Tuesday, September 13, 2022

අවසන් පැතුම

තැනිතලා පොළව පිස එන
සිහිල් සුළං දහරක් මත
ලියාතබන්නේ මේ කවිය ඔබටයි...
මා සිටින්නේ,
සූරියකාන්ත මල් පිපුණ තැන්නේ
ඔබ හොඳින් දන්නා තැනකයි...

එක්තරා වසන්තෙක අවසන
ඔවුන් සමඟින් එක්වී ඔබද
මා වළ දැමූයේ මෙතැනයි....

ඉන්පසු මම,
බොහෝ ඍතු ගෙවා පසුකර,
විලෝ වෘක්ෂයක් සේ වැඩුණෙමි
මගේ අවසන් පැතුම විලසම...

ඉතා දිගු ඉති අතු මාගේ
නැවී සිපගන්නා කළ පොළොව
බොහෝ අය කියති මා 
හඬා වැළපෙන බව..

එහෙත් සැබෑවක් නොවෙයි එය..
සුවසේ වෙසෙමි මම මෙතැන.
ශෝකබර මෙන්ම ප්‍රීතිමත්,
කුරුලු ගී හඬෙහි කිමිදෙමින්...
සිහිල් මඳ නළේ නැහැවෙමින්...
සූරියකාන්ත මල් සුවඳ විඳිමින්.

තැනිතලා පොළව පිස එන
සුළං දහරක් මත
ලියාතබන්නේ මේ කවිය,
දිගු ගිම්හාන කාලේ
තණපත් පවා වියැළෙන දහවලේ
බොහෝ දුර ඇවිදයන ඔබටයි...
මා සිටින්නේ සූරියකාන්ත මල් පිපුණ
තැනිතලාවේ කෙළවර 
සිහිලස ද සෙවණ ද ඇති,
ඔබ හොඳින් දන්නා තැනකයි...
.
.
.

Image : 'Weeping Willow' by Claude Monet



1 comment: