චිත්‍රපටයක් බලල අවසානෙ ඇස්වලට කඳුලක් එනව කියන්න ඒක සෑහෙන හදවතටම දැනෙන කතාවක් වෙන්න ඕන. මේ චිත්‍රපටය බලන කෙනෙකුට එහෙම නොවුණ කියන්නෙ නම් ලොකු පුදුමයක්..
සාමාන්‍යයෙන් ඔයා දවසට කොයි තරම් දුරක් ගමන් කරනවද. වැඩට යන කෙනෙක් නම් බස් එකේ, කෝච්චියෙ, පයින් මේ නොයෙක් ආකාරයට කිලෝමීටර් ගණනාවක් දවසකට ගමන් කරනව. මෙහෙම සතියක් ඇතුලත කොයිතරම් දුරක් යනවද? මාසයක් ? අවුරුද්දක් ? ඊලඟට මේ ජීවිත කාලෙම කොයිතරම් දුරක් ගිහින් තියනව ද ? තව කොයිතරම් කාලයක් මේ ගමන යන්න ඕන ද? අවසාන ප්‍රශ්නෙට උත්තර නැතත් යම් නිශ්චිත තැනකින් නවතින තුරු අපි නිරන්තර ගමනක තමයි යෙදිල ඉන්න බව නම් ඇත්තක්. ඉතින් මෙහෙම ගිහින් අවසානෙ ඉතුරු වෙන යම් දෙයක් තියනව ද? මේ කාරණාව මතුවෙන්නෙ චිත්‍රපටයෙ එක කුඩා සිදුවීමකින්. චිත්‍රපටයෙ ප්‍රධාන චරිතය නිරූපණය කරන තරුණය පාලමකින් පහල ගඟක් දිහා බලන් ඉන්නව. ගඟේ ඉහළට උඩුගං බලා පීනන සැමන් මාලු මේ තරුණය දකිනව. සැමන් මාලු ජීවත් වෙන්නෙ සාගරයෙ. හොඳින් වැඩුණ සැමන් මාලු රංචු ගැහිලා ගංගාවන් දිගේ ඉහළට පිහිනනව. ගොඩබිම ආශ්‍රිත වැව් පොකුණ වල තමා මේ සැමන් මාලුන් ගෙ ඊලඟ පරම්පරාව බිහිවෙන්නෙ. උන් කුඩා වයසෙදි සාගරය බලා පීනා යනව. වැඩුණට පස්සෙ ආයෙත් ඉහළට එනව. මෙහෙමයි සැමන් මාලුව ගෙ ජීවිත චක්‍රය ගතවෙන්නෙ. ඒත් මේ උඩුගං බලා යන ගමනෙ ගොඩක් මාලු මිය යනව. නොයෙක් සත්තුන්ට ගොදුරු වෙලා, ගල්පර වල හැපිලා වැඩිහරියක් මාලු ජීවිතේ කෙළවර කර ගන්නව. එහෙනම් ඇයි උන් මෙච්චර දුරක් ගෙවාගෙන ඉහළට පීනන්නෙ. ඉහළට එන්න දරපු මහන්සිය එක තප්පරයකින් ඉවරයි නෙ ?. දැන් අපේ ම ජීවිත වලට හැරිල බැලුවොත් අපිට පුලුවන් මේ ප්‍රශ්නෙ අපෙන්ම අහගන්න.
Depatures චිත්‍රපටයෙ කතාව මෙහෙමයි ඩියාගෝ කොබයාෂි කියන්නෙ කුඩා කාලෙ ඉඳන් චෙලෝ වාදනවට දක්ෂතා පෙන්වන තරුණයෙක්. ඔහු විශාල වාදක මණ්ඩලයක චෙලෝ වාදකයෙක් විදිහට කටයුතු කරනව. ඒත් එක දිගටම ප්‍රසංගවලින් ලබන අසාර්ථකත්වය නිසා කණ්ඩායමේ ප්‍රධානියා තීරණය කරනව වාදක මණ්ඩලය විසුරුවා හරින්න. කරන්න දෙයක් නැති තැන කොබයාෂි , විශාල මුදලක් ගෙවල මිලට ගත්ත චෙලෝවත් විකුණා දමල තමන්ගෙ බිරිඳ එක්ක කුඩා කාලෙ හැදුනු වැඩුණු නගරෙට එනව. කොබයාෂි ගෙ අම්ම කුඩා කාලෙම ජීවිතෙන් සමුඅරගෙන. තාත්තත් කොබයාෂි ව අතහැර ගිහින්. ඒ නිසා එයා ඉන්නෙ තමන්ගෙම තාත්තා එක්ක තද වෛරයකින්. ජිවත් වෙන්න රැකියාවක් හොයන කොබයාෂි ට එක්තරා අපූරු දැන්වීමක් දකින්න ලැබෙනව. කරන්න තියන දේ ඒතරම් පැහැදිලි නැතත් විශාල වැටුපක් ලබන්න පුලුවන්. ඉතින් කොබයාෂි ඒ රැකියාව හොයා යනව. රැකියාව ලැබෙනව ඒත් ඊට පස්සෙයි කරන්න තියෙන්නෙ මොනාද කියල හරියටම කොබයාෂි දැනගන්නෙ. මිනි එම්බාම් කරුවෙකුගෙ සහයකයෙක් විදිහට වැඩ කරන්න තමයි ඔහුට සිද්දවෙන්නෙ. අකැමැත්තෙන් වුණත් ලැබෙන මුදල ගැන හිතල කොබයාෂි මේ වැඩේට කැමති වෙනව. ජපානයේ සම්ප්‍රදාය අනුව මියගිය පුද්ගලය ගෙ ශරීරය සූදානම් කරන්නෙ පවුලෙ අය ඉදිරියෙ. පුද්ගලය ගෙ රහස්‍යභාවය ආරක්ශා වෙන විදිහට බොහොම ඉවසීමෙන්, පිලිවෙලට කරන්න ඕන කටයුත්තක් ඒක. ඉන්පස්සෙ මියගිය කෙනා ගෙ පවුලෙ අයගෙ කැමැත්ත අනුව දේහය සරසල අන්තිම කටයුතු වලට සූදානම් කරන එක තමා තියෙන්නෙ. මුල දි එපා වුණත් ඉවසීමෙන් වැඩ ඉගෙන ගෙන කොබයාෂි මිනි එම්බාම් කරුවෙක් වෙනව. මළසිරුරු එක්ක වැඩකිරීමෙන් ඔහු ජීවිතේ ගැන නොයෙක් අත්දැකීම් ලබනව. ඒත් තමන් ගෙ රැකියාව ගැන කොබයාෂි බිරිඳ ගෙනුත් හිතමිත්‍රයන් ගෙනුත් වසන් කරනව. දවසක් මේ රහස එළිවෙනව. බිරිඳ ඔහුව හැර යනව. ඉන්පස්සෙ කොබයාෂි ගෙ ජීවිතේ කොහොම ගෙවෙයි ද?
Departures , 2009 අවුරුද්දෙ හොඳම විදේශ භාෂා චිත්‍රපටයට හිමි ඔස්කාර් සම්මානය ඇතුලුව තවත් සම්මාන ගණනාවකින් පිදුම් ලබනව. මෙතෙක් ලෝකයෙ හැදුනු හොඳම චිත්‍රපට අතරට මේක බොහෝ අවස්ථාවල කියැවෙනව. මුලින්ම සඳහන් කළා වගේ මේ චිත්‍රපටය බලන කෙනෙකුගෙ ඇස් වලට කඳුලක් නංවන්න සමත් වර්ගයෙ එකක්. ඒකට හේතුව මම හිතෙන්නෙ ආසියාතික අපිටම දැනෙන හෘදයාංගම බවක් ළතෙත් කමක් මේ කතාව පුරා තැවරී තියන නිසා විය යුතුයි.
ජීවිතේ විවිධාකාර පැතිකඩ ගණනාවක් මේ චිත්‍රපටයෙන් කියවාගන්න පුලුවන් . අපිට ආදරය කරන අය අපි කොයිතරම් හොඳින් හඳුනාගෙන ඉන්නව ද. අපි ජිවිතේ ඇතුලෙ මොනවගේ වටිනාකමක් ද ඒ ආදරයට දීල තියෙන්නෙ. සමහර විට දේවල් වටහගන්නකොට අපි ප්‍රමාද වැඩි වෙන්න පුලුවන් ( මේ ගැන වැඩි විස්තර කියන්නෙ නෑ කතාව Spoil වෙන්න ඉඩ තියන නිසා). අනිත් අතට හැම දෙයක්ම අපි සැලසුම් කරන ආකාරයටම සිද්දවෙන්නෙ නෑ. මොකද ජීවිතේ කියන්නෙ නිකම් රේල් පීල්ලක් උඩ දුවන කෝච්චියක් වගේ එකක් නොවන හින්ද. කොබයාෂි හීන දකින්නෙ චෙලෝ වාදකයෙක් වෙන්න. ඒත් බොහොම අවාසනාවන්ත විදිහට ඔහුගෙ ඒ හීනෙ බොඳවී ගිහින් අවසානෙ ඔහු නතර වෙන්නෙ දක්ෂ මිනි එම්බාම් කරුවෙක් බවට පත්වෙලා. සමාජෙ ඇතුලෙ, තමන්ගෙ හිතමිත්‍රයන් අතරෙ, ඒ කටයුත්ත ගැන පිලිකුලක් ඇති වුනත් අවසානෙ තමාගෙ වෘත්තීය ගැන ඒ හැමකෙනෙක් ඇතුලෙම විශාල ගෞරවයක් ඇති කරවන්න කොබයාෂි සමත් වෙනව. මේ ආකාරයකට ජීවිතේ ගැන අලුත් ඇහැකින් හිතන්න නොයෙක් පැති වලට දොරටු විවර කර දෙන සිනමා නිර්මාණයක් විදිහට මට Departures හඳුන්වා දෙන්න කැමතියි. හදවතට දැනෙන බොහොම සංවේදී කතාවක් බලන්න කැමති අයට මේක ඉහළින් ම නිර්දේශ කරනව.
ස්තූතියි හෂාන් මේ හඳුන්වාදීමට. නැරඹිය යුතුම චිත්‍රපටයක් විදිහට හිතට දැනුණා.
ReplyDeleteබලන්න මේක බොහොම සංවේදී කතාවක් :)
Delete