Tuesday, February 27, 2024

The Zone of Interest (2023)

දෙවනි ලෝක යුද්ධ කාලයෙදී ස්පාඥ ජාතික චිත්‍ර ශිල්පී පිකාසෝ ප්‍රංශයේ පැරිස් නගරයේ කලක් වාසය කළා. ඔය අතරෙ හරියටම 1940 ජුනි 14 වෙනිදා ජර්මානු නාසි හමුදාව පැරිස් නගරයේ බලය අල්ලාගත්තා. පිකාසෝ මේ නගරෙ වාසය කරන බව නාසිවාදීන් දැනගෙන හිටියා. ඔවුන් පිකාසෝගේ යුධ විරෝධී කලා භාවිතාවට කැමැත්තක් දැක්වුවේ නෑ. දවසක්  පිකාසෝගේ නවාතැන පරික්ෂා කරබලන්න හිට්ලර් ගේ රහස් පොලීසිය වුණ ගෙස්ටපෝ භටයින් කීප දෙනෙක් පැමිණුනා. නිවස පරික්ෂා කරන අතරෙ ඔහුගේ සුප්‍රකට "ගුවර්නිකා" නම් විශාල සිතුවමේ කුඩා පරිමාණ පිටපතක් ඔවුන් සොයාගත්තා. ගුවර්නිකා සිතුවමෙන් ඉතාම සංකේතාත්මකව නිරූපිත වෙන්නේ ස්පාඥ්ඤ සිවිල් යුධ සමයේදී නාසි හිතවාදී පාලක ෆ්‍රැන්කෝ ගේ හමුදාවන් ගුවර්නිකා නගරය ගුවනින් බෝම්බ දැමීමේ සිද්ධිය සහ එවකට රටේ තිබූ පරිහානිය. ගුවර්නිකා කියන්නේ ස්පාඤ්ඤයේ එවකට පැවති ෆ්‍රැන්කෝ ගේ ඒකාධිපති පාලනයට විරුද්ධ වුණු නිදහස් මතධාරී මිනිසුන් බොහෝමයක් සිටි නගරයක්. සාමාන්‍ය සිවිල් වැසියන් බොහෝ ගණනක් මරා දමමින් එල්ල කළ මේ බෝම්බ ප්‍රහාරය ලෝක ඉතිහාසයේ එක් අඳුරු පැල්ලමක්. 

"තමුසෙද මේක කළේ" ගුවර්නිකා සිතුවමේ පිටපත පෙන්වමින් ගෙස්ටපෝ නිලධාරියා පිකාසෝගෙන් ඇහුවා. "මං නෙමේ තමුසෙලයි ඕක කළේ" කියල පිකාසෝ අනික් පැත්තට උත්තර දුන්න කියලා ඉතිහාසයේ සඳහන් වෙනවා. කලාකරුවෙකුගේ අන්තර්ඥානය ගැන හොඳ උදාහරණයක් විදිහට මේ සිද්ධිය අපිට අරගන්න පුළුවන්.  ඒ ප්‍රකාශය වගේම සිතුවම් මාධ්‍යයෙනුත් පිකාසෝගේ යුධ විරෝධය නාසින්ට එල්ල වෙන්නෙ අති සියුම්ව සෞන්දර්යාත්මකව නමුත් කණේපාරක් ගැහුවා වගේ ප්‍රබලව. පිකාසෝගෙ සිද්ධිය මගෙ මතකෙට ආවේ මේ වතාවේ (2024) ඔස්කාර් සම්මාන උළලේ විදෙස් භාෂා අංශයෙන් වගේම වසරේ හොඳම චිත්‍රපටය සඳහාත් නිර්දේශ වෙලා තියන The Zone of Interest නරඹද්දී. The Zone of Interest කියන්නෙත් මෙහෙම අති සියුම්ව තදබල යුද විරෝධක් නිරූපිත කරන සිනමාපටයක්.

යුද්ධය කියන තේමාව ගැන කතා කළත් කොයිම වෙලාවකත් යුද්ධයක්වත්, අවි ආයුධ හෝ මනුෂ්‍ය ඝාතනයක්වත් මේ චිත්‍රපටයෙන් දැකගන්න ලැබෙන්නෙ නෑ. යුධ විරෝධය කියන තේමාව යටතෙ නිර්මාණය වුණු බොහොමයක් චිත්‍රපට අතර The Zone of Interest සුවිශේෂ නිර්මාණයක් වෙන්නෙ ඒ හින්දා. එහෙනම් මේකෙ තියෙන්නෙ මොනවද? සමහරවිට ඒ විස්තරයම ඇති වේවි ඔබව මොහොතක් කම්පනයට පත්කරන්න. නාසි හමුදාවේ ඔෂ්විට්ස් සිරකඳවුර ගැන බොහෝවිට ඔබ අහල ඇති. එතැන තමා නාසීන් ඔවුන්ට තිබුණ "යුදෙව් ප්‍රශ්නයට" විසඳුම ලබා දුන්නු තැන. "යුදෙව් ප්‍රශ්නය" නම් ඓතිහාසික සංසිද්ධිය ඇතිවෙන්නේ යුදෙව් ජාතිකයින් යුරෝපයේ මධ්‍යම සහ බටහිර ප්‍රදේශවල සීග්‍රයෙන් ව්‍යාප්තවීමත් එක්ක. ඔවුන්ට තමන්ගේම ස්වෛරී රාජ්‍යයක උරුමය තිබුණේ නෑ. 18 අවසාන සහ 19 වන සියවස්වල යුරෝපීය ඒකාධිපති පාලකයින් මේ යුදෙව් ජනයා දේශපාලනික සහ ආර්ථිකමය වශයෙන් විශාල ප්‍රශ්නයක් වන බව නිගමනය කළා. 19 සියවස මැද භාගය කිට්ටුව ජර්මනියෙන් පහළ වී යුරෝපයෙ සැලකියයුතු බලයක් අල්ලාගත් හිට්ලර් නොයෙක් ක්‍රම වලින් යුදෙව්වන්ට සමාජ බලය අහිමි කරවන්න උත්සාහ දරමින් සිටියත්, මේ යුදෙව් ප්‍රශ්නයට ඇති අවසාන විසඳුම විදිහට ඔහු තෝරාගන්නේ ඔවුන්ව යුරෝපීය භූමියෙන් අතුගෑවී යන තුරුම සමූල ඝාතනය කර දැමීම. තමන්ගෙ මේ අමානුෂික වැඩපිළිවෙල සාධාරණීකරණය කරන ආකාරයට ඔහු ජර්මානු ජන මනස වෙනස් කරගෙන තිබුණා. ඔෂ්විට්ස් කියන්නෙ මේ යුදෙව්වන් අතුගාදැමීමේ මෙහෙයුම ක්‍රියාත්මක වුණු තැන, එනම් කිරි දරුවාගේ පටන් වැඩිමහල්ලා දක්වා භේදයකින් තොරව යුදෙව්වන් සමූහ වශයෙන් පණපිටින් පුළුස්සා දැමුණු තැන. වඩාත් සරලව කිව්වොත් මේක තමා මිහිමත අපාය! නමුත් මේ අපායේ අල්ලපු වැටේ නිවසක් හදාගෙන ජීවත් වෙන්න ඔබට මට අවස්ථාවක් ලැබුණොත් කොහොමට තියෙයිද? සැකයක් නෑ කොහොම වුණත් අපි කවුරුවත් එහෙම තැනක වසන්න කැමති වෙන්නෙ නෑ. නමුත් ඔය අපාය එහා වැටේ තියාගෙන සුරපුරයක් වගේ ගෙයක් සහ මල්වත්තක් හදාගෙන ජීවත් වුණු කෙනෙක් නෙමෙයි මුළු පවුලක්ම හිටියා. The Zone of Interest මූලික වශයෙන් ගොඩනැගෙන්නෙ මේ පවුල මුල් කරගෙන. දෙවනි ලෝක යුධ සමයේ යුදෙව් සංහාරය උපරිමෙන්ම යථාර්ථවාදීව නිරූපණය කරන Schindler’s List චිත්‍රපටිය ඔබ බලලා තියනව නම් The Zone of Interest කියන්නෙ ඒ සිද්ධියම, ඒ මොහොතෙම අසල්වැසි නාසි හමුදා නිලධාරියෙකුගේ නිවසේ ගෙවත්තේ හිටගත්තාම දැනෙන හැටි. චිත්‍රපටය නිර්මාණය වෙන්නේ මෙනමින්ම පළවුණු නවකතාවක් මුල් කරගෙන.

