විරෝධය දුරදිග ගිය නිසා 1949 දි රටින් පලායන නෙරූඩා දකුණු ඇමරිකාවේ අනෙක් රටවල සැඟවීහිඳ පසුව යුරෝපයට පලාගියා. මේ විදිහට යුරෝපයට පලායන නෙරූඩා ඉතාලියේ කුඩා දූපතක නවාතැන් ගෙන සිටි බවට කල්පිත කතාපුවතක් ගොඩනගමින් චිලී ජාතික ලේඛක Antonio Skármeta විසින් රචනා කල  El Cartero De Neruda (ඉංග්‍රීසි පරිවර්තනය The postman) නවකතාව ඇසුරෙනුයි Il Postino ඉතාලි භාෂිත සිනමාපටය නිර්මාණය වෙන්නෙ. (මේ නවකතාව "නෙරූදාගේ ලියුම්කාරයා" නමින්, ලියනගේ අමකීර්ති අතින් සිංහලට පරිවර්තනයවී තිබෙනව)

නෙරූදාට ලියුම් බෙදන රාජකාරිය මාරියෝ නම් තරුණය බාරගන්නෙ ඉතාම කැමැත්තෙන්. එක් හේතුවක් නෙරූදා ලෝක ප්‍රසිද්ධ චරිතයක් වීම. අනෙක් කාරණය කවි ගැන මාරියෝට තිබුණා ලොකු කැමැත්තක්. මේ වැඩෙන් නෙරූදා ඇසුරු කරන්න අවස්ථාවක් ලැබේවි. ඒ වගේ ලියන්න ඉගෙන ගන්න ලැබේවි. ඔහු සිතුවා. ඒ වගේම තව කාරණයක් තිබුණා. නෙරූදාට ලියුම් ලැබුණෙ බොහෝම වෙලාවට ස්ත්‍රී පාර්ශ්වයෙන්. 

"මේ යකාට ගෑනුපරාණ මේ තරම් වහවැටෙන්නෙ මොන එහෙකටද.. මිනිහව පොඩ්ඩක් ආශ්‍රය කරල බලන්න ඕන"

නෙරුදාට ලැබෙන ලියුම්ගොඩ දැකල ඔහු එහෙම හිතුව. නෙරූදා හමුවෙන්න යන මාරියෝ දකින්නෙ නිවීසැනසිල්ලේ ජීවත්වෙන්න ප්‍රියකරන නමුත් ප්‍රේමයෙන් උතුරා යන මනුස්සයෙක් ව. දිනපතා ඔහුගෙ නිවසට පැමිණෙන මාරියෝත් නෙරූදාත් අතරෙ ක්‍රමයෙන් යම් ඇසුරක් ඇතිවෙනව. අනෙක් දූපත්වාසීන් වගේ මාරියෝටත් එයින් පිට ලෝකය ගැන දැනුම අවමයි. අද වගේ නොයෙක් සන්නිවේදන මාධ්‍ය නොතිබ්බ කාලෙක මහාද්වීපයෙන් ඈත පුංචි ගොඩබිමක ජීවිතය එයටම සීමාවුණු එකක් වීම අරුමයක් නොවෙයි. නමුත් නෙරූදා රටරටවල ඇවිදල අත්දැකීම් සම්භාරයක් රැස්කරගත් පුද්ගලයෙක්. එය ලෝකයත් මිනිස් ජීවිතයත් විනිවිදින කවිමය ආත්මයක්. ඒ ඇසුරේ මාරියෝ ගේ සිතුවිලි විකසිත වන ආකාරය චිත්‍රපටයෙන් අපූරුවට පෙන්වා දෙනව. 

බියට්‍රිස්.. මාරියෝගෙ සිත්ගත් සුරූපිනිය. ඇය අවන්හලකයි සේවය කරන්නෙ. ඇය නිසා තමන් තුළ ඇතුළ ඇතිවන හැඟීම් වචනයට පෙරළාගන්න මාරියෝ අසමත්. ඇය ගැන අප්‍රමාණ ආදරයක් ඔහුගේ සිතේ ඇතිවුණත් එය කියාගන්න ඔහුට තේරුමක් නෑ. ඉතින්..මෙහෙම තත්ත්වයකට පත්වෙන කෙනෙකුට පැබ්ලෝ නෙරූදා වගේ මිත්‍රයෙක් ලැබෙනව කියන්නෙ එතනින් එහාට මම කිසිවක් කියන්න අවශ්‍ය නැහැ. 

Il postino චිත්‍රපටය අද්‍යක්ෂණය කරන්නෙ ඉංග්‍රීසි ජාතික සිනමාකරු Michael Radford. මේ චිත්‍රපටය සම්බන්ධ ඛේදජනක කතාපුවතක් තිබෙනව. චිත්‍රපටයෙ මාරියෝ ගේ චරිතය නිරූපණය වගේම සහය තිර රචනයත් සිදුකරන්නෙ Massimo Troisi නම් ඉතාලි ජාතික රංගවේදියා විසින්. ඔහු ඒ අහිංසක ග්‍රාම්‍ය තරුණයාව කොයිතරම් හොඳින් ජීවමාන කරනවද කියන කාරණය චිත්‍රපටය නැරඹුවොත් ඔබට දැකගන්න ලැබෙයි. චිත්‍රපටය රූගත කිරීම් ආරම්භ කරද්දි ඔහු හෘදයාබාධයකින් පෙලෙමින් සිටියා. ඔහුව ඉක්මණ් හදවත් සැත්කමකට ලක්කීරීම අවශ්‍ය වුණා. නමුත් චිත්‍රපටය රූගතකිරීමට අවශ්‍ය නිසා ඔහු එය කල්දමා තිබුණා. රූගත කිරීමේ කාලසටහන සකස්වුනේ Massimo ට වෙහෙසක් නොදැනෙන ආකාරයට. ඔහුට අවශ්‍ය විවේකය ලැබෙන ආකාරයට හැමදෙයක්ම සකස්වුණා. චිත්‍රපටයෙ අවසාන දර්ශනයත් රූගත කර Massimo තමන්ගෙ සහෝදරියගේ නිවස බල පිටත්ව යනව. නමුත් පැය කිහිපයක් ඇතුළත ඉක්මන් හෘදයාබාධයකට ලක්වෙන ඔහු එයින් මිය යනව. 1994 ඔස්කාර් සම්මාන උළලේ හොඳම රංගනයන් අතරට මරණින් පසුවත් Massimo Troisi නිර්දේශ ලබනව. මෙය මරණින් පසුව කෙනෙක් ඔස්කාර් සම්මානය සඳහා නිර්දේශ වුණු අවස්ථා කිහිපයෙන් එකක්. මෙය එක් ආකාරයකින් චිත්‍රපටයටත් සම්බන්ධයි. එහි අවසානයත් ඉතාම අනුවේදනීය එකක්. නෙරූදා වැනි මහ කවියෙකුගේ ඇසුර ඔහුගේ ලියුම්කරු මාරියෝටත්, මාරියෝවැනි සාමාන්‍ය මිනිසෙක් නෙරූදාටත් ඇතිකරන බලපෑම චිත්‍රපටයෙ හොඳින්ම නිරූපණය වෙනව.
සාගරෙන් වටවුණු පුංචි ගොඩබිමේ අපූරු දර්ශනතල චිත්‍රපටයට ඇතුළත්. පසුබිම් සංගීතයත් ඒ හැඟීම නියම විදිහට මතුකරනව. Ill postino, නෙරූදාගෙ කවියක් වගේම සුන්දර සිනමා කවියක්.



Monday, June 21, 2021

Care of kancharapalem (2018)

- රාජු හැමදාම උදේපාන්දර අවදිවුණා. ඉන්පස්සෙ පාරට ඇවිල්ල කිලෝමීටරයක් දෙකක් පයින් ඇවිදල අන්තිමට සූර්‍ය නමස්කාරය කලා. අවුරුදු හතලිස් නමයක් වයස වුණත් එයාට ඉහෙන් බහින රෝගයක් තිබුණෙ නෑ. තමන්ගෙ වයසෙ අනික් අය නොයෙක් ලෙඩ රෝග වලින් දුක් විඳිනකොට රාජු තවමන් හොඳ ෆිට් එකට ඉන්න එක ගැන එයා නිතරම ආඩම්බර වුණා. හැබැයි එක කාරණාවක් තිබ්බ රාජු ගේ හිත හොඳටම රිදෙව්ව. ඒ තමා එයා තවම විවාහයක් කරගෙන නොතිබීම. තනියම ඉන්න එක ගැටලුවක් නොවෙයි. ඒත් මිනිස්සු ඒ ගැන කියන කතන්දර...රාජුට තිබුණෙ ඒ ගැන දුකට වඩා කේන්තියක්. තමන්ගෙ තනිකඩකම ගැන කවුරු හරි කටකැඩිච්ච කතාවක් කිව්ව සැනින් ඒකට ප්‍රති පිළිතුරු දෙන්න එයා මොහොතක් වත් පසුබට වුණේ නෑ. 

- සුන්දරම් ගේ තාත්තා වෘත්තියෙන් පිළිම අඹන්නෙක් විදිහටයි වැඩ කලේ. ඒත් මෙතෙක් කාලයක් වැඩකල තැන ලොක්කා සමග ප්‍රශ්නයක් ඇතිකරගන්න සුන්දරම්ගේ තාත්තා එතනින් අයින් වෙලා එන්නෙ තමන්ගේම ව්‍යාපාරයක් පටන් අරගෙන එය දියුණුකරගැනීමේ හීනය දකිමින්. ඒත් සුන්දරම් ගේ හිත නම් තිබුණෙ වෙන තැනක. ඒ ඉස්කෝලෙදි දකින ලස්සන හුරුබුහුටි දැරිවියක් වුණු සුනීතා ලඟ. සුනීතා හිටියේ සුන්දරම් ගේ පන්තියේම තමයි. සුනීතා දිහාම බලා ඉන්නව ඇරෙන්න ඉස්කෝලෙදි නම් එයාට වෙන වැඩක් නොතිබුණ ගාණයි. සුනීතාගේ යාලුවෙක් වෙන්නෙ කොහොමද.. එයාගෙ හිතදිනාගන්නෙ කොහොමද ... ඔන්න ඕවයි සුන්දරම්ට තිබුණ ප්‍රශ්න.

- ජෝශප් සහ භාගවී මුණගැහුණෙ හරි අහම්බයකින්. ඒ දෙන්න කවදාවත් පෙම් යුවළක් වෙන්න හීනෙකින්වත් හිතපු අය නෙමේ. රැවුලයි කොණ්ඩෙයි වවාගෙන රස්තියාදුකාර මැරවරයෙක් වගේ පාරදිගට චණ්ඩිකම් කර කර හිටිය ජෝශප් දැකපු මුල් දවසෙ නම් භාගවීට ඇතිවුණේ පුදුම කේන්තියක්. කොහොමත් අසාධාරණයක් දුටුවම තැන නොතැන නොබලා ඒ ගැන කතාකරන පුරුද්දක් එයාට තිබුණ. ඉතින් පාරෙ කොල්ලො තුන්දෙනෙක් එකතුවෙලා එක කොල්ලෙකුට හොඳටම තඩිබානව දැකපු එයා යන ගමනත් පැත්තකදාල ඇවිත් අර මැරයන්ට හොඳටම දෙහිකපන්න පටන් ගත්ත. ඕක තමා දෙන්නාගෙ මුල්ම මුණගැහීම. දැන් ජෝශප් සහ භාගවී දෙන්නාටම එකිනෙකා නැතිව බැරි තත්ත්වයට එකිනෙකාට සමීප වෙලා. ඉතින් මෙහෙම බැඳිමක් ඇතිවෙනව කියන්නෙ හිනයක් වගේ දෙයක් නේද...

- නගරයේ වහලවල් වලට උඩින් හමාගෙන ගිය සනීප හුළඟක් ඉහළ මාලයට ලඟාවුණා. විවෘත අවකාශයෙ මුළු අහසම තිරයක් දැම්ම වගේ පැහැදිලියි. රාත්‍රියෙ මේ නගරෙ වුණත් වැඩි සද්දයක් බද්දයක් නැහැ. නිහඬතාව මැද්දෙන් රත්තරන් පාට තිත් වගේ තාරකා එළි වෑස්සෙනව. තරු එළිය මැද්දෙ දිලිසෙන ඒ ඇස් දෙක, පාලු කාන්තාරයක් අතරමං වුණු තමන්ගෙ ජීවිතේ පාරාදීසයකට පාර කියන ඒ තරු එළි ඇස්දෙක දිහා ගෙඩ්ඩම් ආයෙත් වතාවක් බැලුව.. ඒ මුණෙන් හිනාවක් මතුවුණා. මෙච්චර ලස්සන හිනාවක් ෆර්දාවකින් වහල තියන්නෙ මොන අපරාදයක් ද.. හුළඟ ඇවිත් මුදාහැරපු ඇගේ කෙහෙරැළි අවුල් කරදැම්ම. අඩක් හිස්වුණ මධුවිත බඳුනත් අතකින් අරගෙන මේ විදිහට ඇය තමන් දිහා බලා ඉන්නකොට මධුවිතක් නැතුවම තමා මත්වෙලා යන බවක් ගෙඩ්ඩම් ට දැනෙනව.

"සලීමා.. සලීමා.. මට කියන්න..මං මේ දකින්නෙ හීනයක් ද!"
.
.
.
චරිත හතරක්.. ඒ චරිත හතරට අනන්‍යවුණු ප්‍රේම වෘතාන්ත හතරක්.. මේ හැම කෙනෙක්ම ඔබට හමුවෙන්නෙ 2018 වසරේ තිරගත වුණු Care of Kancharapalem  තෙළිඟු භාෂිත චිත්‍රපටයෙන්. සාමාන්‍යයෙන් අපේ ලාංකික ප්‍රේක්ෂකාගාරයට තෙළිඟු සිනමාව ගැන ඒ තරම් පැහැදීමක් නොවෙයි තිබෙන්නෙ. නමුත් මේ චිත්‍රපටයට නම් බොහෝම හොඳ ප්‍රතිචාර ලැබෙන බව දැකගන්න ලැබුණා. තෙළිඟු සිනමාව ඇතුළෙත් මෑතකාලීනව නිර්මාණය වුණු ඉහලම ගණයේ චිත්‍රපටයක් විදිහට මෙය හැඳින්වෙනව.

Care of Kancharapalem එහි තිරරචක සහ අධ්‍යක්ෂ Venkatesh Maha ගේ පළමු චිත්‍රපටය. මෙහි සලීමාගේ චරිතය රඟදක්වන්නෙ චිත්‍රපටයෙ ප්‍රධාන නිෂ්පාදකවරිය Praveena Paruchuri. ඒ වගේම මෙහි රඟදක්වන බොහෝම දෙනා වෘත්තිය නළුනිලියන් නොවන, පෙනුමෙන් පවා ඉතාම සාමාන්‍ය අය වීම විශේෂත්වයක්. නමුත් ඒ හැමකෙනෙකුගෙන්ම කිසිම ආධුනික බවක් නොපෙන්වා හොඳ රංගනයක් මතුකරගන්න අධ්‍යක්ෂවරයා සමත්වෙලා තිබෙනව.

කතා තේමාත්මක වශයෙන් සමානකම් තිබුණන් එකිනෙකට සමාන්තරව වෙනස් කතා හතරක් එකවර නරඹන්න ලැබීම යම් අපහසු බවක් දැනෙනව නම් විශ්වාස කරන්න, චිත්‍රපටයෙ අවසාන විනාඩි කිහිපය ඇතුලෙ ඔලුවට හරි සනීපදායක බවක් දැනේවි!

චිත්‍රපටයෙ බැලූබැල්මට කතාකරන්නෙ ප්‍රේමය ගැන වුණත් තව බොහෝදේවල් මෙහි ඇතුලත් බව චිත්‍රපටය නැරඹුවොත් ඔබට දැකගන්න ලැබේවි. ආගමික ශාස්තෲවරු කාලෙන් කාලෙට ලෝකෙට බිහිවෙලා මිනිස්සුන්ට එකිනෙකාට ප්‍රේමකරපල්ලායි කිව්වත් පසුකාලීනව ඔවුන් ගේ මේ ආගම ම මානව ප්‍රේමයට හරස් කපන්න ඉදිරිපත් වෙන්නෙ කොහොමද කියන දෙය මේ චිත්‍රපටයේ දැකගන්න පුලුවන්. චිත්‍රපටයෙ එක දෙබස් ඛණ්ඩයකින්ම මේ කෙටි සටහන අවසන් කරන්නම්. මේ වචන වලින් ගම්‍යවෙන අදහස චිත්‍රපටයෙ තේමාව සමග විශේෂයෙන් අවසාන සිදුවීම් කීපය සමඟ කොයිතරම් හොඳට ගැලපෙනවද කියන කාරණය චිත්‍රපටය නරඹන ඔබට වටහාගන්න හැකිවේවි. පුලුවන් හැමකෙනෙක්ම මේ චිත්‍රපටය බලන්න..
.
.
"- ඇයි කෝවිල ඇතුළට ආවෙ නැත්තෙ? 

- මට ඇත්තටම දෙවියො විශ්වාස නෑ. මම විශ්වාස කරන්නෙ මිනිස්සුන්ව. මොනදේ වුණත් අන්තිමට ලඟ ඉන්නෙ තවත් මනුස්සයෙක් නෙ. 

- ඉතින් ඔයා මිනිස්සුන්ටද වඳින්නෙ?

- එහෙම මොකවත් ඕනවෙන්නෙ නෑ. අපි මිනිස්සුන්ට හොඳින් සැලකුවොත් ඒ අය අපිට හොඳින් සලකනව. උදාහරණයක් විදිහට බාබර් මගෙ යාලුව මම හදිස්සියකට කීහක් හරි ඉල්ලුවම එයා මට දෙනව. මම ඉන්න ගෙදර අයිති මනුස්සය කුලිය ඉල්ලල මට කරදර කරන්නෙ නෑ. මොකද ඒ අයට මම උදව් කරල තියනව. මගෙ ජීවිතේ මට මුණගැහුණ ගොඩක් මිනිස්සු නොයෙක් විදිවලින් මට උදව් කරල තියනව. දෙවියො එයාලට වඩා ලොකුයි ද?"



Saturday, June 19, 2021

ජීවිතයේ සතුට ඇත්තේ කොතැනද?

 ජීවිතේ කියන කෙළවරක් නැති මේ දීර්ඝ ගමනේ එක මොහොතක් නතර වෙලා ඔබ ඔබෙන්ම අහල බැලුවොත් දැන් මම ඉන්නෙ සතුටෙන්ද කියල ඔබට ඒකට පිළිතුරක් තියේවි. සමහරවිට ඔබ කියන්න පුලුවන් ඔව් මම ඉන්නෙ සතුටින් කියල සමහරවිට එහෙම නොවෙන්න පුලුවන්. ජීවිතේ අපි කරන හැමදෙයකම වගේ පිටුපසින් තියෙන්නෙ මේ සතුට කියන කාරණාව. අවසානෙ හිතල බැලුවොත් අපි අපේ සතුට වෙනුවෙනුයි බොහෝ දේවල් කරන්නෙ. ඉතින් ඇත්තටම මේ සතුට ලැබෙන්නෙ මොනවගේ දේවල්වලින්ද? ඒ ගැටලුවටත් අපිට තියනව අපේම පිළිතුරක්.

නමුත් පොදුවේ අරගත්තොත් මිනිස් ජීවිතයේ සතුට රඳාපවතින්නෙ මොනවගේ දේවල් මත ද? මේ පිලිබඳව ඉතා දීර්ඝකාලීනව සොයා බලන එක් පර්‍යේෂණයක් මේ මොහොතේත් ක්‍රියාත්මක බව ඔබ නොදන්නව ඇති. සමහරවිට ඉතිහාසයෙ එදාමෙදාතුර වැඩිම කාලයක් ගතකරමින් සිදුකරන හැදෑරීම මෙය වෙන්න පුලුවන්. ඇමරිකාවේ හාවඩ් සරසවිය විසින් 1938 වර්ෂයේ පටන්  මේ වනතුරුම සිදුකරමින් යන මේ පර්‍යේෂණය නම් වෙන්නෙ Havard study of Adult development නමින්. මෙහි අරමුණ ක්‍රමයෙන් වසස්ගතවීම සමඟ ජිවිතයෙ සතුට සහ සාර්ථකත්ව පවත්වාගැනීමට බලපාන හේතු සාධක මොනවාද කියන කාරණය සොයාබැලීම. 

කාලයත් සමඟ හාවඩ් පර්‍යේෂණ කණ්ඩායමත් නිතර වෙනස්වීමට ලක්වුණා. සමහරු කණ්ඩායමෙන් ඉවත්වුණා, සමහරු අළුතෙන් එක්වුණා. බොහෝමයක් මෙවැනි පර්‍යේෂණ වැඩිකල් පැවතුනේ නැහැ. අරමුදල් ප්‍රමාණවත් නොවීම, කණ්ඩායම තුළම තිබෙන නොයෙකුත් මතභේද වැනි හේතු නිසා ඒවා අතරමඟ නැවතුණා. නමුත්, මොන හේතුවක් නිසා හෝ හාවඩ් සරසවිය 1938 ආරම්භ කල මේ පර්‍යේෂණය තවමන් අඛණ්ඩව සිදුවෙමින් පවතිනව.

2015 දි මේ ව්‍යාපෘතියෙ හතරවෙනි අධ්‍යක්ෂවරයා විදිහට කටයුතු කරමින් සිටින Robert Waldinger සුප්‍රසිද්ධ Ted talks වැඩසටහනකදි මේ අති දීර්ඝ අධ්‍යනය අතරතුර, ජීවිතයේ සතුට පිළිබඳව සොයාගත් හරි අපූරු කාරණා කීපයක් අනාවරණය කරනව. නමුත් හාවඩ් සරසවිය මෙහෙයවූ මේ පර්‍යේෂණයෙ ආරම්භය සිදුවෙන්නෙ තරමක් වෙනස් තැනකින්.

1930 දශකයෙදි ඇමරිකාව ප්‍රමුඛව ලෝකය පුරා රටවල සුවිශාල ආර්ථික කඩාවැටීමක් සිදුවුණා. මේ සිදුවීම the great depression නමිනුත් හඳුන්වනව. මෙය තමා 20 වන සියවසේ සිද්දවුණු දරුණුතම ආර්ථික අවපාතය. මිලියන ගණනක් ඇමරිකානුවන් විරැකියාවෙන් පෙලුනා. බැංකු තවදුරටත් පවත්වාගත නොහැකිව වසා දැමුණා. මේ පීඩනයෙන් මිනිස් ජීවිතයට ශාරීරිකව සහ මානසිකව දිගුකාලීනවශයෙන් ඇති විය හැකි බලපෑම් පිළිබඳව අධ්‍යයනය කිරීමේ අරමුණෙනුයි හාවඩ් සරසවියෙන් පර්‍යේෂණය ආරම්භ කරන්නෙ. දෙවන වසරේ හාවඩ් උපාධි අපේක්ෂකයන් 268කගේ සහ බොස්ටන් නගරයෙන් තෝරාගත් අඩුආදායම්ලාභී පවුල්වල පිරිමි ලමුන් 456ක  පිරිසක් මුලින්ම පර්‍යේෂණයට තෝරාගන්නෙ. (මේ අය අතරින් තවම ජීවතුන් අතර ඉන්නෙ 19 ක් පමණයි. ඔවුන්ගේ දරුවන් සහ පසු පරම්පරාව දැන් පර්‍යේෂණයට ලක්වෙනව) ප්‍රශ්ණාවලි, නිවසටම ගොස් සිදුකරන සම්මුඛ සාකච්ඡා, වෛද්‍ය පරීක්ෂණ, මොළයේ සිදුවන ස්කෑන් පරීක්ෂණ වැනි ක්‍රමවලින් ඔවුන්ව අධ්‍යනයට ලක්වුණා.

 පසුව පර්‍යේෂකයින් වඩා පුළුල් අරමුණක් වෙනුවෙන් තමන්ගේ අධ්‍යයනය මෙහෙයවන්න තීරණය කරනව. ඒ අනුව 1300 ක පිරිසක් යොදාගනිමින්, වයසින් වැඩිවර්ධනය වීම සමග ඔවුන්ගේ ජීවිත පැවැත්ම වෙනස්වීම්වලට ලක්වෙන ආකාරය ක්‍රමානුකූලව අධ්‍යනය කරන්න පටන් ගන්නව. 

තෝරාගත් පිරිස අතරින් සමහරු කාලයත් සමඟ සමාජ ස්ථරයේ ඉහළටම ගමන් කරන්න සමත්වුණා. සමහරු ඊට ප්‍රතිවිරුද්ධව ඉහළසිට පහළට ඇදවැටුණා. සමහරු කම්කරුවන් විදිහට වෘත්තියේ යෙදුණ. සමහරු බොහොම සාර්ථක ව්‍යාපාරිකයින් බවට පත්වුණා. වෛද්‍යවරු, නීතිඥයන් වගෙ වෘත්තින්වලින් ඉහළම තත්ත්වයන්ට ලඟාවුණා. ඒ අතරෙ තව සමහරු මානසික රෝගින් බවටත්, මත්පැනට ඇබ්බැහි වූවන් බවටත් පත්වුණා. ජීවිතේ මුල්භාගයේදි සිහිනයෙන්වත් නොසිතූව තත්ත්වයන්ට වයස්ගත වීමත් සමග බොහෝ අය පත්වුණා. මේ පිරිස අතර පසුකාලීනව ඇමරිකානු ජනාධිපතිවරයෙක් බවට පත්වන ජෝන් එෆ් කෙනෙඩි, වොෂින්ටන් පෝස්ට් පුවත්පතේ ප්‍රධාන කතෲ ධුරයට පත්වන බෙන් බ්‍රැන්ඩ්ලි පවා සිටිය බව කියවෙනව. කොහොම වුණත් අධ්‍යනයට ලක්වෙන මේ කණ්ඩායමේ ශාරීරික මානසික සෞඛ්‍ය වගේම වෘත්තිය, විවාහ ජීවිතය ඇතුලෙ ඔවුන් ලබන සාර්ථක අසාර්ථකභාවයන් මේ හැම දෙයම හැදෑරීමට ලක්වෙනව. 

මේ තරම් දීර්ඝ කාලයක් වෙහෙසිල, පිටුදහස් ගණන් දිග වාර්තා ලියල පර්‍යේෂකයන්ට ලැබුණු ප්‍රතිඵලය මොකක්ද? සරලව ගත්තොත් ඔවුන් විසින් සොයාගනු ලැබුවෙ මෙවැනි කාරණාවක්. මුදල් හෝ ජනප්‍රියත්වය ජීවිතය අවශ්‍ය නමුත් ඒවා වැඩිපුර ලැබීම මත ජීවිතයේ සතුට රඳානොපවතින බවයි ඔවුන් සොයාගන්නෙ. නමුත් සියලු දේටම වඩා ජීවිතයේ සතුට වෙනුවෙන් ඉතාම වැඩි බලපෑමක්  කරන්න සමත්වෙන්නෙ යහපත් මිනිස් සබඳතා පවත්වාගැනීමයි. සමාජ තත්ත්වය හෝ දැනුමට වඩා කෙනෙකුට මිනිස් සබඳතාවන්, ජීවිතයේ යහපැවැත්ම වෙනුවෙන් අවශ්‍යවෙනවා. අවුරුදු 50 දි කෙනෙකු තමන්ගේ පවුල මිතුරන් ඇසුරේ කොයිතරම් තෘප්තිමත් වෙනවාද කියන කාරණය රුධිරගත කොලිස්ටරෝල් ප්‍රමාණයට වඩා ඔහුගේ සෞඛ්‍ය වෙනුවෙන් බලපෑමක් ඇතිකරනව. 

නමුත් මෙයින් අදහස්වෙන්නෙ නෑ මිතුරන් විශාල ප්‍රමාණයක් කෙනෙකුට අවශ්‍ය බව. නමුත් හදවතට සමීප, ව්‍යාජත්වයෙන් තොරව ජීවිතය බෙදාගතහැකි සැබෑ ඇසුරක් ජීවිතයට අවශ්‍යයි. මිතුරන් ප්‍රමාණයට වඩා ගුණාත්මක භාවයයි වැදගත් වෙන්නෙ.

"හොඳ සම්බන්ධතාවක් කෙනෙකුගේ ශරීරයත් මනසත් දෙකම අරක්ෂාකර දෙනව." 

Robert Waldinger, Ted talks වැඩසටහනෙදි කියාසිටිය

"දෙදෙනෙක් අතරෙ හොඳ සම්බන්ධයක් නිතරම සුදුමුදුව පවතින්නෙ නෑ. සමහර යුවළක් කතානොකර දවස් ගණනක් ගතකරනව. නමුත් ඒ අය තේරුම් ගන්නව එකිනෙකාට ඔවුන් නැතුව බැරි බව. ඒ නිසා අර පොඩි සිත්‍ රිදවීම් ඒ අය මතකයේ තබාගන්නෙ නෑ"

ඒ වගේම මෙහි අනෙක් අන්තය, එනම් පමණට වඩා මිනිස් සම්න්ධතාවලින් ඈත්ව හුදෙකලාවීම මනසටත් ශරීරයට අයහපත් බලපෑම් ඇතිකරන බවත් ඔවුන් සොයාගත්ත. ඒවගේම අසතුටුදායක විවාහයන් ගත කරන්නන් මානසිකවත් ශාරීරික සෞඛ්‍ය අතිනුත් බිඳවැටීම්වලට ලක් වුනා.

වර්ෂ 1938 සිට 1954 දක්වා මෙහි අධ්‍යක්ෂ තනතුර දැරූ Clark Heath යටතේ මුලින්ම ඔවුන්ගෙ වැඩි අවධානයක් යොමුවුණේ පුද්ගලයන්ගේ ශාරීරික යහපැවැත්ම පිලිබඳව.  1972 සිට 2004 දක්වා පර්‍යේෂණය මෙහෙයවූ George Vaillant ගේ කාලය තුළදි සම්බන්ධතා ජීවිතේට කොයිතරම් වැදගත් ද යන කාරණය මුල්වරට හඳුනාගැනුණා. “Aging Well" නමින් Vaillant රචනාකල ග්‍රන්ථයේදි යහපත් ජීවිත පැවැත්මක් උරුමකරදෙන ප්‍රධාන කාරණා කීපයක් ඔහු දක්වා තිබුණා. ශාරීරික ක්‍රියාකාරකම්, ඇල්කොහොල් සහ දුම්වැටි පරිභෝජනයෙන් ඈත්වීම, ජීවිතයේ ජයග්‍රහණයන් සේම පරාජයන් සමසිතින් දරාගත හැකි මානසිකත්වය, ප්‍රීතිමත් විවාහ ජීවිතයක් ගතකිරීම ඔහු නම් කර තිබුණා.

වර්තමානයෙ පරීක්ෂණය මෙහෙයවන Robert Waldinger ඔහු ඉදිරිපත් කල Ted talks වැඩසටහනේදි තවත් හෙළිදරව්වක් කලා. ඇමරිකානුවන් තමන්ගේ ජීවිතය තුළ මූලිකවම අරමුණු කරගන්නෙ මොන ආකාර දේවල්ද යන්න සොයාබැලීමට කල එක් සමීක්ෂණයකින් හෙළි වී තිබෙන්නෙ 80% ට වැඩි පිරිසක් තමන්ගෙ ජීවිතයේ අරමුණ විදිහට තෝරාගන්නෙ විශාල ධනයක් උපයාගැනීම බව. තවත් 50% වැඩි පිරිසකට උවමනා වී තිබුණෙ ජනප්‍රියත්වය ලබාගැනීමට. නමුත් වසර 75 ක පමණ කාලයක් තුළ නැවත නැවතත් තමන් ඔප්පු කරගනිමින් ඉන්නා කාරණය නම් සතුටින්ම ජීවිතය ගතකරන මිනිසුන් යනු පවුල තුළ හෝ මිතුරන් නැත්නම් සමාජය සමඟ හොඳ සම්බන්ධතා පවත්වාගත් අය බව Waldinger කියා සිටියා.

"මේ සම්බන්ධකම් කියන දේවල් ඉතාම සංකීර්ණයි බොහෝ වෙලාවට ඒව හරි ව්‍යාකූලයි. ඔබට සිදුවෙනම් යම් වෙහෙසක් ඒ වෙනුවෙන් දරන්න. නමුත් ඒව දිගුකාලීනයි"  

Waldinger පැහැදිලි කරනව

"නමුත් යහපත් ජීවිතයක් නම් ගොඩනැගෙන්නේ යහපත් සම්බන්ධතා ඇසුරේ පමණයි"

ඔහු තමන්ගේ කතාව අවසන් කරන්නේ ඒ ආකාරයට.

