රටටම අවුරුදු උදාවෙන මේ දවස් ටිකේ Game of Thrones රසිකයන්ගෙ ජීවිත වලටත් වසන්ත කාලෙ උදා වෙනව (හරියටම කිව්වොත් සීත කාලය). ඒ තමා මුලු කතාවෙම අවසාන සීසන් එක විදිහට හඳුන්වන Got season 8 අප්‍රියෙල් 14 ඉඳන් විකාශනය ආරම්භ කිරීම. ඉතින් මේ ගතවෙන්නෙ කතාවෙ අවසානය කොහොම වේවිද කියන නොයෙක් ආකාරයේ fan theories , වාද විවාද, උපකල්පන, මතවාද ඔලුවෙ හැප්පෙමින් යන කාලයක්. මම හිතන්නෙ මෑත ඉතිහාසෙ වැඩියෙන්ම ජනප්‍රිය වුණ රූපවාහිනි වැඩසටහන තමා Got. ලෝකෙ පුරාම මේ වෙනකොට got රසිකයන් විසිරිලා ඉන්නව. මේක හුදු ෆැන්‍ටාස්මිතික සුරංගනා කතාවක් කියල බැහැර කරන අයත් නැතුවාම නොවෙයි. ඒත් මම හිතනව ඒක හරියට මාකේස් ගෙ කතාවක වගේ මායාමය ඉන්ද්‍රජාලික යතාර්ථයක් ඇතුලෙ මේ ලෝකෙ දේවල් සිද්දවෙන ආකාරය හොඳටම පෙන්වා දෙනව කියල.
Got අවසානය කොහොම වෙයිද කියන ප්‍රවාදය ඇතුලෙ මට හිතෙන්නෙ මෙහෙම දෙයක්. කතාව මුල ඉඳන් ගලාගෙන ආව එක්තරා රිද්මයක් තියනව. මුලදි මන්දගාමීවත් පස්සෙ ක්‍රමයෙන් වැඩිවන වේගයෙනුත් පැවතුන ප්‍රචණ්ඩත්වය, කෲරත්වය, දුෂ්ට කම කතාව පුරා අපි දැක්ක. වස විස පෙවීමෙන්, කඩුවෙන් පහර දීමෙන්, හිස ගසා දැමීමෙන්, දුන්නෙන් විදීමෙන් මේ නොයක් ආකාරයට සිදුකල මරණ, සමූලඝාතන, දෙමාපියන් ඉස්සරහම දරුවන් මැරීම, එකිනෙකා පාවාදීම, බොරුවෙන් රැවටීම, මතුපිටින් මිත්‍රත්වය පෙන්වා යටින් උගුල් ඇදීම මේ දේවල් ඕනෑතරම් got කතාමාලාව ඇතුලෙ අපි දැක්ක.මේ හැම දේකටම මුල තමා බලය. බලය ලබා ගැනීමට ආශාව, සමාජයේ ඉහළ මුදුනට ලං වීමේ ආශාව, තමන්ට අවශ්‍ය ආකාරයට අනෙක් මිනිසුන් පාලනය කිරීමේ දැඩි කැමැත්ත. මේ බලයට මිනිස්සු ආකර්ශණය වෙන්නෙ පුදුම මැජික් බලයකින්. ජෝර්ජ් ඕවල් 1984 නවකතාවෙ කියන විදිහට මිනිස්සු බලය වෙනුවෙන් සටන් කරනව, ඒ සමාජය තවත් යහපත් තැනක් කල යුතු බව කියමින්, රට ජාතිය ආරක්ෂා කල යුතු බව කියමින්.. නමුත් ඒ හැමතැනම තියෙන්නෙ තමන් බලවත් වීමේ දැඩි ආශාවයි. බලය කියන්නෙ අවසානයක් නොවෙයි ඒක එක්තරා මාර්ගයක් බව ජෝජ් ඕවල් කියනව. Got වල පදනම මේ අරුම පුදුම "බලය" කියන දේශපාලන සාධකය. ඒ එක්ක බැඳුන කෲරත්වයට මිනිස්සු නොදැනීම වුණත් ආදරේ කරන්න පටන් ගන්නව. අපේ එදිනෙදා ජීවිතේ ඇතුලෙ විදුලි එලියක් වගේ පෙනී නොපෙනී යන යම් යම් ම්ලේච්ඡත්වයක් තියනව. ශිෂ්ටත්වයේ යකඩ සන්නාහයෙන් හිර කරල තියෙන මේ ප්‍රචණ්ඩත්ව, දුෂ්ට බව තමාගෙ ආශාව සන්සිදුවා ගැනීම වෙනුවෙන් තවෙකෙක් විනාශ කර දැමීමේ ලාලසාව තමා got වලින් එලියට එන්නෙ. ඉතින් මේ අවසාන කතාමාලාවත් ඊට වඩා වෙනස් දෙයක් වෙන්න බෑ.
ඒත් මේ බල පොරය ඇතුලෙ තරමක් වෙනස් කීපදෙනෙක් අපි දකිනව. හොඳම උදාහරණය තමා ටෝමන්. ටෝමන් රජෙක් වුණත් අවංකවම, හිතට එකඟව ජීවත් වෙන්න උත්සහ කරන කෙනෙක් විදිහට අපි දකින්නෙ. ඒ ඔහුගෙ ළාබාල කම නිසා කියන්න පුලුවන් ඒත් ඒ වයසෙදිම ජොෆ්‍රි, නැත්නම් ආර්‍යා වගේ කෙනෙක් ගෙ ක්‍රියාකලාපය බැලුවම ඒක වයසට ලඝු කරන්න අමාරුයි. ටෝමන් ගැහැණියක් සමග විවාහ වෙනව නම් ඒ ඇත්තටම ඇයට තියන ආදරය නිසා මිස ඇගේ පවුලේ තත්ත්වය ඒ විවාහයෙන් ලැබෙන දේශපාලන වාසි වගේ දේවල් නෙමේ ඔහු හිතන්නෙ. එත් දේශපාලන පොරපිටිය කොයිතරම් පීඩාකාරීද කියනවනම් ටෝමන් සියදිවිනසා ගන්න පෙළඹෙනව. හිතට එකඟව ජීවත් වෙන්න උත්සහ කලත් ටෝමන් ළාමක චරිතයක් මෙතනදි. ඒ වගේම ජෝන් ස්නෝ සහ ඩැනේරිස් ටාගේරියන් මේ සටන් බිමේ වෙනස් චරිත දෙකක් විදිහට හඳුනාගන්න පුලුවන්. දෙදෙනාගේම අරමුණ බොහෝවිට එකයි. ඒ දෙදෙනාම මිනිසුන් ගෙ ආදරය දිනාගත්ත, වඩා සාධාරණ සහ යුක්ති සහගත දෙදෙනෙක් විදිහට තමා හඳුනගන්න පුලුවන්. කිසිවක් නැති තැනකින් පටන් අරගෙන සෑහෙන සාර්ථක ගමනක් මේ වෙනකොට දෙදෙනාම ඇවිත් තියනව. උතුරේ ප්‍රාකාරයත් බිඳවැටිල තියන නිසා පහළට එන මළවුන්ගේ හමුදාවත් එක්ක කරන යුද්ධයෙන් බොහෝදේ විසඳේවි. ඒත් ඩැනී, නැත්නම් ජොන් සිංහාසනේ ඉඳ ගැනීමෙන් කතාව අවසන් කරන්න පුලුවන් ද? මම හිතන්නෙ මුල ඉඳන් ගලා ආ රිද්මයට අනුව ඒක එහෙම විය නොහැකි බව. එහෙම වුණොත් got කියන්නෙ බොලිවුඩ් චිත්‍රපටයකට වඩා වෙනස් වෙන්නෙ නෑ. ඉක්බිති සියල්ලෝ සතුටින් විසිරගියහ තැනකින් got වගේ කතාවක් අවසන් කරන්න බෑ. නමුත් යම් තැනකින් කතාව ඉවරවේවි. ඒක ඩැනී කියනව වගේ අසාධාරණයේ සහ අයුක්තියේ විෂම චක්‍රය බිඳ දැමුණු අලුත් ලෝකයක් ගොඩනැගීමෙන් ද? ලැනිස්ටර් වරුන් ඔවුන්ගෙ සුපුරුදු රාජධානිය තහවුරු කරගැනීමෙන් පවතින ක්‍රමය දිගටම පවත්වාගැනීමෙන් ද? නැත්නම් වෙනත් තැනකින්? සිහසුන හිමිවෙන්නෙ සන්සාට බව බොහෝ අය උපකල්පනය කරතිබුණ. සීසන් 7 ජොන් ස්නෝ සන්සාට උතුර බාරදී ගියාට පස්සෙ උතුරේ ආර්‍යාව විදිහට ඈ ගොඩනැගෙන හැටි අපි දැක්ක. මේ ඈට සත් රාජධානියම හිමි වීමේ පෙර ලකුණු ද?
මේ අතරෙ කලින් සීසන් එකක් ටිරියන් ලැනිස්ටර් කියන කතාවක් අපිට විශේෂයෙන් වෙන් කරල හඳුනගන්න පුලුවන්. ටිරියන් මේ කතාව කියන්නෙ හිරගෙදර දි තමන්ගෙ සහෝදරයා ජේමි ට. එතනදි ටිරියන් පොඩි කාලෙ හඳුනාගෙන හිටපු ඥාති සහෝදරයෙක් ගැන. මෙයාගෙ විනෝදාංශය තමා මාළිගාව වත්තෙ ඉන්න කුරුමිණින් අල්ලල ගලක් උඩ තියල උන්ව චප්ප කර දාන එක. දවසක් මේ පොඩි එකාව කරත්තෙකට යට වෙලා මැරෙනව. අර කුරුමිණි චප්ප කල විදිහටම චප්ප වෙලා. ටිරියන් මේ කතාව කියන්නෙ ඇයි සහ මේ කතාවෙන් අපිට ගන්න පුලුවන් මොකක් ද? සරලවම මේ කියන්නෙ අපි අනිත් අයට කරන දේවල් වල විපාක අපිට විඳින්න සිද්දවෙනව කියල. අපේ බාසාවෙන් කිව්වොත් ඒ කර්මය. ඒ කියන්නෙ දුෂ්ටකම් කරමින් මොන තරම් බලයක් ගොඩනගාගත් අවසානෙ කල කම් පල දෙනව වගේ කතාවක්.. ඒ දේ ලෝඩ් බේලිෂ්ට වෙන හැටි අපි දැක්ක, ජොෆ්‍රි, රැම්සි.. මේ හැමෝම තමන්ගෙ ක්‍රියාවන්ට ජීවිතෙන් වන්දි ගෙව්ව. එහෙනම් සර්සි වගේ කෙනෙක් තවම ඉන්නෙ කොහොම ද? සාධාරණ මනුස්සයෙක් විදිහට පෙන්නපු නෙඩ් ස්ටාක් නිස්කාරණේ මැරිල ගියේ ඇයි, රෙඩ් වෙඩිං එකේ දි මුලු ස්ටාක් පවුලම මැරුණෙ ඇයි? විපතින් ගැලවෙන්න නම් චරිතෙ යහපත් කම වගේම උපාය බුද්ධියත් අවශ්‍ය නිසා ද? ඒ න්‍යාය අනුව සිහසුන ලැබිය යුත්තෙ කාටද? ඒ සන්සාද? ආර්‍යා ද? ජේමි ලැනිස්ටර් ද? නැත්නම් වෙන කෙනෙක්? ඒ ඔක්කොම හරි අවසානෙ කාටත් හිමිනොවී සිහසුන විනාශවුණෝතින්?
ජෝජ් ඕවල් තමන්ගෙ 1988 කතාව අවසන් කරන්නෙ සියලුදේම, පවතින බලාඅධිකාරයේ අයෝමය හස්තයට යට කරමින්. ඒ කියන්නෙ මේ විෂමාකාරී ක්‍රමය ඇතුලෙම පවතිනවා මිස ඉන් මිදීමක් නැති බව කියමින්. ජෝජ් මාටින් ගේ ඔලුව වැඩ කරල තියෙන්නෙ කොහොමද කියල දැනගන්න නම් කතාවෙ අවසාන කොටස් ටික බලන්නම වෙනව...
හොඳ ලියමනක්. හොඳ උපකල්පන ටිකක්. බලමු. තව කොටස් දෙකයි නේ.
ReplyDeleteThis comment has been removed by the author.
Deleteඊලග කොටසින් සෑහෙන දේවල් විසදේවි කියල හිතනව..ඒත් අන්තිම වෙනකම් කියන්න බෑ..කුතුහලය කියන එක උපරිම තැනට ඇවිත් තියෙන්නෙ දැන්.... අපි බලමු..
Delete