Friday, March 28, 2025

Adolescence (2025)

 "මං එයාගෙ වයසෙදි මගෙ තාත්තා මට හොඳටම ගහන්න පුරුදු වෙලා හිටියා. සමහර වෙලාවට එයා කලිසමේ පටිය අරගෙන ඒකෙනුත් මට ගැහුවා. මං ඒ වෙලේ හිතාගත්තා කවදහරි මට දරුවෙක් ඉන්න කාලෙක කවදාවත් මේ වගේ දෙයක් නං කරන්නෙ නෑ කියලා. මං කවදාවත් ඒ දේ කළේ නෑ. ඒත් මට ඊට වඩා හොඳ තාත්ත කෙනෙක් වෙන්න පුළුවන් වුණා ද?..... ජේමි මුළු දවසම කාමරේ ඇතුළට වෙලා නෙ හිටියේ.. එහෙම ඉන්න එකෙන් එයාට හානියක් වෙන්නෙ නෑ නෙ? එයා එහෙම ඉන්න එක ආරක්ෂිතයි කියලයි අපි හිතුවේ.... ඒත් ඇයි එහෙම නොවුණේ? "

.
.
මැදි වයස් පියෙකු වුණු එඩී මිලර් එහෙම කියන්නෙ එයාගේ පුතා ජේමි මිලර් ගැන. ජේමි කියන්නෙ දවසම කම්පියුටරයත් එක්ක ඉන්න, බොහොම අහිංසක පෙනුමක් තියන, කණට ඇහෙන්න කතා නොකරන, වයස 13ක් වෙච්චි දරුවෙක්. බැලු බැල්මට එයා බොහොම සමාන්යයි. නමුත් දවසක් එයා අතින් සිද්ද වෙන්නේ ඒ වගේ ළමයෙක් කවදාවත් කරයි කියලා හිතන්නවත් බැරි අසාමාන්ය මට්ටමේ වැඩක්. ජේමි කළ දේ තමා එයාගේ ඉස්කෝලෙ ඉන්න එයාගෙ වයසේ ගෑනු ළමයෙක්ව පිහියෙන් ඇනලා මරා දැමීම!!
වයස 13ක් කියන්නෙ ජීවිතේ ලොකු වෙනස්කම් ගොඩක් සිද්ද වෙන්න පටන් ගන්න කාලයකට. යෞවනත්වයට පත්වීම, එහෙම නැත්නම් කෙනෙක් ළමා වයසට සමු දීලා ජීවිතේ ඊළග අදියර වුණ තරුණ වියට පත්වීම කියන සංසිද්ධිය වෙන්නේ ඔයා කාලෙ හින්දා තමයි මේ වයස ඔය තරම් විශේෂ වෙන්නේ. ශාරීරිකව වගේම මානසිකවත් උද්වේගකාරී වෙනස්කම් ගොඩකට ඔය කාලෙදි කෙනෙක් මුහුණ දෙන්න පටන් ගන්නවා. විශේෂයෙන්ම විරුද්ධ ලිංගකයින් ගැන ඇති වෙන ආකර්ශණය එක්ක ඒ ගැන වැඩි පුර අවධානය දෙමින් තමන්ගේ බාහිර පෙනුම සහ ආකර්ශණීය බව අනුව තමන්ව නිතරම අනෙක් අය සමග සංසන්දනය කරමින් අනවශ්ය තරම් වදවෙනවා. ඒ වගේම නොයෙක් අදහස් මතවාද දුරදිග නොබලා ඉක්මණින්ම වැළඳ ගන්නවා. දැන් සමාජ මාධ්යවල දියුණුව එක්ක විශේෂයෙන් නව යොවුන් වයසේ දරුවෝ ටික් ටොක්, ඉන්ස්ටග්රෑම්, ෆේස්බුක් වගේ මාධ්ය තමන්ගේ ජීවිත ආදර්ශ ලබා ගන්න තැන් බවට පත් කරගැනීම නම් ලොකු ඛේදවාචකයක්. 2025 අවුරුද්දේ netflix හරහා විකාශය වෙලා ලෝකය පුරා සෑහෙන ලොකු ජනප්රියත්වයක් ලබාගත්තු Adolescence කියන්නේ මෙන්න මේ මාතෘකාව මුල කරගෙන නිර්මාණය වුණු කොටස් 4කින් සමන්විත බ්රිතාන්ය රූපවාහිනී නාටකයක්. මුලින්ම තිබුණ දෙබස ඒ නාටකයෙන් උපුටා ගත්ත එකක්. ජේමිව අපිට මුණ ගැහෙන්නෙ එතනදී.
