මේ දවස් ටිකේ නිව්ස් ෆීඩ් එක පුරා වැඩියෙන් දැකගන්න ලැබුණ ට්‍රැවල් වීඩියෝ එකකට අනුව නම් ලංකාව කියන්නෙ ලෝකෙ තියෙන ලස්සනම සංචාරක ගමනාත්ත අතර තියෙන රටක් (ඒකෙ තිබ්බ වැඩිහරියක් අතිශ්‍යෝක්ති ඉතින්. ඒක වෙනම කතාවක්). ඒ වගේම ලංකාව ලෝකෙ තියන ඉහළම ජෛව විවිධත්ව කලාප අතරට අයිති වෙන බවත් සඳහන් වෙලා තියනව දැක්කා. ඒක නම් ඇත්තක් වෙන්න පුළුවන්. අපට ලොකුවට නොදැනුණාට මේක සොබාව සෞන්දර්ය පිරුණු රටක් තමයි. කොයි අතක බැලුවත් කොළ පාට තැවරුණු ගස් ගොමු, තැනිතලා, මීදුම් දැවටුණු කඳු වැටිවලින් මෙහේ අඩුවක් නෑ. (හැබැයි දැන් තියන විනයක් නැති සමාජයත්, ව්‍යාපාරිකයිනුත්, දූෂිත දේශපාලනයත් එක්ක ඔය සොබාවික සම්පත් ටිකත් තව කොච්චර කාලයක් යනකම් ඔහොම තියේවිද කියන්න බෑ). ඒ වුණත් ඔය ලස්සන රටේ ඉතිහාසය ඇතුළෙ හැංගිලා තියෙන රහස් ටික නම් එච්චර ලස්සන නෑ. විශේෂයෙන්ම ඔය හැත්තෑව අසූව කාල වකවානුවල කැරළි කෝලහාල ඇස්දෙකෙන් දැකපු, අනූව දශකෙ සහ ඉන්පස්සෙ තිස් අවුරුදු යුද්ධෙ එක්ක උතුරෙත් (විශේෂයෙන්ම) දකුණෙත් සමාජවල පැතිරිලා තිබුණ බිය අත්විඳපු, අඩුගාණෙ ඒව ගැන කියවලාවත් තියෙන කෙනෙකුට නම් මේ කාරණේ හොඳාකාරවම වැටහෙන්න ඕන. මෑත පරම්පරාවල් ගොඩක් වෙලාවට මේ දේවල් දන්නෙ නැහැ, අපේ රටේ මෑත ඉතිහාසය ගැන දැනුමක් අපිට ලැබෙන්නෙ නෑ, මේක අපි අනිවාර්යයනේ හොයා බැලිය යුතු කලාපයක්. (ඒ සිදුවීම් එකතු කරල වර්ගීකරණය කරොත් ලෝකෙ තියෙන අවලස්සනම, සාහසිකම, නින්දාසහගතම ලයිස්තුවට දාන්න පුළුවන් වේවි ඕන නම්). ඒව හොයල බැලුවොත් පෙනෙන දේ තමා ලංකාව කියන්න යක්කු වසන පාරාදීසයකට කියන කාරණය. රාජ්‍යය (බලය) කියන සන්දර්භය ඇතුළේ මේ යක්කුන්ගෙ (මර්ධකයින්ගේ) පැත්තෙන් හිටගත්තාම පේන්න තියන දර්ශනයයි ජගත් මනුවර්ණගේ රහස් කියන කඳු චිත්‍රපටියෙන් අපිට නිරාවරණය කරන්නෙ.
මේ යක්කු, නැත්නම් රජයේ අවශ්‍යතාව වෙනුවෙන් පැහැරගැනීම්, පහරදීම්, ඝාතන සිද්ධ කරන මිනිස්සු කියන්නෙත් කන, බොන, අඩි ගහන, කුණුහරුප කියන, මළමිනි ගෙනියන වාහනේම ගෙදරට ෆ්‍රිජ් එකක්, වොෂින් මැෂින් එකක් දාගෙන යන සාමාන්‍ය මිනිස්සුම තමයි. (යක්ෂ රෑන්ක් එක අනුව විසඳගන්න තියෙන ප්‍රශ්න වෙනස් වෙනවා හැබැයි) නමුත් මේ පීඩකයින් අතින් සිද්ධ කෙරෙන ප්‍රචණ්ඩත්වය ආපහු තිරය ඉස්සරහ මවල පෙන්නනවට වඩා මේ චිත්‍රපටයෙන් මේ මර්ධකයින් දෘෂ්ටිවාදීව, එනම් අදහස්මය වශයෙන්, ස්ථානගත වෙන ආකාරය කල්පිත සිදුවීම් මාලාවක් හරහා ප්‍රතිනිර්මාණය කර පෙන්වනවා. (ප්‍රචණ්ඩත්වය ආපහු මවල පෙන්වන්න ගියොත් මේ ෆිල්ම් එක අපිට බලනන් ඉන්න බැරි මට්ටමේ එකක් බවට පත්වෙන්න තියන ඉඩකඩ වැඩියි, අනිත් එක, ප්‍රචණ්ඩත්වය කියන්නේ ලෝකයේ නම් ඉතිහාසයට අයිති කාරණාවක්ම නෙවෙයි, උදාහරණ විදිහට ගාසා තීරයේ අත දරුවාගෙ පටන් වැඩිමහල්ලා පවා පණපිටින් බාබෙකිව් කරමින්, ඊශ්‍රායලය, ඇමරිකානු රාජ්‍ය අනුග්‍රහය ඇතිව බෝම්බ අතහරින වර්තමානයකයි ඔබත් මමත් ජීවත් වෙන්නේ).
දෘෂ්ටිවාදය කියන යෙදුම ව්‍යවහාර වෙන්නෙ යම් ජනසමාජයක් පදනම් කරගෙන ගොඩනැගී විශාල ලෙස පැතිරුණු අදහස් පද්ධතියක් හඳුන්වන්න. අපේ රට ඇතුළේ, අපේ රටට අනන්‍ය වුණු අපේකම, දේශීයත්වය, ආගම වගේ දේවල් මත මේ වගේ දෘෂ්ටිවාද ගොඩනැංවී තියෙනවා. හෙළ වෙදකම වර්ණනා කෙරෙන්නේ, රාවණා යළි නැගිටින්නේ, බිලි පූජා, ශාන්තිකර්ම වගේ දේවල් කෙරෙන්නේ මේ දෘෂ්ටිවාදී බලපෑමෙන්. (වෙදකම වගේ දෙයක තිබිය හැකි සැබෑ ගුණ අගුණ වෙනම කාරණයක්. නමුත් සමාජය ඇතුළෙ, මාධ්‍ය හරහා දෘෂ්ටිවාද වෙනුවෙන් මේවා පාවිච්චි වීම වෙනම දෙයක්)
මේ ගැන වැඩිදුරටත් සරල වටහාගැනීමකට ගියොත්, සමාජ විචාරක ටෙරී ඊගල්ටන්ට අනුව දෘෂ්ටිවාදය යනු, //
රාජ්‍ය ඇතුළේ බලය ක්‍රියාත්මක වෙද්දී, පාලකයින්ට තම බලපැවැත්ම වෙනුවෙන් මේ දෘෂ්ටිවාද, එනම් ගතානුගතික අදහස් පද්ධතීන්, අනිවාර්ය උපකරණයක් විදිහට භාවිතයට ගන්න සිද්ධ වෙනවා. මාධ්‍ය, සහ ආගමික සංස්ථාවන් කියන්නෙ මෙතනදි ලොකු දායකත්වයක් දෙන ආයතන දෙකක්. යක්ෂයින්ට සිල්රෙදි අන්දලා වොයිස්කට් ගැනීම හරහා මාධ්‍යයත්, මිනීමරන අත්වලට පිරිත් නූල් ගැටගැසීම සහ රජයේ අනුහසින් ගොඩ ගැසුණු මළමිනීවලට පාංශුකූලය දීම හරහා ආගමත් දෘෂ්ටිවාදීව රාජ්‍යය වෙනුවෙන් අනුග්‍රහකත්වය දරන බව චිත්‍රපටයෙන් පෙන්නුම් කරනව. මේ දෘෂ්ටිවාදී කවුළුව හරහා අපිට ෆිල්ම් එකේ ඇතුළුවෙන්න පුළුවන්.
