Monday, September 26, 2022

Big Fish (2003)

විල් බ්ලූම් කියන්නෙ අනික් හැම දරුවෙක් වගේම හරිම සාමාන්‍ය විදිහට මේ ලෝකෙට ඉපදුණු තවත් එක දරුවෙක් විතරයි. ඒත් විල් ගේ තාත්ත එඩ්වර්ඩ් බ්ලූම්ට නම් ඒක කොහෙත්ම සාමාන්‍ය සිදුවිමක් වුණේ නෑ. පුතෙක් ඉපදුණා කියන්නෙ එයාට ජීවිතේ ලොකුම සන්ධිස්ථානයක් වුණා. හැම තාත්ත කෙනෙකුටම ඒක එහෙම නෙ. ඉතින් ඒ හින්ද තමාගෙ පුතාගෙ උපත හරි විශේෂ එකක් කරන්න එයා තමන්ගෙ සුවිශේෂ හැකියාව යොදවල පොඩි දෙයක් කලා.

එඩ්වර්ඩ් බ්ලූම් කියන්නෙ වචනෙ අර්ථෙන්ම සමාජශීලී සත්ත්වයෙක්. මිනිස්සු එක්ක කතාබහ කරන එක, කවුරුත් කරන්න හිතන්නෙවත් නැති අමුතු අමුතු වැඩ කරල බලන එක, එව තමා එයාට තිබ්බ ලොකුම විනෝදෙ. හොඳට අතින් දාල වටකුරු කරල කතන්දර ගොතල කියන්න එඩ්වර්ඩ් බොහෝම දක්ෂයි. ඒ නිසා එයා තමන්ගෙ පුතා ඉපදුණු දිනය ගැන අපූරු කතාවක් හදල නිතරම ඒක මිනිස්සු අතර කතා බහේ දි ප්‍රසිද්ධ සභාවල වගේ කියන්න පුරුදු වෙලා හිටිය. ඒ කතාවත් එඩ්වර්ඩ් බ්ලූම් කියපු අනික් කතා වගේ සෑහෙන ජනප්‍රිය වුණා. 

ඔහොම කාලයක් ගතවුණා. දැන් එඩ්වර්ඩ් බ්ලූම් වයසයි. එයාගෙ පුතා විල් හොඳ තරුණයෙක් දැන්. විල් මොනදේ වුණත්  තමන්ගෙ තාත්ත ගැන ලොකු කලකිරීමකින් හිටියෙ. තාත්තට හැමදාමත් එයාගෙ තරුණ කාලෙ, ළමා කාලෙ ගැන කියල දෙන්න තිබ්බෙ අදහගන්න බැරි කතන්දර ගොඩක් විතරයි. තාත්ත කවදාවත් තමන්ට ඇත්ත කිව්වෙ නෑ කියලයි විල් හිතුවෙ. එයාට අනුව, එඩ්වර්ඩ් බ්ලූම් කියන්නෙ සාගරේ පාවෙමින් තියන අයිස්බර්ග් එකක් වගේ මනුස්සයෙක්. එයා ලෝකෙට කියපු කතා ටික අර අයිස්බර්ග් එකේ මතුපිට පේන 10% ක කොටස විතරයි. තාත්තගෙ ඇත්ත ජීවිතේ තියෙන්නෙ අර නොපෙනෙන 90% ඇතුළෙ. ඒ හින්ද එයා උත්සහ කලා ඒ නොදැකපු 90% ජීවිතේ මොනවගේද කියල තාත්තගෙන් දැනගන්න. බොහෝම වයසට ගිහින් ජීවිතේ එළිපත්ත උඩ ඉන්න එඩ්වර්ඩ් බ්ලූම් තමන්ගෙ ඇත්තම ජීවිත කතාව පුත්‍රයාට එළි කරාවි ද? එහෙම වුණොත් ඒක් කොයි වගේ කතන්දරයක් වේවි ද?

සුප්‍රසිද්ධ සිනමාකරු Tim Burton ගේ Big Fish චිත්‍රපටය බැලුවොත් ඔබට මේ කතාව හරියටම දැනගන්න ලැබේවි. Big Fish නිර්මාණය වෙන්නෙ Daniel Wallace නම් ලේඛකයා මේ නමින්ම ලියුව නවකතාව මුල් කරගෙන. චිත්‍රපට බලන මගෙ මිත්‍රයින් බොහෝම දෙනා මේක දැනටමත් බලල ඇති මම හිතන්නෙ. මොකද Big Fish කියන්නෙ ප්‍රේක්ෂකයන් අතර සෑහෙන ජනප්‍රිය චිත්‍රපටයක්. ඇත්තටම Big Fish සුරංගනා කතාවක ෆැන්ටසියාත්මක අපූර්වත්වය එක්ක මතක හිටින ජීවිත කතාවක් කියාදෙන මඟහැර නොගත යුතු ම චිත්‍රපටයක් බව කියන්නම්.



No comments:

Post a Comment