Monday, April 22, 2024

Lawrence of Arabia (1962)

50 දශකයේ මැද කාලයෙදි වගේ ලංකාවෙ කැළණි ගඟ අසබඩ The Bridge on the River Kwai චිත්‍රපටය හදලා අවසන් කළ කීර්තිමත් බ්‍රිතාන්‍ය සිනමාකරු Sir David Lean මීළඟ ගමන් කරන්නේ ගිනියම් අව් කාස්ටකේ වේලෙන මැද පෙරදිග මරු කාන්තාරයකට. ඒ Lawrence of Arabia චිත්‍රපටය නිර්මාණය කිරීම වෙනුවෙන්. Lawrence of Arabia කියන්නෙ කොයි වගේ චිත්‍රපටයක් ද කියල පොඩි අදහසක් අරගන්න ඒකෙ උප ප්‍රධාන චරිතයක් රඟපෑ Omar Sharif කියන මේ කතාව ප්‍රමාණවත් වේවි. 

 "හිතන්න ඔයා ලොකු සල්ලියක් තියන කෙනෙක් කියල. කවුරුහරි කෙනෙක් ඔයාව හම්බවෙන්න ඇවිත් මෙහෙම කියනව. මට චිත්‍රපටයක් හදන්න ඕන, හැබැයි ඒක පැය හතරක් විතර දිගයි. නම් දරාපු සුපිරි නළුවො කවුරුත් ඒකෙ රඟපාන්නෙ නෑ. ඒකෙ එක ගෑනු චරිතයක් වත් නෑ. ප්‍රේමාන්විත දර්ශන නෑ. ත්‍රාසජනක දර්ශනත් නැති ගාණයි. ඒවගේම ඒක රූගත කරන්නෙ මහ කාන්තාරයක් මැද්දෙ. ඔයාගෙ මුදල් මේ චිත්‍රපටය වෙනුවෙන් යොදවන්න ඔයා කැමති ද?" 

මෙහෙම චිත්‍රපටයක් වෙනුවෙන් මුදල් යොදවන එක බැලූ බැල්මට ලොකු අවදානමක් වගේ පෙනුණත් David Lean ගේ The Bridge on the River Kwai නිෂ්පාදනය කළ Sam Spiegel ම ඒ අවදානම ගන්නව.

Lawrence of Arabia ගැන කතාකරද්දි, සුප්‍රකට සිනමා විචාරක Roger Ebert කියනව මේක පුළුල් තිරේක නරඹන්න ලැබෙන එක සිනමාවට ආදරය කරන කෙනෙකුට ජීවිතේ ඇතුළෙ ලබන්න පුලුවන් ලොකු ජයග්‍රහණයක් කියලා. ඒකට හේතුවක් තියනව. උදාහරණයකින් කිව්වොත් සිනමාපටයෙ එක තැනක් තියනව කාන්තාරයෙ අතරමං වුණු තමන්ගෙ මිත්‍රයා එනතුරු බලා ඉන්න තරුණයෙකුගේ දර්ශනයක්. ඔහු කාන්තාරයේ ඈත බලා ඉන්නව බොහොම බලාපොරොත්තු සහගතව. ඔහුගෙ දර්ශන පථයට අහුවෙන්නෙ හාත්පසින්ම අනන්තය දක්වා විහිදුණු සුවිසල් වැලිතලාව. මේ වැලිකතරේ ඈතින් යන්තම් තිතක් වගේ මතුවෙලා ක්‍රමයෙන් ළංවන තම මිත්‍රයාගෙ රුව ඔහුට දැකගන්න ලැබෙනවා. රූපවාහිනි පුංචි තිරේක මේ දර්ශනය හරියට දැකගන්න බෑ. ඒ රූප රාමුවෙ දැවැන්ත බව නියමාකාරයෙන් අත්විඳගන්න පුලුවන් වෙන්නෙ පුළුල් තිරේ පමණයි. Ebert මහත්මයාගෙ කතාවෙ අර්ථය තියෙන්නෙ එතනයි.

චිත්‍රපටයට පාදක වන "ආරාබියේ ලෝරන්ස්" නමින් ප්‍රකට චරිතය හැබෑවටම ජීවත් වුණු කෙනෙක්. ඔහු උපදින්නෙ එංගලන්තයේ ඔක්ස්ෆර්ඩ් ප්‍රාන්තයේ 1888 වසරේ අගෝස්තු 16 වෙනිදා. තෝමස් එඩ්වර්ඩ් ලෝරන්ස් නැත්නම් ටී. ඊ. ලෝරන්ස් ඔහුගෙ නම. ලෝරන්ස් ගේ පියා එංගලන්තයේ වංශවත් පුද්ගලයෙක් වුණත් ඔහුගෙ මව සාමාන්‍ය මධ්‍යම පාන්තික ගැහැනියක්. මේ දෙදෙනා කවදාවත් විවාහ වී සිටියේ නෑ. ඒ කියන්නෙ ලෝරන්ස් සහ ඔහුගෙ සහෝදරයන් හතරදෙනා මේ ලෝකයට උපදින්නේ අනියම් ඇසුරක ප්‍රතිථලයක් විදිහට. මේ කරුණ ලෝරන්ස්ව සෑහෙන පීඩාවට පත්කළා. නීතියට අනුව විවාහ නොවුණු තම මව්පියන් දරුවන් නොහදා හිටියා නම් හොඳ බව ලෝරන්ස් කියා තිබුණා. නමුත් කොහොම වුණත් ඔහුගෙ මව තම දරුවන්ව හොඳින් හදාවඩා ගත්තා. කුඩා කාලයෙ පටන් ලෝරන්ස් අමුතු ගති ගුණ තිබූ දරුවෙක් බවයි කියවෙන්නෙ. ඔහුගෙ වයසෙ අනෙක් දරුවන් ක්‍රීඩාවේ යෙදෙමින් විනෝද වෙද්දී ලෝරන්ස් සතුට ලැබුවේ පොත පත කියවීමෙන්. නිල් පැහැති තියුණු දෑසක් සහ කුඩා කෙසඟ සිරුරක් තිබුණත් ලෝරන්ස්ට දැනුම සොයා යන්න තිබුණ පිපාසාව නම් විශාලයි. පොතට හිත තිබුණු මේ දරුවා පසුව ඔක්ස්ෆර්ඩ් සරසවියට ඇතුළත් වෙන්න වරම් ලබනවා. ඔහුගෙ මූලික උනන්දුව තිබුණේ ඉතිහාස විෂයට. ඉතිහාසයෙත් මධ්‍යකාලීන යුගයට. එංගලන්තයෙ තිබුණු මධ්‍යකාලීන ගොඩනැගිලි අතර සැරිසැරීම ඔහු සෑහෙන ප්‍රිය කළා. උපාධි නිබන්ධනයට, මධ්‍යතන යුගයේ කුරුස යුද්ධ වෙනුවෙන් මැදපෙරදිගට ගමන්කළ යුරෝපීය සොල්දාදුවන් ඉදිකළ බලකොටු ගැන හදාරන්න ඔහු තෝරාගන්නව. ලෝරන්ස් සහ අරාබිය අතර මුල්ම සම්බන්ධය ඇති වෙන්නෙ එතනින්.

නොයෙකුත් දුක් ගැහැට විඳගෙන, සොර සතුරු කරදරවලට ලක්වෙමින් සැතපුම් දහස් ගණනක් අරාබිකරයේ සැරසරලා තම නිබන්ධනය රචනා කරන ලෝරන්ස්ට ඒ වෙනුවෙන් ඔක්ස්ෆර්ඩ් සරසවියෙන් ප්‍රථම පන්තියේ උපාධියක් හිමි වෙනවා. පළමු ලෝක යුද්ධය පටන් ගන්නෙ ඔය අතර. තම දෙමව්පියන් ගැන හිත කරදරයෙන් සිටි ලෝරනස්, ඔහුගේ සහෝදරයන් සහ බොහොමයක් බ්‍රිතාන්‍ය තරුණයන් ඒ යුගයෙ දි කළා වගේ හමුදාවට බැඳෙනව. ලෝරන්ස් ගෙ අරාබි භාෂා දැනුම සහ මැදපෙරදිග කලාපය ගැන තියන අවබෝධය වගේම ඔහුගේ ඉහළ අධ්‍යාපනික සුදුසුකම් මත ඔහුව ඊජිප්තුවේ කයිරෝවල පිහිටි බ්‍රිතාන්‍යය අරාබි කාර්‍යංශයට යැවෙනවා. එතනදි තම දැනුම භාවිත කරලා ඔහු බ්‍රිතාන්‍ය වෙනුවෙන් සේවය කරනවා. පළමු ලෝක යුද්ධයෙදි බ්‍රිතාන්‍ය සතුරෙක් වුණු ජර්මනියේ සහය ඇතිව තුර්කියේ ඔටෝමාන් අධිරාජ්‍ය මැදපෙරදිග සිරියාව සහ හෙජාස් ප්‍රදේශවලට ආක්‍රමණයක් එල්ල කරනව. මේ කලාපයේ පිහිටි වැදගත් නගර දෙකක් වුණු අකබා සහ දමස්කස් නගර ඔවුන් අල්ලාගන්නව. මේ වෙද්දී අරාබිය ගෝත්‍ර ගණනාවකට වෙන්වී ගිය විසිරුණු ජාතියක් ව තිබුණා. ඔවුන් අතර නායකත්වය ගත් වඩා බලවත්ම චරිතය වුණේ ෆයිසාල් කුමාරයා. ඔටෝමාන් වරුන්ට එරෙහිව සටන් වදින්න ෆයිසාල් බ්‍රිතාන්‍ය සහය ඉල්ලනව. මේ අනුව ලෝරන්ස්ව කාන්තාරය හරහා ෆයිසාල් වෙතට යැවෙනවා. ලෝරන්ස්ව ඓතිහාසික චරිතයක් බවට පත් කරන, ඔහුගේ ජීවිතේ වඩාත් වැදගත් සිදුවීම් මාලාව වෙන්නේ එයින් පස්සෙ. චිත්‍රපටයට ඇතුළත් වෙන්නෙත් ලෝරන්ස් සම්බන්ධ මේ සිද්ධි දාමය.

සොබාදහමේ කටුක කාෂ්ටක බව පිරුණු රඟඬලක් වුණු වැලි කාන්තාර භූමියේ තියෙන නොයෙක් දුෂ්කරතාවන්ට අරාබියෙකු සේම ඔරොත්තු දෙන්න හුරුවෙමින්, විසිරුණු කාන්තාර ගෝත්‍ර එක්සේසත් කරන්න ලෝරන්ස් නායකත්වය ගත්‍තා. ඉංග්‍රීසි කලිසම වෙනුවට අරාබි ලෝගුවට බැස්ස ලෝරන්ස් මේ කාලයෙදි අරාබි ජාතිකයෙක් බවටම පත්වී සිටියා. අරාබි ජාතිකයින් ඔහුගේ සමීපතම මිත්‍රයින් බවට පත්වුණා. ඔවුන් සමග සිටිමින් යුධ පුවත් වාර්තා කළ මාධ්‍යවේදී Jackson Bentley ලෝරන්ස්ව යුධ වීරයෙකු බවට වාර්තා කර ලොව ප්‍රකට චරිතයක් බවට පත් කර තිබුණා. නමුත් මෙතන තිබුණා ලෝරන්ස්වත් ෆයිසාල් වත් නොදැන සිටි කරුණක්. එනම් බ්‍රිතාන්‍ය සහ ප්‍රංශය යන දෙරට මේ වෙද්දි රහස් ගිවිසුමකට එළඹී සිටීම. ගිවිසුමට අනුව තුර්කි ඔටෝමාන්වරු අරාබියෙන් පලවාහැරිය පසුව මේ දේශය බ්‍රිතාන්‍ය සහ ප්‍රංශය අතර සමසේ බෙදාගැනීමට ඔවුන් සූදානම් වී සිටියා. ලෝරන්ස් මේ බව දැනගන්නෙ පසුව. බ්‍රිතාන්‍ය පාලකයින් සහ හමුදා නිලධාරීන් තම අරාබි ප්‍රේමයත්, කාන්තාර භූමියට අනුවර්තනය වෙන්න තිබු හැකියාවත් ඔවුන්ගේ අරමුණු ඉටුකර ගැනීම වෙනුවෙන් උපායශීලී ලෙස පාවිච්චි කර ඇති බව ලෝරන්ස් දුටුවා. ආපසු හැරෙන්න ඔහු තීරණය කරද්දී ඒ මාවතේ ඔහු බොහෝ දුරක් ගිහින් අවසානයි. ලෝරන්ස් මේ සපුරා ආගන්තුක අරාබි දේශයක් වෙනුවෙන් තම ජීවිතේ කැප කරන්න තීරණය කළේ ඇයි? චිත්‍රපටයෙ එක තැනකදි ආරාබි ජාතිකයෙක් ලෝරන්ස්ගෙන් අහනව ඇ‍යි ඔබ කාන්තාරයට මෙතරම් කැමති කියල. ලෝරන්ස් කියනව මම කාන්තාරයට කැමති ඒක පිරිසිදු නිසා කියල. ඒ කියමනෙන් ඔහු අදහස් කළේ බ්‍රිතාන්‍ය සමාජය ගැන ඔහුට තිබුණ යම් නොරිස්සුමක් ගැනද, නැත්නම් බැඳීම්වලින් තොර නිදහස්කාමී ජීවිතයකට ඔහුට තිබුණු යම් පෙළඹවීමක් ගැනද කියන කාරණේ හිතා බලන්න වටිනව.

අරාබිය අතහැර බ්‍රිතාන්‍යයට නැවත පැමිණි ලෝරන්ස් ඔහුගෙ අත්දැකීම් අළලා Seven Pillars of Wisdom නමැති ග්‍රන්ථය රචනා කළා. තමාව යුධ වීරයෙකු විදිහට සලකා නිතර තමා සොයා එන මාධ්‍යවේදීන්ගෙන් සහ මහජනයාගෙන් සැඟවී අප්‍රකට ජීවිතයක් ගෙවාදමන්න ඔහු තීරණය කර තිබුණා. ලෝරන්ස් ගේ විනෝදාංශයක් වුණේ අධික වේගයෙන් මෝටර් බයිසිකල් පැදීම. ලෝරන්ස් සමග බයිසිකලයේ යාම ඔහුගෙ මිත්‍රයන් සැලකුවෙ යක්ෂයා සමග යාමක් විදිහට. 1935 මැයි 13 වෙනිදා තමන්ගේ Brough Superior SS100 මෝටර් බයිසිකලයේ නැගුණු ලෝරන්ස් තම නිවස ඉදිරිපිට මාවතේ අධිවේගයෙන් ධාවනය කරමින් සිටියා. බයිසිකල් දෙකක නැගුණු කොලුගැටවුන් දෙදෙනෙක් මාර්ගයේ වැරදි පැත්තෙන් තමන් දෙසට එනු ඔහු දැක්කා. ඔවුන්ව බේරාගන්න බයිසිකලයෙ හැඬලය පසෙකට කැපුව ලෝරන්ස් විසිවී ගොසින් බිම වැටුණා. හිසට බරපතළ හානියක් සිදුවී තිබුණු ලෝරන්ස් දින හයක් සිහිසුන් ව රෝහල්ගතව සිට 1935 මැයි 19 වන දා 46 වියේ පසුවෙද්දී සිහි නොලබාම අවසන් හුස්ම හෙළුවා. ඔහුගේ රිය අනතුර සිදුවුණු තැන කුඩා ස්මාරකයක් අදටත් තබා තිබෙනවා. ලෝරන්ස් තම ජීවිතේ අවසන් භාගය ගත කරමින් සිටි මෝටන් ප්‍රාන්තයේ ශාන්ත නිකලස් දේවස්ථාන සුසාන භූමියේ ඔහුගේ සිරුර මිහිදන් කරනු ලැබුවා. "ලෝරන්ස් කියන්නෙ සාමාන්‍ය කෙනෙකුට වඩා අධි වේගවත් සහ උද්වේගකාරී ජීවිතයක් ගත කළ කෙනෙක්" ඔහුගේ මළගම මොහොතේ වින්ස්ටන් චර්චිල් කියා සිටියා.

Lawrence of Arabia එදාමෙදා තුර නිර්මාණය කෙරුණු අති විශිෂ්ටතම සිනමාපට අතර සැලකුම් ලබනවා. ඒ 1960 වගේ යුගයක අති දැවැන්ත පසුතල යොදා ගෙන රූප රාමු, සංගීතය, රඟපෑම් ඇතුළු චිත්‍රපටයක මූලිකාංග උපරිම ගුණාත්මක බවකින් භාවිත කර තිබීම පමණක් නොවෙයි. ලෝරනස් නම් චරිතය ඔහුගේ අසාමාන්‍ය ගති ස්වභාවයන්, ඊට පසුබිම් වුනු යුධමය සහ දේශපාලනික පසුබිම ප්‍රතිනිර්මාණය කිරීම වගේ සාධකත් එක්කයි මේක අතිවිශිෂ්ථ ගණයේ සිනමාපටයක් වෙන්නෙ. විචාරක Roger Ebert මහත්මය කියන විදිහට සිනමාපටක දැවැන්ත බව තීරණය වෙන්නෙ ඒ වෙනුවෙන් වැය කරන මුදල් ප්‍රමාණය මත නොවෙයි, එහි අන්තර්ගත වෙන අදහස සහ දෘෂ්ටිය අනුවයි. ඒ අනුව මෑත යුගයේ දැවැන්ත යන ලේබලය ගහගත්ත බොහෝම චිත්‍රපට අධික පිරිවැක් දරන B ශ්‍රේණියේ චිත්‍රපට පවයි එතුමගෙ අදහස. නමුත් මේ කොයි ආකාරයෙන් ගත්තත් Lawrence of Arabia කියන්නෙ සිනමාව නම් කලා මාධ්‍ය ඇතුළෙ බිහි වුණ උසස් නිෂ්පාදිතයක් බව අපිට පිළිගන්න සිද්දවෙනව. Ebert මහත්මයා තමන්ගෙ Great Films ලයිස්තුවට Lawrence of Arabia ඇතුළත් කරන්නෙ ඒ නිසා. Lawrence of Arabia ඔස්කාර් සම්මාන 10 කට නිර්දේශ ලබලා ඉන් 7 ක් දිනාගන්නව. චිත්‍රපටයේ ලෝරන්ස් ගෙ චරිතය නිරූපණය කරන්නෙ Peter O'Toole නම් එවකට ආධුනික මට්ටමේ පසුවුණු නළුවා. පීටර් රඟපෑම වෙනුවෙන් කිසිදාක ඔස්කාර් සම්මානයක් දිනාගන්නේ නැතිව නිර්දේශ 7ක් ලබමින්, සම්මාන නොලබා වැඩිම නිර්දේශ ගණනක් ලැබීමේ වාර්තාවට හිමිකම් කියනව. 2002 අවුරුද්දේ ඔහු ගෞරව සම්මානයකින් පිදුම් ලැබුවා. ලෝරන්ස්ගෙම Seven Pillars of Wisdom ඇසුරෙන් චිත්‍රපට පිටපත රචනා කරන්නෙ Robert Bolt සහ Michael Wilson.

Lawrence of Arabia නරඹන්නන් අතර පමණක් නොවෙයි බොහෝම සිනමාකරුවන්ගේ පවා ප්‍රියතම චිත්‍රපටයක් විදිහට සැලකෙනව. Spielberg කියන්නෙ මෙය තමන් දැක ඇති හොඳම චිත්‍රපටයක් බව. ජපානයේ Akira Kurosawa ත් මේ චිත්‍රපටයට ප්‍රිය කළ කෙනෙක් වුණා. පසුකාලීනව Star Wars, Dune, Mad Max වැනි චිත්‍රපට ගණනාවකටම Lawrence of Arabia චිත්‍රපටයේ අනුප්‍රාණය ලැබී තිබුණා. මේ වගේ කරුණු කාරණා නිසා සිනමාව කියන කලා මාධ්‍ය හැඩගන්වන්න තීරණාත්මක බලපෑමක් කල පුරෝගාමී කෘතියක් විදිහට Lawrence of Arabia හැඳින්වීම වරදක් නැහැ. 



Thursday, April 11, 2024

The Wind That Shakes the Barley (2006)

අයර්ලන්තයේ දකුණු දිගින් පිහිටි Coark නම් ප්‍රාන්තයේ ගම්බද පරිසරයක හොකී ක්‍රීඩා කරමින් ඉන්නව එක්තරා තරුණ පිරිසක්. අයර්ලන්තය කිව්වම මතක් වෙන කොළපාට සුවිශාල තැනිතලා බිම්, මල් විසිරුණු මිටියාවත්, ඈත සිතිජ සීමාවේ පැතිරී ගිය නිල් පාට කඳුවැටි ඔබට මේ දර්ශනයට පසුබිමෙන් ඇතුළත් කරගන්න පුලුවන්. තරුණයන් කණ්ඩායම ක්‍රීඩාවෙ යෙදෙන්නෙ ලෝකෙ වෙනත් ඕනැම තැනක තරුණ පිරිසක් කල්ලි ගැහුණු තැනක තියෙන්නා වගේ කෙළිදෙලෙන් විනෝදෙන්. මේ 1920 දශකය බවත් මතකයේ තබාගන්න. ක්‍රීඩාව අවසන් කරලා ගෙවල් බලා යන මේ අය අතරින් තරුණයින් කිහිප දෙනෙකුට ඉන්පස්සෙ මුහුණ දෙන්න සිද්දවෙන්නෙ අර ලස්සන නිදහස් සුන්දරකම සම්පූර්ණයෙන්ම කණපිට හරවන බිහිසුණු අත්දැකීමකට. ඔවුන් සොයා එන්නෙ බ්‍රිතාන්‍ය සෙබළු කාණ්ඩයක්. මේ වෙද්දී බ්‍රිතාන්‍යයන් අයර්ලන්තය ආක්‍රමණය කර තම බලය ඒ රට තුළත් පතුරුවාහරිමිනුයි උන්නේ. ඉන්දියාව, අප්‍රිකාව වගේ තමන්ගෙ රටටත් වඩා පනස් ගුණයකින් පමණ විශාල භූමි යටත් කරගෙන ලෝකෙ පුරා ඉර නොබසින අධිරාජ්‍යයක් ගොඩනගාපු බ්‍රිතාන්‍යයන්ට තමන්ගෙ අල්ලපු වැටේ තිබුණ අයර්ලන්තය අමතක වෙන්න විදිහක් තිබුණේ නෑ. මේ වෙද්දි බ්‍රිතාන්‍යයන් අයර්ලන්ත ජාතිකයින්ට පොදු ස්ථානවල කණ්ඩායම් ගැසීම තහනම් කරලායි තිබුණේ. අර තරුණ පිරිසත් බ්‍රිතාන්‍ය සොල්දාදුවනුත් අතර ඇති වෙන කතාබහ දුර දිග යන්නෙ ඔවුන් අතරෙන් එක තරුණයෙකුට ජීවිතයෙන් වන්දිගෙවන්න පවා සිද්දකරමින්. මේ සිද්ධිය ඒ වෙනකොට අයර්ලන්තය බ්‍රිතාන්‍යයන් ගෙන් නිදහස් කරගැනීමේ නිදහස් සටනේ සටන්වදිමින් සිටි අයර්ලන්ත විමුක්ති හමුදාව (IRA) ට අර තරුණ කණ්ඩායම සම්බන්ධවෙන්න හේතුවක් වෙනව. තමන් උපන් රටේන හිරකාරයන් බවට පත්කරමින් තම නිදහස උදුරාගන්න බ්‍රිතාන්‍යයන්ව මොන ක්‍රමයකින් හරි අයර්ලන්ත භූමියෙන් එලවා දැමිය යුතු බව ඔවුන් දැඩිව හිතට ගන්නව. The Wind That Shakes the Barley චිත්‍රපටය නිර්මාණය වෙන්නෙ නිදහස් සටනේ සටන් වැදුණු මේ අරගලකාර තරුණ කණ්ඩායම වටා.

මේ තරුණ පිරිසට නායකත්වය දෙන්නෙ ටෙඩී සහ ඩේමියන් කියන සහෝදරයන් දෙදෙනා. එකම අරමුණක් වෙනුවෙන් සටන් කළත් පසුව දෙදෙනා කඳවුරු දෙකකට තල්ලුවී ගිහින් දෛවෝපගත විදිහට එකිනෙකාට ප්‍රතිවිරුද්ධව මුහුණට මුණගැහෙන හැටි අපි දකිනව. චිත්‍රපටයෙ කේන්ද්‍රීය චරිතය වෙන්නෙ ඩේමියන්. ඩේමියන් වෛද්‍ය විද්‍යාව ඉගෙන ගනිමින් සිටිද්දී, තම රට වැසියන්ට බ්‍රිතාන්‍යයන් ගෙන් එල්ලවන පීඩනය දැක ඔවුන්ව මේ විපතින් මුදාගෙන තම දේශයට නිදහස ළඟා කර දීමේ අරමුණෙන්, තම අධ්‍යාපනයත් වෘත්තීයත් අතහැර විමුක්ති සටනට සම්බන්ධ වුණු අයෙක්. චිත්‍රපටය ඇතුළේ නිරූපිත ඩේමියන් තමාගේ සුබ සිද්ධියට වඩා පොදු අරමුණක් වෙනුවෙන් ජීවිතය කැපකළ පරමාදර්ශී අරගලකරුවෙක්. ඉන්දියාවේ භගත් සිං, ස්කොට්ලන්තයේ විලියම් වොලස්, දකුණු අප්‍රිකාවෙ මැන්ඩෙලා, ලතින් ඇමරිකානු චේ ගුවෙරා වැනි අයට සම කළ හැකි කෙනෙක් (ඔහු චිත්‍රපටය තුළ පමණක් නිරූපිත ප්‍රබන්ධගත චරිතයක්. නමුත් ඔබ අයර්ලන්ත විමුක්ති සටන් ගැන වැඩිදුර සොයා බැලුවොත් මෙවැනි චරිත සැබවින්ම ඒ යුගයේ අයර්ලන්තයේ සිට ඇති බව සොයාගත හැකි වේවි. අයර්ලන්ත ගරිල්ලා සටන් වල නායකත්වය දැරූ මයිකල් කොලින්ස් එවැනි කෙනෙක්. ඔහු ගැන ඔහුගෙ නමින්ම 1996 වසරේ තිරගත වුණු, ලියම් නීසන් ප්‍රධාන චරිතය නිරූපණය කරන චිත්‍රපටයක් නිර්මාණය වී තිබෙනව)

The Wind That Shakes the Barley නම එන්නෙ 18 වෙනි සියවසේ අයර්ලන්ත විප්ලව සමයේ Robert Dwyer Joyce විසින් ලියූ කවියක පද පෙළකින්. මේ කවිය චිත්‍රපටය මුල්භාගයෙ එක තැනකදි ගායනා වෙනව. අයර්ලන්තය කොහොමත් කලා සම්ප්‍රදායන්ගෙන් පොහොසත් රටක්. මේ අයර්ලන්ත කලාවන් හරි අපූරුවට චිත්‍රපටයට මුහු කරගෙන තියනව. චිත්‍රපටය අධ්‍යක්ෂණය  කරන්නෙ Sorry we missed you, The Old Oak වගේ චිත්‍රපට නිර්මාණය කළ Ken Loach. මේක Loach ගෙ ආදායම් අතින් වඩාත්ම සාර්ථක වුණු චිත්‍රපටය විදිහට සැලකෙනව. 2006 කාන්ස් සිනමා උළලේ Palme D'or සම්මානයෙන් පිදුම් ලබන්නත් මේ චිත්‍රපටයට හැකි වුණා.

මේ චිත්‍රපටයේදි ඩේමියන් ගේ චරිතය නිරූපණය කරන්නෙ Oppenheimer චිත්‍රපටය වෙනුවෙන් ඔස්කාර් සම්මානය දිනාගැනීම නිසා මෑතක ලෝ ප්‍රකට වුණු කිලියන් මර්ෆි විසින්. කිලියන්ගේ හොඳම රඟපෑම oppenheimer නම්  The Wind That Shakes the Barley කියන්නෙ ඔහුගෙ දෙවනියට හොඳම රඟපෑම විය යුතුමයි. ඩේමියන් නම් කැරළකරුවාව ඔහු තිරය මත ප්‍රතිනිර්මාණය කරන ආකාරය ඒ තරම් විශිෂ්ටයි. නමුත් මේ ඉස්තරම් රඟපෑම ඔහු කරන්නෙ 2006 තරම් ඈතක. ඔස්කාර් ඇගයීමකට ලක්වෙන්න ඔහුට 2024 තරම් කාලයක් ගත වුණා. කල්ගත වෙලා හරි රංගවේදියෙකුට ලැබෙන උපරිම අගය කිරීමකට ඔහු සුදුසුකම් ලැබීම සතුටට කාරණාවක්.

ඩේමියන් වගේ අරගලකරුවෙක් වෙන එක කොහොමත් ලේසි පහසු කටයුත්තක් නෙවෙයි. අයර්ලන්තයේ පැවතුණේ යුරෝපයේ අනිත් රටවල වගේ කිතු දහම මුල් කරගත්ත සංස්කෘතියක්. ඔවුන් අදහන ක්‍රිස්තුස් වහන්සේ කියන්නෙ නිතරම සමාජයේ ආසාධාරණයට දුක් පීඩාවන්ට ලක්වෙන ජනතාව වෙනුවෙන් පෙරට පැමිණි කෙනෙක්. නමුත් උන්වහන්සේව පෙරටු කරගත් කතෝලික සභාවම පීඩකයින්ගේ පැත්ත ගනිද්දි එයට එරෙහි වෙන්න තරම් හයියක් ඩේමියන්ට තිබුණා. සමහර අවස්ථාවල තම සංවිධානයෙ ආරක්ෂාව වෙනුවෙන් ඉතාම අපහසු තීරණ ගන්න ඔහුට සිදුවුණා. තම සටන් සහයන් සොහොයුරන් තමන් ඉදිරියෙදිම මරා දැමෙන හැටි බලා ඉන්න ඔහුට සිදුවුනා ඔහුගෙ ප්‍රේමවන්තිය පවා නොයෙක් හිරිහැරයන්ට ලක්වුණා. ඩේමියන්ගෙන් නිරූපිත වෙන්නෙ අරගලකරුවෙකුගෙ මේ අති දුෂ්කර ජීවිත පැවැත්ම. The Wind That Shakes the Barley ඔබේ ඇසට කඳුළක් නංවන තරම් සංවේදී කතා පුවතක්. වරක් නැරඹුව කෙනෙකුට පහසුවෙන් අමතක නොවෙන සිනමා අත්දැකීමක්. කිසිසේත් මගහැර නොගත යුතු ආකාරයෙ චිත්‍රපටයක්.



Tuesday, April 9, 2024

අයිවන් මැග්වයර්ගේ මාරක පැරෂුට් පිම්ම

අයිවන් ලෙස්ටර් මැග්වයර් ඇමරිකානු ජාතික පළපුරුදු පැරෂුට් පිනුම් කරුවෙකි. 1988 වසර වන විට 35 වන වියේ පසුවූ ඔහුගේ නමට ඉදිරියෙන් පැරෂුට් පිනුම් වාර 800 කට වඩා සටහන්ව තිබුණි. 1988 අප්‍රියෙල් 2 වන දා පැරෂුට් පැනීම ඉගෙන ගන්නා ශිෂ්‍යයෙකු සහ පුහුණුකරුවෙක් සමග අයිවන් උතුරු කැරොලිනාවේ ෆ්‍රෑන්ක්ලින් පැරෂුට් ක්‍රීඩා මධ්‍යස්ථානයේ සිට ගුවනට නැගී දෙවතාවක්ම පහළට පැන තිබුණේ ක්‍රීඩා මධ්‍යස්ථානය වෙනුවෙන් පැරෂුට් පැනීමේ දර්ශන කිහිපයක් පටිගත කිරීම සඳහාය. ඒවා පටිගත කිරීමේ කටයුත්ත සිදුකළේ අයිවන්ය. අධුනිකයන්ගේ සහ පැරෂුට් පැනීම ඉගෙන ගන්නා ශිෂ්‍යයන් ගේ ප්‍රයෝජනය පිනිස මේ දර්ශන වීඩියෝ ගත කරීම සිදුකරන ලදී.

තුන්වන පිනුම් වාරය සඳහා ගුවන් යානාවකින් ඔහු ඇතුළු කණ්ඩායම නැවතත් අඩි 10 000 ක් ඉහළ ගුවනට නැග සිටියේය. ගුවන්‍ යානයෙන් පහළට පැන්න අයිවන් තම සගයින්ද ඔහු සමග ඔහු අනුවම ගුවනට පනිනා දර්ශන කැමරාවට හසුකරගත්තේය. ගත වුණේ නිමේශයකි. යමක් වැරදී ඇති බව අයිවන්ට වැටහුණි. ඔහු ගුවන්යානයෙන් පහළට පැන තිබුණේ පැරෂුටයක් නොමැතිව ය. 

"ඔහ් මගෙ දෙවියනේ, නෑ!" (Oh my God! No!)

අයිවන් එසේ පවසනු කැමරාවේ සටහන් විය. නමුත් ඒ ඔහුගේ අවසන් වචන විය. අඩි 10 000 ක සිට පහළට ඇද වැටුණු ඔහුගේ ප්‍රාණය සුන් වූ සිරුර පැරෂුට් මධ්‍යස්ථානය අසළ වනරොදක තිබූ හමු විය. නමුත් ඔහු අත තිබූ කැමරාවේ දර්ශන සුරක්ෂිත තත්ත්වයේ පැවතුණි. ඒ දර්ශනවලින් කොටසක් තවමත් යූටියුබ් හි දක්නට ඇත. 

අයිවන් මැග්වයර් ට වැරදුණේ කොතැනද? ඔහු වැනි පළපුරුදු පිනුම් කරුවෙක් පැරෂුටය අමතක කර ගුවනින් පනිතැයි සිතිය හැකිද? නීතිය අනුව යමෙකු පැරෂුටයක් සමග ගුවනින් පනින්නට පළමුවෙන් ගුවන් නියමුවාගේ අධීක්ෂණයට අනිවාර්යෙන්ම ලක් විය යුතු ය. අයිවන් පැරෂුටයක් නැතිව පනින බව ඔහුව පරික්ෂා කළ ගුවන් නියමුවා දැක්කේ නැද්ද? නැතිනම් මේ අයිවන් හිතාමතාම පැන්න පිනුමක් ද? අයිවන්ගේ මළ සිරුර මෙන්ම ඔහු සමග එදා ගුවන්‍ යානයේ ගමන් ගත් සියළු දෙනාව ඇමරිකානු ෆෙඩරල් බියුරෝව විසින් පුළුල් ලෙස විමර්ශණය කරන ලදී. අවසානයේ ඔවුන් පැමිණි නිගමනය කුමක් ද?

අද මෙන් තාක්ෂණය දියුණු නොමැති 80 දශකයේ මෙම දර්ශන රූගත කිරීම සඳහා භාවිත කළ කැමරාව තරමක් බරැති කරේ එල්ලාගෙන යා යුතු එකක් විය. අයිවන්ගේ පිටේ විශාල මල්ලක් තිබූ නිසා ඔහු පැරෂුටයක් නොමැතිව පනින බව පැහැදිලිව පෙනුනේ නැත. ගුවන් නියමුවාද එය දුටුවේ නැත. ඔහු වැනි පළපුරුදු පැනුම්කරුවෙකුට එවැනි අතපසුවීමක් සිදුවේ යැය කිසිවෙකුත් සිතා නොතිබුණි. වැදගත්ම කරුණ නම් අයිවන් ගේ මතකයම ඔහුව රවටා තිබීමය. පිටේ බර මල්ලක් එල්ලාගෙන සිටින සිටින නිසා පැරෂුටය තිබේ යන වැරදි සංඥාව ඔහුගේ මතකය විසින් ග්‍රහණය කරගෙන ඇත. 800 වතාවකටත් වඩා සාර්ථකව මේ කටයුත්ත කර ඇති ඔහු ඒ නිසා සුපුරුදු විලාසයෙන්ම සැකයක් නැතිව අඩි 10 000 ක් ඉහළ සිට බිමට පැන්නේ ය. අපේ මතකය මේ ආකාරයට වැරදී යාම අප එදිනෙදා නිතරම අත්දකිමු. කුඩයක්, මුදල් පසුම්බියක් වැනි කුඩා දේවල් බොහෝ සේ අපට අතපසු වෙයි. නමුත් අයිවන් මැග්වයර් ගේ සිද්ධිය එවැනි කුඩා අතපසුවීමක් බියකරු සිහිනයක අයුරින් මාරාන්තික බවට පත්වන ආකාරයට නිදසුනක් වෙයි. මෙය ලොව පුරා පැරෂුට් පැනීමේ යෙදෙන්නන් අදටත් සිහිපත් කරන සිදුවීමක් වන අතර එයින් පසුව පැරෂුට් ක්‍රීඩා වේ ආරක්ෂක විධිවිධාන තවත් දැඩි කරවන්නට කටයුතු යෙදුණි.

- පින්තූරය - අයිවන් මැග්වයර් ගේ කැමරාවේ අවසන් වරට සටහන්ව තිබූ දර්ශනයක්.



Saturday, April 6, 2024

තරුණයන් දෙදෙනා

 නිව් යෝර්ක් නගරයේ අඳුරු වැසීගිය පෙදෙසක හැදීවැඩුණු, එක ළඟ වසරවල උපත ලැබූ සහ යාබද නිවෙස්වල දිවි ගෙවූ කොලු ගැටවුන් දෙදෙනෙකු සිටියේය. ඔවුන් දිළිඳුම පවුල්වලට අයත් නොවුණු නමුත් ධනවත් ද නොවූහ.


එකෙකුගේ දෙමාපියන් ඉතාලි ජාතිකයින් වූ අතර අනෙකාගේ පියා ඉතාලියානු සහ මව අයර්ලන්ත ජාතික කාන්තාවක විය. වයසින් වැඩෙන කළ, ඔවුන් මාෆියා කල්ලි සාමාජිකයෝ ද, වීදිවල වුන් මැරවරයෝද සියැසින් දුටුවෝ ය. ඒවාට සම්බන්ධ වූ මිතුරෝ ද ඔවුන්ට සිටියහ. ඔවුන් ගේ ළමාවිය ගෙවී ගියේ මේ කල්ලි කණ්ඩායම් සමගිනි.

මේ කොලු ගැටවුන් දෙදෙනාගෙන් එකෙක් මුලින් නිළියකව සිට පසුව ජීවිකාව පිනිස ඇඳුම් මැසීමේ නිරත වුණු තැනැත්තියක ගේ පුත්‍රයෙකු විය. අනෙකා, තමන් සමලිංගිකයෙකු වූ නිසා තම බිරිඳව හැර ගිය චිත්‍ර ශිල්පියෙකුගේ පුත්‍රයෙකු වූ අතර ඔහුගේ මව ද චිත්‍ර ශිල්පිනියක වූවා ය. මොවුන් දෙදෙනාම තම දෙමව්පියන්ගේ 'කලාකාමී ජාන' සහ තම පියවරුන්ගේ සංක්‍රමණික අක්මුල් වෙතින් පැමිණි ගතිගුණාංගයන් උරුම කරගැනීම පුදුමයක් නොවීය. 

කොලුගැටවුන් දෙදෙනා වයසින් වැඩී තම තමන්ගේ මාවත් ඔස්සේ වෙන වෙනම පියනැගූහ. නමුත් වයස විසි ගණන්වලදී ඔවුන් දෙදෙනා නැවත මුණගැසුණි. වඩා උස, කඩවසම් අර්ධ අයර්ලන්ත ජතික තරුණයා රංගන පාසලකට ඇතුළත් වී තිබුණු අතර ඔහු දැන් නළුවෙක් වූයේ ය. ඔහුගේ නම රොබට් ඩී නීරෝ විය.

ප්‍රධාන නළුවෙකු වීමට තරම් උස මදි වුණු ඔහුගේ මිත්‍රයා ගේ නම මාටින් ස්කෝසෙසේ විය. තමන් හැදී වැඩුණු ලෝකය ප්‍රතිනිර්මාණය කර එවන් සමාජ පසුබිමකට ආගන්තුක වූ තරුණ ප්‍රේක්ෂක ප්‍රජාවක් හමුවට එය රැගෙන යාමට ස්කෝසෙසෙ ට උවමනා විය. එහි ප්‍රතිඵලය වූයේ Mean Streets. Taxi Driver. Raging Bull. The King of Comedy. Goodfellas වැනි චිත්‍රපට පෙළකි.

ස්කෝසෙසේ චිත්‍රපට අධ්‍යක්ෂණය කළේය. ඩී නීරෝ ඒවායේ රඟපෑවේය. එය අවසන් වූයේ ස්කෝසෙසේ අතිවිශිෂ්ථ ගණයේ අධ්‍යක්ෂවරයෙක්, තිර රචකයෙක් සහ ඩී නීරෝ විශිෂ්ට ගණයේ රංගවේදියෙකු බවට පත්වීමෙනි. ඔවුන් බොහෝ ආකාර වලින් සිනමාව නම් කලා මාධ්‍යය අලුතෙන් අරුත් ගන්වනු ලැබීය. ඔවුන් හැර වෙනත් කිසි කෙනෙකු නොකළ ආකාරයෙන්, මාෆියා සහ අපරාධමය චිත්‍රපට අංශයෙන් තම අනන්‍යතාවය සිනමාව තුළ පිහිටුවීමට සමත් වූහ.

~ Extracted and translated from Peter Brouwer



Tuesday, April 2, 2024

මනුසත්වග

1964 මාර්තු 13 වන දින අලුයම තුන පසුවී විනාඩි තුනක් ගත වූ තැන නිව් යෝර්ක් නගරයේ ක්වීන්ස් කිව් උද්‍යානය සමීපව රතු පැහැති ෆියට් මෝටර් රථයක් නැවැත්වීය. එයින් පිටතට පැමිණියේ මොටෝරිය පදවාගෙන ආ විසි අට හැවිරිදි කැතරින් සුසාන් ජෙනොවේස් ය. කිටී නමින් බොහෝ දෙනා දැන සිටි ඈ නිව් යෝර්ක් නගරයට ඉතා ප්‍රිය කළ නිදහස්කාමී තරුණියක වූවාය. 

ඒ රාත්‍රියේ අවට පැවතියේ තදබල සීතලකි. කිටී මෙහි ආවේ අසල මහල් නිවසක වෙසෙන ඇගේ මිතුරියක මුණගැසෙනු සඳහා ය. මෝටර් රථයේ දොරවල් වසා දැමූ ඇයට ඉදිරියට ගමන් කළ හැකිවූයේ පියවර කිහිපයක් පමණි. හදිස්සියේම ඈ වෙත එල්ල වූයේ පිහි ප්‍රහාරයකි.

"අයියෝ දෙවියනේ! මෙන්න මට පිහියෙන් ඇන්නා. මට උදව් කරන්න!!"

කිටී මරහඬ නැගුවාය. නුවරුන් සුවපහසුව නිදිගෙන සිටිනා ඒ අලුයම් යාමයේ උදව් ඉල්ලන කිටී ගෙ කටහඬ හමා ආ සුළඟේ පාවී බොඳවී ගියාද? කිසිසේත්ම නැත. අසල තිබූ මහල් නිවාසයේ වැසියන්ට ඇගේ හඬ හොඳින් ඇසී තිබුණි. ඉතින් ඔවුන් කළේ කුමක් ද? New York Times පුවත්පත වාර්තා කරන ආකාරයට මහල් නිවැසියන් 38 දෙනෙකු කිටී ගේ හඬ ඇසී අවදි වුණු අතර ඔවුන් පහන් දල්වා ජනෙල් අසලට පැමිණ යම් නාඳුනන අමුත්තෙක් යුවතියකට පිහියෙන් ඇන මරා දමනා ආකාරය චිත්‍රපටයක් නරඹන්නාසේ බලා සිට ඇත!

මෙවැන්නක් සැබවින්ම සිදුවිය හැකි ද? මිනිසුන් නිතරම විපතේ දී එකිනෙකාට උදව් කරගන්නා බව අප අත්දැකීමෙන් දනිමු. එසේ නම් ක්වීන්ස් කිව් උද්‍යානයේ සිදුවීම අප පැහැදිලි කරගන්නේ කෙසේ ද? 

මිනිස් ගති ස්වභාවයන් ගැන දාර්ශනික සංවාදය සියවස් ගණනක සිට පැවත එන්නකි. මෙහිදි වඩාත් බලපෑම් සහගත දාර්ශනිකයින් අතර 17 වන සියවසේ ජීවත් වූ තෝමස් හොබ්ස් කැපී පෙනෙයි. ඔහුගේ 'Leviathan' කෘතිය මේතාක් ලියවී ඇති විශිෂ්ටතම දේශපාලන දාර්ශනික කෘතිය ලෙස හඳුන්වනු ලබයි. මිනිස් ස්වභාවය ගැන හොබ්ස් පළකර ඇත්තේ මෙවැනි අදහසකි. මිනිසා සහජයෙන්ම බියසුළු බව, කෲරත්වය උරුම කරගත් ජීවී කොටසකි. නමුත් ශිෂ්ටාචාරය නම් තුනී පටලයකින් ඔහු තමන්ගේ අවගුණ වසාගැනීමට සමත්වී සිටින්නේය. ඉඳහිට වන යම් සිදුවීමකින් ඔහුගේ මේ ශිෂ්ටත්වයේ පටලය සිදුරුවෙයි. එවිට ඇතුළත සිටින සැබෑ සත්ත්වයා පිටතට නිරාවරණය වන්නට පටන් ගනියි. මිනිසා පිළිබඳ වඩාත් යථාර්ථවාදීම නිර්වචනය මෙය බව අද දක්වාම අතිශ්‍ය බහුතරයක් දෙනා විසින් පිළිගනු ලබයි. Game of Thrones, House of Cards වැනි රූපවාහිනී මාලා නාටක සේම බොහෝම චිත්‍රපට, සාහිත්‍ය කෘතිවලට බලපා ඇත්තේ මිනිසා පිළිබඳ මේ හොබේසියානු අදහසයි.

නමුත් සෑම කෙනෙකුම ඒකමතිකව හෝබ්ස් හා එකඟ වූයේ නැත. තෝමස් හොබ්ස් සමග දාර්ශනික ප්‍රතිවාදී සටන් බිමට පැමිණෙන්නේ ඔහුට වසර ගණනාවකට පසු බිහිවන ප්‍රංශ දාර්ශනික ජීන් ජැක් රූසෝ ය. රූසෝ පවසන්නේ කුමක් ද? මිනිසා සම්බන්ධව ඔහු කියා සිටින්නේ හෝබ්ස්ට සපුරා ප්‍රතිවිරුද්ධ අදහසයි. එනම් රූසෝ පවසන්නේ මිනිසා ස්වාභාවයෙන්ම යහපත් බව උරුම කරගෙන සිටින බවයි. නමුත් ශිෂ්ටාචාරයේ දියුණුවත් සමග ඔහු තම පැවැත්ම වෙනුවෙන් පිහිටුවාගත් ආයතනවල බල අධිකාරය විසින් මිනිසා නපුරට ඇද දමා තිබේ. ඉතිහසයේ වඩාත් නිදහස් සහ සාමකාමී දිවිපෙවතක් ගත කර ඇත්තේ මානව පරිණාමයේ මුල් යුගයේ ඵල වැල නෙලාගෙන දඩයමින් යැපුණු මිනිසුන් වන අතර ඔහු ක්‍රමයෙන් කෘෂිකාර්මික ජීවන ක්‍රමයකට යොමු වී තමන්ටම කියා බිම් කොටස් වෙන් කරගෙන වගා කරන්නට පටන් ගත්තේය. එයින් මිනිසා තුළ වූ තෘෂ්ණාව වැඩි කරන්නට හේතු විය. ශිෂ්ටාචාරයේ දියුණුව සමග වුණේ මෙය තවත් නරක අතට හැරීමයි. රූසෝ නිවැරදි බව කියන්නට ද අපට බොහෝ සාධක ඇත. ශ්‍රී ලංකාවේ වැද්දන් ලෙස අතීත මිනිසා ජීවත් වූ ආකාරයට දිවිගෙවන ප්‍රාථමික මිනිස් කණ්ඩායම් තවමත් අපට දක්නට ලැබෙයි. නමුත් ඔවුන් තමන්ගේම වර්ගයා සමූල ඝාතනය කරන්නේ නැත. තම වර්ගයාගේ හිස් මතට පරමාණු බෝම්බ අතහරින්නේ නැත. තම සහෝදර ජන කණ්ඩායම් ගෑස් කාමරවල දමා පණපිටින් පුළුස්සා මරන්නේ නැත. ඒවා කරන්නේ දියුණු අප ය. පුවත්පත්වල  පිටු පිරී තිබෙන්නේ මිනිස් කෲරකම්වලිනි. මිනිසුන් අතර තවමත් නපුර මෙලෙසින් පවතින්නේ රූසෝ කියන අයුරින් ශිෂ්ටාචාරය විසින් අපව ඒ තත්ත්වයට ඇද දැමූ නිසා ද? නැත්නම් හොබ්ස් කියන අයුරින් අප යහපත් කමේ වෙස් මුහුණු යට සැඟව තිබෙන සැබෑ ස්වභාවය එළිදරව්වීම නිසා ද යන්න විසඳා ගත යුතු ගැටළුවකි.

තවමත් තුරුණු වියේ පසුවන, ඕලන්ද ජාතික ඉතිහාසඥ රූගර් බ්‍රෙග්මාන් තම Humankind කෘතියෙන් සිදු කරනු ලබන්නේ ඉහත ගැටළුවට සැබෑම පිළිතුර කුමක්ද යන්න සොයා යාමයි. එනම් හොබ්ස් කියන ලෙස මිනිසුන් සැබවින්ම කුරිරු ද නැත්නම් රූසෝ පවසන ලෙස ඔවුන් යහපත් අය ද යන්න පිළිබඳ සියුම්ව විමර්ශණය කර බැලීමයි. මෙහෙදී, මෙම කරුණ ගැන ලොව මෙතෙක් සිදුකර ඇති වඩාත් ප්‍රකටම පරීක්ෂණ කිහිපයක් ගැන බ්‍රෙග්මාන් අවධානය යොමු කරයි. මනෝවිද්‍යාඥ පිලිප් සිම්බාර්ඩෝ ගේ "ස්ටැන්ෆෝර්ඩ් බන්ධනාගාර පරීක්ෂණය", මහාචාර්ය ස්ටැන්ලි මිලිග්‍රෑම්ගේ "කම්පන පරික්ෂාව" ඒ අතරින් කිහිපයකි. පරීක්ෂණ සියල්ලගේම පාහේ ලැබෙන ප්‍රතිඵලය එකම එකකි. එනම් මිනිස් ස්වභාවය සම්බන්ධයෙන් වඩා නිවැරැදි තෝමස් හොබ්ස් යන්නයි. නමුත් මේ පරීක්ෂණ සිදුකළ ආකාරය, සිදුකළ අය සහ ඔවුන්ගේ අරමුණු නැවත විමසා බලන බ්‍රෙග්මාන් සත්‍ය ඇත්තේ අපට මතුපිටින් පෙනෙන දෙයට වඩා බොහෝ ඈතින් බව පෙන්වා දෙයි.

මිනිසුන් සම්බන්ධයෙන් වඩාත් කළකිරෙනම සිදුවීමක් නම් දෙවන ලෝක යුද්ධයයි. මිනිසා ගැන වඩාත් කෲරතම වඩා බිහිසුණුම සිදුවීම් එහිදී සිදුවූ බව අසන්නට ලැබෙයි. හිට්ලර් විසින් තම රටේ තමන් සමගම විසූ මිලියන ගණනක් යුදෙව් ජනයා සමූලඝාතනය කරනු ලැබීම ජර්මානු ජනතාව අනුමත කළහ. එය වුණේ කෙසේ ද?? ජර්මානුවන් මෙ තරම් දුෂ්ට ජාතියක් ද?? ඔවුන්ට මානුෂික හැඟීම් නැද්ද?? යුදෙව්වන් ගැන අපට දැනෙන තරම් ජර්මානුවන්ට තම සහෝදර ජාතිය ගැන කම්පාවක් නැද්ද?? දෙවන ලෝක යුද්ධයෙන් පසුව, යුදෙව්වන් මරා දැමීමට දායක වූ නාසි හමුදාවේ ඉතිරිවී සිටි ඉහළ නිළධාරීන් නොයෙක් ආකාරයේ පරීක්ෂණවලට ලක් කෙරුණි. එයින් හෙළි වුණේ එකම එක කරුණකි. එනම් ඔවුන් ඉතා සාමාන්‍ය මිනිසුන් ය. "ඔබේ සතුරා ඔබ වැනිම කෙනෙකි" යන කියමන සැබෑවක් කරමින් ඔවුන්ගෙන් වෙනත් කිසිදු විශේෂත්වයක් දක්නට නොලැබුණි. නමුත් සාමාන්‍ය මිනිසාට පොදු වූ එක කරුණක් මෙහිදී පසක් කරගනු ලැබීය. ඒ ඔවුන් ඉතා පක්ෂපාතී අය යන්නයි. ජර්මානුවන්ගේ මානව දයාව තම ජාතියට සීමා වී තිබූ එකකි. ඔවුන් සටන් කර තිබුණේ තමන්ගේ ජාතිය වෙනුවෙනි. යුද්ධය වෙනුවෙන් ඔවුන් පොළඹවා තිබූ කාරණාව තමන්ගේ ජාතියට ඇති ආදරයයි. මෙහිදී තවත් කරුණක් හෙළිවේ. එනම් ඕනෑම නපුරු ක්‍රියාවක අවසන් ප්‍රතිඵලය යහපත් එකක් බව ඒත්තු ගැන්වූ කළ ඒවා අනුමත කිරීමට මිනිසුන් පෙලඹේ. යුදෙව්වන් සමූලඝාතනය වෙනුවෙන් හිට්ලර් ජර්මානු ජාතිකයින් සහ යුරෝපයෙ තවත් ජාතීන් නම්මවාගෙන තිබුණේ එලෙසිනි. නමුත් එක රටක් හැර. එනම් ඩෙන්මාර්කය. ඩෙන්මාර්කයෙහි ජීවත් වූ යුදෙව්වන්ට අත තබන්නට කොයිතරම් දතකෑවත් නාසිවාදීන්ට එයට ඉඩ ලැබුණේ නැත. යුදෙව් ජනතාව තමන්ගේම රටේ ව්‍යස්ථාවට අනුකූල තම සහෝදර පුරවැසියන් ය යන හැඟීම ඩෙන්මාර්ක වැසියන් තුළ සියල්ලටම අභිබවා ඉහළ නැගුණි. ඩෙන්මාර්ක ජාති‍යන්ගේ මේ අදහස නිසා ඩෙන්මාර්ක් යුදෙව්වන්ගේ ජීවිත සුරැකුණි. බ්‍රෙග්මාන් තම කෘතියේ මේ ගැන ඉතා අලංකාරව පැහැදිලි කරයි.

දේශපාලන දර්ශනයන්හි සහ ආර්ථික විද්‍යාවන්හි මූලිකවශයෙන් උගන්වනු ලබන එක් කරණක් වෙයි. එනම් මිනිසා නෛසර්ගිකවම ආත්මාර්ථකාමී සහ තම අරමුණු ඉෂ්ඨ කර ගැනීමට ඕනෑම දුෂ්ථ ක්‍රියාවක නියැලිය හැකි සත්ත්වයෙකු බවයි. වෙළඳපොළ ධනවාදය, ප්‍රජාතන්ත්‍රවාදය, නීතියේයේ ආධිපත්‍යය යන මේ සියල්ලම පදනම් ව ඇත්තේ මිනිසා ස්වාභාවයෙන්ම ආත්මාර්ථකාමී ය යන අදහස මතය. නමුත් අන් අයගෙ දුක් වේදනාවන්ට සංවේදි වීම, සාමුහිකත්වය, යහපත් ක්‍රියාවන් වෙනුවෙන් පෙළඹවීම වැනි ගුණාංග ද අප තුළ පවතින බව කිසිවෙකුට බැහැර කර නොහැකිය. එසේ නම් දේශපාලකයින්, ව්‍යාපාරිකයින් විසින් ඔවුන්ගේ බලපැවැත්ම වෙනුවෙන් මේවා දුෂ්ථ ක්‍රීඩාවන් බව අපට ඒත්තු ගන්වා තිබේද?? ගතානුගතිකත්වයට එරෙහිව, අප තුළ ඇති සාමුහිකත්වය, සාධාරණත්වට ඇති කැමැත්ත වැනි යහපත් ගුණාංග මත පිහිටා දේශපාලන, ව්‍යාපාරික ආයතන පිහිටුවා ගැනීමට තරම් සබුද්ධිකත්වයක් අත්පත් කරගැනීමට මිනිසාට හැකියාවක් ලැබී නැද්ද? මේ කෘතිය හරහා සැබවින්ම එසේ උඩුගං බලා පිහිනා ගිය කිහිප දෙනෙකු උදාහරණ වශයෙන් ගෙන මිනිසා තුළ ඇති යහපත් ගති ස්වභාවයන් කෙරෙහි විශ්වාසය තැබිය හැකි ලෙස අප ආයතන පද්ධතීන් ගොඩනගා ගත හැකි බව සාධනය කරවීම වෙනුවෙන් බ්‍රෙග්මාන් සිය පෑන මෙහෙයවයි.

මෙහිදී අප මතක තබාගත යුතු කාරණයක් වෙයි. එනම් හොඳ ට වඩා නරක අපට විශාල බලපෑමක් කරයි. කෙනෙක් අප ගැන පවසන හොඳ ට වඩා අප ගැන කියන නරක අපේ මතකයේ රැඳෙයි. නරක ආරංචි වල ප්‍රවෘත්තිමය වටිනාකම ඉහළය. ඒනිසා ලෝකය තුළ කොයිතරම් හොඳ දේවල් සිදුවුණත් මාධ්‍ය ලෝකය පිරී ඇත්තේ නරක පිළිබඳ පුවත්වලිනි. ඒ නිසා ලෝකය අයහපතින් පිරී ඇති බව කෙනෙකුට බැලූ බැල්මට පෙනීයාම වැළැක්වීමට අපහසු ය.

 Humankind මානව ඉතිහාසය යොදාගනිමින් වඩා දීප්තිමත් අනාගතයක් වෙනුවෙන් මිනිස් වර්ගයාට මග එළි පෙහෙළි කරගත හැකි වන්නෙ කෙලෙසින්ද යන්න විවරණය කරයි. එය මිනිසුන් සහ ඔවුන්ගේ චර්‍යාවන් පිලිබඳ ඇති බොහෝ දුර්මතයන් නිදසුන් සමග ප්‍රතික්ෂේප කරමින් සැබෑව වෙත කියන්නා සමීප කරවයි. එබැවින් මෙය ලොව පුරා බොහෝ දෙනා විසින් සම්භාවනාවට පත් කරනු ලැබූ කෘතියකි. ලොව ඇති මෙවන් උසස් කෘතීන් පාඨකයන්ට සමීප කරවන සුභාවි ප්‍රකාශකයින්ටත්, මේ පොත ඉංග්‍රීසි බසින් සිංහලට පරිවර්තනය කළ මංජුල කල්දේරා මහත්මාටත් "මනුසත්වග" වෙනුවෙන් පාඨකයෙකු ලෙස මගේ හද පිරි තුතිය පළ කරමි.