ඝාතකයින්ගේ කතාවට අමතරව තව අතුරු වියමන් කීපයක් අපි ෆිල්ම් එක ඇතුළෙ අපි දකිනව. මේව මූළිකම ආඛ්‍යානය සමග පෑහෙන්නේ ඉතා සියුම්ව. මේ අතුරු වියුම් චිත්‍රපටයට අවශ්‍ය වෙන්නෙ ඇයි කියලා කෙනෙකුට හිතෙන්න පුළුවන්. නමුත් යම් ආඛ්‍යානයක මූලික තේමාවන් අර්ථගැන්වීමෙදි මේ කුඩා අතුරු කතාවලට හිමි වෙන්නේ වැදගත් තැනක්. රහස් කියන කඳු චිත්‍රපටියෙදී නම් හාමුදුරුවන්ගේ සිද්ධිදාමය එක පැත්තකින් ෆිල්ම් එකට ආධ්‍යාත්මික හරයක් එකතු කරනව. විශේෂයෙන්ම ගිනි තියන දර්ශනය, එතනදි නම් දෙබස් අවශ්‍ය නැහැ කියලා හිතෙන තරමට රෑපමය ගොඩනැංවීම ඉතා ප්‍රබලයි. (තවත් එවැනි තැන් කිහිපයක් තිබුණා, සිංහල චිත්‍රපටියක දැක්ක ප්‍රබලම රෑපරාමු ටිකක් මේකෙන් දැක්කා) අනෙක් අතින් පුතා අහිමි තාත්තාත්, අම්මාත් පීඩිතයන්ගේ පැත්තේ කතාව තිරය මත පිළිබිඹු කරනව. (හරකෙක් ඇතිදැඩි කරනා, අසාර්ථක කැරැල්ලකින් පසුව අතුරුදහන් පුතෙක් ඉන්නා තාත්තා) යම් තිගැස්මක් එක්ක ආත්මික වශයෙන් කම්පනයක් ඇති කරන්න මේ අතුරු කතා ටික සමත් වෙනව. ඒ හින්දා මං හිතනව ඒව ෆිල්ම් එකට අවශ්‍ය බව.
සිනමාත්මක වශයෙන් හොඳම නිර්මාණයක් විදිහට, ලාංකික සිනමාව ඇතුළේ මේක සුවිශේෂ සංධිස්ථානයක් විදිහට සළකුණු කරන බවට සැකයක් නෑ (රඟපෑම්, කැමරාව, පසුතළ ඉස්තරම් මට්ටමක තිබුණා, රඟපෑම ගැන කිව්වොත් ඉතින් අපිට ඉන්න නියම බුලට් ටිකක් තමා මේ ඉන්නෙ, මේ අයට වැඩ පෙන්විය හැකි නිර්මාණ හැදෙන්නේ ඉතාම අඩුවෙන් වීමයි ගැටළුව) මුල මැද අග සහිත සම්පූර්ණ කතාවක් නොකියා, රෑපය සහ ශබ්දය සිනමාත්මක භාෂාවක් විදිහට සංකේතාත්මකව යොදාගෙන, නරඹන්නාට යමක් දනවන්නත්, ඒ දැනෙන දේ ඔස්සේ හිතන්න පෙළඹවීමත් කියන කාරණා එක්කයි මේ ෆිල්ම් එකේ විශේෂත්වය අපිට හඳුනා ගන්න හැකි වෙන්නෙ. ප්‍රෙක්ෂකයින්ට ෆිල්ම් එක මගහැරෙන්න පුළුවන් ලොකුම තැනත් එතන. මොකද වැඩි දෙනා චිත්‍රපටියක් බලන්න වාඩිවෙන්නෙම යම් සම්පූර්ණ කතාවක් බැලීමේ අරමුණෙන්මයි. එහෙම අරමුණකින් බලන්න ආව කෙනෙකුට නම් බලාපොරොත්තු කඩවුණා වෙන්න පුළුවන් බොහෝ දුරට. මොකද සමහරු කියා තිබුණා කතාවක් විදිහට මේකෙ අඩුවක් ඇති බවක් දැනුණා කියලා. නමුත් සිනමාපටයක් නිමාවක් සහිත කලාකෘතියක් බවට පත්වෙන්න නම් ඒකට සම්පූර්ණ කතාවක් ඇතුළත් විය යුතු යැයි පිළිගැනෙන්නේ නෑ. (නූතනවාදී කලා ප්‍රවණතාවන් ඇතුළෙ හඳුනාගත හැකි මූලිකම ලක්ෂණයක් මේ පරිපූර්ණ ආඛ්‍යානයකින් තොර වීම. නැත්නම් ප්‍රධාන ආඛ්‍යානය බිඳ දමා ඉදිරිපත් කිරීම, ජීවිතය නම් අපරිපූර්ණ ප්‍රපංචය පරිපූර්ණව කලාවට නැගිය හැකි වෙන්නෙ කොහොම ද? මෙතනදි නූතනවාදින් නහන ප්‍රශ්නයයි ඒ. එහෙනම් ඕනෑම දෙයක් කලා කෘතියක් බවට පත්විය හැකි ද? කලාත්මය වශයෙන් නිමාවක් යම් නිර්මාණයක් විසින් අත්පත් කරගන්නෙ කොහොමද? මේක නොයෙක් සංවාද විවාද ඇතුළේ ගොඩනැගුණු සෑහෙන විවාදාපන්න තත්ත්වයක්) චිත්‍රපටය ඇතුළේ සිදුකරන රූපමය ගොඩනැංවීමයි (ශබ්දයත් ඇතුළත්ව) අවසානයෙදි වැදගත් වෙන්නෙ. සිනමාවෙ සෞන්දර්ය තියෙන්නෙ එතන. හරියට කවිය වගේ තමා. කවියකින් දැනෙන දෙයක් අපිට වෙනත් ක්‍රමයකට කියන්න බෑ. සාමාන්‍ය ව්‍යවහාර භාෂාවෙන් කියන්න බැරි දෙයකුයි කවියක් බවට පත්වෙන්නෙ. කලා මාධ්‍යක් විදිහට සිනමාව වැඩ කරන්නේත් එහෙමයි. ප්‍රේක්ෂකයා තමන්ගේ හදවතින් චිත්‍රපටයේ රෑප සෞන්දර්ය විඳ ගැනීමත් ඒ එක්කම කතිකාමව වශයෙන් ඒ රෑප මාධ්‍යන්ගෙන් මතු කරන තේමාවන්ට සංවේදී වෙමින්, තම බුද්ධිය මෙහෙයවා පරිකල්පනය ඔස්සේ කතාව සමග අනන්‍ය වීමත් තමයි සිදුවිය යුතු වෙන්නේ. එතනදි රහස් කියන කඳු කියන්නේ සාර්ථකත්වය අත්පත් කරගත්ත නිර්මාණයක් බව කිවහැකියි.
සංකේත භාවිතය ගැන කිව්වම ෆිල්ම් එක බලපු ඕන කෙනෙකුට මුලින්ම මතක් වෙන්නෙ සැටලිම. සැටලිම ෆිල්ම් එකට එන්නේ අතුරු කතාවක් හරහා වුණත් ඒක වෙනම කතාවක් ලියන්න පුළුවන් තරම් ප්‍රබල රෑපකයක් විදිහට මෙතනදි වැඩකරනව. සැටලිමක් කියන්නේ ප්‍රධන ගොඩනැංවීමක, සිමෙන්ති ඝන වෙනකම් බර දරා ඉන්න යොදන තාවකාලික ඉදිකිරීමක්. මෙතන ප්‍රධාන ගොඩනැගිල්ල තමයි යම් දේශපාලකයෙක් සහ ඔහු සතු බලය, ඔහු බලයට පත්වෙන්නෙ අපේකම, දේශීයත්වය වගේ දෘෂ්ටිවාදයන් හරහා රට ජාතිය ආගම ඉස්සරහට දමාගෙන. (ගොඩක් වෙලාවට අපේ රටේ සිද්ධ වෙන්නෙ ඕක තමා). මේ බලය ස්ථාවර කරගන්න ආගමික සංස්ථා, ආරක්ෂක අංශ වගේ දේවල් තාවකාලික ටූල් එකක් විදිහට මේ දේශපාලකයා විසින් පාවිච්චියට ගන්නව. හැබැයි හැමදේම බලය ආරක්ෂා කර ගන්න පමණයි. ඉන්පස්සෙ මේ කාගෙන්වත් වැඩක් නෑ. (සැටලිමෙන් ගලවල විසි කරපු උණ බම්බුවක්, මැරිලා ඉන්න ආරක්ෂක නිලධාරියෙක්, අමුතු විදිහට හිතන සහ මාධ්‍ය ඉස්සරහට වැද්ද නොගන්න හාමුදුරුනමක්, අපිට ඕන නම් මේ ටික එක පෙළට තියන්න පුළුවන්). රටේ උසස් තනතුරුවල කඳු වගේ වැජඹෙන බොහෝ දෙනාගෙ ඇතුළාන්තයේ හැංගිලා තියෙන්නෙ ඔය වගේ රහස් තමයි.
ඒ වගේම අනෙක් පැත්තෙන් නිහතමානී ගණිකාව කියන්නෙ කලා නිර්මාණ ඇතුළෙ අපිට බහුල වශයෙන් හමු වී තියෙන චරිතයක්. එහෙම චරිතයක් මේ කතාව ඇතුළෙත් දකින්න ලැබීම අපිට ලොකු විස්මයක් අරගෙන එන්නෙ නැති වුණත් පීඩිතයෙකුගේ රැකවරණය තවත් පීඩිතයෙකුම (ඇය තමන් තෝරා නොගෙන මේ වෘත්තීයට බලෙන් ඇද දැමූ කෙනෙක් බව උපකල්පනය කරොත්, එහෙම හිතන්න සාධක ෆිල්ම් එකේ තිබුණා) බවට මතුකරණ කාරණාව වැදගත්, (ගණිකාවගේ චරිතය රගපාන නිළිය ගැන විශේෂයෙන් කියන්න ඕන, ලොකු අභියෝගාත්මක රංගනයක් නමුත් ඈ ඉතාම විශ්ෂ්ඨ ආකාරයෙන් ඇගෙ කොටස කර තිබුණා), ඇය ඇඳුම් අඩුවෙන් ඇඳගෙන සිටීමෙන් කියවෙන්නෙ ඈ බාහිර සමාජ ආටෝපයෙන් මිදුණු අවංක හැඟීමෙන්ම ඒ අවස්ථාවෙ ඔහු වෙනුවෙන් ඉස්සරහට ආව බව වෙන්න පුළුවන්. (ඒත් ඒ මොහොතේ මාත් එක්ක චිත්‍රපටිය බැලූ ප්‍රේක්ෂකාගාරයේ සමහරු නම් ඒ දිහා බැලුවෙ මහ අප්‍රසන්න දෙයක් විදිහට, ඒ ගැන සෑහෙන කණගාටුයි)
කතන්දර කීම ඉක්මවා යන මේ වගේ චිත්‍රපට අපේ රටේ නිර්මාණය වීම සෑහෙන සතුට දනවන දෙයක්. බහුතර ප්‍රේක්ෂකාගාරයට අනුව හැඩ නොගැසී, තමන්ගේ නිර්මාණයට අවංකවෙමින්, ඒ වෙනුවෙන් පෙනී සිටිය හැකි කලා පෞරුෂයන් තවත් මේ පොළවේ බිහිවීම අවශ්‍යයි. ජගත් මනුවර්ණ ගේ රහස් කියන කඳු කියන්නෙ එතනදි හොඳ පූර්වාදර්ශයක් සපයන පුරෝගාමී වැඩක් බව කියන්න කැමතියි. ඉන්දියාවේ, ඉරානයේ, යුරෝපයේ මේ වගේ උසස් කලාත්මක චිත්‍රපට දැකල පුරුදු අපිට අපේම සිනමාව ඇතුළේ ඒ වැනි හොඳ නිර්මාණ බිහිවෙන ප්‍රවණතාවක් හැදේවි කියන බලාපොරොත්තුව දැනට ඉතිරියි.
+++++++++++ MAYYA
ReplyDelete