Saturday, February 21, 2026

"ඔහුව මරණ දණ්ඩයට පිරිහෙළනු ලැබීය, නමුත් ඒ මොහොතේ ඔහු ජීවිතය උගත්තේ ය."

මෙලොව ජීවත් වූ බොහෝම දාර්ශනිකයන්ට වැඩියෙන් ෆියෝදර් දොස්තොව්ස්කි මිනිස් සංවේදනාවන් අවබෝධ කරගත්තේය, ඒ ඔහුට ඒවා තුළින් ජීවත් වන්නට සිදුවූ බැවිනි.

වර්ෂ 1849 දී වයස 27 ක් වුණු දොස්තොව්ස්කිව අත්අඩංගුවට ගනු ලැබුවේ එවකට තහනම් කර තිබූ දේශපාලන අදහස් ගැන කතා කළ සාහිත්‍ය කණ්ඩායමකට ඔහු අයත් වී සිටි නිසාය. ඔහු ශාන්ත පීටර්ස්බර්ග් නුවර හිම මිදුණු සිරකුටියක සිරගත කෙරුණු අතර එහි සිටියදී වෙඩි තබා මරන්නට නියම කෙරුණි.


මරණ දණ්ඩනය ලැබෙන දා උදෑසන ඔහුගේ දෑස් බැඳ අවි අමෝරා ගත් සොල්දාදුවන් පෙළක් හමුවේ අවසාන තීන්දුව ලැබෙන තුරු සිටුවා තබා තිබුණි. අවසන් මොහොත කිට්ටු වෙද්දීම වාගේ පණිවුඩ කරුවෙක් පැමිණ ඔහුගේ මරණ දඬුවම සාර් රජතුමා විසින් අත්හිටවූ බව දැනුම් දුන්නේ ය. නමුත් රජතුමා මේ සමාව පිරිනමා තිබුණේ වඩාත් දුෂ්ඨ අරමුණෙන් යුතුව ඔහුගේ ආත්මය තවදුරටත් බිඳදමනු පිණිස ය. 


ඔහුට අවුරුදු හතරක් බරපතළ වැඩ සහිතව සයිබීරියාවේ සිර කඳවුරක ගෙවා දමන්නට සිදුවිය. ඔහුගේ දෙපා විලංගු වලින් බැඳ දමා තිබුණි. ඔහුට නිදන්නට සිදු වුණේ සොරුන් සහ මිනීමරුවන් සමග පිදුරු ගොඩකය. මෙහිදී ඔහුට නිදහසද, යහපත් සෞඛ්‍ය තත්වයද, සමාජ පිළිගැනීමද යන සියල්ල අහිමි විය. නමුත් වෙනත් යමක් ඔහු සොයාගත්තේ ය. එනම් දයාන්විත බවයි.


වඩාත්ම බිඳවැටුණු ආත්ම තුළ පවා දිව්‍යමය ආලෝක බිඳක් පවතින බව ඔහු දුටුවේ ය. සෑම මිනිස් හදවතකම යහපත සහ නපුර එක හා සමව වාසය කරන ආකාරය ඔහු දුටුවේ ය. අවසානයේ නිදහස ලැබුණු පසුව ඔහු ලියන්නට පටන්ගත්තේ හුදෙක් වේදනාවන් ගැන කරුණ කාරණා රැස් කරගත් මිනිසෙකු ලෙසින් නොව, එය මුහුණට මුහුණලා දුටුව මිනිසෙකු විලසින් ය.


මේ අත්දැකීම් ඔහු ලියූ සෑම වචනයක්ම හැඩගස්වනු ලැබීය. Crime and Punishment, The Idiot, Demons, The Brothers Karamazov — මේ සියල්ල බිහිවූයේ ඒ සත්‍යතාවයෙනි: එනම් නිදහස ලබාගත හැකි මාර්ගය වැටී ඇත්තේ වේදනාව හරහා පමණක් බවත් අඳුරුම හදවතකට වුවත් ආලෝකවත් වීමේ හැකියාව ඇති බවත් ය.


"මනා වූ බුද්ධියකට ද ගැඹුරු වූ හදවතකට ද වේදනාව සහ විඳවීම නිතරම අනිවාර්ය වෙයි" යනුවෙන් දොස්තොව්ස්කි වරක් ලිවීය. ඔහු දුර්භාග්‍ය සම්පන්න බව උත්කර්ෂයට නැංවූවා නොව, ඔහු පැවසුවේ වඩාත් ගැඹුරින් හැඟීම් අත්විඳීමට ද, සැබෑ ලෙසම ජීවත් වීමට ද නම් අවංක ලෙස දුක් වේදනාවන් බාරගත යුතු බවත් කුමක් වුවත් තවමත් ආදරයම තෝරාගත යුතු බවත් ය.


ඔහු කිසිදාක ධනවතෙකු වූයේ නැත. ඔහු ණය බරින් ද රෝගී තත්වයන්ගෙන් ද පීඩා වින්දේ ය. නමුත් ඔහුගේ වචන ඔහු ඉක්මවා තවමත් ජීවමාන ව පවතින්නේ ය. ඔහුගේ පොත් යනු හුදු නවකතා පමණක් නොව. ඒවා මිනිස් ආත්මයෙන් නැග එන පශ්චත්තාපයන් ය.


සමහර විට දොස්තොව්ස්කිගේ වටිනාකම තවමත් අඩු නොවී පවතින්නේ ඒ නිසා විය යුතු ය. මන්දයත් අන්ධකාරම කුටි තුළ ද, මරණයේ මොහොතවලදී ද, මනුෂ්‍ය ආත්මයට තවමත් නැගී සිටිය හැකි බවත්, තවමත් සමාව දිය හැකි බවත්, තවමත් ආදරය කළ හැකි බවත් ඔහු අපට සිහිපත් කර දෙන බැවිනි.


"ඔහුව මරණ දණ්ඩයට පිරිහෙළනු ලැබීය, නමුත් ඒ මොහොතේ ඔහු ජීවිතය උගත්තේ ය."


ඔබ තවමත් ඔහුව කියවා නැතිනම් කරමසෝ සහෝදරයෝ කෘතියෙන් ආරම්භ කරන්න.

එය ගැඹුරු, මානුෂික සහ අමතක නොවන සුළුය.

තවමත් ඔහුට මිනිස් හදවත පිළිබඳ අධිපතිත්වය දරන්නා යැයි හඳුන්වනු ලබන්නේ ඇයි දැයි ඔබ වටහා ගනු ඇත.


Translated from the page "Classic Literature"




Wednesday, February 4, 2026

ගුරුතුමිය සහ කඩදාසි කැබැල්ල

පන්තිභාර ගුරුතුමිය ළමුන්ට පැවසුවේ කඩදාසි දෙකක් ගෙන පන්තියේ සෑම ළමයෙකුගේම නම් එහි ලියන ලෙසයි. සෑම නම් දෙකක් අතරම යම් පරතරයක් තබන්නැයි ඇය කීවා ය. ළමුන්ට කරන්නට නියමිත වූයේ එක දෙයකි.

"හැම කෙනෙක් ගැනම ලියන්න පුළුවන් හොඳම දේවල් ටික ලියන්න"


මුලින්ම, ළමයින් අතර පැතිර ගියේ දෙගිඩියාවකි. නමුත් ක්‍රමයෙන් පැන්සල් තුඩු චලනය වන්නට පටන් ගත්තේ ය. ඉතිරි කාලපරිච්ඡේදය පුරාම පන්තිය පුරා ඇසුණේ කඩදාසි මත අකුරු ලියවෙනා මෘදු හඬ පමණි. සිතුවිලි අකුරු බවට හැරවෙමින් තිබුණි. සීනුව නාද වුණු පසු සිසුන් තමන් ලියූ කඩදාසි ගුරුතුමිය වෙත බාර දී පිටවී ගිය හ. හුදෙක් පැවරුමකට වඩා දෙයක් තමන් නිර්මාණය කළ බව ඔවුහු සැක කළේ නැත. 


ඒ සති අන්තයේ ගුරුතුමිය තම ලියන මේසය අසල වාඩිවී සිටියේ වෙනදාක නැති තරම් ඉවසීමකිනි, සැලකිලිමත් බවකිනි, අරපරෙස්සමෙනි. ඇය හැම කඩදාසියක්ම කියවා බලා එක් එක් සිසුවාට වෙන වෙනම වූ ලයිස්තුව බැගින් සෑදුවා ය. තමන්ගේ පන්ති සගයින් ලියූ ලස්සන, සුන්දර දේවල් ඒවායේ ඇතුළත් විය.


සඳුදා උදෑසන ඈ ඒවා තම ශිෂ්‍යයින් අතර බෙදා දුන්නා ය. 


පන්තිකාමරය තුළ සිදුවූයේ වෙනසකි. දුක්බර මුහුණුවල සිනහවන් මතුවී ආවේ ය. සෙමෙන් කොඳුරන හඬවල් ඇසෙන්නට පටන්ගත්තේ ය. 


"කවුරුහරි මගෙ දිහා ඕනකමින් බලලා තියනවා කියලා මං දැනගෙන හිටියේ නෑ."


"ගොඩක් අය මට මෙච්චර කැමති ඇති කියලා මං හිතුවෙ නෑ."


නම් ලයිස්තුව ගැන කතා බහ ඉන්පසුව ක්‍රමයෙන් මැකී ගියේ ය. නමුත් හැම කෙනෙකුටම තමා සුවිශේෂ කෙනෙකු බව දැනී තිබුණි. තමන්ට අවධානය ලැබී ඇති බව ඔවුන් දැනගත්හ. තමන්ව අගය කර ඇති බව ඔවුන් දැනගත්හ. තමන්ගේ ඇති වැදගත්කම ඔවුන්ට දැනුණි.


 ජීවිතවල වෙනස්කම් බොහෝ සිදුකරමින් වසර ගණනක් ගෙවී ගියේ ය. නොසිතූ යමක් හදිස්සියේම සිදුවිය. ගුරුතුමියට දැනගන්නට ලැබුණේ ඈ සසල කළ පුවතකි. ඇගේ ශිෂ්‍යයෙකු වූ මාක් වියට්නාම් යුධ පෙරමුණට ගොස් තිබූ අතර එහිදී ඔහුට ජීවිතය අහිමි වී තිබුණි. 


ඇය දේවස්ථානයේ පැවති මාක් ගේ අවමගුලට පැමිණියා ය. නිල ඇඳුමෙන් සරසා තිබූ ඔහුගේ මෘත දේහය දුටු ඇගේ හදවත බිඳී ගියේ ය. පන්තියේ සිටි කුඩා සිසුවා වයසින්ද සවිමත් කම අතින් ද බොහෝසේ වැඩී සිටියේ ය. දේවස්ථාන භූමිය පිරී ගොස් තිබුණේ සොල්දාදුවන් ගෙන්, හිතමිත්‍රයන්ගෙන් සහ පවුලේ අයගෙනි. ඔවුන් අතර සිටි තරුණ සෙබළෙක් ගුරුතුමිය අසළට පැමිණ ඇගෙන් මෙසේ ඇසුවේ ය. 


"ඔයා මාක්ගේ ගේ පන්තිභාර ගුරුතුමී ද?"


ඇය හිස සැලුවා ය.


"එයා ඔයාගැන හරියට කතා කළා" සෙබළා කීවේ ඉතාම සංවේදී අයුරිනි.


දේවමෙහෙයෙන් පසුව මාක් ගේ දෙමාපියෝ ගුරුතුමිය හමුවට පැමිණියහ. 


"මාක් ගේ අන්තිම මොහොතේ දි එයා ගාව මේක තිබිලා තියනවා. ඔයාට මේක අඳුනාගන්න පුළුවන් වේවි කියලා අපි හිතුවා." මාක් ගේ පියා පැවසුවේ තම පසුම්බියෙන් යමක් පිටතට ගනිමිනි. ඔහු ඈ අත තැබුවේ පැරණි වී ඉරීගිය නමුත් තැනින් තැන අලවා තිබූ කඩදාසි කැබලි දෙකකි. ගුරුතුමිය එය හඳුනා ගත්තේ ය. එය අවුරුදු ගණනකට පෙර ලියූ නම් ලයිස්තුව විය. පන්ති සගයන් විසින් ලියූ කාරුණික වදන් එහි ලියැවී තිබුණි. 


"ඔයාට ගොඩක් ස්තූතියි. පේනව නේ, එයා ඒක සෑහෙන පරෙස්සම් කර ගත්තා." මාක් ගේ මව පැවසුවේ කඳුළු බිඳු නැගී බොඳව ගිය දෑසිනි. 


ක්‍රමයෙන් මාක්ගේ පන්ති සගයෝ ගුරුතුමිය වටා රැස්වූහ. ඔවුන් කතා කරන්නට පටන් ගත්හ.


"මගෙ කොළේ තාම තියනව, මගේ මේස ලාච්චුවේ." චාලි කීවේ ය.


"එයාගෙ එක තියෙන්නෙ අපේ වෙඩිං ඇල්බම් එකේ" සිනාසී කිවේ චක්ගේ බිරිඳයි.


"මගෙ නම් තියෙන්නෙ ඩයරි එක ඇතුළේ" පැවසුවේ මර්ලින් ය.


"මගෙ එක නම් හැම තිස්සෙම තියෙන්නෙ මං ගාව." විකී තම පසුම්බියේ නවා තිබූ කඩදාසිය පිටතට ගත්තේ ය.


ගුරුතුමිය වාඩි වූවාය. ඇගේ දෑසින් කඳුළු ගලා ගියේ ය.


ඇය හැඬුවේ මාක් වෙනුවෙනි. ඇය හැඬුවේ තවමත් නම් ලයිස්තුව පරිස්සම් කරගෙන යන යන තැන රැගෙන ගිය සිසුන් වෙනුවෙනි. ඇය හැඬුවේ සමුගෙන ගිය අය වෙනුවෙනි. ඇය හැඬුවේ වටිනා යමක් ඇය වටහා ගත් නිසාවෙනි. 


කිසි කෙනෙක්, කොයිතරම් කාලයක් අප සමග සිටින්නේ දැයි දැනගැනීමට අපට හැකියාවක් නැත. නමුත් ඔවුන් අපට කොයිතරම් වටිනවා දැයි පවසන්නට අපට නිතරම අවස්ථාව ඇත. එක කාරුණික වදනක්. එක වැකියක්. එක මිහිරි මොහොතක්. සමහර විට ජීවිත කාලයකටම එවැනි එක කුඩා දෙයක් ප්‍රමාණවත් ය. කාරුණික වන්නට ද, ආදරයම බෙදාගන්නට ද, යමෙකුගේ හොඳ දෙයක් ඇත්නම් එය පසුවට නොව ඒ මොහොතේම කියන්නට ද මතක තබා ගන්න. කෙනෙකු අවසන් මොහොත දක්වා ළඟ තබා ගන්නා කඩදාසි කැබැල්ලේ ලියවී තිබෙන්නේ මොනවාදැයි ඔබ කිසිදාක දැනගන්නේ නැත. 


- Translated From the Page Reece Ryan