තාක්ෂණික පැත්තෙන් ගත්තොත් Adolescence කියන්නෙ සෑහෙන විශේෂත්වයක් තියන නිර්මාණයක්. ඒකට හේතුව මේ නාට්යයේ කොටස් 4ම නිර්මාණය වෙන්නේ පැයක කාලයක් ධාවනය වෙන අඛණ්ඩ රෑප රාමු 4කින් වීම. පැයක් දිග මේ තනි කොටසකිදි අතර මැදින් ඒ දර්ශණය කැපෙන්නේ නෑ. චරිත සහ අවස්ථාවන් එක්ක කැමරාව එහා මෙහා ගමන් කරනවා පමණයි. තනි කැමරාවකින් මෙහෙම වැඩක් කරන්න ලොකු පුහුණුවක් වගේම හොදම මට්ටමේ ඉවසීමක් අවශ්යයි. කියවන්න තිබුණ විදිහට නාට්ය කණ්ඩායම එක කොටසක් වෙනුවෙන් සති හතරක් පුහුණුවීම් කරලා පස්වෙනි සතියෙදියි රෑපගත කිරීම කරන්නෙ. එක කොටසක් හරියට රෑගත කරන්න දහපාරකට වඩා උත්සාහ දරලා තිබුණා කියලා තමා කියන්නෙ. ඉතින් වැඩේ තියන බරපතළ කම අමුතුවෙන් කියන්න ඕන නෑ. මේ වගේ බරපතළ වැඩකදී රඟපාන නළු නිළියන්ටත් ලොකු ශ්රමයක් වැය කරන්න සිද්ධ වෙනව. මේක කොච්චර ලොකු වෙහෙසක් ද කියනව නම් ජේමි ගේ චරිතය කරන ළමා නළුවා Owen Cooper ට අවසාන දර්ශන වාරයක එක තැනකදී කම්මැලි කමට ඈනුමකුත් යනවා. එතනදී Owen එක්ක රඟපාන අනෙක් නිළිය "ආ.. ඔයාට දැන් මාව එපා වෙලාද" කියල කියනවා. Owen ඒකට හිනාවකින් ප්රතිචාරයක් දෙනවා. මේක පිටපතේ නොතිබුණු සිද්ධියක් කියල තමා කියන්නේ. මේ Owen Cooper ගේ පළමුවෙනි රගපෑම බව කියවද්දි නම් සෑහෙන්න පුදුම හිතුණා. පළවෙනි වැඩෙන්ම මෙච්චර රගපෑමක් හිතාගන්න බැරි දෙයක්. ඊළඟට තාත්තාගේ චරිතය කරන Stephen Graham අමතක නොවෙන රංගනයක් ඉදිරිපත් කරනවා. Stephen Graham මේ කතාවේ පිටපත ලියන්නත් දායක වෙලා තියෙනවා. Stephen ලොකුවට කතාබහක් ඇති නොවුණත් විශිෂ්ට ගණයේ නළුවෙක් කියන්න පුලුවන් කෙනෙක්. ඒ බව හිතාගන්න පුළුවන් Stephen රගපාලා තියන චිත්රපටි ලයිස්තුව බැලුවාම. Adolescence අධ්යක්ෂණය කරන Philip Barantini ම අධ්යක්ෂණය කරන තවත් තනිරූප රාමු චිත්රපටියක් වන Boiling Point වලත් ප්රධාන චරිතය කරන්නේ Stephen Graham ම තමයි. Adolescence නාට්ය බලලා ඉවර වෙලා youtube වල Adolescence | Behind The Scenes කියලා සර්ච් කරලා බලන්න. වැඩේ නිර්මාණය වුණු හැටි බලාගන්න පුළුවන් වේවි. ඒකත් බලන්න වටිනවා.
කලිනුත් සදහන් කළා වගේ Adolescence කියන්නේ සමාජ මාධ්ය සෑහෙන දියුණු අද වගේ කාලෙක තරුණ ළමයින්ට මේවා බලපෑම් කරන්නේ කොහොමද කියන දේ සහ විරුද්ධ ලිංගිකයින්ව නිවැරදිව තේරුම් ගන්න සහ ඔවුන් එක්ක හොද මට්ටමේ සම්බන්ධකමක් පවත්වන්නෙ කොහොමද කියන කාරණා සම්බන්ධව මේ වයසෙදිම දරුවන් පුහුණු තියන අවශ්යතාවය පෙන්වා දෙන රෑපවාහිනී නාටකයක්. ඒ පෙළඹවීම ඇතිවෙන්න ඕන දෙමව්පියන්ගේ පාර්ශවයෙනුයි. දරුවන්ව හොඳ පාසලකට යවලා ඔවුන්ට අවශ්ය පහසුකම් අතට පයට ලබා දුන්නාම හැම දේම සම්පූර්ණයි කියලා දෙමව්පියන් හිතනවා නම් ඒක ලොකු වරදක්. අම්මා කෙනෙක්, තාත්තා කෙනෙක් කියන්නේ දරුවාට ජීවිතයට ආදර්ශයට ගත හැකි චරිතයක් වෙන්න ඕන. ජීවිතයට මග පෙන්වා දෙන ගුරුවරයෙක් වෙන්න ඕන. එහෙම නොවී දරුවාට වැරදෙන තැන්වල අහක බලා හිටියම ඒ දරුවා තවත් ජේමි කෙනෙක් වෙන්න තියන අවස්ථාව වැඩියි. හැම දරුවෙක්ම මොකක් හරි දෙයකට විශේෂයෙන් දක්ෂකමක් පෙන්වනවා. ඒ ක්රීඩාවෙන් වෙන්න පුළුවන්, කලාවෙන් වෙන්න පුළුවන්, වෙනත් ඕනැම දෙයකින් වෙන්න පුළුවන්. දරුවාගේ මෙන්න මේ හැකියාව තේරුම්ගෙන ඒපැත්තට යොමුකරවීම දෙමව්පියන්ගේ කාර්යයක්. ජේමිගේ ඛේදවාචකය ඇතුළේ මෙන්න මේ අර්බුදයත් තියනවා. ජේමිගේ මේ විශේෂ හැකියාව තේරුම් නොගෙන නිකන්ම කම්පියුටරයක් අරන් දීලා කාමරයට කොටු කරලා තිබ්බාම, නැත්නම් අනික් ළමයි සෙල්ලම් කරන නිසා සෙල්ලම් කරන්න අරගෙන ගියාට එයින් දරුවාට කිසි හොඳක් නොවුණු බව ජේමිගේ අම්මාටත් තාත්තාටත් තේරුම් යනකොට වෙන්න ඕන දේ වෙලා ඉවරයි. අවසාන වශයෙන් Adolescence කොටස් හතර කියන්නේ කෙනෙකුට සෑහෙන ලොකු පරිමාණයකින් ජීවිත අවබොධයක් ලබා දෙන නිර්මාණයක්, ජීවිතය දිහා ආපහු වෙනස් විදිහකට හැරිලා බලන්න පොළඹවන නිර්මාණයක්. Films, TV Series බලන අය, විශේශයෙන් දැනටමත් දෙමව්පියො වෙලා ඉන්න අය නැත්නම් අනාගතයෙ එහෙම වෙන්න බලාපොරොත්තු වෙන අය මේක අනිවාර්යයෙන් බලන්න.



1 comment:

  1. Aruni WickramasingheMarch 29, 2025 at 9:58 PM

    මේක අවුරුදු 11 ක්‌ වෙන ම‍ගේ දරුවා සමග නැරඹිමට සුදුසුද රන්දික අයියේ. ප්‍රචණ්ඩත්වය තියෙනවද?

    ReplyDelete