Friday, April 5, 2019

Green book (2018)

කලාකාරයෙක් සහ කලහකාරයෙක් අතර තියන වෙනස මොකක්ද? නැත්නම් මේ විදිහට හිතුවොතින්, එකිනෙකට ප්‍රතිවිරුද්ධ අදහස් තියන ආගම් දෙකක, ජාතීන් දෙකක, වෙනස් භාෂාවන් කතාකරන වෙනස් සංස්කෘතීන් දෙකක දෙන්නෙකුට එකතුවෙලා එකට වැඩ කරන්න වුණොතින් ඒක කොහොම තියෙයි ද? සමාජයක් කියන්නෙ මේ වගේ වෙනස්කම් තියන මිනිස්සු සමූහයක එකතුවක්. ඉතින් මතවාදී තලයේ මොනවිදිහේ ප්‍රතිවිරුද්ධතාවයන් තිබුණත් මිනිස්සු විදිහට අපිට එකට වැඩ කරන්න, අනිකාත් මනුස්සයෙක් විදිහට දකින්න අපිට තියන බාධකය මොකක්ද? මේ වෙලාවෙ මගෙ මතකයට එන්නෙ මාටින් ලූතර් කිං ගේ සුප්‍රසිද්ධ කියමන. එක්කො අපි සහෝදරයන් විදිහට ජීවත් වෙන්න ඉගෙන ගන්න ඕන. එහෙම නැත්තම් මෝඩයන් වගේ එකිනෙකා කා කොටාගෙන මැරෙන්න ඕන. Green book කියන්නෙ මෙන්න මේ කාරණාව මහ පොළව මත හෑබෑවක් කල මිනිස්සු දෙන්නෙක් ගැන ඇත්තම කතාවක්.  

Tony කියන්නෙ ඉතාලි සම්භවයක් ඇති ඇමරිකානුවෙක්. ඒවගේම යකෙකුටවත් බය නැති, ඕනෑම කෙනෙකුට කියන්න තියන  දෙයක් මූණටම කියන ටිකක් දඩබ්බර චරිතයක්. ටෝනිගෙ මේ කටකාර කම නිසාමයි පොඩි කාලෙම Tony Lip කියන නම වැටෙන්නෙ. ජීවත් වෙන්න සුලු සුලු රැකියාවන් කරමින් ඉන්න ටෝනිට අවසන් වරට අවන්හලක කරමින් ඉන්න රැකියාව අහිමි වෙනව. මේ ටෝනි කියන්න කලු ජාතිකයන් පේනන බැරි මනුස්සයෙක්. තමන්ගෙ නිවෙස් අලුත්වැඩියාවකට ආව කලු ජාතිකයින් දෙන්නා වතුර බීපු වීදුරු දෙක කුණු බක්කියට දාන්න තරම් ටෝනි ගේ කලු විරෝධය දරුණුයි. රැකියාවක් නැතිව බිරිද දරුවන් එක්ක අසරණ තැනට වැටෙන ටෝනිට අවසානෙ රැකියාවක් ලැබෙනව. ඒත් ඒ Shirley නම් කලු ජාතික පියානෝ වාදකයෙක් ලඟ. මාස දෙකක් එක දිගට සංදර්ශන පවත්වමින් ෂර්ලි රට පුරා සංචාරය කරනව. ඔහුගෙ රියදුරා විදිහට තමා ටෝනිට රැකියාව ලැබෙන්නෙ. වෙන කරන්න දෙයක් නැති තැන ටෝනි ඒ කටයුත්තට කැමති වෙනව. ඉතින් මේ සංචාරය කරන කාලය ඇතුලෙ හරි අපූරු අත්දැකීම් වලට මේ දෙන්න මුහුණදෙනව. ෂර්ලි කියන්නෙ ටෝනි ගේ ම අනිත් පැත්ත කිව්වොත් හරි. ඔහු නිහඩ වගේම බොහෝම පිළිවෙලට වැඩ කරන්න කැමති කලාකාමී පුද්ගලයෙක්. සමහර අවස්ථාව වලදි ටෝනි ගේ කලහකාරී ගති නිසා ඔවුන් අමාරුවේ වැටෙන්න ගියත් ඒ තැන් වලදි ටෝනි නිතරම ෂර්ලිව ආරක්ෂා කරගන්නව. මේ විදිහට ඔවුන් දෙන්නාත් එක්ක චිත්‍රපටිය බලන අපිත් අපූරු ගමනක් යනව. 

මේ චිත්‍රපටයට පසුබිම් වෙන යුගය ඒ කියන්නෙ 60 දශකය ඇමරිකාවෙ වර්ණභේද වාදය තදින්ම පැවතුණ කාලසීමාවක්. සමහර අවන්හල්වල කලු ජාතිකයන්ට ආහාර ගන්න අවසර නෑ. මේ විදිහට කලු ජාතිකයන්ට ඇතුල් වෙන් ආහාරගන්න පුලුවන් විදිහේ අවහල් ගැන විස්තර ඇතුලක් පොතකට තමා Green book කියන්නෙ. මේ වගේ තැනකදි කොයිතරම් අමාරුවෙන් වුණත් කලු ජාතිකයෙක් නම් එළියේ ඉඳගෙන ආහාර ගන්න ඕන. සමේ වර්ණය අනුව මිනිස්සු වර්ග කරල වෙනස් ආකාරයට සැලකීම කොයිතරම් පිළිකුල් සහගතද කියන එක එයින්ම පැහැදිලි කරගන්න පුලුවන්. කලු ජාතිකයෙන් ගෙ ජන සංගීතය මුල් කරගෙන ලෝකෙට බිහිවෙන ජෑස්, බ්ලූස්, රෝක් ඇන්ඩ් රෝල් වගේ සංගීත රටාවන් ජාති බේදයකින් තොරව මිනිස්සු රස වින්දත් කලු මිනිස්සුන්ට සිදුවුණ කෙණෙහිලි කම් නම් ඒ සමාජෙ අඩුවක් තිබුණෙ නෑ. ටෝනි සහ ෂර්ලි කරන්නෙ එක අතකින් මේ අසාධාරණයට විරුද්ධව ලොකු පෙරළියක්. 

 Green book  චිත්‍රපටයෙ සාර්ථකත්වය තියෙන්නෙ තැනක හාස්‍ය සහ උපයාසය වුණත් යොදාගෙන නමුත් සිත්ගන්නා සුලු ආකාරයට කතා පුවතක් ඉදිරිපත් කරන ආකාරය මත. එකිනෙකට වෙනස් ගති පැවතුම් ඇති දෙන්නෙක් වුණ ටෝනි සහ ෂර්ලි අතරෙ ගොඩනැගෙන මනුස්ස සම්බන්ධතාවයත් ඔවුන් අතර එකිනෙකා කෙරෙහි ඇතිවන සහකම්පනයත් ඉතාම අපුරුවට  මේ චිත්‍රපටයෙ පෙන්වා දෙනව. උදාහරණ විදිහට ටෝනි තමන්ගෙ බිරිදට ලිපියක් ලියන මොහොත ගන්න පුලුවන් එතනදි  ටෝනිට තවත් ලස්සනට හදවතට දැනෙන විදිහට ඒ ලිපිය ලියන්න උදව් වෙන්නෙ කලාකාමියෙක් වුන ෂර්ලි. ඒ වගේම ෂර්ලි නාදුනන මිනිස්සු පිරිසක් මැද කරදරේ වැටෙන්න යන මොහොතක කටකාරකමෙන් සහ උපාය බුද්ධියෙන්  ඔහුව ගලවා ගන්නෙ ටෝනි. මේ විදිහට Green book එකිනෙකට වෙනස් ස්වභාවයන් ඇති මිනිසුන් දෙන්නෙක් එකට තියල ඔවුන් අතරෙ ඇතිවන හැබෑ මනුස්ස සම්බන්ධතාවක අපූර්වත්වය අපට පෙන්වාදෙනව.

සුප්‍රසිද්ධ ලෝඩ් ඔෆ් ද රින්ගස් කතාමාලාවෙ ඇරගොන් ගේ චරිතයෙන් බොහෝ දෙනා හඳුනාගත්ත විගෝ මෝටන්සන් ගෙන් ඉතාම සිත්ගන්නා සුලු රංගනයක් මේ චිත්‍රපටයෙන් බලාගන්න පුලුවන්. ෂර්ලි විදිහට මාෂා අලි ගේ රගපෑමත් ඊට දෙවනි නෑ. ඔහු  ගේ මේ රංගනය වසරේ හොදම සහය නලුවා විදිහට ඔස්කා සම්මානය ඔහුට හිමි කර දෙනවා. දීප්තිමත් සහ කහ පැහැයට තරමක් හුරු වර්ණ භාවිතා කර තිබීමත් 60 දශකය ඒ පැරණිබව වගේම ඇහැට බොහොම ප්‍රිය රූපයක් නරඹන්නාට ලබා දෙනව. ඉතින් මේ කරුණු කාරණා එක්ක Green book , 2018 වසරේ හොඳම චිත්‍රපටයට හිමි ඔස්කාර් සම්මානය දිනා ගැනීම පුදුමයක් නෙමෙයි..





1 comment: