Saturday, June 21, 2025

ඇමරිකානු විරාගය - Detachment (2011)

 මාටින් වික්‍රමසිංහ මහත්මයා විරාගය නවකතාව රචනා කරන්නේ අරවින්ද ජයසේන නම් චරිතය මූලික කරගෙන. අරවින්ද බාහිර ලෝකයට සම්බන්ධ දේවල් වලට ඒ තරම් උනන්දු නැති කෙනෙක්. තමන්ගේ ඇතුළු ආත්මයටම බර වුණු හිතක් තියෙන නිහඬ හුදෙකලා දිවිපෙවෙතක් ඇති අමුතු චරිතයක්. අරවින්ද කියන නමම ඔහුගේ පැවැත්ම ගැන ප්‍රබලව සංකේතවත් කරනවා. අරවින්ද කියන්නේ නෙළුමට, නෙළුම මඩෙන් ඉපදුණත් මඩෙන් සාරය උරාගෙන මඩේ නොගෑවී සුවඳම පතුරුවනවා මිස තමන් දූෂිත බවට පත් වෙන්නෙ නෑ. සමානකම් වගේම අසමාන වෙන තැන් තිබුණත්, අරවින්ද වැනි විරාගික තරුණයෙක් වෙන Henry Barthes නම් චරිතය මුල් කරගෙනයි 2011 අවුරුද්දේ Detachment චිත්‍රපටිය නිර්මාණය වෙන්නේ. අරවින්ද ටත් හෙන්රි බාත් ටත් පොදු සාධකයක් තිබුණා, ඒ තමා Detachment. 


Detachment කියන්නේ වචනාර්ථයෙන් ගත්තම Attachment වල විරුද්ධ පැත්ත. එනම් වෙන්වීම්, ඈත් වීම, නොබැඳී සිටීම. දාර්ශනික වශයෙන් Detachment යනුවෙන් හැඳින්වෙන්නේ ලෞකික වස්තු, මිනිස්සු, ගැහැනු නැත්නම් ලෝකයට විෂය වෙන කාරණා වලට තදින් නොඇලී පැවතීමට. බටහිර ප්‍රධාන වශයෙන් stoic දර්ශනයේදි සරල අල්පේච්ඡ දිවි පැවැත්ම ගැන කතා කරනවා. සරල නමුත් විනයානුකූල සහ අර්ථවත් ජීවිතය සතුට සැනසුම ළඟා කරදෙන බවට stoic දර්ශනයේ ඉගැන්වෙනවා. පසුව බටහිර බිහිවී ලෝකයේ ප්‍රචලිත වුණු කිතුණු දහමේත් මේ අදහස් අන්තර්ගත වෙනවා. පෙරදිග ප්‍රධාන දාර්ශනික ප්‍රවාහයන් වෙන හින්දු දහම, තාවෝවාදය සහ බුදු දහමේත් මේ නොඇලුණු ජීවිතයක වටිනා කම කියා දෙනවා. විශේෂයෙන් බුද්ධ දර්ශනයෙදී තවත් ගැඹුරට මේ කාරණා විග්‍රහ කරමින්, සියළු දුකට හේතු වන භවය සකස් වීමට මුල් හේතුව විදිහට උපාදානය (Attachment) හෙවත් ලෞකිකත්වයට ඇති තෘෂ්ණාව බව බුදුන් වහන්සේ කියා දෙනවා. බුදු දහමට අනුව පරම විමුක්තිය එනම් නිර්වාණය ලබා ගැනීමේ මාර්ගය වැටිලා තියෙන්නෙ තෘෂ්ණාවෙන් මිදීම හරහා බවයි බුදුන් දේශනා කරන්නෙ.


Detachment චිත්‍රපටියේ එන Henry Barthes අතිරේක ගුරුවරයෙක් විදිහට රැකියාවක් කරන කෙනෙක්. එතනදිත් නිරූපිත වෙන්නේ ඔහුගේ අනිස්ථිර ජීවිත පැවැත්මයි. ඔහු කලින් කලට විවිධ පාසල් වල ගුරුවරුන් පුරප්පාඩු වන විට කෙටි කාල සීමාවකට ඉගැන්වීමේ කටයුතු කරනවා. චිත්‍රපටියේ දැකගන්න ලැබෙන ආකාරයට ඔහුට ස්ථිර වාසස්ථානයක් නැහැ. ඔහු උගන්වන්නේ ඉංග්‍රීසි භාෂාව සහ සාහිත්‍ය. Detachment චිත්‍රපටියෙන් දැකගන්න ලැබෙන්නේ මේ විදිහට එක පාසලක මාසයක වගේ කාලයක ගුරුවරයෙකු විදිහට වැඩ කරද්දී Henry Barthes මුහුණ දෙන්න සිද්දවෙන අත්දැකීම්. මුල පටන් අග දක්වාම චිත්‍රපටිය නිමැවිලා තියෙන්නේ මහා සංවේගදායක සිදුවීම් මාලාවකින්. Henry Barthes ඒ සියළු දේ මැද පවතිනවා. සමහර විට ජීවිතේ අතහරින්න දහසක් හේතු තිබුණත් ඔහු නොවැටී ඉන්නවා. බාහිර ලෝකයේ තියෙන පීඩාව විසකුරු විදිහට නැවත ලෝකයට මුදාහරින්නෙක් වෙනවා වෙනුවට ඔහු ඒ සියලු දේ විඳ දරා ගෙන ජීවත් වෙනවා. 


