Wednesday, February 27, 2019

රතු එළිය


ඈ රැගෙන වේගෙන්
පියාඹා යයි රිය සක.

මාර්ග සංඥාවේ
කොළ එළි නිවී
දැල්වේ රතු එළිය.

හැරෙමි යළි
පුරුදු පාරට
මුසුවෙමින් හාත්පස
පැතිරයන සැඳෑ අඳුරට.




Tuesday, February 26, 2019

මිහිරිය


පියමැන මගෙහි මෙතෙක් දුර පැමිණිය
අතින් අත නොරැඳි ගිලිහි ගිය මිහිරිය
නුඹන් ලද මතක හදෙහි නොව පැරණිය
කඳුලකට කොපුලතක් තරමින් ම ළබැඳිය





Monday, February 25, 2019

ගොලුබෙළි කටුව


අවදිවී
උදෑසන
හිරු සමඟ
ඇවිද යමි
ඒ කුඩා පෙත් මගෙහි
තනිවම.

ඔබ යයි
වේගෙන් වේගෙන්
මා පසුකර..
රඳවමින් දෑස
හිරු නැගෙන ඉසව්වෙන එහා
කොහේදෝ ඈතක.

පැමිණෙමි ආපසු
ගුලි ගැහෙමි 
මගෙ සීත ගොලුබෙළි කටුවට
අසල ඇති කුඩා යමකින්
පුරවාගෙන කුස
යන්තමින්
ගෙවාගමි දවස.




Friday, February 22, 2019

People you may know....

People you may know....

සමහරවිට
තවමත් නාඳුනන බවක්
නොදන්නවා ඇති....

හුස්මකට හුස්මක් 
ගැටෙන තරමටම
ළං ළං ව ඉන්න ඇති
අතකින් අත පැටලී
මංමාවත් දිගේ
ඔහේ ඇවිදයන්න ඇති....
ඒත් ඒ
සාරාඅසංකේය
කල්ප ලක්ෂයකට
කලින් වෙන්න ඇති....

වස්සානෙට කලින්
වැහුණු ජනෙල් කවුලුවකින්
හඳ එළිය ගලනවා ඇති..
ඈත බොහෝ දුර ඈත
පාලු උද්‍යානෙක
සේපාලිකා මල්
පිපී හැලෙනවා ඇති...

සමහරවිට
එක්තරා නගරයක
කිසිවෙකු හමුවුණු බව ද
යළි වෙන්ව ගිය බව ද
මට වගෙම අමතක ඇති.....




Thursday, February 21, 2019

කුඩා එළි බිඳ


මේ උදෑසන
පෙරඹර අලු වළාකුල පසුබිම් කර
පෙනෙයි 
මා යන මගෙහි ඈතට
එක්තරා නිවසක
දැල්වෙන කුඩා එළි බිඳ
හාත්පස තුනී මීදුම 
සිදුරු කර..




Wednesday, February 20, 2019

Walk the line (2005)


බොක්ස් ගිටාරයක් අතින් අරගෙන ඇමරිකාවෙ ගම්බද පළාතකින් එන තරුණයෙක් 1950 /60 දශක වල සංගීතලෝකයෙ මහ පෙරළියක් කරන්න සමත්වෙනව. ඔහුගෙ සමකාලීනයන් වුණු එල්විස් ප්‍රෙස්ලි, රෝයි ඕර්බිසන් වගේ අය පවා ඔහුගේ ගීත වේදිකාවල ගායනා කරනව. එදිනෙදා ජීවිතේ අත්දැකීම් වලින් මතුවෙන සරල වගේම අරුත්බර පදවැල් වලින් සැදුණු ඔහුගෙ ගීත මිනිසුන් උන්මාදයකින් වගේ වැළඳගන්නව. ඉතිහාසයේ වැඩියෙන්ම අලෙවි වුණ ගායකයින් අතර ඔහුත් ඉන්නව. මේ වෙන කවුරු වත් නෙවෙයි ඇමරිකාවෙ සුප්‍රසිද්ධ country / Rock n Roll ගායක Johny Cash. ඔහුගෙ ජීවිතය ඇසුරෙන් නිර්මාණය වුණ සිනමාපටය Walk the line.

පුද්ගල චරිතාපදාන එහෙම නැත්නම් බයෝග්‍රැෆි සිනමාපට මෑත කාලයෙදි අපිට තරමක් වැඩියෙන් දකින්න ලැබුණා. හොලිවුඩ් වල "බොහිමියන් රැප්සෝඩි" ඉන්දියාවෙ "පෑඩ් මෑන්" ලංකාවෙ "ගින්නෙන් උපන් සීතල" වගේ. මේ ගණයේ චිත්‍රපට වලදි අදාල පුද්ගලයා ගෙ මනුශ්‍ය ස්වභාවය නියම විදිහට මතු කල යුතුයි කියල මම හිතන්නෙ. මොකද කෙනෙක් යම් ක්ශේත්‍රයකින් ඉහළටම එන්නෙ නෑ ආකස්මිකව. ඒ සඳහා යම් පසුබිමක් තිබිය යුතුමයි. මේ අංශයෙන් Walk the line චිත්‍රපටය ඉතාම සාර්ථක නිර්මාණක් විදිහට හඳුන්වන්න කැමතියි. බාලවියේ ඉඳන් Johny ට තිබුණ සංගීත ලැදියාව, පුංචි කාලෙම වැඩිමහල් සොහොයුරා මියයාමේ වේදනාව, දෙමව්පියන්ගෙන් ඔහුට එල්ලවුණු පීඩනය, විවාහය ඇතුලෙ සිද්ධ වෙන බිඳ වැටීම්, මේ හැම දෙයක්ම චිත්‍රපටය ඇතුලෙ නිරූපනය කරල තියනව.

Johny කුඩාකාලෙ බොහොම සංවේදි දරුවෙක්. නමුත් ඔහුගෙ සහෝදරයා හැඩි දැඩි වැඩට දක්ෂ කෙනෙක්. නමුත් වැඩක් අතර මැද අනතුරකින් ඔහුගෙ සහෝදරයා මියයනව. Johny ගෙ දෙමාපියන්, සහෝදරයා වෙනුවෙන් දුක් වෙන ගමන් Johny ට වෛර කරනව. මේක කලාවේ නියැලෙන බොහෝ දෙනෙකුට අත්විඳින්න ලැබෙන තත්ත්වයක්. ඔවුන්ගෙ දෙමාපියන්වත් බාහිර සමාජයවත් ඔවුන්ව තේරුම් ගන්නෙ නෑ. මේ කාරණා නිසා Johny ජීවිත කාලෙම දුක්විඳින ආකාරය අපි දකිනව.

Johny ගේ ගිටාරයත් June ගේ බැලලයිකාවත් මුණගැහෙන්නෙ මේ අතරෙ. ඔවුන් මුණගැහෙන විට දෙදෙනාම විවාහකයි. නමුත් තමන්ගෙ විවාහයන් ඇතුළෙ දෙදෙනාම හිටියෙ බිඳවැටීම් වලට ලක්වෙලා. එකම ක්ශේත්‍රයෙ අය නිසා ඔවුන් අතරෙ බොහොම සමීප බැඳීමක් ඇතිවෙනව. Johny මතට ඇබ්බැහි වෙලා සියලුදේ විනාශ කරගෙන මියයමින් ඉද්දි ඔහුට නැවත ජීවය දෙන්නෙ June. නමුත් ඔවුන් දෙදෙනා ඒ තරම් පහසු මගක නෙවෙයි ගමන් කරන්නෙ. 2004 වර්ෂයෙ June මියයන තුරුම ඔවුන් දෙදෙනා එකටයි ඉන්නෙ. ඉන් මාස කීපයකට පස්සෙ John ඈ අනුවම ගමන් කරනව.

චිත්‍රපටයෙ සංගීතය ගැන කියනවනම් ඒක කතාව පැත්තකට දමල සිනදු විතරක් වෙනම අහන්න හිතෙන වර්ගයේ එකක්. විශේෂයෙන් Folsom හිරගෙදර John විසින් ඉදිරිපත් කරන සජීවී ප්‍රසංගය. ඒක ලෝකෙ මෙතෙක් වැඩිම දෙනෙක් නරඹපු සජීවී ප්‍රසංග අතරින් එකක්. ඒ වගේම Johny මුලින්ම රෙකෝඩ් ලේබල් එකක් වෙනුවෙන් Audition කරන අවස්ථාව. ඒක චිත්‍රපටි බලන කෙනෙකුට ලේසියෙන් අමතක වෙන එකක් නෙමෙයි..

