Monday, October 20, 2025

ආයු

පහුගිය කාලෙක කියවපු Mark Manson ගේ The Subtle Art of Not Giving a F*ck පොතේ තිබ්බ මගේ හිතගත්ත එක කියමනක් ආපහු මේ සයිබර් අවකාශ දි දැකගන්න ලැබිලා ආයෙමත් මගේ ඔලුව ඇතුළේ ඒක නිතර ඇහෙන්න පටන් අරගෙන තියනවා. කතාව මේකයි. Mark Manson කියනවා ජීවිතය කියන්නෙ වියමනක් කියලා. නොයෙක් වර්ගවල නූල් වලින් තමා මේක ගෙත්තම් වෙලා තියෙන්නෙ. දුක් වේදනාවන් කියන්නේ ජීවිත වියමනේ තියන තවත් එක නූලකට. හැබැයි මේක ගලවලා අයින් කරන්න බැරි තරමට ජීවිතේ එක්ක පෑහිලා තියෙන්නෙ. අපි දුක කියන මේ නූල ජීවිත වියමනෙන් ගලවලා දාන්න උත්සාහ කිරීමෙන් සිද්ද වෙන්නෙ ඒ වියමනම ලෙහිලා විනාශ වෙලා යන එක. අපි දුක්වේදනාවන් එක්ක පොරබදන තරමට අපි තවත් වේදනාවෙම ගිලිලා යනවා. අපි මේ අනිවාර්ය දුක් වේදනාවන්ට අනවශ්‍ය තරම් අවධානයක් නොදී ඉඳීමයි කළ යුතු වෙන්නේ කියන කාරණාව Mark එයාගේ පොත පුරාම පැහැදිලි කරනවා. ජීවිතේ සැනසීමේ, සංහිඳීමේ මාර්ගය වැටිලා තියෙන්නේ මේ දුකත් එක්ක ඇලීම, ගැටීම නතර කරන තැනින්. මේක එක්තරා ආකාරයකට බෞද්ධ දර්ශනය එක්කත් සම්බන්ධ කමක් තියනවා. බුදුන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ මම දන්න තරමට, දුක කෙළවර කිරීම ආරම්භ වෙන්නේ පැවැත්මේ තියෙන මේ අනිත්‍යතාව සහ ඒ හේතුවෙන් හට ගන්න දුක්සහිත බව මැදහත් සිතකින් තේරුම් ගැනීමත් එක්ක. මිනිස්සු වශයෙන් ස්වභාවයෙන්ම අපි ඇතුළේ තෘෂ්ණාවත්, කෙළස් සහගත බවත් පවතිනවා. ඒ නිසා අපි දුකක් බව දැන දැන වුණත් ජීවිතය ඇතුළේ නොයෙක් දේවල් එක්ක දැඩි ආශාවකින් බැඳෙනවා. ස්ථිරසාර විදිහට දුක නිදහස් වීම කරන්න පුළුවන් මේ කෙළෙස් ප්‍රහීන කරලා තෘෂ්ණාව දුරු කර ගැනීමෙන් බවයි බුද්ධ දේශනාවේ සඳහන් වෙන්නේ.

