Rock Music කියන දේ අපේ පරම්පරාවේ කන්වලට හුරු කළේ Linkin Park, Green Day, Evanescence, Audioslave, වගේ බෑන්ඩ්වලින් කියල කිව්වොත් මං හිතන්නේ වරදක් නැති වේවි. Jimi Hendrix ලා, Ozzy Osbourne ලා, David Gilmore ලා, Robert Plant ලා වගේ උදවිය අපිට මුණගැහෙන්නෙ ඊටත් ටිකක් ගැඹුරෙදි. 70, 80 කාලේ Rock සින්දුවල තිබ්බ අතීතකාමී නොස්ටැලිජික් සද්දෙ, දීර්ඝ සහ පිස්සු හැදෙනසුළු ගිටාර් solos, ඒ සින්දුවල තිබ්බ මාර වචන වගේ දේවල් Rock සංගීතය එක්ක අපිට තිබ්බ බැඳීම තවත් වැඩි කළා. අද දවසේ ජීවිත රගමඩලෙන් සමුගත්ත Ozzy Osbourne වැදගත් චරිතයක් විදිහට මතුවෙන්නෙ එතනදි. එයා සහ එයාගේ බෑන්ඩ් එක Black Sabbath එතෙක් පැවතිච්ච Rock සංගීත සද්දේ වඩාත් බර හඬක් සහ වඩාත් අඳුරු ටෝන් එකක් ඇතුළේ වෙනස් හැඩයකින් එළියට අරන් ආවා. මේ වැඩේ මුළින්ම කළ එකම බෑන්ඩ් එක එයාලා නොවෙන්න පුළුවන්. නමුත් වැඩි පිරිසක් අතරට මේ අළුත් "බර" සද්දේ අරගෙන යන්න එයාලට පුළුවන් වුණා. Rock සංගීතය ඇතුළේ Heavy Metal කියල තවත් සංගීත ප්‍රවර්ගයක් මේ හරහා නිර්මාණය වුණා. Heavy Metal ඉන් ඉස්සරහට ගිහින් වෙනම සංස්කෘතියක් විදිහට වර්ධනය වුණා. (Blalak Sabbath කණ්ඩායමේ ගිටාර් වාදක Tony Iommi ගේ guitar riffs එක්ක මේ Heavy Metal පටන් ගන්න බවයි පොදු පිළිගැනීම, නමුත් මුල් කාලීනව බර Rock Sound එකක් දුන්න Deep Purple, Led Zeppelin වගේ බෑන්ඩ්ස් මේ Metal සංගීතේ වෙනුවෙන් ලොකු දායකත්වයක් දුන්න බවට තියන අදහස ඉවත දාන්න බෑ). Black Sabbath බෑන්ඩ් එකේ හඬ සහ ප්‍රධන ප්‍රාසාංගිකයා වුණු Ozzy Osbourne අද 76 වසරක් ආයු වළදලා ජීවිතෙන් සමුගන්නවා. ප්‍රසංග වේදිකාව උඩ විතරක් නෙමේ ජීවිතේම පෙරළිකාර චරිතයක් විදිට වචනේ අර්ථයෙන්ම පෙන්නන්න පුළුවන් උදාහරණයක් තමයි Ozzy කියන්නෙ. මිනිස් මනසේ තියන අඳුරු පැතිකඩ, සමාජ දේශපාලන ක්‍රමය ඇතුළේ තියන භීෂණය සහ විෂමාචාරීත්වය Ozzy තමන්ගේ සින්දුවලට බොහෝ වෙලාවට තේමා කරගත්තා. එයා ලෝකයේ පවතින අඳුර තමන් සහ තමන්ගේ කලාව ඇතුළේ ප්‍රතිනිර්මාණය කළ අන්ධකාරයේ කුමාරයෙක්ම වුණා. (Ozzy ව සාමාන්‍යයෙන් "Prince of Darkness"කියන විරුදාවලියෙන් හැදින්වෙනවා). ඒ ගැන බොහෝ දෙනා ලියා තිබෙන නිසා වැඩි දෙයක් ලියන්නෙ නෑ.
Ozzy ගේ මං කැමතිම සින්දුවක් ඔහුගේ නික්මයාම වෙනුවෙන් අද දවසේ බෙදා ගන්නවා. සින්දුව mama i'm coming home. මේක ozzy අනන්‍යතාව වුණු බර rock සද්දෙන් මිදුණු සුමට සෞම්‍ය ගුණයක් අරගෙන එන සින්දුවක්. ඔසී Black Sabbath වලින් ඉවත් වෙලා තනි පුද්ගල නාමයෙන්ම සංගීත ගමන පටන් ගත්තායි පසුව ඔහුගේ දිගුකාලීන ගිටාර් වාදකයා සහ සහායක ගීත රචකයා වුණු Zakk Wylde කියන විදිහට Ozzy ගේ ජීවිතේ ඒ වැදගත් පරිච්ඡේදයක් මේ සින්දුව ලියන්න හේතු කාරක වෙනවා. ඒ තමා Ozzy දැඩි වශයෙන් පීඩා විඳිමින් වුන්න මත්ද්‍රව්‍ය ඇබ්බැහි කමින් ගොඩ එන්න ඔහු සමත් වෙමින් සිටි කාලය. 1982 අවුරුද්දේ පටන් මරණ මොහොත දක්වාම නොවෙනස්ව ඔහු ළග සිටිමින් ඔහුව රැකබලාගතතේ ඔහුගේ බිරිඳ Sharon. මේ අධික මත් ලෝලීත්වයෙන් ඔහුව මුදවාගෙන ඔහුට නැවතත් ජීවය දුන්න ගැහැනිය වුණේ ඇය. මේ ගීතය රචනා වෙන්නේ Ozzy ගේ ඒ අත්දැකීම ඇසුරෙන්. සින්දුව එළියට එන්නෙ 90 දශකයේ මුල.
Mama, I’m coming home
මෙතනදි ඔහු Mama යනුවෙන් ඔහු අමතන්නේ ඔහුගේ බිරිඳට. home කියන්නේ ඇබ්බැහිකමේ පීඩාවෙන් මිදුණ තැන, ජීවිතයට සැනසීම ගෙනෙන තැන, නිවස, පවුල, මේ දේවල්. ඒ තමා ඔහුගේ නිදහසේ ගීතය. බොහෝ දුරට මරණයෙන් කෙළවර වෙන්න තිබුණ මාර්ගයක කෙළවර නැවතත් ජීවිතයට පැමිණීමේ උදාන ගීතය.
Times have changed and times are strange
Here I come, but I ain’t the same
Mama, I’m coming home
Time’s gone by, it seems to be
You could have been a better friend to me
Mama, I’m coming home
Zakk Wylde කියන කියන විදිහට මේ ගීතයේ තනුව බොහෝ කාලයක් Ozzy ගේ මතකයේ තැන්පත්වෙලා තිබිලා තියනවා. දීර්ඝ සංගීත ප්‍රසංග මාලාවක් අවසාන වෙලා ආපහු ගෙදර එන හැම වතාවෙම Ozzy බිරිද Sharon ට දුරකථනෙන් අමතලා කියන්න පුරුදුවෙලා හිටි වචන පෙළක් තමයි Mama, I’m coming home නමින් අවසානේ ඒ තනුවට අනුව නිමවෙන්නේ.
Took me in and you drove me out
Yeah, you had me hypnotized
Lost and found and turned around
By the fire in your eyes
I've seen your face a hundred times
Everyday we've been apart
I don't care about the sunshine, yeah
'Cause mama, mama, I'm coming home
I'm coming home
තමන් දිගුකාලයක් ජීවත් වීම වෙනුවෙන් Ozzy බොහොම වෙලාවට ස්තූතිවන්ත වෙන්නේ Sharon ට. ඇය නොහිටින්න Ozzy ට උරුම වෙන්න තිබුණේ සෑහෙන කෙටි ජීවිත කාලයක්. ඔහුගෙ ඇත්තම නික්ම යාම වුණු දවසේ මේ සින්දුව බෙදාහදා ගන්නෙ ඔහුත් ඇයත් ඔවුන් දෙදෙනාගෙ ආදරයත් සිහිපත් කරමින්.
Thank you for everything and May your soul Rest In Peace Ozzy!
No comments:
Post a Comment