1925 සැප්තැම්බර් 18 වෙනි සෙනසුරාදාව කියන්නෙ පැහැබර කාළගුණයක් තිබුණ බොහොම සාමාන්‍ය දවසක් වුණත් කිංග්ස් ඇබට් ගම්මානයට ඒක එහෙම වුණේ නෑ. හේතුව තමා ගමේ තිබුණු ප්‍රභූ නිවාස දෙකකින් එකක් වුණු, ව්‍යාපාරික රොජර් ඇක්‍රොයිඩ් මහත්මයගේ නිවසේ අධ්‍යන කාමරය ඇතුළේදි ඔහුව මරා දමා සිටියදී සොයාගෙන තිබීම. බෙල්ල පිටුපසින් එල්ල කළ තියුණු පිහි පහරකිනුයි මේ ඝාතනය සිද්ද කර තිබුණේ. කලින් දා රෑ, ඒ කියන්නෙ 17 සිකුරාදා රාත්‍රි ආහාරය වෙලාවෙදියි බොහො දෙනා ඔහු ජීවතුන් අතර ඉන්නා බවට අවසාන වශයෙන් දැක තිබුණේ. නමුත් එදා රාත්‍රියේ ඔහු තමන්ගේ අධ්‍යන කාමරය ඇතුළේ කවුරුන් හෝ කෙනෙකු එක්ක ලොකු සංවාදෙක යෙදී උන්නු බව ඒ ගෙදර අයට ඇහිලා තිබුණා. රාත්‍රී ආහාරය වෙලාවෙදි ගෙදර අය සහ රොජර් මහත්මයාගෙ ලඟම හිතවතෙක් වුණ වෛද්‍ය ෂෙපර්ඩ් හැර පිටස්තර කිසි කෙනෙකු ඒ ගෙදර උන්නේ නැහැ. රාත්‍රී ආහාරය නිමා වෙලා වැඩි කාලයක් යන්න මත්තෙන් ෂෙපර්ඩ් ආපහු තමන්ගේ නිවසට එනවා. රොජර් මරා දමා ඇති බවට මුල්ම ඇමතුම ලැබෙන්නේ සිකුරාදා රාත්‍රියේ වෛද්‍ය ෂෙපර්ඩ් ගේ නිවසටමයි. ඒ සැනින් ආපහු රොජර් ගේ නිවසට යන ෂෙපර්ඩ් දැනගන්නව ඒ ගෙදර කිසි කෙනෙක් තමන්ට දුරකථන ඇමතුමක් දීලා නැති බව. නමුත් ඇමතුමෙන් කිව්ව දේ සත්‍යක්! රොජර් මහත්මයාව තමන්ගේ අධ්‍යන කාමරයේදී පිහියකින් ඇනලා මරා දමලා! ඝාතකයෙකු ගැන කිසිම සලකුණක් පොලීසියටවත් සොයාගන්න බැහැ. ඔවුන් සැක කරන්නේ නිවසේ ප්‍රධාන ගෘහ සේවක පාකර් ව. ගමේම නවාතැනක නැවතුම්ගෙන හිටිය රැල්ෆ් නම් රොජර් ගේ ඥාති පුත්‍රයාත් ආගිය අතක් සොයාගන්න බැරි විදිහට නවාතැන හැර ගිහිල්ලා. ඔය අතර සුප්‍රසිද්ධ බෙල්ජියානු ජාතික රහස් පරීක්ෂක හර්කියුලිස් පොයිරොට් නිවාඩුවක් ගත කරන්න මේ කිංග්ස් ඇබට් ගම්මානයට ඇවිත් ඇති බව දැනගන්න රොජර් ගේ ඥාති දියණියක් වුණු ෆ්ලෝරා ඇක්‍රොයිඩ් වෛද්‍ය ෂෙපර්ඩ් ගේ උදව්වෙන් මේ අභිරහස විසදීම ඔහුට බාර කරනවා. අපරාධවල සුල මුල සොයා යෑමේ සියුම් බුද්ධියක් ඇති බවට ප්‍රකට හර්කියුලීස් පොයිරොට් ට රොජර් ඇක්‍රොයිඩ් ගේ ඝාතකයාව කොටුකරගන්න ලැබේවි ද?
Sunday, January 19, 2025
The Murder of Roger Ackroyd
2013 අවුරුද්දෙදී බ්‍රිතාන්‍යයේ පිහිටා තිබෙන 'අපරාධමය කතා රචකයන්ගේ සංගමය' ට 60 වසරක් පිරීම නිමිත්තෙන් එදා මෙදා තුර ලියැවුණු හොඳම අපරාධමය නවකතාව විමසන ඡන්දයක් පැවැත්වෙනවා. ලේකඛයින් 600 ක් පමණ දෙනාගේ දායකත්වයෙන් ෂර්ලොක් හෝම්ස් නිර්මාණය කළ කොනන් ඩොයිල්, Silence of the Lambs ලියූ තෝමස් හැරිස් වැනි අය අභිබවා යමින් ඇගතා ක්‍රිස්ටි 1926 අවුරුද්දේ පළ කළ The Murder of Roger Ackroyd හොඳම අපරාධමය කෘතිය විදිහට තෝරාගැනෙනවා. මේ ජයග්‍රහණය ගැන එවකට ඒ සංගමයේ සභාපතිනිය වුණු ඇලිසන් ජෝසප් කියන්නෙ මෙහෙම, "අපරාධ කතා බොහොම ජනප්‍රියයි වගේම ඒවට හොඳ ඉතිහාසයක් තියනවා, අපේ ජයග්‍රාහිකාවම ඒකට හොඳ උදාහරණයක්". ඇගතා ක්‍රිස්ටි නම් බ්‍රිතාන්‍ය ලේඛිකාව විරුදාවලි ලබා තිබෙන්නේම 'අපරාධ කතා කලාවේ අග රැජිණ' විදිහට, ඇය රහස් පරීක්ෂක නවකතා 66ක් සහ, කෙටි කතා 14 ක් රචනා කර තිබෙනවා, ඇය ලියූ The Mousetrap නම් රහස් පරීක්ෂක වේදිකා නාට්‍ය London's West End රංගශාලාවේ 1952 පටන් අද දක්වාම දර්ශනය කෙරෙනවා, දර්ශන වාර 29,500 ක් සමග ලොව වැඩිම වතාවක් රඟ දැක්වුණු නාට්‍යයක් විදිහට ක්‍රිස්ටී ගේ The Mousetrap වාර්තාගත ව තිබෙනවා. මේ රහස් පරික්ෂක කතා කලාවේ ඇය ඉන්නේ කොතැනද කියන්න මීට වඩා උදාහරණ අවශ්‍ය වෙන්නෙ නැති වේවි.
The Murder of Roger Ackroyd ඇත්තටම ඒ තරම් සාර්ථක කෘතියක් විදිහට පිළිගැනෙන්නේ ඇයි? මේ කෘතියෙදී ඇගතා තමන්ගේ සුපුරුදු රචනා ශෛලියෙන් තරමක් බැහැර වෙලා වෙනස් කර තිබෙනවා. ඒ තමා අපරාධ පරීක්ෂක සහයකයෙකුගේ ඇසින්, එනම් ෂර්ලොක්ට හිටිය වොට්සන් වගේ පොයිරොට්ගේ සහායකයා විදිහට වෛද්‍ය ෂෙපර්ඩ්ට ව පත් කරමින් ඔහුගේ ඇසින් මේ රහස් පරීක්ෂණය දකින ආකාරයට රචනා කර තිබීම. මේ නිසා පොයිරොට්ගේ පරීක්ෂණ සහ නිරීක්ෂණ ෂෙපර්ඩ් හරහා කියවන්නාට සමීප කරමින් කුතුහලය උපරිම වන ආකාරයෙන් කතාව රචනා කරන්න ඇයි සමත්ව තිබෙනවා.
ඒ වගේම තවත් වැදගත් කාරණයක් තමා කෘතියේ අවසානය ගැන, එනම් අපරාධකරුවා සහ ඔහු එය කළේ ඇයි කියන දේ ගැන පාඨකයාට අනුමාන කිරීම ඉතාම දුෂ්කර වීම. ඇත්තටම කිසිසේත්ම නොසිතන අවසානක් තමයි මේ පොතට තියෙන්නේ. පොතේ හමුවන හැම චරිතයක් ගැනම සැකයක් ඇතිවන ආකාරයෙන් කතාව රචනා කරන ඇගතා ක්‍රිස්ටි අවසානේ අපරාධකරුවා නිරාවරණය කරන්නේ පුදුමාකාර විදිහට. පොතට ප්‍රස්ථාවනාවක් රචනා කරන සහ ඇගතා ගේ චරිතාපදානය ලියූ කතුවරිය වන ලෝරා තොම්සන් කියන්නේ ඇගතා මේ කෘතිය රචනා කරන්නේ හරියට සිතුවමක් නිර්මාණය කරන ආකාරයට බව. කෘතිය පුරාම බිඳෙන් බිඳ අපරාධකරුවාගේ සැබෑ ප්‍රතිරූපය සිත්තම් කරන ඈ අවසාන පරිච්ඡේදය ආසන්නයේ එක වචනයකින් සිතුවම සම්පූරණ කරනවා. ඇගතාගේ රචනා කලාවේ විශිෂ්ඨත්වය මතුවෙන්නේ එතැනදී. ඒ වගේම කතාවේ මුණගැහෙන හැම ප්‍රධාන චරිතයක්ම ඉතාම ජීවමානව ඈ ගොඩනගනවා. කෘතියටය මුල්වෙන අපරාධය සම්බන්ධයෙන් වන කතාවට මේ හැම චරිතයක්ම අඩුවැඩි වශයෙන් ඈ මනාව දායක කරගන්නවා. තවත් වෙලාවක ප්‍රධාන කතාව ඇතුළේ තව අතුරු කතා නිර්මාණය කරමින් පාඨකයාව සංකීර්ණ සිද්ධිදාමයක අතරමං කරනවා. ඒ වගේම චරිත අතරේ ඇතිවෙන සංවාද ඉතාම ප්‍රබල විදිහට ඈ නිර්මාණය කරනවා. එක් අතකින් ඇය ගැහැනියක් වීම මේ කතාව මේ වැනි සංකීර්ණභාවයකින් ගොඩනැගෙන්න බලපෑමක් කළා කියලා මම හිතනවා. මොකද ගැහැනියක් කතාවක් කියද්දී ඒක ඇතුළේ තියන කුඩා තොරතුරු වලට පවා අවධානය දෙන්න සැලකිලමත් වෙනවා. මේ නිසා ගැහැනියක් කතාවක් කියද්දී "කතාව" ඇතුළේ තියන "තොරතුරු" ප්‍රමාණය වැඩියි. රචකයෙකුගේ ලිංගික අනන්‍යතාව ඔහු හෝ ඇය අතින් ලියැවෙන කෘතියකට බලපාන්නේ කොහොමද කියන දේ විවාදාපන්න කාරණාවක් වුණත් එය ඉතාම බලපෑම් සහගත වැදගත් කරුණක් කියලා මම හිතනවා.
“Women observe subconsciously a thousand little details, without knowing that they are doing so. Their subconscious mind adds these little things together—and they call the result intuition.”
පොතෙන්ම උපුටාගත්ත කොටසක්, මේ පොතම මේ කතාව සනාථ කරවනවා.
Subscribe to:
Posts (Atom)