Game of thrones සීසන් හතරෙ ජොෆ්‍රි මියගිහින් ටෝමන්ට රජකම ලැබුණ වෙලාවෙ ඔහුගේ සීයා ටයිවින් ලැනිස්ටර් ඔහුට කියාදෙනව රජෙක්, එහෙම නැත්නම් හොඳ පාලකයෙක් කියන්නෙ කොහොම කෙනෙක්ද කියන කාරණය. රජෙක් කිව්ව ගමන් අපේ ඔලුවට එන්නෙ රැවුල බඩ තියන දෙකේ හතරේ පිරිමියෙක්ව. තමන්ගෙ අවුරුදු ගණනාවක රාජ්‍යතාන්ත්‍රික අත්දැකීම් ඇසුරෙන් ටයිවින් කියාදෙනව අධිපතිත්වය දරන්නෙකුට තියෙන්න ඕන මූලික සුදුසුකම. රණශූරයෙක්ට නම් හැඩි දැඩි මිනිසෙක්ට නම් ගැලපෙන තැන තමා රටක ආරක්ෂාව සැලසීම, සෙන්පති ධූරය. නමුත් රජෙක් ශක්තිමත් වියයුතුයි එහි වාදයක් නෑ. පරිපාලන විශයේ අත්දැකීම් බහුල, උගත් බුද්ධිමත් කෙනෙකුට ගැලපෙන්නෙ අමාත්‍ය වරයෙක් නැත්නම් උපදේශකවරයකු ගෙ තැන. නමුත් රජෙක් නම් බුද්ධිමත් විය යුතුයි. පාලකයෙකුට තිබියයුතු වැදගත්ම ලක්ෂණය විදිහට ටයිවින් හඳුන්වා දෙන්නෙ ප්‍රඥාවන්ත කම. සුදුසු තැන්වල නියම තීරණ ගැනීමේ උපාය බුද්ධිය. නියම මිනිස්සුන් නියම තැන්වලට යෙදවීමේ දක්ෂතාවය. බ්‍රෑන් වගේ කෙනෙක්ට රජකම කොයිතරම් දුරට ගැලපෙනවද කියල බොහෝදෙනා අහන ප්‍රශ්නෙට පිළිතුර තියෙන්නෙ එතන.
ජොන් ස්නෝ මේ කතාමාලාවේ වැඩිදෙනෙකුගේ ආදරය දිනාගත්ත, සාපේක්ෂ වශයෙන් "ප්‍රධාන වීර" චරිතය බව පෙනී ගිය කාරණයක්. නමුත් ඔහුට අවසානෙ සත් රාජධානෙයේම අධිපතිත්වය හිමිවෙන්නෙ නෑ. එක් හේතුවක් ඔහු ඒ වෙනකොට හිරකාරයෙක් බවට පත්ව සිටීම, අනෙක් කාරණය ඔහුට අධිපතිත්වය දැරීමට, පාලකයෙකු වීමට තිබුණ අකමැත්ත.
ජොන් දක්ෂ සටන් කරුවෙක්. එඩිතර මිනිසෙක්. නමුත් ඔහු නයිට්ස් වොච් ප්‍රධාන අණදෙන නිලධාරි තනතුරට පත් වුණු මොහොතෙ ක්‍රියාකල ආකාරය අපි දැක්ක. ඔහුට අවශ්‍ය තමන්ගෙ කණ්ඩායමට තමන්ගෙ පිරිසට පමණක් නොවේ සියලු මිනිසුන්ට යහපත සලසන්න. යුක්තිය සහ සාධාරණත්වය එපමණයි ඔහුට අවශ්‍ය. ඔහු තද ශීත කාලයෙදි තමන්ගෙම සතුරන් වුණ වනචාරී ගෝත්‍රිකයන් ට තමන්ගෙ භූමියට ඇතුල්වෙන්න ඉඩ දෙනව. මේ නිසා ඔහුට තමන්ගෙ කණ්ඩායමේම සහෝදරයන් වෛරබඳින්න පටන්ගන්නව. සමාන්‍යන් මේ වගේ තැනකදි ජනප්‍රිය ආකල්පය තමා "අපේ උන් බේරෙන්න ඕන".. "අනිත් උන් කෙලවෙලා ගියත් අපි රැකෙන්න ඕන" කියන කාරණය. නමුත් ජොන් ස්නෝ වැඩ කරන්නෙ සියලු දෙනාම ලඟ එන අනතුරෙන් ගලවා ගන්නට. මේ නිසයි ඔහු බහුතරය මොන දෙයක් කිව්වත් පොදු සතුරා සමග සටන් කරන්න අනෙක් සතුරන් සමග එකතුවෙන්න තීරණය කරන්නෙ. ඒ නිසාමයි ජොන් ස්නෝ තමන්ගෙ ජීවිතය පවා අනතුරේ දමාගන්නෙ.
