Friday, December 27, 2024

Bird (2024)

කෙනෙක් ළමා වයස පහුකරලා ඇවිත් නව යෞවනයට අඩිය තියනවා කියන්නේ සෑහන වෙනස්කම් සිද්ධවෙන්න පටන් ගන්නා කාලයක්. ඒක භෞතිකව ශාරීරික වශයෙන් විතරක් නෙමෙයි, මානසිකවත්, ජීවිතේ දිහා දකින ආකාරයෙනුත් සිද්ද වෙන්න පටන්ගන්න වෙනසක්. අපි බාහිර ලෝකයෙන් වීර ප්‍රතිරූප හොයාගෙන යන කාලයක් මේක. ඒවගේ නොයෙක් වීර ප්‍රතිරූපවලට ආසක්ත වෙන කාලයක්. එතෙක් හරි ලොකු චරිත වගේ අපි දුටුව දෙමාපියන්ව ඉන්පස්සෙ බොහෝ වෙලාවට පේන්න පටන් ගන්නෙ නපුරන් විදිහට. සුනිල් පෙරේරා මහත්මයා "එදා මට පෙනුණෙ ඔබව හතුරෙක් වාගෙයි තාත්තෙ" කියලා සින්දුවකිනුත් කියලා තියෙන්නෙ ඔය සංසිද්ධිය තමා. හැබැයි ඒ මහත්මයාම ඔය සින්දුවෙම කියන විදිහට පස්සෙ කාලෙක හරි අපිට ඒ අය කරන කියන දේ තේරුම්යන්න පටන් ගත්තම ඒ අය ගැන තියන වෛරී හැඟීම් ටිකෙන් ටික වෙනස් වෙන්න පටන් ගන්නවා. ඔන්න ඔය විදිහට නව යෞවන වයසේ හෝමෝන කැළඹීමත් එක්ක ජීවිතේට මුහුණ දෙන එංගලන්ත ජාතික ගැහැනු ළමයෙක් ගැන කතාවකුයි 2024 ආව ස්වාධීන සිනමාපටයක් වුණ Bird වල තියෙන්නෙ.

එංගලන්තය කිව්ව ගමන් ගොඩක් වෙලාවට මතක් වෙන්නේ හිරු නොබසින අධිරාජ්‍ය. ලෝකෙ පුරා ලොකු පොඩි නොයෙක් රටවල් මොන ක්‍රමයකින් හරි යටත් කරගෙන "සුද්දා" ගොඩ නැගුව සුපිරි රාජධානිය. එහෙම නැත්නම් ලෝකෙම අගනුවර විදිහට සලකන ලන්ඩන් නගරය, ලන්ඩන් පාලම, බිග්බෙන් එක, රාජකීය පවුල, බකින්හැම් මාළිගාව වගේ දේවල් ටිකක්. කොහොම වුණත් ඔය දූපත ලෝකෙ තියන ප්‍රබලම රාජ්‍යයක් විදිහට තමා අපේ මතකයෙ තියෙන්නෙ. හැබැයි ඔය එංගලන්තයේම උතුරුදිග කෙන්ට් ප්‍රාන්තයේ තට්ටු ගෙවල් පේළි අතරේ තියන ගොඩනැගිල්ලක උඩම තට්ටුවට ගිහිල්ලා පහත බැලුවාම පේන චිත්‍රය නම් ඊට හාත්පසින්ම වෙනස් එකක්. බිත්තිවල අඳපු graffiti චිත්‍රවලින් වැහුණ අපිරිසිදු කඩවීදි, එක එක ජාති මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වුණ තරුණ කාණ්ඩ, හරි හැටි අම්ම තාත්තා කවුද නොදැන අයාලේ හැදෙන ළමයි, අවුල් වෙච්ච පවුල් ජීවිත, ඔය වගේ දේවල් ටිකක් තමා පසුබිමේ පේන්න තියෙන්නෙ. Bird චිත්‍රපටියෙ කතාවට පාදක වෙන ගෑනු ළමයා ජීවත් වෙන්නෙත් ඒ වගේ වටාපිටාවක.

එයාගෙ නම බේලි, බේලිට වයස 12 යි. කිව්වත් වගේ එයා ඉන්නේ ළමා වයසත් නව යෞවන කාලයත් වෙන්වෙන සීමාව උඩ. බේලි ජීවත් වෙන්නෙ එයාගෙ තාත්තා බග් සහ තාත්තාගෙ කලින් කසාදයක දරුවෙක් වුණ හන්ටර් එක්ක තට්ටු නිවාසක. හන්ටර් කරන්නෙ එයාගෙ යාළු කොළු රෑනට වැටිලා පොඩි පොඩි මැරවැඩ කරන එක. තාත්තා බග් මන්ද්‍රව්‍ය විකුණනවා, ඒවා පාවිච්චි කරනවා, එයාගේ මත්ලෝලී යාළුවෝ එක්ක ගෙදර තිතරම පාටි දානවා. ඔය අතරේ බග් ආයෙම වතාවක් කසාදයක් කරගන්නයි හදන්නේ. ඒකට බේලි නම් පොඩ්ඩක් වත් කැමති නෑ. දවසක් බේලිට අහම්බෙන් වගේ ගවුමක් ඇඳගත්ත අමුතු පෙනුමක් තියෙන මනුස්සයෙක්ව මුණ ගැහෙනවා. එයා කාවදො කෙනෙක්ව හොයමින් යන කෙනෙක්. බේලි කියන්නේ සාමාන්‍යයෙන් අනික් අයව නුරුස්සන ගති ගුණ තියන ළමයෙක්. එයා මේ අමුතු මනුස්සයාවත් වැඩියෙ මායිම් කරන්නෙ නෑ. නමුත් ආයෙ දවසක් මේ දෙන්නා මුණගැහෙනවා. එයා හොයන්නෙ කාවද? සහ බේලිලාගේ ජිවිතවලට මොන මොන දේවල් සිද්ද වෙයිද? ඒක දැනගන්න නම් Bird චිත්‍රපටිය බලන්න වෙනවා.

Bird නිර්මාණය වෙන්නෙ ස්වාධීන සිනමාපටයක් විදිහට. ඒ කියන්නෙ ප්‍රධාන නිශ්පාදන සමාගමකින් තොරව නිර්මාණය වෙන වැඩක් විදිහට. මේක නිව්‍ යෝක් නගරේ ජාතික සිනමා විචාරක මණ්ඩලය විසින් 2024 වසරේ හොඳම ස්වාධීන සිනමාපටි 10 න් එකක් විදිහට නම් කරලා තියනව. මේකෙ නිර්මාණය කරල තියෙන්නෙ American Honey, Fish Tank වගේ චිත්‍රපටි රසිකයන් අතරෙ ජනප්‍රිය වුණු වැඩ කිහිපයක්ම කරලා තියන Andrea Arnold කියන අධ්‍යක්ෂවරිය. ඒ වගේම මේකේ Barry Keoghan ගේ රඟපෑම ගැන කතා නොකර බෑ. Barry ට තියන අමුතු පෙනුම එක්ක අපි එයාව ගොඩක් දුරට දැකලා තියෙන්න දුෂ්ට නපුරු චරිත වලින්. නමුත් ඊට වෙනස්ව තාත්තා කෙනෙකුගේ චරිතයක් (බග්) රඟපාන හැටි දකින්න ලැබෙන පළවෙනි අවස්ථාව මේක වෙන්න ඕන. හැබැයි Barry වගේ සෑහෙන තරුණ කෙනෙක් තාත්තා කෙනෙකුගේ චරිතයට ගැලපේවිද කියලා කෙනෙකුට හිතෙන්න පුළුවන්. ඒත් චිත්‍රපටියෙ විදිහට බග් තාත්තා කෙනෙක් වෙන්නේ සෑහෙන අඩු වයසෙන්. බග් විතරක් නෙමේ ඒ පරිසරයේ හැදෙන වැඩෙන ගොඩක් අය එහෙම බවයි අපි දකින්නේ.

නමේ හැටියටම මේකේ කුරුල්ලා කියන සත්ත්වයා ව සංකේත රූපයක් විදිහට චිත්‍රපටිය පුරාම භාවිත වෙනවා. පොළවේ ඉන්න අපිට අහසේ පියාඹන කුරුල්ලන්ව පේන්නේ බොහොම නිදහසේ පාවී යන සත්ත්ව කොට්ටාසයක් විදිහට. එහෙම බැලුවම බේලිලාගේ බග්ලාගේ ජීවිතත් එහෙමද කියලා හිතෙනවා. අපිට එයාලාව පේන්නෙ ජීවිතේ ඇතුළේ ලොකු බරසාර අරමුණු නැති, යන්තම් එදාවේලෙ හොයාගෙන ජීවත්වෙන අපිළිවෙළ, අවුල්සහගත නමුත් නිදහස්කාමී පාවෙන ජීවිත විදිහට. ඔය පරිසරයක හැදෙන වැඩෙන ළමයි වුණත් අන්තිමට ඔය තාලෙටම ලොකුමහත් වෙන එකයි වෙන්නෙ. ඒකට හොඳම උදාහරණය හන්ටර්. අපේ සමාජෙ ඇතුළෙ වුණත් එක්තරා සමාජ තීරුවක් ඇතුළෙ මේ වගේ අයව අපිට මුණගැහෙනවා. එයාලා බොරු වැදගත්කම් සලකන්නෙ නැති "ප්‍රබුද්ධ" සමාජයට වැද්ද නොගන්න අය. නමුත් ජීවිතේකට ඇත්තටම වටිනාකම් කියල දේවල් තියනව නම් ඒව මොනවද කියලා චිත්‍රපටිය අවසානෙදි පෙන්වා දෙනව කියල මම හිතනවා. Bird කියන්නෙ මේ අවුරුද්දෙ ආව හොඳම වැඩක් වෙන්නෙ එහෙමයි.



