ග්‍රීක පුරාවෘත වලට අනුව අතීත ලෝකයේ ජීවත් වුණු ටයිටන් නම් යෝධ මිනිස් කොට්ටාශයත් ඔලිම්පියානු දෙවිවරුනුත් අතර නිතරම යුධ ගැටුම් ඇති වුණා. ප්‍රධාන දෙවි සියුස් ඇතුළු දෙවිවරු දොළොස් දෙනෙකුගෙ දේව පරම්පරාව මේ නමින් හඳුන්වන්නෙ ඔවුන් ඔලිම්පස් කන්ද ආශ්‍රිතව බිහිවුණු බව කියවෙන නිසා. කොහොම වුණත් මිනිසා ලඟ නොතිබුණු වටිනා වස්තූන් දෙවිවරු ළඟ තිබුණ. ඒවා මිනිස් වර්ගයාගෙ ප්‍රයෝජනය වෙනුවෙන් දෙවියන් විසින් මිනිසුන්ට ලබාදිය යුතුයි කියන මතයේ මිනිසුන් හිටිය. ටයිටන් මිනිසුන් අතරේ කාය ශක්තියෙන් වගේම බුද්ධි මහිමයෙනුත් ඉහළ තැනක වැජඹුණු කෙනෙක් හිටියා ප්‍රොමිතියස් නමින්. මේ ප්‍රොමිතියස්, දෙවියන්ට පමණක් උරුමව තිබුණු වටිනා සම්පතක් වුණු ගින්දර දෙවියන්ගෙන් සොරකම් කරගෙන මිනිසුන්ට ලබාදෙන්න කටයුතු කලා. මේ බව දැනගත් ප්‍රධාන දෙවි සියුස් ඉතාම තදින් කෝපයට පත් වුණා. මේ කළ ක්‍රියාව වෙනුවෙන් මිනිසාගෙන් පලිගන්න ඔහු උපායක් යෙදුවා.
පෘථිවියේ පසෙන් සහ ජලයෙන් මිනිස් ගැහැනියක් නිර්මාණය කරන්න ඔහු කර්මාන්තවලට අධිපති දෙවි හෙෆස්ටස් ට අණ කලා. මේ ආකාරයට නිමැවූ මිනිස් ගැහැනිය දේව සභාව හමුවේ තබල සියලු දෙවියන්ට අයිතිවෙලා තිබුණු කුසලතාවන් ඇයට ලබා දෙන්න සියුස් කටයුතු කලා. ඒ අනුව සුන්දරත්වයට අධිපති දෙවඟන "ඇෆ්‍රොඩයිටි" ගෙන් සුන්දර බවත්, කලාවට අධිපති දෙවි "ඇපලෝ" ගෙන් කලාකාමී බවත්, වෙළඳාමට සහ ධනයට අධිපති "හර්මිස්" ගෙන් ඕනෑම කෙනෙක් තම මතයට නම්මවා ගැනීමට හැකි උපායශීලී බවත්, භාෂා කුසලතාවත් ඇයට ලැබුණ. සියලු දෙවියන් එක්වෙලා ඇය තුළ නිමානොවෙන කුතුහලය නම් ගුණාංගය ඇති කලා. නිර්මාණශීලීත්වය පිලිබඳ දෙවඟන "ඇතීනා" ඇයට රිදී පැහැ වටිනා ගවොමක් මවා දීල රිදී ඔටුන්නක් ඇගෙ හිසේ පැලැන්දුව. අවසානයෙ සියුස් ඇය අතට කුඩා පෙට්ටගමක් සහ යතුරක් ලබා දුන්න. "මිනිස් ලෝකයට යන්න, ඔබ කැමති කෙනෙක් සමග විවාහ වෙලා සතුටින් ජීවිතය ගතකරන්න. ඒත් කවදාකවත් කොයි මොහොතක වත් මේ පෙට්ටගම විවර කරන්න එපා" දෙවියන්ගේ ඒ අවවාදයත් එක්ක ඇය මිනිස් ලෝකයට පැමිණියා. සියුස් ඇයට නමක් දී තිබුනා, ඒ තමා "පැන්ඩෝරා" එහි තේරුම "සියලුම ත්‍යාගයන් ලබාගෙන එන්නිය" යනුවෙනුයි. පැන්ඩෝරා ලොව පහළවුණු මුල්ම මිනිස් ගැහැනිය යි.