John සහ June විදිහට Joaquin Pheonix සහ Reese Witherspoon ඉදිරිපත් කරන රංගනය ඉතාම විශිෂ්ඨයි. ඒ අවුරුද්දෙ ඔස්කාර් සම්මාන උළෙලේ හොඳම නළුවා සහ නිළිය විදිහට මේ දෙදෙනාම නිර්දේශ වෙනව. Reese ඔස්කාර් සම්මානය දිනාගන්න සමත්වෙනව. Biography / Musical / Romantic චිත්‍රපට නරඹන අයට වගේම County / Rock n Roll සංගීතය ප්‍රිය කරන අයට ඉතාම ඉහළින් නිර්දේශ කරන්න පුලුවන් චිත්‍රපටයක් Walk the line.




Friday, February 15, 2019

හයිකු කවි

එකින් එක පිළිවෙළට
නික්ම ගියෙහ සියලු දෙනා
සරතයේ සුළගෙහි

ඉසා








Thursday, February 14, 2019

Grave of the fireflies (1988)


රාත්‍රියෙ කලුවර පැතිරෙනකොට, හඳ තරු පවා වළාකුළු වල ගිලිලා යද්දි. පොළව එළිය වෙන්නෙ පුංචි කණාමැදිරින්ගෙන්. අවට තියන මහ ගණ අඳුර සම්පූර්ණයෙන්ම පළවාහරින්න බැරි වුණත් තමන්ගෙ කුඩා එළි බිංදුවෙන් උන් පුංචි ඉඩකඩක් හරි එළිය කරනව. ඒත් කණාමැදිරින්ගෙ ජීවිත කාලෙ හරිම කෙටියි. ඇයි උන් ඒතරම් ඉක්මනට මැරෙන්නෙ?

දෙවන ලෝක යුද්ධයෙදි ජපන් හමුදාව ඇමරිකාවෙ පර්ල් වරායට බෝම්බ හෙළීමෙන් පස්සෙ, ඇමරිකාවත් ජපානයත් අතරෙ බොහොම දරුණු සටනක් ඇවිලුණා. ඇමරිකාව ජපානයට නොනවත්වා පහර දුන්න. නේපාම් බෝම්බ වලින් ඇමරිකාව ජපානයට ප්‍රහාර එල්ල කළේ මේ යුද්ධයෙ දි. මේ නේපාම් බෝම්බයෙන් වෙන්නෙ බෝම්බය වැටෙන ප්‍රදේශය අවට මහ දරුණු ගින්නක් අවුලුවාලන එක. ජපානයේ සාමාන්‍යයෙන් නිවාස ඉදිකරන්නෙ කඩදාසි සහ ලී වලින්. ඉතින් වෙන්න පුලුවන් විනාසයේ බරපතළ කම අමුතුවෙන් කියන්න අවශ්‍ය නෑ. (වර්ෂ 1944 -1945 කාලය ඇතුලත ඇමරිකාව, ජපානයට හෙලූ බෝම්බ ප්‍රමාණය ටොන් 157 000 ක් වෙන බවත් එයින් මිය ගිය මිනිසුන් ප්‍රමාණය 333000 ක් පමණ වෙන බවත් තමා සඳහන් වෙන්නෙ!) ඉතින් මේ යුද්ධයෙන්, පිරිමි ළමයෙක් වුණු සයිටෝ ගෙත් එයාගෙ අවුරුදු පහක් වයස පුංචි සහෝදරිය සෙත්සුකෝ ගෙත් දෙමාපියන් අහිමි වෙනව. සයිටෝ තමන්ගෙ පුංචි සහෝදරිය ව රැකබලා ගන්න දරන උත්සහය තමා අපි චිත්‍රපටය පුරා දකින්නෙ.

ජපන් සජීවීකරණ සිනමාපට නරඹා පුරුදු කෙනෙක් නම් ඒ සිනමා නිර්මාණ වල තියෙන විචිත්‍රත්වය හොඳාකාරවම දන්නව. යථාර්ථයේ පවතින රූපය සමීප වෙන්න උත්සහ කරනවා වෙනුවට ඊට වඩා සරල ෆැන්ටසිමය තැනක ඉඳන් ඔවුන් මානව හැඟීම් නිරූපණය කරන ආකාරය ඉතාම සුන්දරයි.ඒ කොහොම වුණත් මේ කතාව නම් බොහොම දුක් බර, ඇස් වලට ඇඟිල්ලෙන් අනින්න සමත්වෙන විදිහේ එකක්. යුද්ධය මිනිස්සුන්ව කොයි තරම් අසරණ කරනවද , කොයිතරම් අනුකම්පා විරහිත තැනකර ඇද දමනවද කියන කාරණාව හැඩ තල රේඛා මැද්දෙන් මේ නිර්මාණකරුවන් පෙන්වා දෙනව. සුප්‍රසිද්ධ සිනමා විචාරකයෙක් වුණ Rodger Ebert මේ චිත්‍රපටය එදාමෙදාතුර යුද්ධය ගැන නිර්මාණය කෙරුණ හොඳම චිත්‍රපටයක් විදිහට හඳුන්වා දෙනව, ඒ වගේම තමන්ගෙ Great movies ලයිස්තුවටත් මේ සිනමාපටය ඇතුළත් කරනව. මම සාමාන්‍යයෙන් සජීවීකරණ චිත්‍රපට වැඩිපුර බලන්නෙ නැති වුණත් මේක නම් හදවතට වැදුණ නිර්මාණයක් බවට කියන්න ඕන. බලන ඕනෑම කෙනෙකුට අමතක නොවෙන තරමේ කම්පනයක් ඇතිකරවන චිත්‍රපටයක් විදිහට Grave of fireflies හඳුන්වා දෙන්න පුලුවන්.





Wednesday, February 13, 2019

Julia's eyes (2010) (භාෂාව ස්පාඤ්ඤ)

ඇස්දෙක කියන්නෙ ශරීරයෙ තියන වැදගත්ම සහ අපිට නැතුවම බැරි ඉන්ද්‍රියක් කියල කිව්වොත් ඒකට බොහොම දෙනෙක් එකඟ වේවි. මොකද ඕනෑම කෙනෙක් මූලික වශයෙන් අවට ලෝකය අත්විඳින්නේ ඇස් දෙක හරහා. ඇස් වලින් කරන්නෙ නිකන්ම පෙනීම ලබා දෙන එක විතරක්ම නෙමෙයි. ආදරයෙන් බැඳුනු දෙන්නෙක් අතරෙ දුරක ඉඳන් වුණත් හැඟීම් හුවමාරු වෙන තැනක් තමා ඇස් දෙක. ඉතින් කෙනෙකුට හිටිගමන් මේ ඇස් පෙනීම නැතිව ගියොත් ඒක මොනවගේ දෙයක් වේවි ද. සැකයක් නැතුවම ඒක මහ විශාල පීඩාවක් වගේම වේදනාකාරී දෙයක් බවට පත්වේවි. හුදෙකලා ජීවිතයක් ගතකරන සුරූපී සාරා මේ අත්දැකීමට මුහුණදෙනව. තමන්ගෙ ඇස් පෙනීම බොහොම දරුණු විදිහට අඩුවෙමින් යන බව ඈ හඳුනාගන්නව. වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමුවුණත් ටික කලකින් ඈ සම්පූර්ණ අන්ධ භාවයට පත්වෙනව. සාරාව මුණගැහෙන්න එන ඇගේ නිවුන් සහෝදරිය ජූලියා දකින්නෙ ඈ සියදිවි නසාගෙන ඇති බව. ජූලියා මෙය විශ්වාස කරන්නේ නෑ. සාරා කියන්නෙ වේදනාව හමුවේ ජීවිතයෙන් පලා නොයන කෙනෙක් බව ජූලියාට සහතිකයි. සාරාව කවුරුන් හෝ මරාදමා ඇතිබව විශ්වාස කරන ජූලියා මේ අබිරහස හොයාගෙන යනව. මේ අතරෙ තමන්ගෙ ඇස් පෙනීමත් ක්‍රමයෙන් අඩුවෙන බව ඈ වටහ ගන්නව. එක්තරා පුද්ගලයෙක් තමාව ලුහුබැඳ එන බව ඈ දකිනව. සාරා සහ ජූලියා දෙදෙනාගේම ඇස් පෙනීම අඩුවී යාම පිටුපස තියන අබිරහස මොකක්ද, ජූලියා පසුපස එන මේ නාඳුනන පුද්ගලයා කවු ද?