"You know nothing Jon Snow"
යීග්‍රට් එහෙම කියන්නෙ ජොන් ගෙ ස්වභාවය මුලදිම ඈ හඳුනාත්ත නිසා වෙන්න ඕන. "කෙනෙකුට හොඳ මිනිහෙක් වීමයි දේශපාලඥයෙක් වීමයි එකවර කරන්න බෑ " මේක බොහොම ප්‍රසිද්ධ කියමනක්. ජොන් ස්නෝ ටත් අදාළ වෙන්නෙ මේ සත්‍යතාවම තමා.
ඩැනී සම්බන්ධයෙනුත් ඔහුට වෙන්නෙ ඒ දෙයමයි. ප්‍රධාන වශයෙන් වින්‍ටර්ෆෙල් ඇතුලු උතුර ආරක්ෂා කරගන්න නන්නාඳුනන රටකින් ගොඩබැස්ස කොහේවත් නැති රැජිණකට ඔහු දණ නමනව. මේ නිසා උතුරේ ජනතාව තමන්ගැන තිබ්බ ගෞරවය ඔහු යම්තරමකින් පළුදු කරගන්නව. ඩැනී සහ ජොන් අතර පැවතුන ආදරය ඇත්තටම ආදරණීය ස්වභාවයේ එකක් නෙමේ. ඒක ඔවුන්ගෙ ජීවිතවල ආදරය අහිමිවීමෙන් ඇතිවෙලා තිබුණ සදාතනික හිස්කම මකාගැනීම දුර්වල ප්‍රයත්නයක් පමණයි. ඔහු ඇත්තටම ආදරය කළේ යීග්‍රට් ට. සිහසුනට නියම උරුමයක් ඇති බව දැනගත්තත් තමා රජ වීමේ උවමනාවක් ඔහුට ඇතිවෙන්නෙ නෑ.
කිංස්ලෑන්ඩින් වල ඩැනී කල මහා විනාශයෙන් පස්සෙ ඔහු ඈ ගැන කළකිරෙනව. සටන්කරුවෙක් වුණත් සමාන්‍ය මිනිස්සු අහුරු පිටින් සමූලඝාතනය කිරීම ජොන් වගේ කෙනෙකුට කොහෙත්ම උහුලාගත හැකි දෙයක් නෙමෙයි. නමුත් ඈ මරාදමන්න තරම් ඔහු පෙළඹෙන්නෙ ඇගේ පැවැත්ම තම සහෝදර සහෝදරියන්, ඇතුළු තමා ආදරය කරන මිනිසුන්ටත් සමස්ත රාජධානියටත් තර්ජනයක් වෙන බව වටහාගත්තායින් පසුවයි..
බ්‍රෑන් ලඟට ආයෙත් ආවොත්, ඔහු රජකමට සුදුසු ඇයි කියන ප්‍රශ්නෙට තියන පිළිතුර තමා ඔහු ලඟ තියන වෙන කිසිම කෙනෙකුට නැති සුවිශේෂී හැකියාව. ඒ තමා අතීතයේ සිදුවූ සහ වර්තමානයෙ සිදුවන ඕනෑම දෙයක් දැන ගැනීමේ හැකියාව. (බ්‍රෑන්ට අනාගතය කියන්න පුලුවන්ද කියල හරියටම දන්නෙ නෑ) මේ නිසා බ්‍රෑන්ට බොරු කරන්න කාටවත් බෑ. ඔහු සියලු දේ දන්නව. ඒවගේම ඉවසිලිවන්තයි, ඔහුගෙ බුද්ධිමත් කම ගැන ගැටලුවක් නෑ. මේ විදිහට බ්‍රෑන් තරම් සිහසුනට සුදුස්සෙක් නෑ කියල අපිට හිතන්න පුලුවන්.. ඒත් ජොන්? බොහිමියානුවෙක්.. නිදහස් මිනිසෙක් විදිහට ගතකරන ජීවිතයක් තමා ඔහුට සුදුසු. වෘකයන් සමග දඩයම් කරමින්, කඩුවෙන් සටන් කරමින්, තැනින් තැනට ඇවිදිමින්, කිසිම රජෙකුට අවනත නොවන නිදහස් මිනිස්සුන් රංචුවක් සමග ජොන් ගේ රුව පහසුවෙන් ම හිතේ ඇඳගන්න පුලුවන්. ඒ ඔහු බලය මත පදනම් ව ගොඩනැගුණු මිනිසෙක් නොවන නිසා. මනුශ්‍යත්වට මත පදනම් ව ගොඩනැගුණු මිනිසෙක් නිසා..