මිනිස්සු විදිහට එකිනෙකා නැතිව අපිට පවතින්න කොහොමත් හැකියාවක් නෑ. ඈත පරිණාමික යුගවල පටන් මිනිසා ගැඩගැහුණේ සමාජීය පැවැත්මක් වෙනුවෙන්. සමහරු මේ වගේ බැඳීම්වලට මැදිවෙලා ජීවතය ගතකරන්න කැමැත්තක් දැක්වුවත් සමහරු එහෙම නෑ. ප්‍රමාණයට වඩා ගුණාත්මක භාවය වැදගත් බවනෙ පර්‍යේෂකයින් පවා සොයාගෙන තිබුණෙ. ඒ ගුණාංග අත්දැකීම් එක්ක වැඩිදියුණු කරගත යුතු බව නම් ඇත්ත. බැඳීම් ඇතුලෙ අපි ගොඩක් අපිවම පීඩාවට පත්කරගන්නෙ අනෙක් පාර්ශ්වයන්ගෙන් අපිට නොලැබුණු දේවල් ගැන හිතමින්. නමුත් ඔබ ඔබේ පැත්තෙන් කල්පනා කලොත් මම කොහොමද තවකෙනෙකුට සැබෑ මිත්‍රයෙක් වෙන්නෙ. ආදරය ලබනවට වඩා මම කොහොමද ආදරය දෙන්නෙ කියන දෙය ගැන අවධානය යොමු කරනවනම් මම හිතනව අර පීඩනයෙන් සෑහෙන දුරට මිදෙන්න ඔබට පුලුවන් වේවි. සතුට ඔබේ ජීවිතේට සමීප වේවි. මේ ගැන ඕෂෝ කියා තිබුණ හරි අපූරු උපමා කතාවකින් මේ සටහන අවසන් කරන්නම්.

"ආදරණීය ඕෂෝ, මට හර්මන් හෙස්ගේ කතාන්තරයක් මතකයට නැගෙනවා. ගැහැණියක් ගර්භණීව සිටියදී ප්‍රඥාවන්ත මහලු මිනිසෙක් ඇයගේ දරුවා සම්බන්ධයෙන් එක ප්‍රාර්ථනාවක් කිරීම පිණිස වරම් දෙන බව ඇයට දන්වා සිටියා. ඇයගේ ප්‍රාර්ථනය වූයේ ඇයගේ දරුවා සියල්ලන්ගෙම ආදරයට පත්විය යුතු යන්නයි. එම ප්‍රාර්ථනය සපුරාලනු ලැබුවා. පිරිමි ලමයා නරක වුණත් ඔහු කාගේත් ආදරයට භාජනය වුණා. ඔහුට අවශ්‍ය සෑම දෙයක්ම ඔහු අවට ඕනෑම තරම් තිබුණා,  ඔහු තරුණ මිනිසෙකුව වැඩෙන සමය වන විට,  නමුත් ඔහුට මහත් නොසතුටෙන් කලකිරීමට පත්ව සිට ජීවිතය තොර කරගන්නට අවශ්‍ය වුණා. කොහොම නමුත් යලිත් වරක් පෙනී සිටි ප්‍රඥාවන්ත මහල්ලා ඔහුට එක ප්‍රාර්ථනයක් කිරීම සඳහා එක වරයක් ලබා දුන්නා. තරුණ මිනිසාගේ ප්‍රාර්ථනය වුණේ අන් හැමෝම ඔහුට ආදරය කරනවා වෙනුවට ඔහු සියලු දෙනාටම ආදරය කල හැකි විය යුතුය යන්නයි. 

ඔහුගේ ප්‍රාර්ථනය සපුරාලනු ලැබුවා. ඔහුගේ ලස්සන මුහුණ වියපත්ව අප්‍රසන්න පෙනුමක් සහිතවීමත් සමගම මුලු නගරයම ඔහුට විරුද්ධව අහක බලාගත්තා. ඔහු වෙතට ගල් මුල් ප්‍රහාර එල්ල වූ අතර ඇඳුම් පැලඳුම් කෑම බීම සොයාගැනීමත් ඔහුට අපහසු වුණා. නමුත් ඔහු ආදරයෙන් උතුරා යමින් සිටියා. ජීවිතයේ සියලුම කුඩා දෙයක් පවා ආදර සම්බන්ධතාවයක් බවට පත්ව තිබුණා. ඔහු වන්දනා ගමනක යෙදෙන්න තීරණය කලා. එක් ශීත රැයකදී ඔහුට එම ප්‍රඥාවන්ත මහල්ලා මුහුණට මුහුණලා හමුවූ අවස්ථාවේ දී හේ තරුණ මිනිසාව අතිවිශාල ආදරයකින් පිලිගත්තා. වන්දනා කරුවා මහා ප්‍රාඥයා වෙතට විවේකයට පත්ව නැවතත් අහිංසක දරුවෙකු බවට පත්වුණා"



Tuesday, June 15, 2021

පිකාසෝ සහ ගුවර්නිකා

 1940 ජුනි 14 වෙනිදා ජර්මානු නාසි හමුදාව ප්‍රංශයේ පැරිස් නගරයේ බලය අල්ලාගන්න සමත් වෙනව. ඒ වෙනකොට සුප්‍රසිද්ධ ස්පාඤ්ඤ  චිත්‍රශිල්පි පැබ්ලෝ පිකාසෝ පැරිස් නගරයෙයි වාසය කරමින් උන්නෙ. පිකාසෝගේ කලාවට නාසිවාදින් එතරම් කැමැත්තක් දැක්වුවේ නැහැ. ඔහුගෙ සිතුවම්, කලාව පිලිබඳ නාසිවාදී චින්තනයට ඉඳුරාම පටහැනි එකක් වුණා. අනෙක් අතට ඔහු යුද්ධය විවේචනයට ලක්කරමින් සිතුවම් ඇන්ද. මේ නිසා නාසි හමුදාවේ රහස් පොලීසිය හෙවත් ගෙස්ටපෝව පිකාසෝ ගැන විශේෂ අවධානයකිනුයි හිටියෙ. මේ නාසි පාලන සමය ඇතුලෙ තමන්ගේ චිත්‍ර ප්‍රසිද්ධියේ ප්‍රදර්ශනය කරන්න ඔහුට ඉඩ ලැබුණෙ නෑ. වතාවක් ගෙස්ටපෝ නිලධාරීන් පිරිසක් පිකාසෝ ගේ නවාතැන පරික්ෂා කරන්න පැමිණියා. පිකාසෝගේ සුප්‍රසිද්ධ ගුවර්නිකා සිතුවමේ ඡායාරූපයක් නිවසේ බිත්තිය මත එල්ලා තිබුණා. ගුවර්නිකා සිතුවමේ ඉතාම සංකේතාත්මකව නිරූපණය වෙන්නෙ ස්පාඤ්ඤ සිවිල් යුද්ධයෙදි ගුවර්නිකා නගරයට බෝම්බ හෙළීමේ සිද්ධිය. 

ගුවර්නිකාවට බෝම්බ හෙලීමට මුල් වෙන්නෙ ස්පාඤ්ඤයේ ඒකාධිපති පාලක බවට පත්වුණු සහ ජාතිවාදි ෆැසිස්ට් කඳවුර නියෝජනය කල ජෙනරල් ෆ්‍රැන්සිස්කෝ ෆ්‍රැන්කෝ විසින්. මේ සඳහා ඔහුට පූර්ණ සහයෝගය ලැබෙන්නෙ ජර්මන් නාසි හමුදාවෙන්. ගුවර්නිකා බෝම්බයෙන් දහස් ගණනක් මිනිස් ජීවිත අහිමි වුණා. මේ බිහිසුණු ප්‍රහාරයට ගුවර්නිකාවම ඉලක්ක වෙන්න හේතුව එය ෆැසිස්ට්වාදයට එරෙහිව සටන් කල සමාජවාදීන්, සමූහාණ්ඩුවාදීන් වැනි පිරිස් බහුලව වාසය කල, ඔවුන්ගේ කේන්ද්‍රස්ථානයක් විදිහට හඳුනාගෙන තිබුණු නිසා. 

පැරිසියේ පිකාසෝගේ නවාතැනේ බිත්තියක් මත ගුවර්නිකා සිතුවමේ ඡායාරූපයක් එල්ලා තිබෙන ආකාරය ගෙස්ටපෝ නිලධාරියෙක් දුටුව.

"තමුසෙ නේද මේක කලේ ?" 

ඒ නිලධාරීයා උපහාසය පිරුණු හඬකින් පිකාසෝගෙන් ඇසුවා. 

"නෑ මම නෙමෙයි උඹලයි මේක කලේ"

ප්‍රශ්නයට පිකාසෝ ඒ ආකාරයෙන් උත්තර දුන් බවයි ඉතිහාසයෙ සටහන් වෙන්නෙ.
.
.



