බුදුන් වහන්සේ වතාවක් කියල තියනවා මම බඹයක් පමණ මේ ශරීරය තුළ මුළුමහත් ලෝකයම පනවමි කියලා. (මේ කතාව ඇතුළත් වෙන්නේ ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයේ රෝහිතස්ස සූත්‍රයේ. රෝහිතස්ස නම් දේවපුත්‍රයෙක් සහ බුදුන් වහන්සේ අතර ඇති වෙන සංවාදයක අතර දී මේ කාරණාව මතුවෙන්නෙ. රෝහිතස්ස වරක් භාවනා කරල සිත දියුණු කරගෙන ඊතලයක වේගයෙන් විශ්වය හරහා ගමන් කිරීමේ හැකියාව ලැබූ කෙනෙක්. විශ්වයේ කෙළවර හොයා ගෙන ඔය විදිහට අවුරුදු සීයක් ගමන් කරලා කෙළවරක් නොදැක මේ රෝහිතස්ස මියැදෙනවා. අවසානෙ දේව පුත්‍රයෙක් විදිහට ඉපදෙන මේ රෝහිතස්ස තමයි බුදුන්වහන්සේ ගෙන් ලෝකයෙ කෙළවර ගැන අහන්නෙ. ඊට දෙන පිළිතුර අතරෙ උන්වහන්සේ කියනව බඹයක් පමණ මේ ශරීරය තුළ ලෝකයත්, එයින් මිදීමේ මාර්ගයත් පනවමි කියලා)
අපි අවට මුළුමහත් සියළු දේකම, මුලු විශ්වයම අරගත්තොත් මේකේ ආරම්භයක් අවසානයක් අගක් මුලක් කිසි කෙනෙකුට හිතා ගන්න බෑ. නමුත් අපි බාහිර ලෝකයේ විශ්වයේ කොයිතරම් දේවල් දැක්කත් ඇහුවත් බැලුවත් අපි ඒ දේ කරන්නෙ අපේ ඉන්ද්‍රියන් හරහා. පිටස්තර ලෝකය අපි තේරුම් ගන්නෙ අපේම මනසින්. අපේ මතක, සංවේදනා, අදහස් සිතුවිලි මේ හැම දෙයක්ම නිර්මාණය වෙන්නෙ බාහිරින් අපි ග්‍රහණය කරගන්න දේවල් එක්ක. මෙන්න මේවයින් හැදුණු විශ්වයක් ඇතුළාන්තයෙන් අපි ගොඩනගා ගන්නව. බඹයක් පමණ ශරීරයේ ලෝකයම පනවමි කියලා බුදුන් වහන්සේ කියන කතාව එහෙම අර්ථවත් කරගන්න පුලුවන්.
එතකොට "මම" කියන්නේ නිකන්ම පුද්ගල චරිතයක් පමණක් නෙවෙයි. මගේ ජීවිතේ මම ලැබුව සමස්ත අත්දැකීම් වල එකතුව මං ඇතුළේ මේ මොහොතෙත් පවතිනවා. එකිනෙකට ප්‍රතිවිරුද්ධ ගති ලක්ෂණ මං ඇතුළේ එකට පවතිනවා. හරියට දේදුන්නක පාට හත වගේ එකිනෙකට වෙනස් ගතිගුණාංග සහිත නමුත් එක තනි පැවැත්මක් මම. ඇමරිකානු ජාතියේ කවියා විදිහට සලකන Walt Whitman ගේ Song of Myself කවියේ තැනක මේ ගැන කියැවෙනවා.
Very well then I contradict myself,
I am large, I contain multitudes.
පොඩ්ඩක් හිතන්න "ගණකාධිකාරීවරයෙක්" කිව්වම හිතේ මැවෙන්නෙ කොයි විදිහේ රෑපයක් ද? එතකොට "නැට්ටුක්කාර ගණකාධිකාරීවරයෙක්" කිව්වොත්? හරියට කිරිහොදි සහ බෝල්ට් ඇණ වගේ නොගැළපෙන ඒ වුණත් හරි අපූරු පුද්ගල චරිතයක් එතනදි මැවෙනවා. මිනිස්සු සහ මේ මනුස්ස ජීවිතේ සරලවම ඒ වගේ පරස්පරතාවන් ගෙන් පිරිලයි පවතින්නේ. අපිට මිනිස්සුන්ව තේරුම් ගන්න බැරි ජීවිතේ තේරුම් ගන්නත් බැරි ඒක ඇතුළේ තියෙන මේ පරස්පර ස්වභාවයන් හින්දා. ඊළඟ මාසේ, හෙට දවසේ, නැත්නම් ඊළඟ තප්පරයේ ජීවිතේ අපිට අරගෙන එන්නෙ මොනවද කියන්න අපි දන්නෙ නෑ. නමුත් මේ තේරුම්ගන්න බැරි පටලැවිලි සහගත බව, ඉක්මණින්ම වියැකෙන සුළු බව සමහර වෙලාවකට ජීවිතේට වෙනස්ම ලස්සනක් අරගෙන එනවා. පොඩ්ඩක් හිතන්න හැම දෙයක්ම කෙළින් ඉරක් ගැහුවා වගේ නිශ්චිතයි නම්, අපේ ජීවිතේ අසීමිත කාලයක් පුරා පවතිනව නම් ජීවිතේ මෙච්චර වටිනා කමක් අපිට නොදැනෙන්න තිබ්බා. මේ වෙනස් කම් එක හිතින් බාර ගෙන එක මොහොතක් නෑර විඳගන්න එක තමා අපිට කරන්න පුළුවන් වැඩේ.
චිත්‍රපටියක පින්තූරයක් දාලා මෙච්චර ගොඩක් දේවල් කියන්නෙ ඇයි කියල හිතෙනව නම් මෙන්න මේ Life of Chuck කියන චිත්‍රපටියයි ඔය කාරණා ටිකයි අතරේ සම්බන්ධයක් තියනව. (විශේෂයෙන් මේ පින්තූරයම තෝරාගත්තේ චිත්‍රපටියේ මේ scene එකට මට පුදුම තරම් ආසා හිතුණ හින්දා. Pulp Fiction, La La Land වගේ චිත්‍රපටි වලට පස්සේ සිනමාව ඇතුළෙන් දැක්ක ලස්සනම Dancing scene එකක් මේක. කතාවට බලෙන් එල්ලපු කෘත්‍රිම දර්ශනයක් නොවී ස්වභාවික විදිහට කතාව ඇතුළෙන්ම මතුවන සහ කතාවට අදාළම scene එකක් හින්දා මේකේ ලස්සන තවත් වැඩිවෙනවා) කියල තියන දේවල් එක්ක Life of Chuck කියන්නෙ බරසාර, මහා දාර්ශනික, ඔලුව ඇතුළෙ සමනල් ගැට වැටෙන චිත්‍රපටියක් කියල හිතෙනව නම් ඒක වැරදියි. මේක එහෙම මහප්‍රාණ කතාවක් නෙමේ. මුලින්ම වෙන්නෙ මොනවද කියලා තේරුම් ගන්න බැරි වුණත් පස්සෙ හැම දෙයක්ම තේරුම් යන්න පටන් ගන්නවා. වෙලාවකට මියුසික් එකත් එක්ක අඩිය තියලා නටන්න හිතෙනව. තවත් වෙලාවක විශ්වයේ පැවැත්ම, පරිසර දූෂණය සහ මානව සංහතියේ ඉදිරි ගමන වගේ කාරණා ගැන අහස පොළොව ගැටලන්න කල්පනා කරන්න හිතෙනව. සරලව විඳින්න වගේම ගැඹුරට හිතන්න වුණත් කාරණා මේකෙ තියනවා.
මේක මම දැකල තියන අමුතුම සහ වෙනස්ම වැඩක්. එහෙම වෙන්න එක හේතුවක් තියනව. ඒ තමා Stephen King. මේ චිත්‍රපටිය හැදිලා තියෙන්නෙ එයාගෙ කෙටි නව කතාවකින්. Stephen King මහත්මයගෙ පරිකල්පනය ගැන අමුතුවෙන් කියන්න ඕන නැහැනෙ. Green Mile, Shawshank Redemption, The Shining වගේ සිනමාව ඇතුළෙ සම්භාවනීය චිත්‍රපටි වල ඉඳලා Secret Window, It, The Mist, 1408, In the tall grass, The Monkey, Doctor Sleep වගේ චිත්‍රපටි ලයිස්තුවක්ම Stephen King ලියපු කතා මුල් කරගෙන නිර්මාණය වෙලා තියනව. අනෙක් හේතුව Mike Flanagan. මේ චිත්‍රපටියෙ තිර රචනාව සහ අධ්‍යක්ෂණය කරන්නෙ Mike. මෑත කාලෙදි කතා බහට ලක්වුණු horror/ thriller ගණෙයෙ රූපවාහිනී නාටක වුණු The Haunting of Hill House, Midnight Mass, The Fall of the House of Ushser කියන්නෙ Mike Flanagan ගේ අධ්‍යක්ෂණයෙන් නිර්මාණය වුණු ඒව. මේ දෙන්නම මින් පෙර කරල තියෙන නිර්මාණ දැක්කම මේකත් අමුතුම වැඩක් නොවුණොත් තමා පුදුම. අවසාන වශයෙන් The Life of Chuck කියන්නෙ මම බලපු වෙනස්ම සහ අමතක නොවෙනම සිනමා අත්දැකීමක් දුන්න චිත්‍රපටියක් බව කියන්නම්.
No comments:
Post a Comment