පොළවට පැමිණි පැන්ඩෝරාට අගනා තරුණයෙක් මුණගැහුන. ඔහුගේ නම එපිමෙතියස්. ඔවුන් විවාහ වෙලා බොහෝම සතුටින් කාලය ගත කලා. මේ එපිමෙතියස් කියන්නෙ දෙවියන්ගෙන් ගින්දර සොරාගත් ප්‍රොමිතියස් ගේ සහෝදරයා. ස්වාමියා නිවසින් බැහැරව ගියාම පැන්ඩෝරා නිවසේ කාලය ගතකලේ තනිවම. ඇයට කරන්න දෙයක් තිබුණෙ නෑ. යම් එකාකාරි බවක් ඇයට දැනෙමින් තිබුණ. දවසක් තමන්ගේ කාමරයෙන් යම් හඬක් නික්මෙන බව ඇයට අහන්න ලැබුන. ඒ හඬ ඇහෙන්නෙ දෙවියන් තමන්ට දුන්නු පෙට්ටගමෙන් බව ඇය සොයාගත්ත. ඇය පෙට්ටගමට කණතියල බැලුව. තමන්ව පිටතට ගන්න කියමින් ඇහෙන අසරණ බැගෑපත් ඉල්ලීමක හඬ ඇයට ඇහුණ. යතුර අරගෙන පහසුවෙන්ම මෙය විවර කරල ඇතුලත හිරවී උන් කාට වුණ යන්න දෙන්න පැන්ඩෝරාට පුලුවන්කම තිබුණ නමුත් ඇයට මතක් වුණේ දෙවියන් ගෙ අවවාදය. තමන් තුළ වැඩෙන කුතුහලය ඉවසා දරාගන්න බැරිම තැන ඇය වෙන ඕනම දේකට මුහුණදීමේ සූදානමෙන් පෙට්ටගම විවර කලා.
සිදුවුණේ ඇය නොහිතූ දෙයක්. පෙට්ටගමෙන් මතුවුණේ භයානක පෙනුමක් තිබුණු කෘමී සතුන් රෑනක්. ඔවුන් ඇය වසා ගෙන ඇයට දෂ්ට කලා. ඉන්පස්සෙ කාමරයෙ කවුළුවෙන් පියාඹල ඈතට නොපෙනී ගියා. ඇයට සෑහෙන වේදනාවක් දැනෙමින් තිබුණ. කෘමින් දෂ්ට කල තැන් වලින් රිදුම්සහගත බවක් මතු වුණා. වේදනාව සමග ඇයට වෛරයත්, කලකිරීමත්, පසුතැවීමත් දැනෙන්නට පටන්ගෙන තිබුණ. ඊළඟ මොහොතේ නැවතත් පෙට්ටගම ඇතුළෙන් හඬක් මතු වුනා. ඇය ආයෙමත් පෙට්ටගමට කණතබල බැලුව. තමන්ව පිටතට ගන්නයි කරන ඉල්ලීමක හඬ ඇයට නැවතත් ඇසුණා. නමුත් එකවතාවක් කුතුහලයට යටවෙලා කල දේ නිසා ඇති වුණු වේදනාවන් අලුත් කරගන්න ඇයට උවමනා වුණේ නෑ. නමුත් පෙට්ටගමෙන් හඬ නැවත නැවතත් ඇහෙමින් තිබුණා. දැනටමත් දුක් සහිත බවේ ගිලෙමින් සිටි ඇය තමන්ට අහිමිවෙන්න තව දෙයක් නැතැයි සිතමින් දෙවනිවරටත් පෙට්ටගම විවර කලා.
මෙවර සිදු වුණේ හාත්පසින්ම වෙනස් යමක්. ඒ වනවිටත් අඳුරින් පිරිල තිබුණ ඇගේ කුටියට එකවරම ආලෝකයක් ලැබුණා. පෙට්ටගමෙන් මතුවුණේ ආලෝකය විහිදුවන පුංචි සුරංගනාවක්.
"හැම ආකාරයකම දුක, වේදනාව, වෛරය, ඊර්ෂ්‍යා, පළිගැනීම වගේ අඳුරු හැඟීම් පිරුණ මේ පෙට්ටිය කාලෙක පටන් තිබුණේ දෙවියන් ලඟ" සුරංගනාව කිව්ව.
"නමුත් ප්‍රොමිතියස් දෙවියන්ගෙන් ගින්දර සොරාගත්ත නිසා ඒ වරදට මිනිසාට දඬුවම් කරන්න දෙවියන්ට ඕන වුණා. ඒ හින්දා දෙවියන් ඔයාව නිර්මාණය කරල මේ පෙට්ටගමත් එක්ක ඔයාව මිනිස් ලෝකයට එව්ව. ඔයා කවදාහරි පෙට්ටගම විවෘත කරන බව දෙවියන් දැනගෙන හිටිය"
"එතකොට ඔයා කවුද?" පැන්ඩෝරා සුරංගනාවගෙන් ඇහුව
"මම තමයි බලාපොරොත්තුව. දුකින් වේදනාවෙන් පීඩා විඳින කෙනෙකුට සහනයක් වෙන්නෙ බලාපොරොත්තුව පමණයි. දෙවියන් ඒ බවත් දැනගෙන හිටිය. ඒ නිසා එයා පෙට්ටගම ඇතුලෙම මාවත් මේ ලෝකයට එව්ව. අද පටන් අඳුරු හැඟීම් වලින් පීඩිත සියලු මිනිසුන් මගේ ආලෝකය ලබාවි. ඔවුන්ට තියන එකම සැනසීම මම පමණයි"
සුරංගනාවිය කිව්ව.
වඩා යහපත් යම් දෙයක් වෙනුවෙන් බලාපොරොත්තු තබාගැනීමට තියන හැකියාව මිනිසාට පමණක් උරුම වුණ ලොව වෙනත් කිසිම සත්ත්වයෙකුට නොමැති සුවිශේෂ හැකියාවක්. මොහොතක් කල්පනා කරල බැලුවොත් කිසිදාක ජීවිතේ අත්නොවිඳි යමක්, කිසිදාක නොඑළඹුණු දෙයක්, අපිට ඉතා දැඩිව අවශ්‍යව තිබෙන නමුත් තවමත් සිදු නොවුණු යමක් ගැන මනසේ මවාගැනීම, පරිකල්පනය කිරීමට අපිට තියෙන හැකියාවත් මේ අපි තුළ තිබෙන බලාපොරොත්තු සහගතබවට හේතුවන බව උපකල්පනය කරන්න පුලුවන්.
