Tuesday, October 28, 2025

උමතුබවේ රළපහරේ ගසා ගෙන ගිය ඇය

 වර්ෂ 1941, මාර්තු 28 වන දින වර්ජිනියා වුල්ෆ් තම කබා සාක්කු බරැති ගල් වලින් පුරවා ගෙන ඌස් ගංගාව වෙත පා තැබුවා ය. එහි ජලය සීතල ය, එමෙන්ම නිශ්ශබ්ද ය. ඇය විසින් කිහිප වතාවක්ම සිය රචනා තුළ සඳහන් කර තිබූ මේ ගඟම දැන් ඈ බාරගැනීමට බලා සිටියේ ය. එවිට ඇගේ වයස 59 ක් විය. ඇය සිය සැමියා වූ ලෙනාඩ් වුල්ෆ් හට සටහනක් තබා ගොස් තිබුණි. එහි වූයේ දැනටමත් එතෙර වූ කෙනෙකු ගේ ඇති සුපැහැදිලි ස්වරයකි.


"මම ආයෙමත් උමතු වෙන බව ස්ථීරයි කියලා මට දැනෙනවා... මේ වතාවෙ නම් මම ගොඩ එන්නෙ නැහැ..."


නමුත් වර්ජිනියා වුල්ෆ් ගේ කතාව ඇගේ මරණය පිළිබඳ කතාව පමණක් නොවේ. සාමාන්‍ය එදිනෙදා ජීවිතයට දරාගත නොහැකි තරම් තීව්‍ර ලෙස ලෝකය වටහා ගැනීම සහ සෑම දෙයක්ම අත්විඳීම වෙනුවෙන් වැය කරන්නට සිදුවන දේ පිළිබඳ කතාවයි. අනෙක් අය මේ ලෝකය තුළ ජීවත් වන ආකාරයට ඇය ජීවත් වූයේ තම මනස තුළ යි: සුවිසල්ව, අනපේක්ෂිතව සහ අපරිමිත අයුරින්. ඇගේ සිතුවිලි තාරකා මෙන් විසිරී ගොස් තිබුණි, ඇගේ හැඟුම් උදම් රළ සේ නැගුණි.


ඇය ලියූවේ හුදු රසවින්දනය සඳහා පමණක් නොවේ, තේරුම්ගැනීම සඳහා ය. නිශ්චිත හැඩයක් ස්වරූපයක් නොමැති, වේගයෙන් ගලා යන මතක දහරාවන් ද, පැවැත්මේ රුදු වේදනාවන් ද සංකේතනය කරනු පිනිස ය. වහා දැල්වී යළි නිවී යන සිතුවිල්ලක ආලෝකය අල්ලා ගනු පිනිස ය.  Mrs Dalloway නවකතාවෙන් ඇය එදිනෙදා එක් සම්පූර්ණ දවසක් සදාකල් පවත්නා අයුරින් නිරූපිත කළාය. To the Lighthouse හි ඇය කාලය ගෙවී යාම නොදැනෙනා තරම් සියුම් බවට හැරවූවා ය. The Waves හි ඇය දෘෂ්ටිකෝණ හයක් එකට මුසු කරමින්, සයුරක් සේ බිඳෙමින් එහි ආත්මය බවටම පත්වූවා ය.


එනමුදු සුන්දරත්වය අප වෙනුවෙන් නිමැවූ ඒ මනසම දරාගත නොහැකි වේදනාවේ උල්පත බවට පත් විය. ඇයව මුළුමනින්ම වසා ගත් ඒ උමතු බවේ ප්‍රවාහය ඇය නම් කළේ "දිය රළ" නමිනි. සංවේදී බව ඇගේ මහඟු දායාදය මෙන්ම ඇගේ විනාශයට ද හේතු වූ, ඇය ජීවත්වන සියවස ඉක්මවා යන බුද්ධිමය ධාරිතාවක් තිබූ ගැහැනියකට සහාය වන්නේ කෙසේදැයි ඈ අවට ලෝකය දැන සිටියේ නැත.


නමුත්, ලෙඩ දුක් සහ ලෝක යුද්ධ අතර මැද පවා ඇය නොනවත්වා ලිවීමේ යෙදුනා ය. පුරුෂෝත්තම වාදයට ද, සම්ප්‍රදායන්ට ද, නිහඬවීමටද එරෙහිව විරෝධය පළ කිරීමට ඇය තම පෑන මෙහෙයවූවා ය. ගැහැනුන්ට ද තමන්ගේම ඉඩක්, එනම් භෟතික අවකාශයක් නොව, සිතන්නට ද, නිර්මාණය කරන්නට ද, නිදහසේ පවතින්නට ද හැකි වූ ලෝකයක් අවැසි බව ඇය කීවා ය.


වර්ජිනියා වුල්ෆ් මියගියේ තමන් පරාජය වූවා යැයි විශ්වාසකරමිනි. නමුත් ඉතිහාසය ඈව මතක තබාගෙන සිටින්නේ වෙනස් ආකාරයකටයි.


අපට ඇය මතක නවකතාවේ නිම්වළලු පුළුල් කළ ගැහැනියක ලෙසය. මනස නම් සරල රේඛිය නොවන බවද, කාලය ගලා යන ප්‍රවාහයක් බව ද, විඥානය නම් වෙරළක් නොමැති විසල් සාගරයක් බවද අපට කියාදුන් ගැහැනිය ලෙසය. ගැහැනුන්ගේ ඇතුළාන්ත ජීවිතයට, ඔවුන්ගේ සැක සංකාවන්ට, ඔවුන්ගේ සිහිනවලට සහ ප්‍රකාශ කළ නොහැකි සත්‍යතාවන්ට හඬක් දුන් ගැහැනිය ලෙසය. අපට ඇය මතක උමතුභාවය අර්ථය බවට ද, නිහඬතාවය භාෂාව බවට ද, වේදනාව කලාව බවට ද පරිවර්තනය කළ ගැහැනියක ලෙසය. ගංගාව ඇගේ සිරුර රැගෙන ගලා ගියේ ය. තමුන් ඇගේ වචන, ඈ මැවූ දිය රැළිති තවමත් අප තුළ රාව නංවයි. ඇතුළාන්ත ලෝකය ගැන ලියන්නට තරම් නිර්භය වන කවර ලේඛකයෙකු වුවද ලියනුයේ ඇගේ සුරතිනි.

.

.

.


~ Translated from the facebook page "English Literature: A Community's Post"




No comments:

Post a Comment