Sunday, October 28, 2018

Citizen kane (1941)


ගුවන් විදුලි නාට්‍ය රචනය, නිශ්පාදනය සහ වේදිකා නාට්‍ය නිර්මාණයේ යෙදී ඉන්න තරුණයෙක් වුණ Orson Welles ට RKO Radio Pictures සමාගම අනුග්‍රහයෙන් චිත්‍රපටයක් නිර්මාණය කරන්න අවස්ථාවක් ලැබෙනව. මුලින්ම චිත්‍රපටයකට ඔහු ඉදිරිපත් කරන යෝජනා දෙවතාවක්ම ප්‍රතික්ෂේප වුණත් තුන් වෙනි පාර ඔහුට අනුමැතිය ලැබෙනව. ඒ අනුව ඒ වෙනකොට අවුරුදු 25 ක් වුණ මේ තරුණයාගෙ තිර රචනාවෙන්, අධ්‍යක්ෂණයෙන් සහ ප්‍රධාන චරිත නිරූපණයෙන් නිර්මාණය වුන Citizen Kane චිත්‍රපටය 1941 අවුරුද්දෙ මැයි මාසෙ 1 වෙනිදා මුල් වතාවට තිරගත වෙනව. මුල් අවුරුද්දෙ ඒ තරම් හොඳ ප්‍රතිචාර නොලැබුණත් Citizen Kane 1942 ඔස්කාර් සම්මාන උළලේ ප්‍රධාන සම්මාන නවයකටම නිර්දේශ වෙනව. Orson Welles හොඳම රංගනය, හොඳම අධ්‍යක්ෂණය, හොඳම තිර රචනය මේ අංග තුනටම එකවර සම්මානයට නිර්දේශවෙනව. ඔහු හොඳම තිර රචනයට හිමි සම්මානය දිනාගන්නව. පසු කාලීනව Citizen Kane චිත්‍රපටයට විශාල වශයෙන් ප්‍රේක්ෂක, විචාරක ආදරය ලැබෙනව වගේම ඇමරිකානු චිත්‍රපට ආයතනය (AFI) සකස්කරන, එදා මෙදා තුර හොඳම ඇමරිකානු චිත්‍රපට සියයේ ලයිස්තුවේ පළමුතැන Citizen Kane හිමිකරගන්න සමත්වෙනව. 

චිත්‍රපටයෙ කතාව සරලව මෙහෙමයි. Charles Foster Kane කියන්නෙ ඇමෙරිකාවේ ජීවත්වෙන කෝටිපති ව්‍යාපාරිකයෙක්. ඔහු ජීවත් වෙන්නෙ සුවිසාල වතුයායක් මැද තියන මන්දිරයක. මේ වතුයාය පෞද්ගලික සත්වෝද්‍යානයක්, යුරෝපීය ගෘහ නිර්මාණ ශිල්පය අනුව හැදුන ගොඩනැගිලි, කලා නිර්මාණ, අලංකාර උද්‍යාන, මේ හැම දෙයකින් ම සමන්විතයි. සේවක සේවිකාවන් විශාල පිරිසක් මැද වයසක කේන් ජීවත් වෙන්නෙ තනිවමයි. දවසක් හදිසියෙම කේන් මිය යනව. මරණෙට කලින් "Rosebud" කියල එක වචනයක් කේන් ගේ කටින් පිටවෙනව. මේ සිද්ධියට මාද්‍ය වලින් විශාල ප්‍රචාරයක් ලැබෙනව. මොකක්ද මේ Rosebud කියන්නෙ? කිසිම කෙනෙකුට ඒ ගැන වැටහීමක් නෑ. ඇත්තටම ඒක අභිරසක්. එක්තරා මාද්‍යවේදියෙක් මේ අභිරහස හොයාගෙන යනව. කේන් ලඟින් ආශ්‍රය කරපු අය හොයා ගිහින් Rosebud ගැන හෝඩුවාවක් ලබාගන්න ඔහු උත්සහ කරනව. මේ අතර පසුබිමෙන් කේන් ගේ ජීවිත කතාව අපිට දකින්න ලැබෙනව. කේන් උපදින්නෙ කොළරාඩෝ ප්‍රාන්තයේ බොහොම දුප්පත් යුවලකට දාව යි. පියාගේ සැඩ පරුෂ ගති ස්වභාවයන් නිසාත්, දරුවාට වැඩි දුර අද්‍යාපනයක් ලබාදෙන්න තරම් හැකියාවක් නැති නිසාත් කේන් ගේ අම්මා කේන්ව ධනවත් බැංකුකරුවෙක් ට විකුණනවා. මේ විදිහට කුඩා වයසෙදිම කේන්ට දෙමාපිය ආදරය අහිමි වෙනව. උසස් අධ්‍යාපනයත් සම්පූර්ණ කරන කේන් පුවත්පත් මුද්‍රණකර බෙදාහරින ආයතනයක් පටන් ගන්නව. නව මුහුණුවරකින් තමන්ගෙ පුවත්පත වෙළෙඳ පොළට හඳුන්වාදෙන කේන් ටිකෙන් ටික තමන්ගෙ ව්‍යාපාර දියුණු කරගෙන ඉහළටම යනව. මේ අතර ඔහු ප්‍රේම සම්බන්ධතා ඇති කරගන්නව, විවාහවෙනව, ඒ දේවල් නැවත බිඳ වැටෙනව. කේන්ගේ සමීපතමයන්ගෙ මතක සටහන් ඇසුරින් ඔහුගෙ ජීවිත කතාව අපි ඉදිරිපිට දිග හැරෙනව. 

Citizen Kane චිත්‍රපටයෙ සුවිශේෂීතාවයන් අංශ ගණනාවකින් ම හඳුනාගන්න පුලුවන්. එක් කාරණයක් තමා කලින් සඳහන් කලා වගේ එය Orson Welles ගෙ පළමු නිර්මාණය වීම. ඒ වගේම මේ චිත්‍රපටයෙ ප්‍රධාන චරිත රඟපාන කිසිම කෙනෙක් ඉන් පෙර කිසිම විදිහකින් සිනමාපටයකට රංගනයෙන් දායක වුණු අය නෙවෙයි. මේ චිත්‍රපටයෙ Kane ගේ අවුරුදු විසි ගණනක තරුණ වයසේ ඉඳන් ක්‍රමයෙන් වැඩිවියට ගිහින් මහළු වයස දක්වාම නිරූපණය කරන්නෙ Orson විසින්මයි. වයස අනුව පුද්ගල ස්වරූපය, කටහඬ, හැසිරීම් වෙනස් වීම ඔහු නිරූපණය කරන ආකාරය නම් විශිෂ්ඨයි. මුලින් සඳහන් කළා වගේ තිරගත වුණ මුල් යුගයේ දි Cities Kane ඒ තරම් හොඳ ප්‍රතිචාර ලබන්නෙ නෑ. ඒකට හේතුව චිත්‍රපටයට යොදාගෙන තිබුණ ක්‍රමවේද ඒ යුගයේ එතරම් ප්‍රචලිත වෙලා නොතිබීම. අඳුරු, ගුප්ත, අසුබවාදී නිර්මාණයක් විදිහට තමා ඒ යුගයේ බොහෝ දෙනා Citizen Kane හඳුනාගෙන තිබුනෙ. ඒත් පසුකාලීනව සිනමාවෙ තාක්ෂණවේදයෙන් වල දියුණුවත් එක්ක Citizen ට නිසි ඇගයීම් ලැබෙන්න පටන්ගත්ත.

Citizen Kane මේ තරම් සුවිශේෂී ඇයි කියන එක මේ වෙනකම් අපි කතා කරපු කාරණා වලින් පැහැදිලි කරගන්න පුලුවන්. ඒත් වඩා වැදගත් ම දේ තමා චිත්‍රපටයෙ අන්තර්ගතය. මනුස්ස ජීවිතේ යථා ස්වභාවය ඊට හිමි නියම පසුබිමක තියල නිරූපණය කිරීම. මේ කාරණය වර්තමානයෙ අපි ගතකරන තරඟකාරී ජීවිත රටාව එක්ක තියල සසඳා බලන්න පුලුවන්. මේක පරිහෝජනය මුල් කරගත්ත යුගයක්. ඒ කියන්නෙ අපිට අහන්න දකින්න ලැබෙන මාධ්‍යන්ගෙන්, සමාජයෙන් නිතරම අපිව යොමු කරන්නෙ පුලුවන් තරම් දේවල් රැස්කර ගන්න, අනවශ්‍ය වුණත් ලෝකෙට පේන්න දේවල් ගොඩගහල තියාගන්න ඒ එක්ක Kane ගේ ජීවිතය සසඳා බැලුවොත් ඔහු ගතකරන සියල් සපිරි ජීවිතයෙ කිසිම දෙයකින් ඔහුට අඩුවක් නෑ. ඒත් අපි දකින්නෙ විශාල වතුයායක් මැද දැවැන්ත මාළිගාවක ජීවත්වෙන ඇතුළාන්තය හිස් වුණ Kane කෙනෙක් ව. ඔහු පෙළන මහා පාලුව, මහා හිස් කම කිසිම දෙයකින් අඩු වශයෙන් ඔහුගෙ කිසිම සම්බන්ධතාවකින් පිරෙන්නෙ නෑ. මේ තමා ඔහුගේ ඛේදවාචකය. බොහෝ දුරට අපෙත් ඛේදවාචකය. අවසානෙ නරඹන්නාගෙ හද කම්පා කරවන තරම් මේ ජීවිත විවරණය නිසා තමා Citizen Kane විශිෂ්ඨ සිනමා නිර්මාණයක් බවට පත් වෙන්නෙ.

ඉතින් Rosebud අභිරහසට අවසානෙ මොකක්ද වෙන්නෙ? මාද්‍ය වේදියා එක තැනකදි කියනව වගේ. "එක වචනෙකට මොනවද කරන්න පුලුවන්? ඒක හරියට විශාල ප්‍රෙහෙලිකාවක එක කොටුවක් වගේ. එක වචනෙකින් පුලුවන්ද මනුස්සයෙකුගෙ මුලු ජීවිතයම විස්තර කරන්න?" ඒක ඇත්තටම එහෙම ද? චිත්‍රපටය බලන ඔබ ම තීරණය කරන්න





Friday, October 26, 2018

Her (2013)


සම්බන්ධතාවකින් ඔයා බලාපොරොත්තු වෙන්නෙ මොකක්ද ? එහෙම විශේෂ දෙයක් නැති වෙන්න පුලුවන්. ජීවිතේ හරි පීඩාකාරී, බොහෝ දුර ඇවිදල අවසානෙ වෙහෙසට පත්වෙන සුලුයි. ඔයාට ඕන වාරු වෙන්න යමක්, ඔයාගේ වේදනාව වටහා ගන්න පුලුවන්, ඒ දේවල් බෙදාගන්න පුලුවන් යම් කෙනෙක්, විශ්වාසවන්ත බවක්. කාලයත් එක්ක මේ දෙය ඔයාගෙ ජීවිතේ කොටසක් බවට පත්වේවි. ඒ දෙය නිතර ඔයාට අවශ්‍ය වේවි, නැති අඩුව දැනේවි. ඔයාගෙ ජීවිතේට සමීපවෙන ඒ පුද්ගලයා භෞතික වශයෙන් මේ ලොකෙ නොපවතින කෙනෙක් නම් තත්ත්වය කොහොම වේවිද?

Her චිත්‍රපටය දිගහැරෙන්නෙ තාක්ෂණය මේ පවතින මට්ටමට වඩා දියුණු එක්තරා යුගයක වෙන සිදුවීම් මාලාවක් විදිහට. තියඩෝර් කියන්නෙ තමන් ගෙ බිරිඳ ගෙන් වෙන් වෙලා හුදකලාව ජීවත් වෙන මනුස්සයෙක්. තියඩෝර් ගෙ රැකියාව අපූරු එකක්. ඒ තමා ආදරණීයයන්ට තමන්ගේ හැඟීම් කියා ගන්න බැරි, ඒකට වෙලාවක් නැති අය වෙනුවෙන් ලියුම් ලිවීම. මේ විදිහට අනුන් වෙනුවෙන් ආදර කතා ලිව්වට තියඩෝර් ගෙ ජීවිතය ඇතුලෙ තමන්ගෙම කියල ආදරයක් නෑ. වෙන් වුණු බිරිඳ ගෙ මතකය ඔහුට ගෙන එන්නෙ වේදනාවක් පමණයි. මේ අතරෙ තියඩෝර් ට දකින්න ලැබෙනවා මනුස්සයෙක් වගේ හිතන්න පුලුවන්, සන්නිවේදනය කරන්න පුලුවන් බොහොම අපූරු මෙහෙයුම් පද්ධතියක් (Operating System). තියඩෝර් මේ මෙහෙයුම් පද්ධතිය තමන්ගෙ පරිඝණකයට ඇතුලත් කරනව. පරිශීලකයා ගෙ අවශ්‍යතාව අනුව මහෙයුම් පද්ධතියෙ ගැහැණු පිරිමි බව, සහ තව මූලික කාරණා කීපයක් නිර්මාණය කරගන්න පුලුවන්. ඉතින් අවසානෙ තියඩෝර් ඉදිරිපිට ඉන්නෙ සමන්තා නම් ගැහැණු කෘතිම බුද්ධියක්! සමන්තාට පුලුවන් කටහඬින් ඉරියව් වලින් මනුස්සයෙකුගෙ මනෝභාවයන් තේරුම් ගන්න, අත්දැකීම් වලින් ඉගෙන ගන්න, සරලවම කිව්වොත් සමන්තා කියන්නෙ ශරීරය පමණක් අහිමි ගැහැණියක්. ටිකෙන් ටික සමන්තා සහ තියඩෝර් අතර සමීප සම්බන්ධතාවක් ඇතිවෙනව. ඔහුගෙ දේවල් මෙහෙයවන්න උදව්වෙන තැන ඉඳන්, ඔහු දුකට පත්වුණු මොහොතකත් සනසන්න නිතර ළඟ ඉන්නෙ මේ කෘතිම බුද්ධියක් වුණු සමන්තා. ඉතින් මේ දෙදෙනාගෙ සම්බන්ධතාව කොයිතරම් දුරකට යාවිද, කොහෙන් මේ දේවල් කෙළවර වේවිද.. මේ දේවල් දැන ගන්න නම් චිත්‍රපටය බලන්න වෙනවා.

Her 2014 ඔස්කාර් සම්මාන උළලේ හොඳම චිත්‍රපට අතරට යෝජනා වෙනව ඒ අතර හොඳම තිර රචනයට හිමි සම්මානය ලබනව. ඇහැට බොහොම ප්‍රියමනාප වර්ණාවලියක් චිත්‍රපටයට භාවිතාකරල තියනව. ඒ වගේම පසුබිම් සංගීතයත් සිත්ගන්නා සුලුයි. තියඩෝර් කියන්නෙ තරමක් වැඩිපුර සංවේදී මනුස්සයෙක් විදිහට අපි දකින්නෙ. ඔහු උණුසුම් විනෝදකාමි චරිතයක් වුණත් මේ සංවේදී තාවන් නිසා ජීවිතේ සමහර තීරණාත්මක අවස්ථා ඔහුට මගහැරෙනව. චිත්‍රපටයෙ අවසානය මෙහෙම වේවි, නැත්නම් මෙන්න මේක තමා සිද්ධවෙන්නෙ කියල හිතන්න පුලුවන් ඉඟි වරින් වර දකින්න ලැබෙනව නමුත් ඒක හරියටම දැනගන්න පුලුවන් කතාවෙ අවසානය ලං වෙද්දි. කොහොම වුණත් ඒ අවසානයට මම කැමතියි. Drama/ Romance වර්ගයෙ චිත්‍රපට වලට කැමති අයට ආදරයෙන් වැළඳගන්න පුලුවන් නිර්මාණයක් විදිහට her චිත්‍රපටය හඳුන්වන්න කැමතියි.





මට හිමි තැන


ඔබට පුලුවනි
මේ විසල් හෙවණේ
වාඩිවී
ඈත නොරටක
කළු වලාකුළකට
කවි පබඳින්න..

කොහේ හෝ සිට
හමා එන
සුළඟකට
එකවි
විසි කර දමන්න..

මංමුලා වුණ
තුරු පතකටත්
පුළුවනි
මං වගේ 
පාව විත්
ඔබේ උරහිසේ
රැඳෙන්න..

ගිලිහෙන්න පෙර
මොහොතකට
කෙහෙරොදක
දැවටි දැවටී
හිඳින්න..

හීතලම හීතල
වැහිතුඩු
වදින 
පපුවෙ හරි මැද
ඒ තමා 
ඔබේ කවි
මං ගාව
නතර වෙන තැන..

කිසිවක්ම
නොපවතින
නැතිනම්
කිසිවක්ම
ඇති බවක් 
නොපෙනෙන
අන්ධකාරේ 
ගැඹුරු පතුලක
ඒ තමා
ඔබේ හදවතේ
මට හිමි තැන...






Monday, October 22, 2018

Exam (2009)


රැකියාවකට අයැදුම් කරන කෙනෙකුට ඒ සඳහා තමන් කොයිතරම් සුදුසුද කියා තෝරාබේරා ගන්න සම්මුඛ පරීක්ෂණයකට සමහර වෙලාවට තරඟ විභාගයකට මුහුණ දෙන්න සිද්ධවෙනව. මේ විදිහේ විභාග වලට පෙනී ඉඳල අත්දැකීම් ලබපු අයට ඒ ගැන අවබෝධයක් ඇති. මෙතනදි රැකියා අපේක්ෂකයන්ට පිළිතුරු ලබාදිය යුතු ප්‍රශ්න මාලාවක් සහ නියමිත කාලයක් ලබා දෙනව. Exam කියන්නෙත් මේ වගේ රැකියා අපේක්ෂකයන් පිරිසක් මුහුණ දෙන එක්තරා විභාගයක් ගැන නිමවුණු චිත්‍රපටයක්. චිත්‍රපටය ධාවනය වන පැය එකහමාරකට ආසන්න කාලයක් ඇතුලත එකම පසුබිමක සිද්ධ වෙන සිදුවීම් සමූහයක් තමා දකින්න ලැබෙන්නෙ. එහෙනම් ඒක හරි නීරස අත්දැකීමක් වේවි කියල හිතනව නම් සහමුලින්ම වැරදියි.!

එක්තරා සමාගමක යම් තනතුරක් සඳහා සම්මුඛ පරීක්ෂණ මාර්ගයෙන් අවසානෙ අට දෙනෙකුව තෝරාගන්නව. අවසානෙ ඔවුන්ට සිද්ධ වෙනව යම් විභාගයකට මුහුණ දෙන්න. විභාගය පැවැත්වෙන කුටියට මේ අට දෙනා ඇතුළු වුණාට පස්සෙ විභාග පරීක්ෂකවරයා ඔවුන්ට අදාල වෙන නීති රීති පැහැදිලි කර දෙනවා. ලැබෙන කාලය විනාඩි අසූවයි. ඒ කාලය ඇතුළත ඔවුන්ට පිලිතුරු දීමට ඇත්තේ එක ප්‍රශ්නයකට යි. ඒ ප්‍රශ්නයටත් අවශ්‍ය එක පිලිතුරයි. මේ කරුණු පැහැදිලි කරන පරීක්ෂකවරයා ශාලාවෙන් පිටවෙලා යනව. අපේක්ෂකයන් තමන්ගේ ප්‍රශ්න පත්‍රය හරවා බලනව. නමුත් ඒ හිස් කඩදාසියක් පමණයි! කිසිම ආකාරයෙන් ප්‍රශ්නයක් වත් වෙනයම් දෙයක් වත් එතන නෑ. ඉතින් ඔවුන් ලැබී තියන කාලය ඇතුලත ප්‍රශ්නය සොයාගත යුතුයි!

ගැටලුකාරී අවස්ථාවක දි යම් පිරිසක් හැසිරෙන හැටි. මම මගේ යන ආත්මාර්ථය ඉස්මතු වෙන හැටි. මේ චිත්‍රපටයෙ නියමාකාරයෙන් පෙන්වා දී තිබෙනව. ඔවුන්ට ලැබිල තියන ප්‍රශ්නය මොකක්ද, රැකියාවට සුදුසුකම් ලබන්නෙ කවුද කියන කුතුහලය අවසානය දක්වා ඉහළින්ම රඳවාගන්න සමත් වෙනව. IMBD අගය තරමක් අඩු වුණත් කුතුහලය සපිරි හොඳ සිනමා අත්දැකීමක් ලබා දෙන චිත්‍රපටයක් විදිහට Exam හඳුන්වන්න කැමතියි!






යම් නොපෙනෙන මිනිසෙක් - An Invisible man


මේ අවන්හලේ
විදුලි එළි අඩ අඳුරේ
මගේ අසුනට යාබදව
බීර වීදුරුවක් තොල ගාමින් සිටියි
යම් නොපෙනෙන මිනිසෙක්..

හිරු ගිණියම් වන දහවලේ
නගරයේ මහ සෙනඟ මැද්දේ
සල් පිල් දිගු වීදි අතරේ
පිස දමා දමා නළලට එන ඩා බිඳු
උරින් දරා තම කුඩා දියණිය
ගමන් කරමින් සිටියි
යම් නොපෙනෙන මිනිසෙක්...

සංගීත සන්ධ්‍යාවේ 
රිද්මේ ඉහළ නැංවෙන මොහොතේ
තට්ටු කරමින් මේස කකුලකට
උච්ච ස්වරයෙන් ගැයෙන් ගීයකට
තාලය අල්ලයි
යම් නොපෙනෙන මිනිසෙක්...

ගලා එන මොටෝරථ පෙළ
අත දිගුකර නවත්වා මොහොතකට
මහළු මවක් වාරු කරගෙන
මාවතෙන් එතෙර කරවයි
යම් නොපෙනෙන මිනිසෙක්...

කණමැදිරි එළි විසිරුණු රෑ මැද
නිදිනොඑන දෑස් යුග අඩවන් කර
මේසය මත ඇති සුදු කඩදාසියක් මත
කාබන් පෑනකින් කටුගායි
යම් නොපෙනෙන මිනිසෙක්..

කාලයේ වල් බිහිවී වැඩී ගිය
සරු පොළවක පස් යට සීරුවට
හොවා වෙඩි උණ්ඩයකට සිදුරු වූ ළය
සීතලට ගුලි වී හිඳියි 
එක්තරා මිනිසෙක්..





Tuesday, October 2, 2018

සුළඟ


දුර ඈත සාගරෙන්
දිය බිඳක් අතින් ගෙන
සංවහන සුළං පැමිණේ
දකින්න කඳු නෑදෑ පිරිස..

සමහර සමහර
මල් උයන් වල ගෙවතු වල
නතර වුණු ගමන් ම ය
මඳ පවන..

සිඳුණු පසු නූල
අයාලේ ගියත් 
ඉහළ උඩු සුළඟෙ
සරුංගල
පාත සුළඟේ
කිසිදාක වෙන් නොවේ
දූවිලි පුසුඹ..





Thursday, September 27, 2018

Amadeus (1984)



18 වෙනි සියවසේ ඔස්ට්‍රියාවෙ සල්ට්ස්බර්ග් නුවර ජීවත් වුණ ලියෝපෝල්ඩ් කියන වයලීන වාදකයා දවසක් හරි අපූරු දර්ශනයක් දකිනව. එ් අවුරුදු පහක තරම් වයස තමන්ගේ පුංචි පුතා ගෙදර පියානෝව ලග වාඩි වෙලා කඩදාසියක මොනවද කුරුටු ගාමින් ඉන්න ආකාරය. මොනවද මේ පුතා කරන්නෙ? ලියෝපෝල්ඩ් පුතා ලගට ගිහින් අහනව. මම සංගීතය ලියනව තාත්තෙ. පොඩි එකා උත්තර දෙනව. පුංචි එකෙකුගේ තවත් විකාර වැඩක් කියල හිතන මේ ලියෝපෝල්ඩ් නිකමට පුතා ලියමින් හිටිය කඩදාසිය අරන් බලනව. එ් ඇත්තටම සංගීත ස්වර රචනාවක්! තමන්ගෙ පුතා ගෙ අසාමාන්‍ය කුසලතාව හදුනාගන්න තාත්තා ඔහුට තවදුරටත් සංගීතය ඉගෙනීමට යොමුකරනව. අවුරුදු හය වෙද්දි මේ පොඩි එකා සංගීත වාදන පවත්වමින් යුරෝපය පුරා ගමන් කරන්න පටන් අරගෙන. මේ ගමන නතර වෙන්නෙ එංගලන්තය, ඉතාලිය, ප්‍රංසය, ජර්මනිය ආදි රටවල් ගණනනාවක සංචාරය කිරීමෙන්. අවුරුදු අටේ දි මේ කොල්ල තමන්ගේ පළවෙනි සංගීත සංධ්වනිය ලියනව. අවුරුදු දහ අටක් වෙද්දි තමාගේම සංධ්වනි 30 ක් ඔහු නිර්මාණය කරල ඉවරයි. අවුරුදු තිස් පහක කෙටි ජීවිත කාලයක් ඇතුලෙ සංධ්වනි, කොනසර්ටෝ වාදන, දේවස්ථාන සඳහා ගායන, ඔපෙරා ඇතුලත්ව ස්වර රචනා 600 කට අධික ප්‍රමාණයක් ඔහු අතින් ලියවෙනව. මේ වෙන කවුරුවත් නෙමේ බටහිර සම්භාව්‍ය සංගීතෙ යුග පුරුෂයෙක් වුන Wolfgang Amadeus Mozart නැත්තම් අපි කවුරුත් දන්න විදිහට කිව්වොත් මෝ'ට්සාට්.  මෝ'ට්සාට්ගෙ ම සමකාලීන සංගීතඥයෙක් වුණ Joseph Haydn  කියපු විදිහට තව සියවස් ගණනකින් වත් මිනිස් ඉතිහාසෙ එ් වගේ දක්ෂ කමක් ආය පහළ වෙන එකක් නැහැ. 

 Amadeus  සිනමාපටය නිර්මාණය වෙන්නෙ මෝ'ට්සාට් ගෙ චරිතය මුල් කරගෙන වුණත් අපේ කතාවෙ කතා නායකයා නම් මෝ'ට්සාට් නෙමෙයි. වෙනත් පුද්ගලයෙක්. ඒ තමා ඒ වෙනකොට වියානාවෙ හිටිය ප්‍රධාන පෙළේ සංගීතඥයෙක් වුණ  Antonio Salieri. මොසාට් ගෙ මරණින් අවුරුදු ගණනාවකට පස්සෙ, මෝ'ට්සාට් ගෙ මරණෙට තමා වගකිවයුතුයි කියමින්, Salieri  උමතු රෝහලක ඉදගෙන කරන පාපොච්චාරණයක් විදිහටයි චිත්‍රපටයෙ  කතාව දිගහැරෙන්නෙ. Salieri  අත්දැකීම් බහුල දැනුමෙන් පොහොසත් සංගීතඥයෙක් වුණත්, ඔහු වඩා සාර්ථකත්වයට පැමිණෙන්නෙ, ඉහළ ජනප්‍රියත්වයක් හිමි කරගන්නෙ ඔහුටත් වඩා වයසින් බාල තරුණයෙක් වුණ මෝ'ට්සාට්. මේ නිසා  Salieri හිත යටින් මෝ'ට්සාට් ගේ නිර්මාණ වලට ආශා කරන ගමන් ඔහුට බොහොම දරුණු විදිහට ඊර්ෂ්‍යා කරන්න පෙළඹෙනව නිර්මාණකරුවන් අතරෙ මේ ඊර්ෂ්‍යාව කොයිතරම් දුරට යන්න පුලුවන්ද කියල අපිට බලන්න පුලුවන්.

කලාකරුවෙක් තමන්ගෙ නිර්මාණ වලින් තවත් කෙනෙකුට රසවින්දනයක් ලබා දෙන්නෙ තමාත් එය රස විඳින ගමන්. මේ ‘රහ‘ ගැන සංවේදී තාවය ඔහුගෙ ජීවිතේ ඇතුළෙම තියෙන්න ඕන. ඒ කියන්නෙ උපරිමයෙන් ම ජීවිතේ විඳින කෙනෙකුටම තමා තවත් කෙනෙකුව සතුටු කරන්නත් පුලුවන්. මෝ'ට්සාට් තුලින් අපි දකින්නෙත් මේ වගේ උතුරල පිටාර යන මනුස්ස ජීවියෙක් ව. නිතරම දෙපැත්ත කැපෙන විහිලු කතා කියන, රාජ සභාවක වුණත් කෑ ගහල හයියෙන් හිනාවෙන, උත්සව සාද මිතුරු ආශ්‍රයෙන් අඩුවක් නැති, මුදල් වියදම් කරද්දි සීමාවක් නැති අතීශය විනෝදකාමි චරිතයක් විදිහට තමා මෝ'ට්සාට් හදුනාගන්න පුලුවන්. A Musical Joke නමින් උපහාසාත්මක ස්වර රචනාවක් පවා මෝ'ට්සාට් නිර්මාණය කර තියනව. Salieri ගෙන් නියෝජනය වෙන්නෙ මේකෙ ප්‍රතිවිරුද්ධ  අන්තය. ඔහුට අවශ්‍ය ජනප්‍රිය වෙන්න. සාර්ථකත්වය ලබා ගන්න. මිනිස්සු තමන්ගෙ නිර්මාණ ගැන කතා වෙන හැටි දකින්න. මේ ගමනට බාධකයක් විදිහට තමා ඔහු මොසාට් ව දකින්නෙ. ඒ නිසා ඔහු නිතරම මෝ'ට්සාට් ගැන ඊර්ෂ්‍යාවෙනුයි පසු වෙන්නෙ. මෝ'ට්සාට් සහ Salieri දෙදෙනා දෙපැත්තෙන් තියල ඔවුන් දෙදෙනාගෙ වෙනස්කම් එකිනෙකා සැසදෙන විදිහටයි චිත්‍රපටය ගලා යන්නෙ.
    
Amadeus තිරගත වුණ අවුරුද්දෙ ඒ කියන්නෙ 1984 හොදම චිත්‍රපටයට හිමි ඔස්කාර් සම්මානය ඇතුලු  තවත් සම්මාන 8 මේ චිත්‍රපටය දිනාගන්නව. ඒ වගේම සම්භාව්‍ය සංගීතය ඒ තරම් ජනප්‍රිය නොවෙන බටහිර රටවලින් පවා  ඉහළ මට්ටමේ  ආකර්ශනයක් ලබාගන්න සමත් වෙනව. මොසාට්ගෙ චරිතය වාර්තාමය ස්වරූපයෙන් නැවත ඉදිරිපත් කිරීමට වඩා නිර්මාණාත්මකව එය නිරූපණය  කිරීමයි අද්‍යක්ශවරයා ගෙ අරමුණ වෙලා තියෙන්නෙ. ඒ නිසා Amadeus කියන්නෙ මෝ'ට්සාට් ගේ හැබෑ චරිත ස්වභාවත් සමහර සිදුවීම් කිහිපයකුත් උකහාගෙන නිර්මාණය කල ප්‍රබන්ධයක්. මෝ'ට්සාට් ගෙ මරණය සිදුවෙන්නෙ අධික උණ රෝගය නිසා බව තමා ඉතිහාසයෙ සඳහන් වෙන්නෙ. නමුත් චිත්‍රපටයෙ දි ඒ මරණයට ලබා දෙන්නෙ වෙනස් අර්ථකථනයක්. ඒ වගේම Salieri පවා මෝ'ට්සාට් ගෙ රසිකයෙක් බව තමා සඳහන් වෙන්නෙ. මේ නිසා Amadeus කියන්නෙ හුදු චරිදාපදානයකට එහා ගිය නිර්මාණාත්මක වෑයමක් විදිහටයි අපිට හඳුනගන්න පුලුවන් වෙන්නෙ. Drama / Historical චිත්‍රපට රසිකයින් මේකට බොහොම ප්‍රිය කරාවි.  මෝ'ට්සාට් කොයි වගේ චරිතයක් ද කියල හොඳින්ම වටහගන්න පුලුවන් ඔහුගේ කියමනකින් මේ සටහන අවසාන කරනව 

(මෝ'ට්සාට් ගෙ මං කැමතිම වාදනයක් මේ සමග ඇති)

Neither a lofty degree of intelligence nor imagination nor both together go to the making of genius. Love, love, love, that is the soul of genius.

-Mozart

"විශිෂ්ටයෙක් බිහිකරන්නෙ ඉහළ ගණයේ බුද්ධිය වත්, පරිකල්පනයෙන් වත්, මේ දෙකම සම සමව වත් නෙමෙයි. ආදරය කරන්න.. ආදරය කරන්න , පුලුවන් තරමක් ආදරේ කරන්න. විශිෂ්ටත්වයෙ සාරය ඒක තමයි"

- මෝ'ට්සාට් 




මෝ'ට්සාට් by Barbara Krafft in 1819



වයස 14 දී මෝ'ට්සාට් by Saverio Dalla Rosa