Monday, January 30, 2023

මායා කවය (The Craftsman)

රෝමානු අධිරාජ්‍යයෙ බලපෑමත් එක්ක, යුරෝපය පුරා කිතුණු දහම ව්‍යාප්ත වෙන්න කලින්, යුදෙව් සහ අනෙක් ඒකදේවවාදී අගම් හැර, යුරෝපයේ නොයෙක් කලාපවල ගතානුගතිකව පැවතුණු නොයෙක් බහුදේවවාදී ඇදහිලි විශ්වාසයන් පොදුවේ හඳුන්වන්න Paganism යෙදුම භාවිතයට ගැනුන. Pagan කියන්නෙ විවිධාකාර විෂයයන් සමූහයක් පොදුවේ හඳුන්වන්න යෙදුණු පදයක්, එහෙම නැත්නම් umbrella term එකක්. ස්කැන්ඩිනේවියානු රටවල නෝර්ඩික් ඇදහීම්, අයර්ලන්තයෙ සහ එංගලන්තයෙ කැල්‍ටික් සම්ප්‍රදායන්, ඩෘයිඩ්ස් ආගම් සහ ග්‍රීක්, ජර්මැන්ටික්, ස්ලැවික් වැනි දියුණු යුරෝපියානු ගෝත්‍රයන් අතර පැවතුණු තවත් ඇදහීම් ගණනාවක් Paganism ගණයට ගැනෙනව. සොබාදහම සහ එහි ජීව ක්‍රියාවලි එක්ක තදින් බැඳිල තිබීම Pagan ඇදහීම් වල මූලිකම ලක්ෂණයක්. ඒවගේම සෘජුවම ඇදහීම් යටතට නොගැනෙන, නමුත් ඇදහිලි විශ්වාසයයන් ගෙන් බැහැරවත් නොවෙන, අධිස්වාභාවික (supernatural) බලවේග සම්බන්ධ පුදපූජා, යාගහෝම පැවැත්වීම, හදිහූනියම්, මායාකර්ම (occultism) ත් පූර්ව ක්‍රිස්තියානි යුරෝපයේ පැවතුණා. (Pagan භක්තිකයින් යක්ෂයා අදහන්නන් බවට එල්ලවෙන චෝදනා නූතන Pagan වරු ප්‍රතික්ෂේප කරනව. ඔවුන් කියන්නෙ තමන් සර්වබලධාරී දෙවි කෙනෙක් විශ්වාස නොකරන බවත්, සියල්ල සොබාදහම විදිහට ඔවුන් සලකන බවත්, ඒ නිසා මේ යක්ෂයා කියන සංකල්පය ඔවුන්ට වලංගු නොවන බවත්) 

කුඩා කාලයෙ අපි ආසාවෙන් බැලු රොබින්හුඩ් කතාවේ හර්න් ඔබට මතක ඇති. අපි නරඹපු රොබින්හුඩ් කතා මාලාව ඇතුළෙ, හර්න් කියන්නෙ වනාන්තරයට අධිපති දෙවි කෙනෙක් විදිහටයි සැලකුණේ. රොබින්හුඩ් ගේ කණ්ඩායමත් ෂර්වුඩ් ආශ්‍රිත ජනතාවත් වන්දනාමාන කළේ පුද පූජා පැවැත්වුවේ වනාන්තර දෙවියන්ට. Herne the Hunter කියන්නෙ හැබෑවටම එංගලන්තයේ බර්ක්ෂයර් ප්‍රාන්තයේ, වින්ඩ්සර් වනාන්තරය ආශ්‍රිතව සැරිසරන බවට විශ්වාසකල එක්තරා ආත්මයක් බවට සැලකෙනව. ශේක්ස්පියර් ගේ රචනා වල පවා මේ හර්න් ගැන කියවෙන බව සඳහන්. බොහෝමයක් අපරදිග mystery/ horror ගණයේ, විශේෂයෙන් cult horror නිර්මාණවලට මේ Pagan/ Occult බලපෑම වැඩිවශයෙන් සිදුවී තිබෙන බව නිරීක්ෂණය කලහැකියි.

මේ ආකාරට සොබාදහමෙ නොයෙක් බලවේගයන්ට අධිපති නොයෙක් දෙවිවරු සිටීම Pagan ඇදහීම්වල තවත් මූලික ලක්ෂණයක් වුණා. කිතු දහමටත් සමහර ආකාරවලින් මේ Pagan ඇදහීම් බලපෑව. ශුද්ධවන්තයින්ගේ පිහිට පැතීම වැඳුම් පිදුම් කිරීම වගේ චාරිත්‍ර විධි පැමිණෙන්නෙ මේ Pagan සම්ප්‍රදායන් අනුව බවයි කියවෙන්නෙ. මොකද මේ සොබාදහමේ නොයෙක් ආකාර අදෘශ්‍යමාන බලවේගයන් ගෙන් සුවය පැතීම, පිහිට ඉල්ලා යැදීම වගේ Pagan සම්ප්‍රදායන්ට අනුගත වුණු ජනසමාජයක්, සර්වබලධාරී දෙවි කෙනෙකු ගැන විශ්වාස කරන ඒක දේවවාදී ආගමකට හැරවෙද්දි, ඔවුන්ගෙ අර ගතානුගතිකව පැවතගෙන ආව සිරිත්වලට ආදේශකයක් අවශ්‍ය වුණා. ඒ හින්ද සොබාදහමේ බලවේගයන් වෙනුවට සුවය සැනසීම පතා සිටිය හැකි සාන්තුවරු නම් කරන්න කිතුණු සභාව පියවර ගත්ත. කිතුණු සභාව ක්‍රමයෙන් බලවත් වීම එක්ක, මේ පැරණි ආගම් "යක්ෂ ඇදහීම්" විදිහට නම් කරමින්, Pagan විශ්වාස අතහැර කිතුදහම් වැළඳගැනීම ප්‍රතික්ෂේප කළ මිනිසුන් සමූහ වශයෙන් මරා දමමින්, පැරණි ආගම් මිහිමතින් අතුගා දමන දරුණු ගණයේ මරධනකාරී වැඩපිළිවෙළක් මුල් කිතුණු සභාව අරගෙන ගියා. 

Pagan ඇදහීම්වල ගැහැනුන්ට විශේෂ තැනක් තිබුණා. පැරණි විශ්වාසයන්ට අනුව, ජීවය බිහි කිරීමේ හැකියාව ඇති තැනැත්තිය සහ සුව කිරීමේ බලය රැගෙන එන්නිය වුණේ ගැහැනුන්. ඉපැරැණි සම්ප්‍රදායන් ඇතුළෙ නොයෙක් ආකාර කෙම් ක්‍රම මගින් රෝග සුවකිරීම් සහ තවත් යාතුකර්ම සිදුකළේ ගැහැනු. නමුත් පිරිමියා නැත්නම් පීතෲ මූලිකව පැවති මුල් කිතුණු සභාවන් සහ පසුකාලීනව ඇතිවුණු සිවිල් නීතියට අනුව මේ සුවකරන ක්‍රියාකාරකම් යක්ෂයා සමග සිදුකරන ගණුදෙනු විදිහට සලකන්නත්, මේ චාරිත්‍ර සිදුකරන ගැහැනු මායාකාරියන් විදිහට හඳුන්වමින් නඩු විභාගයක් පවත්වල (Witch Trial) දරුණු ගණයේ වදබන්ධනවලට ලක්කරල, මහ පාරවල ප්‍රසිද්ධියේ ගිනි තබල මරාදමන්නත් පටන් ගත්ත. ඔවුන්ගේ යාතුකර්ම සපුරා තහනම් කළා. (සමහර තැනක සඳහන් වෙන විදිහට මේ මායා දඩයම් වලට සෑහෙන සහයෝගයක් ලබාදුන්නෙ මුල් යුගයේ වෛද්‍යවරු. මොකද ඔවුන්ගෙ වෛද්‍ය විද්‍යාව ප්‍රචාරය කරගන්න අවශ්‍ය නිසා) ඔවුන් යම් ගැහැනියක් මායාකාරියක් බවට හඳුනාගන්න භාවිත කළේ ශරීරයේ තිබෙන උපන්ලප වගේ ඉතාම විහිලු සහගත ක්‍රමවේද.  Witch hunting කියන්නෙ ඉතිහාසයෙ අපකීර්තිමත්ම සිදුවීම් මාලාවක්. ගණන් කරන්න බැරි තරම් අහිංසක ගැහැනු මේ නිසා පණපිටින් පිලිස්සී මිය යන්න ඇති. මේ මායා දඩයම් වැඩිවශයෙන් ක්‍රියාත්මක වෙන්න පටන්ගත්තෙ 15, 18 සියවස් අතරෙ. 1517 කිතුණු සභාව ප්‍රතිසංස්කරණය විය යුතුයි කියල තර්ක කල ප්‍රතිසංස්කරණවාදීන් මේ වතිකානු සභාවෙන් මිදිල ප්‍රොතෙස්තන්ත සභාවන් පිහිටුවාගැනීම එක්ක මේ දෙකොට්ටාසය අතර තම අනුගාමිකයන් වැඩි කරගැනීමේ බල අරගලයක් හටගැනුණ. ඔය යුගයෙ මායා දඩයම් ඉහළ යන්න මේ සිදුවීමත් හේතුවක් වුණා. විශේෂයෙන් ජර්මනිය, ප්‍රංසය, එංගලන්තය, නෙදර්ලන්තය වගේ නව ප්‍රතිසංස්කරණවාදී කිතුණු ආගම් වැඩිවශයෙන් ව්‍යාප්ත වුණු රටවල මායා දඩයම වැඩියෙන් සිදුවුණු බව සොයාගෙන තිබෙනව. කොහොම වුණත් වසර 2000 මාර්තු 12 වෙනි ඉරිදා දෙවන ජුවාම් පාවුළු පාප් වහන්සේ, වසර දෙදහක ඉතිහාසය ඇතුළෙ කිතුණු විශ්වාසය ආරක්ෂා කරගැනීමේ අරමුණෙන් සිදුකළ සියලු ආකාරයේ ප්‍රචණ්ඩ ක්‍රියා වෙනුවෙන් නිවේදනයක් නිකුත් කරමින් සමාව ඉල්ලා සිටිය.

එංගලන්ත ඉතිහාසයෙ වඩාත් තොරතුරු සහිත සහ ජනප්‍රියම මායාකාරියන්ගෙ නඩුව (Witch trial) විදිහට සැලකෙන්නෙ 1612 අවුරුද්දේ ලැන්ක්ෂයර් ප්‍රාන්තයේ පෙන්ඩ්ල් කන්ද ආශ්‍රිතව සිදුවුණු පෙන්ඩල් මායාකාරියන්ගෙ නඩුව. ඒ වෙනකොට එංගලන්තය පාලනය කළ ජේම්ස් රජතුමා සම්ප්‍රදායික මායාකර්ම "යක්ෂයාට වැඳුම් පිදුම් කිරීම" විදිහට නම් කරල රටින් තුරන් කර දැමීමේ ප්‍රතිපත්තියක් අනුගමනය කලා. මෙතනදි, පෙන්ඩල් කන්ද ආසන්නයෙ, මායාකර්ම භාවිත කරල සිදුකළායැයි කියන පුද්ගල ඝාතන දොළහකට, මායාකාරියන් විදිහට නම් කරපු ගැහැනුන් නමදෙනෙක් සහ එක් පිරිමියෙක් වරදකරුවන් විදිහට නම් කරල එල්ලා මරන්න නියම වෙනව. උතුරු එංගලන්තයේ පිහිටා තිබෙන ලැන්ක්ෂයර් ප්‍රාන්තය ඒ යුගයෙදි හැඳින්වුනේ නීතිය වල්වැදී ගිය, අපරාධකරුවන්, සොරුන්, දූෂකයින් ගෙන් පිරුණු කැලෑබද පළාතක් විදිහට. පෙන්ඩල් මායාකාරියන්ගෙ සිදුවීම පටන් ගන්නෙ ලැන්ක්ෂයර් ප්‍රාන්තයේ ධනවතෙක් වුණු ජෝන් ලෝ නම් පුද්ගලයෙක් සහ ඇලිසන් නම් ගැහැනියක් අතර වුණු සිදුවීමකින්. වාර්තාවෙන විදිහට ඇලිසන් ජෝන් ගෙන් යම් මුදලක් ඉල්ලන්න පැමිණි වෙලාවක ජෝන් ඇයට බැනවැදිල එලවගන්නව. එතනදි ඇලිසන් ජෝන් ට සාපකරනව. ඒ සැණින් ජෝන්ට හෘදයාබාධයක් වැළඳෙනව. ඇලිසන් තමාව මරාදමන්න යක්ෂයාගෙන් ඉල්ලාසිටි බව ජෝන් ලෝ චෝදනා කරනව. ඇලිසන් සහ ඇලිසන්ගේ පවුලේ ගැහැනු, pagan ඇදහීම් අනුව සුවකිරීමේ සහ යාතුකර්ම පැවැත්වීමේ යෙදුනු අය. පෙන්ඩල් මායාකාරියන් දඩයම් කිරීම ආරම්භ වෙන්නෙ ඔතනින්. මේ සිදුවීම ගැන සවිස්තරාත්මකව තොරතුරු ඇතුළත් වෙනව තෝමස් පොට් නම් ලේඛකයා රචනා කල The Wonderfull Discoverie of Witches in the Countie of Lancaster නම් ග්‍රන්ථයේ.

Sharon Bolton මෙන්න මේ මායාකර්ම නිසා ප්‍රසිද්ධියට පත් වුණු ලැන්ක්ෂයර් ප්‍රාන්තයෙ ඉපදී හැදී වැඩුණු ලේඛිකාවක්. අපරාධ සහ අබිරහස්මය ගණයේ නවකතා රචනා කිරීම වෙනුවෙන් ඇය ප්‍රසිද්ධියට පත්වෙන්නෙ. ඇය හැදී වැඩුණු පරිසරය මේ වර්ගයෙ ප්‍රබන්ධ රචනා කරන්න ඇයට බලපෑමක් ඇතිකරන්න ඇති. ඇය Lacey Flint නම් තරුණ රහස්පරික්ෂකවරියගෙ චරිතය මුල් කරගෙන Now you see me, If Snow hadn't fallen, Dead Scared, Like this forever වශයෙන් නවකතා 5 කුත්, Florence Lovelady නම් රහස්පරික්ෂකවරිය ගෙ චරිතය ඇතුළත්ව The Craftsman, The Buried නම් නවකතා දෙකකුත් ඊට අමතරව තවත් නවකතා 8කුත් රචනා කර තිබෙනව. "මායා කවය" Sharon Bolton ගේ The Craftsman කතාවේ "රුෂේනි මානිංගමුව" නම් පරිවර්තිකාව අතින් සිදුකළ සිංහල පරිවර්තනය. 

The Craftsmn, මායා කවය, නවකතාව ලියවෙන්නෙ ෆ්ලොරන්ස් ලව්ලේඩි නම් පොලිස් නිලධාරිනිය ගේ දෘෂ්ටි කෝණයෙන්. නවකතාව කොටස් දෙකකට බෙදෙනව වර්තමාන සිදුවීමක් සහ ඊට සම්බන්ධව අතීත සිදුවීම් කිහිපයක මතක ආවර්ජනයක් විදිහට. වර්ෂ 1969 දි ෆ්ලොරන්ස් ලව්ලේඩි පෙන්ඩල් කන්ද ආසන්නයේ, සබ්ඩන් නම් නගරයේ ආධුනික පොලිස් පරීක්ෂකවරියක් විදිහට සේවය කරන අතරේ, නගරයෙ නවයොවුන් ළමයින් කිහිප දෙනෙක් අතුරුදහන් වීමේ සිදුවීමක් වාර්තා වෙනව. පොලීසිය කොයිතරම් සොයාබැලුවත් ළමයින්ට මොකක්ද වුණේ කියන කාරණාව ගැන කිසිම හෝඩුවාවක් දැනගන්න ලැබෙන්නෙ නෑ. අතුරුදහන් වුණු එක ගැහැනු ළමයෙක් පණපිටින් මිනිවලක වලදමා තිබී ඇතිබව ෆ්ලොරන්ස් ලව්ලේඩි සොයාගන්නව. ක්‍රමයෙන් සාක්ෂි සොයාගනිමින් අපරාධකරුවාව සොයා යන ෆ්ලෝරන්ස් ගේ නොපසුබස්නා උත්සාහය නිසා අවසානයෙ පොලීසිය සමත්වෙනව අපරාධකරුව නීතියෙ රැහැනට කොටු කරගන්න. ඔහු ජීවතාන්තය දක්වා සිරගෙට නියම වෙනව. ෆ්ලොරන්ස් ලව්ලේඩි සබ්ඩන් නගරය හැරයනව. මේ අතීත කතාව. 

අපරාධකරුවා ෆ්ලෝරන්ස් හොඳින් දන්නා හඳුනන  කෙනෙක්. ඒ නිසා හිරගතව ඉද්දි වරින් වර ඇය ඔහුව මුණගැහෙනව. වසර තිහක ඇවෑමෙන්, ඒ කියන්නෙ 1999 වසරේ ඔහු මිය යනව සිරගෙදරදීම. ඔහුගෙ මළගමට සහභාගි වෙලා ටික දවසක් සබ්ඩන් නගරයෙ නැවතී ඉන්න  ෆ්ලෝරන්ස් නැවතත් එනව ලැන්ක්ෂයර් ප්‍රාන්තයට. දැන් ඇය අත්දැකීම් බහුල පරිණත පොලිස් නිලධාරිනියක්. ඇය පැමිණියායින් පස්සෙ නැවතත් පෙර ආකාරයෙන්ම තරුණ පිරිමි දරුවෙක් අතුරුදහන් වෙනව. සැබෑ අපරාධකරුව සොයාගෙන තියෙද්දි, ඔහු මියගොස් තියෙද්දි, වසර තිහකට කලින් වුණු ඒ දෙය නැවතත් සිදුවෙන්න පුලුවන් ද? ඇත්තටම ප්‍රබල සාක්ෂි මත පදනම්ව, ෆ්ලොරන්ස්ට අල්ලාගන්න හැකිවුණු ඔහු සැබෑම අපරාධකරුවද? 

ඔබ The Silence of The Lambs චිත්‍රපටය නරඹල ඇත්නම්, සුප්‍රකට නිළි Jodie Foster රඟපෑ තරුණ FBI නියෝජිතවරිය ගේ චරිතය ඔබට අමතක වෙන්න විදිහක් නෑ. ගැහැනියක් විදිහට, අනෙකුත් නිලධාරින්ගෙ කෙනෙහිලිකම් මැද්දෙ නමුත් ඝාතකයෙකුගේ සුලමුල සොයා යන ධෛර්යවන්ත යුවතියක් ඒ චරිතයෙන් ඔබ මම දැක්කෙ. The Craftsman කතාවේ ෆ්ලෝරන්ස් ලව්ලේඩි ගේ චරිතයත් මම දකින්නෙ The Silence of the Lambs කතාවේ Jodie නිරූපණය කළ තරුණ රහස්පරික්ෂකවරිය ගේ චරිතයටම සමානව. ඔවුන් දෙදෙනා, ගැහැනුන් වීම නිසා, තමන්ගේ වෘත්තීය ජීවිතය ඇතුළෙ, සමහරවිට සහෝදර නිලධාරින් අතින් පවා අවමානයට ලක්වුණු, අපහාස විඳින්න සිදුවුණු දෙදෙනෙක්. නමුත් තියුණු බුද්ධියත්, ක්‍රියාත්මක වියයුතු අවස්ථාවේ නොබියව ඉදිරිපත් වීමේ ගුණයත්, අබිරහස් සොයා යන වික්‍රමාන්විත මෙහෙයුම් වලට තියන ඇල්මත් අතින් දෙදෙනාම පුදුම තරම් එකිනෙකාට සමානයි. Sharol Bolton මේ ආකාරයට විශ්වාසනීය, වීරත්වයෙන් නොඅඩු සහ වඩා යථාර්ථවාදී ප්‍රධාන චරිතයක් තමන්ගේ ප්‍රබන්ධය ඇතුළෙ ජීවමාන කරන්න සමත් වෙනව.

Cult horror/ crime/ thriller ප්‍රවර්ගවලට ඇතුළත් කරන්න පුලුවන් මායා කවය, නිසැකවම page turner එකක්. හැම පිටුවක් පාසාම පිරිල තියෙන්නෙ ඊළඟට මොකද වෙන්නෙ කියන කුතුහලය. සමහර වෙලාවකට ලොමුදැහැගන්වන බියකරු බව. තවත් වෙලාවක අපරාධකරුවා කවුරුන් වෙන්න පුලුවන් ද කියන සැකය. සබ්ඩන් පොලීසියත් නගරවාසීනුත් ෆ්ලොරන්ස් ලව්ලේඩට සලකන ආකාරය ගැන කේන්තිය. පෙන්ඩල් කන්ද පාමුල වනාන්තරයේ පාලු අඳුරු ගතිය. Edgar Allan Poe ගේ  The Premature Burial කෙටිකතාවට පස්සෙ පණපිටින් වළලෑමෙ භීතිය ඇඟටම දැනුණෙ මායා කවයෙන්. Sharon Bolton තමන්ගේම ගම්පළාතේ මායාකාරියන් පිළිබඳ ඉතිහාස ප්‍රවෘත්තිය වර්තමානයට අරගෙන එනව ඉතාම සාර්ථකව. මුල් කෘතියත් එක්ක සංසංදනාත්මකව පරිවර්තනය කොයිතරම් සාර්ථකද කියන්න බැරි වුණත් භාෂාව භාවිත කරල තියන ආකාරය එක්ක අනුමාන කරනව පරිවර්තනය නිවැරැදි ඇති බව. කිසිම රසයක් නැති යාන්ත්‍රික පරිවර්තන අතරේ මායා කවය ඉහළින් තැබිය හැකි ප්‍රයත්නයක් බව කිවහැකියි. 

ප.ලි. - The Craftsman නවකතාවේ දෙවන කොටස The Buried නමින් පසුගිය අවුරුද්දේ (2022) දි Sharon Bolton විසින් ලියා පළකරනු ලැබුව. පොතට හොඳ ප්‍රතිචාර ලැබෙන බව දකින්න පුලුවන්. The Buried පරිවර්තනයක් ඉක්මණින්ම සිංහලෙන් කියවන පාථකයාට කියවන්න ලැබේවි කියල බලාපොරොත්තු වෙනව.



1 comment:

  1. මිනිස්සු කියන්නෙ එච්චර සුන්දර සත්ව කොට්ඨාසයක් නෙමෙයි නෙහ්😥😪

    ReplyDelete