Monday, April 22, 2024

Lawrence of Arabia (1962)

50 දශකයේ මැද කාලයෙදි වගේ ලංකාවෙ කැළණි ගඟ අසබඩ The Bridge on the River Kwai චිත්‍රපටය හදලා අවසන් කළ කීර්තිමත් බ්‍රිතාන්‍ය සිනමාකරු Sir David Lean මීළඟ ගමන් කරන්නේ ගිනියම් අව් කාස්ටකේ වේලෙන මැද පෙරදිග මරු කාන්තාරයකට. ඒ Lawrence of Arabia චිත්‍රපටය නිර්මාණය කිරීම වෙනුවෙන්. Lawrence of Arabia කියන්නෙ කොයි වගේ චිත්‍රපටයක් ද කියල පොඩි අදහසක් අරගන්න ඒකෙ උප ප්‍රධාන චරිතයක් රඟපෑ Omar Sharif කියන මේ කතාව ප්‍රමාණවත් වේවි. 

 "හිතන්න ඔයා ලොකු සල්ලියක් තියන කෙනෙක් කියල. කවුරුහරි කෙනෙක් ඔයාව හම්බවෙන්න ඇවිත් මෙහෙම කියනව. මට චිත්‍රපටයක් හදන්න ඕන, හැබැයි ඒක පැය හතරක් විතර දිගයි. නම් දරාපු සුපිරි නළුවො කවුරුත් ඒකෙ රඟපාන්නෙ නෑ. ඒකෙ එක ගෑනු චරිතයක් වත් නෑ. ප්‍රේමාන්විත දර්ශන නෑ. ත්‍රාසජනක දර්ශනත් නැති ගාණයි. ඒවගේම ඒක රූගත කරන්නෙ මහ කාන්තාරයක් මැද්දෙ. ඔයාගෙ මුදල් මේ චිත්‍රපටය වෙනුවෙන් යොදවන්න ඔයා කැමති ද?" 

මෙහෙම චිත්‍රපටයක් වෙනුවෙන් මුදල් යොදවන එක බැලූ බැල්මට ලොකු අවදානමක් වගේ පෙනුණත් David Lean ගේ The Bridge on the River Kwai නිෂ්පාදනය කළ Sam Spiegel ම ඒ අවදානම ගන්නව.

Lawrence of Arabia ගැන කතාකරද්දි, සුප්‍රකට සිනමා විචාරක Roger Ebert කියනව මේක පුළුල් තිරේක නරඹන්න ලැබෙන එක සිනමාවට ආදරය කරන කෙනෙකුට ජීවිතේ ඇතුළෙ ලබන්න පුලුවන් ලොකු ජයග්‍රහණයක් කියලා. ඒකට හේතුවක් තියනව. උදාහරණයකින් කිව්වොත් සිනමාපටයෙ එක තැනක් තියනව කාන්තාරයෙ අතරමං වුණු තමන්ගෙ මිත්‍රයා එනතුරු බලා ඉන්න තරුණයෙකුගේ දර්ශනයක්. ඔහු කාන්තාරයේ ඈත බලා ඉන්නව බොහොම බලාපොරොත්තු සහගතව. ඔහුගෙ දර්ශන පථයට අහුවෙන්නෙ හාත්පසින්ම අනන්තය දක්වා විහිදුණු සුවිසල් වැලිතලාව. මේ වැලිකතරේ ඈතින් යන්තම් තිතක් වගේ මතුවෙලා ක්‍රමයෙන් ළංවන තම මිත්‍රයාගෙ රුව ඔහුට දැකගන්න ලැබෙනවා. රූපවාහිනි පුංචි තිරේක මේ දර්ශනය හරියට දැකගන්න බෑ. ඒ රූප රාමුවෙ දැවැන්ත බව නියමාකාරයෙන් අත්විඳගන්න පුලුවන් වෙන්නෙ පුළුල් තිරේ පමණයි. Ebert මහත්මයාගෙ කතාවෙ අර්ථය තියෙන්නෙ එතනයි.

චිත්‍රපටයට පාදක වන "ආරාබියේ ලෝරන්ස්" නමින් ප්‍රකට චරිතය හැබෑවටම ජීවත් වුණු කෙනෙක්. ඔහු උපදින්නෙ එංගලන්තයේ ඔක්ස්ෆර්ඩ් ප්‍රාන්තයේ 1888 වසරේ අගෝස්තු 16 වෙනිදා. තෝමස් එඩ්වර්ඩ් ලෝරන්ස් නැත්නම් ටී. ඊ. ලෝරන්ස් ඔහුගෙ නම. ලෝරන්ස් ගේ පියා එංගලන්තයේ වංශවත් පුද්ගලයෙක් වුණත් ඔහුගෙ මව සාමාන්‍ය මධ්‍යම පාන්තික ගැහැනියක්. මේ දෙදෙනා කවදාවත් විවාහ වී සිටියේ නෑ. ඒ කියන්නෙ ලෝරන්ස් සහ ඔහුගෙ සහෝදරයන් හතරදෙනා මේ ලෝකයට උපදින්නේ අනියම් ඇසුරක ප්‍රතිථලයක් විදිහට. මේ කරුණ ලෝරන්ස්ව සෑහෙන පීඩාවට පත්කළා. නීතියට අනුව විවාහ නොවුණු තම මව්පියන් දරුවන් නොහදා හිටියා නම් හොඳ බව ලෝරන්ස් කියා තිබුණා. නමුත් කොහොම වුණත් ඔහුගෙ මව තම දරුවන්ව හොඳින් හදාවඩා ගත්තා. කුඩා කාලයෙ පටන් ලෝරන්ස් අමුතු ගති ගුණ තිබූ දරුවෙක් බවයි කියවෙන්නෙ. ඔහුගෙ වයසෙ අනෙක් දරුවන් ක්‍රීඩාවේ යෙදෙමින් විනෝද වෙද්දී ලෝරන්ස් සතුට ලැබුවේ පොත පත කියවීමෙන්. නිල් පැහැති තියුණු දෑසක් සහ කුඩා කෙසඟ සිරුරක් තිබුණත් ලෝරන්ස්ට දැනුම සොයා යන්න තිබුණ පිපාසාව නම් විශාලයි. පොතට හිත තිබුණු මේ දරුවා පසුව ඔක්ස්ෆර්ඩ් සරසවියට ඇතුළත් වෙන්න වරම් ලබනවා. ඔහුගෙ මූලික උනන්දුව තිබුණේ ඉතිහාස විෂයට. ඉතිහාසයෙත් මධ්‍යකාලීන යුගයට. එංගලන්තයෙ තිබුණු මධ්‍යකාලීන ගොඩනැගිලි අතර සැරිසැරීම ඔහු සෑහෙන ප්‍රිය කළා. උපාධි නිබන්ධනයට, මධ්‍යතන යුගයේ කුරුස යුද්ධ වෙනුවෙන් මැදපෙරදිගට ගමන්කළ යුරෝපීය සොල්දාදුවන් ඉදිකළ බලකොටු ගැන හදාරන්න ඔහු තෝරාගන්නව. ලෝරන්ස් සහ අරාබිය අතර මුල්ම සම්බන්ධය ඇති වෙන්නෙ එතනින්.

නොයෙකුත් දුක් ගැහැට විඳගෙන, සොර සතුරු කරදරවලට ලක්වෙමින් සැතපුම් දහස් ගණනක් අරාබිකරයේ සැරසරලා තම නිබන්ධනය රචනා කරන ලෝරන්ස්ට ඒ වෙනුවෙන් ඔක්ස්ෆර්ඩ් සරසවියෙන් ප්‍රථම පන්තියේ උපාධියක් හිමි වෙනවා. පළමු ලෝක යුද්ධය පටන් ගන්නෙ ඔය අතර. තම දෙමව්පියන් ගැන හිත කරදරයෙන් සිටි ලෝරනස්, ඔහුගේ සහෝදරයන් සහ බොහොමයක් බ්‍රිතාන්‍ය තරුණයන් ඒ යුගයෙ දි කළා වගේ හමුදාවට බැඳෙනව. ලෝරන්ස් ගෙ අරාබි භාෂා දැනුම සහ මැදපෙරදිග කලාපය ගැන තියන අවබෝධය වගේම ඔහුගේ ඉහළ අධ්‍යාපනික සුදුසුකම් මත ඔහුව ඊජිප්තුවේ කයිරෝවල පිහිටි බ්‍රිතාන්‍යය අරාබි කාර්‍යංශයට යැවෙනවා. එතනදි තම දැනුම භාවිත කරලා ඔහු බ්‍රිතාන්‍ය වෙනුවෙන් සේවය කරනවා. පළමු ලෝක යුද්ධයෙදි බ්‍රිතාන්‍ය සතුරෙක් වුණු ජර්මනියේ සහය ඇතිව තුර්කියේ ඔටෝමාන් අධිරාජ්‍ය මැදපෙරදිග සිරියාව සහ හෙජාස් ප්‍රදේශවලට ආක්‍රමණයක් එල්ල කරනව. මේ කලාපයේ පිහිටි වැදගත් නගර දෙකක් වුණු අකබා සහ දමස්කස් නගර ඔවුන් අල්ලාගන්නව. මේ වෙද්දී අරාබිය ගෝත්‍ර ගණනාවකට වෙන්වී ගිය විසිරුණු ජාතියක් ව තිබුණා. ඔවුන් අතර නායකත්වය ගත් වඩා බලවත්ම චරිතය වුණේ ෆයිසාල් කුමාරයා. ඔටෝමාන් වරුන්ට එරෙහිව සටන් වදින්න ෆයිසාල් බ්‍රිතාන්‍ය සහය ඉල්ලනව. මේ අනුව ලෝරන්ස්ව කාන්තාරය හරහා ෆයිසාල් වෙතට යැවෙනවා. ලෝරන්ස්ව ඓතිහාසික චරිතයක් බවට පත් කරන, ඔහුගේ ජීවිතේ වඩාත් වැදගත් සිදුවීම් මාලාව වෙන්නේ එයින් පස්සෙ. චිත්‍රපටයට ඇතුළත් වෙන්නෙත් ලෝරන්ස් සම්බන්ධ මේ සිද්ධි දාමය.

සොබාදහමේ කටුක කාෂ්ටක බව පිරුණු රඟඬලක් වුණු වැලි කාන්තාර භූමියේ තියෙන නොයෙක් දුෂ්කරතාවන්ට අරාබියෙකු සේම ඔරොත්තු දෙන්න හුරුවෙමින්, විසිරුණු කාන්තාර ගෝත්‍ර එක්සේසත් කරන්න ලෝරන්ස් නායකත්වය ගත්‍තා. ඉංග්‍රීසි කලිසම වෙනුවට අරාබි ලෝගුවට බැස්ස ලෝරන්ස් මේ කාලයෙදි අරාබි ජාතිකයෙක් බවටම පත්වී සිටියා. අරාබි ජාතිකයින් ඔහුගේ සමීපතම මිත්‍රයින් බවට පත්වුණා. ඔවුන් සමග සිටිමින් යුධ පුවත් වාර්තා කළ මාධ්‍යවේදී Jackson Bentley ලෝරන්ස්ව යුධ වීරයෙකු බවට වාර්තා කර ලොව ප්‍රකට චරිතයක් බවට පත් කර තිබුණා. නමුත් මෙතන තිබුණා ලෝරන්ස්වත් ෆයිසාල් වත් නොදැන සිටි කරුණක්. එනම් බ්‍රිතාන්‍ය සහ ප්‍රංශය යන දෙරට මේ වෙද්දි රහස් ගිවිසුමකට එළඹී සිටීම. ගිවිසුමට අනුව තුර්කි ඔටෝමාන්වරු අරාබියෙන් පලවාහැරිය පසුව මේ දේශය බ්‍රිතාන්‍ය සහ ප්‍රංශය අතර සමසේ බෙදාගැනීමට ඔවුන් සූදානම් වී සිටියා. ලෝරන්ස් මේ බව දැනගන්නෙ පසුව. බ්‍රිතාන්‍ය පාලකයින් සහ හමුදා නිලධාරීන් තම අරාබි ප්‍රේමයත්, කාන්තාර භූමියට අනුවර්තනය වෙන්න තිබු හැකියාවත් ඔවුන්ගේ අරමුණු ඉටුකර ගැනීම වෙනුවෙන් උපායශීලී ලෙස පාවිච්චි කර ඇති බව ලෝරන්ස් දුටුවා. ආපසු හැරෙන්න ඔහු තීරණය කරද්දී ඒ මාවතේ ඔහු බොහෝ දුරක් ගිහින් අවසානයි. ලෝරන්ස් මේ සපුරා ආගන්තුක අරාබි දේශයක් වෙනුවෙන් තම ජීවිතේ කැප කරන්න තීරණය කළේ ඇයි? චිත්‍රපටයෙ එක තැනකදි ආරාබි ජාතිකයෙක් ලෝරන්ස්ගෙන් අහනව ඇ‍යි ඔබ කාන්තාරයට මෙතරම් කැමති කියල. ලෝරන්ස් කියනව මම කාන්තාරයට කැමති ඒක පිරිසිදු නිසා කියල. ඒ කියමනෙන් ඔහු අදහස් කළේ බ්‍රිතාන්‍ය සමාජය ගැන ඔහුට තිබුණ යම් නොරිස්සුමක් ගැනද, නැත්නම් බැඳීම්වලින් තොර නිදහස්කාමී ජීවිතයකට ඔහුට තිබුණු යම් පෙළඹවීමක් ගැනද කියන කාරණේ හිතා බලන්න වටිනව.

