Thursday, September 19, 2024

දේශපාලනයේ වම සහ දකුණ

18 වන සියවසේ ප්‍රංශ විප්ලවය අතරතුර එකල ප්‍රංශ ජාතික සභාවේ මන්ත්‍රීවරු ප්‍රධාන කොටස් දෙකකට බෙදී සිටියහ. ජාතික සභාවේ එක් පසෙක වාඩි වී සිටි බහුතරයක් පිරිස රට තුළ විප්ලවීය වෙනසක් සහ පීඩාවට පත්ව තිබූ ජන සමාජය තුළ සමානාත්මතාවයද, පොදු ජනතාවගේ අයිතිවාසිකම් සුරැකීමද වෙනුවෙන් පෙනී සිටිය අතර ඔවුන් රදළ පැලැන්තිය වෙනුවෙන් ලබා දී තිබූ අසීමිත වරප්‍රසාදවලටද එරෙහි වූහ. මීට වෙනස්ව අනෙක් පාර්ශවයේ සිටි මන්ත්‍රීවරු මීට විරුද්ධව රට ශක්තිමත් කිරීමට නම් රාජාණ්ඩුව සහ සාම්ප්‍රදායික බල ව්‍යුහය ශක්තිමත් කළ යුතු බව ප්‍රකාශ කළ හ. විප්ලවවාදී අදහස් දැරූවන් ජාතික සභාවේ වම් පසින් වාඩිගෙන සිටි නිසා ඔවුන් "වාමාංශිකයන්" ලෙස හදුන්වනු ලැබීය. ඊට එරෙහි රාජාණ්ඩුවාදී සම්ප්‍රදායික අදහස් දැරුවන් මේ නිසා "දක්ෂිනාංශිකයින්" ලෙස හැදින්විණ. පසුකාලීනව මෙම යෙදුම් වඩාත් විභේදනයන් සහිතව දේශපාලන ආස්ථානයන් පැහැදිලි කිරීම වෙනුවෙන් ලොව පුරා භාවිතයට ගැනුණි.

19 වන ශතවර්ෂයේ කාර්මික ක්ෂේත්‍රයේ සිදුවුණු සීඝ්‍ර දියුණුවත් සමග කම්කරුවන්ගේ අයිතිවාසිකම් සහ සමාජ සාධාරණත්වය මුල් කරගෙන මතු වුණු සමාජවාදය වැනි විප්ලවකාරී මතවාද දැරූ කණ්ඩායම් මේ නිසා වාමාංශිකයින් ලෙස හදුන්වන්නට යෙදුණි. ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයක් තුළ, ජනතාව විසින් පත්කරගනු ලැබූ සහ පොදු ජන සුබසිද්ධියද සමාජ සාධාරණත්වයද සුරකින ශක්තිමත් ආණ්ඩුවක් යන මතවාදය යටතේ වාමාංශිකත්වය විකාශනය විය. ඒ අතර සමාජවාදය අනුසාර කරමින් මධ්‍යම ආණ්ඩුවක් කෙරෙහි පූර්ණ බල අධිකාරිත්වයක් ආරෝපණය කරගෙන රුසියාව තුළ ගොඩනැගුණු ආකාරයේ කමියුනිස්ට් ක්‍රමයට සමාජයෙහි පැවති සාමුහික දේපළ අයිතිය තහවුරු කළ පාලන ක්‍රමවේදයට එරෙහි වූ ප්‍රති-කමියුනිස්ට්වාදීන් දක්ෂිණාංශිකයන් ලෙස හදුන්වන්නට පටන් ගැනුණි. ආණ්ඩුව විසින් රාජ්‍ය පරිපාලනයට මැදහත් වීම හැකිතාක් අවම කර නිදහස් වෙළඳපළ බලවේග ඔස්සෙ පාලනය සිදුවිය යුතු ය යන අදහස ඔස්සෙ දක්ෂිණාංශයේ විකාශනය සිදුවිය.

දෙවන ලෝක යුද්ධයෙන් පසුව, බිද වැටීගිය රටවල් තුළින් ඇතිවුණු සමාජවාදී නැඹුරුව හරහා සමාජවාදී ප්‍රවණතාවක් ලොව පුරා පැතිරීගියේය. පසුකාලීනව බොහෝ රටවල් සාමුහික සුභසාධනය වෙනුවෙන් වූ වාමාංශික සුභසාධනවාදී සහ පුද්ගල නිදහසටද පුද්ගලික දේපළ හිමිකාරීත්වයටද මුල් තැන දුන් දක්ෂිනාංශික නිදහස් වෙළඳපළ ධනවාදී ක්‍රමය මිශ්‍ර වූ මධ්‍යස්ථ ආර්ථික ක්‍රමයකට එනම් කේන්සියානු ක්‍රමයකට අනුව පාලන කටයුතු මෙහෙයවන්නට විය.

දෙවන ලෝක යුද්ධයෙන් පසු ප්‍රමුඛත්වයට පත් වූ කේන්සියානු ආර්ථිකයන්ට ප්‍රතිචාර වශයෙන්, 20 වනි සියවසේ අගභාගයේදී නව ලිබරල්වාදය මතු විය. නව ලිබරල්වාදය නිදහස් වෙලඳපොල දිරි ගැන්වීම, නියාමනය ඉවත් කිරීම සහ රජයේ මැදිහත්වීම හැකිතාක් අඩු කිරීම සහ පුද්ගලිකත්වය වෙනුවෙන් පෙනී සිටියි. මිල්ටන් ෆ්‍රීඩ්මන් වැනි පුද්ගලයින් සහ මාග්‍රට් තැචර් සහ රොනල්ඩ් රේගන් වැනි දේශපාලන නායකයින් මෙම අදහස් ප්‍රවර්ධනය කළහ. නව ලිබරල් ප්‍රතිපත්ති බොහෝ විට දක්ෂිණාංශික දේශපාලනය සමඟ පෙලගැසී, ආර්ථික නිදහස සහ පුද්ගල වගකීම අවධාරණය කරමින් සමාජ සුබසාධන වැඩසටහන් විවේචනය කරයි. අද වන විට ආර්ථීක ගෝලීයකරණයෙහි අසමානතාවය වාද විවාදවලට තුඩු දී ඇති අතර, කම්කරුවන්ගේ අයිතීන් සහ සමාජ සමානාත්මතාවය වෙනුවෙන් පෙනී සිටින වාමාංශික ව්‍යාපාරවල යලි පිබිදීමක් 21 වන සියවස තුළ දැක ගැනීමට හැකිව ඇත.

වර්තමානයේදී සාමාන්‍යයෙන්, වාමාංශය "නිදහස, සමානාත්මතාවය, සහෝදරත්වය, අයිතිවාසිකම්, සමාජ සාධාරණත්වය, සමාජවාදය, පාරිසරික ආරක්ෂාව පිළිබඳ අවධාරණය වැනි අදහස්" අවධාරණය කිරීම මගින් නිරෑපිත වෙයි. වාමාංශය විසින් සුභසාධන වැඩසටහන් දිරිගන්වනු ලබන අතර සමාජයක් තුළ සමස්තයක් වශයෙන් සැමට සාධාරණ ලෙස සෞඛ්‍ය සහ අධ්‍යාපන වැනි අත්‍යවශ්‍ය සේවා සැපයීම ගැන අවධානය යොමුකරයි. දක්ෂිණාංශය "ලිබරල්වාදය, පුද්ගල නිදහස, ධනවාදය, ජාතිකත්වය, සංරක්ෂණවාදය, ෆැසිස්ට්වාදය" වැනි සංකල්ප මත අවධාරණය කිරීම මගින් සංලක්ෂිත වේ. එය නිදහස් වෙලඳපොළ, සීමිත රජයේ මැදිහත්වීම් සහ පුද්ගල නිදහස වෙනුවෙන් පෙනී සිටී. පුද්ගලික වගකීම, සාම්ප්‍රදායික වටිනාකම් සහ ජාතික ස්වෛරීභාවය අවධාරණය කිරීම, බදු අවම සඳහා සහාය, සහ පුද්ගලික ව්‍යාපාර සඳහා අවම නියාමනය ගැන එහිදි අවධානය යොමුවෙයි.

වඩා නූතන දේශපාලන භාවිතයන් හඳුනාගැනීමේදී, ජනප්‍රියවාදය එක්තරා කැපී පෙනෙන ආස්ථානයක් ලෙස නම් කළ හැකිය. වාමවාදී ජනප්‍රියවාදය තුළ ජනසමාජයක් ප්‍රභූ සහ නිර්ප්‍රභූ ලෙස එකිනෙකා හා එකඟ නොවෙන කාණ්ඩයන් දෙකක් ලෙස වර්ගීකරණය සිදුකෙරෙන අතර දූෂිත ප්‍රභූ පැලැන්තියට එරෙහිව අදූෂිත නිර්ප්‍රභූ පන්තිය බලගැන්වීම එහි ප්‍රමුඛ ලක්ෂණයයි. ලතින් ඇමරිකානු කලාපය වාම ජනප්‍රියවාදයේ කේන්ද්‍රස්තානයක් ලෙස සැලකේ. දක්ෂිණාංශික ජනප්‍රියවාදය තුළ මූලික ගැටලුව ජාතිකත්වය හෝ සරණාගත ගැටළුවක ස්වරූපය ගනී.

ගෝලීයකරණය තුළ අනන්‍යතා දේශපාලනය මෙහි තවත් විභේදනයකි. දක්ෂිණාංශික දේශපාලන පක්ෂ බොහෝවිට සරණාගතයන් හෝ සුළු ජාතිකයන් බැහැර කිරීම, ජාතික අනන්‍යතාව සුරැකීම වැනි සංරක්ෂණවාදි ආස්ථානයකට යොමුවන අතර වාමාංශය වඩා නැඹුරුවන්නෙ සරණාගතයන් සහ සුළු ජාතිකයන් තමන්ගේම කොටසක් ලෙස බාර ගැනීම, සංස්කෘතික විවිධත්වය අගය කිරීම වැනි ස්ථාවරයකට යි.

කෙසේ වෙතත් මෙම විභේදනයන් පරම වූ ඒවා නොවන අතර ඉතිහාසයේ සිට මෙතෙක් දුර පැමිණියා සේ තවත් වෙනස්කම්වලට ලක්වෙමින් නොයෙකුත් වර්ණයන්ගෙන් අනාගතය වෙත ගලා යනු ඇති බව විශ්වාස කළ හැකියි.



No comments:

Post a Comment