Friday, August 1, 2025

Materialist (2025)

විවාහය කියන්නෙ කොයි අතින් බැලුවත් හරි අපූරු දෙයක්. ඔයා තමන්ගෙ සහකාරයට විශ්වාසවන්ත වෙනවා, දුකේදිත් සැපේදිත් එයා ළඟින්ම ඉන්නවා කියලා ප්‍රසිද්ධියේම කියලා කොලේකත් අත්සන් කරලා පටන් ගන්න එකම සම්බන්ධකම ඒක විතරයි. වෙන කිසිම බැඳීමක් ඇතුළේ අනෙකා සම්බන්දයෙන් මේ වගේ දෙයක් ලිඛිතව සිද්ද වෙන්නෙ නැහැ. ඔයා මගේ යාළුවෙක් වෙන්නේ ඔයාට උදව් ඕන වෙලාවට මම ඔයාගෙ ළග ඉන්නවා, මිනිස්සු ඔයාට හිනා වෙද්දී ඔයත් මාත් එක්ක එකතුවෙලා මාත් උන්ට හිනාවෙනවාය කියලා කොලේක අත්සන් කරලා නෙමේ. නැත්නම් ඔයාව මම යාළුවෙක් විදිහට තෝරගන්නෙ ඔයාගෙ රස්සාව මොකක්ද, මාසෙ පඩිය කීයද, පදින වාහනේ සෙකන් හෑන්ඩ් ද, ගෙදර කාමරේ ඇටෑච් බාත්රූම් තියනවද කියලා හොයලා නෙමේ. නමුත් ප්‍රේම සම්බන්ධ කම්, යාළු මිත්‍රකම්, නොයෙක් හිතවත් කම් මේවා ඇතුළේ යම් අප්‍රකාශිත ගිවිසුම්ගත වීමක්, එකඟතාවක් තියනවා. ඒවා කොහේවත් ලියලා නැහැ. අපි ඒ බැඳීම්වලට අවංකයි නම් වචනෙන් ප්‍රකාශ නොවෙන මේ එකඟතාවන් කොන්දේසි විරහිතව අපි පවත්වාගෙන යනවා. ඒ වගේ මිත්‍ර සම්බන්ධකමක් ජීවිතේ ඇතුලේ ඇති වෙන්නේ නිරායාසයෙන්මයි. කෙනෙකුගේ අදහස් සිතුම් පැතුම් අපිට සමීපව දැනෙනවා නම්, ඒ පුද්ගලයා එක්ක අදහස් හුවමාරු කරගන්න එක පහසුවක් නම් ස්වභාවයෙන්ම ඒ වගේ දෙන්නෙක් අතරේ කිට්ටු හිතවත්කමක් ඇතිවෙනවා. මේ සම්බන්ධකම් ජීවිතේ ඇතුළේ කොයිතරම් දුරක් යනවද කියන දේ තීරණය වෙන්නේ අර අප්‍රකාශිත ගිවිසුම කොයිතරම් දුරට මේ අය සපුරාලනවද කියන දේ උඩ තමා. නමුත් විවාහය කියන තැනට ආවම, ඉතිහාසය ඇතුළේ විවාහය කියන එක සමාජ චාරිත්‍රයක් බවට පත්වෙනකොට එතෙක් වචනෙන් ප්‍රකාශ නොවුණු එකඟතාවක් විදිහට පැවතිච්ච මේ විවාහය ඇතුළට ලිඛිත ගිවිසුම් ගත වීම අනිවාර්ය අංගයක් විදිහට එකතු වෙන්න ඇති. 2025 ආව Materialist චිත්‍රපටිය පටන්ගන්නේ විවාහයේ මේ ඉතිහාසගත පසුබිම ගැන පොඩි ඉඟියක් ලබා දීලා. මේ Film එක නූතන සමාජේ මිනිස්සු භෞතික ජීවිතේ ගොඩනගාගන්න තරගෙට දුවන අතරේ විවාහ වෙන්න කෙනෙක් හොයාගැනීම කියන ප්‍රශ්නේ විසඳාගන්නෙ කොහොමද කියන කාරණේ මුල් කරගෙන හැදුන එකක් බව මං හිතනවා.

කසාද බඳින්නෙ ඇයි කියන ප්‍රශ්නෙට අවධානෙ යොමුකළොත් මේකට නොයෙක් අය ගාව නොයෙක් විදිහෙ උත්තර දෙන්න පුලුවන්. වයසට ගියාම වතුර ටිකක් හරි දෙන්න කෙනෙක් ඉන්න ඕන හින්ද, ලස්සනට ඇඳල ලොකු වෙඩින් එකක් ගන්න ආස හින්ද, අම්ම තාත්ත කියන හින්ද වගේ තැනක ඉඳන් කවුරු හරි කෙනෙකුට ආදරේ හින්ද සහ ඒ ආදරේ මනුස්සයා එක්ක හැමදාම ළඟින් ඉන්න ලැබෙන හින්ද කියන තැන දක්වා පරාසයක උත්තර ඒ අතර තියේවි. සමහර විට කෙනෙකු ගාව ඔය ප්‍රශ්නෙට හරි උත්තරයක් නැති වෙන්නත් පුලුවන්. නමුත් තමන් කසාද බඳින්න හොයන්නෙ කොයිවගේ කෙනෙක්ද, නැත්නම් තමන් කවද හරි බඳින කෙනා ගාව තියෙන්න ඕන කොයි වගේ දේවල්ද කියල හොයල බැලුවොත් මම හිතන්නෙ වැඩි දෙනෙකුට මේ ගැන අදහසක් තියනවා. අඩි හයක් උස, හම සුදු පාට, බඩ තිබීම හෝ නැති වීම, කෙට්ටුවීම, අධ්‍යාපන සුදුසුකම්, රස්සාව.. ඔය වගේ දේවල් ඒ අතර තියනව. ඉතින් ගොඩක් අය බලාපොරොත්තු වෙන්නෙ ඔය හැමදේකින්ම සියල් සපිරි කෙනෙක්ව හොයාගන්න එක තමා. සමහර වෙලාවට එහෙම හොයලා හොයලා ජීවිතේ තරුණ කාලෙ එහෙම හොයමින්ම ගෙවලා දාපු අයත් ඉන්නවා. ඕක ජීවිතේටම එකපාරක් ගන්න බලාපොරොත්තු වෙන තීරණයක් නෙ ඉතින් හොයන්නෙ නැතිව බැහැ තමා. ඔය ප්‍රශ්නෙ දිහා වෙනත් මානයකින් බැලුවොත් මම හිතන්නෙ ඔය කෙනා හොයාගන්න ඒක පහසුවක් වේවි කියලා. හිතන්න හෙට දවසෙ ඉඳන් ආයෙ මැරෙනකම්ම ජීවත්වෙන්න ඕන එක මනුස්සයෙක් එක්ක. ඉතින් එහෙම ජීවිතේ ගෙනියන්න නම් ඒ මනුස්සය කොයි වගේ කෙනෙක් වෙනව නම් ද වඩාත් හොඳ?


කසාද බඳින්න කෙනෙක් හොයනවා කියන්නෙ ජීවිතේටම බලපාන ලොකු තෝරාගැනීමක් හින්දා එතනදි කෙනෙකුට ගැළපෙන කෙනෙක් හොයාගන්න උදව්වෙන එක වෘත්තීයක් විදිහට කරන කට්ටියක් ඉන්නවා. ලංකාවෙ අපි මේකට කියන්නෙ මගුල් කපුකම කියල, ඇමරිකාවෙ නම් ඕකට කියන්නෙ matchmaking කියලා. මේ matchmakers ලා ගාව එයාලගෙ සේවා දායකයින්ගෙ විස්තර ඇතුළත් තොරතුරු ගොනුවක් තියනවා. ඉතින් මට ජීවිත සහකාරයෙක් හොයාගන්න ඕන නම් කරන්න තියෙන්නෙ ඊට අදාළ මුදලක් ගෙවලා මගෙ විස්තර ටික matchmaker කෙනෙකුට දෙන එක. එයාලා එතකොට මම බලාපොරොත්තු වෙන විදිහෙ ගතිගුණාංග තියන කෙනෙක් මගෙ කැමැත්ත අකමැත්ත අනුව තෝරගෙන අපි අතරේ date එකක් සංවිධානය කරනවා. එතනදි මාත් මට එයාල තෝරාදෙන සහකාරයත් එකිනෙකා ගැන දක්වන්නෙ කොයිවගේ ආකල්පයක්ද, ඒ කියන්නෙ පළමු හමුවීමෙන්ම සරලවම එයා ගැන මගේ මොකක් හැරි කැමැත්තක් ඇති වෙලා තියනවද කියන දේ ගැන හොයා බලනවා. එතින් එහෙම දෙයක් තියනව නම් මේ දැන හැඳුනුම්කම ඉදිරියට පවත්වගෙන යන්න මට පුලුවන්. Matchmaker ලා එතනදි අපි ලබන සාර්ථකත්වය ගැන අවධානයෙන් ඉන්නවා. කොහොම හරි මේ හමුවීම අවසානයෙදි විවාහයෙන් කෙළවර වෙන බවට සහතික වීමයි Matchmaker ගෙ රාජකාරිය. 


Lucy කියන්නෙ මේ වගේ Matchmaker කෙනෙක් විදිහට වැඩකරන ගෑනු ලමයෙක්. අනික් අයට කසාද බඳින්න උදව් කළාට Lucy තාමත් තනිකඩයි. පොඩ්ඩක් ඉන්න... ලුසී වගේ ලස්සන හැඩ ගෑනු ළමයෙක් (ලුසී ගෙ චරිතෙ කරන Dakota Johnson මාරම ලස්සනයි මට නම් මේ ෆිල්ම් එක ඇතුළෙ) ඔච්චර කාලයක් තනිකඩව ඉඳීවි කියල හිතන්න පුලුවන් ද.. ඇත්තටම එහෙම බැහැනෙ..  මේ පෝස්ටර් එකෙන් පෙන්නුම් කරන ආකාරයට Lucy ගේ ලෝකේ පෙම්වතුන් දෙන්නෙක් අතරේ දෝලනය වෙන එකක්.


පළමු වැන්නා, John හෙවත් දුප්පත් අසරණ තරුණයා. John තමා Lucy ගෙ පළමු ප්‍රේමවන්තයා. Lucy මැච්මේකිං පටන් ගන්න කලින් නිළියෙක් විදිහට වැඩ කරලා අසාර්ථක වුණු කෙනෙක්. John ඉන්නෙත් ඒ බෝට්ටුවෙ මයි. මම කියන්නෙ රඟපෑම කියන එක ජීවිතේ ලොකුම හීනයක් කරගෙන අන්තිමේ හරිහමන් වැඩකුත් නැතුව අතේ සතේ නැති ගාණට වැටිලා නමුත් රඟපෑමේ හීනය අත නොහැර සිටින්නන් ගේ බෝට්ටුවෙ... John ගෙ මේ ආකල්ප හින්දා Lucy රඟපෑමත් John වත් මේ දෙකම එකපාර අතහැර දමලා යනවා. නමුත් ජීවිතේ වෙනස්ම කාල රේඛාවක දි John සහ Lucy ආයෙමත් එකිනෙකා මුණගැහෙනවා. 


ඊළඟට දෙවැන්නා, සියල් සපිරි Harry. හැරී ට Lucy ව මුණ ගැහෙන්නෙ Lucy ගේ වෘත්තීය ජීවිතේ වැදගත් තැනකදි, ඒ කියන්නෙ wedding එකකදි. Harry ට අවශ්‍ය විවාහ වෙන්න කෙනෙක් හොයා ගන්න. Harry ඒකට උදව් පතන්නෙ Lucy ගෙන්. ඒක වෘත්තීමය උදව්වක් වුණත් Lucy තේරුම් ගන්නවා Harry කියන්නෙ කෙනෙකුට කලාතුරකින් මුණගැහෙන ජාතියේ දුර්ලභ පිරිමියෙකු බව. ඒකට හේතුව Harry කියන්නෙ කිසිම දේකින් අඩුවක් පාඩුවක් නැති පුද්ගලයෙක්. Harry එන්නෙම සල්ලිකාර පවුලකින්. සල්ලි පැත්තෙන් එයා ඉන්නෙ ඉහළම උඩම තැනක. එතකොට අනික් පැත්ත. මනුස්ස පැත්ත? උතුරන්න සල්ලි තියන පසුබිමකින් එන ගොඩක් මිනිස්සුන්ගෙ මනුස්ස ගති ගුණාංග අඩුයි, ලොකුකම වැඩියි, මෝඩයි... ඒත් පුදුමෙකට Harry ට නම් ඔය දුර්ගුණාංග එකක්වත් පිහිටලා නෑ. Harry බොහොම කාරුණිකයි, විනයගරුකයි, කඩවසම්, බුද්ධිමත්, උගත්.. පිරිමියෙකුට තියෙන්න ඕන හොඳ ගුණාංග ඔක්කොම කියන්න.. Harry ගාව ඒ හැම දේම තියන බව සහතිකයි. ඉතින් එහෙම පිරිමියෙක් බඳින්න කෙනෙක් හොයන්න තමන් ගාවට එද්දි ඒ මනුස්සයව තෝරා නොගෙන ඉන්න Lucy ට හේතුවක් තියෙන්න විදිහක් නෑ. 


Lucy, Harry සහ John කියන තුන්දෙනා අපිට මුණගැහෙන්න 2025 අවුරුද්දෙ ආව Materialists චිත්‍රපටිය ඇතුළෙ. මේකෙ අධ්‍යක්ෂණය සහ තිර රචනාව 2023 අවුරුද්දෙ ආව Past Lives නිර්මාණය කළ Celine Song ගෙ. Past Lives කියන්නෙ ඒ අවුරුද්දෙ විතරක් නෙවෙයි, බලන්න ලැබෙන හොඳම වර්ගයෙ Romantic චිත්‍රපටියක්. Materialists කියන්නෙ Celine Song ගේ දෙවනි වැඩේ. පළවෙනි චිත්‍රපටියෙන් ගොඩනගාගත්ත සාර්ථකත්වය දෙවනි චිත්‍රපටියටත් ඈ අරගෙන්න එන්න සමත්වෙලා තියනව මට අනුව නම්. Romantic Drama එකක් විදිහට මේක කිසිම කම්මැලි කමක් නැතුව බලා ඉන්න පුළුවන් ලස්සන, සුන්දර Feel Good වර්ගයේ චිත්‍රපටියක්. අනිත් දේ මේක ප්‍රේමය සහ විවාහය මූලික කරගත්ත මනුස්ස සම්බන්ධ කම් ගැන හිතට දැනෙන්න කතා කරනවා. මිනිස්සු කොයිතරම් සර්ව සම්පූර්ණ වෙන්න උත්සාහ කළත්, කසාද බඳින්න කොයිතරම් සම්පූර්ණ කෙනෙක්ව හෙව්වත් අවසානෙ කවුරුවත් මේ පරිපූර්ණත්ව ලබා ගන්නෙ නෑ. එහෙම පරිපූර්ණ සහකාරයෙක්ව කවදාවත් කාටවත් ලැබෙන්නෙත් නෑ. මොකද මිනිස්සු ගාව අනිවාර්යයෙන්ම අඩුපාඩු තියනව. එහෙම නැති කෙනෙක් ඉන්න විදිහක් නෑ. ඉතින් එහෙම අඩුපාඩු තියන කෙනෙකුට මුලිනුත් කිව්වා වගේ සැපේදිත් දුකේදිත් වෙනසක් නැතිව එකට ඉන්නවා කියලා ලිඛිතවම පොරොන්දු වෙලා ජීවිතේම බාරදෙන්නෙ කොහොමද?? අඩුපාඩුකම් මනුස්ස දුර්වලකම් තියන දෙන්නෙක් දුක සැප බෙදාගෙන එකට ජීවිතේ ගෙනියන්නෙ කොහොමද?? නූතන විවාහය කියන කාරණේට ආවම, Materialist චිත්‍රපටිය එක අතකට මේ ප්‍රශ්නෙට උත්තරයක් හොයාග්නන දරලා තියන උත්සාහයක්. 


මුලින්ම කිව්වා වගේ Dakota Johnson ගේ ආකර්ශණීය බව චිත්‍රපයටියෙන් ඇස් එළියට ගන්න නොහිතෙන්න බලපෑව ප්‍රධාන සාධකයක්. ඊළගට Chris Evans කැප්ටන් ඇමරිකා චරිතෙන් මිදිලා මේ වගේ චිත්‍රපටිවලිනුත් දැකගන්න ලැබීම සතුටක්. අනික Pedro Pascal මේ දවස්වල ටිකක් දකින්න ලැබෙනවා වැඩි දෝ කියල හිතෙන තරමට නිතර පේන මුණක් බවට පත්වෙලා තියනව වුණත් මේකේ Harry ගේ චරිතයට බොහොම හොදින් Pedro ව ගැළපෙනවා කියලා හිතෙනවා. අවසානෙට, මේ අවුරුද්දට අදාළව දැනට ආව හොදම වැඩක් තමා Materialists කියන්නේ.