Tuesday, April 4, 2023

එන්න මේ දූපතට..

ඔබත් එන්න මහත්මයා..
මේ දූපතට..

ඍතුවෙන් ඍතුවට හිම මිදෙන
ගස් කොළ පවා හීතලෙන් ගල් ගැහෙන,
ඔබේ රටවල් වගෙ නොවෙයි..
තුන්සිය හැටපස් දවසේම 
අඩු නැතිව උණුහුම්ව
හිරු එළිය ලැබෙනවා අපිට..

මාරු වෙන්න දැන් මේ පාරෙන්
ඔබ කැමති තැන්වලින්
කහ ඉරක් ඇඳ තිබුණත් ඔය
පාරෙ පාලුවට..
ගණනකට ගන්නෙපා බිඳුවකට...

අතේ තබාගෙන ඇයි ඔය
හිස් බෝතල් තුණ්ඩු කැබලි ඔය තරමට?
විසි කර දමා කොහෙහෝ තැනකට..
නිදහස් වෙන්න එයින් ඔබ...
කැමති නම් තව
හොඳට හුස්මක් අරගෙන
කෙළ ගහන්න කාරලා පාරට..

කොයියම්ම හෝ මොහොතක 
ඉන්නට සිදුවුණොත් පෝළිමක
ඉන්නට එපා පසුබා..
ගන්න දහිරිය හිතට
ඉදිරියෙන් ඉන්නා මහ සෙනඟ
පෙරළගෙන වුණත් යන්න ඉදිරියට...

ඉහින් කණින් සෙනඟ උතුරන
බස් රියක හෝ දුම්රියක
එල්ලිලා පා පුවරුවේ යන විට
ඇඟ දැවටෙනා සුළඟ සනීපද කොයිතරමට...

අන්න ඒකයි මහත්මයා
ඔබට කිසිදාක නොතේරෙන
අප පමණක්ම හඳුනන
තුන්වන ලෝකයේ සැපත...



1 comment:

  1. බලන්න අර සුදුරෙදි හොරා යන ජගුවර් රථය,
    රජවරු වඩින හෙලිකොප්ටර්,
    මහපොළොව ඉබ, රට්ටු අන්දන දේසපාලන හොරු,
    ආසියාවේ විතරමයි..

    ReplyDelete