විනාඩි තුනේ සින්දුවෙන් එහාට Music කියල දෙයක් අද අපි අහන්නෙ සහ අපිට අහන්න ලැබෙන්නෙ නැති තරම්. මේක මම හිතන්නෙ වෙළඳපළ මුල් කරගත්ත ධනවාදී ක්‍රමය එක්ක music කියන එක ව්‍යාපායක් බවට පත්වෙද්දි හැදුණ ආකෘතියක් කියල. පරිභෝජනයේ පහසුව, ඉක්මණින් අවසාන වීම නිසා නැවත නැවත ඉල්ලුම ඇති වීම, නිශ්පාදනය සහ බෙදා හැරීම වගේ වෙළඳපල අවශ්‍යතා අනුව මේ අද අපි අහන සින්දුව හැඩගැන්විලා තියන බව හිතන්න පුලුවන්. කලාව එතනදි ආධ්‍යාත්මිකත්වය සහ වෙළඳාම කියන පාරවල් දෙකකට බෙදිලා ගමන් කරන්න ගත්තා. නමුත් මේ නූතන සමාජ ආර්ථික විපරිණාමයන්ට කලින් පැවතුණු සංගීතමය ආකෘතීන් දිහා බැලුවම මියුසික් වල තියන, අද ගොඩක් වෙලාවට අහිමි වෙලා ගිහින් කියල දැනෙන, ආධ්‍යාත්මික ගුණය මේවයෙ අපිට හඳුනා ගන්න පුළුවන්. මධ්‍යකාලීන යුරෝපයේ කිතුණු දහම මුල් කරගෙන ඇතිවුණ ග්‍රෙගෝරියානු සංගීතය (Gregorian Chants) වගේ ආගම මුල් කරගෙන හැදුණ සංගීත සම්ප්‍රදායන්වල මේ ගුණාංගය තියනව. ආගම් නිසා ලෝකෙට ලැබුණ වටිනාම දෙයක් තමා මේ spiritual music කියන්නෙ. ආගම් නොඅදහන කෙනෙකුට වුණත් අවසානෙදි පිළිගන්න සිද්දවෙන කාරණාවක් ඒක. සංස්කෘතික විවිධත්වය සහ විචිත්‍රවත් භාවය අතින් ලෝකයේම මුදුන් මල්කඩ වෙන සහ සංස්කෘතියේ උපත විදිහට සලකන ඉන්දියානු කලාපයෙන් මේ මුල්කාලීන Spiritual music වලට හොඳම උදාහරණ හමුවෙනව. හින්දු ආගමික පුරාණ වේද ස්තෝත්‍ර ගායනා, භජන් ගීත, උත්තර ඉන්දියානු රාගධාරී සංගීතය වගේම පර්සියානු අරාබි ආක්‍රමණවලින් පස්සෙ සුල්තාන් වරුන්ගේ පාලනයට යටතේ ඇති වුණු ඉස්ලාමික බලපෑමෙන් උරුමයක් විදිහට ආව කවාලි, ගසල් කවි ගායනා වගේ සංගීත මෙතනදි ගන්න පුළුවන්.
ඉස්ලාම් දහම ලෝකෙට බිහිවෙන්නෙ ක්‍රි.ව. 6 වෙනි සියවසේ. ඒ සමකාලීනව අරාබියානු කලාපයෙ පර්සියාව (ඉරානය) මුල් කරගෙන ඉස්ලාම් ආගමික තේමාවන්ට අනුව ගසල් කවි රචනා වීම ආරම්භ වුණු බවයි කියවෙන්නෙ. 12 වෙනි සියවසේදි මේ කාව්‍ය රචනාවන්ගෙ කැපී පෙනෙන ඉදිරි පියවරක් තබන්නෙ සුෆී ඉස්ලාමිකයෙක් වුණු, පර්සියානු ජාතික රූමි කවියා. රූමි, හෆීස්, සාදි වගේ අය අදටත් ජනප්‍රිය සුෆී ඉස්ලාමික කවියන්. ඉන්දියානු කලාපයට මේ කාව්‍ය හඳුන්වා දෙන්නෙ පෙරදිග සම්භාව්‍ය සංගීතයේ ආරම්භකයෙක්, ගායකයෙක්, කවියෙක් සහ ඉස්ලාම් ආධ්‍යාත්මික ගුරුවරයෙක් වුණු අමීර් කුෂෲ. එතකොට උතුරු ඉන්දියාවේ පැවතුණේ දිල්ලි සහ ලක්නව් නගර මුල්කරගෙන පැවති දිල්ලි සුල්තාන් වරුන්ගේ පාලනය. කුෂෲ විසින් ඉන්දියාවේ උර්දු භාෂාවෙන් හඳුන්වා දුන් ගසල් කවි රචනා සහ ගායනා පර්සියන් කවිය ඉක්මවා දියුණු තත්ත්වයකට යනව.
මුලින්ම ඉස්ලාම් ආගමික කරුණු මුල් කරගෙන ලියවුණත් පසු කාලීනව ප්‍රේමය, සොබාදහම වගේ දේවලුත් මේ කවිවලට තේමා වෙනව. මේ සංගීත සම්ප්‍රදායන් ගේ නොයෙක් ගුරුකුළ තියනව. පසුකාලීනව බ්‍රිතාන්‍යය යටත් විජිත සමයේ ඉන්දියානු පකිස්ථාන විභේදනය, පංජාබය වගේ මහා ප්‍රාන්ත දෙකඩ වීම එක්ක බොහෝම ඉස්ලාම් ආගමික ඉන්දියානුවන්ට ගම් බිම් හැරදමල අලුතෙන් බිහිකළ පකිස්ථානයට යන්න සිද්ද වෙනව. අදටත් විශිෂ්ටතම ගසල්/ කවාලි ගායකයින් කියල හඳුන්වන අය බොහොමයක් පකිස්ථාන ජාතිකයින්. නුසරත් ෆටේ අලි ඛාන්, රාහත් ෆටේ අලිඛාන් වගේ අය අපේ රටේ ගොඩක් අය අඳුනන්නෙන්නෙ බොලිවුඩ් සිනමාව නිසා. නමුත් 2019 අවුරුද්දේ පටන් පකිස්ථාන ජාතිකයන්ට බොලිවුඩය තහනම් වීම නම් ඛේදජනකයි. ඉන්දියාවේ දැන් හින්දු අන්තවාදී බලපෑම් ටිකක් වැඩි නිසා බොහෝ වෙලාවට මුස්ලිම් හෝ පකිස්ථාන් ජාතික කලා කරුවන්ට ඉන්දියා භුමියේ දි වැඩ කරන්න සෑහෙන අමාරු තත්ත්වයක් වර්තමානයෙ තියෙන්නෙ. මේ වීඩියෝවෙ ඉන්නා දැනට සිටින අංක එකේ ගසල් ගායකයෙක් වුණු ගුලාම් අලි ගේ මෑතක පවත්වන්න තිබුණු සංදර්ශනත් ශිව සේනා සංවිධානයේ බලපෑම් නිසා ඉන්දියාවේ පවත්වන්න බැරි වෙලා තියෙනව. ඒ කාරණා කොහොම වුණත් මේ තියෙන්නෙ ගුලාම් අලි ගේ තව එක් සුමිහිරි ගසල් ගීයක් (Dil mein ek lehar si uthi hai abhi). බොහොම වෙලාවට එකම වචන පේලී ඒ මොහොතේ විවිධාකාර තනුවලට නැවත නැවත ගයමින් ඔහු මේ ගායනාව ඉදිරිපත් කරන හැටි ඔබට පෙනේවි. ගසල් කියන්නෙ ඒ මොහොත අනුව සමහර අංග වෙනස් කරමින් ඉදිරිපත් කරන සජීවී කලාවක්. මේ වීඩියොවෙන් ඔබට දැකගන්න පුලුවන් සමහර තැන් වලදි තමන් ගයන ගීයෙ වචන අරුත් පහදමින් ඉදිරිපත් කරන හැටි. මේව අර විනාඩි තුනේ සින්දු ආකෘතියෙන් සෑහෙන වෙනස්, බොහොම ඉවසීමකින් අහන්න ඕන ගායනා. ඇත්තටම spiritual music කොයි වගේද කියල දැනගන්න නම් ඒකෙන් මනසට තියන සනීපදායක ගතිය තමන්ටම අත්දකින්න නම් විනාඩි තුනේ සින්දුවෙන් එහා යන මේ music අහල බලන්න.
No comments:
Post a Comment