Thursday, February 8, 2024
ලොව සිනිඳුතම වළාකුළු
Wednesday, February 7, 2024
Three of us (2023)
ජීවිතේ අතිශ්‍ය නොවැදගත් කුඩා මොහොතක වුණත් සමහර වෙලාවට කොයිතරම් කාව්‍යාත්ම ලස්සනක් තියෙන්න පුළුවන්ද කියල හිතුණා Three of us බලද්දී. අන්තර්ගතය එහෙම පිටින්ම අතහැරලා රෑප රාමුවෙන් රෑප රාමුවට ඇස් ඉස්සරහ මැවෙන සෞන්දර්යයෙන්ම හිත පුරවාගෙන යන්න තියනව නම් ඒ වුණත් ඇති කියලා හිතනේනේ එහෙම වෙලාවට. එක වෙලාවකදි තිරය මත මැවෙන්නේ රැළි නැගෙන මූදු වෙරළක්, ආයෙ වෙලාවක ගරා වැඩිච්ච උළු හෙවිල්ලපු පරණ ගෙයක්, අවන්හලක රෑ ආහාර ගනිම්න් ඉන්නා කෙනෙකුගේ මූණට වැටෙන පැති ආලෝක ධාරාවක්. තව පැත්තකින් දිය දහරක් ගාව තියන කෝවිලක්, පරණ කළු ලෑල්ලක්, දූවිලි වැදිච්ච ඩෙස් බංකු තියන පන්ති කාමරයක්, කොළ පාටින් වැහිච්ච පරසරයක්, භරත නාට්‍යම් නර්තනයේ යෙදෙන සුන්දර යුවතියන් කාණ්ඩයක්, ඔවුන්ගේ සිරුරුවල මතුවන ඉසියුම්.හැඩතලයක්, පසුබිමෙන් ඇහෙන ඉන්දියානු සම්භාව්‍ය සංගීතයක්, ඒ හැමදෙයක්ම අතරෙ මල් පෙති වගේ මෘදු ගැහැනු සහ පිරිමි, මේ හැම දෙයක්ම පුදුමු ප්‍රහර්ෂයකින් ඇසිපිය නොහෙලා බලා සිටිය හැකි දේවල්.
Friday, January 26, 2024
The Breaking Ice (2023)
මේ මහ පොළවත්, හමන සුළඟත්, සූර්යාලෝකයත් හැමදාම එකම විදිහට අපි වටා පවතින්නෙ නැහැ. කාලෙන් කාලෙට මේවයෙ රටාවන් විවිධාකාර විදිහට වෙනස් වෙනව. කාලෙකට වේලාසනින්ම හැන්දෑ වෙලා කළුවර වැටෙන්න පටන් ගන්නව, තවත් කාලෙකට වැඩිපුර හුළඟ හමනව, කාලෙකට උදෑසන මීදුමෙන් බර වෙනව, සීත, උෂ්ණ බව අඩු වැඩි වෙනව. ඍතු බේදය කියල අපි කියන්නෙ මේකට. අපි වගේ සමකාසන්න රටවලට යන්තමිනුත්, උත්තර සහ දක්ෂණාර්ගෝල කිට්ටුවෙන් බොහෝම පැහැදිලිවත් මේ දේශගුණික වෙනස්කම් දැකගන්න පුළුවන්. මෙහෙම සිද්දවෙන නොයෙක් ඍතු විපර්යාස අතරේ හිමකැට අරන් එන සීත කාලය කියන්නෙ ඒ රටවලට නම් සාපේක්ෂවශයෙන් දුෂ්කර සමයක්. උෂ්ණත්වය සමහර විට සෙල්සියස් අංශක ඍන ගණන්වලට බැහැලා පාරවල් හිමෙන් යට වෙනව, ලස්සනට තිබුණු ගංගා, ඇළ දොළ, විල්, පොකුණු ඝනීභූත වෙලා යනව. පර්යටනික කුරුල්ලන් නම් මේ කාලෙට අපේ වගේ උෂ්ණ රටවල් සොයාගෙන පියාඹා යනව, බොහොම සත්තු පොළවේ හාරාගත්ත බිම් ගෙවල්වලට වෙලා සිසිර නින්දේ නිදාගෙන සීත ඍතුව ගෙවා දමනවා. මේ දුරුතු මාසේ උදේම තියන සීතල උහුලන් ඉන්න අමාරු අපිට ඔය යක්ස හීතල කොයි වගේද කියල ටිකක් විතර හිතා ගන්න පුළුවන්.
මෙන්න මේ විදිහට වෙනස්වෙන දේශගුණික රටාවන් කියන්නේ ජීවිතයත්, පරිසරයත් එකිනෙක හරි අපූරුවට සම්බන්ධ කළ හැකි ඉසව්වක්. සමහරවිට ජීවිතේ යම් යථා ස්වභායන් තේරුම්ගන්න සොබාදහමේ මේ ගතිගුණය අපිට උදව්වෙනවා. ජීවිතේ ඇතුළෙන් මල් පිපෙන කාල වගේම හිම වැටෙන සීත කාල එන බව එතකොට තේරුම්ගන්න පුලුවන්. කාලෙකදි සනීප සීතලක් අරගෙන ආව හුළඟ වුණත් ඇඟට ඉඳිකටු තුඩු වලින් අනින්නා වගේ දරා ඉන්න අමාරු දෙයක් බවට පත්වෙද්දී, සියළු ළතෙත් බර තැන් ඝනීභවනය වෙලා අයිස් මිදිලා යද්දී, ජීවිතේ එකම හිම කාන්තාරයක් බවට පත්වෙනවා වගේ දැනෙන්න පටන් ගන්නවා. සනීපදායක මනුස්ස ඇසුරක පහස ලබන්න කාටත් ඕන වෙන්නෙ අන්න ඒවගේ මොහොතක . එහෙම බැඳීම් හරියට සීත කාලෙදි උණුහුම ගේන හිමකබායක් වගේ හදවත උණුහුම් කරනව. ජයග්‍රහණයෙදී සතුට සමරන්න වගේම පරාජය ලබල එනකොට ආදරණීයව වැළඳගන්න කෙනෙක් දෙන්නෙක් හෝ ජීවිතේ ඉන්නම ඕන. නමුත් එහෙම අය අපිට මුණගැහෙන්නෙ බොහොම කලාතුරකින්. මොකද මේ ලෝකය නිර්මාණය වෙලා තියෙන්නෙ පැවැත්ම වෙනුවෙන්. තමන්ගේ පැවැත්ම සහ ලාභ ප්‍රයෝජනය වෙනුවෙන් මිනිස්සු බැඳීම් ඇති කරගන්නෙ. ඇත්තම කතාව ගත්තොත් අපිට තියන ගොඩක් සම්බන්ධකම්වල තියෙන්නේ දේශපාලනයම සහ ව්‍යාපාරිකමය වියළි බවක් තමයි. එවැනි තැන්වල සහෘදාත්මක අවංකභාවය නෑ. එහෙම දෙයක් බලාපොරොත්තු වෙන්න බෑ. නමුත් ලෝකය ගොඩනැගිල තියෙන්නෙ එහෙම තමා. ඒකට කාටවත් දොස්පවරලා වැඩක් නෑ. බියක්, සැකක් තියගන්නේ නැතිව අවංකම තම හදවත විවෘත කළ හැකි, සහ හිත හඳුනාගන්න පුළුවන් ටික දෙනෙක් පමණක් හරි ජීවිතේදි අපිට මුණගැහෙනව නම් ඒක වටිනව. වැඩි දෙයක් බලාපොරොත්තු නොවී ළඟ ඉඳීමෙන්, බෙදාහදා ගැනීමෙන් පමණක් සෑහෙන එහෙ ලස්සන මනුස්ස සම්බන්ධකම් දිහා බලන් හිටියත් හිත පිරෙනව.
2023 අවුරුද්දේ චිත්‍රපටි ලයිස්තුවේ මෙහෙම චිත්‍රපටියක් දැකගන්න ලැබුණා. ඔස්කාර් සම්මානය වෙනුවෙන් හොඳම විදෙස් භාෂා අංශයෙන් සිංගප්පූරුව නියෝජනය කළ The Breaking Ice චිත්‍රපටියට ඇතුළත් වෙන්නේ කලින් කිව්වා වගේ අපූරු මනුස්ස සම්බන්ධකමක් ගැන කියවෙන කතා පුවතක්. මේක සිංගප්පූරු ජාතික සිනමාකරු Anthony Chen ගේ නිර්මාණයක්. මෙතනදි අපිට දැකගන්න ලැබෙනව තුන් දෙනෙක්. ජීවිතේ හිම කුණාටු සමයක් ගෙවා දමමින් ඉන්නා තුන්දෙනෙක්, එකිනෙකට වෙනක් ගති ගුණ තියන තුන්දෙනෙක්. එක මොහොතක මේ තුන්දෙනා හමුවෙන හැටිත්, ඉන් පස්සේ දවස් කිහිපයක් තුන්දෙනා එකට ගෙවාදමන හැටිත් තමා මේ කතාවෙ ඇතුළත් වෙන්නෙ. චිත්‍රපටිය පුරාම දැඩී සීතල, හිම සහ අයිස් කියන සංකේත රෑප ඉතා ප්‍රබලව පසුබිමෙන් දක්නට ලැබෙනව. සැබෑම නිර්ව්‍යාජ මිත්‍රත්වයත්, ආදරය සහ අනුරාගයත්, මනුෂ්‍යත්වයත් ජීවිතේ දුක්වේදනාවේ සීතල අයිස් කුට්ටි දිය කරමින් මතුවෙන හැටි බලා ඉන්න අපූරුයි. ටිකක් වැඩිපුර සීතල දැනෙන මේ කාලෙ මට මේ චිත්‍රපටිය හරියට උණුහුම්ව විඳගත හැකි සිනමාත්මක වැළඳගැනීමක් වගෙයි දැනුණේ.
Tuesday, January 23, 2024
The Color Purple (2023)
1985 අවුරුද්දේ දි, ඒ වෙනකොට චිත්‍රපටි හතක් පමණක් නිර්මාණය කර සිටි අධ්‍යක්ෂවරයෙක් වුණ ස්ටීවන් ස්පීල්බර්ග්ට, තමන්ගේ අටවෙනි සිනමා නිර්මාණය විදිහට The Color Purple නම් චිත්‍රපටය නිර්මාණය කරන්න අවස්ථාව හිමිවෙනවා. The Color Purple නමින් මුලින්ම ලෝකය හමුවට ආවේ 1982 අවුරුද්දේ ඇලිස් වෝකර් නම් ඇමරිකානු ලේඛිකාව එනමින්ම ලියා පළ කල නවකතාව. මේ නවකතාව ලබපු සාර්ථකත්වයත් එක්ක ඇලිස් වෝකර්ට එයින් චිත්‍රපටියක් නිර්මාණය කරන්න උවමනා වෙනවා. මේ කටයුත්තට ස්පීල්බර්ග් තෝරාගන්නෙ ඇයමයි. The Color Purple ඇමරිකාවේ දකුණු පෙදෙසේ ප්‍රාන්තවල වැඩිවශයෙන් ඉන්නා කළු ජාතිකයින්ගේ සමාජය මුල්කරගෙන ලියවුණ ප්‍රබන්ධයක්. තමන්ට මේ ජන කොටසත්, ඔවුන්ගේ සංස්කෘතියත් ගැන තියන දැනුම ප්‍රමාණවත් නැතැයි කියමින් ස්පීල්බර්ග් ඒ අවස්ථාව ප්‍රතික්ෂ්ප කරන්න උත්සාහ කරනව. නමුත් ඇලිස් වෝකර් ඔහුගේ E.T the Extra Terrestrial චිත්‍රපටය නරඹලා තිබුණා. තමන්ගේ කතාව සිනමාවට ගේනන එකම සුදුස්සා ඔහු බව ඈ තීරණය කරලා අවසානයි. කොහොම හරි ස්පීල්බර්ග් මේ කටයුත්ත බාරගන්නව. අවසානෙ ඇමරිකානු ඩොලර් මිලියන 15ක වියදමෙන් නිමවුණු The Color Purple ඩොලර් මිලියන 98ක ආදායම් වාර්තාවත් තබමින් ප්‍රේක්ෂක විචාරක පැසසුම් මැද තිරගත වෙනවා. The Color Purple ලැබුව සාර්ථකත්වය ස්ටීවන් ස්පීල්බර්ග්ගේ සිනමා දිවියටත් ලොකු බලපෑමක් කළා. ඉන් අවුරුදු හතලිහකට ආසන්න කාලයක් ගතවෙලා ගිහින් තියෙන වෙලාවේ, දැන් ස්පීල්බර්ග් කියන මහා සිනමාකරුවා The Color Purple නවකතාව අශ්‍රයෙන්ම වෙනස් ආකෘතියක සිනමාපටයක් ලෝකය හමුවට අරගෙන එන්න නිෂ්පාදකවරයෙක් විදිහට දායක වෙලා තියනවා. නමුත් මේ අලුත් චිත්‍රපටිය වැඩි වශයෙන් පාදක කරගන්නෙ ඔය නමින්ම 2005 අවුරුද්දේ ආව බ්‍රෝඩ්වේ නාට්‍යය. ඒවගේම මේක නැටුම් ගැයුම් පිරුණු සංගීතමය චිත්‍රපටයක්!
ඇලිස් වෝකර්ගේ The Color Purple සැලකෙන්නේ නූතන සම්භාව්‍ය (modern classic) කෘතියක් විදිහට. හරියට අරුන්දතී රෝයි ගේ The God of Small Things වගේ Color Purple නිකුත් වුණු කාලයේ සමාජෙ සෑහෙන ආන්දෝලනයක් ඇති කරලා තියනවා. එක් අතකින් Pulitzer වගේ ලැබිය හැකි ඉහළම ගරු සම්මානවලින් පිදුම් ලබන අතරේ අනික් පැත්තෙන් අන්තර්ගතය නිසාම මේ කතාව නොයෙක් වාරණවලට පවා ලක්වුණා. වාග් විලාසය, ප්‍රචණ්ඩත්වය, ලිංගික කරුණු සහ සමලිංගිකත්වය වගේ හේතු මුල්කරගෙන ආගමික සංස්ථාවලින් පොතට විශාල විරෝධයක් එල්ල වුණා. ඊශ්‍රායෙලයෙදී මේ පොත මුළුමණින්ම තහනම් වුණා. අරුන්දතී ඉන්දියානු සමාජෙ ගතානුගතිකත්වයෙන් සහ කුල බෙදීම් වලින් පීඩිත ස්ත්‍රිය තම ප්‍රබන්ධය හරහා නිරූපිත කරද්දී, ඇලිස් වෝකර් 1900 මුල් යුගයේ ඇමරිකාවේ පැවති වර්ගවාදය වගේම තමන්ගේ වර්ගයා අතින්ම අතවරයන්ට ලක්වෙන, ගැහැනියක් වීම නිසාම අප්‍රමාණ හිරිහැරයන්ට ලක්වෙන සහ නිවස ඇතුළේම හිංසනයන්ට සහ හිතාගන්න බැරි තරම් නොයෙක් ආකාරවලින් අසීමිත වදබන්ධනයන්‍ට ලක්වුණ කළු ජාතික ස්ත්‍රීයක් පෙරබිමට අරගෙන ආවා. (The Color Purple සිංහල පරිවර්තනය - "දම් පාට කතාව", අමාලි බොරළුගොඩ, විදර්ශන ප්‍රකාශනයක්)
පීඩනය, හිංසනය වගේ දුකම වේදනාවම තේමා කරගත්තු කතාවක් නටමින් ගයමින් කියන්නේ කොහොමද කියල ඔබට හිතෙන්න පුළුවන්. මුල් පොත කියවා නැතත් Musical Drama එකකට ගැළපෙන විදිහට කතාවෙ සැර අවම කරලා ද කියල හිතුණා චිත්‍රපටයේ සමහර තැන් වලදී. නමුත් කලාව කියන්නෙ මනුස්ස හැඟීම් නිරූපණයට. සතුට, ප්‍රහර්ෂය ඇතුළු නොයෙක් මිහිරි හැඟුම් වගේම දුක්, දොම්නස්, වේදනා ආවේගයන් වගේ කර්කෂ හැඟීම් පවා ගයමින් වයමින් අසන්නෙකුට නරඹන්නෙකුට දනවන්න ඊට හැකියි. The Color Purple කියන්නෙ එහෙම දුක්වේදනාවත්, සතුටත් උත්කර්ශවත් බවත් මේ සියළු ප්‍රකාශනයන් ගෙන් වර්ණවත් වුණු චිත්‍රපටියක්. වසරේ හොඳම ලයිස්තුවට නිසැකවම ඇතුළත් කළහැකි, හදවත පුරවාලන වැඩක්. 2023 අවුරුද්දේ චිත්‍රපට නාමාවලියට අඩුවෙලා තිබ්බේ මං හිතන්නේ හොඳ Musical Drama එකක්. The Color Purple එක්ක ඒ අඩුවත් සම්පූර්ණ වෙනව.
Friday, January 19, 2024
Fallen Leaves (2023)
ආදරය කියන දෙය ජීවිතේ ඇතුළේ හටගන්න නිශ්චිත මොහොතක් නැහැ. සමහර විට, නොහිතනම වෙලාවකදි එකවරම ඒක ඇති වෙන්න පුළුවන්. නැත්නම්, සෑහෙන දිගු කාලයක් ඇතුළත, හෙමින් සැරේ ඇති වෙන්නත් පුළුවන්. නමුත් කොහොම වුණත් ඒවා සැලසුම් කරලා ලබාගන්න පුළුවන් දේවල් නෙමේ. අපි කැමති අකමැතිකම් සහ කෙනෙකුගෙන් අපි බලාපොරොත්තු වෙන දේවල් ගැන අදහසක් තිබුණාට, මෙන්න මේ වයස වෙනකොට මෙන්න මේ විදිහේ කෙනෙක් මට මුණගැහිලා තියේවි කියලා සැලසුම් ඇඳලා තියාගන්න කිසි කෙනෙකුට පුළුවන් කමක් නැහැ. ඉතින් ඒ හින්දා වැඩි දුරක් නොගිහින්, වැඩි වෙහෙස මහන්සියක් නොදරාම ආදරය මුණගැහුණු අය වගේම, කාලයක් තිස්සේ ජීවිතේ ඇතුළේ බොහොම දුරක් අමාරුවෙන් අමාරුවෙන් ඇවිදලා, අවසානෙ හතිවැටිලා දැන් ඇති කියලා හිතෙන්න තරම් හෙම්බත් වෙලා ඉන්න තැනකට ආවම ආදරේ මුණ ගැහුණු අයත් කියන දෙකොට්ඨාසයම අපි දකිනව. හැබැයි නව යව්වන වයසට වඩා ජීවිතේ පහු වෙන්න පහුවෙන්න අපිට ආදරේ මුණ ගැහෙන්නෙ දුෂකරතාවන් ගොඩක් මැද්දේ. මොකද වයසත් එක්ක හැමදෙයක්ම සංකීර්ණ බවට පත්වෙනව වැඩියි, ජීවිතේ ටිකෙන් ටික පත්වෙන්නෙ අරගලයක ස්වරෑපයකටයි, ඇතිවෙන හැලහැප්පිලි බහුලයි, ලබන්න සිද්ද වෙන අත්දැකීම් කටුකයි. එහෙම තැනක ඉන්න කෙනෙකුට ප්‍රේමණීය හමුවීමක් සිද්දවෙනකොට ඒක කොයි වගේ තියෙයි ද? ඒක අර රුවන් බන්දුජීවගේ සුප්‍රසිද්ධ කවි පේළියෙන් කියන්නා වගේ කියලයි මට හිතෙන්නේ.
Wednesday, January 17, 2024
Four Daughters (2023)
2016 අවුරුද්දේ IS (Islamic State) ත්‍රස්ත සංවිධානයට සම්බන්ධව කටයුතු කිරීමේ වරදට Gofrane සහ Rahma කියන තරුණ ගැහැනු ළමයින් දෙන්නා ලිබියාවෙදි අතඩංගුවට පත් වෙනවා. මොවුන් දෙන්නාම ටියුනීසියානු ජාතිකයින් (ටියුනීසියාව පිහිටා තියෙන්නේ අප්‍රිකානු මහාද්වීපයේ උතුරින් ඊජිප්තුවට සහ ලිබියාවට යාබදව). මේ ගැහැනු ලමයින්ගේ විශේෂත්වය තමා මේ දෙන්නා සහෝදරියන් වීම. අනෙක් විශේෂත්වය මේ දෙන්නාට තවත් සහෝදරියන් දෙදෙනෙක් සිටීම. ටියුනීසියාවේ ගැහැනු ලමයින්ම හතර දෙනෙක් ඉන්නා පවුලක වැඩිමල් සහෝදරියන් දෙන්නා තමා මේ ත්‍රස්ත කටයුතුවලට චෝදනා ලබන Gofrane සහ Rahma කියන්නෙ. බාල සහෝදරියන් දෙන්නා Eya සහ Tayssir. මේ හතර දෙනාගෙම අම්මා Olfa. Olfa ට සෑහෙන ලොකු අවධානයක් ඒ කලයෙදි රට ඇතුළෙ ලැබෙනවා. ඇය තමන්ගෙ දියණියන් දෙන්නා බේරගන්න නොබියව ඉදිරියට ගිහින් කතා කරනව. මේ අය බැතිමත් ඉස්ලාම් ආගමිකයින් වුණත් කොයිම විදිහකින් වත් අන්තවාදී අදහස් නොදරන බොහෝම සාම්ප්‍රදායික ටියුනීසියානු පවුලක්. එහෙනම් ඒ පවුලේම සහෝදරියන් දෙන්නෙක් සාමාන්‍ය විදිහට හැදී වැඩෙද්දී තවත් දෙන්නෙක් විතරක් ආගමික අන්තවාදයෙ ගොදුරු බවට පත්වෙන්නෙ කොහොමද? Four Daughters කියන්නෙ ඒ ගැන කතාවට.
Thursday, January 11, 2024
Dream Scenario (2023)
ඒ කාලේ ඩෙක් පීස් වලින්, වීසීඩීවලින්, නැත්නම් අයිටීඑන් සටර්ඩේ නයිට් මූවීස්වලින් චිත්‍රපටි බලපු අපේ ලෝකේ හිටි වීරයෙක් තමා නිකලස් කේජ් කියන්නේ. කොන් එයාර් වල ගුවන්යානාවක් මංකොල්ලකාර කණ්ඩායමකින් බේරාගන්න තනිව සටන් වැදුණු, ෆේස් ඕෆ් වල තමන්ගේ ස්වරූපය ගත්තු ජෝන් ට්‍රැවල්ටා එක්ක පොරබදපු, ද රොක් වගේ මිලිටරි ඇක්ෂන් මූවි එකක ෂෝන් කොනරි එක්ක රඟපාපු, ගෝස්ට් රයිඩර්වල යක්ෂාවේෂවන යතුරුපැදි ධාවකයා වුණු නිකලස් කේජ් ගේ තරුණ රෑපකාය 90 දශකය සහ 2000 මුල් කාලේ යුගවල නොස්ටැල්ජික මතක ආයෙ අවදිකරවනවා. ස්ටැලෝන් ලා, ආනෝල්ඩ්ලා ලොකු ප්‍රමාණයේ පෝස්ටර්වලින් රෙකෝඩ්බාර්වල, සීඩී කඩ ඇතුළේ අරක්ගනිද්දී, පොත් පත්තර සඟරා පිටුවල අවි ආයුධ අතේ දරාගෙන ඉඳිද්දී , නිකලස් කේජ් ලා, ජෝන් ට්‍රවල්ටා ලා, වෙස්ලි ස්නයිප්ස් ලා, බෘස් විලිස් ලා ත් ඒ අහළපහළම උන්නු බව මතකයි. කාලයත් එක්ක ටිකෙන් ටික මේ ඇක්ෂන් හීරෝ ලා සහ එයාලා පෙන්නපු වැඩ අපේ මතක පොත්වලටම සීමා වුණා, නැත්නම් වෙනත් අය ඒ තැන්වලට ආවා. ඒත් මේ ෆේස්බුක් යුගයේ නිකලස් කේජ් නම් ආයෙ අපි අතරෙ සැරිසරන්න පටන් ගන්නවා ආධාත්මික සුවය මීම් එකෙන්. (ඒක කොන් එයා ෆිල්ම් එකේ සීන් එකක්).