චාර්ල්ස් කුෆ්මන් ගේ Im thinking of ending things චිත්‍රපටය පැහැදිලිකර ගන්න නම් මේ වගේ පදනමක් අවශ්‍යයි. පැන්ඩෝරාගෙ පෙට්ටගම වගේ යම් ප්‍රබන්ධයක් මීට සෑහෙන උදව් කරගන්න පුලුවන්. කුෆ්මන් ගේ චිත්‍රපට කියන්නෙ මිනිසාගේම ඇතුළු මනස සොයා යන ගවේෂණයක්. ඔහු එක්තරා ආකාරයකට කරන්නෙ හැඟීම් වලට වර්ණ, හැඩතල, පුද්ගල චරිත, නම් ගම් දීල, අපි දන්නා කාල අවකාශ නියමයන් උඩු යටිකුරු කරල තිරය මතුපිටට ගේන එක. ඔහුගෙ සිනමාව ගැන ඒ පෙර අවබෝධය නැතිව බැලුවොත් මේ චිත්‍රපටය ඇතුලෙ වෙන්නෙ මොකක්ද කියන දෙය කෙනෙකුට වටහාගන්න අපහසුවේවි. මොකද නැතිනම් මේ සිනමාපටය කෙනෙකුට කිසි සම්බන්ධතාවක් නැති, කිසිම ආකාරයේ කේන්ද්‍රීය අරුතක් ජනනය නොකරන, චරිත වල නම් ගම්, බාහිර ස්වභාවයන් විටින් විට වෙනස් වෙන විකාර රූපී දර්ශන මාලාවක් හැර වෙනත් යමක් නොවන්නට ඉඩ වැඩියි.
චිත්‍රපටය පුරා දැකගන්නට ලැබෙන්නෙ තරුණයෙක් තමන්ගෙ පෙම්වතියව දෙමව්පියන් මුණගැහෙන්න කැඳවාගෙන යාම. සීත ඍතුවේ හිමෙන් වැසුණු මාවතක අපි දකින්නෙ මෝටර් රථයේ සිටින මේ දෙදෙනා පමණයි. ඒ අතරවාරයේ සිදුවෙන ඔවුන්ගෙ දෙබස් වගේම ඇතුලාන්ත සිතුවිලි, කවි, පොත්පත් චිත්‍රපට වල උපුටන වගේ දේවල් මේ ගමන පුරා අහන්න ලැබෙනව. ක්‍රමයෙන් දෙදෙනා තරුණයාගෙ නිවසට එනව, ඔහුගෙ දෙමව්පියන් හමුවෙනව. ටිකෙන් ටික සිදුවීම් අමුතු ආකාරයෙ ස්වභාවයක් ගන්නව. යථාර්ථවාදි ස්වභාවයෙන් ආරම්භ වුණු කතාව මායාමය ස්වරූපයකින් දිගහැරෙන්න පටන් ගන්නව.
චිත්‍රපටයෙ සිදුවන දේ වටහගන්න නම් අවසාන භාගය ආසන්නයෙ වඩා නාටකීය ස්වරූපයක් ගන්න මේ මායාවන් ඔස්සේ සිතුවිලි මෙහෙයවන්න ප්‍රේක්ෂකයන්ට සිදුවෙනව.
බොහෝ වෙලාවට අපි අපේ කල්පනා ලෝකය ඔස්සේ ෆැන්ටසිකරනය කරන්න පෙළඹෙන්නෙ ජීවිතයේ අපිට අහිමි යම් දෙයක්. පැන්ඩෝරාගෙ කතාවෙදි වගේ වේදනාවෙන්, පසුතැවීමෙන් පෙළෙනකොට ඒ හැම දෙයකින්ම මිදුණු වඩා යහපත් ජීවිතයක් ගැන බලාපොරොත්තුවක්. අපි හැම කෙනෙකුම ඇතුළු මනසින් මේ වඩා යහපත් ජීවිතය ෆැන්ටසිකරණය කරගන්නව. චාල්ස් කුෆ්මන් පොළව ගැඹුර කැණබලන භූවිද්‍යාඥයෙකුට සමානව මිනිස් මනසේ මේ ඇතුළාන්ත ස්වභාවය තමන්ගේ සිනමාපටය හරහා විවරණය කරනව. ඒ ඇතුළු ගැඹුර ගැන සංවේදීතාවකින් නැරඹූ කෙනෙකුට නැවත නැවතත් ප්‍රශ්න කරමින්, සිහිකරමින්, අවස්ථා සිද්ධි ගලපමින් කාලයක් යනතුරු අත්විඳිය හැකි අපූර්ව සිනමා අත්දැකීමක් විදිහට Im thinking of ending things හඳුන්වා දෙන්න පුලුවන්.
No comments:
Post a Comment