Monday, November 16, 2020

The Babadook - 2014

යම් දෙයකට බය වීම සැහෙන පීඩාකාරී මනෝභාවයක් බව අපි දන්නෙ අත්දැකීමෙන්ම යි. තර්ජානාත්මක යමක්, ජීවිතයෙ යම් නුහුරුදායක තත්ත්වයක් හමුවෙ බිය ජනක හැඟීම් ඇතිවෙන මේ සහජ ගති ස්වභාවය, ස්වභාවිකවම අනතුරුදායක තත්ත්වයන් ගෙන් ගලව ගන්න ආරක්ෂන ක්‍රමවේදයක් විදිහටත් සමහර වෙලාවක ක්‍රියාකරනව. Horror වර්ගයෙ චිත්‍රපට වලින් කරන්නෙ මේ සහජ හැඟීම යම් වින්දනාත්මක තලයකට අරගෙන ඒම. සමහර චිත්‍රපටයක් නිකම්ම බය කිරීමකින් කෙළවර වුණත්, කලාකෘතියක් විදිහට චිත්‍රපටයකට එතනින් එහා ජීවිත විවරණයකට යන්න පුලුවන්. 2014 තිරගත වුණු The Babadook චිත්‍රපටය මේකට උදාහරණයක්. පියා අහිමි පවුලක මවක් සහ කුඩා දරුවෙක් වටා චිත්‍රපටයෙ කතාව ගොඩනැගෙන්නෙ. මේ දරුවා කියවන පින්තූර පොතක චරිතයක් වෙන භයානක රාක්ෂයෙක් Babadook නමින් හැඳින්වෙන්නෙ. පොතෙන් එහාට තමාට මේ Babadook සැබෑවටම හමුවෙන බව පොඩි එකා කියනව. තමාගෙ මවට හිරිහැර කිරීමට එන ඔහු ගෙන් මව බේරාගත යුතු බවත් පොඩි එකා නිතර කියනව. පොඩි එකෙකුගේ මනෝ විකාර කියමින් ඒවා නොසලකන මවට, සැබෑවට එවැනි යමක් සිදුවෙන බව හැඟී යන්නෙ ඇය මුහුණ දෙන යම් අත්භූත සිදුවීම් මාලාවක් නිසා. තත්තවය ක්‍රමයෙන් හැරෙන්නෙ වඩාත් භයානක අතකට.

මේ නිවසේ පෙනී නොපෙනී යන අද්භූත ආගන්තුකයෙකුගෙ ස්වරූපයෙන් අපි දකින Babadook ගෙන් සංකේතවත් වෙන්නෙ හුදෙකලා ගැහැණියකගේ යම් යම් අඳුරු මනෝභාවක් ද නැත්නම් පියා නොමැති කුඩා දරුවෙක් ගේ අනාරක්ෂිත බවද කියන කාරණය හිතන්නෙ චිත්‍රපටයෙ ඉඩ විවර කර තබනව. චිත්‍රපටය ඇතුලෙ භාවිත කර තියෙන රූපරාමු වල අඳුරු වර්ණ, Babadook ගේ අත්භූතජනක ස්වරූපය සහ විශේෂයෙන් මේ මවගේත් දරුවාගේත් චරිත නිරූපණයන් ඒ හැඟීම තවත් තීව්‍ර කරවන්න සමත් වෙනව. ජීවිතයෙ ඉතිරි අතෘප්ති කර ස්වභාවයන් කිසිදාක කෙළවර නොවෙන බවත්, නොයෙක් ආකාරයෙ බැඳීම් (චිත්‍රපටයෙ නම් මව සහ දරුවා) ආශ්‍රයෙන් අපි එක් ආකාරයට අපි ලඟ ඉතිරි ඒ හිස් තැන් තෘප්තිමත් කර ගැනීමේ නොනිමෙන ලුහුබැඳ යාමක නිරත වෙන බවත් චිත්‍රපටයෙ වටහා ගන්න බැරි, අවසානයක් නැති අවසානයෙන් කියවෙන බව මම හිතනව. Horror රසය සමග යම් ගැඹුරක් ඇති කතා පුවතක් ඉදිරිපත් වෙන චිත්‍රපටයක් විදිහට The Babadook හඳුන්වන්න කැමතියි.




No comments:

Post a Comment