මේ මහ පොළවත්, හමන සුළඟත්, සූර්යාලෝකයත් හැමදාම එකම විදිහට අපි වටා පවතින්නෙ නැහැ. කාලෙන් කාලෙට මේවයෙ රටාවන් විවිධාකාර විදිහට වෙනස් වෙනව. කාලෙකට වේලාසනින්ම හැන්දෑ වෙලා කළුවර වැටෙන්න පටන් ගන්නව, තවත් කාලෙකට වැඩිපුර හුළඟ හමනව, කාලෙකට උදෑසන මීදුමෙන් බර වෙනව, සීත, උෂ්ණ බව අඩු වැඩි වෙනව. ඍතු බේදය කියල අපි කියන්නෙ මේකට. අපි වගේ සමකාසන්න රටවලට යන්තමිනුත්, උත්තර සහ දක්ෂණාර්ගෝල කිට්ටුවෙන් බොහෝම පැහැදිලිවත් මේ දේශගුණික වෙනස්කම් දැකගන්න පුළුවන්. මෙහෙම සිද්දවෙන නොයෙක් ඍතු විපර්යාස අතරේ හිමකැට අරන් එන සීත කාලය කියන්නෙ ඒ රටවලට නම් සාපේක්ෂවශයෙන් දුෂ්කර සමයක්. උෂ්ණත්වය සමහර විට සෙල්සියස් අංශක ඍන ගණන්වලට බැහැලා පාරවල් හිමෙන් යට වෙනව, ලස්සනට තිබුණු ගංගා, ඇළ දොළ, විල්, පොකුණු ඝනීභූත වෙලා යනව. පර්යටනික කුරුල්ලන් නම් මේ කාලෙට අපේ වගේ උෂ්ණ රටවල් සොයාගෙන පියාඹා යනව, බොහොම සත්තු පොළවේ හාරාගත්ත බිම් ගෙවල්වලට වෙලා සිසිර නින්දේ නිදාගෙන සීත ඍතුව ගෙවා දමනවා. මේ දුරුතු මාසේ උදේම තියන සීතල උහුලන් ඉන්න අමාරු අපිට ඔය යක්ස හීතල කොයි වගේද කියල ටිකක් විතර හිතා ගන්න පුළුවන්.
මෙන්න මේ විදිහට වෙනස්වෙන දේශගුණික රටාවන් කියන්නේ ජීවිතයත්, පරිසරයත් එකිනෙක හරි අපූරුවට සම්බන්ධ කළ හැකි ඉසව්වක්. සමහරවිට ජීවිතේ යම් යථා ස්වභායන් තේරුම්ගන්න සොබාදහමේ මේ ගතිගුණය අපිට උදව්වෙනවා. ජීවිතේ ඇතුළෙන් මල් පිපෙන කාල වගේම හිම වැටෙන සීත කාල එන බව එතකොට තේරුම්ගන්න පුලුවන්. කාලෙකදි සනීප සීතලක් අරගෙන ආව හුළඟ වුණත් ඇඟට ඉඳිකටු තුඩු වලින් අනින්නා වගේ දරා ඉන්න අමාරු දෙයක් බවට පත්වෙද්දී, සියළු ළතෙත් බර තැන් ඝනීභවනය වෙලා අයිස් මිදිලා යද්දී, ජීවිතේ එකම හිම කාන්තාරයක් බවට පත්වෙනවා වගේ දැනෙන්න පටන් ගන්නවා. සනීපදායක මනුස්ස ඇසුරක පහස ලබන්න කාටත් ඕන වෙන්නෙ අන්න ඒවගේ මොහොතක . එහෙම බැඳීම් හරියට සීත කාලෙදි උණුහුම ගේන හිමකබායක් වගේ හදවත උණුහුම් කරනව. ජයග්‍රහණයෙදී සතුට සමරන්න වගේම පරාජය ලබල එනකොට