මේ දවස්වල තිරගත වෙන ආයු චිත්‍රපටිය බලද්දී මගේ මතකයට ආවෙ අර ජීවිත වියමනේ කතාව සහ දැන් වෙනකොට සරලවම පින් පව් කර්ම වගේ දේවල් එක්ක සමාජය ඇතුළේ ඇත්ත දාර්ශනික ගැඹුර අහිමි වෙමින් තිබෙන බුදු දහම. වේදනාවේ නූල් පටින් ජීවිතේ ඇතුලේ අඳුරු ගෙත්තම් මවද්දී නමුත් තමන්ගේ ඇතුළාන්ත ආලෝකය නැති කර නොගන්න වෙරදරන චරිත කිහිපයක් එක්කයි චිත්‍රපටිය ගලා යන්නේ. ආයු කියන්නේ රූපයම මාධ්‍යයෙන් ලියවුණු කවියක්. මේක ඇතුළේ කරන දෘශ්‍යමය ගොඩනැංවීම ඒ තරම් සෞදර්යාත්මකයි, සංකේතරූපියි. රූපය පමණක් නොවෙයි මේ චිත්‍රපටියේ සංගීතයත් ඒ වගෙයි. චිත්‍රපටියේ හිස්කම මකා දැමීමට එහා ගිහින් කතාව ඇතුළේ ඒ සියුම් භාවයන් මතු කරන ආකාරයෙනුයි චිත්‍රපටිය ඇතුළේ සංගීතය භාවිත වෙලා තියෙන්නේ. ලෝක සිනමාව ඇතුළේ මේ කාව්‍යමය සෞන්දර්ය අපි අත්විඳලා තියනවා තර්කොව්ස්කි, බර්ග්මාන්, කිසලොව්ස්කි, කොරීඩා, ටෙරන්ස් මලික් වගේ අයගේ සිනමාපට ඇතුළේ. අපේ රටේ මේ වගේ චිත්‍රපටියක් දකින්න ලැබෙන එක ලොකු සතුටක්. මොකද ලංකාවෙ සිනමාව පණගැහිලා නැගිටගෙන එන මේ කාලේ එක පැත්තකින් ප්‍රේක්ෂකාගාර පුරවන සිනමාවක් වගේම අනෙක් පැත්තෙන් ආත්මය පුරවාලන සිනමාවක් අපිට අවශ්‍ය නිසා. ආයු චිත්‍රපටිය ඉෂ්ට කරන්නේ ඒ බලාපොරොත්තුව. චිත්‍රපටිය බලන මුළු වෙලාවෙමත් චිත්‍රපටි ශාලාවෙන් නැගිටලා ගියායින් පස්සෙත් පුදුම තරම් සැනසිල්ලක් සංහිඳීමක් මට අත් විඳගන්න ලැබුණා. මම විශ්වාස කරනවා චිත්‍රපටිය බලන්න එන කෙනා නොවෙයි ශාලාවෙන් පිටවෙලා යන්නේ, දශමයක් හරි ඇතුළාන්තයෙන් නිවිලා කියලා. ඒක තමා මනස සුවපත් කරන මේ කාව්‍යමය සිනමාවේ මැජික් එක.


