Wednesday, May 28, 2025

Three Colours - Blue (1993)

 ප්රංශ විප්ලවය කියන්නෙ ප්රංශයේ පමණක් නොවෙයි ඉන්පස්සෙ මුළු ලෝකයේම දේශපාලන සිතියම වෙනස් කරන්න බලපෑමක් කළ තීරණාත්මක සිදුවීමක්. ප්රංශ විප්ලවය සිද්ධවෙන්න බලපෑම් කළ කාරණා අතරේ ප්රධාන වශයෙන් එය තේමාවන් 3ක් මුල් කරගෙන සිදුවුණ බවට සලකනව. නූතන ප්රජාතන්ත්රවාදී සමාජ ක්රමයේ පදනම සකස්වෙන්නෙ මේ කාරණා තුන මුල් කරගෙන. ඒ තමා නිදහස, සමානාත්මතාව සහ සහෝදරත්වය. ප්රංශ කොඩියේ නිල්, සුදු, රතු පාට තුනේ තීරු තුනෙන් නිරූපිත වෙන්නෙ අනුපිළිවෙලින් මෙන්න මේ විප්ලවීය තේමාවන් තුන. සුප්රකට පෝලන්ත සිනමාකරු ක්රිසිස්ටොෆ් කිසලොව්ස්කි (Krzysztof Kieślowski) මේ තේමාවන් ඊට අදාළ සමාජ දේශපාලනික සන්දර්භයෙන් එලියට අරන් ජීවිතයට සම්බන්ධ ආත්මික පසුබිමක තියලා ප්රංශ භාෂාවෙන් චිත්රපටි තුනක් නිර්මාණය කරනවා. Three Colours Trialogy නමින් ලෝක සිනමාව ඇතුළෙ හැඳින්වෙන්නෙ කිසලොව්ස්කි ගෙ මේ තුන් ඈඳුනු චිත්රපටි පෙළ. මේ මහා නිර්මාණකරුවා ඉන්පසු සිනමා කලාවෙන් විශ්රාම යනවා. ඉක්මණින්ම ඔහුගෙ මරණයත් සිද්ධවෙනවා. ඒ අනුව Three Colours කියන්නෙ කිස්ලොව්ස්කි ගෙ අවසාන නිර්මාණාත්මක ප්රයත්නය විදිහට හැඳින්විය හැකියි. Three Colours - Blue නමින් 1993 අවුරුද්දෙ තිරගත වෙන්නෙ මේ චිත්රපටි මාලාවෙ පළමුවැන්න. නමෙන්ම කියවෙනවා වගේ මේ චිත්රපටියට මුල්වෙන්නේ නිල් පාට. චිත්රපටියෙ තේමාව "නිදහස".


Three Colours - Blue කතාව ගොඩ නැගෙන්නෙ Julie නම් ගැහැනියක් වටා. ඇගේ සැමියා Patrice යුරෝපයේ සුප්රසිද්ධ සංගීතඥයෙක්. ඔවුන් දෙදෙනාට අවුරුදු හතරක කුඩා දියණියක් ඉන්නව. දවසක් මේ තුන්දෙනා ගමන් ගනිමින් උන්නු මෝටර් රථය අනතුරට ලක්වෙලා Patrice සහ කුඩා දියණිය මිය යනවා. යන්තම් පණ බේරා ගන්න Julie පමණක් සමත් වෙනවා. නමුත් දැන් ඇයට තමන්ගෙ කියන්න කිසි කෙනෙක් නැහැ. මොන දේ කළත් ජීවිතේ තමන් වැඩියෙන්ම ආදරය කල දෙදෙනාම අහිමි වුණායින් පස්සෙ ඇතිවෙන හිස්කම සහ ඒ දුකෙන් ගොඩ එන්න ඇයට හැකිවෙන්නෙ නෑ. උදාහරණ විදිහට ඇගෙ සැමියාගෙ කැමතිම පාට වුණු නිල්පාට හැම දෙයක්ම නිවසෙන් අයින් කර දාන්න Julie උත්සාහ කරනව. ඔහු අවසාන වශයෙන් කරමින් වුන් රාජකාරිය වුණු යුරෝපා සංගමය වෙනුවෙන් නිමැවුණ සංගීත නිර්මාණයේ ස්වර ප්රස්ථාර ඈ විසි කර දමනවා. සැමියාගෙ හිතවතෙක් වුණු සහ ඇයට යම් කැමැත්තක් ඇති බව පෙනුණ Olivier නම් පුද්ගලයාගෙ පහස ඇය පතනවා. නමුත් තමන්ට පීඩා කරනා දැඩි ශෝකාකූල බවෙන් ගොඩ එන්න ඒ කිසිම දෙයකින් ඇයට පිහිටක් ලැබෙන්නේ නෑ. අවසානෙදි Julie තීරණය කරනවා හැම දෙයකින්ම මිදිලා ඈට සමීපව උන්නු හැම කෙනෙකුගෙන්ම ඈතට පළාගිහින් පැරිස් නගරේ නවාතැනක හුදෙකලාව ජීවිතය ගතකරන්න. පැරීසියේ උස් ගොඩනැගිලි පිරුණු පටු වීදි පුරා දෙනෝදහසක මනුස්ස ගංගාවක් මැද්දේ නන්නාඳුනන කෙනෙකු වගේ හුදෙකලාව සැරිසරන Julie ට ඇගේ සිත් පීඩාවෙන් මිදිලා සහනයක් ලබාගන්න හැකිවේවිද.....

නිව් යෝර්ක් නගරය මැද රොබට් ඩී නීරෝ ගේ රූපකාය සිනමා ඉතිහාසයේ කොයිතරම් සුවිශේෂ විදිහට සටහන් වෙලා තියනවද පැරිස් නගරය පසුබිම්ව ජුලියට් බිනෝෂේ ගේ රුවත් සටහන් වෙන්නෙ එහෙමයි. සිනමා විචාරකයන් Julie ගේ චරිතය රඟදක්වන ජුලියට් බිනෝෂේ රඟපෑම ගැන සඳහන් කරන්නෙ එහෙම. ඩි නීරෝ නිව් යෝර්ක් නගරයේ මාෆියා කල්ලි ගැවසෙන පසුබිමක හැදී වැඩිලා පසුව එවැනිම චරිත රඟපාලා ජනප්රියත්වයට පත් වුණා. ජුලියට් බිනෝෂේත් උපන්නේ ප්රංශයේ පැරිස් නගරයේමයි. බොහොම චිත්රපටි වල ඈ පැරිසියේ නාගරික ගැහැනියගේ චරිතය නිරූපණය කර තිබෙනවා. Three Colours Blue වලට ආවොත් මෙතනදි ඇය රඟදක්වන්නේ දුක් විඳීමම ජීවිතය කරගත්ත ගැහැනියකගේ චරිතයක්. (Julie ගේ මුහුණ තිරය මත නිරාවරණය වෙන්නේ අනතුරෙන් පසුව. ඒ නිසා ඊට කලින් Julie කෙනෙකු ගැන ප්රේක්ෂකයා දන්නේ නැහැ) ඇය චිත්රපටිය පුරා ජීවමාන වෙන්නෙ මේ ගැහැනිය තුළ. මුහුණෙන් ප්රකාශ වෙන හැඟීම්වලින් විශේෂයෙන් දෑසින් බලන හැම සියුම් බැල්මකින්ම ඇය Julie ම මැනවින් නිරූපිත කරනවා. සංකේත භාවිතාව වගේම වර්ණවලටත් චිත්රපටිය ඇතුලෙ ලොකු තැනක් තියනව. නිල් වර්ණය අවස්ථාවන්ට ගැලපෙන අරුත් මතුකරන්න අධ්යක්ෂවරයා යොදා ගන්නවා. උදාහරණ විදිහට Julie පුරුද්දක් විදිහට පිහිනන්නට යන නිල්පාට පිහිනුම් තටාකය අරගන්න පුලුවන්. නිල් පාට වතුරේ ගිලෙමින් ඈ පිහිනන ආකාරය එක්තරා විදිහකට ඇගේ ශෝකාකූල ජීවිතයේම පිළිබිඹුවක්. මේ චිත්රපටියෙ සංගීතයත් කතා නොකර බැරි තරම් ප්රබලයි. ඇය පැරිස් අවනහල්වල කල්ගෙවද්දී නැගෙන හුදෙකලා බටනලා හඬ, ඒ තනුවටම සමාන ඇගෙ සැමියාගේ අවසන් සංගීත සංධ්වනිය සහ සමූහ ගායනා චිත්රපටියේ තේමාව තවත් තීව්රව මතුකරනවා.

චිත්රපටියෙ තේමාව "නිදහස" බව මුලින්ම සඳහන් කළා. නිදහස, හුදෙකලාව, තනිකම.. මේවා එකම නොවුණත් ළඟ යන අරුත් දෙන සහ බොහෝ විට එකට භාවිතවෙන වචන. ඇමරිකානු ලේඛක චාල්ස් බුකොව්ස්කි ඒ ගැන මේ වගෙ කතාවක් කියල තියනවා.

"මම රෑට ගෙදර එනතුරු මගබලාගෙන ඉන්න කෙනෙක් නැත්නම්, මාව උදේම අවදි කරවන්න කෙනෙකුත් නැත්නම්, මට ඕනැම මොහොතක ඕනැම දෙයක් කරන්න පුලුවන් නම් ඒක නිදහසද නැත්නම් තනිකම ද?"

චිත්රපටිය විවරණය කරන ස්ලොවේනියානු දාර්ශනික ජිජැක් (ශිෂාක්? ශිෂැක්?) කියනව නිල් වර්ණය නිදහස වගේම ආදරයත් නිරූපිත කරන බව. කිස්ලොව්ස්කිගෙ චිත්රපටි ත්රිත්වය නිර්මාණය වෙන තේමාවන් වුණ "නිදහස, සමානාත්මතාව සහ සහෝදරත්වය" කියන කාරණාවන් ක්රිස්තියානි දේවධර්මයේ මූලික වටිනාකම් තුන විදිහට සලකන "විශ්වාසය, බලාපොරොත්තුව සහ ප්රේමය" කියන ධර්මතාවන් එක්ක ඒකාබද්ධ වෙන බව ජිජැක් කියනව. (කිස්ලොව්ස්කි මීට කලින් බයිබලයේ එන දස පණතේ එක් එක් පණත තේමා කරගෙන Dekalog නමින් කතාංග 10ක කතා මාලාවක් නිර්මාණය කරනව සහ Three Colours Blue චිත්රපටියේ අවසානයේත් යම් බයිබලීය සඳහනක් දකින්න ලැබෙනව. කිස්ලොව්ස්කිගේ සිනමා භාවිතාව ඇතුළෙත් ජීවිතයේ සාරය සොයා යන යම් ආත්මික නැඹුරුවක් දැකගත හැකියි. ඒ නිසා මේ දේවධාර්මික නිර්වචනය සෑහෙන වැදගත්කමක් ගන්නව කියල මම හිතනව) "නිදහස සැබෑ විමුක්තියක් බවට පත්වෙන්නෙ එය ආදරය මත පදනම් වූවොත් පමණයි", චිත්රපටිය ගැන ජිජැක් ගේ මේ අදහස එක්තරා ආකාරයකට සනාථ කරවන සාක්ශි ඔබට අවශ්ය නම් චිත්රපටිය අවසානය සමීපයෙදි සොයාගන්න පුලුවන්. නිල්වර්ණය සාමාන්යයෙන් සිතුවම් කලාව ඇතුලෙදි සලකන්නෙ ශීත වර්ණයක් විදිහට. නිල් වර්ණයෙන් පාළුවටගිය, ශෝකාකූල, මන්දෝත්සාහී, ජීවයෙන් තොර බවක් හැඟවෙන බවයි සාමාන්ය පිළිගැනීම. Julie ඇය අත්විඳින ඛේදවාචකය හරහා ලබන අඳුරු මනෝභාවයන් එක්ක සැනසීම පතා පසුබසින ළතෙත් බවකින් සහ උණුහුමකින් තොර සීතල හුදෙකලා ජීවිතය මේ නිල්පාටින් නිරූපිත වෙන බව අපිට නිර්වචනය කර ගන්න පුලුවන්. නමුත් ඇගෙ ඇතුළාන්තයට එබී බැලුවොත් ඇය ඇත්තටම එහෙම කෙනෙක් නොවෙයි. Julie කියන්නෙ එහෙම සීතල දරදඬු චරිතයක් නොවෙයි. තමන්ගෙ පවුල අහිමිවීමේ දුක මේ තරම් ඇයට දැනෙන්නෙ ඈ තුළ ඉන්න මේ "සිනිඳු" චරිතය නිසා වෙන්නත් පුලුවන්. ජීවිතේ සැබෑ නිදහස නම් බුකොව්ස්කි කිව්ව වගේ මනුස්ස බැඳීම් වලින් ඈත් වුණු සීතල යමක් නොවෙයි ආදරණීය මනුස්ස සම්බන්ධතාවක් ඇතුළේ පැවතීම බව යෝජනා කරනව කියලයි මට මේ සිනමාපටය ඇතුළේ දැනෙන්නෙ.