Friday, December 20, 2024

Anora (2024)

ඉස්සර රූපවාහිනියෙ ගියා "පළිඟු මැණිකේ" කියල නාට්ටියක්. ඕකෙ හිටපු සූරසේන කියන චරිතෙ නිතරම කියන්න පුරුදු වෙලා හිටිය "පට් පට් ගාලා සම්තිං එකක්" කියන වචන ටික ඒ කාලෙ සෑහෙන ජනප්‍රිය වෙලා තියනව. 70 දශකෙ අන්තිමේ විවෘත ආර්ථිකය එක්ක ආව ධනවාදී ක්‍රමය ඇතුළෙදි ඒ වෙනකල් පැවතුණු පැරණි වැඩවසම් සමාජ වටිනාකම් ක්‍රමයෙන් අහෝසි වෙලා "ධනය" කියන දෙය කෙනෙකුගේ තත්ත්වය සහ සමාජ පැවැත්ම තීරණය කරන මූලික සාධකය වෙද්දී, ගමෙන් නගරයට ගිහින් ඉක්මණ් ක්‍රමවලින් මුදල් හම්බ කරගන්න පෙළඹුණු නාගරිකරණය වුණ තරුණයාවයි සූරසේන ගෙන් නියෝජනය වුණේ. අද වෙද්දි තමන් තනියම "ගේමක් ගහල ගොඩයන්න" හදන ව්‍යවසායක තරුණයා කියන්නෙ සූරසේනටම කියන තවත් නමක් තමයි. ධනවාදී ක්‍රමය අද වෙනකොට ගෝලීය සංසිද්ධියක් නිසා කාටවත් ඒකෙ බලපෑමෙන් ගැලවෙන්න බැහැ. පරම්පරාවෙන් උරුම වෙච්ච ලොකු සල්ලියක්, දේපළක් නැත්නම් ලෝකෙ කාටත් ජීවිතේ ගැටගහගෙන යන්න මුදල් හොයාගන්න "මොකක් හරි ගේමක්" ගහන්න සිද්ධ වෙලා තියනව. හැබැයි ඔයා ඇහැටකණට පේන තරුණ ගෑනු ලමයෙක් නම් ඔයාට තියනව කාටත් නැති විශේෂ අවස්ථාවක්. ඒ තමා ඔයාගෙ ශරීරෙට, තරුණකමට තියන ඉල්ලුම. ඒ ඉල්ලුමට සැපයුම දෙනව කියන්නෙ ලේසියෙන්ම ගොඩයන්න පුලුවන් මාර්ගයක්. Sean Baker ගෙ 2024 අවුරුද්දේ ආව Anora චිත්‍රපටියෙදි අපිට මුණ ගැහෙන, ඇමරිකාවේ බෲක්ලින්වල ජීවත් වෙන Anora නැත්නම් Ani කියන ගෑනු ලමයා Sex worker කෙනෙක් බවට පත්වෙන්නෙ එහෙම.

Anora වැඩකරන්නෙ බෲක්ලින් වල තියන ක්ලබ් එකක. එතනට එන ගණුදෙනුකාරයින්ව පිනවන එක තමා එයාගෙ රස්සාව. එයා වගේ තව ගෑනු ලමයි ගණනාවක්ම එතන වැඩකරනවා. දවසක් Anora ගෙ පාරිභෝගිකයෙක් බවට පත් වෙන රුසියානු ජාතික යෞවනයෙක් වුණු ඉවාන් එක්ක එයා ටිකක් වැඩිපුර දැන හැඳුනුම් කමක් ඇති කරගන්නවා. ඉවාන් Anora ට එයාගෙ ගෙදර එන්න කියලා ආරාධනා කරනවා. ඉවාන් ගේ ගෙදර යන යන Anora ට තරු විසිවෙන්නෙ ඒ ගෙදර දැක්කම. ඒක ගෙයක් නෙමෙ මන්දිරයක්. අතට පයට වැඩකාරයො එක්ක ඉවාන් ඒ ගෙදර හිටියෙ තනියෙන්.

රුසියාවේ ජීවත් වෙන ඉවාන් ගෙ දෙමව්පියො එසේ මෙසේ අය නොවෙයි ලෝක ප්‍රසිද්ධ චරිත කියලා Anora දැනගන්නව. ඉවාන් Anora වෙනුවෙන් පිස්සෙක් වගෙ මුදල් වියදම් කරනවා. දෙන දෙයියො ටොකු ඇන ඇන දෙන්න පටන් අරගෙන බව Anora ‌ට තේරුම් යනවා. ඔහොම ටික කලක් ආශ්‍රය කරද්දි Anora ගැන ලොකු කැමැත්තක් ඉවාන්ට ඇති වෙලා අන්තිමට දෙන්නා කසාදත් බඳිනව. දැන් දෙන්නට ඕන තැනක ඇවිදින්න පුලුවන්, ඕන විදිහට පාටි දාන්න පුලුවන්, ඕන තැනක ඕන වෙලාවක Sex කරන්න පුලුවන් කිසිම ප්‍රශ්නයක් නෑ. ජීවිතේ හරිම විනෝදයි. කාටවුණත් විපතක් සිද්ද වෙනකොට හිනාවෙන්න හොඳ නෑ තමා නමුත් කතාවේ හිනා යන සුළු හොඳම හරිය එන්නෙ ඉන් පස්සෙ.

Sean Baker ගෙ Anora ෆිල්ම් ගැන Letterboxed වල කෙනෙක් අපූරු කතාවක් කියල තිබ්බා. ඒ තමා Martin Scorsese ගැන්ග්ස්ටර්ලට කරමින් ඉන්න දෙය ෂෝන් බේකර් sex workers ල ට කරමින් ඉන්නව කියලා. Scorsese කියන්නෙ Gangster චරිත මුල්කරගෙන අදාළ තේමාව යටතේ සෑහෙන චිත්‍රපටි හැදුව කෙනෙක්. ඒව ඒ ගණයේ හොඳම වැඩ විදිහට පිළිගැනෙනව. Sean Baker කියන්නෙ ඒ වගේම Sex worker ල, Porn Star ල, අනවසර සංක්‍රමණිකයො, මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වුණු අය වගේ අතිශ්‍ය පීඩාකාරී සහ අවමානයට ලක්වුණු ජීවිත ගත කරන්න සිද්ද වෙලා තියන චරිත මුල් කරගෙන චිත්‍රපටි හදන කෙනෙක් විදිහටයි හඳුනාගැනෙන්නෙ. ඩිස්නිලන්තය, සින්ඩරෙල්ලා වගේ චරිත, නූතන ලෝකෙ සුරංගනාමය විසිතුරු දේවල් ඒ චිත්‍රපටි ඇතුළෙ වැඩිපුර අපිට මුණගැහෙනවා. තේමාත්මක පැත්තෙන් වගේම colors, backgrounds, music වගේ අනෙක් දේවල් එක්ක Baker ගේ චිත්‍රපටි නූතන සිනමාව විදිහට නම් කරන්න පුලුවන්. Anora කියන්නෙත් අන්න ඒ වගේම වැඩක්.

Anora ගේ ශරීරයේ සමනලයෙකුගෙ ටැටූ එකක් තියනව. ඒ ටැටූ එකෙන් ඇයවම නිරූපිත වෙනව කියල මම හිතනව. කලින් කිව්වා වගේ වැඩිපුර දුක් මහන්සි නොවී ජීවිතේ පවත්වගෙන යන්න හැකියාව තියන අයිවන්ලා සුළු පිරිසක් මේ ලෝකෙ හිටියත් බහුතරයක් වුණු Ani ලා ට අපි ට එහෙම ජීවිතයක් උරුම වෙලා නෑ. නැව ගිලුණත් ඉතින් මොකෝ? කියලා හැරිලා යන්න අපිට බෑ. ඉවාන්ලා ගේ ලෝකය තියෙන්නෙ අපිට ආලෝක වර්ෂ ගණනාවක් ඈතින්. සමනලුන් ගේ අත්තටු කොයිතරම් සියුම් ද. උකුස්සෝ, රාජාලි එක්ක මේ සමනලුන්ට හැරෙන්නවත් බෑ. හැබෑයි රළුපරළු බිමක වුණත් සමහර විට මල් පිපෙනවා. ආදරය, කාරුණික බව, ළතෙත් බව පිරුණු පොලවක ජීවිතයෙ සතුට සැනසීම මල්ඵල දරනවා. තටු රිදුණු, ආත්මය හිස් වුණු සමනල් හිතක සැනසුම සීතල හිම වැටෙන කටුක බිමක හැදුණ එකම එක පොඩි පඳුරක හෙවණේ රැඳිලා තියනව.
.
.

ප.ලි. Anora කියන්නෙ 2024 අවුරුද්ද වෙනුවෙන් Palme d'Or අරගත්තු වැඩේ. Palme d'Or කියන්නෙ Cannes සිනමා සම්මාන උළලේ පිරිනැමෙන ඉහළම ත්‍යාගය. 2011 ටෙරන්ස් මලික් ගේ Tree of Life ට පස්සෙ ඇමරිකානු චිත්‍රපටියකට මේක ලැබෙන්නෙ අවුරුදු 13 කින්. Anora විදිහට Mikey Madison වසරේ මතක හිටිනම Act එකක් කරනව. 2021 දි හොඳම විදෙස්භාෂා චිත්‍රපටි වෙනුවෙන් ඔස්කාර් නිර්දේශ වුණු Compartment number 6 වල රඟපෑව Yura Borisov මේකෙ ප්‍රධාන චරිතයක් කරනව. Sean Baker මේක Yura Borisov ව තෝරගෙන තියෙන්නෙ Compartment number 6 බැලුවට පස්සෙයි.



Tuesday, December 17, 2024

A Different Man (2024)

 "A man's face is his autobiography. A woman's face is her work of fiction."


- Oscar Wilde
.
.

අපි හැමෝටම අපි එක්තරා විදිහකින් විශේෂ කැමැත්තක් දක්වන පුද්ගල ප්‍රතිරූපයක් තියනවා. තවත් විදිහකින් කිව්වොත්, බාහිර පෙනුමෙන් හරි, චරිත ස්වභාවයන්ගෙන් හරි, එක්තරා විශේෂිත ගතිගුණාංගයන් තියන අයට අපි වැඩිපුර කැමැත්තක් දක්වනවා. එහෙම වෙන්න හේතුවක් පැහැදිලි කරගන්න බැරි වුණාට ගොඩක් වෙලාවට ඒක එහෙමයි. දවසක ඔය වගේ අපි කැමති විදිහේ කෙනෙක්ව හමුවුණොත් එහෙම කෙනෙක් ගැන අපි ඇතුළේ විශේෂ බැඳීමක් ඇති වෙන එක ස්වාභාවිකයි. නමුත් ඔතන ගැටළුවක් තියනවා. සමහර විට ඔය ආකාරයෙන් අපි කැමති අය කිහිප දෙනෙකුවම මුණ ගැහෙන්න පුළුවන්. එතකොට ඒ අය කොහොමද ජීවිතය ඇතුළේ අපිට සමීප වෙන්නේ? අනික් කාරණාව, මෙහෙම එක විශ්ෂ පුද්ගල ස්වරූපයක් තියන කෙනෙකුට අපේ කැමැත්තක් ඇති වෙලා තියෙද්දී මොකක් හෝ හේතුවක් නිසා හරි ඒ පුද්ගලයා තමන්ගේ ගතිගුණාංගයන් නැත්නම් පිටස්තර ස්වරූපය වෙනස් කරගත්තොත් ඉන් පස්සෙත් අපිට ඒ කෙනාව කලින් වගේම දැනේවිද? 2024 දි ආව A Different Man කියන්නෙ මේ විදිහෙ පුද්ගල ප්‍රතිරූපවලට, ඒ වෙනුවෙන් ලැබෙන ප්‍රතිචාරවලට මිනිස්සු දක්වන ආශාවත්, මනුස්ස සම්බන්ධකම් ඇතුළෙ මේ දේවල් වැඩකරන හැටි ගැනත් ටිකක් "බරට" දැනෙන්න කරලා තියන වැඩක්.

මෙහෙම කියද්දි මේ අවුරුද්දෙ ආව The Substance චිත්‍රපටියත් බැලූ කෙනෙකුට මතක් වෙන්න ඕන. පෝස්ටරේ බැලුවම පේන විදිහට මේකත් ඒවගේ එකක් තමා, ඒත් ඒ වගේමත් නෙමේ. The Substance ගැහැණු කේන්ද්‍රීයයි සහ A Different Man පුරුෂ ක්‍රේන්ද්‍රීයයි. මේක තමා මූලිකම වෙනස. The Substance ඇතුළේ අපි දකින්නේ වියපත් වී ජරාජීර්ණ වීමට එරෙහිව ඇගේ මුහුණ (බාහිර පෙනුම) වඩා හොඳින් "ප්‍රබන්ධගත" කරගන්න වෙහෙසෙන ගැහැනියක්. A Different Man චිත්‍රපටියේ ඉන්නෙ තමන්ගෙ විකෘති මුහුණ නිසා අතෘප්තියට පත්වුණු සහ ඒ නිසා තමන්ට අහිමි වුණු යම් කිසි තත්වයක් අත්පත් කරගන්න වෙර දරන මනුෂ්‍යයෙක්. ඔහු තමන්ට නොලැබුණු දේවල් ලබා ගත් අය ගැන ඊර්ෂ්‍යාවකින් පෙළෙන්නෙක්. තමන්ගේ කියලා ඔහු සලකන කෙනෙක් වෙනත් කෙනෙකුට ළං වෙනකොට ඔහුට එය දරාගන්න බෑ. මේ ලිංගික ඊර්ෂ්‍යාව ඔහු ඇතුළේ තදින්ම තියන බව පෙනෙනවා. ඒ හැඟීම ඔහුගෙ ජීවිතය තදබල අවුලකට ඇද දමන්න මූල හේතුව වෙනවද කියලත් හිතෙනව. මේ චිත්‍රපටි දෙක එකළඟින් තිබ්බොත් එකම ගැටළුවකදී ස්ත්‍රී පුරුෂ භාවයන් ඇතුළේ මේ දෙකොට්ටාශය දක්වන වෙනස් ප්‍රතිචාරයන් කියවාගත්තකි.

මේ චිත්‍රපටි දෙක අතරේ වෙනස සළකුණු කරන තවත් ප්‍රධනම තැනක් වෙන්නෙ "මානව සම්බන්ධතා" කියන මාතෘකාව බවයි මං හිතන්නෙ. A Different Man ඇතුළේ ප්‍රධාන වශයෙන් ප්‍රේම වෘතාන්තයක් මූලික වෙනවා. බාහිර පෙනුම "විකෘති" මනුස්සයෙක් "ප්‍රකෘති" පෙනුමක් ලබාගෙන තමන්ගේ ජීවිත පැවැත්ම තවත් අවුල් ජාලාවකට ඇද දමාගන්නා හැටි අපි මේ චිත්‍රපටියෙදි දකිනවා. ජීවිතේ ඇතුළෙ දි "ප්‍රකෘතිය" වෙන්නෙ ඒකෙ තියන වියවුල් සගගත බවද කියන ගැටලුව එක පැත්තකින් තියෙද්දි, ඒ අවුල් සහගත බව එක්ක බැඳීමක් ඇතුළේ තියන ප්‍රේමණීය බව දියාරු වී යනවා. The Substance එතනදි විමසා බලන්නේ තනි පුද්ගල චරිතයක ඇතුළු ආත්මය දිහා. එතනදි "පිට ඔපය" වෙනුවෙන් ඇති අධික තෘෂ්ණාව කෙනෙකුගේ විනාශය ලඟා කරදෙන ආකරයයි දැකගන්න ලැබෙන්නෙ. The Substance Sci - Fi/ Thriller එකක් නම් A Different Man කියන්නෙ Romance පැත්තටත් බර Dramatic/ Thriller එකක්. එකම අවුරුද්දෙදි එකම තේමාවක් ඇතුළෙ වෙනස් විදිහට කියවාගත හැකි චිත්‍රපටි දෙකක් එක ළඟ නිකුත් වීම හරි අපූරු වැඩක්.

විකෘති පෙනුමක් ඇති මනුස්සයෙකුගෙ චරිතය රඟපාන Adam Pearson ඇත්තටම එවැනි පෙනුමක් ඇති කෙනෙක් බව දැනගන්න ලැබීම විස්මය දනවන කාරණාවක් වුණා. ඔහුට එහෙම වෙලා තියෙන්නෙ Neurofibromatosis නම් රෝගී තත්වය නිසා. මේ විකෘති පෙනුම එක්තරා ආකාරයකට ඔහුගෙ ජීවිතේට වාසනාව අරගෙන ඇවිත් තියන බවකුයි පෙනෙන්නෙ.

A Different Man බලන්න ගත්තෙ නම් සාමාන්‍ය මට්ටමෙ හොඳ thriller වැඩක් බලන්න වුණත් දැකගන්න ලැබුණෙ හිතුවට වඩා ගැඹුරක් තියන, බරක් තියන තව කාලයක් වුණත් හිතමින් කල්පනා කරන්න දේවල් තියන thriller/ drama එකක්. මේ පිටපත මේ අවුරුද්දට ආව හොඳම එකක් බවට සැකයක් නෑ. අනික් විශේෂත්වය කැප්ටන් ඇමරිකා වල වින්ටර් සෝල්ජර් වෙලා හිටිය Sebastian Stan ගේ වෙනස්ම රඟපෑමක් දෑකගන්න ලැබීම. Stan විසින් නිරූපණය කළ Edward ගැන වෙලාවකට ඇති වෙන්නෙ තරහක්, තව වෙලාවකට අනුකම්පාවක්. නමුත් මේ Edward අඩු වැඩි වශයෙන් අපි ඇතුළෙම ඉන්න කෙනෙක්. අපේ ජීවිත ඇත්දැකීම එක්ක සමපාත කරගෙන අපි තුළ ඉන්න Edward ව හඳුනාගන්න උත්සහ කිරීම මේ චරිතය තේරුම් ගන්න පහසුවක්.



Monday, December 2, 2024

The Count of Monte Cristo (2024)

ඔබ ඕනෑම වෙලාවක එන්න
මා සිටින්නේ සංතෝෂ විල අසල
උසම උස ගසකයි !

මා මේ කවිය ලියන්නේ
කිසිදු වේදනාවකින් තොරවයි !
.
.
.
ගම් දනවු වලින් ඈතට
උසගසක වෙසෙන
රෞද්‍ර ගිජු ලිහිණියකු ගැන පුවතක්
නුදුරේදීම ඔබට සැලවෙයි

නමුත් විස්වාස කරන්න !
මා සිටින්නේ සංතෝෂ විල අසල
උසම උස ගසකයි !
.
.
2024 අවුරුද්දේ තිරගත වුණු මොන්තෙ ක්‍රිස්ටෝ සිටුතුවරයාගේ කතාව අවසානෙ මගෙ මතකයට ආවේ ශෂීන් ගේ මේ කවිය. උරහිස් දෙපැත්තෙන් පියාඹන වැහිලිහිණි කුරුල්ලන් දෙන්නෙකුව පච්ච ගසාගෙන සිටි එඩ්මුන්ඩ් දාන්තේ නම් තරුණයා හිටි හැටියේ අතුරුදහන් කිරීමට ලක්වෙලා නැවත පුනරාගමනය කරන්නේ "උස ගසක වෙසෙන රෞද්‍ර ගිජු ලිහිණියකු" ගේ රූපකයට මනාව ගැළපෙන මොන්තෙ ක්‍රිස්ටෝ සිටුතුවරයා බවට පත්වෙලා. ඒ කතාව සෑහෙන විස්මයක් ඇති කරවන සුළුයි. නමුත් එක අතකින් එඩ්මුන්ඩ් දාන්තේ මුහුණ දෙන්නට වුණු සිදුවීම් මාලාව දිහා බැලුවාම, ඔහුට එහෙම වෙන එක පුදුමයකුත් නෙවෙයි. මොකද ඒක ඒතරම්ම ඛේදජනකයි. එඩ්මුන්ඩ් දාන්තේ මුළු හදින් ප්‍රේම කළ තරුණියක් උන්නා. ඇගෙ නම මර්සිදීස්. දෙව් මැදුරක අල්තාරය ඉදිරියේ එඩ්මුන්ඩ් සහ මර්සිදීස් ගෙ විවාහ බන්ධනය සිදුකරමින් තිබෙනා මොහොතේ දීම ඔහුව ඇයගෙන් ඉවතට රැගෙන යනවා. එඩ්මුන්ඩ් ඉතාම ප්‍රියමනාප උද්යෝගිමත් නාවිකයෙක් බව ඇත්ත. නමුත් වෛරයත් ඊර්ෂ්‍යාවත් පිරුණු දෑස් යුගල කිහිපයක් ඔහු දිහාට යොමුවෙලා තිබුණා. එඩ්මුන්ඩ් ඉතාම අඩු වයසෙන් නැවක කපිතාන් වරයෙකු බවට පත්වෙද්දී ඒ තනතුරුවලට ඇසගසාගෙන හිටි අයගේ ඇස්වලට කටු අනින්නාසේ වුණා. අනෙක් කාරණය මර්සිදීස්. මේ රූමත් තරුණියට පෙමින් බැදී සිටි එකම තැනැත්තා තමා නොවෙන බව එඩ්මුන්ඩ් දාන්තේ නොදැන ඉන්න ඇති. එයින් සිදු වුණේ දාන්තේට රහසින් වෛර කරන්නන් කණ්ඩායමක් ක්‍රමයෙන් නිර්මාණය වීමයි. එහි අවසාන ප්‍රතිඵලය මේ නාඳුනන සතුරන්ගේ දුෂ්ට සැලසුම් ක්‍රියාත්මක වී නැවත ගොඩ එන්න බැරි තරම් අඳුරකට ඔහු ඇදවැටීම. නමුත් ඒ අගාධ පතුලෙන් ජීවිතය පවත්වාගෙන එල්ලිලා ඉන්න පිදුරුගහක් එඩ්මුන්ඩ් සොයාගන්නවා. අවුරුදු ගණනාවක් දුක් විදලා මේ වැටුණු වලෙන්, නැතිනම් ඔහුගේ සතුරන් ඔහුව ඇද දැමුව අගාධයෙන් ගොඩ එන්න ඔහු සමත් වෙනවා. නමුත් ආපහු එන්නේ ඇදවැටුණු නිදහස්කාමී වැහිලිහිණියා වන එන්මුන්ඩ් නොවෙයි, පළිගැනීමේ රෞද්‍ර ගිජුලිහිණියෙක් වුණු මොන්තෙ ක්‍රිස්ටෝ සිටුවරයා.

අසූවේ අනූවේ දශකවල ළමයි වෙච්ච අපිට මොන්තෙ ක්‍රිස්ටෝ සිටුවරයා කියන්නේ නුහුරු චරිතයක් නෙවෙයි. ටයිටස් තොටවත්ත මහත්මයාගේ හඬකැවීමක් විදිහට ඒ යුගයෙදි ජාතික රූපවාහිනියෙන් විකාශය වුණු මේ කතාව මනුතාපය, යවෙස් ලූ මිනිසා, දෙනුවර අන්දරය, සුරඟන කතා කරළිය, රොබින්හුඩ් වගේ කතාමාලාවන් එක්ක අපේ ළමා කාලෙ මතක අතරේ තවමත් රැඳිලා තියනවා. මොන්තෙ ක්‍රිස්ටෝ චරිතය ලාංකික සහෘදයාට සමීප වෙන අනෙක් ආකාරය තමා කේ.ජී. කරුණාතිලක මහත්මයා පරිවර්තනය කළ මොන්තෙ ක්‍රිස්ටෝ පොත් පෙළ. මතක විදිහට පොත් හයක පමණ කාණ්ඩයකින් එතුමා ප්‍රංශ ලේඛක ඇලෙක්සැන්ඩර් දියුමා ගේ The Count of Monte Cristo නවකතාව මුළුමණින්ම සිංහළට පරිවර්තනය කළා. නැවත වතාවක් 2024 අවුරුද්දේ ප්‍රංශ බසින් මේ නමින්ම නිපදවෙන මේ චිත්‍රපටිය හරහා මොන්තෙ ක්‍රිස්ටෝ සිටුතුවරයාගෙ චරිතය අපි හමුවට එනවා. පොත් හයක පමණ අති දීර්ඝ කතා පුවතක් පැය 3 කට ආසන්න ධාවන කාලයක් ඇති චිත්‍රපටියකට අනුවර්තනය කිරීම පහසු කටයුත්තක් නොවෙයි නේ. නමුත් දැකගන්න ලැබුණු විදිහට අදාළ නවකතාව මුල්කරගෙන චිත්‍රපටි ගණනාවක්ම මේ වෙද්දි නිර්මාණය වෙලා තිබුණත් 2024 ආව මේ චිත්‍රපටිය ඒ අතර ඉහළම තැනක තියන්න පුළුවන් බවයි බොහෝ දෙනා කියා තිබුණේ. විශේෂයෙන්ම මේකෙ රෑප රාමු, පසුතල, 1800 ගණන් වල ඇදුම් ආයිත්තම්, මහා මන්දිර වගේ දේවල් ඉතාම සිත්ගන්නා සුළු විදිහට චිත්‍රපටිය ඇතුළේ භාවිත කරලා තියෙනවා. සරලවම කිව්වොත් මේක රූපමය සෞන්දර්යය අතින් ඉහළ සිනමා නිර්මාණයක්. රගපෑම්, පසුබිම් සංගීතය වගේ අනෙකුත් කාරණාත් ඒවගේම ඉස්තරම් බව කියන්න පුළුවන්. වැදගත්ම දෙය මුල් කෘතියේ කතා සාරය නොමරා ඒ චරිතවල ගැඹුර ඒ විදිහටම මතු වෙන ආකාරයෙන් සිනමා තිරයට රැගෙන ඒම නම් The Count of Monte Cristo කියන්නේ මොන්තෙ ක්‍රිස්ටෝ සිටුවරයා පොත් පෙළ කියවලා දැනටම කතාව දන්න කෙනෙකුට වුණත් බැලුවට පාඩුවක් නැතිවෙන විදිහේ වැඩක් බව කිවහැකියි. "පලිගැනීම" කියන මාතෘකාව විශය කරගෙන ලෝක සාහිත්‍යයේ බිහිවුණු විශිෂ්ටතම කෘතියක් විදිහටයි මොන්තෙ ක්‍රිස්ටෝ සිටුවරයාගෙ කතාපුවත පිළිගැනෙන්නේ. තම ජීවිතයම අඳුරට ඇද දැමුව මිනිසුන්ටත් ඒ හා සමාන විනාශයක් අත්කරදීමයි මොන්තෙ ක්‍රිස්ටෝ ගේ එකම අරමුණ වුණේ. මේ පළිගැනීමේ ද්වේශ සහගත මාවත අවසානයෙ ඇත්තටම තියෙන්නෙ මොනවද? ඔහු පතනන සාධාරණය යුක්තිය අවසානෙදි වත් ඔහුට ඉටුවේවි ද? දේවේශයෙන් ආරම්භවන මාවතක් සැනසුම් සහගත බවකින් කවදාකවත් කෙළවර කරගන්න පුලුවන් ද? මුළු කතාවේ සාරය රැඳී තිබෙන්නේ අන්න එතන.