අරාබිය අතහැර බ්‍රිතාන්‍යයට නැවත පැමිණි ලෝරන්ස් ඔහුගෙ අත්දැකීම් අළලා Seven Pillars of Wisdom නමැති ග්‍රන්ථය රචනා කළා. තමාව යුධ වීරයෙකු විදිහට සලකා නිතර තමා සොයා එන මාධ්‍යවේදීන්ගෙන් සහ මහජනයාගෙන් සැඟවී අප්‍රකට ජීවිතයක් ගෙවාදමන්න ඔහු තීරණය කර තිබුණා. ලෝරන්ස් ගේ විනෝදාංශයක් වුණේ අධික වේගයෙන් මෝටර් බයිසිකල් පැදීම. ලෝරන්ස් සමග බයිසිකලයේ යාම ඔහුගෙ මිත්‍රයන් සැලකුවෙ යක්ෂයා සමග යාමක් විදිහට. 1935 මැයි 13 වෙනිදා තමන්ගේ Brough Superior SS100 මෝටර් බයිසිකලයේ නැගුණු ලෝරන්ස් තම නිවස ඉදිරිපිට මාවතේ අධිවේගයෙන් ධාවනය කරමින් සිටියා. බයිසිකල් දෙකක නැගුණු කොලුගැටවුන් දෙදෙනෙක් මාර්ගයේ වැරදි පැත්තෙන් තමන් දෙසට එනු ඔහු දැක්කා. ඔවුන්ව බේරාගන්න බයිසිකලයෙ හැඬලය පසෙකට කැපුව ලෝරන්ස් විසිවී ගොසින් බිම වැටුණා. හිසට බරපතළ හානියක් සිදුවී තිබුණු ලෝරන්ස් දින හයක් සිහිසුන් ව රෝහල්ගතව සිට 1935 මැයි 19 වන දා 46 වියේ පසුවෙද්දී සිහි නොලබාම අවසන් හුස්ම හෙළුවා. ඔහුගේ රිය අනතුර සිදුවුණු තැන කුඩා ස්මාරකයක් අදටත් තබා තිබෙනවා. ලෝරන්ස් තම ජීවිතේ අවසන් භාගය ගත කරමින් සිටි මෝටන් ප්‍රාන්තයේ ශාන්ත නිකලස් දේවස්ථාන සුසාන භූමියේ ඔහුගේ සිරුර මිහිදන් කරනු ලැබුවා. "ලෝරන්ස් කියන්නෙ සාමාන්‍ය කෙනෙකුට වඩා අධි වේගවත් සහ උද්වේගකාරී ජීවිතයක් ගත කළ කෙනෙක්" ඔහුගේ මළගම මොහොතේ වින්ස්ටන් චර්චිල් කියා සිටියා.

Lawrence of Arabia එදාමෙදා තුර නිර්මාණය කෙරුණු අති විශිෂ්ටතම සිනමාපට අතර සැලකුම් ලබනවා. ඒ 1960 වගේ යුගයක අති දැවැන්ත පසුතල යොදා ගෙන රූප රාමු, සංගීතය, රඟපෑම් ඇතුළු චිත්‍රපටයක මූලිකාංග උපරිම ගුණාත්මක බවකින් භාවිත කර තිබීම පමණක් නොවෙයි. ලෝරනස් නම් චරිතය ඔහුගේ අසාමාන්‍ය ගති ස්වභාවයන්, ඊට පසුබිම් වුනු යුධමය සහ දේශපාලනික පසුබිම ප්‍රතිනිර්මාණය කිරීම වගේ සාධකත් එක්කයි මේක අතිවිශිෂ්ථ ගණයේ සිනමාපටයක් වෙන්නෙ. විචාරක Roger Ebert මහත්මය කියන විදිහට සිනමාපටක දැවැන්ත බව තීරණය වෙන්නෙ ඒ වෙනුවෙන් වැය කරන මුදල් ප්‍රමාණය මත නොවෙයි, එහි අන්තර්ගත වෙන අදහස සහ දෘෂ්ටිය අනුවයි. ඒ අනුව මෑත යුගයේ දැවැන්ත යන ලේබලය ගහගත්ත බොහෝම චිත්‍රපට අධික පිරිවැක් දරන B ශ්‍රේණියේ චිත්‍රපට පවයි එතුමගෙ අදහස. නමුත් මේ කොයි ආකාරයෙන් ගත්තත් Lawrence of Arabia කියන්නෙ සිනමාව නම් කලා මාධ්‍ය ඇතුළෙ බිහි වුණ උසස් නිෂ්පාදිතයක් බව අපිට පිළිගන්න සිද්දවෙනව. Ebert මහත්මයා තමන්ගෙ Great Films ලයිස්තුවට Lawrence of Arabia ඇතුළත් කරන්නෙ ඒ නිසා. Lawrence of Arabia ඔස්කාර් සම්මාන 10 කට නිර්දේශ ලබලා ඉන් 7 ක් දිනාගන්නව. චිත්‍රපටයේ ලෝරන්ස් ගෙ චරිතය නිරූපණය කරන්නෙ Peter O'Toole නම් එවකට ආධුනික මට්ටමේ පසුවුණු නළුවා. පීටර් රඟපෑම වෙනුවෙන් කිසිදාක ඔස්කාර් සම්මානයක් දිනාගන්නේ නැතිව නිර්දේශ 7ක් ලබමින්, සම්මාන නොලබා වැඩිම නිර්දේශ ගණනක් ලැබීමේ වාර්තාවට හිමිකම් කියනව. 2002 අවුරුද්දේ ඔහු ගෞරව සම්මානයකින් පිදුම් ලැබුවා. ලෝරන්ස්ගෙම Seven Pillars of Wisdom ඇසුරෙන් චිත්‍රපට පිටපත රචනා කරන්නෙ Robert Bolt සහ Michael Wilson.

Lawrence of Arabia නරඹන්නන් අතර පමණක් නොවෙයි බොහෝම සිනමාකරුවන්ගේ පවා ප්‍රියතම චිත්‍රපටයක් විදිහට සැලකෙනව. Spielberg කියන්නෙ මෙය තමන් දැක ඇති හොඳම චිත්‍රපටයක් බව. ජපානයේ Akira Kurosawa ත් මේ චිත්‍රපටයට ප්‍රිය කළ කෙනෙක් වුණා. පසුකාලීනව Star Wars, Dune, Mad Max වැනි චිත්‍රපට ගණනාවකටම Lawrence of Arabia චිත්‍රපටයේ අනුප්‍රාණය ලැබී තිබුණා. මේ වගේ කරුණු කාරණා නිසා සිනමාව කියන කලා මාධ්‍ය හැඩගන්වන්න තීරණාත්මක බලපෑමක් කල පුරෝගාමී කෘතියක් විදිහට Lawrence of Arabia හැඳින්වීම වරදක් නැහැ. 



No comments:

Post a Comment