Friday, August 30, 2024

A Streetcar Named Desire (1951)

"මා නිතරම ආගන්තුකයන්ගේ කරුණාව මත යැපුණෙමි"

මිනිස්සු විසින් කාලයත් එක්ක ගොඩනගාගත්තු ශිෂ්‍ටාචාර කොයිතරම් දියුණුයි සහ සංවර්ධිතයි කිව්වත් ජීවිතය කියන්නේ මොකක්ද සහ ජීවත්ව සිටීමේ අර්ථය මොකක්ද කියන ප්‍රශ්නවලට හරි පිළිතුරක් සොයාගන්න ඔහුට කවදාකවත් බැරි වුණා. ජීවිතය කියන්නේ හැමවිටම මිනිස් චින්තය අවුල් ජලාවකට ඇද දැමූ මහා ප්‍රෙහෙලිකාවක්ම වුණා. ජීවිතය යැයි කියන මොහොතින් මොහොත වෙනස්වෙමින් පවතිනා අස්ථිර පැවැත්ම ඇතුළේ නොවෙනස් ස්ථිර සුපැහැදිලි සත්‍යතාවක් කියලා යමක් අපිට හොයා ගන්න මෙච්චර අපහසු ඇයි? ජීවිතයේ මේ අනිස්ථිර බව පිළිගෙන නිවැරදිව ජීවත් වෙන්න ඕන නම් අපි ඒක කරන්නෙ කොහොමද? මිනිස්සු නොයෙක් දර්ශනයන් ගොඩනගා ගනිමින්, තර්ක විතරක කරමින් මේවට තවමත් පිළිතුරු හොයමින් ඉන්නවා. නමුත් එක දෙයක් ගැන මම හිතනව අපි හැම කෙනෙකුටම, අඩු වශයෙන් බහුතරයකට හරි එකඟවෙන්න පුළුවන් කියලා. එනම් ජීවිතය පවත්වාගෙන යන්න අපිට බොහො දුක්වේදනා විඳින්නට සිදුවෙන බවත්, මේ දුක් සහිත බව මගහැරගත නොහැකිව නෛසර්ගික වශයෙන්ම ජීවිතය සමග උරුම වන කාරණයක් බවත් කියන දෙය. ජීවිත යථාර්ථයන්ගේ තියෙන මේ තිත්ත කටුක ස්වභාවයන් හමුවේ නොයෙක් දෙනා නොයෙක් විදිහට ප්‍රතිචාර දක්වනවා. සමහරු අතිශ්‍ය හැඟීම්බරව, ආත්ම අනුකම්පාවේ ගිලිලා, ව්‍යාජ යථාර්ථයක් මවාගෙන ඒ තුළ ජීවත්වෙන්න උත්සාහ කරනව. සමහර දෙනා මුරණ්ඩු විදිහට මේ යථාර්ථයන් සමග ගැටෙන්න උත්සාහ කරනවා. නමුත් මේ දෙකොට්ටාශයම එක්තරා ආකාරයක උමතුවක් නොවෙයිද? සියළු සත්ත්වයෝ උමතුය කියලා බුදුන් කියලා තියනව කියල මං අහලා තියෙනව. ජීවන යථාර්ථය හමුවේ උමතුවට පත් නොවුණු කෙනෙක් නැතුව ඇති.

ඇමරිකාවේ විශිෂ්ථතම නාට්‍යරචකයෙකු විදිහට සැළකෙන Tennessee Williams අතින් A Streetcar Named Desire නම් වේදිකා නාට්‍ය රචනාවෙන්නේ ජීවිතය නම් වූ මේ වියවුල හමුවේ මතුවන එකිනෙකට වෙනස් මිනිස් ගති ස්වභාවයන් මුල් කරගනිමින්. A Streetcar Named Desire නාටකය කියන්නෙ ප්‍රථම වතාවට වේදිකාගත වුණු 1947 වසරේ පටන් අද දක්වාම විවිධාකාර නළු නිළියන් රඟදක්වමින් නැවත නැවතත් නිශ්පාදනය වෙන, ඇමරිකානු වේදිකාවේ සදානුස්මරණීය නාටකයක් බව කිවයුතුයි. Elia Kazan අධ්‍යක්ෂවරයා අතින් 1951 දි සිනමාවට නැගෙන්නේ Tennessee ගේ මේ නාට්‍ය පිටපත. A Streetcar කතා පුවත මූලික වශයෙන් ගොඩනැගෙන්නේ ප්‍රධාන චරිත තුනක් මුල්කරගෙන. එනම් බ්ලාන්ක් ඩුබොයිස්, ස්ටෙලා ඩුබොයිස් යන සහෝදරියන් දෙදෙනා සහ ස්ටැන්ලි කොවෙල්ස්කි නම් පෝලන්ත ඇමරිකානුවා. ස්ටැන්ලි විවාහවී සිටින්නේ ස්ටෙලා සමග. ඔවුන් ජීවත් වන්නේ නිව් ඕලින්ස්වල නගරබද වටපිටාවක. ස්ටැන්ලි මෝටර් රථ කාර්මිකයෙක් සහ ස්ටෙලා ගෘහණියක් විදිහටත් කටයුතු කරනවා. ගම්බදව ගුරුවරියක් විදිහට දිවිගෙවනා බ්ලාන්ක් තම සහෝදරිය හා වාසය කරන්න නගරයට පැමිණෙනවා. කතාවෙහි කේන්ද්‍රීය ගැටුම ආරම්භවෙන්නේ ඇයගේ ආගමනයත් සමගයි.

බ්ලාන්ක් තරුණ වයසේදිම විවාහවී සිටියත් ඇගේ සැමියා දිවිනසා ගැනීම එක්ක ඈ ගතකරන්නෙ තනිකඩ ජීවිතයක්. ඇය සිටින්නේ තරුණ විය කෙමෙන් වියැකී යන වයසක. නමුත් ඈ ආයාසයෙන් තමා ළඟ නොමැති තාරුණ්‍යයකින් තමන්වම සරසා ගන්නට වෙරදරනවා. තමන්ට වඩා වයසින් ළාබාල තරුණ පිරිමින්ට ආකාර්ශණය වෙන ස්වභාවයක් ඈ තුළ ඇති බවක් විටෙක පෙන්නුම් කෙරෙනවා. තරුණ බව පිළිබද ඇගේ දැඩි ඇල්ම එයින් පිළිබිඹු වෙනවා. චිත්‍රපටියේ එක තැනකදී ඈ මළවුන් වෙනුවෙන් මල් විකුණනා ගැහැනියක් දැක බියපත්ව නිවසේ දොර වසා ගන්නවා. එයින් නිරූපිත වෙන්නේ මරණය වැනි ජීවන යථාර්ථයන්ගෙන් ඈ පළායන්නට උත්සාහ කරනා ආකාරය.

ඇය හා සංසන්දනය වන අනෙක් ප්‍රධාන චරිතය ස්ටැන්ලි. චිත්‍රපටයේ සැටැන්ලිව නිරූපිත වෙන්නේ හැගීම් දැනීම්වලින් තොර වුණු සැඩපරුෂ පුද්ගලයෙකු විදිහට. සමහර විටෙක ඔහු මිනිස් ගති මිරිකා හළ වන මෘගයෙකුට සමානයි. බ්ලාන්ක් තම නිවසට පැමණීමෙන් පසු ඔහු උත්සාහ කරන්නේ ඇයව පීඩාවට පත් කරන්නටයි. ඇගේ ව්‍යාජයන් කඩා බිද දමා ඇයව වේදනාවට පත්කිරීමටයි. බ්ලාන්ක්ගේ ලද බොළඳ සහ තරමක උමතු ස්වභාවය ස්ටැන්ලි ගේ අකාරුණික භාවය හා ගැටෙනවා. අවසානයේදී ප්‍රේක්ෂකයින් බ්ලාන්ක් ට අනුකම්පා කිරීම තමන්ට උවමනා වුණු බව නාට්‍ය රචක Williams කියා තිබෙනවා. නමුත් ඒ සමගම ස්ටැන්ලි පිළිබද වෛරයක් ඇතිවීම වළක්වන්න බැහැ. ස්ටැන්ලි ගේ නිවසට එන බ්ලාන්ක් වාසය කරන්නේ තිරයකින් වෙන්වුණු ස්ටැන්ලිගේම කුටියේ පසෙකින්. මේ විදිහට මොවුන් දෙදෙනා ජීවිතයේ යථාර්ථයන් හමුවේ මිනිස් සිතක ස්වභාවයෙහි අන්ත දෙකක් නිරූපණය කරන බව චිත්‍රපටය සහ නාට්‍ය ඇතුළේ දක්වා තිබෙනවා. බ්ලාන්ක් ගැහැනියක් විදිහට භාවාතිශය වෙමින්, තමාටම අනුකම්පා කරගනිමින්, සිහින ලෝකයක අතරමං වූ තැනැත්තියක සේ ජීවිතයට මුහුණ දෙන අතරේ අනෙක් අතින් ස්ටැන්ලි හැගීම් දැනීම් මරා දමා තර්කානුකූල බව සහ ප්‍රචණ්ඩත්වයට නැඹුරු වූවෙකු විදිහට අපි දකිනවා. නමුත් ඔවුන් අතරේ මැද තැනක ඉන්නා ස්ටෙලා තුළින් ගතානුගතික ගෘහණියකගේ භුමිකාවට සීමා වී ඉන්නා ගැහැනියකුයි විද්‍යාමාන වන්නේ. ඉක්මණින් කෝප ගැන්වෙන ඇගේ සැමියා ස්ටැන්ලි ඇයට පහර දෙනවා, බැණවදිනවා, අපහාස උපහාස කරනවා. නමුත් ඔහු නැවත ආදරෙන් කතා කළ පසු ඈ නැවත ඔහුට සමාව දී ඔහු සමීපයට එනවා. මේ ආකාර ගෘහ ජීවිතවයකට අනුගත වුණු තැනැත්තියක් විදිහටයි ස්ටෙලා ගේ චරිතය අප හමුවේ මැවෙනවා.

