Wednesday, September 18, 2024

Dances with Wolves (1990)

 කෙවින් කෝස්ට්නර් ප්‍රධාන චරිතය රඟපාන ගමන් අධ්‍යක්ෂණය කළ පැය හතරකට ආසන්න ධාවන කාලයක් සහිත Dances with Wolves (1990) චිත්‍රපටිය බලලා ඉවර කළේ බර වුණු හදකින් සහ බොඳ වී ගිය දෑස් යුගලකින්. චිතුපටියට ඇතුළත් වෙන්නේ 1800 යුගයේ ඇමරිකානු ප්‍රෙයරි තෘණ භූමියක හුදෙකලා වෙන හමුදා නිලධාරියෙක් ස්වදේශික "රතු ඉන්දියානුවන්" වාසය කරනා ගම්මානයකට පැමිණිලා අවසානේ ඔවුන්ගේම කෙනෙක් විදිහට ජීවත් වෙන්න පටන් ගන්නා ආකාරය ගැන කතා පුවතක්. චිත්‍රපටිය නිපදවෙන්නේ මෙනමින්ම ලියැවුණු නවකතාවක් අනුසාරයෙන්. Dances with Wolves, 1991 ඔස්කාර් සම්මාන උළලේ සම්මාන 7ක් ම දිනා ගන්නවා. විශේෂයෙන්ම 90 දශකයේ චිත්‍රපටිවලින් විතරක්ම අපිට දැනෙන නොස්ටැලිජියාත්මක සෞන්දර්යය මේකෙ අඩු නැතුව පිරිලා ඉතිරිලා තියෙනව. විශේෂයෙන් මේකෙ සංගීතය, භාවනාවකට සමවැදුණා වගේ අහන් ඉන්න පුළුවන් ඉතා මනරම් සංගීතයක්. කැමරාකරණයත් එහෙමමයි.

නමුත් ඒ හැම දෙයක්ම පැත්තකින් තියෙද්දී මගෙ හදවත බර කළේ චිත්‍රපටිය අවසානයේ පෙන්වූ එක කාරණාවක්. ඊට අනුව පසුකාලීනව ඇමරිකානු රජය විසින් ස්වදේශික රතු ඉන්දියානු ජනතාව ඔවුන්ට උරුම වුණු ප්‍රෙයරි තණ බිම් වලින් සහමුලින්ම තුරන් කර දැමෙනවා. යුරෝපයේ සිට ආ කොල්ලකාරී සුදු ජාතිකයින් මේ භූමියේ සැබෑ උරුමකරුවන්ට ඉතිරි කළ දෙය තමා ඒ. එය දෙවන ලෝක යුද්ධයෙදි නාසි වාදින් යුදෙව්වන්ට සහ අනෙක් සුළු ජාතිකයන්ට කළ විනාශයට සමාන මානව සංහාරයක් බව ස්වදේශික ඇමරිකානුවන් ගේ අයිතිවාසිකම් වෙනුවෙන් සටන් වැදුණු සිනමා නළු මාලන් බ්‍රැන්ඩෝ තම චරිතාපදානයෙදි කියනවා. බ්‍රැන්ඩෝ තමන්ට ලැබුණු ඔස්කාර් සම්මානය ප්‍රතික්ෂේප කරන සිද්ධියත් එතනදි විශේෂ යි.

චිත්‍රපටිය පුරාම දෝංකාරදිදී මට ඇහුණේ අපි කුඩා කාලේ පටන් කියවා තිබුණු, රතු ඉන්දියානු නායක සියැටල් ගේ ලිපියේ තිබූ අදහස්. මිනිස් ශිෂ්ටාචාරය ලැබූ බව කියන දියුණුවේ යදම්වලට ගෙල සිරවුණු, සොබාදහමට සමීපව දිවිගෙවූ සාමකාමී ආදිවාසී මිනිස්සුන්ගේ අවසාන ශෝකාලාපය ඒ ලියුම පුරා තැවරී තිබූ බව මම හිතනවා. ඊටත් වඩා මිනිසා යනු සොබාදහමේ පාලකයා නොව ඔහු එහි තව එක පුරුකක් පමණක් බව වටහා ගෙන ඒ සැබෑ සත්‍යතාවන්ට අනුව ජීවිත රටාව හැඩගස්වාගත් ප්‍රඥාවන්ත මනුෂ්‍යයෙකුගේ හඬ ඒ ලිපිය ඇතුලේ ඇහෙනවා. සියැටල් කියනවා තමන්ගේ පාරම්පරික ඉඩම් මිලදී ගන්නට ඇමරිකානු ජනාධිපතිවරයා විමසන බවත් තමාට අයිති නොවන මහපොළව, සුළඟ, හිරු එළිය විකුණන්නේ කොහොමද කියන කාරණය තමාට නොතේරෙන බවත්. මිනිසා ලබාගත්ත දියුණුව කියන්නේ සියළු දේට මිලක් නියම කර අසීමිතව පරිභෝජන කිරීම සහ තෘෂ්ණාධිකව එය තමන් සතු කරගන්නට වෙර දැරීම පමණද? මේ භෞතික දියුණුවේ මායාවට බැඳුණු ඔවුන්ගේ තෘෂ්ණාව මේ ලෝකයට අහිමි කරමින් සිටින්නේ ගහ කොළ පිරි වන රොදක නිසංසල බව, නැවුම් වාතය, පිරිසිඳු දිය ගලා හැලෙනා දිය කඩිති, සතුන් සිව්පාවුන් පමණක් නොවෙයි. ඔහු අනතුරේ දමාගන්නේ තමන්ගේම පැවැත්ම ම යි. මේවා නොමැතිව තම වර්ගයාටත් පැවැත්මක් නොමැති බව ඔහුගෙ බුද්ධියට තමවත් නොවැටහෙන ගාණයි. කොහොම වුණත් තම ආදි පියවරුන්ට උරුම වී තිබුණ සාමකාමී සැනසිලිදායක සරල ජීවිත රටාව මේ දියුණුයි කියනා මනුෂ්‍ය සමාජය ඇතුළේ ඔහුට අහිමි වෙලා ගිහින් අවසානයි. චිත්‍රපටියේ ජෝන් ඩන්බාර් නම් ප්‍රබන්ධ චරිතය වගේම මාලන් බ්‍රැන්ඩෝ වැනි දියුනු සමාජයෙන් පැමිණි අයත් මේ ස්වදේශික ජනතාවගෙන් ඉගෙන ගත් පාඩම එයයි. Dances with Wolves නරඹා අවසානෙදි මම වැඩියෙන්ම ආදරය කරන සහ හැමදාටම මම ප්‍රිය කරන, ලේසියෙන් පහසුවෙන් වෙනස් නොවෙන චිත්‍රපටි ලයිස්තුවට තව එක චිත්‍රපටියක් එකතු වුණු බව කියන්නම්.
.
.
.

සියැටල් ගෙ ලිපියෙන් කොටසක්

අපගේ සිතුම් පැතුම් හා චර්යාවන් සුදු මිනිසාට නොතේරෙන බව අපි දනිමු. මහ පොළව ඔහුගේ සහෝදරයා නොවේ. එහෙත් ඔහුගේ සතුරාය.ඒ ගැන ඔහුට තැකීමක් නැත. සුදු මිනිසා සිය මෑණියන් වූ මහ පොළවත් සහෝදරයා වූ අහසටත් සලකන්නේ මිලයට ගත හැකි, කොල්ල කෑ හැකි බැටළුවන් සහ පබළු මෙන් විකිණිය හැකි දෑ ලෙසය. ඔහුගේ කෑදරකම මහ පොළව හිස්කර දමා ඉතිරි කරණු ඇත්තේ කාන්තාරයක් පමණි. මෙය මට අවබෝධ කර ගත නොහැක, ඔබගේ චර්යාවන් අපගේ චර්යාවන්ගෙන් වෙනස්ය. ඔබගේ නගරවල දර්ශණය රතු මිනිසාගේ ඇස් වේදනාවට පත් කරයි. හේතුව, සමහර විට රතු මිනිසා ම්ලේච්ඡයෙක් සහ ඔහුට නොතේරෙන නිසා විය හැක. සුදු මිනිසාගේ නගරවල නිසංසල තැන් නැත. වසන්තයේ පිබිදෙන තුරුපත් හඬ හෝ කුඩා කෘමීන්ගේ පියාපත් ගැටෙන හඬ හෝ අසන්නට එහි තැනක් නැත. එය එසේ වන්නේ සමහර විට මට නොතේරෙන නිසා හෝ මා ම්ලේච්ඡයෙක් නිසා හෝ විය හැක. ඝෝෂාව කන් වලට නින්දාවක් පමණි. මැදියම් රෑ හුදකලාව, බකමූණකු නගන පාළු හඬ හෝ විලක් වටා මැඩියන් කරණ වාද විවාද හෝ ඇසෙන්නේ නැති මිනිසාගේ ජිවීතයේ අරුතක් ඇද්ද?

රෙයරි බිම් පසුකර යන දුම්රියේ සිට වෙඩි තබා මරා දමණු ලැබූ කුළු මීමුන්ගේ කුණු වෙමින් ඇති මළ සිරුරු දහස් ගනනක් මම දැක ඇත්තෙමි. මම ම්ලේච්ඡයෙක් අපි ජීවත්වීමට පමණක් මරණ මීමාට වඩා දුම් දමන යකඩ අශ්වයා වැදගත් වන්නේ කෙසේදැයි මට නොතේරේ. සතුන් නැතිව මිනිසාගෙන් වැඩක් ඇත්ද? වන සතුන් සියල්ල නැතිව ගිය කළ හදවතේ ඇතිවන මහා තනිකමකින් මිනිසා මියයනු ඇත. ඇයිද යත් සතුන්ට කුමණ ඉරණමක් අත්වේද, මිනිසාටත් ඒ ඉරණමම අත්වේ. සෑම දෙයක්ම එකින් එකකට සම්බන්ධව තිබේ. ඔබේ දරුවන්ගේ පයට පෑගෙන්නේ අපේ මුතුන් මිත්තන්ගේ භෂ්මාශේෂ බව ඔබේ දරුවන්ට වටහා දෙන්න. ජීවිත වලින් මහ පොළව සරුසාර වී ඇති බව ඔබේ දරුවන්ට වටහා දෙන්න. මහ පොළව අපේ මෑණියන් බව අපි අපේ දරුවන්ට කියා දුන් පරිදිම ඔබ ඔබේ දරුවන්ටත් වටහා දෙන්න. මහ පොළවට අත් වන්නේ කුමණ ඉරණමක් ද? ඇගේ දරුවන්ටත් ඒ ඉරණමම අත්වෙයි. මිනිසා පොළවට කෙල ගැසුවහොත් එය තමාටම කෙල ගසා ගැනීමක් බව ඔබේ දරුවන්ට වටහා දෙන්න. අපි මෙය දනිමු. මහ පොළව මිනිසාට අයිති නැත. මහ පොළවට මිනිසා අයත්ය. අපි මෙය දනිමු. සියළු දෑ එකින් එකට සම්බන්ධ වී තිබේ. රුධිරය සියළු පවුල් එකට බැඳ තබන්නාක් මෙන් සියළු දේ එකින් එකට සම්බන්ධ වේ.

මේ පොළෝ තලයෙන් අන්තිම රතු මිනිසාත් අතුරුදහන් වූවාට පසු ඔහුගේ මතකය ප්‍රේරි බිම් හරහා ඇදෙන වළාවක සෙවනැල්ලක් පමණක් වූ කළ එම සෙවනැලි සහ වනාන්තරය මගේ ජනතාවගේ ආත්මය දරා සිටිනු ඇත. ඒ අළුත උපන් බිළිඳකු සිය මවගේ හද ගැස්මට ආදරය කළාක් මෙන් මේ මහ පොළවට ඔවුන් ආදරය කළ නිසාය. එනිසා අප ඉඩම් විකුණන්නේ නම් අපි ඊට ආදරය කළාක් මෙන් ඔබත් ඊට ආදරය කරන්න. අප රැකගත් පරිදිම එය රැක ගන්න. මේ බිම් පිළිබඳ මතකය එය ඔබ ලබා ගන්නා අවධියේ පැවතුනාක්බ්මෙන්ම ඔබගේ මනසේ තබා ගන්න. ඔබේ මුළු ශක්තියෙන්ම, මුළු හිතින්ම, මුළු හදින්ම එය ඔබේ දරුවන් සඳහා සුරකින්න. දෙවියන් අප සැමට ආදරය කරන්නාක් මෙන් ඊට ආදරය කරන්න. එක දෙයක් අපි දනිමු. අපේ දෙවියන් ද එම දෙවියන්මය. මේ පොළව ඉතා අගනේය. සුදු මිනිසාට පවා පොදු ඉරණමෙන් බැහැර විය නොහැක. කුමක් කීවත් කළත් අපි සොහොයුරෝ වෙමු. අනාගතයේ සිදු වන්නේ කුමක්ද..? එය අපට හොඳින් දැකබලා ගැනීමට හැකිවනු ඇත.

- රතු ඉන්දියානු නායක සියැටල්



No comments:

Post a Comment