Invisible Guest, The body වගේ ස්පාඤ්ඤ භාෂාවෙන් Crime/ Thriller තේමාව යටතේ නිර්මාණය වුණ, කුතුහලය උපරිමයට ගේන සිනමා නිර්මාණ අතරේ Julias eyes ඉහළම තැනක තියන්න පුලුවන්. ජූලිය සහ සාරා චරිතය නිරූපණය කරන්නෙ The body චිත්‍රපටයෙ ප්‍රධාන චරිතය රඟදක්වන Belen Reuda මයි. 2018 අවුරුද්දෙ ඉන්දියානු සිනමාවට එක්වුණ Andhadun /Rastasan වගේ නිර්මාණ එක්ක Julias Eyes යම් සමානකමක් ඇති බවක් දැනුණොත් පුදුමයක් නෙමේ. ඒත් Julias Eyes ත්‍රාසය කුතුහලය එක්ක ප්‍රේමණීය ඉසව්වකට අවසානෙ නරඹන්නාව අරගෙන යනව. චිත්‍රපටය රූගත කර තිබෙන කැමරාකෝණ මේ නිර්මාණයේ සුවිශේෂී ලක්ෂණයක් විදිහට හදුනාගන්න පුලුවන්. ජූලියා පසුපස එන ඒ අබිරහස් පුද්ගලයා, ප්‍රේක්ෂකයා ගෙන් සඟවා තබන්න ඒ කැමරාකෝණ ඉතා හොඳින් වැඩකරනව. Crime/ Thriller/ Mystery වගේම ආකාරයේ අපූරු සිනමාපටයක් නරඹන්න කැමති කෙනෙකුට Julias Eyes හොඳ සිනමා අත්දැකීමක් වේවි.





Monday, February 11, 2019

ලා දළුව


යාන්තම් සුළඟටත්
සසැලුනත් හද
ලා දළුව හැර නොයයි
රිකිල්ලක බඳ.




Friday, February 8, 2019

හයිකු කවි


මේ හිම වැටෙන උදෑසන
අර කලු කපුටා මට පේන්න බැරි
ඒත්! අහා! උගෙ ලස්සන!

- බැෂෝ-






කුළුණක් සහ නෙළුමක්


පොළවෙන් උරාගෙන සරු පොහොර
අහසේම තවරන සුවඳක මහිම
වළාකුළු මීදුම් මත රැඳුන
නෙළුමක් ය උසැති කුළුණක් මත පිපුණ





Tuesday, February 5, 2019

තුංමං හංදියක ..


තුංමං හංදියක ..
දකුණටැයි කියයි
මාර්ග සිතියම
සුක්කානම හැරවේ
වමට
මද දුරක් ගොස්
එමි ආපසු
බර සුසුමකින්
මුදාහැර ළය..




Friday, February 1, 2019

ඇස අග.....


සියුමැලි ඔබෙ හිස
හොවා මා ළය මත
දෑගිලි තුඩින් පිරිමදිමින්
ගෙවුණු දිගු තප්පර 
ප්‍රේමයයි හැඳින්නෙමි
එකල..

කිසිදා
නොපැමිණෙන 
අැමතුමකට..

කිසිමදා
නොලියන
ලියු සැණින්
යලි මැකෙන
පණිවුඩයකට..

අැස් අගින්
මතුව එන 
සිහින් තෙතමනයට
ප්‍රේමයයි
කියමි 
මම
මෙකල..