Thursday, April 6, 2023

හිරු නැඟෙන රටේ පෙම් පුවතක්

1987 අවුරුද්දේ Haruki Murakami ජපන් භාෂාවෙන් 'Noruwei no Mori' no Mori' නමින් ලියා පළකල  Romance/ Erotic නවකතාව ඉංග්‍රීසි භාෂාවට පරිවර්තනය වෙන්නෙ Norwegian Wood නමින්. මුරකාමි තමන්ගේ රටේත් පසුව ලෝකය පුරාත් අතිශ්‍යයින් ජනප්‍රියත්වයට පත්වෙන්න, ඔහුව ලේඛනයේ සුපිරි තරුවක තත්ත්වයට ඔසවා තබන්න විශාලම බලපෑමක් කරන්නෙ මේ කතාව.  Norwegian Wood නම එන්නෙ The Beatles බෑන්ඩ් එකේ Norwegian Wood (This bird has flown) සින්දුවෙන්. කතාව ආරම්භ වෙන්නෙත් මේ සින්දුවෙන්මයි. සින්දුවෙ තියන අමුතුම පාලු ගතිය කතාව පුරාම දැනෙන්න පටන් ගන්නව ඉන්පස්සෙ. තැනින් තැන වනරොදවල් පිරිච්ච තෘණ භූමියක ඇවිද යන දෙන්නෙක්ව මුරකාමි අපි ඉස්සරහට අරගෙන එනව මුලදිම. එකම අඳුරු මනෝභාවයකින් එකිනෙකාගෙන් වෙන්වෙන, නමුත් එයින්ම එකිනෙකාට බැඳිලා ඉන්න දෙදෙනෙක්. කතාව පටන් ගන්නෙ මේ වගේ කතාවකට හරියටම ගැලපෙන mood එකකින්. කොහොමත් මුරකාමි ගෙ කතා කීමේ කලාව ඇතුළෙ බටහිර සංගීතය, බටහිර සාහිත්‍ය වැදගත් තැනක් ගන්නව. එයාගෙ කතාවල තියන සින්දුවලින්ම හදපු ප්ලේ ලිස්ට් පවා යූටියුබ් එකේ තියනව. 

Norwegian Wood නවකතාව ගලායන්නෙ ටෝරු වතනබේ නම් ජපන් ජාතිකයෙක් ගුවන් යානාවකින් ජර්මනිය බලා යද්දි ඇහෙන නෝවේජියන් වුඩ්  සින්දුව එක්ක සිහිපත්වෙන අතීත මතක ආවර්ජනයක් විදිහ. අවුරුදු දහ අට දහනවය කාලෙ, ඒ කියන්නෙ 1960 දශකයේ, තරුණ විශ්වවිද්‍යාල ශිෂ්‍යයෙක් විදිහට ඔහු ඇසුරු කරන අය, මිත්‍ර සම්බන්ධකම් ඇති කරගන්න අය, ප්‍රේමයෙන් බැඳෙන චරිත කිහිපයක් එක්කයි කතාව ගොඩනැගෙන්නෙ. කිසුකි කියන්නෙ වතනබේ ගෙ මිත්‍රයෙක්. කිසුකිගේ ප්‍රේමවන්තිය නයෝකෝ. මේ තුන් දෙනා හොඳම මිත්‍රයින් බවට පත් වෙනව. තුන්දෙනාව දකින්න ලැබෙන්නෙ බොහෝම වෙලාවට එකටමයි. කිසුකි හදිස්සි සියදිවිනසා ගැනීමෙන් පස්සෙ නයෝකෝටත් වතනබේටත් ඉතිරි වෙන්නෙ තුන් දෙනා එකට ගත කළ මතකයන් පමණයි. ඒ කම්පනයත් එක්ක වතනබේ සහ නයෝකෝ නතරවෙන්නෙ එකිනෙකා අතර ප්‍රේමයක් ඇතිවෙන නමුත් ඇති වෙන්න ඉඩක් නැති තැනක.

මිදෝරි, වතනබේගෙ පන්තියෙම ඉගෙනගන්න ශිෂ්‍යාවක්. හදිස්සියෙම ඇතිවෙන මේ දෙදෙනාගෙ මිත්‍රත්වය දෙදෙනාටම එකිනෙකාව නැතිව බැරි තැනකට එනව. රේකෝ, නගසාවා, හත්සුමී මේ කතාවෙ තවත් අපිට මුණගැහෙන චරිත. තාර්කිකව මුල මැද අග ගැලපෙන සිද්ධි දාමයක් විදිහට හිතුවොත් අපිට කවදාවත් මේ කතාව තේරුම් ගන්න ලැබෙන්නෙ නෑ. නිශ්චිතව තැනකින් ආරම්භ වෙලා තව තැනකින් අවසන් වෙන සිදුවීම් මාලාවක් විදිහට මේකෙ ඇතුළෙ ලොකු දෙයක් නැහැ. නමුත් ඒ අවස්ථා අනුව චරිත වල හැසිරීම් ඔවුන් හිතන පතන දේවල් සහ ඔවුන් ගේ මනෝභාවයන් එක්කයි මේ කතාව අපිට තේරුම් ගන්න වෙන්නෙ. 

කතාව තේමාත්මක වශයෙන් මූලිකවම මතුකරන්න උත්සාහ කරන්නෙ මොකක්ද කියන දේ අපිට එකවර වටහගන්න බෑ.  බොහෝ විට මුරකාමි  කියන්න උත්සාහ කරන්නෙ ජීවිතය සහ මරණය අතර තියන අවියෝජනීය බැඳීම ගැන වෙන්න පුලුවන්. නැත්නම් අපි ලබන යම් අඳුරු අත්දැකීමක් එක්ක ඇතිවෙන අයහපත් මනෝභාවයන් ක්‍රමයෙන් වැඩිවර්ධනය වෙලා වඩාත් සංකීර්ණ තත්ත්වයක් දක්වා වැඩි වර්ධනය වෙන ආකාරය ගැන වෙන්න පුලුවන්. ඒත් බිඳුණු මතකයන් එක්ක ජීවිතය දරාසිටීම කියන කාරණාව කේන්ද්‍රීයවශයෙන් මේ කතාව ඇතුළෙ මතුකෙරෙනව කියල මම හිතනව. මොකක් හරි ලොකු ඛේදවාචකයක් එක්ක සමහර වෙලාවට ජීවිතේ අපි යන මාර්ගය දෙකට බෙදෙනව. එක පාරක් හැරෙන්නෙ ජීවිතය අතහැර දැමීම, ඒ කියන්නෙ මරණය දිහාට. ඒ පාර මීදුමකින් වැහිච්ච, නොපැහැදිලි එකක්. ඒ පාරෙන් එහා තියෙන්නෙ මොනවද කියන්න අපි දන්නෙ නෑ. අනිත් පාර ආපහු හැරෙන්නෙ ජීවිතය දිහාටම යි. නමුත් ඒ ජීවිතය ඛේදවාචකයට කලින් අපිට තිබුණ ජීවිතය එක්ක සමාන වෙන්නෙ නෑ. ඉන්පසුව අපිට උරුම වෙන්නෙ සුන්බුන් වෙච්ච මතකයන් ගොඩක් උසුලාගත්ත ජීවිතයකට. මතක කියන්නෙ අපිට කොහොම විදිහකින් වත් පලායන්න බැරි, ජීවිතේ වැදගත්ම අංගයක් බව මුරකාමිම වතාවක් කියා තිබෙනව. ජීවිතේ ගෙවා දැමීම වෙනුවෙන් වැය වෙන ඉන්ධනය තමා මතක කියන්නෙ. හරියට මුරකාමිගෙ කතා වල එන පරණ ලට්ට ලොට්ට පිරිච්ච ස්ටෝරු කාමර තියන නිවාස වගේ. මතක සටහන් උසුලාගෙන යන ජීවිතයක් කියන්නෙත් සංකේතීය වශයෙන් මෙහෙම ලොකු ස්ටෝරු කාමරයක් සහිත නිවාසයකට සමානයි. පොත ඇතුළෙ මුණගැහෙන ටෝරු, නයෝකෝ, මිදෝරි, රේකෝ.. හැම කෙනෙක්ම එහෙම චරිත. ඒ වගේම මේ කතාවේ හැමදෙයක්ම සිදුවෙන්නෙ හැට හැත්තෑව දශකවල ලෝකෙ පුරා උන්මාදයක් වගේ පැතිරගිය විප්ලවකාරී දේශපාලන වටපිටාවක පසුබිම්ව. කතාව ඇතුළෙ මේ විශ්වවිද්‍යාල ශිෂ්‍යයින්ගේ විප්ලවකාරී දේශපාලන ක්‍රියාකරකම් ඉදිරිපත් වෙන්නෙ විවේචනාත්මක දෘෂ්ටිකෝණයකින්.

බහුතර සමාජයෙන් ඈතට පලායන්න උත්සාහ කිරීම මුරකාමි ගෙ කතාවල ස්වභාවයක්. ඔහු ගෙ කතාවල මුණගැහෙන චරිත බොහොමයක් පොදු සමාජය ඇතුළෙ ම ගැවසෙන නමුත් එයට සම්බන්ධයක් නැති, ඇතුළත ආත්මයට හැරුණු දුරස්ථ චරිත. ඒ නිසාම වෙන්න ඕන අදහස්වලින් පොහොසත් ජීවමාන සංවාද මේ කතාවෙ බහුලව දකින්න ලැබෙන්නෙ. බටහිර ගීත, නවකතා තමන්ගෙ කෘතින් ඇතුළෙ යොදා ගැනීම නිසා මුරකාමි ගෙ සාහිත්‍ය එක්තරා ආකරයට ජපානයෙන් පිටස්තර, ආගන්තුක ස්වාභාවයක් ගන්නව. ඒ සාහිත්‍ය දැඩිව ජපානයෙ පොළවට මුල් ඇදගත්ත එකක් නොවෙයි. මම හිතන්නෙ මේ ආගන්තුක ගතිය, එක්තරා ආකාරයකට මුරකමිගේ තරුණ කාලයේ පටන් ඔහු අත්දුටුව, ක්‍රමයෙන් බටහිරකරණය පැවති ලෝකයේ නිරායාස නිරූපිතයක් බව. ඒවගේම ලෝකය පුරා ඔහුගෙ නවකතා ජනප්‍රියත්වයක් ලබන්නත් හේතුවක් වෙන්න  ඇති ඔහුගේ කතාවල තියන මේ බටහිර නැඹුරුව.

කොහොම වුණත්, මුරකාමි මේ නවකතාවෙන් කැඩපතක් අල්ලනව අපේම අතුළාන්තයට. අපේම අවිඥානික ආශාවට. සම්මත ලෝකය ඇතුළෙ බැහැර කරන, නමුත් අපි තුළම සැඟවිලා තියන ඇතුල් සිත ක්‍රියාකාරන ආකාරය ඔහු පෙන්වාදෙනව අපිට. වැදගත්ම කාරණය, මට දැනෙන විදිහට, ජීවිතේ තියන මේ පීඩාකාරී ස්වභාවය ඇතුළෙ අපිට ගැළවීම තියන්නෙ අපි එකිනෙකාට දක්වන ආදරය ඇතුළෙ පමණක් බව මේ කතාවෙන් මුරකාමි අපිට කියනව. බැඳීම් එක්ක අපි අවංක වෙන තරමට, අපි හැම වෙලාවෙම අනෙකාට ඉහළින් සිටිය යුතුයි කියන මානය පැත්තකින් දාලා එකිනෙකාට උදව් කරගන්න තරමට ඒ බැඳීම් ඇතුළෙ සුවපහසු කම ආරක්ෂා වෙනබව ඔහු පෙන්වා දෙනව. වතනබේ ගෙ චරිතය ආශ්‍රයෙන් මෙය හොඳින්ම පැහැදිලි වෙනව. වතනබේ කියන්නෙ ලෝකෙට පේන්න Dont care වර්ගයේ High profile චරිතයක් නඩත්තු කරන්නෙක් නොවෙයි. ඔහු ජීවිතේ දුකත් සතුටත් ඒ ආකාරයෙන් බාරගන්න, අවංකව තමන්ගෙ හැඟීම් බෙදාගන්න, බොරු මවාපෑම් නැති මනුස්සයෙක්. ඔහුට ආකර්ශණය වෙන බොහෝ අය ඔහුට ආදරය කරන්න පටන් ගන්නෙ මේ ගති ස්වාභාවය නිසා ම තමා.

නෝවේජියන් වුඩ් කියන්නෙ කියවූ කෙනෙකුට ලේසියෙන් අමතක කර දමන්න බැරි කතාවක්. යථාර්ථවාදී රීතියකින් ලියා තිබෙන නිසා වැඩිවෙහෙසකින් තොරව කියවාගත හැකි කතාවක්. ප්‍රේමයත් ශෘගාරයත් මුහුවෙලා ගොඩ නැගුණු අපූරුම ජීවිත වියමනක්. මේ කතාවෙ මුණගැහෙන්නෙ ජීවයෙන් පිරි හැබෑම චරිත. ඔබටත් ඔවුන් එක්ක හැටේ දශකයට යන්න පුලුවන් වේවි. අවන්හල්වට, රෙකෝඩ් බාර්වල, දුම්රිය පොළවල්වල, නගරබද පටු මාවත්වල ඔබත් ඔවුන් එක්ක ඇවිද යාවි. තෘණ භූමිවල, අඳුරු වනපෙත්වල ඔබත් ඔවුන් එක්ක තනිවේවි. ඔවුන් අත්විඳින ආදරය, ශෘගාරය, විරහ වේදනාව ඔබටත් දැනේවි. නයෝකෝත්, මිදෝරිත්, වතනබේත් කතාව කියවන කාගෙ වුණත් හැමදාම මතකයේ හිඳීවි. 

ප.ලි. - මේ සිංහල පරිවර්තනයෙ භාෂාව සමහර තැන්වල ගැලපෙන්නෙ නැති බවක් දැනුණා. ඒ තැන්වල ඔරිජිනල් english text එකත් එක්ක කියවා බලන්න වුණා. රෙකමන්ඩ් කරන්නෙ පුලුවන් නම් ඔරිජිනල් English එකම කියවන්න.  ඒත් පරිවර්තනයත් overall ගැටලුවක් නෑ.



No comments:

Post a Comment