Friday, August 30, 2024

A Streetcar Named Desire (1951)

"මා නිතරම ආගන්තුකයන්ගේ කරුණාව මත යැපුණෙමි"

මිනිස්සු විසින් කාලයත් එක්ක ගොඩනගාගත්තු ශිෂ්‍ටාචාර කොයිතරම් දියුණුයි සහ සංවර්ධිතයි කිව්වත් ජීවිතය කියන්නේ මොකක්ද සහ ජීවත්ව සිටීමේ අර්ථය මොකක්ද කියන ප්‍රශ්නවලට හරි පිළිතුරක් සොයාගන්න ඔහුට කවදාකවත් බැරි වුණා. ජීවිතය කියන්නේ හැමවිටම මිනිස් චින්තය අවුල් ජලාවකට ඇද දැමූ මහා ප්‍රෙහෙලිකාවක්ම වුණා. ජීවිතය යැයි කියන මොහොතින් මොහොත වෙනස්වෙමින් පවතිනා අස්ථිර පැවැත්ම ඇතුළේ නොවෙනස් ස්ථිර සුපැහැදිලි සත්‍යතාවක් කියලා යමක් අපිට හොයා ගන්න මෙච්චර අපහසු ඇයි? ජීවිතයේ මේ අනිස්ථිර බව පිළිගෙන නිවැරදිව ජීවත් වෙන්න ඕන නම් අපි ඒක කරන්නෙ කොහොමද? මිනිස්සු නොයෙක් දර්ශනයන් ගොඩනගා ගනිමින්, තර්ක විතරක කරමින් මේවට තවමත් පිළිතුරු හොයමින් ඉන්නවා. නමුත් එක දෙයක් ගැන මම හිතනව අපි හැම කෙනෙකුටම, අඩු වශයෙන් බහුතරයකට හරි එකඟවෙන්න පුළුවන් කියලා. එනම් ජීවිතය පවත්වාගෙන යන්න අපිට බොහො දුක්වේදනා විඳින්නට සිදුවෙන බවත්, මේ දුක් සහිත බව මගහැරගත නොහැකිව නෛසර්ගික වශයෙන්ම ජීවිතය සමග උරුම වන කාරණයක් බවත් කියන දෙය. ජීවිත යථාර්ථයන්ගේ තියෙන මේ තිත්ත කටුක ස්වභාවයන් හමුවේ නොයෙක් දෙනා නොයෙක් විදිහට ප්‍රතිචාර දක්වනවා. සමහරු අතිශ්‍ය හැඟීම්බරව, ආත්ම අනුකම්පාවේ ගිලිලා, ව්‍යාජ යථාර්ථයක් මවාගෙන ඒ තුළ ජීවත්වෙන්න උත්සාහ කරනව. සමහර දෙනා මුරණ්ඩු විදිහට මේ යථාර්ථයන් සමග ගැටෙන්න උත්සාහ කරනවා. නමුත් මේ දෙකොට්ටාශයම එක්තරා ආකාරයක උමතුවක් නොවෙයිද? සියළු සත්ත්වයෝ උමතුය කියලා බුදුන් කියලා තියනව කියල මං අහලා තියෙනව. ජීවන යථාර්ථය හමුවේ උමතුවට පත් නොවුණු කෙනෙක් නැතුව ඇති.

ඇමරිකාවේ විශිෂ්ථතම නාට්‍යරචකයෙකු විදිහට සැළකෙන Tennessee Williams අතින් A Streetcar Named Desire නම් වේදිකා නාට්‍ය රචනාවෙන්නේ ජීවිතය නම් වූ මේ වියවුල හමුවේ මතුවන එකිනෙකට වෙනස් මිනිස් ගති ස්වභාවයන් මුල් කරගනිමින්. A Streetcar Named Desire නාටකය කියන්නෙ ප්‍රථම වතාවට වේදිකාගත වුණු 1947 වසරේ පටන් අද දක්වාම විවිධාකාර නළු නිළියන් රඟදක්වමින් නැවත නැවතත් නිශ්පාදනය වෙන, ඇමරිකානු වේදිකාවේ සදානුස්මරණීය නාටකයක් බව කිවයුතුයි. Elia Kazan අධ්‍යක්ෂවරයා අතින් 1951 දි සිනමාවට නැගෙන්නේ Tennessee ගේ මේ නාට්‍ය පිටපත. A Streetcar කතා පුවත මූලික වශයෙන් ගොඩනැගෙන්නේ ප්‍රධාන චරිත තුනක් මුල්කරගෙන. එනම් බ්ලාන්ක් ඩුබොයිස්, ස්ටෙලා ඩුබොයිස් යන සහෝදරියන් දෙදෙනා සහ ස්ටැන්ලි කොවෙල්ස්කි නම් පෝලන්ත ඇමරිකානුවා. ස්ටැන්ලි විවාහවී සිටින්නේ ස්ටෙලා සමග. ඔවුන් ජීවත් වන්නේ නිව් ඕලින්ස්වල නගරබද වටපිටාවක. ස්ටැන්ලි මෝටර් රථ කාර්මිකයෙක් සහ ස්ටෙලා ගෘහණියක් විදිහටත් කටයුතු කරනවා. ගම්බදව ගුරුවරියක් විදිහට දිවිගෙවනා බ්ලාන්ක් තම සහෝදරිය හා වාසය කරන්න නගරයට පැමිණෙනවා. කතාවෙහි කේන්ද්‍රීය ගැටුම ආරම්භවෙන්නේ ඇයගේ ආගමනයත් සමගයි.

බ්ලාන්ක් තරුණ වයසේදිම විවාහවී සිටියත් ඇගේ සැමියා දිවිනසා ගැනීම එක්ක ඈ ගතකරන්නෙ තනිකඩ ජීවිතයක්. ඇය සිටින්නේ තරුණ විය කෙමෙන් වියැකී යන වයසක. නමුත් ඈ ආයාසයෙන් තමා ළඟ නොමැති තාරුණ්‍යයකින් තමන්වම සරසා ගන්නට වෙරදරනවා. තමන්ට වඩා වයසින් ළාබාල තරුණ පිරිමින්ට ආකාර්ශණය වෙන ස්වභාවයක් ඈ තුළ ඇති බවක් විටෙක පෙන්නුම් කෙරෙනවා. තරුණ බව පිළිබද ඇගේ දැඩි ඇල්ම එයින් පිළිබිඹු වෙනවා. චිත්‍රපටියේ එක තැනකදී ඈ මළවුන් වෙනුවෙන් මල් විකුණනා ගැහැනියක් දැක බියපත්ව නිවසේ දොර වසා ගන්නවා. එයින් නිරූපිත වෙන්නේ මරණය වැනි ජීවන යථාර්ථයන්ගෙන් ඈ පළායන්නට උත්සාහ කරනා ආකාරය.

ඇය හා සංසන්දනය වන අනෙක් ප්‍රධාන චරිතය ස්ටැන්ලි. චිත්‍රපටයේ සැටැන්ලිව නිරූපිත වෙන්නේ හැගීම් දැනීම්වලින් තොර වුණු සැඩපරුෂ පුද්ගලයෙකු විදිහට. සමහර විටෙක ඔහු මිනිස් ගති මිරිකා හළ වන මෘගයෙකුට සමානයි. බ්ලාන්ක් තම නිවසට පැමණීමෙන් පසු ඔහු උත්සාහ කරන්නේ ඇයව පීඩාවට පත් කරන්නටයි. ඇගේ ව්‍යාජයන් කඩා බිද දමා ඇයව වේදනාවට පත්කිරීමටයි. බ්ලාන්ක්ගේ ලද බොළඳ සහ තරමක උමතු ස්වභාවය ස්ටැන්ලි ගේ අකාරුණික භාවය හා ගැටෙනවා. අවසානයේදී ප්‍රේක්ෂකයින් බ්ලාන්ක් ට අනුකම්පා කිරීම තමන්ට උවමනා වුණු බව නාට්‍ය රචක Williams කියා තිබෙනවා. නමුත් ඒ සමගම ස්ටැන්ලි පිළිබද වෛරයක් ඇතිවීම වළක්වන්න බැහැ. ස්ටැන්ලි ගේ නිවසට එන බ්ලාන්ක් වාසය කරන්නේ තිරයකින් වෙන්වුණු ස්ටැන්ලිගේම කුටියේ පසෙකින්. මේ විදිහට මොවුන් දෙදෙනා ජීවිතයේ යථාර්ථයන් හමුවේ මිනිස් සිතක ස්වභාවයෙහි අන්ත දෙකක් නිරූපණය කරන බව චිත්‍රපටය සහ නාට්‍ය ඇතුළේ දක්වා තිබෙනවා. බ්ලාන්ක් ගැහැනියක් විදිහට භාවාතිශය වෙමින්, තමාටම අනුකම්පා කරගනිමින්, සිහින ලෝකයක අතරමං වූ තැනැත්තියක සේ ජීවිතයට මුහුණ දෙන අතරේ අනෙක් අතින් ස්ටැන්ලි හැගීම් දැනීම් මරා දමා තර්කානුකූල බව සහ ප්‍රචණ්ඩත්වයට නැඹුරු වූවෙකු විදිහට අපි දකිනවා. නමුත් ඔවුන් අතරේ මැද තැනක ඉන්නා ස්ටෙලා තුළින් ගතානුගතික ගෘහණියකගේ භුමිකාවට සීමා වී ඉන්නා ගැහැනියකුයි විද්‍යාමාන වන්නේ. ඉක්මණින් කෝප ගැන්වෙන ඇගේ සැමියා ස්ටැන්ලි ඇයට පහර දෙනවා, බැණවදිනවා, අපහාස උපහාස කරනවා. නමුත් ඔහු නැවත ආදරෙන් කතා කළ පසු ඈ නැවත ඔහුට සමාව දී ඔහු සමීපයට එනවා. මේ ආකාර ගෘහ ජීවිතවයකට අනුගත වුණු තැනැත්තියක් විදිහටයි ස්ටෙලා ගේ චරිතය අප හමුවේ මැවෙනවා.

චිත්‍රපටයේ ස්ටැන්ලිගේ චරිතය ඒ වෙද්දි එක චිත්‍රපටියක පමණක් රඟපා තිබුණු සහ ඇමරිකානු බ්‍රෝඩ්වේ වේදිකාවේ නැගී එමින් සිටි තරුණයෙක් වුණු මාලන් බ්‍රැන්ඩෝට ලැබෙන්නේ Tennessee Williams ගේ වේදිකා නාට්‍යයෙත් අදාළ චරිතය ඔහු විසින් මැනවින් නිරූපණය කර තිබුණු නිසා විය යුතු යි. මාලන් බ්‍රැන්ඩෝ ඉතාම තරුණ වයසේ දි ම තම රංගන ජීවිතය ආරම්භ කරන්නේ ඇමරිකානු බ්‍රෝඩ්වේ වේදිකාවෙන්. බ්‍රැන්ඩෝට පෙර A Streetcar Named Desire නාට්‍යයේ ස්ටැන්ලි ගේ චරිතයට ප්‍රකට හොලිවුඩ් නළුවන් කිහිප දෙනෙකුවම යෝජනා වී තිබුණ නමුත් ඒ කිසි කෙනෙකුට නාට්‍යට සම්බන්ධවෙන්න හැකියාවක් ලැබෙන්නේ නෑ. බ්‍රැන්ඩෝගේ නම යෝජනා වෙන්නේ ඉන් අනතුරුව. නාට්‍යයත් අධ්‍යක්ෂණය කළ Elia Kazan බ්‍රැන්ඩෝ මේ චරිතයට සුදුසු බවට අනුමත කළේ නෑ. මොකද ඒ වෙද්දී බ්‍රැන්ඩෝ වයස 22ක තරුණයෙක් වුණු නිසා. ස්ටැන්ලිගේ චරිතයට ඔහු තරුණ වැඩි බව තීරණය වුණා. නමුත් අවසානයේ Tennessee Williams ම බ්‍රැන්ඩෝ නිරීක්ෂණය කර බලා ඔහුව චරිතයට සුදුසු දැයි තීරණය කළ යුතු බවට යෝජනා වුනා. ඒ අනුව Tennessee මුණගැහෙන්න බ්‍රැන්ඩෝ ඔහුගේ නිවසට යනවා. Tennessee තම නාට්‍ය පිටපත බ්‍රැන්ඩෝට කියවන්නට දී ඔහු හා නාට්‍ය සහ එහි ස්ටැන්ලි ගේ චරිතය ගැන සාකච්ඡා කරනවා. පසුව මේ ගැන Tennessee තම හිතවතෙකුට යැවූ ලිපියක සදහන් කරමින් කියන්නේ බ්‍රැන්ඩෝ ඉතාම බුද්ධිමත්ව තම චරිතය වටහාගන්න සමත් වුණු බව. ස්ටැන්ලිගේ චරිතය රචනා කරද්දී ඔහුගේ මනසේ ඇදී තිබුණේ තට්ටය පෑදුණු, බඩ නෙරා ආ මැදි වයසේ මිනිසෙකු වුවත් බ්‍රැන්ඩෝ සතුව තබූ තාරුණ්‍යය ඒ චරිතයට වෙනත් ගැඹුරක් ලබා දීමට සමත් විය හැකි බව තමාට දැනුණේ යැයි Tennessee Williams එම ලිපියේ ලියා තිබුණා. A Streetcar Named Desire වේදිකා නාට්‍යයේ මෙන්ම චිත්‍රපටයෙත් ස්ටැන්ලිගේ චරිතය මාලන් බ්‍රැන්ඩෝට ලැබෙන්නේ එහෙම. බ්ලාන්ක්ගේ චරිතය චිත්‍රපටයේ නිරූපණය කරන්නේ බ්‍රිතාන්‍ය ජාතික කීර්තිමත් නිළියක් වුණු Vivien Leigh විසින්. අඩ උමතුවෙන් පෙළෙනා මැදිවයස් ගැහැනියකගේ චරිතය ඈ මනාව නිරූපිත කර තිබුණත් ඇගේ සැබෑ ස්වරූපයත් බ්ලාන්ක්ට බෙහෙවින්ම සමාන බවක් බ්‍රැන්ඩෝ පසුව කියා තිබෙනවා.

A Streetcar Named Desire සැලකෙන්නේ ඇමරිකානු සිනමා ඉතිහාසයේ නිර්මාණය වුණු වඩාත්ම පරිසමාප්ත කලා කෘතියක් විදිහට. ඊට බලපෑ ප්‍රධානතම සාධකය විදිහට මම දකින්නෙ Tennessee Williams ගේ ප්‍රබල තිර රචනාව. ඔහු මිනිස් සිත ගැඹුරින් විවරණය කරමින් ජීවිත යථාර්ථයන් නියමාකාරයෙන් නිරෑපිත වෙන ආකාරයට කතාව ගොඩනංවා තිබෙනවා. චරිත නිර්මාණයේදීත් ඔහු තම කතා පුවත මැනවින් ප්‍රේක්ෂකයාට දැනවිය හැකි ආකාරයෙන් එය සිදු කර තිබෙනවා. අඩු වැඩි වශයෙන් ස්ටැන්ලි වැනි ගති ස්වභාවයන් ඇති අය, ස්ටෙලා, බ්ලාන්ක් වැනි අය සමාජයේ අපිට මුණ ගැසෙනා මිනිසුන් ගැහැනුන් අතරේ හදුනාගත හැකියි. විශේෂයෙන්ම ව්‍යාජයක් තුළ ජීවත් වුණත් අසරණ බ්ලාන්ක් ගැන අනුකම්පාවක් නරඹන්නා තුළත් ඇති වෙනවා. Williams තම කතා පුවතෙන් එවැන්නක් බලාපොරොත්තු වුණු බව ඔහුම කියා තිබෙනවා. චිත්‍රපටයේ අනෙක් වැදගත් කාරණය එහි ඇතුළත්වී තිබෙන දෙබස්. ජීවිතය පිළිබඳව සාහිත්‍යයෙන් පොෂණය වුණු ඉතාම තියුණු දෙබස් Williams මේ කතාවේ රචනා කර තිබෙනවා. "මා නිතරම ආගන්තුකයන්ගේ කරුණාව මත යැපුණෙමි", මේ කතාවේ අවසානය සමීපයේ බ්ලාන්ක්ගේ මුවින් ගිලිහෙන දෙබසක්. මේ වචන කීපයෙන් ඇගේ චරිතය මනාව නිරූපණය වෙන බව මම හිතනවා. මේ හැම සම්පතකින්ම නිසි ආකාරයෙන් ඵල නෙලාගන්න හැකියාව ලැබී තිබෙන්නේ Elia Kazan එය මැනවින් අධ්‍යක්ෂණය කළ නිසා. මාලන් බ්‍රැන්ඩෝට අනුව Elia Kazan කියන්නෙ කලාතුරකින් බිහිවෙන ආකාරයේ කුසලතා පූර්ණ අධ්‍යක්ෂවරයෙක්. Elia Kazan නළුවෙකු විදිහටත් වැඩ කර ඇති නිසා රංගනය පිළිබඳව හොඳ අවබෝධයක් ඔහුට තිබුණු බව බ්‍රැන්ඩෝ කියනවා. බ්‍රැන්ඩෝට අනුව ඔහු තම නළු නිළියන්ට තම අත්දැකීම් භාවිත කරමින් නිදහසේ තම චරිතය ගොඩනංවා ගන්න ඉඩ සැලසුවා. රංග ශිල්පියෙකුගෙන් නිවැරදිම ප්‍රථිඵලය ලබා ගන්න Kazan හොඳින් දැන සිටියා. මේ අකාරයට බැලුවාම මේ හැම ප්‍රයත්නයකම අවසාන ඵලය මාහැඟි වූ කලා නිර්මාණයක්ම බව මම ඔබට අමුතුවෙන් කිව යුතු නෑ.



1 comment: