Thursday, June 7, 2018

දොළහක් - 12 Angry men (1957)



ඇක්ෂන් නැහැ, පණදීගෙන ආදරේ කරන පෙම්වත්තු නැහැ, සින්දු නැහැ, ගලේ ගැහුවත් 
නසරානි ගතිය යවන්න බැරි පෙරාපු දුෂ්ටයො නැහැ, දෙබස් පමණයි! ආරම්භක දර්ශනයෙ 
විනාඩි 3 ත් අවසාන දර්ශනයත් ඇර කතාවෙ පැය 1 යි විනාඩි 36 න් අනෙක් මුලු කාලයෙම ද
කින්න ලැබෙන්නෙ එක කාමරයක් ඇතුලෙ එකම දර්ශන තලයක වෙන සිදුවීම් කීපයක් විතරයි. 
ඉතින් මේ වගේ චිත්‍රපටයක් බලන එක මහ කම්මැලි හිතෙන වැඩක් නෙමෙයි ද? ඇත්තටම 
ඒක එහෙම නොවෙයි.12 Angry men ආදායම් අතින් සාර්ථක වෙනව විතරක් නොවෙයි. 
මෙතෙක් ලෝකයෙ හැදුණ විශිෂ්ටතම චිත්‍රපට කීපය අතරටත් එකතු වෙලා තියෙනව.

කුඩා දරුවෙක්ට තමන්ගෙ පියාව ඝාතනය කළ බවට චෝදනා එල්ලවෙලා. ඒ දරුවා අපරාධය 
කළ බවට බොහොම පැහැදිලි සාක්ශි උසාවියට ඉදිරිපත්වෙනව. මේක බොහොම බරපතළ 
කාරණාවක් නිසා උසාවියේ ජූරි සභිකයින් 12 ට පැවරෙනව අවසාන තීරණය ගන්න. බැරිවෙලාවත් 
වැරදිකරු විදිහට තීරණය වුණොත් දරුවාට සිද්දවෙනව විදුලි පුටුවෙ ඉඳගෙන අවසන් ගමන් 
යන්න. ජූරි සභිකයින්ට වෙන්කළ කාමරයට එන 12 දෙනා ඡන්ද විමසීමකින් අවසාන තීරණය 
ගන්න එකඟතාවයකට එනව. 12 න් 11ක් ම දරුවා වැරදිකරු බව තීරණය කරනව. ඒත් 
එක්කෙනෙක් ඇරෙන්න. ජූරි සභාව යම් තීරණයකට එන්න නම් ඊට පක්ශව ඡන්ද 12න් 12 ක්ම 
ලැබිය යුතුයි. Davis කියන මේ පුද්ගලයා සත්‍යබවට බැලූ බැල්මට පේන සාක්ශි බොහොම 
ගැඹුරින් ප්‍රශ්න කරල දරුවා වැරදිකරු නොවෙන බව පෙන්වා දෙන්න උත්සහ කරනව. නමුත් 
11 දෙනෙක්ම Davis ට විරුද්ධව පෙළගැහෙනව. අනික් හැමෝම තමන් හරි කියා හිතන 
පැත්තක් අරගෙන ඒ මතය ඔප්පු කරන්න තර්ක කරද්දී Davis විතරක් පෙනෙන කරුණු වල 
ගැඹුරට ගිහින් සත්‍ය සොයාගන්න උත්සහ කරනව. තර්ක ගොඩ නැගෙන හැටි, තර්ක බිඳවැටෙන 
හැටි, සත්‍ය කියල පිලිගන්න ඕනැම මතයක සාධාරණ සැකයකට ඉඩ ඉතුරුවන හැටි අතරේ 
උද්වේගකාරී අවසානයකට චිත්‍රපටය ගමන් කරනව.

එකම දර්ශනතලයක රූගත කර තියන නිසා විවිධ මට්ටමෙන් කැමරා කෝණ එකතුකර 
ගැනීමෙන් චිත්‍රපටයෙ ඒකාකාරී බව නැති කර ගන්න අධ්‍යක්ෂ වරයා උත්සහ කර තියනවා. 
ඒ වගේම දෙබස් වල ප්‍රබලත්වය චිත්‍රපටයෙ ජීව ගුණය රැකගන්න ලොකු දායකත්වයක් දෙනව. 
12 Angry men චිත්‍රපටයට මුල් කරගන්නෙ ඒ නමින්ම නිර්මාණය වුණ ටෙලිනාට්‍යක්. මේ 
දෙකම රචනා කරන්නෙ Reginald Rose. මිනිස්සු එදිනෙදා ජීවිතේ කටයුතු කරන්නෙ කොයි 
තරම් අන්ධ විදිහටද. මිනිස්සු තමන්ගෙ අදහස්ම ක්‍රියාත්මක කරන්න කොයිතරම් ආත්මාර්ථකාමී, 
අවස්ථාවාදී ව හැසිරෙනවද කියා පෙන්වාදෙන චිත්‍රපටයක්. උවමනාවෙන් බැලුවොතින් කවදාවත් 
අමතක නොවෙන සිනමා අත්දැකීමක් වෙන එක සහතිකයි.

("12 දොළහක්" නමින් මෑතකදි අපේ රටේ නිශ්පාදනය වෙන්නෙ මේ කතාවේ සිංහල අනුවර්තනය තමයි)





2 comments:

  1. https://gadyanohothkavi.blogspot.com/2018/06/12-angry-men-1957.html

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි මාතලන්!!!

      Delete