මං බොහොම තදින් විශ්වාස කරනවා සොබාදහම ආශ්‍රයෙන් අපිට මේ ජීවිත සත්‍යතාවන් බොහොම පැහැදිලිව තේරුම්ගන්න පුළුවන් කියලා. මොකද මනුස්සයා කියන්නේ ස්වභාව ධර්මයේම කොටසක්ම තමයි. අපේ ජීවිත යථාර්ථයන් ස්වභාවික ලෝකයේ ධර්මතාවන් එක්ක හරි ලස්සනට සමපාත වෙන හැටි ඒ ගැන හිතලා බැලුවොත් අපිට වටහාගන්න පුළුවන්. කලාවෙන් කරන්නෙත් මේ සත්‍ය එක්තරා රසවින්දනාත්මක ආකාරයකට නැවත ගොඩනැංවීම. ආයු කියන්නෙත් එහෙම නිර්මාණයක්. ප්‍රධාන වශයෙන්ම මුහුද ප්‍රබල සංකේතයක් විදිහට චිත්‍රපටිය පුරාම පවතිනවා. මුහුද කියන්නෙත් හරි අපූරු කතන්දර කියන්නෙක්. රැළි රැළි පෙරළිලා ඇවිත් කිරි සුදු පාටට වෙරළේ විසිරිලා යන හැටි, අප්‍රමාණ ගැඹුරක් හංගගෙන දියඹ ඈතට වෙලා නිහඬවම බලා ඉන්න හැටි, මතුපිටින් සුළිකුණාටු හට ගත්තත් පතුළේ මුතුඇට, කොරළ්පර, වෛවරණ මාළු හැංගිලා ඉන්න හැටි, වෙනම හිතලා බැලුවොත් මේවාත් එක්තරා ආකාරයක කතන්දර තමයි. ආයු චිත්‍රපටියට වස්තු විෂය වෙන්නේ මුහුදු වෙරළ ඉස්සරහා ගෙවිලා යන එක්තරා කෙනෙකුගේ, දෙන්නෙකුගේ ජීවිත කතන්දර. මේක සත්‍ය කතාවක් ඇසුරෙන් නිර්මාණය වුණු බවට චිත්‍රපටය ආරම්භයෙදිම සඳහන් වෙනවා. මනුස්ස සම්බන්ධකම් වල ගැඹුරු මානයන් ඒ කතාව ඇතුළේ ඉසියුම්ව ස්පර්ශ වෙනවා. ඒ කතාව ගැන කිසිවක් නොකියා ඉන්නම්, මොකද චිත්‍රපටිය බලනවා නම් ඔබ ඒ කිසිවක් නොදැන හිස් වුණු මනසකින් සිනමාශාලාවට යන එක වඩාත් සුදුසු නිසා. ඒ කම්පනයත් වගේ නිවීමත් ඔබම විඳගත යුතු යි. නමුත් කතාවේ ඇතුලාන්තය ගැන මට දැනුණ මේ ටික කියන්නම්. මිනිස්සු විදිහට අපි ගොඩක් වෙලාවට ජීවිතය දිහා බලන්නේ තෘෂ්ණාවේ පැත්තෙන් හිටගෙන. අපි අපේ දියුණුවේ අනාගත සැලසුම් හදන්නේ, මිනිස්සු එක්ක නොයෙක් සම්බන්ධකම් හදා ගන්නේ මේ ආශාවේ තෘෂ්ණාවේ පැත්තෙන් බලලා. නමුත් එක මොහොතක් එනවා සියළුදේම අපිට අහිමි වෙලා යනවා කියලා දැනෙන. අපි අල්ලාගෙන ඉන්න ලෝකය අපේ අතින් ගිලිහිලා යනවා. එතකොට ලෝකය අල්ලා ගැනීමේ පැත්තෙන් බැලුවාම අපි දුක් මහන්සි වෙලා ගොඩනගා ගත්තු සියළුදේම අහිමි වෙලා යන්න නියමිත බව පේන්න පටන් ගන්නවා. අන්න එතකොටයි අපි අතහැරීමේ පැත්තෙන් ජීවිතය දිහා බලන්නේ. අතහැරෙන්න නියමිත දේවල් එක්ක සාමයෙන් පවතින්න පුළුවන් අපිට එතකොට විතරයි. තෘෂ්ණාවෙන් නොබැඳී අවබෝධයෙන් ජීවිතය දිහා බලන්න අපිට පුළුවන් වෙන්නේ එතකොටයි. චිත්‍රපටිය ඇතුළෙම දෙබසකින් ඒ ගැන කියවෙනවා මෙහෙම.


"භෟතික ජීවිතයයි මනසයි කියලා කියන්නේ එකම කාසියක දෙපැත්තක්. මිනිස්සුන්ට මොළයක් දීලා තියෙන්නෙ ඇයි? තේරුම් ගන්න තේරුම් අරන් ජීවත් වෙන්න"


චිත්‍රපටියේ රඟපෑම් ගැන මේ ටික නොකියා බෑ. ප්‍රධන චරිතය වුණ නිෂ්මි විදිහට රංගනයෙන් දායක වෙන සැන්ඩ්‍රා මැක් ඒ චරිතය වෙනුවෙන් හොඳ සාධාරණයක් කරනවා. සැන්ඩ්‍රා එයාගෙ ඉන්ටවිව් එකකදි කියනවා එයා කලින් 2002 අවුරුද්දේ වගේ බූඩි ගේ "සත්‍යා" ටෙලි නාට්‍යයේ ප්‍රධාන චරිතයක් කළා කියලා. එතකොට තමයි මම එයාව අඳුනගත්තේ. සත්‍යා ඒ කාලේ ගිය ටෙලි නාට්‍ය අතරින් වෙනස්ම වැඩක් විදිහට මගේ මතකයේ තියනවා. ඒ නාට්‍යයේ සැන්ඩ්‍රා ගේ රෑපකාය මට යන්තම් වගේ මතකයි. ඉන් අවුරුදු විසිගාණකට පස්සෙයි තිරයක් මත මම ආපහු එයාව දකින්නේ. සැන්ඩ්‍රා මේ නිශ්මි ගේ චරිතයට වෙනස්ම ආකර්ශණයක් අරගෙන එනවා කියලා මම හිතනවා. (සැන්ඩ්‍රා ගේ ඉන්ටවිව් එක වුණු "මතක පද" වැඩසටහන මුල සිට මම බැලුවා. මුළු වෙලාවෙම මම බලා හිටියේ එයා කතා කරන විදිහ දිහා, වචන පෙළගස්වන විදිහ දිහා, තමන්ගේ වෘත්තීය ඇතුළේ එයාට තිබ්බ passion එක දිහා, එයා හරි inspirational මනුස්සයෙක්. මට දැන් සැන්ඩ්‍රා හැර නිෂ්මි ගේ චරිතයට ගැළපෙන කෙනෙක් ඉන්නවද කියලා හිතාගන්න බැරි තරම්) ජගත් මනුවර්ණ මේ චිත්‍රපටියේ රඟපෑවද? මම නම් දැක්කේ සචින් කෙනෙක්ව, එයාගේ පෙනුම ජගත් මනුවර්ණ වගේ තමා. එතනින් එහාට ඒ රඟපෑම ගැන කියන්න දෙයක් නැහැ. සියළු අගය කිරීම් ඒ ඇතුළේ තියනවා කියලා මම හිතනවා. ලැබෙන සුළු කාල පරාසය ඇතුළේ වුණත් නලින් ලුසේනා, ප්‍රියන්ත සිරිකුමාර, අශාන් ඩයස්, තුමිදු දොඩංතැන්න මේ හැමෝම හොඳ රංගනයක් කරනවා. මාලනී ෆොන්සේකාව තිරය මත දකිද්දී සියුම් දුකක් දැනුණා. මේ ඇයගේ අවසාන රංගනයත් වෙන්න ඇති සමහර විට. 


හැකි තරම් කෙටියෙන් මේ ටික ලියුවේ තවමත් ආයු නොබැලූ කෙනෙක් ඉන්නව නම් ළඟම තියන සිනමා ශාලාවට ගිහින් මේක බලන්න කියන්න. ඒ නිවීම සැනසීම විඳගන්න කියන්න. 


මේ වැනි චිත්‍රපටියක් නිර්මාණය කිරීම ගැන අධ්‍යක්ෂ වරයා ඇතුළු සමස්ත කණ්ඩායමටම මගේ ආචාරය!!

.

.

.

"කෙලෙස් පිරිච්ච ජීවිතේ හරියට දූවිලි බාධක තියන පාරක් වගේ. කෙලෙස් අතහැරියාම දැනෙන්නේ අහසේ නිදහස් පියාඹන කුරුල්ලෙක් වගේ. කුරුල්ලොත් හුළං පාරට අහුවෙනවා. මෝසම් හුළඟට අහු වුණාම කුරුල්ලෝ යන්නේ වෙනම දේශයකට. කුරුල්ලෝ ඒ ගැන දුක්වෙන්නෙ නෑ. ඒක උන්ට වෙනම ලෝකයක්. උන් දන්නවා මේ ලෝකෙ කාටත් උන් ගැන ගාණක් නෑ කියලා."


- ආයු




No comments:

Post a Comment