Monday, July 18, 2022

The Outfit (2022)

 "ඕනෑම ෆුල් සූට් ඇඳුමක ප්‍රධාන කොටස් දෙකක් තියනව. අනිවාර්යයෙන් කෝට් එක සහ කලිසම. මේව බැලු බැල්මට නම් තනි ඒකක විදිහටයි පේන්නෙ. නමුත් මේව හදන්නෙ රෙදි වර්ග හතරකින්. කොට්න්, සිල්ක්  ලොම් සහ වූල්. මේ රෙදි වර්ග හතරම වෙන වෙනම කොටස් තිස් අටකට කැපෙනව. ප්‍රමාණ මැනගෙන සැලසුම් ඇඳල කොටස්වලට කපල මූට්ටු කරන්න වැයවෙනව අවම වශයෙන් පියවර දෙසිය විසි අටක්. ඉතින් පළමුවෙනි පියවර තමයි මිනුම ගන්න එක. මිනුම කියන්නෙ ටේප් එක අරන් එහෙට මෙහෙට තියල අඟල් ගාන මැනගන්න එක නෙමෙයි. අතනින් අඟල් මෙච්චරයි, මෙතනින් අඟල් මෙච්චරයි .. නෑ නෑ ඒක නෙමෙයි. ඔයාට නියම විදිහට ඇඳුමක් හදාගන්න බෑ ඔයා ඒක හදන්නෙ කාටද කියල තේරුම් ගත්තෙ නැත්නම්. හැම ඇඳුමකින්ම කියවෙනව යමක්. වතාවක් මහත්මයෙක් මගෙ කඩේ ඇතුළටම ඇවිල්ල පාරම්බෑව "මම නම් අඳින ඇඳුම ගැන ඒතරම් වදවෙන්නෑ" කියල. එයා දිහා බැලුවම මට පෙනෙනව ඒක ඇත්තක් කියල. ඒකෙන් ඒ පුද්ගලය ගැන යමක් කියවෙනව. එහෙම නේද? මනුස්සයෙක් එනව ඔයාගෙ කඩේ ඇතුළට. ඔයාට මොනවද එයා ගැන කියන්න පුලුවන්? මුලින්ම එයා කවුද කියල තේරුම් ගන්න. ඒ ගමන් ඔයා මිනුම ගන්න."

.
.
.

1940, 50 දශකවල ඇමරිකාවේ චිකාගෝ නගරය හැඳින්වුණේ "අපරාධ නගරය" විදිහට. ඉතාලි මාෆියා සංවිධාන, අයිරිෂ් මැර කණ්ඩායම් චිකාගෝ නගරය මුල් කරගෙන බොහෝම ප්‍රබලව ක්‍රියාත්මක වුණා. නීතියට පවා සමහර වෙලාවට මොවුන්ව යටපත් කරන්න හැකියාව තිබුණෙ නෑ. ඔබ Godfather චිත්‍රපටය නරඹල තියනවනම් මේ මාෆියා සංවිධාන ගැන හොඳහැටි තේරුම්ගන්න පුලුවන්. මෙන්න මේ වගේ පසුබිමක එංගලන්තයේ ලන්ඩන්වල ඉඳන් එන එක ටේලර් කෙනෙක් චිකාගෝ නගරය මැද අලුතෙන් ඇඳුම් සාප්පුවක් පටන් ගන්නව. මේ පුද්ගලය එසේ මෙසේ කෙනෙක් නොවෙයි අවුරුදු පනහක් පමණ ක්ෂේත්‍රයේ අත්දැකීම් තියන පළපුරුදු ටේලර් මහත්මයෙක්. ඉතින් කොයිවගේ මිනිස්සු ද මේ ටේලර් සාප්පුවට එන්නෙ. ඔව් අනිවාර්යයෙන්ම මොකක් හරි මැර කණ්ඩායමක් එක්ක පැටලෙන්නෙ නැතුව නගරෙ මැද්දෙ ව්‍යාපාරයක් පවත්වගෙන යනව කියන්නෙ චිකාගෝ වල නම් ටිකක් අමාරු වැඩක්. එක අයිරිෂ් ජතික කණ්ඩායමක් මේ මහත්මයගෙ ටේලර් සාප්පුවෙ පොඩි කොටසක් අරගන්නව ඒ අයගෙ වැඩට. ටේලර් මහත්මයත් ඒ අයට ඕන දෙයක් කරගන්න දීල තමන්ගෙ වැඩේ කරගෙන ඉන්නව. නමුත් දවසක් නොහිතූ විදිහට සිද්දවෙන යමක් නිසා ටේලර් මහත්මය වැටෙනව ලොකු අමාරුවක. ඇඳුමක් කපන්න, සැලසුම් අඳින්න පාවිච්චි කරන සූක්ෂම බුද්ධිය යොදවල  මැරයන් අතින් වෙඩි පාරත් නොකා, තමන්ගෙ ජීවිතෙත් බේරගෙන මේ ආරවුල විසඳගන්න අපේ ටේලර් මහත්මයට පුලුවන් වේවි ද? 

40/ 50 දශකවල classic ගතිය ප්‍රිය කරන ඕනැම කෙනෙකුට මේක recommend කරන්න පුලුවන් සහ විශේෂයෙන් Thriller රසිකයන්ට නම් මේක මගහැර නොගත යුතු film එකක් බව කියන්න ඕන.The Outfit නොහිතන අවසානයක් එක්ක, හොඳ crime/ thriller සිනමා අත්දැකීමක් ලබාදෙන චිත්‍රපටයක් විදිහට ඕනෑම කෙනෙකුට නිර්දේශ කරන්න කැමතියි. 

The Outfit

- Directed by

Graham Moore

- Written by

Graham Moore

Johnathan McClain

- Produced by

Scoop Wasserstein

Amy Jackson

Ben Browning

- Starring

Mark Rylance

Zoey Deutch

Johnny Flynn

Dylan O'Brien

Nikki Amuka-Bird

Simon Russell Beale



1 comment:

  1. වැඩි දර්ශණ ප්‍රමානයක් එකම පසුබිමක දකින්නට ලැබුනත්... බොරින් නොවී බලන්නට ඇහැකි හොඳ ෆිලුම්ක්

    ReplyDelete