ආදරය කියන දෙය ජීවිතේ ඇතුළේ හටගන්න නිශ්චිත මොහොතක් නැහැ. සමහර විට, නොහිතනම වෙලාවකදි එකවරම ඒක ඇති වෙන්න පුළුවන්. නැත්නම්, සෑහෙන දිගු කාලයක් ඇතුළත, හෙමින් සැරේ ඇති වෙන්නත් පුළුවන්. නමුත් කොහොම වුණත් ඒවා සැලසුම් කරලා ලබාගන්න පුළුවන් දේවල් නෙමේ. අපි කැමති අකමැතිකම් සහ කෙනෙකුගෙන් අපි බලාපොරොත්තු වෙන දේවල් ගැන අදහසක් තිබුණාට, මෙන්න මේ වයස වෙනකොට මෙන්න මේ විදිහේ කෙනෙක් මට මුණගැහිලා තියේවි කියලා සැලසුම් ඇඳලා තියාගන්න කිසි කෙනෙකුට පුළුවන් කමක් නැහැ. ඉතින් ඒ හින්දා වැඩි දුරක් නොගිහින්, වැඩි වෙහෙස මහන්සියක් නොදරාම ආදරය මුණගැහුණු අය වගේම, කාලයක් තිස්සේ ජීවිතේ ඇතුළේ බොහොම දුරක් අමාරුවෙන් අමාරුවෙන් ඇවිදලා, අවසානෙ හතිවැටිලා දැන් ඇති කියලා හිතෙන්න තරම් හෙම්බත් වෙලා ඉන්න තැනකට ආවම ආදරේ මුණ ගැහුණු අයත් කියන දෙකොට්ඨාසයම අපි දකිනව. හැබැයි නව යව්වන වයසට වඩා ජීවිතේ පහු වෙන්න පහුවෙන්න අපිට ආදරේ මුණ ගැහෙන්නෙ දුෂකරතාවන් ගොඩක් මැද්දේ. මොකද වයසත් එක්ක හැමදෙයක්ම සංකීර්ණ බවට පත්වෙනව වැඩියි, ජීවිතේ ටිකෙන් ටික පත්වෙන්නෙ අරගලයක ස්වරෑපයකටයි, ඇතිවෙන හැලහැප්පිලි බහුලයි, ලබන්න සිද්ද වෙන අත්දැකීම් කටුකයි. එහෙම තැනක ඉන්න කෙනෙකුට ප්‍රේමණීය හමුවීමක් සිද්දවෙනකොට ඒක කොයි වගේ තියෙයි ද? ඒක අර රුවන් බන්දුජීවගේ සුප්‍රසිද්ධ කවි පේළියෙන් කියන්නා වගේ කියලයි මට හිතෙන්නේ.
Friday, January 19, 2024
Fallen Leaves (2023)
වියළී ඇදවැටීමෙන් පසුවයි
ඇවිදින්න පටන් ගන්නේ තුරුපත්..
අව්, වැසි, සුළං විඳලා, වියළිලා ගිහින් මහපොළොවට ඇද වැටුණායින් පස්සෙයි තුරුපතකට වුණත් ඇවිදින්න පුළුවන් වෙන්නේ. විසකුරු තැන් පැටලිලා, මනසින් පීඩාවන් ගොඩක් දරා ඉඳලා, අමාරු කාලයක් ගත කරලා ඉද්දී ආදරයක් ජීවිතේට ආවමත් එහෙම තමයි. මේවගේ ඇදවැටුණු තුරුපත් දෙකක්ම එකට මුණගැහුණොත් ඒක කොහොම වේවිද? 2023 අවුරුද්දේ කාන්ස් සිනමා උළලේ Palme d'Or සම්මානයට නිර්දේශවුණු සහ ජූරියේ විශේෂ ත්‍යාගයකින් පිදුම් ලද වගේම ඔස්කාර් සම්මාන උළෙලේ හොඳම විදෙස් භාෂා අංශයට ෆින්ලන්තයෙන් ඉදිරිපත් කරන Fallen Leaves චිත්‍රපටයෙත් තියෙන්නෙ එහෙම කතාවක්. හැබැයි මේක රොමාන්තික ප්‍රේම වෘතාන්තයක් විදිහට අපිට දැනෙන ආකාරයකට නෙමෙයි නිර්මාණය කරලා තියෙන්නේ. ප්‍රධාන චරිත දෙකට සහ අමතර චරිත කීපයකට කතාව සීමාකරලා, ඉතාම කෙටි ධාවන කාලයකින් සහ අවමවාදී ස්වභාවයකිනුයි මේ චිත්‍රපටිය ගොඩනැගෙන්නේ. වෙලාවකට ටිකක් හිනා යන සහ මුන් දෙන්නා මේ මොනව කරනවද කියලා හිතන තරම් අඩුවෙන් ප්‍රේමය දකින්න ලැබෙන කතාවක්. මේ කතාවේ ප්‍රධාන චරිත දෙකම අර කලිනුත් කිව්වා වගේ ජීවිතේ ගැටගහගෙන යන අරගලයෙන් පීඩිත, වියළි, නීරස, ඒකාකාරී ජීවිත ගතකරන චරිත. ඒ වගේම දෙන්නම පිටස්තර සමාජයේ කවුරුත් තේරුම් නොගත්ත, සමාජෙන් ටිකක් ඈත් වුණු චරිත. නමුත් එක තැනක ඔහුගේත් ඇයගේත් දෑස එකිනෙක මුණගැහෙනවා. එතැන ඉඳලා ඔවුන් දෙන්නා මුණගස්වමින්, යළි වෙන්කරමින් දෛවය ලිියවෙන්න පටන්ගන්නවා.
Fallen Leaves කියන්නේ ෆින්ලන්තයේ මහා සිනමාකරුවෙක් විදිහට සලකන Aki Kaurismäki ගේ නිර්මාණයක්. ෆිල්ම් එකට පසුබිම්වෙන්නෙ අපි ජීවත් වෙන මේ යුගයම බව අපිට වටහගන්න පුළුවන් වෙන්නේ පසුබිමේ ඇහෙන රුසියන් යුක්‍රේන යුද්ධයේ ප්‍රවෘත්තිවලින් පමණයි. නමුත් ඒ හැර, අඳින ඇඳුම් පැළඳුම්, කොණ්ඩ විලාසිතාවල් වගේ බොහෝ දේ වලින් ෆිල්ම් එකේ අනෙක් හැම දෙකයක්ම සමාන වෙන්නෙ හැට හැත්තෑව කාලෙට. ඔහුත් ඇයත් දෙන්නාම ස්මාර්ට් ෆෝන් පාවිච්චියක් නැති, ඉන්ටර්නෙට් යුගයට අයිති නැති අය වගේයි පෙනෙන්නෙ. ෆිල්ම් එකට පාවිච්චි කරලා තියන පරණ සින්දු වලිනුත් මේ පරණ වයිබ් එක හොඳින්ම දැනෙන්න සලස්වනවා. දෙන්නාම මේ තාක්ෂණය මුල්කරගත්ත නූතන සමාජෙට අකමැති, ඒවාට අනුගත නොවෙන, පිටස්තර චරිත බව දනවන්න වෙන්න ඕනා අධ්‍යක්ෂවරයා මේ විදිහට චිත්‍රපටිය නිර්මාණය කර තියෙන්නෙ.
ෆිල්ම් එකට ඇතුළත් වෙන සිද්ධිදාමය මේ අපි ජීවත් වෙන වර්තමාන යුගයට අයිති එකක් බව දනවන එකම ක්‍රමය පසුබිමෙන් ඇහෙන යුක්‍රේන-රුසියා යුද්ධය ගැන ප්‍රවෘත්ති බව කලිනුත් කිව්වා. ඇයි ඇත්තටම යුද්ධයක් මේ කතාවට පසුබියෙමන් තියලා තියෙන්නෙ? ඒ ගැන එන්න පුළුවන් මෙහෙම නිගමනයකට. ලෝක සිතියමක් අරගෙන බැලුවොත්, ෆින්ලන්තය පිහිටා තියෙන්නේ රැසියානු මායිමේ බව දැකගන්න පුළුවන්. ඒ නිසා ඍජුවම සම්බන්ධ නොවුණත්, යුද්ධයේ කළු වළාකුළු ෆින්ලන්ත අහසේත් ඈතින් ඇඳී තිබුණා. ඒ වගේම, යුද්ධයට අමතරව, මේ කතාවේ ප්‍රධාන චරිත දෙක වුණු ඔහුටත් ඇයටත්, ජීවත් වෙන්න කරන්න සිද්දවෙලා තියෙන්න යකඩ, සිමෙන්ති, ගල්, වැලි එක්ක පොර බදන කම්කරු රැකියාවන්. දෙදෙනාටම ආදරය වගා කර රැකබලාගන්න සිදුවෙන්නෙ මේ වගේ දුෂකරකම් පිරුණු පොළවක කියන දෙයයි මම හිතන්නෙ නිර්මාණ කරුවන් අපට දනවන්න උත්සාහ කර තියෙන්නෙ. මතක විදිහට නිව්යෝක් ටයිම්ස් පුවත්පතේ Fallen Leaves ගැන පළවෙලා තිබුණු විචාරයේ සඳහන් කරලා තිබුණා මේක අපායෙන් පටන් අරගෙන ස්වර්ගයෙන් ඉවර වෙන, ඒ අතර හුදෙකලා රාත්‍රීන්, වෙහෙස වී වැඩ කිරීම්, අවමානයන්, සතුටු මොහොතවල්, මත්පැන්, සිගරැට් වලින් පිරුණු ෆිල්ම් එකක් කියලා. ආරම්භක දර්ශනයත්, අවසාන දර්ශනයත්, ඒ අතර වෙන සිදුවීම් ටිකත් එක පෙළට තියලා බැලුවොත් මේ කතාව අපිට තේරුම් ගන්න පුළුවන්. මට හිතෙනව Fallen Leaves කියන්නෙ ජීවිතයත් ආදරයත් එක ළඟ තියලා බොහොම යථාර්ථවාදීව විවරණය කරන සරල සුන්දර චිත්‍රපටයක් කියලා.
Subscribe to:
Post Comments (Atom)
+++++++++++
ReplyDelete