ආදරණීයව වැළඳගන්න කෙනෙක් දෙන්නෙක් හෝ ජීවිතේ ඉන්නම ඕන. නමුත් එහෙම අය අපිට මුණගැහෙන්නෙ බොහොම කලාතුරකින්. මොකද මේ ලෝකය නිර්මාණය වෙලා තියෙන්නෙ පැවැත්ම වෙනුවෙන්. තමන්ගේ පැවැත්ම සහ ලාභ ප්‍රයෝජනය වෙනුවෙන් මිනිස්සු බැඳීම් ඇති කරගන්නෙ. ඇත්තම කතාව ගත්තොත් අපිට තියන ගොඩක් සම්බන්ධකම්වල තියෙන්නේ දේශපාලනයම සහ ව්‍යාපාරිකමය වියළි බවක් තමයි. එවැනි තැන්වල සහෘදාත්මක අවංකභාවය නෑ. එහෙම දෙයක් බලාපොරොත්තු වෙන්න බෑ. නමුත් ලෝකය ගොඩනැගිල තියෙන්නෙ එහෙම තමා. ඒකට කාටවත් දොස්පවරලා වැඩක් නෑ. බියක්, සැකක් තියගන්නේ නැතිව අවංකම තම හදවත විවෘත කළ හැකි, සහ හිත හඳුනාගන්න පුළුවන් ටික දෙනෙක් පමණක් හරි ජීවිතේදි අපිට මුණගැහෙනව නම් ඒක වටිනව. වැඩි දෙයක් බලාපොරොත්තු නොවී ළඟ ඉඳීමෙන්, බෙදාහදා ගැනීමෙන් පමණක් සෑහෙන එහෙ ලස්සන මනුස්ස සම්බන්ධකම් දිහා බලන් හිටියත් හිත පිරෙනව.
2023 අවුරුද්දේ චිත්‍රපටි ලයිස්තුවේ මෙහෙම චිත්‍රපටියක් දැකගන්න ලැබුණා. ඔස්කාර් සම්මානය වෙනුවෙන් හොඳම විදෙස් භාෂා අංශයෙන් සිංගප්පූරුව නියෝජනය කළ The Breaking Ice චිත්‍රපටියට ඇතුළත් වෙන්නේ කලින් කිව්වා වගේ අපූරු මනුස්ස සම්බන්ධකමක් ගැන කියවෙන කතා පුවතක්. මේක සිංගප්පූරු ජාතික සිනමාකරු Anthony Chen ගේ නිර්මාණයක්. මෙතනදි අපිට දැකගන්න ලැබෙනව තුන් දෙනෙක්. ජීවිතේ හිම කුණාටු සමයක් ගෙවා දමමින් ඉන්නා තුන්දෙනෙක්, එකිනෙකට වෙනක් ගති ගුණ තියන තුන්දෙනෙක්. එක මොහොතක මේ තුන්දෙනා හමුවෙන හැටිත්, ඉන් පස්සේ දවස් කිහිපයක් තුන්දෙනා එකට ගෙවාදමන හැටිත් තමා මේ කතාවෙ ඇතුළත් වෙන්නෙ. චිත්‍රපටිය පුරාම දැඩී සීතල, හිම සහ අයිස් කියන සංකේත රෑප ඉතා ප්‍රබලව පසුබිමෙන් දක්නට ලැබෙනව. සැබෑම නිර්ව්‍යාජ මිත්‍රත්වයත්, ආදරය සහ අනුරාගයත්, මනුෂ්‍යත්වයත් ජීවිතේ දුක්වේදනාවේ සීතල අයිස් කුට්ටි දිය කරමින් මතුවෙන හැටි බලා ඉන්න අපූරුයි. ටිකක් වැඩිපුර සීතල දැනෙන මේ කාලෙ මට මේ චිත්‍රපටිය හරියට උණුහුම්ව විඳගත හැකි සිනමාත්මක වැළඳගැනීමක් වගෙයි දැනුණේ.