චිත්‍රපටයේ ස්ටැන්ලිගේ චරිතය ඒ වෙද්දි එක චිත්‍රපටියක පමණක් රඟපා තිබුණු සහ ඇමරිකානු බ්‍රෝඩ්වේ වේදිකාවේ නැගී එමින් සිටි තරුණයෙක් වුණු මාලන් බ්‍රැන්ඩෝට ලැබෙන්නේ Tennessee Williams ගේ වේදිකා නාට්‍යයෙත් අදාළ චරිතය ඔහු විසින් මැනවින් නිරූපණය කර තිබුණු නිසා විය යුතු යි. මාලන් බ්‍රැන්ඩෝ ඉතාම තරුණ වයසේ දි ම තම රංගන ජීවිතය ආරම්භ කරන්නේ ඇමරිකානු බ්‍රෝඩ්වේ වේදිකාවෙන්. බ්‍රැන්ඩෝට පෙර A Streetcar Named Desire නාට්‍යයේ ස්ටැන්ලි ගේ චරිතයට ප්‍රකට හොලිවුඩ් නළුවන් කිහිප දෙනෙකුවම යෝජනා වී තිබුණ නමුත් ඒ කිසි කෙනෙකුට නාට්‍යට සම්බන්ධවෙන්න හැකියාවක් ලැබෙන්නේ නෑ. බ්‍රැන්ඩෝගේ නම යෝජනා වෙන්නේ ඉන් අනතුරුව. නාට්‍යයත් අධ්‍යක්ෂණය කළ Elia Kazan බ්‍රැන්ඩෝ මේ චරිතයට සුදුසු බවට අනුමත කළේ නෑ. මොකද ඒ වෙද්දී බ්‍රැන්ඩෝ වයස 22ක තරුණයෙක් වුණු නිසා. ස්ටැන්ලිගේ චරිතයට ඔහු තරුණ වැඩි බව තීරණය වුණා. නමුත් අවසානයේ Tennessee Williams ම බ්‍රැන්ඩෝ නිරීක්ෂණය කර බලා ඔහුව චරිතයට සුදුසු දැයි තීරණය කළ යුතු බවට යෝජනා වුනා. ඒ අනුව Tennessee මුණගැහෙන්න බ්‍රැන්ඩෝ ඔහුගේ නිවසට යනවා. Tennessee තම නාට්‍ය පිටපත බ්‍රැන්ඩෝට කියවන්නට දී ඔහු හා නාට්‍ය සහ එහි ස්ටැන්ලි ගේ චරිතය ගැන සාකච්ඡා කරනවා. පසුව මේ ගැන Tennessee තම හිතවතෙකුට යැවූ ලිපියක සදහන් කරමින් කියන්නේ බ්‍රැන්ඩෝ ඉතාම බුද්ධිමත්ව තම චරිතය වටහාගන්න සමත් වුණු බව. ස්ටැන්ලිගේ චරිතය රචනා කරද්දී ඔහුගේ මනසේ ඇදී තිබුණේ තට්ටය පෑදුණු, බඩ නෙරා ආ මැදි වයසේ මිනිසෙකු වුවත් බ්‍රැන්ඩෝ සතුව තබූ තාරුණ්‍යය ඒ චරිතයට වෙනත් ගැඹුරක් ලබා දීමට සමත් විය හැකි බව තමාට දැනුණේ යැයි Tennessee Williams එම ලිපියේ ලියා තිබුණා. A Streetcar Named Desire වේදිකා නාට්‍යයේ මෙන්ම චිත්‍රපටයෙත් ස්ටැන්ලිගේ චරිතය මාලන් බ්‍රැන්ඩෝට ලැබෙන්නේ එහෙම. බ්ලාන්ක්ගේ චරිතය චිත්‍රපටයේ නිරූපණය කරන්නේ බ්‍රිතාන්‍ය ජාතික කීර්තිමත් නිළියක් වුණු Vivien Leigh විසින්. අඩ උමතුවෙන් පෙළෙනා මැදිවයස් ගැහැනියකගේ චරිතය ඈ මනාව නිරූපිත කර තිබුණත් ඇගේ සැබෑ ස්වරූපයත් බ්ලාන්ක්ට බෙහෙවින්ම සමාන බවක් බ්‍රැන්ඩෝ පසුව කියා තිබෙනවා.

A Streetcar Named Desire සැලකෙන්නේ ඇමරිකානු සිනමා ඉතිහාසයේ නිර්මාණය වුණු වඩාත්ම පරිසමාප්ත කලා කෘතියක් විදිහට. ඊට බලපෑ ප්‍රධානතම සාධකය විදිහට මම දකින්නෙ Tennessee Williams ගේ ප්‍රබල තිර රචනාව. ඔහු මිනිස් සිත ගැඹුරින් විවරණය කරමින් ජීවිත යථාර්ථයන් නියමාකාරයෙන් නිරෑපිත වෙන ආකාරයට කතාව ගොඩනංවා තිබෙනවා. චරිත නිර්මාණයේදීත් ඔහු තම කතා පුවත මැනවින් ප්‍රේක්ෂකයාට දැනවිය හැකි ආකාරයෙන් එය සිදු කර තිබෙනවා. අඩු වැඩි වශයෙන් ස්ටැන්ලි වැනි ගති ස්වභාවයන් ඇති අය, ස්ටෙලා, බ්ලාන්ක් වැනි අය සමාජයේ අපිට මුණ ගැසෙනා මිනිසුන් ගැහැනුන් අතරේ හදුනාගත හැකියි. විශේෂයෙන්ම ව්‍යාජයක් තුළ ජීවත් වුණත් අසරණ බ්ලාන්ක් ගැන අනුකම්පාවක් නරඹන්නා තුළත් ඇති වෙනවා. Williams තම කතා පුවතෙන් එවැන්නක් බලාපොරොත්තු වුණු බව ඔහුම කියා තිබෙනවා. චිත්‍රපටයේ අනෙක් වැදගත් කාරණය එහි ඇතුළත්වී තිබෙන දෙබස්. ජීවිතය පිළිබඳව සාහිත්‍යයෙන් පොෂණය වුණු ඉතාම තියුණු දෙබස් Williams මේ කතාවේ රචනා කර තිබෙනවා. "මා නිතරම ආගන්තුකයන්ගේ කරුණාව මත යැපුණෙමි", මේ කතාවේ අවසානය සමීපයේ බ්ලාන්ක්ගේ මුවින් ගිලිහෙන දෙබසක්. මේ වචන කීපයෙන් ඇගේ චරිතය මනාව නිරූපණය වෙන බව මම හිතනවා. මේ හැම සම්පතකින්ම නිසි ආකාරයෙන් ඵල නෙලාගන්න හැකියාව ලැබී තිබෙන්නේ Elia Kazan එය මැනවින් අධ්‍යක්ෂණය කළ නිසා. මාලන් බ්‍රැන්ඩෝට අනුව Elia Kazan කියන්නෙ කලාතුරකින් බිහිවෙන ආකාරයේ කුසලතා පූර්ණ අධ්‍යක්ෂවරයෙක්. Elia Kazan නළුවෙකු විදිහටත් වැඩ කර ඇති නිසා රංගනය පිළිබඳව හොඳ අවබෝධයක් ඔහුට තිබුණු බව බ්‍රැන්ඩෝ කියනවා. බ්‍රැන්ඩෝට අනුව ඔහු තම නළු නිළියන්ට තම අත්දැකීම් භාවිත කරමින් නිදහසේ තම චරිතය ගොඩනංවා ගන්න ඉඩ සැලසුවා. රංග ශිල්පියෙකුගෙන් නිවැරදිම ප්‍රථිඵලය ලබා ගන්න Kazan හොඳින් දැන සිටියා. මේ අකාරයට බැලුවාම මේ හැම ප්‍රයත්නයකම අවසාන ඵලය මාහැඟි වූ කලා නිර්මාණයක්ම බව මම ඔබට අමුතුවෙන් කිව යුතු නෑ.



Wednesday, August 28, 2024

Oddity (2024)

 හදිස්සියෙම මහ රෑ ගෙදර දොරට තට්ටු කරන සද්දයක් ඇහුණා. හාත්පසම පැතිරිලා තිබ්බේ ඝන කළුවරක්. ඒ අදුර බින්දේ පොඩි විදුලි පහනක එළියක් පමණයි. භය කියන කියන හැඟීම තදින්ම දැනෙන්න පටන්ගත් මොහොතකුයි මේ ගෙවෙමින් තිබුණේ. මේ ගම්බද පාළු ගෙදර එදා රෑ හිටියේ ඈ පමණයි. මේක කොච්චර පිටිසර පළාතක් ද කියනව නම් ෆෝන් එකට සිග්නල් තිබුණේ ගෙදර උඩ තට්ටුවේ එක තැනකට විතරයි. ඇගේ නම ඩැනී. ඇගේ ගේ ස්වාමි පුරුෂයා මනෝ වෛද්‍යවරයෙක්. ඔවුන් මේ ගම්බද පළාතට පදිංචියට ආවෙ අළුතෙන්. ඔහුට රාත්‍රී වැඩමුර වැටෙන දවස්වලට ඇයට මේ ගෙදර ඉන්න වුණේ තනියෙන්.


දොරට තට්ටු කරන සද්දෙ ආයෙත් ඇහුණා. ඇය දොර ගාවට ගිහින් දොරේ තිබුණ පිටත පෙන්වන කුඩා කවුළුව විවෘත කළා. එයින් සැණෙකින් මතුවුණේ ගම්බද මිනිසෙකුගේ අමුතු මුහුණක්. ඔහුට තිබුණෙ එක ඇසක් පමණයි. අනික් ඇස වෙනුවට තිබුණ ප්ලාස්ටික් ඇසයි ඔහුගෙ මූණට අමුතු පෙනුමක් ගෙනාවේ.

"ඔයා ලොකු කරදරයකයි ඉන්නෙ නෝනා. කවුද කෙනෙක් ඔයාට නොදැනී මේ ගෙට ඇතුල් වුණා."

"මොකක්?"

"ඔව් මං දැක්කා. ඒ කෙනා දැන් ගේ ඇතුළෙයි ඉන්නෙ."

"ඒත් මට එහෙම දෙයක් දැනුණෙ නෑ නෙ"

"ඔව් ඔයාට නොදැනෙන්නයි එයා ගෙට ආවෙ"

"ඒත් ඔයා මොනාද මගේ ගේ ගාව කරන්නෙ? ඔයා කවුද? මගෙ හස්බන්ඩ් තව ටිකකින් ගෙදර එනව."

"ඒක හරි, ඒත් නෝනා ඔයා ලොකු කරදරේක වැටෙන්නයි යන්නෙ. මම ඔයාට උදව්වක් මේ කරන්නෙ."

"ඔයා මෙතනින් ගියෙ නැත්නම් මම පොලීසියට කතාකරනව"

"අන්න හරි. ඉක්මණට පොලීසියට කතා කරන්න"

"කරුණාකරල මෙතනින් යනවද"

"හරි.. හරි.. මම යනව"

ඔහුගේ මුහුණ දොර ගාවින් ඈත් වුණ හැටි ඈ දැක්කා.

"පොඩ්ඩක් ඔහොම ඉන්න"

ඈ දොර ගාවට පියවර කිහිපයක් ඇවිද ගියා.
..............................................................

ඊලග අවුරුද්දේ දවසක ඩැනී ගේ සැමියා වුණු ටෙඩ් ඩැනීගේ නිවුන් සහෝදරිය ඩාසි මුණගැසුණා. ඩැනී මරා දමලා අවුරුද්දක් කිට්ටු වෙන්න ආවා. ඔව් අර දොරට තට්ටුකරන සිද්ධිය වෙලා පහුවෙනිදා උදෑසන බොහොම තදබල විදිහට තලා දමලා විකෘති කර තිබූ ඩැනී ගේ මළසිරුර ඒ නිවසින් සොයාගැනුණා.

ඩැනී ගේ සොයුරිය පෙනුමෙන් ඇය වගේමයි. නමුත් වෙනසක් තිබුණා. ඩාසි දෑස් නොපෙනුණු තැනැත්තියක් වුණා. ඇය පැරණි භාණ්ඩ අලෙවි කරන වෙලඳ සැලක් පවත්වාගෙන ගියා. ඉපැරණි භාණ්ඩ එක්ක ගණුදෙනු කළ නිසා ඩාසි ට පැහැදිලි කළ නොහැකි අත්භූත අමුතු සිදුවීම් ගැන සෑහෙන අත්දැකීම් තිබුණා. නමුත් ටේඩ්, ඔහු වෛද්‍ය වරයෙක් වුණු නිසා ඔහු විශ්වාස කළේ විද්‍යාව පමණයි. ඩැනී ගේ මරණයට වසරක් සපිරෙන දාට ඔහුගේ ගම්බද නිවසට එන්න ඔහු ඩාසිට ආරාධනා කළා. ඩැනී ගේ මරණය සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණයක් සිදුකරලා යම් මානසික ආබාධයක් ඇති තැනැත්තෙක්ව ඇගේ මිනිමරුවා විදිහට හඳුනාගෙන තිබුණා. නමුත් ඩාසිට යම් සැකයක් ඒ ගැන නොතිබුණා නෙවෙයි. මොකද දෑස් නොපෙනුණත් ඇය ඉතා සංවේදී සහ යම් යම් දේවල් ඉක්මණින් දැනෙන තැනැත්තියක් වුණු නිසා. ඇයට තම මවගෙන් ලැබුණු පැරණි පෙට්ටගමක් තිබුණා. පෙට්ටගමත් අරගෙන ඩැනී සිටි නිවසට යන්න ඈ තීරණේ කළා.

මේ පෙට්ටගමේ තිබුණේ මොනවද? සහ ඩැනී ගේ මරණය සම්බන්ධ අලුත් යමක් ඈට දැනගන්න ලැබේවි ද? මේ ප්‍රශ්නවලට පිලිතුරු හොයාගන්න නම් ඔබට Oddity (2024) නම් චිත්‍රපටිය බලන්න සිද්දවෙනවා.

Oddity කියන්නේ අයර්ලන්තයේ නිමැවුණු Horror චිත්‍රපටයක්. මේ අවුරුද්දට දැකගන්න ලැබුණු තවත් සාර්ථකම Horror චිත්‍රපටයක් බවට නම් කළ හැකි වැඩක්. Oddity කියන වචනයෙ අර්ථයත් අමුතු සහ විකාරරූපී බව කියන දෙය. ඒ විදිහට බැලුවාම කතාවට හොදටම ගැළපෙන නමක් ඒක. තව දුරටත් කිව්වොත් භීතය සහ ත්‍රාසජනක බව දැනෙන්නම කරලා තියන නිර්මාණයක් මේක. සමහර දර්ශනවල කොයිතරම් ඇඟ සීතල වෙලා යන බියකරු බවක් ඇතුළත් වෙලා තිබුණාද කියනවා නම් ඒවා බැලුවේ පෙනෙන නොපෙනෙන ගාණට ඇස් වහගෙන. ඒ කියන්නෙ Horror චිත්‍රපටයක් විදිහට Oddity හොදටම සාර්ථක වෙලා තියෙනව කියන දෙය. Longlegs වගේ චිත්‍රපටියක් එක්ක සංසන්දනාත්මකව බැලුවොත් මේක කතාවේ අර තරම් සංකීර්ණ බවක් නැහැ සහ බලන කෙනෙකුට වැඩි අමාරුවකින් තොරව තේරුම් ගන්න පුළුවන්. නමුත් දෙකම මේ අවුරුද්දට ආව හොදම Horror නිර්මාණ බවට විවාදයක් නැහැ. වැඩි දුරට යමක් කියන්නෙ නෑ. Horror වලට කැමති අය අනිවාර්යෙන් බලන්න.



Sunday, August 25, 2024

Longlegs (2024)

2024 අවුරුද්දෙ බොහොම හොඳ ප්‍රතිචාර තියන horror films ගණනාවක්ම ඇවිත් තියන බව දැක්කා. ඒ අතර 2024 වසරේ හොඳම horror ෆිල්ම් එක විදිහට ගොඩක් දෙනා නම් කර තිබ්බ Longlegs මෑතක digital release වුණ නිසා බලන්න හැකියාවක් ලැබුණා. මට අනුව Longlegs කියන්නෙ හොඳ horror චිත්‍රපටියක් තමා. ඒකට හේතු කාරණා කීපයක් තියනව.

පළවෙනියටම film එකෙ cinematography එක. Horror ෆිල්ම් එකක තිබිය යුතු අඳුරු, පාළු, ගුප්ත ස්වභාවය මතුකරනා ආකාරයෙන් රූප රාමු සහ පසුතල සැකසීම සිදුවෙලා තිබුණා. බොහෝවිට භාවිත කරලා තිබුණා තීව්‍ර බවින් අඩු වර්ණ. අළු පාට අහස, කොළ හැලිලා ගිය ගස්, පාළු ගෙවල්, අඳුර ආලෝකය මෙහෙයවා තිබුණ ආකාරය සහ සමහර දර්ශන කැමරාවට හසුකරගෙන තියන ආකාරය චිත්‍රපටියෙ බිහිසුණු කම ඇඟටම දනවන්න සමත් වෙලා තිබුණා. ඒ නිසා චිත්‍රපටියෙ සාර්ථකත්වය වෙනුවෙන් cinematography අංශය ලොකු වැඩකොටසක් කර ඇති බව කිවහැකියි.

ඊළඟට චරිත ගොඩනැංවීම. ආධුනික FBI නියෝජිතවරියක් මුල්කරගෙන නිර්මාණය කරලා තිබූ හින්දා සමහරු මේක Silence of the Lambs චිත්‍රපටිය එක්ක සසඳා තිබ්බ හැටි දැක්කා. නමුත් ඒ සැසැඳීම සාර්ථක නැති බව කියන්න ඕන. Silence of the Lambs කියන්නෙ අපරාධමය ශානරයෙ අග්‍රස්ථානයෙ තැබිය හැකි කෘතියක්. ගැහැනියකට "ගැහැනියක්" වීම නිසා FBI පමණක් නොවේ ඕනෑම ආයතනයක් ඇතුළෙ මුහුණ දෙන්න සිදුවෙන අභියෝග නිරාවරණය කරන චිත්‍රපටියක්. Silence of the Lambs චිත්‍රපටිය නිසාම පමණක් FBI ආයතනයට අයදුම් කරන කාන්තා නියෝජිතවරියන් ප්‍රමාණය සෑහෙන ප්‍රමාණයකින් ඉහළ ගිහින් තිබුණු බවයි වාර්තා වෙන්නෙ. ත්‍රාසය සහ භීතිය ඇරුණාම Longlegs ඒ තරම් බරපතළ සමාජ කතිකාවකට යන්නෙ නැහැ. ඒ නිසා මේක Silence of the Lambs වගේ නිර්මාණයක් එක්ක සැසඳීම ගැළපෙන්නෙ නැහැ.

Longlegs ෆිල්ම් එක බලන කාටත් වැඩියෙන් මතක හිටින්නෙ චිත්‍රපටියෙ ප්‍රධාන දුෂ්ට චරිතය වුණු Longlegs ම තමයි. මේ චරිතය කරන්නෙ සුප්‍රකට හොලිවුඩ් නළු නිකලස් කේජ්. නම දුටුවොත් මිස මේ ඉන්නෙ කේජ් ද කියලා හොයාගන්න බැරි තරම් ඔහුගේ බාහිර ස්වරූපය අදාළ චරිතයට ගැළපෙන විදිහට වෙනසකට ලක්කරලා තිබුණා. ඔහුගෙ අමුතුම දුෂ්ට පෙනුම දුටුවාම මගෙ මතකයට නැගුණේ වෙනත් කෙනෙකුව. ඒ තමා ඇමරිකානු රොක් ගායක Marilyn Manson ව (ඔහු මේ නම හදාගන්නෙ මැරිලින් මොන්‍රෝ සහ කුප්‍රකට ඝාතකයෙකු වුණු චාල්ස් මැන්සන් ගේ නම් දෙක එකතු කරලා. චාල්ස් මැන්සන් ගැන මේ චිත්‍රපටියෙත් සඳහන් වෙනවා). Marilyn Manson ගේ පෙනුමට යම් තරමක සමාන පෙනුමක් මේ Longlegs ට ලබා දීම චිත්‍රපටියෙ නිර්මාණකරුවන් හිතාමතාම කළ දෙයක් වෙන්න ඇති කියල මට හිතෙනව. ඒකට හේතුව Marilyn Manson ගේ තියන ආගම් විරෝධී ස්වභාවය කියලයි මම අනුමාන කරන්නෙ. Marilyn Manson ගේ ගීත වලිනුත් බොහො වෙලාවට ආගම විවේචනය කරන දේවල් කියවෙනවා. Marilyn Manson සාතන් අදහන්නෙක් බවත් සමහරු කියනව. නමුත් ඒ බව සනාථ කරන්න තරම් සාධක නැහැ. ඇමරිකාව ඇතුළත ඕනෑම ආගමක් අදහන්න ඕනෑම කෙනෙකුට නිදහස තිබෙන නිසා සාතන් වුණත් අදහන්න බාධාවක් නැහැ. Anton LaVey නම් පුද්ගලයා විසින් ආරම්භ කළ සාතන්ගේ සභාවක් සහ සාතන්ට වැඳුම් පිදුම් කරන පුදබිම් ඇමරිකාවේ පිහිටා තිබෙන බව කියන්න ඕන. සාමාන්‍යයෙන් LaVey ගේ සාතනික සභාව වටා එකතු වෙන්නෙ සාම්ප්‍රදායික ආගම් වලට එරෙහි අදහස් දරන්නන් බවයි පිළිගැනෙන්නේ. මේ කරුණු කාරණා චිත්‍රපටිය එක්ක සම්බන්ධ වෙන්නෙ කොයි විදිහට ද කොතැනින් ද කියන දේ හරියටම වටහාගන්න නම් චිත්‍රපටිය නරඹන්න ඔබට සිද්දවෙනව.

චිත්‍රපටියෙ ආධුනික FBI නියෝජිතවරිය වුණු Lee Harker ගේ චරිතය රඟදක්වන්නෙ thriller ගණයේ චිත්‍රපටවල රඟපෑමෙන් යම් ආකාරයක නමක් දිනාගත් Maika Monroe. මුල සිට අග දක්වාම Lee Harker ගෙ මුහුණේ එකසේම දකින්නට ලැබෙන්නේ යම් ආකාරයකින් කම්පනයට පත් ස්වරූපයක්. ඝාතකයින් සහ මිනීමැරුම් සමග ගතකරන්න සිදුවන වෘත්තිය ජීවිතය ඇයට ඒ පෙනුම ලබාදුන්නද? නැත්නම් ඇය කම්පනයට පත් වෙලා ඉන්නෙ ඇයට සොයාබලන්න නියමිත Longlegs නම් අපරාධකරුවා සිදු කළ බව කියන ඝාතන වල බිහිසුණු කම නිසා ද? නැත් නම් ඇයව පීඩාවට පත් කළ වෙනත් යමක් තිබුණා ද?

කතාව දිහාට හැරුණොත් චිත්‍රපටියෙ කතාව 1990 දශකය මුල් කරගෙන නිර්මාණය වුණු එකක්. මට චිත්‍රපටිය දැනුණේ ඒ යුගයෙ අපිව භීතියට පත් කළ X Files නාට්‍යයෙම පැය එකහමාරක් පමණ දිග episode එකක් විදිහට. චිත්‍රපටිය සෑහෙන මන්දගාමීව ගලා යන Slow burn කතාවක්. ඇමරිකාවේ ඔරිගන් ප්‍රාන්තයේ වසර ගණනාවකට වරක් අමුතු ආකාරයෙ ඝාතන මාලාවක් සිදුවෙනවා. බොහොම සාමකාමීව ජීවත්වන පවුලක පියා හිටිගමන් බිරිඳ සහ දරුවා මරා දමලා තමනුත් දිවිනසා ගන්නව. අපරාධයට යොදාගන්න ආයුධය පමණක් සැරින් සැරේ වෙනස් වෙනව. ඒ හැම වතාවකදිම Longlegs නම් පුද්ගලයෙක් විසින් සංකේත භාෂාවකින් ලියුව ලිපියක් අපරාධ ස්ථානයෙන් සොයාගැනෙනව. නමුත් කොයි විදිහකින්වත් පවුලේ අය හැර පිටස්තර කෙනෙක් එතැන සිටි බවට සළකුණක්වත් සොයා ගන්න ලැබෙන්නෙ නෑ. අපරාධ ස්ථානයේ නොසිට කෙනෙක් අපරාධයක් කරන්නෙ කොහොමද? සහ Longlegs ගේ සංකේත ලිපිවල කියවෙන්නෙ මොකක් ද? Longlegs සොයා යෑම පැවරෙන්නෙ ආධුනික FBI නිලධාරීනී Lee Harker ට. මේ වසර ගණනාවක් පැරණි නොවිසඳුණු අපරාධ සොයා යන්න ඇයට බාර වෙන්නෙ ඇයි? චිත්‍රපටියෙ ඈව නිරූපණය කරලා තියෙන්නෙ කරුණු කාරණා වහා වැටහෙන යම් අධිමානසික හැකියාවක් ඇති කෙනෙකු විදිහට. Lee Harker ගේ ප්‍රධානී විලියම් කාටර් ඇයව මේ පරීක්ෂණයට සම්බන්ධ කරන්නෙ ඇය සතු මේ මානසික හැකියාවන් ගැන දැනගෙන. නමුත් ඇයට අධි මානසික ශක්තියක් ලැබුණේ කොහෙන්ද සහ ඇයගෙ චරිතය මේ ආකාරයෙන් නිර්මාණය කරල තියෙන්නෙ ඇයි කියන දෙයට චිත්‍රපටිය ඇතුළේ පිළිතුරක් නැහැ. තමන්ට දැකගන්න ලැබෙන දේවල් අනුව නරඹන්නාට තමාගේ ම පරිකල්පනය මෙහෙයවා සිතා බලන්නට නිර්මාණකරුවන් ඉඩ තබා තිබෙනවා. Lee Harker ගෙ චරිතය පමණක් නොවෙයි Longlegs චිත්‍රපටියෙ බොහොමයක් දේවල් නිර්මාණය කර තිබෙන්නෙ ඒ ආකාරයට.

ඊළඟට කෙනෙකුට ඇති වෙන්න පුලුවන් තවත් ගැටළුවක් තමා මේ අපරාධකරුට Longlegs කියන නම් දීල තියෙන්නෙ ඇයි කියන කාරණාව. මේ නම ඇහුණ සැණින් සාහිත්‍ය කලා රසිකයෙකුට නම් මුලින්ම මතකයට නැගෙන්න ඕන සුප්‍රකට Daddy Longlegs නම් නවකතාව. එතකොට Longlegs නම් අපරාධකරුගෙන් සංකේතවත් වෙන්නෙ පීතෘ භූමිකාව ද? අනික් පස හැරවූ ත්‍රිකෝණයක සලකුණ චිත්‍රපටියෙ වරින් වර දැකගන්න ලැබෙනවා. චිත්‍රපටියෙ අපරාධ හැම එකක්ම සිදුවෙන්නෙ පවුල මුල් කරගෙන නිසා අනික් පස හැරවූ ත්‍රිකෝණයෙන් සංකේතවත් වෙන්නෙ සැමියා, බිරිඳ සහ දරුවන්ගෙන් සැදුම්ලත් පවුල කියන ඒකකයෙ මානව සම්බන්ධතා අභියෝගයට ලක්වීම ද කියන ගැටළුව මතුවෙනවා. Longlegs පිටපත ලියලා අධ්‍යක්ෂණය කරන්නෙ Oz Perkins. ඔහු හිච්කොක් ගේ සුප්‍රකට Psycho චිත්‍රපටියෙ ඝාතකයාගෙ රඟපෑ Anthony Perkins ගේ පුත්‍රයා. Anthony Perkins ඒඩ්ස් රෝගයෙන් මියයනව. Oz ගේ මව Berry Berenson සැප්තැම්බර් 11 ත්‍රස්ත ප්‍රහාරයෙන් ජීවිතය අහිමි කරගන්නව. චිත්‍රපටියෙ පිටපත රචනා වෙන්න දෙමාපියන් සම්බන්ධ ඔහුගෙ මේ පෞද්ගලික අත්දැකීම බලපෑමක් කරන්න ඇති බව නොසලකා හරින්න බැහැ.