මේ ගෙදර වාසය කරන්නේ ඔෂ්විට්ස් බාරව කටයුතු කළ ප්‍රධාන හමුදා නිලධාරියෙක්, ඔහුගෙ බිරිඳ, දරුවන් සිව්දෙනා සහ ගෙදර මෙහෙකාරයින්. තාප්පෙන් එහා තියෙන්නෙ මොකක්ද කියන කාරණේ අමතක කරවන තරම් මේ නිවස සහ ගෙවත්ත පුදුම තරම් ලස්සනයි. බැලු බැලු අත තියෙන්නෙ කොළ පාටක්. නිතර මල් පිපෙන් මල් ගස්, මල් වැල්. (ෆිල්ම් එකේ මේ පෝස්ටර් එකෙන් ඒකාරණාව හොඳටම පෙන්නුම් කරනව) ඒත් ඇත්තටම ඔවුන්ගේ ජීවිතවල ඔය ලස්සන තියනවද? මේ දෙමව්පියෝ පුළුවන් තරම් අවට ලෝකයේ ඇතිවී තියන යුද්ධයේ නපුරු කම් දරුවන් ගෙන් වසන් කරන්න උත්සාහ ගන්නවා. සතුටින් ජීවත්වෙන්න සහ ඒ බව පෙන්වන්න ඔවුන් උත්සාහ ගන්නවා. ඒත් චිත්‍රපටය පුරාම මේ පවුල ගැන දැනෙන්නෙ මහ හිස් හැඟීමක්. දැන් එතකොට තාප්පෙන් එහාපැත්තෙ තියෙන දේ නොපෙනුණත් අඩු ගාණෙ සද්දයක් වත් මෙහාට ඇහෙන්නෙ නැද්ද? අන්න ඒ කාරණේ නිසාමයි මේ චිත්‍රපටය තවත් සුවිශේෂ එකක් බවට පත්වෙන්නෙ. තාපේපෙන් එහා ලෝකයේ සිද්ද වෙන්නෙ මොකක්ද කියල චිත්‍රපටය නරඹන්නෙකුට දැනගන්න ලැබෙන්නෙ ඈත ඉඳන් ඇහෙන නොයෙක් සද්ද බද්ද එක්ක. ඒ චිත්‍රපටයෙ මූලික සිද්ධි දාමයට පසුබිමෙන්. මේ පසුබිම් ශබ්ද ඉතාම විශිෂ්ඨ ආකාරයෙන් චිත්‍රපටයෙ භාවිත කරල තියනව කියන්න පුළුවන්. සමහරවිට මේ නිර්මාණකරුවන් තවත් චිත්‍රපටයක් හදන්න යන වෙහෙස දරන්න ඇති පසුබිම් ශබ්ද වෙනුවෙන්. (චිත්‍රපටයේ සමහර තැනක එංජිමක් ක්‍රියාත්මකවෙන සද්දය අහන්න ලැබේවි, හැබෑ ජීවිතේ මේ යුධ නිලධාරියා සිර කඳවුරේ සද්ද තමන්ගේ පවුලේ අයට ඇසීම වළක්වන්න පිටතින් එංජිමක් ක්‍රියාත්මක කර තියන්න උපදෙස් දී ඇති බව කියවෙනවා) The Zone of Interest හොඳම ශබ්ද පරිපාලනය වෙනුවෙන් ඔස්කාර් සම්මානයකට නිර්දේශ වෙන්නෙ ඒ නිසාමයි. (The Zone of Interest ඔස්කාර් සම්මාන 5කට නිර්දේශ ලබල තියනව, හොඳම විදෙස් භාෂා චිත්‍රපටය, හොඳම ශබ්ද පරිපාලනය, වසරේ හොඳම චිත්‍රපටය, හොඳම අධ්‍යක්ෂණය, හොඳම අනුවර්තිත තිරපිටපත; ඒ වගේම Anatomy of Fall වෙනුවෙන් හොඳම නිළියට ඔස්කාර් නිර්දේශ වෙලා ඉන්න Sandra Huller මේකෙ ප්‍රධාන චරිතයක් කරනව)