Sunday, June 13, 2021

Days of heaven (1978)

1978 අවුරුද්දේ, ටෙරන්ස් මලික් ගේ Days of heaven මුල්වරට තිරගත වෙන මොහොත වෙනතුරුම රූපමය සෞන්දර්ය අතින් ඊට සමාන වෙනත් චිත්‍රපටයක් තිරගත නොවී තියෙන්න ඇති. ඉන්පස්සෙත් ඊට සම කරන්න පුලුවන් "ස්වර්ගීය" සිනමා අත්දැකීමක් තියන චිත්‍රපටයක් නිර්මාණය වුණානම් සෑහෙන කලාතුරකින් වෙන්න ඇති. Days of heaven සැලකෙන්නෙ එදාමෙදාතුර නිර්මාණය වුණු සුන්දරතම රූප රාමු ඇතුළත් චිත්‍රපට කීපය අතරට. ඇමරිකාවේ, ටෙක්සාස් ප්‍රාන්තයේ කෙළවරක් නොපෙනන මහ සාගරය තරම් සුවිසාල තැනිතලා බිම්, ඒ මැද රන්වන් පාටින් බබලන තිරිඟු වගාකළ කෙත් වතු, තැනිබිම් වල ඇවිද යන මුවන්, බයිසන් ගවයින්, අසීමිත අහස, පියාඹා යන කුරුළු රෑන්, 1900 මුල් යුගයේ ඇමරිකානු කම්කරුවන්ගේ ජීවන රටාව. චිත්‍රපටය පුරා දැකගන්න ලැබෙන අසමසම රූපාවලිය සමන්විත වෙන්නෙ මෙන්න මේ දේවල්වලින්. 

Days of heaven ඇමරිකානු සිනමාකරු ටෙරන්ස් මලික් ගේ දෙවන සිනමා නිර්මාණය. මලික් සිනමාවට ප්‍රවේශය ලබන්නෙ 1973 දි Badlands තිර රචනාකර අධ්‍යක්ෂණය කිරීමෙන්. ඉන්පසව ඔහු නිර්මාණය කරන Days of heaven 1976 දි රූගත කිරීම් අවසන් කළත් චිත්‍රපටය සංස්කරණය වෙනුවෙන් ඔහුට අවුරුදු දෙකක්ම වැය කරන්න සිදුවෙනව. 1978 Days of heaven වලින් පසුව පැරීසිය බලා යන ටෙරන්ස් මලික් ගැන 90 දශකය වනතුරුම තොරතුරක් ලැබෙන්නෙ නෑ. ඔහු සිනමාවෙන් ඈත්ව, අප්‍රසිද්ධව තමන්ගෙ පෙම්වතිය සමඟ පැරීසියෙ දිවිගෙවූ බවයි කියවෙන්නෙ. නැවතත් ටෙරන්ස් මලික් නම සිනමා ඉතිහාසයෙ සටහන් වෙන්නෙ 1998 වර්ෂයෙන්. ඒ සිනමා රසිකයන් අතර නොමඳව ජනප්‍රියත්වයක් ලැබුව Thin red line චිත්‍රපටයෙන්. Thin red line යුද්ධය පසුබිම් කරගත් චිත්‍රපටයක්. ඔහු මෙය නිර්මාණය කරන්නෙ නවකතාවක් ඇසුරු කරගෙන. නවකතාවක් ඉතාම සාර්ථකව සිනමාවට නැඟුණු එක් අවස්ථාවක් විදිහටයි Thin red line ඉතිහාසගත වෙන්නෙ. ටෙරන්ස් මලික් හාවඩ් සරසවියෙ දර්ශනවාදය පිලිබඳ උපාධිධාරියෙක්. ජර්මන් දාර්ශනික හෛඩැගර් ගේ ග්‍රන්ථ ඉංග්‍රීසි බසට පරිවර්තනය කල පරිවර්තකයෙක්. ටෙරන්ස් මලික් ගේ සිනමාව අපිට හඳුනාගන්න පුලුවන් මේ පසුබිම හරහා.

Days of heaven චිත්‍රපටයට පසුබිම් වෙන්නෙ 1916 යුගයේ ඇමරිකාව. ඉක්මනින් කේන්තිගන්න කලහකාරී කම්කරුවෙක් වුණ බිල්, (Richard Gere) බිල්ගෙ බාල සහෝදරිය ලින්ඩා, (Linda Manz) බිල් ගේ ප්‍රේමවතිය ඇබී (Brooke Adams) සහ ඉඩම් හිමි ධනවතෙක් නමුත් හුදෙකලාවේ ජීවිතය ගෙවන තරුණයෙක් (Sam Shepard) මේ අය තමයි කතාවේ ප්‍රධාන චරිත බවට පත්වෙන්නෙ. මේ කතාව අපිට කියන්නෙ බාල සහෝදරිය ලින්ඩා. බැලූ බැල්මට ඉතාම සරල තුන්කොන් ප්‍රේමාන්දරයක් මිස චිත්‍රපටයෙ වැඩි යමක් දකින්න නැහැ. ප්‍රේම පුවතක තියෙන රොමාන්තික උත්කර්ෂය ටෙරන්ස් මලික් මේ චිත්‍රපටයෙ භාවිත කරන්නෙ ඉතාම අවමයෙන්. ඊට හේතුව මම හිතනව චිත්‍රපටය අපි දකින්නෙ කුඩා දැරියකගෙ ඇහින් වීම. වැඩිහිටියන්ගේ ලෝකය ළමා ඇසින් දකින ඇයට මඟ හැරෙන සහ ඇයට නොවැටහෙන දේ බොහොමයි. මම හිතනව කතාවේ මතුපිට සරල බවට හේතුව එය දකින්න ලැබෙන දෘෂ්ටිකෝණය නිසා බව. නමුත් නාට්‍යමය ගුණයට ඉහළින් චිත්‍රපටයෙ කැපීපෙනෙන්නෙ එහි රූප සෞන්දර්යය. හැම කුඩා දර්ශනයක්ම ඉතාම සුන්දරත්වයකින් නිර්මාණය කරන්න අද්‍යක්ෂවරයා සෑහෙන වෙහෙසිල තියෙනව. මෙතනදි අමතක කරන්න බැරිම චරිතය චිත්‍රපටයෙ cinematography අංශය භාරව කටයුතු කල Néstor Almendros. ඔහුගේ මේ විශිෂ්ට සිනමාකරණය ඒ අවුරුද්දේ ඔස්කාර් සම්මාන උළලේ පවා ඇගයීමට ලක්වුණා. ඒවගේම සිනමාකරණයට නොදෙවනි Ennio Morricone ගේ පසුබිම් සංගීතය ඒ ඒ අවස්ථාවන්වල හැඟීම් මතු කරන ආකාරයට ‍යොදාගෙන තිබෙනව. මෙහි බිල් ගේ චරිතය සඳහා තෝරාගත් සුප්‍රකට රංගධරයින් වන ඩස්ටින්  හොෆ්මන් සහ අල් පචිනෝ දෙදෙනාම එය ප්‍රතික්ෂේප කරතිබෙනව. ජෝන් ට්‍රැවල්ටා එය බාරගැනීමට කැමැත්ත පළකලත් ඔහු ඒවනවිට රූපවාහිනි නාලිකාවක් සමඟ ගිවිසුමකට එළැඹ සිටි නිසා ඒ අවස්ථාව ඔහුට ලැබෙන්නෙ නෑ. ඉන්පසුවයි රිචඩ් ගියර් මේ චරිතයට තෝරාගැනෙන්නෙ. රිචඩ් ගේ අතිශ්‍ය කඩවසම් තරුණ රූපකාය වගේම ඔහුගේ රංගනය ඒ චරිතය වෙනුවෙන් කොයිතරම් ගැලපෙනවද කියන කාරණය චිත්‍රපටය නරඹන ඔබටම තීරණය කරන්න පුලුවන්. Days of heaven චිත්‍රපටය ආදායම් අතින් අසාර්ථක එකක් බවට පත්වෙනව. නමුත් චිත්‍රපට විචාරකයින් සහ කලාත්මක සිනමාව අගය කරන ප්‍රේක්ෂක ප්‍රජාව අතින් පැසසුමට ලක්වෙන Days of heaven චිත්‍රපටයට සිනමා ඉතිහාසය ඇතුළෙ හිමිවෙන තැන අද්විතීය සහ අසමසම එකක් බව කිවයුතුමයි.

