Sunday, July 24, 2022

Broker (2022)

"Blood is thicker than water", සාමාන්‍යයෙන් අපි කතාවට නම් කියන්නෙ එහෙම තමා. එයින් අදහස් වෙන්නෙ ලේ බැඳීම් තරම් වෙන කිසිම සම්බන්ධකමක් ශක්තිමත් නැහැ කියන දෙය. ඒත් ඔබ ජපන් සිනමාකරු Kore-eda ගෙ චිත්‍රපට නරඹල තියන කෙනෙක් නම් මේ කියමනේ සත්‍යාසත්‍ය භාවය ගැන දෙපාරක් හිතනව නොඅනුමානයි. මොකද Kore-eda ගෙ චිත්‍රපටවලට නිතරම වගේ වස්තු විශය වෙන්නෙ නොයෙක් සමාජ ආර්ථික ගැටලු නිසා ජීවිතේ ඔහේ වල්මත් වෙලා ගිහින් අහම්බෙන් මුණගැහෙන මිනිස්සු ගැහැනු සහ පොඩි දරුවන් අතරේ ඇති වෙන පවුල් බැඳීමක් තරමේ ශක්තිමත් මනුස්ස සම්බන්ධකම් ගැන. Kore-eda ගැන ඔබ තවම දන්නෙ නැත්නම් නිර්දේශ කරනව නරඹන්න Our little sister, Nobody Knows, Still Walking, Shoplifters වගේ කිහිපයක්. 2022 අවුරුද්දේ ආව, ඔහුගේ නවතම චිත්‍රපටයෙත් ඇතුළත් වෙන්නෙ මෙන්න මේ ඔහුට සුපුරුදු මාතෘකාවම තේමාකරගත්ත අනුවේදනීය කතා පුවතක්. මේ අවුරුද්දේ  නම් ජපාන සංස්කෘතිය වෙනුවට ඔහු තෝරාගන්නෙ අසල්වැසි රාජ්‍යක් වුණු කොරියාව.

Kore-eda ගේ සිනමාවේ රිද්මය කොයිවගේ එකක් ද කියල ඒ චිත්‍රපට නරඹපු කෙනෙක් දන්නව. Kore-eda බොහෝ වෙලාවට තමන් කියන කතාපුවත සවිස්තරාත්මකව නරඹන්නා ඉදිරියේ අනාවරණය කරන්නේ නෑ. ඒ නිසා නරඹන කෙනෙක් සෑහෙන අවධානයක් ඒ වෙනුවෙන් වැය කරන්න සූදානම් විය යුතු යි. අනෙක් කරණය ඒ චිත්‍රපට වැඩි උද්වේගකාරී බවක් නැතිව මන්දගාමී ස්වභාවයකින් ගලායන ඒව. ඒ හින්ද සෑහෙන සංයමයක් සහ ඉවසිලිවන්ත බවක් මේ චිත්‍රපට නරඹන්න අවශ්‍යයි. නමුත් නරඹන කෙනෙක් වැය කරන මේ දේවල් වෙනුවෙන් ආපසු ලැබෙන දෙය වචනෙන් කියන්න බැරි තරම් හදවතටම දැනෙන හැඟීමක්. සිනමාව කියන්නෙ එවැනි දෙයකට තමයි.

Broker චිත්‍රපටයට පදනම් වෙන්නෙ අපේ රටට නම් තරමක් නුහුරු Baby box නම් සංකල්පය. Baby box නමින් හැඳින්වෙන කුඩා පෙට්ටියක් යම් තැනක තියනව. අලුත උපන්න දරුවෙන් හදාවඩා ගන්න ඒ මවට හැකියාවක් නැති නම් ඇයට නිර්නාමිකව ඇවිත් Baby box එක ඇතුළෙ දරුවව තියල යන්න පුලුවන්. ඉන්පස්සෙ Baby box එක පවත්වගෙන යන අය ඒ දරුවව හදාගන්න කැමති වෙනත් යුවළකට නීත්‍යානුකූලවම බාරදෙනව. කොරියාවෙ එක්තරා දේවස්ථානයක් පවත්වගෙන යන Baby box එකක ස්වෙච්ඡාවෙන් වැඩ කරන මිත්‍රයන් දෙන්නෙක් වටා මේ චිත්‍රපටයෙ කතාව ගලායන්නෙ. මේ දෙන්න කරන්නෙ Baby box එකට ලැබෙන සමහර දරුවන්ව හොර පාරෙන් ගෙදර අරගෙන ගිහින් විකුණල මුදල් ගන්න එක. දවසක් මේ විදිහට අරගෙන එන දරුවෙක් ලඟ යමක් ලියපු සටහනක් තියන බව මේ දෙන්න දකිනව. "මම ආපහු එනව" එහෙම තමයි ලියල තියෙන්නෙ. සැකයක් නැහැ දරුවගෙ අම්මා ආපහු දරුවව ගන්න එන බව තමයි මේ කියන්නෙ. නමුත් ඒක ගණනකට නොගන්න යාලුවො දෙන්න දරුවාව ගෙදර ගෙනියනව. දරුවව මිලදීගන්න කෙනෙක් හොයාගෙන  යන්න ලෑස්ති වෙන මොහොතේ ම ඇත්තටම අම්ම ඒ දරුවව හොයාගෙන එනව. ඇය වැඩියෙ යමක් කමක් නොතේරෙන බොහෝම ළාබාල තරුණියක්. කොහොම හරි දරුව විකුණන්න ඒ අම්මත් කැමති වෙනව. ආර්ථික පීඩාව අග හිඟකම් නිසා අනීතික ව්‍යාපාරයකට යොමුවුණු යාලුවො දෙන්නෙක්, ජීවිතේ හසරක් නොදැන වල්මත් වුණු ගැහැනු ලමයෙක්, මේ කිසිදෙයක් නොදන්න අහිංසක බිළිඳු දරුවෙක් මේ එකිනෙකා හරියට නාඳුනන සහ අහම්බෙන් හමුවුණු හතර දෙනා ගෙ ජීවිතවල ඉරණම කොහොම ද ලියවී තියෙන්නෙ..

2022 අවුරුද්දේ පැවැත්වුණු කාන්ස් සිනමා උළලේ දි හොඳ ම නළුවාට හිමි සම්මානය දිනාගන්නෙ මේ චිත්‍රපටයෙ එක මිත්‍රයෙකුගෙ  චරිතය නිරූපණය කරන Song Kang-ho. කොරියානු සිනමාව හුරුපුරුදු ඔබ නම් ඔහුව නොදැන ඉන්න විදිහක් නෑ. මෑතකාලීනව නිර්මාණය වුණු හොඳම කොරියානු චිත්‍රපට බොහෝමයක් ම ඔහු රංගනයෙන් දායක වුනු ඒව (Parasite, A Taxi Driver, The Host, Memories of Murder, Sympathy for Mr. Vengeance, Sympathy for Lady Vengeance). 2022 මැයි 26 වෙනිද කාන්ස් චිත්‍රපට උළලේ මුලින්ම Broker තිරගත වුණු මොහොතේ චිත්‍රපටය අවසානයෙ විනාඩි 12ක කාලයක් පුරාම  ප්‍රේක්ෂක අත්පොලසන් නාදයකින් (standing ovation) ගෞරවය පලකල බවයි කියවෙන්නෙ. මොකද මේ කතාවෙ අවසානය ඒ තරම් ප්‍රබලව දැනෙන එකක්. Kore-eda ගේ ඒ බොහෝම මන්දගාමි නිවුනු හදවතට දැනෙන සිනමාව ඔබ මෙතෙක් අත්දැකල නැත්නම් Broker වුණත් ආරම්භයක් විදිහට හොඳ තැනක් බව කියන්නම්.




No comments:

Post a Comment