චිත්‍රපටිය ඇතුළෙදී එක අතකින් ධනවාදය සහ තරඟකාරී බව මුල්කරගත්ත ඇමරිකානු සංස්කෘතියේ තියෙන හිස්කම සහ වල්මත් වුණු තාරුණ්‍ය අපි දකිනවා. Henry ට උගන්වන්න ලැබෙන පන්තියේ ශිෂ්‍යයින් සාහිත්‍ය ඉගෙන ගන්නා පිරිසක් වුණත් ඒ අය දිහා බැලුවාම පෙනෙන්නේ අදාළ විෂයට තියා කිසිම විදිහක දැනුමක් ලබාගන්න උනන්දුවක් නැති කාණ්ඩයක් විදිහට. ඔවුන්ට අනෙකා ගැන කිසිම සහකම්පනයක් ඇති බවක් පෙනෙන්නේත් නැහැ. ගුරුවරයෙකු ගැන ගරුත්වක් ඔවුන් ළඟ නැහැ. ශිෂ්‍යයන්ට තියෙන අසීමිත නිදහස සහ අයිතිවාසිකම් නිසා ඔවුන්ගේ වරදකටවත් එරෙහි වෙන්නෙ ගුරුවරුන්ට හැකියාවක් නැහැ. විශේෂයෙන් ඇමරිකානු 'තුවක්කු සංස්කෘතිය" මේ පාසල් දරුදැරියන්ට කරලා තියෙන්නෙ ලොකු විනාසයක්. මේ ශිෂ්‍යයන් අතින් Henry සෑහෙන පීඩාවකට පත්වෙනවා. මෙහෙම තැනකදී ඔහු කියන එක දෙබසක් ඇස් දෙකට කඳුළු ගේන තරම් ප්‍රබලයි.


"I dont' have any feelings you can hurt, ok?"


මේ ළමයින් අතරන් මෙරිඩිත් කියන ගැහැනු ළමයා විශේෂ කෙනෙක්. ඇය අනෙක් ළමයි වගේ හොහික්මුණු චරිතයක් නොවෙයි. ඇය ඉතාම සංවේදී කෙනෙක්. මෙරිඩිත්ගේ ආශාව තියෙන්නේ සිතුවම් සහ ඡායාරූපවලට. නමුත් ඇගේ දෙමාපියන් ඇගේ මේ කුසලතාවන් තේරුම් ගන්නේ නෑ. ඇය කරන්නේ තේරුමක් නැති චිත්‍ර ඇඳිල්ලක් සහ ෆොටෝගැහිල්ලක් බව කියමින් ඇගේ පියා ඈට බැණවදිනවා. මෙය මෙරිඩිත්ව සෑහෙන වේදනාවට පත් කරනවා. සමහර ගතනුගතික දෙමව්පියන් වගේ ඇගේ අම්මටත් තාත්තාටත් වැඩක් ඇති දේවල් විදිහට පෙනෙන්නේ සමහර විට හොද මුදලක් ලැබෙන සමාජේ ලොකු තැනක වැජඹෙන්න පුළුවන් සුදු කරපටි රස්සාවල් පමණක් වෙන්න ඇති. උපත්තියෙන් හොඳ කලා කුසලතාවක් ලැබිලා නමුත් ඔහොම හිතන දෙමාපිය යුවළකගේ දරුවෙක් වෙනවා කියන්නේ ලොකු වේදනාවක් තමයි.


අනෙක් අතින් Henry Barthes තමන්ගේ පන්ති කාමරේ ඉන්නා බහුතර ශිෂ්‍යයන්ට සාපේක්ෂව කොයිතරම් වෙනස්ද කියන කාරණේ පිළිබිඹු වෙනවා. කලිනුත් සඳහන් කළා වගේ මුළු සමාජයක්ම මුදල් පස්සේ තරඟෙට වගේ හතිදාගෙන දිව්වත් Henry ඒ කිසි දෙයක නොඇලී නොගැටී ජීවිතය පවත්වාගෙන යනවා. ගුරුවරයෙක් විදිහට ඔහු කරන්නෙ දරුවන්ට අදාළ විෂය කියා දීලා ජීවිතය සම්බන්ධයෙනුත් නිසි මගපෙන්වන්නෙකු වීම මිස ගුරුකම ඔහුට හුදෙක් තමන්ගේ පුද්ගලික ලාභය දියුණු කර ගැනීමේ මාර්ගයක් නොවෙයි. චිත්‍රපටියෙ තැනින් තැන නිරාවරණය වෙන Henry ගේ ආත්ම කථනයන් ඇතුළෙ ඔහු කියනවා මේ තරුණ ළමයි ගැන වැඩිහිටියන් වශයෙන් ඔවුන්ට තියන වගකීම ගැන. ඒ අතින් Henry කියන්නේ පරමාදර්ශී ගුරු චරිතයක් විදිහට නම් කළ හැකි කෙනෙක්. මේක Henry Barthes අරවින්දගෙන් වෙනස් වෙන එක තැනක්. අරවින්ද තමන් ඇතුළටම හැරුණු චරිතයක් වුණත් Henry ගුරුවරයෙක් විදිහට යම් සමාජ වගකීමක් අරන් වැඩ කරන කෙනෙක්.


Henry විවාහ වුණු කෙනෙකුත් නොවෙයි. ලස්සන සුදු (ලංකාවට අනුව) ගෑනු ළමයෙක්ව කසාද බැඳගෙන, දරුවෙක් දෙන්නෙක් හදලා, වාහනයක් අරන් ගෙයකුත් හදලා ලොකු රස්සාවක් කරගෙන ඉන්න පුළුවන්නම් ඒක තමා මනුස්සයෙකුට ලබන්න පුළුවන් දියුණුව කියලා සමාජෙන් මිනිස්සුන්ගේ ඔළුවලට දාන අච්චුවෙන්, විශේෂයෙන්ම දියුණු වීමේ "ඇමරිකානු සිහිනයෙන්", ගැලවිලා තමන් විශ්වාස කරන යම් අරුතක් වෙනුවෙන් ජීවත්වන කෙනෙක් මේ Henry. ඔහුගේ ජීවිතය ඇතුළේ තියන ආදරය කියන්නේ විවාහය කියන රාමුව ඉක්මවා පවතින පැවැත්මක්. Henry මහමග හමුවෙන ළාබාල වීදි ගණිකාවක් තමන්ගේ ගෙදර ගෙනත් නවත්වාගෙන ඇයව රැකබලා ගන්නවා. නමුත් දවසක ඇයට ඔහුව හැරයන්න වෙන බව ඔහු දන්නවා. මේ ආදරය සතුටු දායක අවසානයකින් කෙළවර නොවෙන බව දැන දැන ම ඇගෙන් කිසිමාකාරයේ අයුතු ප්‍රයෝජනයක් නොගෙන ඔහු ඇයට ආදරය කරනවා. 


Henry Barthes නොබැඳි චරිතයක් වුණත් දෙමව්පියන් සහ පවුල කියන තැනදී ඔහු අසරණ වෙනවා. Henry ගේ පියා කුඩා කාලෙම Henry වත් Henry ගේ අම්මාවත් හැර යනවා. Henry ගේ අම්මාත් ඒ ඉක්මණින්ම දිවිනසා ගන්නවා. Henry ට අවසානෙ ඉතිරි වෙන්නේ සීයා පමණයි. වයසට ගිහින් අබල දුබල වුණු සීයාව සත්කාරක මධ්‍යස්ථානයක නවත්වන්න Henry ට සිද්ධවෙලා තියනවා. නමුත් එතනදිත් සීයාට හරි හමන් සාත්තුවක් ලැබෙන්නෙ නෑ. Henryට සීයා සම්බන්ධව ඒ හැර වෙන කරන්න දෙයකුත් නැහැ. දෙමව්පියන් දෙන්නාම නැතිව ලෝකයේ තනිවුණු මුල් ගැලවුණු ළමා වියක් ගත කරන්න සිද්ධ වීම සමහර විට ඔහුව මේ වගේ ලෞකිකත්වයට තදින් නොඇලුණු චරිතයක් බවට පත් කරන්න ඇති. 


නිතරම දුක් මුසු බව තැවරිච්ච ඇස්දෙකකින් ලෝකය දිහා බලා ඉන්න හෙන්රි බාත් නම් කෙට්ටු කෙසඟ තරුණ ගුරුවරයා ගෙ චරිතය රඟපාන්නේ ගිය අවුරුද්දෙ Brutalist චිත්‍රපටිය වෙනුවෙන් හොඳම නළුවාට හිමි ඔස්කාර් සම්මානය දිනා ගත්ත Adrien Brody. Henry සහ Adrean කියන්නෙ දෙන්නෙක් නොවෙයි එක්කෙනෙක් කියා හිතෙන තරමට ඔහු මේ චරිතය ඇතුළේ ජීවමානයි. අවසානෙදි, එකවරක් හරි මේ මනුස්සයා වැළඳගන්න ඔබට හිතුණොත් මම පුදුම වෙන්නේ නෑ. සිනමා ලෝකය ඇතුළෙ මට මුණගැහුණ සදානුස්මරණීය චරිත අතරේ Henry Barthes ට තැනක් වෙන් වී ඇති බව නම් සහතික වශයෙන් කිවහැකියි.




No comments:

Post a Comment