මේ ලෝකෙ මේ තරම් විචිත්‍රවත් තැනක් වෙන්නේ වගේම තවත් වෙලාවකදී මේ තරම් එපාම කරපු තැනක් බවට පත්වෙන්නේ මිනිස්සු අතර තියන නොයෙක් වෙනස් කම් හින්දා. එකම පවුලක දෙන්නෙක් වුණත් එක සමාන වෙන තැන් වගේම අහසට පොළොව වගේ වෙනස් වෙන තැන් තියනවා. හරියට එකෙක් තාරාවෙක් අනිකා පාත්තයෙක් වගේ තමා. සමානයි ඒත් වෙනස්. 2024 අවුරුද්දේ ආව A Real Pain කියන්නෙත් ඒවගේ දෙන්නෙක් ගැන කියවෙන චිත්‍රපටියක්. එක්කෙනෙකුගෙ නම ඩේවිඩ්, අනික් එක්කෙනා බෙන්ජි. මේ දෙන්නාම යුදෙව් ජාතික ඥාති සහෝදරයෝ. මෙයාලගේ ආච්චි අම්මා දෙවන ලෝක යුද්ධ කාලෙ යුරෝපයේ යුදෙව් දඩයම සිද්ධ වෙද්දී යුධ උණුසුම සැරටම දැනුණ පෝලන්තයෙන් පළා ඇවිත් නිදහස් ජීවිතයක් ලබා ගනිමින් ඇමරිකාවේ පදිංචි වුණ කෙනෙක්. ඒ ආච්චි අම්මාගෙත් පුත්තු දෙන්නාගෙ දරුවෝ තමා මේ. කාලෙකින් මුණගැහිලා නැති හින්දා මේ දෙන්නා සතියක් පෝලන්තයේ සංචාරයකට යන්න කතා කරගන්නවා. ඒ අතරේ ඒ රටේ ආච්චි අම්මා උන්නාය කියන ගෙදරත් දැකබලා ගන්නත් සැලසුම් කරනවා. ඩේවිඩ් ගේත් බෙන්ජි ගේත් සතියක පෝලන්ත සවාරිය තමා A Real Pain චිත්‍රපටියට ඇතුළත් වෙන්නේ.
Thursday, January 23, 2025
A Real Pain (2024)
ඩේවිඩ් කියන්නේ විවාහකයෙක්. බිරිඳක්, හුරතල් දරුවෙක් එක්ක ආදරණීය පුංචි පවුලක් රැකබලාගෙන අන්තර්ජාලය හරහා දැන්වීම් ප්‍රචාරය කරන්නෙක් විදිහට රැකියාවකුත් කරන් ජීවිතය සමබරව ගෙනියන කෙනෙක්. ඩේවිඩ් නිතරම හැම දෙයක් දිහාම බලන්නේ සෑහෙන කල්පනාකාරීව. එයා යමක් කරන්නේ හොඳට ඒ ගැන හිතල බලලා ඉතාම වගකීම්සහගතව. නමුත් බෙන්ජි ඒකෙ අනික් පැත්ත. බෙන්ජි අවිවාහකයෙක්. හිතට එන දේවල් හිතන්නේ බලන්නේ නැතුව ඔහේ කියලා දාන, නිතර විහිළුවෙන් තහළුවෙන් සැහැල්ලුවෙන් ඉන්න, නිදහස් විනෝදකාමියෙක්. අපේ බාසාවෙන් කිව්වොත් රස්තියාදුකාරයෙක්. ඩේවිඩ්ට හාත්පසින්ම වෙනස් ගති ගුණ තියන කෙනෙක්. ඉතින් එකිනෙකට වෙනස් ගති ගුණ තියන මේ ඥාති සහෝදරයෝ දෙන්නා එකට යන මේ ගමන දෙන්නාගෙම හපන්කම්, මෝඩකම්, පුරසාරම් වලින් පිරිච්ච එකක් බව හිතා ගන්න අමාරු නෑ. නමුත් සඳහන් කළ යුතු වැදගත් යමක් තියනවා. කොයි විදිහට ගත වෙලා ගියත් අවසානෙදි කල්පනා කරලා බැලුවාම ජීවිතය කියන්නේ වැළැක්විය නොහැකි විදිහට දුෂ්කර වුණු යමක්. දුක සහ වේදනාවන් කියන්නේ අපි කොයි තත්ත්වෙන් හිටියත් මගහරින්න නොහැකි දේවල්. එකිනෙකට වෙනස් ජීවිත අත්දැකීම්වල ඉන්න අය වුණත් කොහොමද මේ දුක් වේදනාවන් විඳදරාගෙන ජීවිතේ ගමන යන්නේ කියන දේ මේ චිත්‍රපටියෙන් පෙන්වා දෙනවා. දෙවන ලෝක යුද්ධය වගේ අති බිහිසුණු ව්‍යසනයකට මුහුණ පෑව නගරයක් ඒ යුධ ස්මාරක, සැමරුම් නශ්ඨාවශේෂ අතරින් යළින් සිනාසෙමින් සුන්දරත්වය අහිමි කර නොගෙන අදටත් පවතින ආකාරය කොයිතරම් අපූරුද. ජීවිතෙත් හරියට ඒ වගෙයි. පරාජිතබවේ අමිහිරි අඳුරු අහුමුළු වගේම ප්‍රීතිමත් බවේ සදාහරිත තුරු ගොමු ඕනෑම ජීවිතයක අඩු වැඩි වශෙයෙන් දැකගත හැකියි. ජීවත් වෙනවා කියන්නෙ අවසානෙට මේ හැම දෙයක් අතරෙම පැවතීමේ සෞන්දර්යයට තමයි.
ප.ලි - ඩේවිඩ් ගේ චරිතය රඟපාන්නේ චිත්රපටියෙ තිර රචනාව ලියන ගමන් අධ්‍යක්ෂණයත් කළ Jesse Eisenberg මයි. මේක පැය එකහමාරක වගේ පෙඩි ධාවන කාලයක් තියන ලස්සන සුන්දර කතාවක්, A Real Pain මේ වෙනකොට 2024 අවුරුද්ද වෙනුවෙන් තිබුණ සම්මාන උළෙලවල වැඩි වැඩියෙන් කියෙවෙන නමක් බවට පත්වී තිබීම සතුටක්.
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment