Friday, November 15, 2019

මල් පඳුර


"දැන් ඉතින් තවත් මොකටද
එක මලක් වත් පිපෙන්නෙ නැතුව..
කපල දාමු මේ මල් පඳුර"

"මම කියන්නෙ අපි ඉවසමු
ගිම්හානෙ ගෙවුණම
මල් පිපේවී ආයෙම
මලක් දෙකක් නොදුන්නට
ගහක් කපන්නම ඕනැ ද?"

"ඒ වුණාට
අයිති නොවෙන මල් වලින් වැඩක් තියනවද?."
.........................................

ඊළඟ උදෑසනම
ඈ කපා දමා තිබුණා මල් පඳුර
හිස් ව තිබුණා
ඇගෙ කුටිය..

මූසලම මූසල
මහ පාලු ගතියක්
හුළඟක් වගේ හමමින් තිබුණා දස අත..

ඈ නික්ම ගොස් තිබුණා
කෙටි සටහනක්වත් නොතබාම
.....................................

කවදාක හෝ යළි
මෙතැන පසු කර යන විට
පෙනේවි ද ඇයට
මේ හිස් බිම් කඩ..

ඇසේවිද
මට මෙන්ම
අතු ඉති සිඳ දැමුවාට
තවමත් හුස්ම ගන්නා හඬ
භූගතව ඉතිරි
මුල් රැස..





Wednesday, November 13, 2019

හොලිවුඩයේ අවසන් සුපිරි තරුව

1970 දශකයේ මැද භාගයේ දවසක, ඉතාලියේ ෆ්ලොරන්ස් නුවර  කෞතුකාගාරයක, ලියනාඩෝ ඩා වින්සි ගේ සිතුවමක් නරඹමින් සිටින්නේ ජර්මන් රුසියන් සම්භවයක් ඇති ඉමර්ලින් නම් තරුණියක්. ඇය විවාහ වී සිටියේ ඉතාලි ජාතික කොමික් රචකයෙක් සහ බෙදාහරින්නෙක් වුණ ජෝර්ජ් ඩිකැප්රියෝ සමගයි. ඒ වනවිට ඇයගේ කුසේ දරුවෙක් පිළිසිඳගෙන තිබුණා. සිතුවම නරඹමින් සිටි ඇයට හදිස්සියේම තමන්ගෙ කුස තුළින් යමක් සිදුවුණු බව දැනුණා. ඇයට තම දරුවාගේ පහස මුලින්ම දැනුණ තැන එතැනයි. මේ අවස්ථාව සදානුස්මරණය කරන්න ඈ තමන්ගේ දරුවාව ලියනාඩෝ නමින් නම් කරනව. පසුකාලීනව මේ දරුවා මුළු ලෝකයේම සදානුස්මරණීය චරිතයක් වේවියි ඈ හීනෙකිවන්වත් නොසිතන්න ඇති.

දරුවාගේ සම්පූර්ණ නම ලියනාඩෝ විල්හෙල්ම් ඩිකැප්‍රියෝ. 

ඔහු 1974 නොවැම්බර් 11 වන දින කැලිෆෝනියාවේ ලොස් ඇන්ජලීස් නගරේ උපත ලැබුවා.

ලියනාඩෝ ගේ දෙමව්පියන් ඔහුට වයස අවුරුද්දක් වෙනකොට එකිනෙකාගෙන් වෙන් ව නිදහස්ව ජීවත් වෙන්න තීරණය කරනව. ඔවුන් එක ලඟ නිවාස දෙකක වාසය කරන්නෙ ලියනාඩෝට මව් පිය දෙදෙනාගේම ආදරය අහිමි නොවෙන්න යි. නමුත් ඔහු වැඩිපුරම ජීවත් වෙන්නෙ මව සමග.

කුඩා කාලේ ඉදන්ම රඟපෑමට ආසා කරන ලියනාඩෝට  “ලෙනී විලියම්ස්” වේදිකා නාමය යටතේ රූපවාහිනී වෙළඳ දැන්වීම් සහ අධ්‍යාපන වැඩසටහන් ගණනාවක පෙනී සිටීමට අවස්ථාවක් ලැබෙනව.

ලියනාඩෝ පුහුණු වෙන්නෙ සුප්‍රසිද්ධ හොලිවුඩ් ස්ටන්ට් වරයෙක් සහ රංගන උපදේශකයෙක් වුණ Thell Reed ලඟ. Brad Pitt, Edward Norton, Russell Crowe, Ben Foster .. Thell Reed යටතේ රංගනය පුහුණු කල අය.

රෝසැන් (1988) සහ ද නිව් ලැසී (1989) වැනි රූපවාහිනී කතා මාලා කිහිපයකම චරිත නිරූපණය කරන ඩිකැප්‍රියෝ නිෂ්පාදකයන්ගේ අවධානය දිනා ගැනීමට පටන් ගත් නමුත් 1991 වන තුරුම ඩිකැප්‍රියෝ සිනමා රංගනයට පිවිසෙන්නෙ නෑ. ඔහු සිනමා රංගනයට පිවිසෙන්නෙ ක්‍රිටර්ස් 3 (1991) අඩු වියදම් ත්‍රාසජනක චිත්‍රපටයෙන්.

1994 දී  Whats eating gilbert grape චිත්‍රපටයෙ මානසික ආබධයකනින් පෙළෙන දරුවෙකුගේ චරිතය නිරූපණය වෙනුවෙන් ඔහු හොඳම සහායක නළුවා විදිහට ඔස්කා සම්මානය සදහා නිර්දේශය ලබනව. මේක ඩිකැප්‍රියෝ ගේ රංගන ජීවිතයේ පළමු වැදගත් සංධිස්ථානය විදිහට හඳුනාගන්න පුලුවන්.

The Basketball Diaries (1995) සහ Romeo + Juliet (1996) චිත්‍රපට වල ප්‍රධාන චරිත නිරූපණය කරමින් මහජන පිළිගැනීමක් ලබා ගත්තත් ඔහුගේ සිනමා ජීවිතේ පුපුරා යෑම සිද්දවෙන්නෙ ජේම්ස් කැමරන්ගේ Titanic (1997)  චිත්‍රපටය එක්ක. ලියනාඩෝ ඩිකැප්රියෝ නාමය උන්මාදයක් වගේ ලොව පුරාම තරුණ තරුණියන් අතරේ පැතිරී යනව. ඩිකැප්‍රියෝ ගේ රුව මුද්‍රිත කමිස තරුණයන් අතරෙ විලාසිතාවක් බවට පත් වෙනව. ඔහුගේ කොණ්ඩ මෝස්තරය බොහෝ අය අනුකරණය කරනව. එක රැයින් ඩිකැප්‍රියෝ තරුණියන්ගේ සිහින කුමරා බවට පත්වෙනව.

ඉන් පස්සෙ ඔහු නොයෙක් ආකාරයේ චිත්‍රපටවල රංගනයේ යෙදුනත් හැමවිටම ගුණාත්මකභාවයෙන් උසස් හොඳ නිර්මාණ තෝරා බේරාගෙන රගපෑම නිසා එක රැයින් මතුවෙලා නොපෙනී යනව වෙනුවට සිනමාව ඇතුලෙ නොමැකෙන විදිහට තම නාමය සටහන් කරන්න ඔහු සමත් වෙනව.

2015 දී ඔහු The Revenant චිත්‍රපටයේ රංගනය වෙනුවෙන් හොලිවුඩයේ නළුවෙකුට ලබාගතහැකි ඉහළම සම්මානය වෙන ඔස්කා සම්මානයෙන් පිදුම් ලබනව.

ලියනාඩෝ ඩිකැප්රියෝ තමන් කැමතිම චිත්‍රපට දහය විදිහට හදුන්වාදෙන්නෙ මෙන්න මේ සිනමා නිර්මාණ.

2001 a space odyssey (1968)
Bicycle Thieves (1948)
Taxi Driver (1976) 
Lawrence of Arabia (1962)
8½ (1963) 
The Third Man (1949) 
Yojimbo (1961) 
Sunset Boulevard (1950) 
The Shining (1980)  
East of Eden (1955).

ලියනාඩෝ තමන් කැමතිම නිළිය විදිහට හදුන්වා දෙන්නෙ Meryl Streep....Robert De Niro සහ  Jack Nicholson ඔහු කැමතිම නළුවන් දෙදෙනා...Martin Scorsese ඔහුගේ ප්‍රියතම අධ්‍යක්ෂ වරයා.

සිනමා රංගනයෙන් නොනවතින ඩිකැප්‍රියෝ සොබාදහමේ යහපැවැත්ම වෙනුවෙනුත් තමන්ගෙ දායකත්වය දෙනව. ඒ සඳහා ඔහු "ලියනාඩෝ ඩිකැප්‍රියෝ පදනම" නම් සංවිධානය පිහිටුවනව.

2010 නොවැම්බරයේදී ඩිකැප්‍රියෝ රුසියාවේ කොටි ආරක්ෂාකරගැනීම සදහා වන සමුළුවේදී වනජීවී සංරක්ෂණ සංගමයට ඩොලර් මිලියනයක් පරිත්‍යාග කරනව.

2013 දී ඔහු නේපාලයේ කොටින් බේරා ගැනීම සඳහා ඩොලර් මිලියන 3 ක් පරිත්‍යාග කරනව.

සාගර ජීවීන් බේරා ගැනීම සඳහා 2014 දී ලියෝගේ පදනම ඩොලර් මිලියන 3 ක් ලබා දෙනව

2014 දී ඔහු දේශගුණික විපර්යාස පිළිබඳ එක්සත් ජාතීන්ගේ නියෝජිතයෙකු ලෙස පත් කරනව

පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන් සහිත නිවාඩු නිකේතනයක් ඉදිකිරීම සඳහා ලියෝ 2005 දී බ්‍රසීලයේ බෙලීස් වෙරළට ඔබ්බෙන් අක්කර 104 ක දූපතක් මිලදී ගන්නව.

බොහෝ අය ලියෝව හඳුන්වන්නෙ හොලිවුඩයේ අවසන් සුපිරි තරුව විදිහට. ඔහු වැඩ කරන්නෙ Martin Scorsece, Steven Spielberg, James Cameron, Christopher Nolan, Clint Eastwood, Tarantino වගේ හොලිවුඩයේ දැවැන්තයන් එක්ක. මෙතෙක් ඔහු රඟදක්වා තියෙන්නෙ සුපිරි වීර චරිත වලට වඩා යතාර්ථයට සමීප මහ පොළවේ චරිත. බොහෝවිට ඔහු නිරූපණය කර තියෙනෙ මානසික අරගලයක යෙදෙන හුදෙකලා මිනිසෙක්ව. කොහොම වුණත් ඒ හැම සිනමාපටයක්ම වගේ ආදායම් අතින් සාර්ථක වෙනව වගේම ප්‍රේක්ෂකයන් අතරත් ඉහළ පිළිගැනීමක් ලබාගන්න සමත්වෙනව. මෑත කාලීනව බිහිවුන නළුවන් අතරේ මේ තරම් සාර්ථකත්වයක් ලැබූ වෙන කෙනෙක් නැති තරම්. ඒ නිසා අවසාන සුපිරි තරුව නමින් ඔහුව හැඳින්වීම වරදක් නෑ.

අද දවසේ (2019/11/11) උපන්දිනය සමරන මේ හොලිවුඩයේ සදාතනික සිහින කුමරාට සුබ උපන්දිනයක් පතන්නේ මිනිසෙක් විදිහට සොබාදහමේ පැවැත්ම වෙනුවෙන් ඔහු කරන වැඩ කොටස මේ මිහිතලයේ හැම මනුෂ්‍යයෙක්ම ආදර්ශයට ගතයුත්තක් බව කියමින්..



ළදරු Leo දෙමාපියන් සමග....


Whats Eating Gilbert Grape (1993)


Basketball Diaries (1995)


Romeo + Juliet (1996)


Titanic (1997)


Catch me if you can (2002)


Departed (2006)


Django Unchained (2012)


Revenant  (2015)


Revenant චිත්‍රපටයේ රංගනය වෙනුවෙන්  Oscar සම්මානය දිනාගනිමින්


2014 දී ඔහු දේශගුණික විපර්යාස පිළිබඳ එක්සත් ජාතීන්ගේ සමුළුව අමතමින්


Monday, November 11, 2019

ඈ නොමැති හැන්දෑව

ඈ නොමැති හැන්දෑව
බීර සුවඳින් පිරෙන..

බීර බඳුනක
රන් පාට තැවරුණ
මළානික ඉර දියවෙවී දියවෙවී
ආකහේ වැක්කෙරෙන..

ගොර ගොර හඬින් කැරකෙන
තටු බුරුල විදුලි පංකාවේ සුළඟ
පපුවේ හැපී හීගඩු පිපෙන..

යහනතේ
පසෙකින් සුවිසාල ඉඩකඩේ
ඉතිරි වන මතක සාගරේ
කරවටක් මං තනිව ගිලෙන..

ඈ නොමැති හැන්දෑව ..
කවුළුපත් අගිස්සෙන්
ගෙට එන සියුම් කළුවරට
ආයෙමත් ආදරේ හිතෙන...



Friday, November 8, 2019

පෙලිකන් කුරුල්ලෝ....

වසන්තේ ඇවිදින් ආයෙම
මග දෙපස වසාගෙන
පාට කොඩි ලෙළදෙන..
ගස් ගල් තාප්ප බිත්ති පුරා
හිනාවෙන මුහුණු එක රැයින් මතුවෙන..

මංසන්ධි අහුරගෙන
ඔල්වරන් ප්‍රීති ඝෝෂා මැද
ලවුස්පීකර් කතා වෑහෙන..

ගම්මානෙ කෙළවර
අලුත් වී ඇත පැරණි වැව
ජපන් ජබර සැල්වීනියා පිස
රැළි නඟා පල් වතුර

කවුරුන් හෝ මෙතැනට
කොහෙන් හෝ ගෙනවිත් දැමුව
පෙලිකන් කුරුල්ලන් රෑනකි
පිහිනා යන වැව් දිය මත..

සලයි උන් කිලිටි අත්තටු
වැවේ මඩ පාටටම සැසඳෙන
වක ගැසුණු හොටයෙන්
පීරමින් වැව් දිය
සොයයි තිත්තයන් කොරළින්
ගොදුරට..

පිරුණු පසු කුස
රැස්වෙති උන් පාට කොඩි හෙවණට
අලසව වැතිරී බිම
අඩවන් බොරපැහැති දෑසින්
බලාගෙන හිඳියි දුර ඈතක
ගිණි අව්ව වැසි සුළං මැද
ගලායන මිනිස් ගඟ දෙස..




Wednesday, November 6, 2019

To kill a mockingbird


කලු සුදු වර්ණභේද වාදය කියන්නෙ කාලයක් ඇමරිකාවේ බොහොම බරපතළව තිබුණ දෙයක්. වහල් භාවයෙන් නිදහස ලැබුවත් කලු ජාතිකයන්‍ට සමාජයෙ හිමිවුණේ පහත් තැනක්. ඉතින් ඇලබාමා ප්‍රාන්තෙ මේකොම්බ් කියන පිටිසරබද පුංචි ගම්මානෙත් මේ තත්ත්වය වැඩි වෙනසක් වුණෙ නෑ. මේ වගේ පසුබිමක මේකොම්බ් ගමෙ ජීවත්වෙන ඇටිකස් ෆින්ච් කියන නීතීඥවරයාත් එයාගෙ පුංචි දරුවන් දෙදෙනාත් වටා තමයි කතාව ගොඩනැගෙන්නෙ. ඇටිකස් මහත්මයාගෙ අවුරුදු අටක් වයස පුංචි දියණිය ජින් ලුවිස් නැත්තම් කවුරුත් කියන විදිහට "ස්කවුට්" තමා මේ කතාව අපිට කියන්නෙ. ටොම් රොබින්ස් කියන කලු ජාතිකයා අසාධාරණ විදිහට ස්ත්‍රි දූශන චොදනාවක් ලබනවා. ටොම් වෙනුවෙන් උසාවියෙ පෙනී ඉන්නෙ ඇටිකස් ෆින්ච් මහත්මයා.  මේ නිසා ජින් ලුවිස් ටත් එයාගෙ අයියාටත් පාසලෙදි නොයෙක් කෙණෙහිලිකම් වලට ලක් වෙන්න සිද්දවෙනවා. ඇටිකස් මහත්මයාත් සමාජයෙ අවමානයට ලක්වෙනව. පුංචි දරුවෙක් ගෙ ඇහින්, වැඩිහිටියන්ගෙ ලෝකයේ මේ අඳුරු පැතිකඩ පෙන්නා දෙන්නෙ වෙලාවකට පුදුමාකාර උපහාසයකින්, තවත් වෙලාවකට හදවත කම්පා කරවන තරම් සංවේදිකමකින්. කියවන්නාට කොයිමොහොතකවත් අතින් බිම  තියන්න නොහිතෙන තරම් රසවත්ව ලියවිලා තියන මේ නවකතාව පුලිස්ටර් සම්මානය පවා දිනාගෙන තියනවා. ඒ වගේම ලෝකයෙ මෙතෙක් වැඩියෙන්ම අලෙවි වුණ නවකතා අතරෙන් එකක් විදිහටත් මෙය සැලකෙනවා.  යටින් දැක්වෙන්නෙ පොතේ මගෙ හිතගත්ත තැනකින් උපුටනයක්.

 ***************************************

"ස්කවුට්...මේ නිවාඩුවෙදි හුඟක් වෙලාවට ඔයාලට එහෙම ඉන්න වේවි. ඒවගේ කරදර එනකොට මූණදෙන්න අයියයි ඔයයි පුංචි වැඩියි. ඒත් සමහර වෙලාවට කරදර මැද්දෙ අපි හොඳින් ඉන්න උත්සහ කරන්න ඕනෑ. මට කියන්න තියෙන්නෙ පුතාලා ලොකුවෙලා ආපහු හැරිල බලන දවසක පුතාට තේරේවි තාත්තා ඔයාගෙ බලාපොරොත්තු කඩකරලා නැති බව. මම ටොම් රොබින්ස් ට උදව් කලේ නැත්තම් පල්ලියට ගිහින් මගේ හිතට එකඟව දෙවියන්ට යාඤා කරන්න බෑ"

"තාත්තේ ඔයාට වැරදුනාද දන්නෙ නෑ.."

"ඒ කොහොමද දුවේ?"

"හුඟ දෙනෙක් හිතන්නෙ තාත්තා වැරදියි කියල, එයාල හරි කියල"

"ඒ අයට ඒ විදිහට හිතන්න අයිතියක් තියනවා දුවේ. ඒත් මං එයාල එක්ක ජීවත්වෙන්න කලින් මගේ හිතත් එක්ක ජීවත් වෙන්න ඕනෑ. හුඟදෙනෙක් කියන හින්දාම මගේ තීරණය වැරදි වෙන්න බෑ"

************************************

-To kill a mockingbird / Harper Lee
-සුදු කලු
-සිංහල පරිවර්තනය චිත්‍රා අයි පෙරේරා
-විදර්ශන ප්‍රකාශන


To kill a mockingbird නවකතාව ඇසුරෙන් නිමවුණු සිනමාපටයෙන්.







Monday, November 4, 2019

පැණි කුරුල්ලනේ... නිල් කොබෙයියනේ... ගිය තැනකින් වරෙල්ලා....


පෘථිවියේ ඇති ශාඛ වර්ග වලින් හරි අඩකටත් වැඩි ප්‍රමාණයක් සහ සමස්ත වනගහණයෙන් 83% ක් පමණ මේ වන විට සහමුලින්ම විනාශ වී ඇති බව සඳහන් සටහනක් මෑතකදි මුහුණු පොතේ බොහොම දෙනක් බෙදාගෙන තිබුණ. ඒවගේම නිතරම කුමක් හෝ වර්ගයක සත්ත්වයෙක් මිහිතලයෙන් වඳවී ගිය බව වාර්තා වෙනව. මේ කිසිදෙයක් මිනිස්සු හිතාමතා කළ දේවල් නොවුණත් දියුණුව සංවර්ධනය කියමින් සොබාදහමේ පැවැත්ම ගැන යන්තම් වත් නොතකා සිදුකරන මිනිස් ක්‍රියාකාරකම් වල සමස්ත ප්‍රතිඵලය මේකයි. මිනිසා කියන්නෙ සොබාදහමේ පාලකයා නොවෙයි ඔහුත් සොබාදහමේ කොටසක්. ඒ නිසා පරිසරය විනාශ කරගන්නව කියන්නෙ මිනිස්සු විනාශ කරගන්නෙ තමන්ගෙම පැවැත්මයි. මොනදේ වුණත් ගස් කොලන් සත්තු ඇළ දොළ එක්ක අමුතු රොමාන්තික බැඳීමක් මිනිස්සුන්ට තියනව. අහස උඩින් බැඳුන තුරුවියනක් යට ගලන දොලපාරක නාදය අහගෙන හමන සීතල සුළඟක පහස විඳින්න අකමැති මනුශ්‍යයෙක් මේ ලෝකෙ නැතිව ඇති. නමුත් දැන් ඔහු ආපසු හැරෙන්න නොහැකි තරම් විනාශයේ මාවතේ බොහෝ දුරක් ඇවිත්.


ලූෂන් බුලත්සිංහලගේ පද රචනාවට, සරත් දසනායක ගේ සංගීතයෙන් මිල්ටන් මල්ලවාරච්චි ගායනා කරන "පැණි කුරුල්ලනේ" ගීතය සොබාදහමේ ක්‍රමයෙන් සිදුවන විපර්යාසය අපූරුවට පෙන්වා දෙනව.



පැණි කුරුල්ලනේ ..නිල් කොබෙයියනේ
ගිය තැනකින් වරෙල්ලා
පුංචි පුතා ඇවිල්ලා...



පැණි කුරුල්ලන් නිල් කොබෙයියන් සහ නොයෙක් ආකාරයේ කුරුල්ලන් කාලයක් අපි අවට පරිසරයේ නිතර දකින්න ලැබුණ. ඒත් දැන් උන් එදා තරම් දකින්න නෑ.
අලුත් පරම්පරාවක් ලෝකෙට බිහිවෙමින් ඉන්නව "පුංචි පුතා ඇවිල්ලා" ඒත් එදා අපි එක්ක මේ ගහකොළ බෙදා ගත්ත පැණි කුරුල්ලන් නිල් කොබෙයියන් දැන් අපි අතර නෑ..



කොහෙද උන් ගියේ??



අඹ දඔ නාරං ගස් යට 
කජු පුහුලන් මොර ගස් යට
අපි වගේම ලුණු පනින්න කැට පොල විදලා..



අපේ පුංචි කාලය ගත වුණේ කජු ගස් වලට නැගල පුහුලන් කඩාගෙන කමින්, අඹ ගස් වලට පොලු ගහල අඹි ගෙඩි බිම දමමින්, කෝකිරිල්ල තුවක්කු වලින් සෙල්ලම් කරමින්, මිදෙල්ල මල් වැල් කඩාගෙන මාල හදමින්. අලුත් පරම්පරාව බිහිවෙද්දි ඉතිරි වෙලා තියෙන්නෙ අර අපිට හෙවණ දුන්න ගස් කොලන් කිසි දෙයක් නොමැති ලෝකයක්. ඔවුන් ගේ අලුත් ලෝකය අපිට වඩා බොහොම වෙනස්. මේ වෙනස ඇතිවුණේ කොහොමද...



පුංචි පුතා එන්න කලින්
උන් හිටිතැන් නැතිවුනදා
ගහට ගහක් මුණ ගැහෙන්න
බැද්ද ගිහිල්ලා..



ක්‍රමයෙන් වෙළඳ පොළ මුල් කරගත්ත පරිභෝජනවාදී ක්‍රමය බලවත් වෙද්දි ගස් පවා මුදලට විකිණී ගිහින් "ගහට ගහක් මුණගැහෙන" ලී මඩුවකින් අවසන් වෙලා.



ඇලේ වතුර නිල් කැටේට
දණ්ඩි කොරලි යන වටේට
කිමිදි කිමිදි පීනන්නට දියබුං ගහලා..



ගස් පමණක් නොවේ ඇළ දොළ වැව් වල පවා පිරිල තිබුණෙ නිල් පාට බබළන පිරිසිදු වතුර. වතුරෙ බැහැගෙන තිත්තයො, දණ්ඩි, පෙතියො, ලූල්ලු, මඩකරි, හුංගො අල්ලමින් ගතවුණේ අපේ ළමා කාලෙ. ඒත් දැන් මොකද වෙලා තියෙන්නෙ.



පුංචි පුතා එන්න කලින්
කළු දිය දහරා හැළිලා
ඇළට පාර අමතක වී මං මුලා වෙලා..



දැන් ඇළකට දොළකට බහින්න බෑ. ළඟින් යනකොටත් එන්නෙ පල් ගඳක්. ඒව අද කවුරුත් බාරගන්නෙ නැති මිනිස්සුන්ගෙ කුණු කන්දල් එකතු කරන මද්‍යස්ථාන බවට පත්වෙලා...



