හැම හොඳ ප්‍රබන්ධයකින්ම කරන්නෙ අපිට අමතක නොවෙන චරිතයක් මුණගස්වන එක. නවකතාවකින් හරි කෙටි කතාවකින් හරි චිත්‍රපටියකින් හරි වෙන්නේ මෙහෙම එක චරිතයක් මතු කරලා අරගෙන එයාගේ විශේෂතා වගේම දුර්වලකම් එක්ක එයා ගේ සපත්තුවට බැහැලා ඇවිදන් යන්න ඉඩ සලස්වන එක. එයාගේ ඇස් දෙකෙන් ලෝකය දැකලා ඒ සිතුවිලි වලට එබීබලන්න දොරක් විවර කරලා දෙන එක. පොඩ්ඩක් හිතන්න ඇල්බෙයා කැමූ පිටස්තරයා නොලීවා නම් මාර්සෝ කෙනෙක්ව අපි දන්නෙ නෑ. මාර්කේස් කොළරා කාලේ ආලේ නොලීවා නම් ෆ්ලොරෙන්තිනෝ සහ ෆර්මිනා කෙනෙක්ව අපි දන්නෙ නෑ. කොනත් ඩොයිල් මහත්මයා රහස් පරීක්ෂක කතා නොලීවා නම් ෂර්ලොක් හෝම්ස් කෙනෙක් ගැන අපි අහලවත් නෑ. ඔය කාරණාව සිනමාවටත් පොදුයි. අපි බලන චිත්‍රපටි ඇතුලේ නොයෙක් චරිත අපිට මුණගැහෙනවා. සමහර චරිතවල තියන ගතිගුණාංගයන් එක්ක අපි ටිකක් වැඩිපුර අනන්‍ය වෙනවා. සමහර අයගෙ පෙනුම, හිතන පතන විදිහ වගේ දේවල් එක්ක අපි ටිකක් වැඩිපුර ඒ අය එක්ක බැඳෙනවා. 2025 අවුරුද්දට අදාළව එහෙම කෙනෙක් මට මුණගස්වපු චිත්‍රපටියක් ගැනයි මේ කියන්නෙ.
එයාගෙ නම ඇග්නස්. ඇග්නස් මට හමුවෙන්නෙ මේ අවුරුද්දෙ ආව Sorry, baby චිත්‍රපටියෙන්. ඇග්නස් ගේ චරිතය රචනා වෙන්නෙ, රඟදක්වන්නෙ, අධ්‍යක්ෂණය වෙන්නෙ එකම ගැහැනියක අතින්. Eva Victor ඇගේ නම. ඇමරිකානු රංගන පාසලක අධ්‍යාපනය ලබලා සිනමාවට පිවිසෙන Eva ගේ කුළුඳුල් සිනමා රචනය සහ අධ්‍යක්ෂණය තමා Sorry, baby. මේ කතාව ලියන්න ඇයට මුල් වෙන්නෙ එයාම මුහුණදීපු එක් අත්දැකීමක් බවයි කියවෙන්නෙ. එහෙම බැලුවාම ඇග්නස් කියන්නෙ මුළුමණින් Eva ගේ ප්‍රතිනිර්මාණයක්. ඇගේම ආත්ම ප්‍රකාශනයක්.
ඇග්නස් කියන්නෙ කවුද? එයා මොනවද කරන්නෙ? ඇග්නස් ගේ ජීවිතේ වෙනස් අවධීන් තුනකුයි මේ චිත්‍රපටියෙන් අපිට දැකගන්න ලැබෙන්නෙ. ඈ ඉංග්‍රීසි සාහිත්‍ය විෂයය ඉගෙන ගන්නා ශිෂ්‍යාවක් ව ගෙවුණ අවධිය, එම විශ්ව විද්‍යාලයේම සාහිත්‍යය පිළිබඳ ආචාර්‍යවරියක් බවට පත්ව සිටින අවධිය සහ ඒ අතර සංක්‍රාන්ති සමයක්ව ගෙවුණ යුගය. වතාවක් ඇය ජීවිතේ එක්තරා අප්‍රසන්න අත්දැකීමකට මුහුණ දෙනවා. මේ අප්‍රසන්න දෙය සිදුවෙන්නෙ ඈ ප්‍රිය කරන කෙනෙක් අතින්. මේ සිදුවීම ඇයට ජීවිතේ පුරා දිගුකාලීනව බලපෑම් කරන ක්ෂිතිමය අත්දැකීමක් (Trauma) බවට පත්වෙනවා. ක්ෂිතිමය ඇත්දැකීමක් නැත්නම් Trauma එකක් කියන්නෙ යම් පීඩාකාරී සහ අප්‍රසන්න සිදුවීමකට ප්‍රතිචාර විදිහට ඇතිවෙන හැඟීම් සමූහයක්, මනෝභාවයක්. සමහර විට මේක ශාරීරිකව සිද්දවෙන්නත් පුලුවන්. Trauma එක්කට මුල්වෙන්නෙ කෙනෙක් මුහුණ දෙන ප්‍රචණ්ඩකාරී සිදුවීමක්, අපයෝජනයක්, නොසලකා හැරීමක් වැනි තනි සිදුවීමක් නැති නම් සිදුවීම් මාලාවක්. මේ සිදුවීම නිසා ඇති වෙන බිය, අනාරක්ෂිත බව, අපහසුතාව දිගුකාලීනව මනස ඇතුලේ පවතිනවා. ඇග්නස් එවැනි තත්වයකටයි පත්වෙන්නෙ. නමුත් වැදගත් කාරණේ මෙන්න මේක. ඇග්නස් තමන්ගෙ පීඩනය තමන් ඇතුළෙම විඳ දරාගෙන තමන් සුවපත් වෙන්න උත්සාහ කරනවා මිස නැවත ලෝකයට පීඩාවක් වෙන්නෙ නැහැ. ඇතුළෙන්ම බිඳවැටුණු මිනිස්සු එක්ක වැඩකරන්න ගොඩක් වෙලාවට අපහසුයි. මොකද ඇතුළාන්තය අඳුරින් පිරුණු අය වටේ නිතරම පවතිනව යම් අඳුරක්. නමුත් ඇග්නස් ඒ තැනට වැටෙන්නෙ නෑ. ඇය මේ අඳුර ආලෝකයක් බවට පෙරළා ගන්නව. මම දකින ඇගේ විශේෂත්වය තමයි ඒක. ඒ වගේ ම මං හිතනව යහපත් මිතුරු ඇසුරත් ඇයට මෙතනදි බලපෑමක් කරනව කියලා. මූණට හිනා වෙලා නැති තැන දොස් කියන, වැරදිම හොයන මිතුරු වෙසින් එන සතුරන් වගේම ඉඳහිටක ඇවිත් උණුහුමක් දීලා යන කෙනෙක්, ඕනෑම දෙයක් බෙදාහදා ගත හැකි එකම විදිහට හිතන පතන මිතුරියක්, උදව් ඕනැ මොහොතක ලඟට ඇවිත් සහනයක් සැනසීමක් දීලා යන අහඹු මනුස්සයෙක්, ඇග්නස් ගේ ජීවිතේ මේ අය ඉන්නවා. ඇතුළාන්ත සුවපත් වීමකට මෙවැනි අය ගොඩක් වැදගත්.
Sorry, Baby චිත්‍රපටිය එක්ක සිනමාවට තවත් අලුත් වීරවරියක් ඇවිත් ඉන්නා බව නිවේදනය කරනවා. ඇය තමා Eva Victor. තිර රචනාව ලියලා ඒක අධ්‍යක්ෂණය කරන ගමන් තමන්ම ප්‍රධාන චරිතයත් රඟපාන එක ලේසි වැඩක් නෙමේ ඇත්තට. නමුත් මෙතනදි ඈ ඒ අභියෝගය සාර්ථකව ජය ගන්නවා. අධ්‍යක්ෂණය ගැන අත්දැකීමක් ලබාගන්න ඈ I saw the TV glow චිත්‍රපටියෙ දර්ශන තලයෙ හිටිය බව කියනවා. කොහොමින් හරි Eva ගෙ පළවෙනි වැඩෙ එයාගෙ ඊළඟ වැඩක් එන තුරු බලා ඉන්න සලස්වනවා. 2020 දි Nomadland හැදුව Cloe Zaho, 2017 දි Lady Bird හැදුව Greta Gerwig, 2023 Past Live හැදුව Celine Song වගේ මතක හිටින නිර්මාණ හරහා එළිදකින අධ්‍යක්ෂ වරියන්, නැතිනම් මෑත කාලීනව සිනමාවට ඇවිත් ඉන්නා කැපීපෙන තරුණ ගැහැනුන් අතරට Eva ගේ නමත් ඇතුළත් කරන්න දෙවරක් හිතන්න ඕන නැහැ.
No comments:
Post a Comment