චිත්‍රපටය මැදක් වෙද්දී සාමාන්‍ය ආකාරයෙන් ගලාගිය රෑප රාමු හිටි ගමන් වෙනස් වෙලා, උෂ්ණ සංවේදී තර්මල් කැමරාවකින් රෑගත කළ කළු සුදු දර්ශන පෙළක් තිරය මත මැවෙනවා. එතනදි අහන්න ලැබෙන්නේ භීතිය දනවන සුළු පසුබිම් ශබ්දයක්. එතැනදි දැකගන්න ලැබෙන්නේ ගැහැනු ලමයෙක් සිර කඳවුරේ සිරකරුවන්ට සොයාගන්න පුළුවන් වෙන ආකාරයට ඇපල් ගෙඩි සඟවා යන සිද්ධියක්. මේ සිදුවීම් මාලාව චිත්‍රපටයෙන් අනෙක් දර්ශන අතර වැඩියෙන් අවධාරණය කරන්න අවශ්‍ය නිසා මේ උපක්‍රමය භාවිත කරන්න ඇති. එක අතකින් චිත්‍රපටයේ තියන සුන්දර දර්ශන හැම එකම වගේ යුද්ධයේ බිහිසුණු කම පසුබිමේ මැවෙන නිසා, චිත්‍රපටයේ තියෙන ඇත්තටම අනෙකා ගැන ආදරයෙන් සිදු කරන ක්‍රියාව අඳුරු පසුවිමක නිමවන්න මේ නිර්මාණ කරුවන් කල්පනාකරන්න ඇති. නැත්නම් තර්මල් ක්‍රමයට අවට පරිසරය අඳුරේ තියෙද්දී අදාළ චරිතය පමණක් ආලෝකවත්ව මතුකරන්න නිසා මෙහෙම කළා වෙන්න පුළුවන්. එයින් මූලිකව මතුකරන්න උත්සාහ කරන්නේ මේ දැරියගේ ආත්මයේ ඇති ආලෝකය වන්න ඉඩ තියනව. නමුත් වැදගත්ම දෙය මේ විදිහට වෙනස්ම ආකාරයෙන් ඒ දර්ශන මාලාව ඇතුළත් කර තිබීම නිසා චිත්‍රපටිය නරඹන කෙනෙකුට මෙය හොඳින් මතකයේ රැඳීම. මේ ගැහැනු ළමයාගේ චරිතය නිර්මාණය කළේ ඇත්තටම තමන්ට මුණගැහුණ, මේ ආකාරයෙන් සිර කඳවුරේ ඇපල් සඟවා තැබුව, දැන් වයස්ගත ව පසුවෙන පෝලන්ත ජාතික කාන්තාවක් නිසා බව චිත්‍රපටයේ අධ්‍යක්ෂ Jonathan Glazer කියා තිබෙනව.

කලිනුත් කිව්වා වගේ චිත්‍රපටයේ දකින්න ලැබෙන්නෙ අර පිකාසෝගේ කතාව වගේ අන්තර්ඥානයකින් වටහාගත යුතු අති සියුම් යුධ විරෝධයක්. මේ යුද්ධයේ බිහිසුණු කම සහ තවත් මිනිසෙක් ගැන ඇති සහකම්පනය මිය ගිහින් තියන හැටි මතු කරන්න අධ්‍යක්ෂකවරයා චිත්‍රපටය පුරා සංකේත සහ ඇතැම් මිනිස් හැසිරීම් භාවිත කරල තියන විදිහ අතිවිශිෂ්ඨයි. සමහර විටෙක සෙබළුන් සමග ඇවිද යන ඌරෙක්, නිවසේ ඇවිදින කළු බල්ලෙක්  සංකේතමය චරිතයක් රඟදක්වනවා. ඔෂ්විට්ස් ගැන දන්නා කෙනෙකුට නම් සමහර දර්ශන දැඩි තිගැස්මක් ඇති කරනවා. ඈතින් අහසට නැගෙන දුම එක්ක අළු වෙලා යන්නේ මනුෂ්‍යත්වය නේද කියලා හිතන්න පොළඹවනවා. සිනමාව කියන මාධ්‍යයේ තියෙන කලාත්මක භාවය උපරිමෙන් භාවිත වුණු තැනක් විදිහට මේ චිත්‍රපටිය හඳුන්වා දෙන්න පුළුවන්. මොකද මෙතැන මුල මැද අග ගැළපුණු කතාවක් කියනවා වෙනුවට සියුම් ඉඟි සහ සංකේත රූප මාර්ගයෙන් නරඹන්නාට යුද්ධයෙ තියන අප්‍රසන්න කම ඇඟටම දැනවීමයි මුල සිට අග දක්වාම චිත්‍රපටයෙන් කරන්නේ. ඒ හින්දා මේ චිත්‍රපටය නරඹන්න නම් සෑහෙන "සිනමා සංවේදී" කමක් උවමනායි. අවසානය කිට්ටුවෙද්දී, චිත්‍රපටය එතෙක් ගලා ආ කාල රාමුවෙන් පිට පැනලා වර්තමානයක් සහ අතීතයක් අසම්බන්ධිත රෑප රාමු පෙළක් හරහා නරඹන්නා ඉදිරිපිට මවනවා. අර තර්මල් කැමරා දර්ශන වගේ මේ රෑප මාලාවත් හිතුවක්කාරී වෙනසක් ඇති කරන නමුත් නරඹන්නෙකු තුළ ඇති කරන්නෙ විශාල තැතිගැන්මක් වගේම දෙවනි ලෝක යුද්ධයේ ඒ ක්‍රියාකාරකම් ගැන විශාල අප්‍රසාදයක්. යුද්ධය කියන සංසිද්ධිය මිනිස්සු අතරට අරගෙන එන නපුර කොයිතරම් බලවත්ද කියන කාරණාව එක අවි ආයුධයක්, මිනිස් ඝාතනයක් නොපෙන්නා පෙන්වන්නෙ කොහොමද කියන දේ ගැන හොඳම උදාහරණයක් මේ චිත්‍රපටය. ඒ සිනමා භාවිතාවෙ සුවිශේෂත්වය නිසාම වසරේ හොඳම චිත්‍රපට අතරට The Zone of Interest නිසැකවම ඇතුළත් විය යුතුමයි.



Thursday, February 8, 2024

ලොව සිනිඳුතම වළාකුළු

ලොව ඇති සිනිඳුතම වළාකුළු
පාව එනුයේ රෝහලට ඉහල අහසෙනි...
තටු කැඩුණු සුරදූතයන්,
මෙ ලෝ එළිය දකිනට මත්තෙන්
ඇස් පියාගත් සුරදූතිකාවන්,
සනීපෙට නිදයි එහි...

ලොවේ කොතැනක හෝ
මවකගෙ මුවින් ගිලිහෙන ගී
මුහුවී අවුත් සුළඟේ
පෙරී විත් වළාකුළු ඉමට
ගැයෙයි ඒ තුළ ලොව ඇති 
මිහිරිතම නැළවිලි...

ආකාශ ගංගාවේ
සඳේ සඳසාවුන් නිදන
සඳවළල්ලෙන් බේරී
ගලා එයි ඒ වළාකුළු තුළට
සඳෙහි සියුමැලිම සඳ කෙඳිති...

ඒ සියළු මිහිරයි
වැහි මන්දාරමේ අඳුරින්
ආකහේ බොඳ වෙද්දී
පායා එන්නෙ දේදුන්නක් වී...



Wednesday, February 7, 2024

Three of us (2023)

ජීවිතේ අතිශ්‍ය නොවැදගත් කුඩා මොහොතක වුණත් සමහර වෙලාවට කොයිතරම් කාව්‍යාත්ම ලස්සනක් තියෙන්න පුළුවන්ද කියල හිතුණා Three of us බලද්දී. අන්තර්ගතය එහෙම පිටින්ම අතහැරලා රෑප රාමුවෙන් රෑප රාමුවට ඇස් ඉස්සරහ මැවෙන සෞන්දර්යයෙන්ම හිත පුරවාගෙන යන්න තියනව නම් ඒ වුණත් ඇති කියලා හිතනේනේ එහෙම වෙලාවට. එක වෙලාවකදි තිරය මත මැවෙන්නේ රැළි නැගෙන මූදු වෙරළක්, ආයෙ වෙලාවක ගරා වැඩිච්ච උළු හෙවිල්ලපු පරණ ගෙයක්, අවන්හලක රෑ ආහාර ගනිම්න් ඉන්නා කෙනෙකුගේ මූණට වැටෙන පැති ආලෝක ධාරාවක්. තව පැත්තකින් දිය දහරක් ගාව තියන කෝවිලක්, පරණ කළු ලෑල්ලක්, දූවිලි වැදිච්ච ඩෙස් බංකු තියන පන්ති කාමරයක්, කොළ පාටින් වැහිච්ච පරසරයක්, භරත නාට්‍යම් නර්තනයේ යෙදෙන සුන්දර යුවතියන් කාණ්ඩයක්, ඔවුන්ගේ සිරුරුවල මතුවන ඉසියුම්.හැඩතලයක්, පසුබිමෙන් ඇහෙන ඉන්දියානු සම්භාව්‍ය සංගීතයක්, ඒ හැමදෙයක්ම අතරෙ මල් පෙති වගේ මෘදු ගැහැනු සහ පිරිමි, මේ හැම දෙයක්ම පුදුමු ප්‍රහර්ෂයකින් ඇසිපිය නොහෙලා බලා සිටිය හැකි දේවල්. 

එතකොට මේකෙ අන්තර්ගතය? ඒක වැදගත් නැද්ද? මේ දේ මෙහෙම වුණේ ඇයි? අපිට ඕන නම් පුළුවන් හරස් ප්‍රශ්න අසමින් මේ කතාවෙ තවත් ගැඹුරට යන්න. ඒ අතරෙදි ජීවිතේ අංශුමාත්‍රයක් දිහා බලා සිටීමෙන් හදවත පුරවගන්න. පුරවගත් දෙයින් බිංදුවක් ජීවිතේට අරගෙන යන්න. මෙතදි මං දෙවනි තැනින් නතර වෙන්නම්. මොකද මේක තමන්ගෙ ඇස් දෙකෙන් දැකල තමන්ම විඳගන්න ඕන දෙයක් නිසා. හරියට කවියක් වගේ. කවියක් වුණත් එහෙමනෙ. කවියක පරිපූර්ණ කතාවක් නෑ. වචනවලින් මැවෙන සෞන්දර්ය විඳින ගමන් ඒ අත්දැකීමේ ගැඹුර හදවතින් ස්පර්ශ කිරීමයි වෙන්නෙ. එහෙම බැලුවාම මේ තමා කාව්‍යමය ඉන්දියානු සිනමාව කියන්නෙ. ලෝකෙ කොහෙවත් නැති, ඉන්දියාවෙ පමණක්ම දකින්න ලැබෙන පෙරදිග සෞන්දර්යයි මෙතනදි අපිට විඳගන්න ලැබෙන්නෙ. 

හින්දි භාෂාවෙන් නිර්මාණය වෙලා තිබුණත් මේක හින්දි චිත්‍රපටයක් ද කියල නොදැනෙන තරම්. මොකද හින්දි සිනමාව කිව්ව ගමන් අපේ මනසෙ මැවෙන්නෙ ගැයුම් වැයුම් එක්ක නාට්‍යමය උද්වේගකාරී බව පිරුණු මසාලා සිනමාවක් නෙ. ඒ අතින් Three of us වල ගොඩක් දැනෙන්නෙ  බොලිවුඩ් ඇරුණාම ඉන්දියාවෙ අනෙක් ප්‍රාන්තවල, මලයාලම්, ඈසැම්, බෙංගාලි චිත්‍රපට වලට හුරු ගතියක්. මේ නිස්කලංක බව, දේවල් විස්තරාත්මකව නොපෙන්වා ඇඟවීම වගේ සාහිත්‍යමය පක්ෂය මේ ජනප්‍රිය හින්දි සිනමාවෙ දකින්න ලැබෙනව අඩුයි. එහෙම හිතුවාම Three of us කියන්නෙ කලබලකාරී මනස සුවපත් කරන ඉන්දියානු ඔසුවක් තමයි. මේ වගේ චිත්‍රපට ප්‍රිය කරන කලාලෝලී කිසි කෙනෙක් මග හැර නොගතයුතු චිත්‍රපටයක් බව කියන්න කැමතියි.

ප.ලි - මේ චිත්‍රපටය බලල දැන් ටිකක් කල් සහ මේ සටහන ඔය කාලෙ ඇතුලෙ ලියවී තිබුණ එකක්. මෑත දවසකදි  පැවැත්වුණ මේ අවුරුද්දේ  Filmfair සම්මාන උළලේ Three of us හොඳම චිත්‍රපටය විදිහට නිර්දේශයකුත්, මේකෙ ප්‍රධාන චරිතය රඟපෑ Shefail Shah හොඳම නිළිය සම සම්මානයත් දිනාගන්නව. මේ චිත්‍රපටයෙ Shefail ගෙ රඟපෑම කාලෙකට අමතක නොවෙන අතිවිශිෂ්ථ ගණයේ එකක්. ඇය ලැබූ ජයග්‍රහණය ගැන තියෙන්නෙ ලොකු සතුටක්.

\