කොහොම වුණත් Longlegs ආදායම් අතින් සෑහෙන සාර්ථකත්වයක් ලබන්න හැකිවෙලා තිබෙනවා. මුල මැද අග විස්තර සහිත පැහැදිලි කතාවක් නොකියා සංකේත බොහොමයක් භාවිත කරලා අවමවාදී ස්වභාවයකින් සහ කුතුහලය, බය දනවන පරිසරයක් ගොඩනගමින් නිර්මාණය වුණු සාර්ථක horror චිත්‍රපටියක් විදිහට Longlegs මට හඳුන්වාදෙන්න හැකියාව තියනව. Horror ෆිල්ම්වලට කැමති අය මේක මිස් කරගන්න එපා. ෆිල්ම් එකක් බලලා මොකක්ද ඒ බැලුවෙ කියල පැත්තකට වෙලා කල්පනා කර කර ඉන්න තරම් නිදහසක් තියනව නම් තවත් හොඳයි කියල අමතර වශයෙන් කිව හැකියි.




Thursday, August 22, 2024

Blue Velvet (1986)

ඔස්කාර් වයිල්ඩ් ගේ The Happy Prince නම් සුප්‍රකට කෙටිකතාවක් තියනව. මේ කතාව යුරෝපයේ එක්තරා නගරයක කන්දක් උඩ තියන කුමාරයෙකුගේ රත්තරන් පිළිරුවක් වටායි ලියවිලා තියෙන්නෙ. කතාවෙ හැටියට දවසක් එක් වැහිළිහිණියෙක් බොහොම කලබලෙන් මේ නගරය හරහා පියාඹාගෙන යනවා. වැහිළිහිණි කියන්නේ සංචාරය කරන කුරුල්ලන් විශේෂයක්. උන් ඉන්නා යුරෝපීය රටවලට සීත කාලය එද්දී මේ කුරුල්ලන් සමකාසන්න උණුහුම් රටවල් බලා සංචාරය කරනවා. මේ කියන කාලය වෙද්දී සීත ඍතුව ළග ළගම එමින් තිබුණු නිසා වැහිළිහිණි ඔක්කොම යුරෝපය අතහැර ගිහින් ඉවරයි. නමුත් අපේ මේ වැහිළිහිණියට යම් හේතුවක් නිසා නියමිත වෙලාවට තමන්ගේ මිතුරන් එක්ක පියාසැරියට එකතුවෙන්න බැරි වෙනවා. (ඒ කතාව කියන්න ගියොත් කෙටි කතාව ඔක්කොම කියන්න වෙන හින්දා ඒ ටික නොකියා ඉන්නම්) ප්‍රමාද වුණු මේ අපේ මිත්‍රයා සීත කාලය එන්න කලින් මේ බිමෙන් පිටවෙලා යන්නයි ඉක්මණින්ම පියාඹා ගියේ. නමුත් දිග දුරක් පියාසරලා ඌ හිටියේ බොහොම වෙහෙසට පත්වෙලා. එතනදි පුංචි වැහිළිහිණියා දකිනවා කුමාරයා ගේ රත්තරන් පිළිරුව. කුමාරයාගේ පා සෙවණේ නැවතිලා ටිකක් වෙලා ගිමන් හරින්න කුරුල්ලා තීරණේ කරනවා. ටිකක් වෙලා ඔහොම ඉන්නා අතරෙදී කුරුල්ලාට දැනෙනවා උගේ අත්තටු වලට යමක් වැටුණු බව. වැහි බින්දු! නමුත් අහසේ එක වළාකුළක්වත් නෑ. එහෙනම් මේ වැහි බින්දු වැටෙන්නේ කොහොමද? වැහිළිහිණියා ඉහළ බලනවා. ඒ වැහි බින්දු නෙවෙයි කුමාරයෙගෙ ඇස්දෙකෙන් කඩාහැලෙන කදුළු බව වැහිළිහිණියා දකිනවා.

ඔයා කවුද? වැහිළිහිණියා අහනවා. "මම තමා ප්‍රීතිමත් කුමාරයා." පිළිරුව උත්තර දෙනවා. "මං ඉන්නෙ හිනා වෙලා. ඒ නිසා නගරෙ මිනිස්සු ඒ නම මට දුන්නා. ලෝකෙ සතුටින්ම ඉන්න කෙනා මම කියලයි ඒගොල්ලො කියන්නෙ." "ඔයා ප්‍රීතිමත් කුමාරයෙක් නම් ඇයි මේ අඩන්නේ?" වැහිළිහිණියා ඇහුවා. කුමාරයා එයාගෙ කතාව වැහිළිහිණියාට කියන්න පටන් ගත්තා. කුමාරයා ජීවත් වුණේ හැදුණෙ වැඩුණේ ලොකු මාළිගාවක් ඇතුළේ. කිසි දේකින් අඩුවක් නොතිබුණු ඉතාම සැපවත් ජීවිතයක් කුමාරයා ගතකළේ. එයාට අවශ්‍ය හැමදේම අතට පයට ලැබුණා. එයා වගේම යාළුවෝ මේ මාළිගාව ඇතුළේ තවත් හිටියා. ඒ අය සෙල්ලම් කරමින් විනෝදෙන් කාලෙ ගෙව්වා. මාලිගාව ලොකු තාප්පයකින් වටවෙලායි තිබුණේ. ඉන් එහා ලෝකයක් කුමාරයා කවදාවත් දැකල තිබුණෙ නෑ. ඉන් එහා යමක් ගැන හිතන්න එයාට උවමනා වුණෙත් නෑ. මොකද අවශ්‍ය හැම දෙයක්ම මේ කොටු පවුර ඇතුළේ තිබුණ නිසා. නමුත් නොහිතූ විදිහට බොහොම අඩු වයසෙන් එයා ජීවිතෙන් සමුගත්තා. නගරෙ වැසියෝ කුමාරයාව රත්තරනින් සරසලා පිළිරුවක් බවට පත් කරලා නගරේ උසම තැන කදු ගැටයක් උඩින් ගෙනත් තිබ්බා. දැන් කුමාරයා තාප්පෙන එහා ලෝකය දකිනවා. නගරේ මෙතෙන් නොදුටු අඳුරු අහුමුලු දැන් එයාට පේනවා. ජීවිතේ ගෙනියන්න සමහර මිනිස්සුන්ට කොයිතරම් දුකක් විඳින්න වෙලා තියනවද කියලා දැන් මේ ප්‍රීතිමත් කුමාරයා දකිනවා. මිනිස්සු අතරේ නපුර කොයිතරම් පැතිරිලා තියනවද කියලා එයාට පේනවා. ඒවා දකිද්දී කුමාරයාගේ අහිංසක හදවත බිඳෙනවා. ඇස්වලින් කඳුළු වැටෙන්න පටන් ගන්නවා.

ඔස්කාර් වයිල්ඩ්ගේ කතාව තවත් ඉදිරියට ගලා යනවා. නමුත් මේ කොටස කියවද්දී ඔබට හොඳහැටි අහල පුරුදු තවත් කෙනෙකුව මතකයට නැගෙන්න ඕන. ඒ තමයි සිද්ධාර්ථ ගෞතම. සිද්ධාර්ථ කියන්නෙත් ඔස්කාර් වයිල්ඩ් ගේ ප්‍රීතිමත් කුමාරයා වගේ සියල් සපිරි සැපවත් ජීවිතයක් ගත කළ කෙනෙක්. අපි අහල තියන විදිහට ජීවිතේ මේ සැපවත් සීමාවෙන් එහාට අඩිය තියන තැනයි සිද්ධාර්ථගේ ලෝකය සසල වෙලා යන දර්ශන කිහිපය දකින්නෙ. (රෝගියෙක්, මහල්ලෙක්, මෘතශරීරයක්, පැවිද්දෙක්)
ප්‍රීතිමත් කුමාරයා සහ සිද්ධාර්ථ කියන දෙන්නාම පිටස්තර ලෝකය දිහා බලන්න පුරුදු වෙලා හිටියෙ යම් අහිංසක, අවංක දැක්මකින් කියල මං හිතනව. ඒකයි මේ වගේ දර්ශනයක් දෙකක් දුටු පමණින් එයාලාගෙ ඇතුළාන්ත ලෝකය ඒ තරම් කම්පාවට ලක්වුණේ. දැන් මම ඔබට හඳුන්වා දෙන්නම් තුන්වැන්නෙක්ව. ඔහුගෙ නම ජෙෆ්‍රි. ඔහුව අපිට මුණගැහෙන්නෙ ඩේවිඩ් ලින්ච් ගේ Blue Velvet චිත්‍රපටිය ඇතුළේ.

ජෙෆ්‍රි කියන්නෙ පාසල් අද්‍යාපනය අවසන් කරන සීමාවෙ ඉන්න සුකුමාර යෞවනයෙක්. ජෙෆ්‍රිගෙ තාත්තා යකඩ බඩු විකුණන කඩයක අයිති කරුවෙක්. මේ අය ජීවත් වෙන්නෙ ඇමරිකාවෙ උතුරු කැරොලිනාවෙ ලුම්බර්ටන් කියන නගරෙ. මේ නගරෙ බැලුබැල්මට බොහොම සාමාකාමී තැනක්. හැම පුරවෑසියෙක්ම සතුටින් ජීවත් වෙනව. දවසක් ජෙෆ්‍රිගෙ තාත්ත්ට නොහිතු විදිහට හෘදය ආබාධයක් හැදිලා රෝහල්ගත කරන්න සිද්ද වෙනව. රෝහල්ගත කරලා ඉන්න තාත්තව බලල එන ජෙෆ්‍රිට වෙන්නෙ අමුතුම දෙයකට මුහුණ දෙන්න. අහම්බෙන් වගේ ජෙෆ්‍රෙට තමන්ගෙ නිවස ලඟ තිබිලා හමුවෙන්නෙ කපා දැමුව මිනිස් කනක්. ජෙෆ්‍රි කරන්නෙ මේ කන වහාම නගරෙ පොලිස් ස්ථානයට බාරදෙන එක. සිද්ධිය සම්බන්ධයෙන් කටයුතු කරන්න බාරගන්න පොලිස් පරීක්ෂක ජෝන් විලියම්ස් මේ කපා දැමූ කන වැඩිදුර පරීක්ෂණ වලට යොමු කරනව. එතනදි ඔවුන් සොයාගන්නව මේ කන කෙනෙක් ජීවත්ව සිටියදිම කපා දැමූවක් බව. ඒ කියන්නෙ කනක් අහිමි කෙනෙක් බොහොම වෙලාවට මේ නගරෙම කොහේ හෝ ජීවත්ව සිටිය යුතුයි. තරුණ ජෙෆ්‍රිගේ හිතට මේක මහා ගැටලුවක්. කොහොමත් තරුණ වයස කියන්නෙ ඔය වගේ කුතුහල මොන ක්‍රමයකින් හරි සංසිඳුවා ගන්න පෙළඹෙන වයසක් නේ. මෙතනදි තවත් හතර වැන්නෙක් ඔබට හදුන්වා දෙන්න සිද්ද වෙනවා.

ඇයගේ නම සැන්ඩි. සැන්ඩි කියන්නෙ ජෙෆ්‍රිගේ හොදම මිතුරියක්. ඇයත් ඔහු වගේම ජීවතය ගැන යහපත් බලාපොරොත්තු පුරවාගත් සහ ජීවිතය දිහා සුබවාදී ඇහැකින් බලන්න පුරුදුවී සිටි යෞවනියක්. වැදගත්ම කාරණේ සැන්ඩි කියන්නේ කපා දැමුව කන සම්බන්ධව පරික්ෂණය මෙහෙයවන පොලිස් නිලධාරි ජෝන් විලියම්ස් ගේ දියණිය වීම. තාත්තාගේ සමහර දුරකථන සංවාදවලට ඇහුම්කන් දීලා සැන්ඩි මේ අබිරහස ගැන කරුණු කාරණා කීපයක් සොයාගන්නව. ජෙෆ්‍රි ඇය මාර්ගයෙන් ඒ කාරණා දැනගන්න සමත් වෙනවා. දැන් ඔහුගේ අරමුණ ඇයවත් උදව් කරගෙන තමන් විසින්ම මේ අබිරහස සොයා යෑම. නමුත් ඉන් පස්සෙ වෙන්න නියමිත මොකක්ද කියලා යන්තම් හරි තේරුමක් තිබුණා නම් ජෙෆ්‍රි කවදාවත් ඔය ගැන වැඩිදුර හොයන්න යන්නෙ නැතිවෙන්න තිබුණා.

අධ්‍යක්ෂ වරයෙකු විදිහට ඩේවිඩ් ලින්ච් වඩාත් ප්‍රකට වෙන්නේ ඔහුගේ අධි යථාර්ථවාදී (surreal) සිනමා භාවිතාව නිසා. ඔහුගේ චිත්‍රපටි සම්බන්ධව බොහෝ දෙනාගෙ අදහස ඒවා ඉතාම දුරවබෝධ ඒවා බව. මොකද බොහොම වෙලාවට ඔහුගේ චිත්‍රපටි ගොඩනැගෙන්නේ අපට හුරුපුරුදු යථාර්ථ සීමාවන් තුළ සිටිමින් ඒවා ඉක්මවා යමින්. නමුත් මෙතනදි Blue Velvet වෙනස් චිත්‍රපටයක් වෙන්නේ මේ ලින්ච්මය දුරවබෝධ ස්වභාවය මේ චිත්‍රපටයේ අවම වශයෙන් දකින්න ලැබීම. ඒ කියන්නෙ නරඹන සාමාන්‍ය ප්‍රේක්ෂකයෙකුට වැඩි දුෂ්කරතාවකින් තොරව චිත්‍රපටයේ කතාව තේරුම්ගත හැකියි. ලින්ච් ගේ චිත්‍රපට නොබැලූ සහ ඔහුගේ රටාව නුහුරු කෙනෙකුට ලින්ච්මය සිනමා ලෝකයට එක්තරා ආකාරයක ප්‍රවේශයක් විදිහට Blue Velvet කියන්නෙ හොද තෝරගැනීමක් බව බොහෝ අය කියන ආකාරය මම දැක තියනවා. නමුත් Blue Velvet බැලූ බැල්මට සරල කතාවක් වගේ පෙනුණත් නරඹන්නෙකුට නොයෙක් ආකාරයට ප්‍රවේශ විය හැකි සංකීර්ණ යටිපෙළක් සහිත සිනමා කෘතියක් බව සදහන් කළ යුතුයි.

Blue Velvet චිත්‍රපටිය ආරම්භයෙදි අපි දකින්නේ ඇමරිකාවෙ ලුම්බර්ටන් නගරය පිළිබද ප්‍රචාරක දැන්වීමක ආකාරයේ සුන්දර රූප මාලාවක්. ඉන්පස්සෙ අපි දකිනවා ජෙෆ්‍රිගේ පියාට හෘදයාබාධයක් වැලඳී පොළවට ඇදගෙන වැටෙන දර්ශනය. මෙතනදි කැමරාව බිම ඇද වැටී ඉන්නා ජෙෆ්‍රිගේ පියාගෙන් මෑත් වී ඉතාම සියුම්ව පොළෙවේ තණබිස්සට යටින් සිටින කුඩා කෘමී සතුන් වෙත යොමු කෙරෙනවා. එතනදී තිරය මත අදාළ දර්ශන පෙළ මැවෙන්නේ යම් සිහිනමය ස්වභාවයකින්. ප්‍රචාරක දැන්වීමේ පෙන්වන අයිසින් තැවරූ යථාර්ථයට යටින් සැඟවී දිවි ගෙවනා කුඩා අඳුරු ජීවිත ගැන සංකේතාත්මක ප්‍රකාශයක් විදිහට ඒ දර්ශන කිහිපය චිත්‍රපටිය ඇතුළේ අපට අරුත් ගන්වාගන්නට පුළුවන්. ඉන් පසුව නරඹන්නාට දැකගන්න ලැබෙන සිදුවීම් පිළිබඳ යම් පූර්ව දැනුම්දීමක් විදිහටත් ඒ දර්ශන කිහිපය කියවාගන්න අපට හැකියාව තියනවා. චිත්‍රපටියේ ලෝකය පැහැදිලිවම හොද සහ නරක විදිහට සීමා ඉරකින් බෙදා වෙන්කර තිබෙන ආකාරයකුයි දැකගන්න ලැබෙන්නෙ. සමහර දර්ශන රූගත කරලා තියෙන්නෙ නරඹන්න තරමක් අපහසු මට්ටමෙන්. ලෝකයේ ඇති අඳුරු සහගත යථාර්ථයන්ට නිරාවරණය වෙන ජෙෆ්‍රි වැනි තරුණයෙකුගේ මනෝභාවයන් වඩා හොදින් නිරූපිත කරන්න මේ ආකාරයෙන් තිර පිටපත රචනාවී ඇතුවා වෙන්න බොහෝම ඉඩකඩ තියෙනවා. ලින්ච් මෙතනදී හොලිවුඩයේ noir සිනමාපටවලින් ආභාසය ලබා ඇති බවයි සිනමා විචාරකයන් කියන්නේ. හොලිවුඩ් noir චිත්‍රපටි කියන්නෙ ඇමරිකාවේ 40 /50 දශකවලදී අපරාධමය සිදුවීම් සම්බන්ධ කරගනිමින් යම් නරුමවාදී දෘෂ්ටියක් මුල්කරගෙන නිපදවුණු චිත්‍රපට ප්‍රවර්ගයකට. මෙන්න මේ ගුණාංග පසුව ලින්ච් ගේ චිත්‍රපටිවල ඔහුගේ අනන්‍යතාව බවට පත්වී ඇති බව නිරීක්ෂණය කළ හැකියි. කෙසේවෙතත් Blue Velvet දෙවන වතාවටත් ලින්ච්ට හොඳම අධ්‍යක්ෂවරයා විදිහට ඔස්කාර් නිර්දේශයක් ලබාදෙන්න සමත් වෙනවා.

චිත්‍රපටයේ සිත්ඇදගන්නා සුළුම කාරණය 80 දශකය පසුබිම් වූ වටපිටාව. 80 වර්ණවත් විලාසිතා, වාහනවල හැඩහුරුකම් කොණ්ඩ මෝස්තර 90 අග පටන් ලෝකය දකින්න පටන් ගත්ත පරම්පරාව වුණු අපේ අතීතකාමී මතකයන් අවුස්සනවා. සැන්ඩි ගේ චරිතය රඟපාන ලෝරා ඩර්න් නම් නිළියගේ තරුණ සුන්දර රූපකායත් අමතක කරන්න බෑ. මේක ලෝරාගේ මුල් අවධියේ චිත්‍රපටියක්. පසුව ස්පීල්බර්ග් ගේ Jurassic Park චිත්‍රපටයෙනුයි ඈ ලොව පුරා ප්‍රසිද්ධියට පත්වන්නේ. චිත්‍රපටියෙ ආකර්ශණීය බවේ කේන්ද්‍රය වෙන්නෙ ඩොරති නම් අතීශය සුරූපී ගායිකාව ගේ චරිතය රගදක්වන Isabella Rossellini ගේ සුන්දරත්වයයි. ඉතාම සුන්දර රූපකායක් හිමි Isabella චිත්‍රපටය ඇතුළේ අභියෝගාත්මක රගපෑමක යෙදෙනවා. ගැහැනියක් විදිහට ඇය ඒ අවස්ථාවන් කොහොම රඟපෑවාදැයි පුදුම හිතෙනා තරම්. ඈ ගැන වැඩිදුර යමක් නොකියා ඉන්නම්, මොකද එය චිත්‍රපටිය නරඹලාම අත්විඳගත යුතු යමක් හින්දා.

1984 දී Dune නම් විද්‍යා ප්‍රබන්ධ චිත්‍රපටිය නිර්මාණය කරලා අසාර්ථකත්වයට පත්ව සිටි ලින්ච් සිනමාව ඇතුළේ නැවත ඉදිරි පියරවක් තබන්නේ Blue Velvet හරහා. මේ පිටපත රචනා කරන්නෙත් ලින්ච්මයි. Blue Velvet නම් ගීයක් අසමින් සිටිද්දී මේ කතාව තමන්ගේ සිතට නැගුණු බව ඔහු කියා තිබෙනවා. ඒ ගීය චිත්‍රපටිය ආරම්භයෙදී වාදනය වෙනවා. යහපත් සහ පවිත්‍ර චේතනාවකින් ලෝකය දිහා බලන සුහුඹුල් යෞවනයෙකුගේ අවංක සිතුම් පැතුම් Blue Velvet ගියේ තනුව තුළත්, චිත්‍රපටයෙනුත් මැනවින් නිරූපිත වෙනබව මම හිතනවා. චිත්‍රපටියෙ කතාපුවත අතර මූලික ඝට්ටනය නිර්මාණය වෙන්නෙ අවංක පිරිසිදු චේතනාවන් සහ පිටස්තර ලෝකයේ විෂමාචාරීත්වය එකිනෙක සම්මුඛ වෙන මොහොත. ලින්ච් ඉතාම ප්‍රබලව මේ සංකීර්ණ මොහොත තම සිනමා කෘතිය හරහා ප්‍රතිනිර්මාණය කරන බව සමස්තයක් වශයෙන් කිව හැකියි.



Wednesday, August 14, 2024

යළි හමු නොවන ඔබ..

මගේ සැමියා වූ කාල් සේගන් මියගිය කළ, ඔහු ඉතා ජනප්‍රිය තැනැත්තෙකු සහ ආගම විශ්වාස නොකරන්නෙකු ලෙස ප්‍රකටව සිටි නිසා, බොහෝ අය මා වෙත පැමිණ (සමහර විටෙක එය තවමත් සිදු වේ) අවසානයේ කාල් වෙනස් වී මරණින් මතු ජීවිතයක් පිළිබඳ විශ්වාසයකට හැරුණේදැයි මගෙන් අසති. මට ඔහුව නැවත දැකගන්නට ලැබෙනු ඇතැයි මම සිතනවාදැයි ඔවුන් මගෙන් නිතරම විමසති. කාල් ඔහුගේ මරණයට මුහුණ දුන්නේ මහත් ධෛර්යයකින් වන අතර ඔහු කිසි විටෙකත් මිත්‍යාවන්හි පිළිසරණය පැතුවේ නැත. ඛේදවාචකය නම් අපට නැවත කිසි දිනෙක එකිනෙකා මුණනොගැසෙන බව අප දැන සිටීමයි. කාල් සමග නැවත එක්වන්නට මම කිසිදාකවත් බලාපොරොත්තු නොවන්නෙමි. නමුත් වැදගත්ම දෙය නම්, අවුරුදු විස්සකට ආසන්නව අප එක්ව සිටි කාලය ඇතුළත, අප ජීවත් වූයේ ජීවිතය කොයි තරම් කෙටිද සහ එය කොයිතරම් මාහැඟි වූවක්ද යන්න පිළිබඳව සුපැහැදිලිවූ අගයකිරීමක් සමග ය යන්නයි. මරණය යනු අවසන් සමුගැනීමක් හැර වෙනත් යමක් යැයි මවාපාමින් අපි කිසි විටෙකත් එහි අරුත සුළුකොට තැකුවේ නැත. අප ජීවත්ව සිටි සහ අප එක්ව සිටි සෑම මොහොතක්ම ආශ්චර්යමත් විය - නමුත් ඒ පැහැදිලි කළ නොහැකි හෝ අධිස්වාභාවික අර්ථයෙන් ආශ්චර්ය වූවක් නොවේ. අපි අහම්බයක් වශයෙන් සිදුවූ දෙයක ප්‍රතිලාභ ලැබූවන් පමණකි... එම පිවිතුරුවූ අහම්බයට එතරම් ත්‍යාගශීලී සහ කාරුණික විය හැකි වූයේ ය... ඔහු තම "කොස්මෝස්" නම් කෘතියෙහි ඉතා මනරම් ලෙස ලියා ඇති පරිදි, විශ්වයේ අපරිමිත බව තුළ සහ කාලයේ අසීමිත බව තුළ අවුරුදු විස්සක කාලයක එක්ව විසීමට අපට හැකි වූවා පමණි. ජීවත්ව සිටියදී ඔහු මා රැකබලා ගත් ආකාරය සහ මා ඔහු රැකබලා ගත් ආකාරය, අපි එකිනෙකා සහ අපේ පවුල රැකබලා ගත් ආකාරය... එය මා හට දරා සිටීමට උපකාරී වන වන අතර එය වඩාත් අර්ථවත් වේ. කවදාක හෝ නැවත මා ඔහු දකින්නේය යන අදහසට වඩා මට එය වටියි. මට යළිත් කිසිදාක කාල්ව දැකගන්නට ලැබේවි යැයි මම සිතන්නේ නැත. නමුත් වරක් මා ඔහු දුටුවෙමි, අපි එකිනෙකා දුටුවෙමු. විශ්වය තුළ අප එකිනෙකා මුණගැසුණෙමු, එය පමණක්ම ඉතා මනහර විය.

~Ann Druyan

(Ann Druyan කීර්තිමත් ලේඛිකාවක් සහ නිෂ්පාදකවරියක් වන අතර, ඇය වඩාත් ප්‍රසිද්ධියට පත්වූයේ ඇගේ නැසීගිය සැමියා වන කීර්තිමත් විද්‍යාඥ කාල් සේගන් හා සමග වූ සහයෝගීතාව සඳහා ය. ඔවුන් එක්ව විශ්වය සහ එහි අපගේ ස්ථානය පිළිබඳව ගවේෂණය කළ පෙරළිකාර කෘති නිර්මාණය කළහ. 'Shadows of Forgotten Ancestors' එවැනි එක් විශිෂ්ට කෘතියකි.)



Wednesday, August 7, 2024

පරව ගිය කුසුමක්

 (1962 අගෝස්තු 4 මැරලින් මොන්‍රෝ මියගිය පුවත අසන්නට ලැබුණු සැණෙකින් චාල්ස් බුකොව්ස්කි මෙලෙස ලිවීය. එය බුකොව්ස්කි ගේ Burning in Water Drowning in Flame නම් කවි එකතුවේ ඇතුළත්ව තිබේ)

දැල්වුවා පහන් ඔබෙ සිරුර
බොහෝ මිනිසුන්ට අඳුරු රැයවලදි,
දැන් ඔබේ රැය තවත් අඳුරුයි,
පහන් දැල්වෙන රැයකටත් වැඩියෙන්.
අමතක වී යනු ඇත අපට ඔබ,
යම් තරමකට,
කාරුණික නොවෙතත් එලෙසින් කීම,
පොදි ගැසෙනු ඇති ඉහඳ පණුවෝ
ඔබේ ඇට මිදුළු සොයමින්,
කාහටත් සිදුවේය මේ ලෙස,
නපුරන්ට මෙන්ම විරුවන්ට,
කුහුඹුවාගේ සිට අලි ඇතුන් තෙක්,
වනේ වන මෘගයන්ට ද,
එහෙත් ඔබ රැගෙන ආවා
අප වෙනුවෙන් යමක්,
එක්තරා ආකාරයක කුඩා ප්‍රහර්ශයක්,
යහපතක් යැයි කියමි එය අපට,
එබැවින් ඉඩ නොදෙන්න තව
දුක්වන්න අප හට,
වියැළී ඉවත විසිවුණු මලක් සේ,
අමතකවේ අපට, සිහිපත් වේ අපට,
බලා හිඳිනු ඇත අපි,
මගේ මධු බඳුන ඔසවා
විනාඩියක් පුරා සිටියා මම.
සිනාවක් විය මා මුව.

~ Charles Bukowski

(සිංහල පරිවර්තනය මගෙනි)



Sunday, August 4, 2024

අන්තිමට, නිහඬබවම කතාකරන්න ගත්තම

ප්‍රභාත් ජයසිංහ ගේ "අන්තිමට, නිහඬබවම කතාකරන්න ගත්තම" කවි පොත කියවලා මේවට කවි කියලා කියන්න පුලුවන් ද කියල කවුරු හරි කෙනෙක් අහන්න පුලුවන්. එහෙම අහන කෙනෙකුගෙන් ආපහු අහන්න තියෙන්නෙ මේව කවි නොවන්නේ කොහොමද කියන ප්‍රශ්නය තමයි. වාග්මය සෞන්දර්ය, කාව්‍ය අලංකරණ වගේ භාෂාමය සැරසිලි හැකිතාක් ඉවත් කරලා ලියවෙන කවි ගැන හොයාබලනකොට මං හිතන්නෙ සිංහල භාෂාවෙන් ලියවෙන කවි සම්බන්ධයෙන් තරමක් ඉතිහාසයකට අපිට ආපහු ගමන් කරන්න සිද්දවෙනවා. කොළඹ යුගයේදි කවිය අතිශ්‍ය සෞන්දර්යවාදීව රොමාන්තිකකරණයට ලක්වෙලා, සිව්පද විදිහට ආකෘතිගත වෙලා තිබුණ කාලයක ජී. බී. සේනානායක, සිරි ගුණසිංහ වගෙ අය බටහිර කවියේ ආභාසය අරගෙන, එවකට තිබුණ විරිතකට අනුව පද්‍ය ගොනු කිරීමේ සම්ප්‍රදාය බැහැර කරලා, යම් ආකාරයක නිදහස් ආරකින් කවි රචනා කරන්න පටන් ගත්තා. සඳැසින් මිදුණු ඒවා නිසඳැස් විදිහට හැඳින්වුණා. අර භාෂාවෙ රසකාරකයන්ගෙන් මිදිලා හැකිතාක් කාව්‍යමය අත්දැකීමට මූලිකත්වය දෙමින් සංරචනය වුණ සාහිත්‍ය ප්‍රවර්ගයක් විදිහට මේ කවි අපිට හඳුනාගන්න ලැබෙන්නෙ. ඉන්පස්සෙ ආරියවංශ රණවීර වගේ කවියෙක් මේ ආකාරයෙ කවි ඉතාම ජනප්‍රිය තලයකට අරගෙන ආව. මේ ක්ෂුද්‍ර ගුණයෙන් (කාව්‍ය තේමාව අනුව) යුක්ත රණවීරමය කවිය සිංහල කවිය ඇතුලේ අතුපතර ලා වැඩුණා.

නමුත් මේ කවිය කෙනෙකුට පහසුවෙන් අනුකරණය කරන්න පුලුවන් ආකෘතියක් නෙවෙයි. බැලුබැල්මට ඉතාම සරල වචන පෙළක් පහලට ලියා ඇති බවක් පෙනුනට කවිය බවට පත්වෙන්නෙ කාව්‍ය නිමිත්ත, අනුභූතිය වෙන්නෙ ඉතා සියුම් ජීවිත අත්දැකීමක්. හොඳ රසවින්දන ශක්තියක් සහ කාව්‍යමය පුහුණුවක් නොලැබූ කෙනෙකුට මෙන්න මේ දෙය ග්‍රහනය කරගන්න හැකියාවක් නෑ. කවිය කියන්නෙ කවියාගෙ ප්‍රකාශයක් නෙමෙයි. කවිය කියන්නෙ කවියාගෙ චිත්‍ත සන්තානයෙ පහළවන සිතිවිල්ලමයි. කවිය යනු එක්තරා ආකාරයක සිතීමේ ක්‍රමයක්. කවිය සහ කවියා මෙතනදි දෙකක් නොවෙයි එකක්. මේ ආකෘතිය වෙනත් කෙනෙකුට අනුකරණ කරන්න බැරි ඒ නිසා. ඔහු එය තම ජීවිතයෙන්ම උපයාගත යුතුයි, තම සිතීම හරහාම කවිය උපදවා ගත යුතුයි. එහෙම සිතීමේ ක්‍රමයක් වැඩි දියුණු කර නොගත් කෙනෙකුට ඒ කවි මාර්ගයෙ පවතින්න බෑ. ප්‍රභාත් ජයසිංහගෙ මේ කවි පොතේ අපිට මුණ ගැහෙන්නේ ජීවිතේ මැදිවයස ඉක්මවා යමින් සිටින සහ ගෙවී ගිය අතීත ජීවිතයක් සහ සැඳැ සමයක් අබිමුවේ ජීවිතේ දිහා "කාව්‍යමය කල්පනාවකින්" බලන කල්පනාකාරී මිනිසෙක්.

උදාහරණ විදිහට පොතේ තියන 14 වෙනි කවිය අරගමු. කවියෙ ඉන්නෙ ස්විමිං පූල් එකක නාන්න ගිය තරුණ පුතෙක් සහ තාත්තා කෙනෙක්. තාත්තාට පීනන්න දන්නෙ නෑ, වතුරට බැහැල ඔහේ දියබුං ගගහ ඉන්නව. පුතාට හොඳට පීනන්න පුළුවන්. පුතාට ඒ හැකියාව ලැබිල තියෙන්නෙ තාත්තා පොඩි කාලෙම පුතාව ප්‍රයිවට් පූල් එකකට යවලා පීනන්න හුරු කළ නිසා. පීනන්න බැරිව ස්විමිං පූල් එකට වෙලා තාවර වෙවී ඉන්න තාත්තව දැකල වෙන්න ඕන පුතා ඇවිත් තාත්තට කියනව "තාත්තෙ මං පීනන්න උගන්නම්" කියලා. ඒක අහලා තාත්තා ගෙ සතුට උපරිම තැනට එනවා. කාව්‍ය නිමිත්ත වෙන්නෙ මේ අත්දැකීම. එක්කො මේ තාත්තට තමන්ට තරුණ වයසේ නොලැබුණ නිදහස් විනෝදකාමී ජීවිතයක් ගැන සාංකාවක් තියනව. ඔහු පුතාව හදන්නෙ ඒ අඩුපාඩුව පුතාට නොදැනෙන්න. "පිහිනීම" කියන කාරණෙන් සංකේතවත් වෙන්නෙ තාත්තට ලබා ගන්න බැරිවුණු ඒ ජීවිතය. නැත්නම් ඔහුට තියෙන්නෙ ඇරියස් එකක්. තමන්ට කරගන්න බැරි වුණු දේ පුතා ලවා කරවා ගැනීමේ උවමනාවක්. නැත්නම් මේ තාත්තා ඉන්නෙ මේ දෙකම අතර මැද වෙනත් අවස්ථාවක වෙන්නත් පුලුවන්. කියවන්නාට තමන්ගෙ දෘෂ්ටි කෝණයෙන් කවියට පිවිසෙන්න ඉඩක් කවිය ඇතුලෙ හැදිලා තියනව. මේ ආකාරයට නොයෙක් නොයෙක් දිශාවන්ට වරනගන්නට හැකිවීම (සංදිග්දතාව) හොඳ කවියක ලක්ෂණයක්.

ඊළඟට පොතේ 31 කවිය. මං වඩාත් ඊරිසියාසහගතම කවිය. මේ වගේ එකක් ඇයි මට නොහිතුණෙ කියල හිතුණු කවිය. කවියෙ ඉන්නෙ දිය ඇලි බලන්න යන මනුස්යෙක්. හැතැප්ම සිය ගණන් ගෙවාගෙන දියළුම, දුන්හිඳ වගේ දිය ඇලි බලන්න වාහනේ නැගලා ඔහු යනවා. එතකොට ඔහුත් එක්කම එන යාලුවෙක් අහනව "ඔච්චර දුර යන්නෙ මොනව බලන්නද" වගේ කතාවක්. ඒ ප්‍රශ්නෙට ඔහුට තියන උත්තරේ කාව්‍යාත්මක එකක්. ඔහු තමාවත් දියඇල්ලත් එක ළඟ තියලා සංසංදනය කරමින් හිතනවා. ඒ සිතීම තමා කවිය වෙන්නෙ. මේ පහළින් තියෙන්නෙ ඒ කවිය. ඔහු දිය ඇල්ල අමතන්නෙ "ඇය" කියලා. සොබාදහමත් එක්ක ඔහුගේ බැඳීම නිසාද එහෙම ඔහුට හිතෙන්නෙ? නැත්නම් ඔහු තමන් දන්නා හඳුනන වෙනත් ගැහැනියක් ද දිය ඇල්ලට අනුරූප කරන්නෙ?? ඒකට උත්තරේ දන්නෙ ඔහු පමණක් වුණත් මේ කවිය පැහැදිලිවම අපිට අපේ කරගන්න පුලුවන්. අපේම ජීවිත ඇත්දැකීම එක්ක ඒකාත්මික කරගන්න පුලුවන්. ඒ තමා හැබෑම කවිය.
.
.
.
දියළුම දුන්හිඳ රාවණා
කොලපතන
ලවර්'ස් ලීප්

සැතපුම් සිය ගණන් මග ගෙවා
පාමුලට ගොස්
බලා ඉමි

'මෙච්චර දුර ගෙවාගෙන ඇවිත්
මොනවද උඹ හොයන්නෙ'
අසයි මිතුරෙක්
මා සමග පැමිණි

'දිය ඇල්ලට දිය ඇල්ලක්
සම්මුඛ වීම'
මම කියමි

ගලාගෙන ඇවිත් වෙහෙසව
ගලන එක මොහොතකට නවතා
එක්තරා තැනකදි
ඉහිල්ව
නිදහසේ
කඩා හැලී
කුඩා බිඳිතිව බිඳී
පාමුලදි එකතුවී
යළි ගලා යන්නෙය ඇය

ගලාගෙන ඇවිත් වෙහෙසව
ගලන එක මොහොතකට නවතා
ඇය'භියස
නිදහසේ
කඩා හැලී ඈ එක්කම
කුඩා බිඳිතිව බිඳී
පාමුල දි එකතු වී
යළි කාරයෙ නැගී
ගලා එන්නෙම ගෙදර මම


~ "අන්තිමට, නිහඬබවම කතාකරන්න ගත්තම"
~ප්‍රභාත් ජයසිංහ