ඇඳිරි වැටීගෙන එනකොට කොළඹ නගරෙ එකම කඩිගුලක ස්වරූපයක් ගන්නව. ආකාසෙ වැහි බීරමක් එක්ක යන්තම් හීනි පොදයක් වැටෙනව දැන්. වෙහෙසකාරී බව මුහුණේ තවරාගෙන වැස්සට කලින් ගෙදර යාගන්න මිනිස්සු වේගෙන් වේගෙන් එහෙමෙහෙ දුවනව. ඔය අතරෙ ෆ්ලෝටින් මාකට් එක පැත්තෙ ඉඳන් හෙමින් හෙමින් ඇවිදගෙන එන හුදෙකලා මිනිසෙකුට දකින්න ලැබෙන්නෙ මොනවද?. එක පැත්තකින් අහසෙ ගෑවෙන නොගෑවෙන ගාණට උසට උසේ හිටගෙන ඉන්න නෙළුම් කුළුණ. ඒ එක්කම ටිකෙන් ටික උස යන නානාප්‍රකාර ගොඩනැගිලි පෙළ. නාස්පුට කඩාගෙන වදින බේරෙ වැවේ දුර්ගන්ධය. වැහි අඳුර එක්ක තැවරුණ පාලුව. හිනා මූණක් නැතුව තරඟෙට වගේ ඔහේ දුවන මිනිස්සු... මේ දේවල් මැද්දෙ හුදෙකලාවේ ඇලීගැලුනු මිනිසාට දැනෙන්නේ මොකක්ද..?
ළඟම තියන ලොතරැයි කූඩුවක ගොරහැඩි සද්දෙන් ඇහෙනව ප්‍රවෘත්ති විකාශයක්. මොනවද අපේ හුදකලා මිනිසාට අහන්න ලැබෙන්නෙ... දූෂිනය, භීෂනය අපරාධ, ඒ අතර දේශපාලකයන් ගේ සුරංගනා කතන්දර..
"මේ මොන මඟුලෙ සමාජ ක්‍රමයක්ද..!"
අපේ හුදකලා මිනිසාට හිතෙන්නෙ එහෙම. ඔහුගෙ විතරක් නොවෙයි, මේක නිව් යෝක් නගරෙ තනිවම සැරිසරන මිනිසෙකුගේත් අත්දැකීම..!
Paul Shrader නම් තරුණ පිටපත් රචකයාට තමන්ගේ මේ නාගරික හුදෙකලාවේ ජීවිත අත්දැකීම සිනමාවට නගන්න ඕන වෙනව. Travis Bickle නම් ටැක්සි රියැදුරෙක් මුල් කරගෙන Taxi Driver චිත්‍රපටය නිමැවෙන්න වස්තු බීජය සැපයෙන්නෙ එහෙම.
Taxi Driver ආරම්භ වෙන්නෙ රාත්‍රියේ දුමාරය මැදින් මතුවෙන ටැක්සි රථයක දර්ශනයකින්. ටැක්සිය දුමාරයෙන් මතුවෙන්නෙ එක්තරා ආකාරයක අනපේක්ෂිත විදිහකට. හරියට වෙනත් ලෝකෙකින් ප්‍රාදූර්භූත වුණා වගේ ටැක්සි රියැදුරාගෙ ආගමනය සනිටුහන් වෙන්නෙ. ඒක මම චිත්‍රපටයක දැක්ක ප්‍රබලතම ආරම්භක දර්ශනයක්. ඊලඟට ටැක්සිය ඇතුලෙ ඉඳන් බොඳවුණු ස්වභාවයෙන් අපි දකින නගරය. Opening credits යන්නෙ ඒ අතරෙ. Travis Bickle රියැදුරු රැකියාවට ඇතුල්වෙන හැටි ඉන්පස්සෙ දර්ශන පෙළෙන් දිගහැරෙන්නෙ.
"I cant sleep nights"
මේ තමා ඔහුගේ මුවින් ගිලිහෙන මුල්ම වචන කිහිපය. ඔහු රාත්‍රීයේ රියැදුරු රැකියාව තෝරාගන්න හේතුව තමා ඒ. ඔහු insomnia එහෙම නැත්නම් නින්ද නොයෑමේ රෝගයෙන් පෙලෙන්නෙක්. ඉන්පස්සෙ ඇතිවෙන කෙටි සංවාදය Travis ගැන මූලික තොරතුරු කීපයක් නිරාවරණය කරනව.
ඉන්පස්සෙ මුලු චිත්‍රපටයම දුවන්නේ Travis ගේ චරිතය මුල්කරගනිමින්. ඔහු නොමැති දර්ශනයක් නැති තරමට. නාගරික තරඟකාරී ජීවිතය ඇතුලෙ දැනෙන හිස් කම පාලුව සාංකාව යටපත් කරගන්න ඔහු දරන වෙහෙස චිත්‍රපටය පුරාම තියෙන්නෙ. Travis තමන්ගෙ හුදෙකලාවේ අත්දැකීම් දිනපොතක ලියනව. ඒ සටහන් මේ චිත්‍රපටය ඇතුලෙ කතා කරනව. මේ අමුතු, හුදෙකලා මිනිසාගෙ ඇතුලාන්තය දිහාවට ආලෝක දහරක් මේ සටහන් තුළින් එල්ල වෙනව.
“Loneliness has followed me my whole life. Everywhere. In bars, in cars, sidewalks, stores, everywhere. There’s no escape. I’m God’s lonely man.”
Travis වියට්නාම් යුද්ධයට සහභාගි වුණ, ඇමරිකානු හමුදාවෙ හිටපු මැරීන් සොල්දාදුවෙක්. වියට්නාම් යුද්ධයෙන් ඇමරිකාව අන්ත පරාජයක් ලැබුවා. මේ පරාජිත මානසිකත්වයත් ඔහුගෙ ජීවිත පැවැත්මට බලපෑමක් කරන්න ඇති. මෙහෙම හුදෙකලාවේ කාලය ගත කරන අතරේ දවසක් බොහොම රූමත් තරුණියක් ඔහුගෙ ඇසගැටෙනව. එදා පටන් ඇය ලුහුබැඳ යන Travis කොහොම හරි ඇය මුණගැහෙන්න අවස්ථාවක් හදාගන්නව. නමුත් ඔවුන්ගෙ දෙවැනි මුණගැසීමෙදි ඔහු අතින් වෙන වැරැද්දක් නිසා ඇය ඔහුව සදහටම හැර යනව. Travis ආයෙමත් හිටපු තැනමයි. ඒත් පෙරටත් වඩා අමිහිරි අත්දැකීමක් එක්ක...
Taxi Driver නරඹපු කෙනෙක්ට නම් හොඳට මතක ඇති දර්ශනයක් තමා Travis තමන්ගෙ සිත්ගත් තරුණිය ඔහු හැරගියාට පසුව දුරකථනෙන් අමතමින් නැවත ඇයට සමීප වීමට දරන උත්සහය. නමුත් ඇය දිගින් දිගටම ඔහුව ප්‍රතික්ෂේප කරනව. මෙතැනදි Travis දුරකථනෙන් කතා කරමින් ඉන්න දර්ශනයෙදි රූපරාමුව ක්‍රමයෙන් Travis ගෙන් ඉවත් වෙලා දොරක් දිහාවට හැරෙනව. Travis දුරකථනෙන් කතා කරන හඬ පමණයි ප්‍රේක්ෂකයාට අහන්න ලැබෙන්නෙ. මේ අවස්ථාවෙ Travis ගේ මුහුණෙන් පළවෙන බලාපොරොත්තු කඩවීමේ හැඟීම රූප රාමුවකට ගන්න බැරි තරම් දුක්බර නිසා මෙහෙම කල බව Taxi Driver අද්‍යක්ෂ Martin Scorsece කියනව. නමුත් චිත්‍රපටයෙ අගභාගයේ දි අපි දකින ලේ වැකුණු ප්‍රචණ්ඩකාරි දර්ශන ඉතාම සවිස්තරාත්මකව රූගත කර තිබෙනවා. බලාපොරොත්තු සුන්වීම, ප්‍රතික්ෂේප කිරීම පුද්ගලයින් මරාදැමීමට වඩා දරුණු බවද මෙතනින් කියැවෙන්නෙ?
චරිත ගොඩනැංවීම හා විකාශය අතින් Taxi Driver විශිෂ්ඨ මට්ටමක තියන්න පුලුවන්. Travis අවි ආයුධ භාවිතාවට යොමුවීම එවැනි තැනක්. අවි ආයුධ ගැන පෙළඹවීම ඔහුට ලැබෙන්නෙ තමන්ගෙ සේවාව ලබාගන්න මගියෙකුගෙන් (ඒ චරිතය නිරූපණය කරන්නෙ චිත්‍රපටයෙ අද්‍යක්ෂ Martin Scorsece මයි) දවසක් වෙළෙඳසැලකට කඩාවදින මංකොල්ල කාරයෙක් මරා දැමීමෙන් මේ වීරත්වය ගැන හැඟීම ඔහුට ආරෝපණය වෙන්නෙ. දරාගත නොහැකි තරමේ හුදෙකලාව, ආදරය අහිමිවීමේ වේදනාව, ඒකාකාරී ජීවිතය, නගරය පුරා ඉන්න හිත් පිත් නැති මෝඩ මිනිස්සු, මේ හැම පීඩනයකම කෙළවර වෙන්නෙ දූෂිතයන්ගෙන් නගරය බේරාගැනීමේ මෙහෙයුම, දවසක් තමන්ගෙන් ආරක්ෂාව පැතූ තරුණිය ගලවා ගැනීමේ සටන තමන්ට පැවරුණ දේවකාරියක් ලෙස ගැනීමෙන්.
Thank God for the rain, which has helped wash away the garbage and trash off the sidewalks. ....... All the animals come out at night – whores, skunk pennies, buggers, queens, fairies, dopers, junkies, sick, venal. Someday, a real rain will come and wash all this scum off the streets.”
Taxi Driver අපිට කතාවක් කියන්නෙ නෑ. මේ චිත්‍රපටයෙ කතන්දරයක් නෑ. යම් කාලසීමාවක් ඇතුළත Travis Bickle කියන ටැක්සි රියැදුරාගෙ ජීවිතයට සමීපව එබී බැලීමක් පමණයි. උඩින් සඳහන් කළා වගේ තිර රචක Paul Shrader, ජීවිතේ හුදෙකලාව, කාන්සාව ගැන අත්දැකීමකින් ලියන්න ආරම්භ කරත් පසුව ඒ ලිවීම තවත් ගැඹුරකට විහිදෙනව. එක මිනිසෙකු ගෙ ජීවිතයෙන් ඔහුවම පමණක් හුදෙකලාව නිරූපණය වෙනව කියල මම හිතන්නෙ නෑ. මිනිසෙක් නිතරම ඔහු ජීවත් වෙන සමාජ, දේශපාලන, ආර්ථික පරිසරයේ පිළිබිඹුවක්. නිව්යෝක් නගරෙ ටැක්සි රථයක් පදවන Travis Bickle ට ත්, කොළඹ කොටුවේ හුදකලාවේ ඇවිදයන මිනිසාටත් පොදු සත්‍ය ඒකයි. Taxi Driver චිත්‍රපටය එක් මිනිසෙක් මුල්කරගෙ මේ හැම දෙයකම තුලනාත්මකව ඉදිරිපත් වෙන ප්‍රකාශනයක් විදිහට මම දකින්නෙ.
ප.ලි - Travis Bickle ගේ චරිතය නිරූපණය කරන Robert De Niro ගේ රංගනය චිත්‍රපටයක මම මෙතෙක් දැක්ක අති විශිෂ්ඨතම රංගනයන් අතරට එකතු වෙනව! චිත්‍රපටයට අවශ්‍ය චරිතය සඳහා පුහුණු වෙන්න ඔහු දවසට පැය පහළවක් බැගින් පුරා මාසයක් ටැක්සි රියැදුරෙක් විදිහට වැඩ කරල තියනව. ඒවගේම හමුදා කඳුවුරු වලට ගිහින් සොල්දාදුවන් එක්ක කතා බහ කරල ඒව පටිගත කරගෙන ඇවිත් නැවත නැවත ඇහීමෙන් හමුදා සෙබලුන්ගෙ කතා විලාසය අද්‍යනය කරල තියනව. නිව් යෝක් නගරයේ හුදෙකලා ටැක්සි රියැදුරාගෙ චරිතය ඉතාම තාත්විකව නිරූපණය කරන්න ඔහු කොයි තරම් කැපවීමක් කර තියෙනවද කියල මෙයින් වටහගන්න පුලුවන්.
No comments:
Post a Comment