කලින් සඳහන් කල ආකාරයට විස්තරාත්මකව බවින් අඩුව කතාව කීමේ ස්වභාවය නිසා මේ චිත්‍රපටයෙන් කියවෙන්නෙ මොනවගේ දෙයක්ද කියන කාරණය සෑහෙන මතභේදයට ලක්වුණු යමක්. මුදලත්, පරිභෝජනයත් මුල්කරගත් ධනේෂ්වර ඇමරිකානු ජීවනරටාවේ මුල් යුගය එයින් නිරූපිත බව ඔබට කියන්න පුලුවන්. ශ්‍රමය වගුරුවා වැඩ කරන පීඩිත කම්කරු පන්තියත් ඔවුන් ගේ ශ්‍රමය සූරාගෙන එය මුදලට හරවාගෙන සැපසම්පත් භුක්ති විඳින ධනපති පන්තියත් අතර සදාකාලික අරගලය එයින් නිරූපිත බව ඔබට කියන්න පුලුවන්. කොයිතරම් දේපල වස්තුව තිබුණත් ආදරය අහිමි ජීවිතයක ඉතිරි වෙන හිස්කම එයින් නිරූපිත බව කියන්න පුලුවන්. නැත්නම් එය යෞවනය දොරකඩ ඉන්නා දැරියක් ලෝකය දකින ආකාරය සහ ඇගේ ජීවන චාරිකාවෙන් කොටසක් බවත් කියන්න පුලුවන්. ටෙරනස් මලික් තමන්ගෙ දාර්ශනික ආභාසය සිනමාවට ගේන්නෙ මේ ආකාරයටයි. එනම් තනි රේඛීය කතා පුවතක් පැවසීමෙන් එහා, එක විට අරුත් කීපයක් ජනනය වන,  දර්ශනවාදයෙන් කරන ආකාරයටම නැවත නැවතත් අන්තර්ගතය පිළිබඳ ප්‍රශ්නකල හැකි සහ එකිනෙකට වෙනස් එළඹුම් ගණනකින් පිවිසිය හැකි සිනමාපට නිර්මාණය කිරීමයි. ඔහුගේ Tree of life(2011) චිත්‍රපටයෙ මේ ගුණාංගය හොඳින්ම දැකගත හැකියි. නමුත් ඔහුගේ චිත්‍රපටවල අනන්‍ය වුණු වචනයෙන් විස්තර කළ නොහැකි කාව්‍යමය සුන්දරත්වය ඔහුව සුවිශේෂ සිනමාකරුවෙක් බවට පත්කර තිබෙනව.

කරුණු කාරණා කොහොම වුණත් Days of heaven නම් මේ ස්වර්ගීය සිනමා අත්දැකීම කෙනෙක් ජීවිතය ඇතුලෙ වරක් හෝ විඳගතයුතු එකක් බව කියන්නම්.
 


Thursday, June 10, 2021

වෑන්ගෝගේ අහසයට..

සිතුවමේ රාමුවෙන් පිට පැන
විසිර යයි මේ රෑ හාත්පස
වෑන්ගෝගේ පින්සලෙන් නිමවුණ
තරු විසුළ අහස..

කුඩා කුඩා තණපත්‍ර යට 
ගැයෙනා රැහැයි ගී නද තුළ
මුසුවී ඇසෙයි බිතෝවන්
පියානාවෙන් මැවූ සර..

අකුරු අතරින් රිංගාගෙන
ඇලන්පෝ ගේ කෙටි කතාවල
සිතෙහි අඳුරු සෙවණලි
සැඟවෙයි පිටු තුළට වැද...

හදිස්සියේ දුටු යමකින් ගැස්සී
මේසය යට හුදෙකලා කලාපෙක 
සැඟවෙයි ග්‍රෙගෝර් සම්සා
කෆ්කා සමඟ රූප විපර්‍යස වුණ..

කොළරා කාලේ නොවූවද
සෙවණැලිවල ද මැවී පෙනෙයි
ෆර්මිනා දාසා 
යම් හුරුපුරුදු රුවක් ලෙස..

ඉතින් සුහදිනි
දීර්ඝ නොවුණත් හුදෙකලාව
සියවසක් තරමට
එහි කිසිවක්ම නොපවතින බව
ඔබ කියන්නේ කොහොමද?



Monday, June 7, 2021

Nobody knows (2004)

අපිට බොහෝ වෙලාවට අහන්න ලැබිල තියෙන්නෙ දෙවන ලෝක යුද්ධයෙන් බිංදුවටම ඇද වැටුණු සහ යළි ස්වෝත්සාහයෙන් දියුණුවී ලෝකයේ දියුණුම රටක් බවට පත්වුණු ජපානයක් ගැන. හැම දෙයක්ම ඉතාම පිළිවෙළට සිද්දවෙන, නීතිය හොඳහැටි ක්‍රියාත්මක වෙන, විනයගරුක මිනිස්සු ඉන්නා ජපානයක් ගැන. නමුත් කිසිදාක දැකල තියනවද දෙමව්පියන් විසින් තමන්ගේ දරුවන්ව අතහැරදමා යන ජපානයක් ගැන. පාසල් ශිෂ්‍යාවන් මුදලට විකිණෙන, කඩවලින් යම් යම් දේවල් සොරාගන්න කුඩා දරුවන් ඉන්නා ජපානයක් ගැන. ජපන් ජාතික සිනමාකරු Hirokazu Kore-eda ගේ චිත්‍රපට නැරඹුවොත් ඔබට මේ දේවල් දැකගන්න ලැබේවි. සංවර්ධනයේ යෝධ සෙවණැල්ලේ සැඟවී නොපෙනී යන අඳුරු කුඩා මිනිස් ජීවිත ඔබට පෙනේවි. අනෙක් අතින් Kore-eda ගේ සිනමාවේ පහසුවෙන්ම නිරීක්ෂණය කරන්න ලැබෙන්න සාධකය නම් ඒ  චිත්‍රපට බොහෝවිට නිර්මාණය වෙන්නෙ පවුල මුල්කරගෙන වීම. පවුල කියන්නේ විශ්වීය සමාජ ඒකකයක්. ලෝකයෙ ඕනෑම තැනක ඕනෑම සංස්කෘතියක මේ පවුල තුල ඇතිවෙන ගැටලු සහ ඒ ඇතුලෙ ඇතිවෙන මානව සම්බන්ධතා සමූහය මූලික වශයෙන් අනෙක් සංස්කෘතීන් හා සමඟ බොහෝවිට එක සමානයි. ඒ නිසා කොයි යම් රටක වුණත් සිනමා රසිකයෙකුට ඔහුගේ චිත්‍රපට තමන්ගේ කරගෙන රසවිඳින්න හැකියි. 

Nobody knows, 2004 වසරේ Kore-eda නිර්මාණය කරන චිත්‍රපටයත් පවුල මූලික කරගත් එකක්. චිත්‍රපටයට මුල්වෙන්නෙ 1988 ටෝකියෝ නගරයේ සිදුවුණු සැබෑ සිදුවීමක් බවයි කියවෙන්නෙ. ඒ සිදුවීම වුණු කාලයේ පටන්ම එය මුල්කරගෙන චිත්‍රපටයක් නිර්මාණය කරන්න අවශ්‍ය වී තිබුණත් kore-eda ට තමන්ගේ අදහස ක්‍රියාත්මක කරගන්න ලැබෙන්නෙ වසර 15 කට පසුවයි. 

Keiko තරුණ මවක්. ඇය තමන්ගේ 12 හැවිරිදි පුත්‍රයා Akira සමග අලුත් වාසස්ථානයකට පැමිණෙනව. මහල් නිවාස පෙළක එක් නිවසකටයි මේ දෙදෙනා පැමිණෙන්නේ. ඇය Akira ව නිවාස අයිතිකරුට හඳුන්වාදෙන්නෙ තමන්ගේ එකම පුත්‍රයා විදිහට. තමුත් Keiko තමන්ගේ රහස් සැලසුම ක්‍රියාත්මක කරන්නෙ නිවාසයට ගියාට පසුවයි. ඇය තමන් ගේ අනෙක් දරුවන් තිදෙනාවත් රහසින්ම මේ නිවසට ගෙන්වාගන්නව. Kyoko අවුරුදු දහයක ගැහැණු ළමයෙක්. Shigeru අවුරුදු හතක පිරිමි ළමයෙක් සහ බාලයා yuki අවුරුදු හතරක හුරතල් කුඩා දැරිවියක්. මේ තමයි Keiko ගේ දරුවන් හතරදෙනා. නමුත් ඒ අය පියවරු හතරකට දාව උපතලැබූවන්. ඒ ඒ දරුවන් නිශ්චිතවම කාගේද යන කාරණය Keiko වත් නොදන්න බවයි පෙනෙන්නෙ. දරුවන් හතර දෙනාට උප්පැන්න සහතික නෑ. ඔවුන් ඉපදුන බවට කොහෙවත් නීත්‍යානුකූලව පිලිගතහැකි තැනක ලියවී නෑ. Akira හැර අනෙක් කාටවත් එළියට යන්න,  සද්ද කරන්න මේ කිසිදෙයකට Keiko ඉඩදෙන්නෙ නෑ. ඔවුන්ට පාසල් අධ්‍යාපනයක් ලැබෙන්නෙත් නෑ. ඔවුන් ඉන්නා බවට කිසිකෙනෙක් දන්නේ නෑ (nobody knows)

 Keiko දිනපතා උදේම රැකියාවට ගොස් රෑ බෝවී එන අතරේ යමක් වටහ ගත හැකි වයසෙ ඉන්න Akira සහ Kyoko ගේ දොර වැඩකටයුතු බලාකියාගෙන ඉන්නව. නිවසින් බැහැරව යාම අවශ්‍ය දේ කඩෙන් පොළෙන් අරගෙන ඒම කරන්නෙ Akira. ක්‍රමයෙන් Keiko තමන්ගෙ දරුවන්ට දක්වන අවධානය අඩුවී යනව. ඇය නිවසට එන්නේම නැතිවෙනව. නමුත් ගේ දොර වියදමට අවශ්‍ය මුදල් තැපැල් මාර්ගයෙන් ඇය එවනව. තමන්ගෙ අර්ධ සහෝදර සහෝදරියන් රැකබලාගැනීම තමන්ගේ වගකීම බවට පත් කරගන්න Akira පරිස්සමෙන් මුදල් වැය කරමින් පවුලේ අවශ්‍යතා සොයාබලමින් ඔවුන් වෙනුවෙන් තමන්ගේ ජීවිතය වැය කරනව. 

කතාවක් විදිහට ගත්තොත් චිත්‍රපටය ඇතුලෙ සිදුවෙන දේ අපිට වටහ ගන්න පුලුවන් ඔය ආකාරයටයි. නමුත් චිත්‍රපටයෙ විශේෂම දෙය නම් එදිනෙදා ජීවිතේ  කුඩා සිදුවීම් පවා කැමරාවට හසු කරගන්නා ආකාරයයි. මේ ආකාරයට චිත්‍රපටයෙ චරිතවල ආර්ථික සමාජ පසුබිමත්, ඔවුන්ගේ හැඟීම් ප්‍රකාශනයත් බොහොම අපූරුට සිනමාවට අරගෙන එන්න Kore-eda සමත්වෙනව. මේ එදිනෙදා ජීවිතේ කැමරාවට හසුකරගැනීම Kore-eda ගෙ චිත්‍රපටවල බහුලව දකින්න ලැබෙන දෙයක්. එය ඔහුගේ අනන්‍යතාව කිව්වොත් වඩා නිවැරැදියි. විස්මය දනවන කතාපුවත් නිර්මාණය කිරීමට වඩා කුඩා සිදුවීම්වලින් ජීවිත යථාර්ථයන් නිරූපණය කිරීමයි ඔහුගේ සිනමාවේ සුවිශේෂීත්වය. 

චිත්‍රපටයෙ වැඩි බරක් දරා ඉන්න ළමා චරිත සඳහා Kore-eda විසින් තෝරාගෙන තිබෙන්නෙ රංගනය ගැන අත්දැකීම් නොලැබූ ළමුන් හතරදෙනෙක්ව. පුලුවන් තරම් ඔවුන්ගේ ස්වභාවික හැසිරීම් චිත්‍රපටයට හසුකරගන්න තමන් වෙහෙසුණු බවයි Kore-eda කියා තිබෙන්නෙ. කොහොම වුණත් මේ ළමුන් හතර දෙනා අතරින් වැඩිමල් දරුවා වුණු දොළොස් හැවිරිදි Akira වෙනුවෙනුයි චිත්‍රපටයෙ වැඩි ඉඩක් වෙන් වෙන්නෙ. ඒ නිසා රඟපෑම අතින් වැඩි බරක් ඔහු වෙත පැවරී තිබෙන්නට ඇති බව අපිට පැහැදිලි කරගත හැකියි. Akira ගේ චරිතය රඟදක්වන Yagira Yuya රඟපෑම ගැන පෙර ලැබූ අත්දැකීමකින් තොරව ම,  ඒ කාර්‍යය කොයිතරම් හොඳින් ඉටුකළා ද, Kore-eda අද්‍යක්ෂවරයෙක් විදිහට කොයිතරම් හොඳින් ඔහුව මෙහෙයවූයාද කියන කාරණය පසක්කර ගත හැකිවෙන්නෙ සුප්‍රසිද්ධ කාන්ස් සිනමා උළළේ හොඳම නළුවාට හිමි සම්මානය Yagira Yuya ට හිමිවීමෙන්.

(Akira ගේ චරිතය දකින මොහොතේ මට සිහියට එන්නෙ 2018 "කපර්ණාවුම්" නම් ලෙබනන් චිත්‍රපටයෙ Zain ගේ චරිතය. දෙදෙනාම කුඩා වයසෙම දෙමව්පියන් ගෙ ආදරය අහිමි වූවන්, ජීවිතේට තනියම මුහුණදෙන්න පුරුදු වූවන්, දෙදෙනාම ළමා වයසෙදි ළමාකම අහිමි වූවන්)

දෙමව්පියන් ගෙ නොසැලකිලිමත්කම් නිසා දරුවන් මුහුණපාන ගැටලු ගණනාවක් චිත්‍රපටය ඇතුලෙ පෙන්වාදෙනව. මොකද දරුවෙක් කියන්නෙ හරියට හැඩී වැඩෙන කුඩා පැලයක් වගේ. පැලයට වතුරත්, පොහොරත්, හිරුඑළියත්, රැකවරණයත් නිසි ආකාරයෙන් ලැබුණොත් තමයි  මහ ගසක්ව වර්ධනය වෙන්න අවශ්‍ය ශක්තිය එයට ලැබෙන්නෙ. චිත්‍රපටයෙ තැනක Akira ඇතුලු මේ පොඩි දරුවන් ඉන්නා ගෙදර තිබෙන මල්පැල ගණනාවකින් එක පැලයක් බිම වැටිල විනාශ වී යන ආකාරය පෙන්වන දර්ශනයක් තියනව. මම හිතනව ඒ මල් පැලයෙන් මේ දරුවන්ගේ ජිවිත ඉතාම සංකේතාත්මකව නිරූපණය වෙන බව. වැඩිහිටියන්ගේ ලෝකය තුළ ආදරය සෙනෙහස අහිමිව හැදී වැඩෙන ළමා පරපුරක දුක්බර සත්‍යයි nobody knows චිත්‍රපටයෙන් අපට දැකගතහැකි වෙන්නෙ.



Tuesday, June 1, 2021

ලෝකය කුඩාවෙන්න පටන් අරගෙන..

මීට හරියට දින තුනකට කලින්
නගරේ එක කොණක
මං වාඩිවී උන්නා අවන්හලේ
සුවිසාල නුග ගහක් ලඟ තිබුණ...
මට පුලුවන් කම තිබුණා ඇවිද එන්න
ගෙදරට එන පාරේ..
අතපය හොඳට දිග ඇර
හුස්ම ගන්න ඉඩ තිබුණා මගෙ කුටියේ
ඒත් දැන් ඒ තැන්වල මට ඉඩ නෑ..

අහසත් ළං වෙලා..
හිස කෙස්වල පැටලි පැටලී යනවා කලු වලාකුළු
එතකොට තරු?
එකක්වත් නෑ ඉතුරු
එළිය නිවුන කණාමැදිරි 
ගලවගෙන ගිහින් ඔක්කොම....

ඒ අතර පැමිණුනා සුළිකුණාටුව
ඉන්දියානු සාගරේ ඊසාන දිසාවෙන්..
අපි විසිරුණා එකවරම..
දන්න නාඳුනන මිනිස්සු 
පාවෙවී පාවෙවී වරාමල් වගේ
සමහර රැඳුණා ගස් අතු උඩ සමහරු බිම..
අඩක් ඇරුණු කවුළුවෙන් මට පෙනෙනවා
මගේ අසල්වැසියා
පුංචි තිතක් වගේ දුරට...

මහ වැස්සක් වැටුණා
ගෙවත්තේ වැහි දිය පිරුණා 
දැන් එතන දියවන්නාව වගෙයි හරියට...
කොහෙන්දෝ එතනට පැමිණි 
මැඩි රැළක්
කෑගහනවා මහ සද්දෙන්...
"අපි වගේ පොඩියට 
උන්න නම් ඉතින් උඹලට
නෑ නෙ ඔය තරම් කරදර..."
මැඩි රැළ සද්ද ගෝසාව මැද්දේ
ඒ වැනි යමක් කියමින් හිනාවෙන බව
මට නිකමට වගේ හිතෙනවා...