"ඇළට පාර අමතක වී මං මුලා වෙලා"



මුලු මිනිස් සමාජයක්ම යන්නෙ කොහෙද නොදැන මංමුලාවේ අතරමං වී ඇති බවද මේ කියන්නෙ...?



ගීතයේ සංගීතය ගැන කිව්වොත් ඒක 6/8 තාලයට තරමක් වේග රිද්මයෙන් ගලා යන්නක්. තනුව Major chords යොදාගෙන නිමවා තියෙන නිසා සතුටු දායක විනෝදජනක හැඟීම් දනවන්නක්. ඇත්තටම මේ ගීතය අහද්දි දැනෙන්නෙ සතුටු දායක බොහොම ප්‍රසන්න හැඟීමක්. නමුත් මේ ගීයේ අරුත් විමසා බැලුවොත් ඒක එහෙම විනෝදෙන් කතාකරන්න පුලුවන් දෙයක් නොවෙයි. සංගීතයෙ මිහිරියාව එක්ක බොහොම දුක්බර දෙයක් මේ ගීතය ඇතුලෙ තියෙන්නෙ. ඒ නිසා සංගීතයෙන් ගීයේ අරුත තරමකට යටපත් වෙලා තියනව. නමුත් පද රචනාව වෙනම කියවා බැලුවොත් ඒ අදහස තේරුම් ගන්න පුලුවන්.



දැන් අපි සියලු දේ අතහැරල ආපහු අතීතයට යමු කියන දේ නොවෙයි කියන්නෙ. අපි මිනිස් සංහතියේ දියුණුව කරා යන ගමන වැටිල තියෙන්නෙ සොබාදහමෙ මළගම උඩින් නම් ඒ මිනිස් වර්ගයාගෙත් මළගම බව තේරුම් ගතයුතුයි. එක්කො මිනිස්සු පරිසරයත් ආරක්ෂා වෙන ආකාරයෙ සංවර්ධන මාවතකට එන්න ඕන. නැත්නම් සියලු දේ විනාශ කරගෙන අපිත් වඳවී යන්න ඕන. දැන් මිනිස්සු වඩාත් කිට්ටු ඔය දෙවනි විසඳුමට..

මිල්ටන් මල්ලවාරච්චි

ලූෂන් බුලත්සිංහල

සරත් දසනායක


Friday, November 1, 2019

Taxi Driver (1976)


ඇඳිරි වැටීගෙන එනකොට කොළඹ නගරෙ එකම කඩිගුලක ස්වරූපයක් ගන්නව. ආකාසෙ වැහි බීරමක් එක්ක යන්තම් හීනි පොදයක් වැටෙනව දැන්. වෙහෙසකාරී බව මුහුණේ තවරාගෙන වැස්සට කලින් ගෙදර යාගන්න මිනිස්සු වේගෙන් වේගෙන් එහෙමෙහෙ දුවනව. ඔය අතරෙ ෆ්ලෝටින් මාකට් එක පැත්තෙ ඉඳන් හෙමින් හෙමින් ඇවිදගෙන එන හුදෙකලා මිනිසෙකුට දකින්න ලැබෙන්නෙ මොනවද?. එක පැත්තකින් අහසෙ ගෑවෙන නොගෑවෙන ගාණට උසට උසේ හිටගෙන ඉන්න නෙළුම් කුළුණ. ඒ එක්කම ටිකෙන් ටික උස යන නානාප්‍රකාර ගොඩනැගිලි පෙළ. නාස්පුට කඩාගෙන වදින බේරෙ වැවේ දුර්ගන්ධය. වැහි අඳුර එක්ක තැවරුණ පාලුව. හිනා මූණක් නැතුව තරඟෙට වගේ ඔහේ දුවන මිනිස්සු... මේ දේවල් මැද්දෙ හුදෙකලාවේ ඇලීගැලුනු මිනිසාට දැනෙන්නේ මොකක්ද..?

ළඟම තියන ලොතරැයි කූඩුවක ගොරහැඩි සද්දෙන් ඇහෙනව ප්‍රවෘත්ති විකාශයක්. මොනවද අපේ හුදකලා මිනිසාට අහන්න ලැබෙන්නෙ... දූෂිනය, භීෂනය අපරාධ, ඒ අතර දේශපාලකයන් ගේ සුරංගනා කතන්දර..

"මේ මොන මඟුලෙ සමාජ ක්‍රමයක්ද..!"

අපේ හුදකලා මිනිසාට හිතෙන්නෙ එහෙම. ඔහුගෙ විතරක් නොවෙයි, මේක නිව්‍ යෝක් නගරෙ තනිවම සැරිසරන මිනිසෙකුගේත් අත්දැකීම..!

Paul Shrader නම් තරුණ පිටපත් රචකයාට තමන්ගේ මේ නාගරික හුදෙකලාවේ ජීවිත අත්දැකීම සිනමාවට නගන්න ඕන වෙනව. Travis Bickle නම් ටැක්සි රියැදුරෙක් මුල් කරගෙන Taxi Driver චිත්‍රපටය නිමැවෙන්න වස්තු බීජය සැපයෙන්නෙ එහෙම.

Taxi Driver ආරම්භ වෙන්නෙ රාත්‍රියේ දුමාරය මැදින් මතුවෙන ටැක්සි රථයක දර්ශනයකින්. ටැක්සිය දුමාරයෙන් මතුවෙන්නෙ එක්තරා ආකාරයක අනපේක්ෂිත විදිහකට. හරියට වෙනත් ලෝකෙකින් ප්‍රාදූර්භූත වුණා වගේ ටැක්සි රියැදුරාගෙ ආගමනය සනිටුහන් වෙන්නෙ. ඒක මම චිත්‍රපටයක දැක්ක ප්‍රබලතම ආරම්භක දර්ශනයක්. ඊලඟට ටැක්සිය ඇතුලෙ ඉඳන් බොඳවුණු ස්වභාවයෙන් අපි දකින නගරය. Opening credits යන්නෙ ඒ අතරෙ. Travis Bickle රියැදුරු රැකියාවට ඇතුල්වෙන හැටි ඉන්පස්සෙ දර්ශන පෙළෙන් දිගහැරෙන්නෙ. 

"I cant sleep nights"

මේ තමා ඔහුගේ මුවින් ගිලිහෙන මුල්ම වචන කිහිපය. ඔහු රාත්‍රීයේ රියැදුරු රැකියාව තෝරාගන්න හේතුව තමා ඒ. ඔහු insomnia එහෙම නැත්නම් නින්ද නොයෑමේ රෝගයෙන් පෙලෙන්නෙක්. ඉන්පස්සෙ ඇතිවෙන කෙටි සංවාදය Travis ගැන මූලික තොරතුරු කීපයක් නිරාවරණය කරනව. 

ඉන්පස්සෙ මුලු චිත්‍රපටයම දුවන්නේ Travis ගේ චරිතය මුල්කරගනිමින්. ඔහු නොමැති දර්ශනයක් නැති තරමට. නාගරික තරඟකාරී ජීවිතය ඇතුලෙ දැනෙන හිස් කම පාලුව සාංකාව යටපත් කරගන්න ඔහු දරන වෙහෙස චිත්‍රපටය පුරාම තියෙන්නෙ. Travis තමන්ගෙ හුදෙකලාවේ අත්දැකීම් දිනපොතක ලියනව. ඒ සටහන් මේ චිත්‍රපටය ඇතුලෙ කතා කරනව. මේ අමුතු, හුදෙකලා මිනිසාගෙ ඇතුලාන්තය දිහාවට ආලෝක දහරක් මේ සටහන් තුළින් එල්ල වෙනව.

“Loneliness has followed me my whole life. Everywhere. In bars, in cars, sidewalks, stores, everywhere. There’s no escape. I’m God’s lonely man.”

Travis වියට්නාම් යුද්ධයට සහභාගි වුණ, ඇමරිකානු හමුදාවෙ හිටපු මැරීන් සොල්දාදුවෙක්. වියට්නාම් යුද්ධයෙන් ඇමරිකාව අන්ත පරාජයක් ලැබුවා. මේ පරාජිත මානසිකත්වයත් ඔහුගෙ ජීවිත පැවැත්මට බලපෑමක් කරන්න ඇති. මෙහෙම හුදෙකලාවේ කාලය ගත කරන අතරේ දවසක් බොහොම රූමත් තරුණියක් ඔහුගෙ ඇසගැටෙනව. එදා පටන් ඇය ලුහුබැඳ යන Travis කොහොම හරි ඇය මුණගැහෙන්න අවස්ථාවක් හදාගන්නව. නමුත් ඔවුන්ගෙ දෙවැනි මුණගැසීමෙදි ඔහු අතින් වෙන වැරැද්දක් නිසා ඇය ඔහුව සදහටම හැර යනව. Travis ආයෙමත් හිටපු තැනමයි. ඒත් පෙරටත් වඩා අමිහිරි අත්දැකීමක් එක්ක...

Taxi Driver නරඹපු කෙනෙක්ට නම් හොඳට මතක ඇති දර්ශනයක් තමා Travis තමන්ගෙ සිත්ගත් තරුණිය ඔහු හැරගියාට පසුව දුරකථනෙන් අමතමින් නැවත ඇයට සමීප වීමට දරන උත්සහය. නමුත් ඇය දිගින් දිගටම ඔහුව ප්‍රතික්ෂේප කරනව. මෙතැනදි Travis දුරකථනෙන් කතා කරමින් ඉන්න දර්ශනයෙදි රූපරාමුව ක්‍රමයෙන් Travis ගෙන් ඉවත් වෙලා දොරක් දිහාවට හැරෙනව. Travis දුරකථනෙන් කතා කරන හඬ පමණයි ප්‍රේක්ෂකයාට අහන්න ලැබෙන්නෙ. මේ අවස්ථාවෙ Travis ගේ මුහුණෙන් පළවෙන බලාපොරොත්තු කඩවීමේ හැඟීම රූප රාමුවකට ගන්න බැරි තරම් දුක්බර නිසා මෙහෙම කල බව Taxi Driver අද්‍යක්ෂ Martin Scorsece කියනව. නමුත් චිත්‍රපටයෙ අගභාගයේ දි අපි දකින ලේ වැකුණු ප්‍රචණ්ඩකාරි දර්ශන ඉතාම සවිස්තරාත්මකව රූගත කර තිබෙනවා. බලාපොරොත්තු සුන්වීම, ප්‍රතික්ෂේප කිරීම පුද්ගලයින් මරාදැමීමට වඩා දරුණු බවද මෙතනින් කියැවෙන්නෙ?

චරිත ගොඩනැංවීම හා විකාශය අතින් Taxi Driver විශිෂ්ඨ මට්ටමක තියන්න පුලුවන්. Travis අවි ආයුධ භාවිතාවට යොමුවීම එවැනි තැනක්. අවි ආයුධ ගැන පෙළඹවීම ඔහුට ලැබෙන්නෙ තමන්ගෙ සේවාව ලබාගන්න මගියෙකුගෙන් (ඒ චරිතය නිරූපණය කරන්නෙ චිත්‍රපටයෙ අද්‍යක්ෂ Martin Scorsece මයි) දවසක් වෙළෙඳසැලකට කඩාවදින මංකොල්ල කාරයෙක් මරා දැමීමෙන් මේ වීරත්වය ගැන හැඟීම ඔහුට ආරෝපණය වෙන්නෙ. දරාගත නොහැකි තරමේ හුදෙකලාව, ආදරය අහිමිවීමේ වේදනාව, ඒකාකාරී ජීවිතය, නගරය පුරා ඉන්න හිත් පිත් නැති මෝඩ මිනිස්සු, මේ හැම පීඩනයකම කෙළවර වෙන්නෙ දූෂිතයන්ගෙන් නගරය බේරාගැනීමේ මෙහෙයුම, දවසක් තමන්ගෙන් ආරක්ෂාව පැතූ තරුණිය ගලවා ගැනීමේ සටන තමන්ට පැවරුණ දේවකාරියක් ලෙස ගැනීමෙන්. 

Thank God for the rain, which has helped wash away the garbage and trash off the sidewalks. ....... All the animals come out at night – whores, skunk pennies, buggers, queens, fairies, dopers, junkies, sick, venal. Someday, a real rain will come and wash all this scum off the streets.”

Taxi Driver අපිට කතාවක් කියන්නෙ නෑ. මේ චිත්‍රපටයෙ කතන්දරයක් නෑ. යම් කාලසීමාවක් ඇතුළත Travis Bickle කියන ටැක්සි රියැදුරාගෙ ජීවිතයට සමීපව එබී බැලීමක් පමණයි. උඩින් සඳහන් කළා වගේ තිර රචක Paul Shrader, ජීවිතේ හුදෙකලාව, කාන්සාව ගැන අත්දැකීමකින් ලියන්න ආරම්භ කරත් පසුව ඒ ලිවීම තවත් ගැඹුරකට විහිදෙනව. එක මිනිසෙකු ගෙ ජීවිතයෙන් ඔහුවම පමණක් හුදෙකලාව නිරූපණය වෙනව කියල මම හිතන්නෙ නෑ. මිනිසෙක් නිතරම ඔහු ජීවත් වෙන සමාජ, දේශපාලන, ආර්ථික පරිසරයේ පිළිබිඹුවක්. නිව්යෝක් නගරෙ ටැක්සි රථයක් පදවන Travis Bickle ට ත්, කොළඹ කොටුවේ හුදකලාවේ ඇවිදයන මිනිසාටත් පොදු සත්‍ය ඒකයි. Taxi Driver චිත්‍රපටය එක් මිනිසෙක් මුල්කරගෙ මේ හැම දෙයකම තුලනාත්මකව ඉදිරිපත් වෙන ප්‍රකාශනයක් විදිහට මම දකින්නෙ.

ප.ලි - Travis Bickle ගේ චරිතය නිරූපණය කරන Robert De Niro ගේ රංගනය චිත්‍රපටයක මම මෙතෙක් දැක්ක අති විශිෂ්ඨතම රංගනයන් අතරට එකතු වෙනව! චිත්‍රපටයට අවශ්‍ය චරිතය සඳහා පුහුණු වෙන්න ඔහු දවසට පැය පහළවක් බැගින් පුරා මාසයක් ටැක්සි රියැදුරෙක් විදිහට වැඩ කරල තියනව. ඒවගේම හමුදා කඳුවුරු වලට ගිහින් සොල්දාදුවන් එක්ක කතා බහ කරල ඒව පටිගත කරගෙන ඇවිත් නැවත නැවත ඇහීමෙන් හමුදා සෙබලුන්ගෙ කතා විලාසය අද්‍යනය කරල තියනව. නිව් යෝක් නගරයේ හුදෙකලා ටැක්සි රියැදුරාගෙ චරිතය ඉතාම තාත්විකව නිරූපණය කරන්න ඔහු කොයි තරම් කැපවීමක් කර තියෙනවද කියල මෙයින් වටහගන්න පුලුවන්.