Sunday, February 9, 2025

සිනහවක් සමග මියැදෙනු හැකි නම්.......

 අලුතෙන් හැදෙන සින්දු කොයිතරම් කනේ හැප්පිලා ගියත් Bruno Mars ගෙ Die with a Smile කියන්නෙ ඒවා අතරෙ සෑහෙන ඔලුවෙ රැඳිලා තියන melody එකක්. Bruno මුල් කාලීනව කියපු සිංදු සෙට් එක ඒ කියන්නෙ Grenade, Just the way you are, Count on me, Marry you, Lazy song වගේ ඒවා මගේ නම් ජීවිතේ අතීතකාමී මතක ඇතුලෙ තවමත් නොමැකි තියෙනව. අවුරුදු දොළහක් දහතුනක් තිස්සෙ උදේ පාන්දර නැගිටගෙන ඉස්කෝලෙ දුවල ගතකරපු ජීවිතේ ඉවර කරලා රටතොට සමාජෙ හැටි ගැන මෙලෝ මලදානයක් නොදැන ආපහු රස්සා ජීවිතේකට මාරුවෙනකම් ගෙවා දැම්ම සංක්‍රාන්තික කාලයක් ඇතුළෙයි මේව මට ඇහෙන්න ගත්තෙ. ඒක ඇවිල්ලා තනිකරම මුදලක් හම්බකරගන්නවට හරි නැත්නම් වෙනත් මොනවටවත් වඩා හිතේ ආසාවට දේවල් කරමින් ගෙවුණු පුදුමාකාර නිදහස්කාමී කාලයක්. මං ටිකක් වැඩිපුර කලයක් ඔහොම ගතකලා. මං හිතන්නෙ ඉන්ටනෙට්, සෝෂල්මීඩියා සමාජෙ අස්සක් මුල්ලක් නෑර බෝවෙන්න පටන් ගනිමින් තිබුණෙ එතකොට. ඒ කාලෙ වැළඳිච්ච Rock music පිස්සුව එක්ක Green day, Simple plan, Metallica, Pink Floyd වගේ බෑන්ඩ් හොය හොයා අහන කාලෙ pop music වලින් තදින්ම හිතේ රැඳුණා Bruno Mars ගෙ සින්දු. මේ අලුතෙන් ඇවිත් තියන Die with a smile කියන්නෙ ඒ නොස්ටැලිජික මතක අවුස්සන්න තරම් බලගතු melody එකක් මට නම්. අවුරුදු 15 කට විතර පස්සෙ වුණත් මේ මනුස්සයගෙ කටහඬ එදා වගේම ඇහෙනවා තවම.

මේක කියන්නෙ Bruno සහ Lady Gaga දෙන්නම. Music වලින් නම් මට දැනුණේ මේක මාර දුක්බර සින්දුවක් වෙන්න ඇති කියල. සින්දුව minor scale එකක යන හින්දා එහෙම දැනෙන්න ඇති. ඒත් lyrics අරගෙන බලනකොට ඒක එහෙම නෑ. මේක Romance වෑහෙන ප්‍රේමයක් ගැන කියන සින්දුවක්. ලෝකයෙ හැම දෙයක්ම විනාස වෙමින් ගියත් ඔයා ගාවින් මම ඉන්නවා කියල කියන හැඟුම් ප්‍රකාශයක්.

If the world was ending,
I'd wanna be next to you
If the party was over and
our time on Earth was through
I'd wanna hold you just for a while
and die with a smile
If the world was ending,
I'd wanna be next to you

Die with a smile, හිනාවක් එක්ක මැරෙන්න කියලා Bruno එහෙම කියද්දී මට මතක් වෙනව ඩෙන්මාර්ක් ජාතික සිනමාකරුවෙක් වන Lars von Trier ගේ Melancholia චිත්‍රපටිය. මේ චිත්‍රපටියෙ කියන්නෙ අභ්‍යවකාශයෙන් එන ග්‍රහකයක් කඩා වැටිලා සිද්ද වෙන ලෝක විනාශයක් ගැන. ආදරය කරන අය එකිනෙකා වෙනුවෙන් ඉන්නව නම් ඕන ලෝක විනාසෙකට බය නැතිව මුහුණ දෙන්න පුලුවන් කියලා චිත්‍රපටියෙ අවසානෙ හරි ලස්සනට පෙන්නුම් කරනවා. මේ මෑතක තිබ්බ ග්‍රැමී සම්මාන උළලේ කණ්ඩායමක් හෝ යුගල ගායනයක් විදිහට 2024 වසරේ ආව හොඳම සින්දුව විදිහට සම්මානය දිනාගන්නෙ මේ Die with a smile සින්දුව. එතනදි Bruno කියනව එයාට ලොකු ගෞරවයක් කියලා Lady Gaga එක්ක මේ සින්දුව කියන්න ලැබීම. Gaga කියනව Bruno ගෙන් තොර සංගීතයක් ගැන එයාට හිතාගන්න බැහැ කියල. මේ වගෙ මතක හිටින සින්දුවක් හැදුවට ඒ දෙන්නටම මම ස්තූතියි කියනව!






No comments:

Post a Comment