Monday, January 9, 2023

Holy Spider (2022)

ඉරානය තුළ මේ වෙනකොට සිදුවෙමින් පවතින අර්බුදකාරී තත්ත්වය ගැන ඔබ දැනටමත් දැනුවත් බව හිතනව. ඉරානයේ ආගමික දැඩි මතධාරී ආණ්ඩුවට එරෙහි ජනතා නැගී සිටීම් ගිය වසරේ අවසන් කාර්තුවේ පමණ පටන් මේ මොහොත දක්වා ක්‍රියාත්මකයි. අඳින ඇඳුමේ පටන් පුරවැසියන්ගේ සියලු ක්‍රියාකාරකම් ආගමානුකූල නීතිවලට යටත්ව සිදුකරන අරමුණෙන් ක්‍රියාත්මක වුණු ඉරාන සදාචාර පොලීසිය අවසන් කිරීම වගේ යම් ජයග්‍රහණ ජනතා අරගලය විසින් මේ වෙනකොට අත්පත් කරගෙන තිබෙන නමුත් සමාජ ක්‍රියාකාරීන් මරා දමමින් ලේ පිපාසිත ආණ්ඩුව ගෙනයන මර්ධනකාරී වැඩපිළිවෙළ තවම අවසන්වී නැහැ. රජය විසින් මරාදමනු ලබන අරගලකරුවන් ගැන තොරතුරු තවමත් ඉරානයෙන් ලැබෙමින් තිබෙනව. අතීත ඉරාන ජනතාවට මේ නීති කිසිවක් නැතිව තමන් කැමති ආකාරයට කැමති ඇඳුමක් ඇඳපැළඳගෙන සිටීමේ නිදහස තිබුණ බව ඉරානයෙ පැරණි ඡායාරූප ඇසුරෙන් ඔබ දැක ඇති. නමුත් 1979 ඉරානය ඉස්ලාමික ජනරජයක් බවට පත්වීමත් එක්ක, සියලු දේ ආගමික කරණය වුණු වටපිටාවක් එක්ක, එය අන්තවාදයක් දක්වා ගිහින් ජනතාවට ඔවුන්ට උරුමවී තිබුණු නිදහස අහිමි වුණා. (දැන් සිදුවෙමින් තිබෙන දේවල් එක්ක, අපේ රටත් ඒ වැනි තැනකට ගමන් කරමින් තිබෙනවද කියල ඔබට හිතුණොත් පුදුමයක් නෑ) ඉරාන සිනමාව ඔබට සමීප නම්  මේ සංස්කෘතිය පීඩාව කොහොමද ඒ රටේ ක්‍රියාත්මක වෙන්නෙ කියන කාරණාව ඒ රටේ සිනමාකරුවන් ඉතා සියුම්ව පෙන්වාදෙන ආකරය ඔබට දැකගන්න ලැබී ඇති.

වර්ෂ 2000 වගේ කාලෙක ආගමික අන්තවාදය හා සම්බන්ධව ඉරානයේ සිදුවුණු සැබෑ සිදුවීමක් මුල්කරගෙනයි වර්තමානයේ ඩෙන්මාර්කයේ ජීවත්වන ඉරාන ජාතික සිනමාකරු Ali Abbasi 2022 අවුරුද්දේ Holy Spider චිත්‍රපටය නිර්මාණය කරන්නෙ. (නමුත් චිත්‍රපටයෙ දකින්න ලැබෙන, අපරාධ සොයා යන මාධ්‍යවේදිනිය ප්‍රබන්ධගත චරිතයක්) හැබැයි වැඩේ තියන බරපතළ කම නිසා චිත්‍රපටය රූගත කරන්න අධ්‍යක්ෂවරයා ඉරානය වෙනුවට තෝරාගන්නෙ ජොර්දානය. නමුත් ජොර්දානයෙ covid 19 වසංගත තත්ත්වය එක්ක ඒ රට අතහැරල තුර්කිය ඔහු තෝරාගන්නව. නමුත් තුර්කියේදි Ali Abbasi ට වැඩේ කරන්න ඉඩක් ලැබෙන්නෙ නෑ. Abbasi ඒ වෙනුවෙන් චෝදනා කරන්නෙ ඉරාන රජයට. නැවතත් චිත්‍රපටය ජොර්දානයෙ රූගත වෙන්නෙ Ali Abbasi දැන් පුරවැසි බව ලබා තිබෙන ඩෙන්මාර්කයේ නිශ්පාදනයක් විදිහට. 

Holy Spider චිත්‍රපටයේ මාධ්‍යවේදිනිය ගේ චරිතය රඟපාන Zar Amir Ebrahimi 2022 අවුරුද්ද වෙනුවෙන් පැවැත්වුණු කාන්ස් සිනමා සම්මාන උළෙලේ දි වසරේ හොඳම රංගවේදිනියට හිමි සම්මානය දිනා ගන්නෙ මේ සම්මානයෙන් පිදුම් ලැබූ ප්‍රථම ඉරාන කාන්තාව බවට පත්වෙමින්. නමුත් මේ සම්මානය හිමිවීමත් එක්ක තමන්ට මරණ තර්ජන 200 ක් පමණ ලැබුණු බව Zar Amir Ebrahimi, CNN මාධ්‍යට ලබාදුන්න සම්මුඛ සාකච්ඡාවකදි කියනව. Holy Spider සම්මානනීය වීමත් එක්ක, ඉරානයේ "සංස්කෘතික සහ ඉස්ලාම් ආගමික මඟ පෙන්වීම" සඳහා වන අමාත්‍යාංශය යටතේ පවතින "සිනමා සහ දෘෂ්‍යකලා සංවිධානය" ප්‍රකාශයක් නිකුත් කරමින් කියා තිබෙනව මේ චිත්‍රපටය "ලැජ්ජාසහගත" එකක් බවත් එය "විකෘති මනසක් ඇති මිනිසෙකුගේ නිර්මාණයක්" බවත්, Zar Amir Ebrahimi ට හොඳම රංගන ශිල්පිනිය සම්මානය ලබාදීම "ඉරානයට අපහාසකිරීමේ අරමුණෙන් සිදුකළ දේශපාලනික ක්‍රියාවක්" බවත්. ඇත්තටම චිත්‍රපටය බැලුවොත් විකෘති මනසක් තියෙන්නෙ කාටද කියන කාරණය ඔබට දැකගන්න ලැබේවි. කොහොම වුණත්, 2022 හොඳම විදෙස් භාෂා අංශයේ Oscar සම්මානය සඳහා දැනටම Holy Spider නිර්දේශ වෙලා තියන හින්ද, මොනවිදිහකින් හරි මේකට Oscar ලැබුණොත් ඉරාන ආණ්ඩුව කොහොම ප්‍රතිචාරයක් ඒ වෙනුවෙන් දක්වයිද කියල හිතාගන්න අමාරු නැහැ. ඒ දේ සිදුවෙන්න හුඟක්ම ඉඩකඩ තියෙන්නෙ Holy Spider 2022 වසරට අදාලව නිර්මාණය කෙරුණු විශිෂ්ටතම චිත්‍රපට අතරට ගැනෙන හින්ද. Crime/ Thriller සිනමාවක කුතුහලය එක්ක විශේෂයෙන් අපේ රටවලටත් අදාල කරගන්න පුලුවන් ලොකු සමාජ දේශපාලන කියවීමක් ඇතුළත් වෙන හින්ද Holy Spider කොයි ආකාරයෙන් වත් මඟහැර නොගත යුතු චිත්‍රපටයක් බව කියන්නම්.



1 comment: