Tuesday, April 2, 2024

මනුසත්වග

1964 මාර්තු 13 වන දින අලුයම තුන පසුවී විනාඩි තුනක් ගත වූ තැන නිව් යෝර්ක් නගරයේ ක්වීන්ස් කිව් උද්‍යානය සමීපව රතු පැහැති ෆියට් මෝටර් රථයක් නැවැත්වීය. එයින් පිටතට පැමිණියේ මොටෝරිය පදවාගෙන ආ විසි අට හැවිරිදි කැතරින් සුසාන් ජෙනොවේස් ය. කිටී නමින් බොහෝ දෙනා දැන සිටි ඈ නිව් යෝර්ක් නගරයට ඉතා ප්‍රිය කළ නිදහස්කාමී තරුණියක වූවාය. 

ඒ රාත්‍රියේ අවට පැවතියේ තදබල සීතලකි. කිටී මෙහි ආවේ අසල මහල් නිවසක වෙසෙන ඇගේ මිතුරියක මුණගැසෙනු සඳහා ය. මෝටර් රථයේ දොරවල් වසා දැමූ ඇයට ඉදිරියට ගමන් කළ හැකිවූයේ පියවර කිහිපයක් පමණි. හදිස්සියේම ඈ වෙත එල්ල වූයේ පිහි ප්‍රහාරයකි.

"අයියෝ දෙවියනේ! මෙන්න මට පිහියෙන් ඇන්නා. මට උදව් කරන්න!!"

කිටී මරහඬ නැගුවාය. නුවරුන් සුවපහසුව නිදිගෙන සිටිනා ඒ අලුයම් යාමයේ උදව් ඉල්ලන කිටී ගෙ කටහඬ හමා ආ සුළඟේ පාවී බොඳවී ගියාද? කිසිසේත්ම නැත. අසල තිබූ මහල් නිවාසයේ වැසියන්ට ඇගේ හඬ හොඳින් ඇසී තිබුණි. ඉතින් ඔවුන් කළේ කුමක් ද? New York Times පුවත්පත වාර්තා කරන ආකාරයට මහල් නිවැසියන් 38 දෙනෙකු කිටී ගේ හඬ ඇසී අවදි වුණු අතර ඔවුන් පහන් දල්වා ජනෙල් අසලට පැමිණ යම් නාඳුනන අමුත්තෙක් යුවතියකට පිහියෙන් ඇන මරා දමනා ආකාරය චිත්‍රපටයක් නරඹන්නාසේ බලා සිට ඇත!

මෙවැන්නක් සැබවින්ම සිදුවිය හැකි ද? මිනිසුන් නිතරම විපතේ දී එකිනෙකාට උදව් කරගන්නා බව අප අත්දැකීමෙන් දනිමු. එසේ නම් ක්වීන්ස් කිව් උද්‍යානයේ සිදුවීම අප පැහැදිලි කරගන්නේ කෙසේ ද? 

මිනිස් ගති ස්වභාවයන් ගැන දාර්ශනික සංවාදය සියවස් ගණනක සිට පැවත එන්නකි. මෙහිදි වඩාත් බලපෑම් සහගත දාර්ශනිකයින් අතර 17 වන සියවසේ ජීවත් වූ තෝමස් හොබ්ස් කැපී පෙනෙයි. ඔහුගේ 'Leviathan' කෘතිය මේතාක් ලියවී ඇති විශිෂ්ටතම දේශපාලන දාර්ශනික කෘතිය ලෙස හඳුන්වනු ලබයි. මිනිස් ස්වභාවය ගැන හොබ්ස් පළකර ඇත්තේ මෙවැනි අදහසකි. මිනිසා සහජයෙන්ම බියසුළු බව, කෲරත්වය උරුම කරගත් ජීවී කොටසකි. නමුත් ශිෂ්ටාචාරය නම් තුනී පටලයකින් ඔහු තමන්ගේ අවගුණ වසාගැනීමට සමත්වී සිටින්නේය. ඉඳහිට වන යම් සිදුවීමකින් ඔහුගේ මේ ශිෂ්ටත්වයේ පටලය සිදුරුවෙයි. එවිට ඇතුළත සිටින සැබෑ සත්ත්වයා පිටතට නිරාවරණය වන්නට පටන් ගනියි. මිනිසා පිළිබඳ වඩාත් යථාර්ථවාදීම නිර්වචනය මෙය බව අද දක්වාම අතිශ්‍ය බහුතරයක් දෙනා විසින් පිළිගනු ලබයි. Game of Thrones, House of Cards වැනි රූපවාහිනී මාලා නාටක සේම බොහෝම චිත්‍රපට, සාහිත්‍ය කෘතිවලට බලපා ඇත්තේ මිනිසා පිළිබඳ මේ හොබේසියානු අදහසයි.

නමුත් සෑම කෙනෙකුම ඒකමතිකව හෝබ්ස් හා එකඟ වූයේ නැත. තෝමස් හොබ්ස් සමග දාර්ශනික ප්‍රතිවාදී සටන් බිමට පැමිණෙන්නේ ඔහුට වසර ගණනාවකට පසු බිහිවන ප්‍රංශ දාර්ශනික ජීන් ජැක් රූසෝ ය. රූසෝ පවසන්නේ කුමක් ද? මිනිසා සම්බන්ධව ඔහු කියා සිටින්නේ හෝබ්ස්ට සපුරා ප්‍රතිවිරුද්ධ අදහසයි. එනම් රූසෝ පවසන්නේ මිනිසා ස්වාභාවයෙන්ම යහපත් බව උරුම කරගෙන සිටින බවයි. නමුත් ශිෂ්ටාචාරයේ දියුණුවත් සමග ඔහු තම පැවැත්ම වෙනුවෙන් පිහිටුවාගත් ආයතනවල බල අධිකාරය විසින් මිනිසා නපුරට ඇද දමා තිබේ. ඉතිහසයේ වඩාත් නිදහස් සහ සාමකාමී දිවිපෙවතක් ගත කර ඇත්තේ මානව පරිණාමයේ මුල් යුගයේ ඵල වැල නෙලාගෙන දඩයමින් යැපුණු මිනිසුන් වන අතර ඔහු ක්‍රමයෙන් කෘෂිකාර්මික ජීවන ක්‍රමයකට යොමු වී තමන්ටම කියා බිම් කොටස් වෙන් කරගෙන වගා කරන්නට පටන් ගත්තේය. එයින් මිනිසා තුළ වූ තෘෂ්ණාව වැඩි කරන්නට හේතු විය. ශිෂ්ටාචාරයේ දියුණුව සමග වුණේ මෙය තවත් නරක අතට හැරීමයි. රූසෝ නිවැරදි බව කියන්නට ද අපට බොහෝ සාධක ඇත. ශ්‍රී ලංකාවේ වැද්දන් ලෙස අතීත මිනිසා ජීවත් වූ ආකාරයට දිවිගෙවන ප්‍රාථමික මිනිස් කණ්ඩායම් තවමත් අපට දක්නට ලැබෙයි. නමුත් ඔවුන් තමන්ගේම වර්ගයා සමූල ඝාතනය කරන්නේ නැත. තම වර්ගයාගේ හිස් මතට පරමාණු බෝම්බ අතහරින්නේ නැත. තම සහෝදර ජන කණ්ඩායම් ගෑස් කාමරවල දමා පණපිටින් පුළුස්සා මරන්නේ නැත. ඒවා කරන්නේ දියුණු අප ය. පුවත්පත්වල  පිටු පිරී තිබෙන්නේ මිනිස් කෲරකම්වලිනි. මිනිසුන් අතර තවමත් නපුර මෙලෙසින් පවතින්නේ රූසෝ කියන අයුරින් ශිෂ්ටාචාරය විසින් අපව ඒ තත්ත්වයට ඇද දැමූ නිසා ද? නැත්නම් හොබ්ස් කියන අයුරින් අප යහපත් කමේ වෙස් මුහුණු යට සැඟව තිබෙන සැබෑ ස්වභාවය එළිදරව්වීම නිසා ද යන්න විසඳා ගත යුතු ගැටළුවකි.

තවමත් තුරුණු වියේ පසුවන, ඕලන්ද ජාතික ඉතිහාසඥ රූගර් බ්‍රෙග්මාන් තම Humankind කෘතියෙන් සිදු කරනු ලබන්නේ ඉහත ගැටළුවට සැබෑම පිළිතුර කුමක්ද යන්න සොයා යාමයි. එනම් හොබ්ස් කියන ලෙස මිනිසුන් සැබවින්ම කුරිරු ද නැත්නම් රූසෝ පවසන ලෙස ඔවුන් යහපත් අය ද යන්න පිළිබඳ සියුම්ව විමර්ශණය කර බැලීමයි. මෙහෙදී, මෙම කරුණ ගැන ලොව මෙතෙක් සිදුකර ඇති වඩාත් ප්‍රකටම පරීක්ෂණ කිහිපයක් ගැන බ්‍රෙග්මාන් අවධානය යොමු කරයි. මනෝවිද්‍යාඥ පිලිප් සිම්බාර්ඩෝ ගේ "ස්ටැන්ෆෝර්ඩ් බන්ධනාගාර පරීක්ෂණය", මහාචාර්ය ස්ටැන්ලි මිලිග්‍රෑම්ගේ "කම්පන පරික්ෂාව" ඒ අතරින් කිහිපයකි. පරීක්ෂණ සියල්ලගේම පාහේ ලැබෙන ප්‍රතිඵලය එකම එකකි. එනම් මිනිස් ස්වභාවය සම්බන්ධයෙන් වඩා නිවැරැදි තෝමස් හොබ්ස් යන්නයි. නමුත් මේ පරීක්ෂණ සිදුකළ ආකාරය, සිදුකළ අය සහ ඔවුන්ගේ අරමුණු නැවත විමසා බලන බ්‍රෙග්මාන් සත්‍ය ඇත්තේ අපට මතුපිටින් පෙනෙන දෙයට වඩා බොහෝ ඈතින් බව පෙන්වා දෙයි.

මිනිසුන් සම්බන්ධයෙන් වඩාත් කළකිරෙනම සිදුවීමක් නම් දෙවන ලෝක යුද්ධයයි. මිනිසා ගැන වඩාත් කෲරතම වඩා බිහිසුණුම සිදුවීම් එහිදී සිදුවූ බව අසන්නට ලැබෙයි. හිට්ලර් විසින් තම රටේ තමන් සමගම විසූ මිලියන ගණනක් යුදෙව් ජනයා සමූලඝාතනය කරනු ලැබීම ජර්මානු ජනතාව අනුමත කළහ. එය වුණේ කෙසේ ද?? ජර්මානුවන් මෙ තරම් දුෂ්ට ජාතියක් ද?? ඔවුන්ට මානුෂික හැඟීම් නැද්ද?? යුදෙව්වන් ගැන අපට දැනෙන තරම් ජර්මානුවන්ට තම සහෝදර ජාතිය ගැන කම්පාවක් නැද්ද?? දෙවන ලෝක යුද්ධයෙන් පසුව, යුදෙව්වන් මරා දැමීමට දායක වූ නාසි හමුදාවේ ඉතිරිවී සිටි ඉහළ නිළධාරීන් නොයෙක් ආකාරයේ පරීක්ෂණවලට ලක් කෙරුණි. එයින් හෙළි වුණේ එකම එක කරුණකි. එනම් ඔවුන් ඉතා සාමාන්‍ය මිනිසුන් ය. "ඔබේ සතුරා ඔබ වැනිම කෙනෙකි" යන කියමන සැබෑවක් කරමින් ඔවුන්ගෙන් වෙනත් කිසිදු විශේෂත්වයක් දක්නට නොලැබුණි. නමුත් සාමාන්‍ය මිනිසාට පොදු වූ එක කරුණක් මෙහිදී පසක් කරගනු ලැබීය. ඒ ඔවුන් ඉතා පක්ෂපාතී අය යන්නයි. ජර්මානුවන්ගේ මානව දයාව තම ජාතියට සීමා වී තිබූ එකකි. ඔවුන් සටන් කර තිබුණේ තමන්ගේ ජාතිය වෙනුවෙනි. යුද්ධය වෙනුවෙන් ඔවුන් පොළඹවා තිබූ කාරණාව තමන්ගේ ජාතියට ඇති ආදරයයි. මෙහිදී තවත් කරුණක් හෙළිවේ. එනම් ඕනෑම නපුරු ක්‍රියාවක අවසන් ප්‍රතිඵලය යහපත් එකක් බව ඒත්තු ගැන්වූ කළ ඒවා අනුමත කිරීමට මිනිසුන් පෙලඹේ. යුදෙව්වන් සමූලඝාතනය වෙනුවෙන් හිට්ලර් ජර්මානු ජාතිකයින් සහ යුරෝපයෙ තවත් ජාතීන් නම්මවාගෙන තිබුණේ එලෙසිනි. නමුත් එක රටක් හැර. එනම් ඩෙන්මාර්කය. ඩෙන්මාර්කයෙහි ජීවත් වූ යුදෙව්වන්ට අත තබන්නට කොයිතරම් දතකෑවත් නාසිවාදීන්ට එයට ඉඩ ලැබුණේ නැත. යුදෙව් ජනතාව තමන්ගේම රටේ ව්‍යස්ථාවට අනුකූල තම සහෝදර පුරවැසියන් ය යන හැඟීම ඩෙන්මාර්ක වැසියන් තුළ සියල්ලටම අභිබවා ඉහළ නැගුණි. ඩෙන්මාර්ක ජාති‍යන්ගේ මේ අදහස නිසා ඩෙන්මාර්ක් යුදෙව්වන්ගේ ජීවිත සුරැකුණි. බ්‍රෙග්මාන් තම කෘතියේ මේ ගැන ඉතා අලංකාරව පැහැදිලි කරයි.

දේශපාලන දර්ශනයන්හි සහ ආර්ථික විද්‍යාවන්හි මූලිකවශයෙන් උගන්වනු ලබන එක් කරණක් වෙයි. එනම් මිනිසා නෛසර්ගිකවම ආත්මාර්ථකාමී සහ තම අරමුණු ඉෂ්ඨ කර ගැනීමට ඕනෑම දුෂ්ථ ක්‍රියාවක නියැලිය හැකි සත්ත්වයෙකු බවයි. වෙළඳපොළ ධනවාදය, ප්‍රජාතන්ත්‍රවාදය, නීතියේයේ ආධිපත්‍යය යන මේ සියල්ලම පදනම් ව ඇත්තේ මිනිසා ස්වාභාවයෙන්ම ආත්මාර්ථකාමී ය යන අදහස මතය. නමුත් අන් අයගෙ දුක් වේදනාවන්ට සංවේදි වීම, සාමුහිකත්වය, යහපත් ක්‍රියාවන් වෙනුවෙන් පෙළඹවීම වැනි ගුණාංග ද අප තුළ පවතින බව කිසිවෙකුට බැහැර කර නොහැකිය. එසේ නම් දේශපාලකයින්, ව්‍යාපාරිකයින් විසින් ඔවුන්ගේ බලපැවැත්ම වෙනුවෙන් මේවා දුෂ්ථ ක්‍රීඩාවන් බව අපට ඒත්තු ගන්වා තිබේද?? ගතානුගතිකත්වයට එරෙහිව, අප තුළ ඇති සාමුහිකත්වය, සාධාරණත්වට ඇති කැමැත්ත වැනි යහපත් ගුණාංග මත පිහිටා දේශපාලන, ව්‍යාපාරික ආයතන පිහිටුවා ගැනීමට තරම් සබුද්ධිකත්වයක් අත්පත් කරගැනීමට මිනිසාට හැකියාවක් ලැබී නැද්ද? මේ කෘතිය හරහා සැබවින්ම එසේ උඩුගං බලා පිහිනා ගිය කිහිප දෙනෙකු උදාහරණ වශයෙන් ගෙන මිනිසා තුළ ඇති යහපත් ගති ස්වභාවයන් කෙරෙහි විශ්වාසය තැබිය හැකි ලෙස අප ආයතන පද්ධතීන් ගොඩනගා ගත හැකි බව සාධනය කරවීම වෙනුවෙන් බ්‍රෙග්මාන් සිය පෑන මෙහෙයවයි.

මෙහිදී අප මතක තබාගත යුතු කාරණයක් වෙයි. එනම් හොඳ ට වඩා නරක අපට විශාල බලපෑමක් කරයි. කෙනෙක් අප ගැන පවසන හොඳ ට වඩා අප ගැන කියන නරක අපේ මතකයේ රැඳෙයි. නරක ආරංචි වල ප්‍රවෘත්තිමය වටිනාකම ඉහළය. ඒනිසා ලෝකය තුළ කොයිතරම් හොඳ දේවල් සිදුවුණත් මාධ්‍ය ලෝකය පිරී ඇත්තේ නරක පිළිබඳ පුවත්වලිනි. ඒ නිසා ලෝකය අයහපතින් පිරී ඇති බව කෙනෙකුට බැලූ බැල්මට පෙනීයාම වැළැක්වීමට අපහසු ය.

 Humankind මානව ඉතිහාසය යොදාගනිමින් වඩා දීප්තිමත් අනාගතයක් වෙනුවෙන් මිනිස් වර්ගයාට මග එළි පෙහෙළි කරගත හැකි වන්නෙ කෙලෙසින්ද යන්න විවරණය කරයි. එය මිනිසුන් සහ ඔවුන්ගේ චර්‍යාවන් පිලිබඳ ඇති බොහෝ දුර්මතයන් නිදසුන් සමග ප්‍රතික්ෂේප කරමින් සැබෑව වෙත කියන්නා සමීප කරවයි. එබැවින් මෙය ලොව පුරා බොහෝ දෙනා විසින් සම්භාවනාවට පත් කරනු ලැබූ කෘතියකි. ලොව ඇති මෙවන් උසස් කෘතීන් පාඨකයන්ට සමීප කරවන සුභාවි ප්‍රකාශකයින්ටත්, මේ පොත ඉංග්‍රීසි බසින් සිංහලට පරිවර්තනය කළ මංජුල කල්දේරා මහත්මාටත් "මනුසත්වග" වෙනුවෙන් පාඨකයෙකු ලෙස මගේ හද පිරි තුතිය පළ කරමි.



No comments:

Post a Comment